පුරවැසි කොලම

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය, ආචාර්ය

ගාමිණී සමරනායක

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඝාතනය කර අදට (26දා) වසර 60කි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

නිට්ටඹුව හොරගොල්ල වලව්ව වාසභවන කරගත් සර් සොලමන් ඩයස් බණ්ඩාරනායක මහ මුදලිතුමාගේ සහ ඩේසි එස්ලින් ඩයස් මැතිනියගේ එකම පුතණුවන් වූවේ 1898 වසරේ ජනවාරි 08 වැනි දින උපත ලද සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක දරුවාය. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද බණ්ඩාරනායක සිසුවා 1915 වසරේදී ​කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද කේම්බ්‍රිජ් සීනියර් විභාගයෙන් තෙවැනි ස්ථානය ලබා ගත්තේය. එනම් ඉංග්‍රීසි ග්‍රීක් ලතින් සහ ප්‍රංශ භාෂාවන් සඳහා සම්මාන ලබාගෙන තිබුණ ඔහුට ඉන් වාර්තාගත ජයග්‍රහණයක් හිමිවිය. ඉන් පසු 1919 වසරේ එංගලන්තයේ ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයට බැඳී ඔහු ක්‍රයිස්ට්චර්ච් විද්‍යාපීඨ​ෙයන් නීතිය හදාළේය. කතිකත්වය, නායකත්වය, සාමුහිකව කටයුතු කිරීම, දරාගැනීම ආදී ලක්ෂණයන්ගෙන් හෙබි බණ්ඩාරනායක තරුණයා කෙටි කලකින්ම එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්විය. ඉන් එවන් තනතුරක් ලද පළමු ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යද ඔහුට හිමිවිය. බැරිස්ටර් විභාගය සමත් වූ ඔහු 1925 වසරේ පෙබරවාරි 24 වැනි දින නැවත මව්බිමට පැමිණියේය. ඔහු කොළඹ අලුත්කඩේ උසාවියෙන් සිය වෘත්තීය ජිවිතය ආරම්භ කළේය.

දේශපාලනයට පිවිසීම

නීතිඥයකු ලෙස කටයුතු කළ බණ්ඩාරනායක තරුණයා 1926 වසරේදි දේශපාලනයට අවතීර්ණ වූවේය. එහිදී ඔහුගේ පළමු දේශපාලන ජයග්‍රහණය වූවේ කොළඹ නගර සභාවේ මරදාන කොට්ඨාසය සඳහා තරගකළ කම්කරු පක්ෂ සාමාජිකයා වූ ඒ. ඊ.ගුණසිංහ මහතා පරදවා ජයග්‍රහණය කිරීමය. එලෙසින් දේශපාලනයට සම්බන්ධ වූ ඔහු ලංකා ජාතික සංගමයට සම්බන්ධ වී එහි ප්‍රධාන ලේකම් ලෙසද කටයුතු කළේය. බණ්ඩාරනායක මහතාගේ දේශපාලන ආදර්ශකයා වූයේ ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියා වූ මහත්මා ගාන්ධී තුමාය. ඒ අනුව දේශීයත්වයට නැඹුරු වූ ප්‍රතිපත්තියක් සකසාගත් බණ්ඩාරනායක මහතා බටහිර කලිසමෙන් මිදී දේශීය ජාතික ඇඳුමට මාරුවූවේය. ඉන්පසු ඇඳුම සේම ඔහුගේ පිළිවෙත්ද දේශීය විය. මෙවන් වූ හේතුන් නිසා බණ්ඩාරනායක චරිතය මිනිසුන් අතර ජනප්‍රිය වූවේය. එවන් වූ වාතාවරණයකදී ශ්‍රි ලාංකීය ජනතාවට සර්වජන ඡන්ද බලය හිමිවීමෙන් පසු එළැබි 1931 වසරේ මැයි 4 වැනි දින පැවැත්වීමට නියමිත ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයද පැමිණියේය. එහිදී බණ්ඩාරනායක මහතා වේයන්ගොඩ ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට නිතරගයෙන්ම තෝරාපත්කර ගැනිණ. බණ්ඩාරනායක මහතාගේ ජාතික දේශපාලනය ඇරඹෙන්නේ එතැන් සිටය. බණ්ඩාරනායකයන්ගේ දේශපාලන පිළිවෙත එසේ වූ අතර 1936 වසරේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයද පැමිණියේය. ඔහු එයින්ද වේයන්ගොඩ මන්ත්‍රීවරයා ලෙස තේරී පත්විය. බණ්ඩාරනායක මහතාට තිබුණ ජනප්‍රියත්වය නිසාම ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස තෝරාපත්කර ගත්තේය.

මේ ආකාරයට පැවතගෙන ආ ලාංකීය දේශපාලන ක්‍රමය සෝල්බරි ව්‍යවස්ථාව මගින් පාර්ලිමේන්තු ක්‍රමය බවට පරිවර්තනය ක‍ළේය. එහිදී දේශපාලන පක්ෂ ක්‍රමය ආරම්භ වූ අතර 1946 වසරේ ඩී. එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂය ආරම්භ විය. එයට බණ්ඩාරනායක මහතාගේ සිංහල මහා සභාවද එකතු කළේය. ස්ථාවර නිදහස් දේශපාලන ක්‍රමවේදයක් උදෙසා එවැනි තීරණයකට එළැඹී බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ‍ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු ආරම්භ කළේය. ව්‍යවස්ථානුකූල සටනකින් පසු 1948 වසරේ පෙබරවාරි 04 වැනි දින ලංකාවට ඩොමිනියන් තත්ත්වයේ නිදහසක් ලැබිණි. එදා රජය වෙනුවෙන් ඓතිහාසික ස්තුති කතාව කරන ලද්දේ බණ්ඩාරනායක මහතාය. එහෙත් එම නිදහස පිළිබඳ ඔහු තෘප්තිමත් නොවීය. එය බණ්ඩාරනායක මහතාගේ අර්ථ දැක්වීමට අනුව නම් කුසගින්නේ සිටි මිනිසෙකුට හිස් පිඟානක් තවත් පිඟානකින් වසා ලබා දුන්නාක් බඳුය. 1947 වසරේ සිට අත්තනගල්ල මන්ත්‍රීවරයා ලෙස කටයුතු කළ ඔහු නව රජයේ සභානායක හා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස කටයුතු භාරගත්තේය. එක්සත් ජාතික පක්ෂයේ තනතුරු දරමින් කටයුතු කළද බණ්ඩාරනායක මහතාගේ අදහස් එම පක්ෂයේ ප්‍රතිපත්තිවලට නොගැළපුණේය. ඒ නිසා බොහෝ අවස්ථාවල මත ගැටුම් සිදුවිය. විශේෂයෙන්ම මාදම්පිටියේ පැවැති සිංහල මහා සභාවේ 13 වැනි සංවත්සරයේදී බණ්ඩාරනායක මහතා විසින් ඩී. ඇස් සේනානායක මහතාට රටේ ආර්ථික ශක්තිමත් භාවය උදෙසා යම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. එහෙත් ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. එහි ප්‍රතිඵලය වූයේ එක්සත් ජාතික පක්ෂයට එකතුකළ මහාසභාවත් සමගම පක්ෂයෙන් වෙන් වී 1951 වසරේදි නව පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගැනීමය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පළමු මැතිවරණ සටන

බණ්ඩාරනායක මහතා වමටත් නොමැති දකුණටත් නොමැති මධ්‍යස්ථ දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගත්තේය. 1951 වසරේ පැවති මැතිවරණ සටනට ඔහු තරගකරන ලද්දේ එම නව පක්ෂයෙනි. එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අන් පක්ෂත් නිදහස ලැබීමත් සමගම මේ ආකාරයට මැතිවරණ සටනකට එළැඹීම එදවස හැඳින්වූවේ සීතල යුද සමය ලෙසය. 1952 වසරේ පැවති මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා ආසන 9ක් ලබාගත් අතර පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී සමසමාජ පක්ෂයටත් ආසන 9ක් ලැබුණේය. බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්තිවලට විප්ලවකාරී සමාජවාදී පක්ෂය හා ලංකා කොමියුනිෂ්ට් පක්ෂය එකඟතාව පළකළ අතර ඔවුන්ගේද සහයෝගයෙන් බණ්ඩාරනායක මහතාට විපක්ෂ නායක ධුරය ලබාගත හැකිවිය. 1956 වසරේ පැවති මැතිවරණයට ඉදිරිපත් වන්නේ මෙම වාමාංශික පක්ෂවල සහයෝගය සහිතවය. එනම් පිලිප් ගුණවර්ධන මහතාගේ විප්ලවකාරී සමසමාජ පක්ෂයත් ඊරියගොල්ල මහතාගේ කුඩා කණ්ඩායමත් ඩබ්ලිව් දහනායක මහතාගේ භාෂා පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එකතුකර ගනිමින් මහජන එක්සත් පෙරමුණ නම් සන්ධානය ගොඩනැගුවේය. එහිදී ඔවුන් ඡන්ද සලකුණ ලෙස අත ලකුණ වෙනුවට රෝදය ලකුණ භාවිත කළේය. මින් පෙනී යන්නේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භයේ සිට එකතුවූවේ වාමාංශික පක්ෂ සමග බවය. මෙම සාමුහික එකමුතුව 1956 වසරේ පැවති මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක් අත්කර ගනිමින් ජයග්‍රහණය කළේය.

එම ජයග්‍රහණයෙන් පසු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම සිදුවිය. එසේම බුදු දහමට නිසි තැන ලබාදුන්නේය. එනම් 1948 නිදහස ලැබුණද අධිරාජ්‍යවාදයේ කළු සෙවණැලි සමාජය පුරා වැටී තිබුණ අතර සිංහලයන්ට සැබෑ නිදහසක අවශ්‍යතාව දැනී තිබිණි. එබැවින් සිංහල භාෂාවටත් බුදු දහමටත් නිසිතැන ලබාදීමට පොරොන්දු වීමම නව රජයේ ජයග්‍රහණයට හේතුවිය. මෙවන් වූ වාතාවරණයන් නිසා මෙරට පැවති විදේශ ප්‍රතිපත්තියද වෙනස් වූවේය. එනම් මෙරට කටුනායක ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශවල පිහිටුවා තිබූ විදෙස් හමුදා කඳවුරු ඉවත් කිරීම සිදුවිය. එසේම මීට පෙර ලංකාව සමීප සබඳතා ගොඩනගාගෙන තිබුණේ බටහිර රටවල් සමග පමණි. එම ක්‍රමවේදය ද වෙනස්කර චීනය වැනි සමාජවාදි රටවල් සමග තානාපති සබඳතා ඇතිකර ගත්තේය.

ජාත්‍යන්තර සබඳතා එලෙසින් ගොඩනගා ගත්තා සේම මෙරට වැසියන්ටද නිදහස් ජීවිතයක් ලබාදීමට කටයුතු කළේය. විශේෂයෙන්ම කම්කරුවන්ට පැය අටේ නිදහස ලබාදීම, මැයි දිනය නිවාඩු දිනයක් කිරීම, කුඹුරු පනත සම්මත කිරීම වැනි සුබසාධන සේවා රාශියක් ක්‍රියාත්මක කළේය. මීට වෙනත් දේශපාලන පාර්ශවවලින් විරෝධතා රැසක් මතුවිය. එහිදී විටෙක පිලිප් ගුණවර්ධන මහතා එවැනි දේ බණ්ඩාරනායක මහතාගේ ජිවිතයටත් තර්ජනයක් විය හැකි බව පෙන්වා දුන්නේය. අවසානයේ පක්ෂය තුළද අර්බුධ ගොඩ නැගුණ අතර පිලිප් ගුණවර්ධන මහතා සන්ධානයෙන් ඉවත්විය. එසේ වුවද බණ්ඩාරනායක මහතා ආණ්ඩුව ගෙන ගිය අතර 1959 වසරේදී ඔහු නන්නාඳුන තුවක්කු කරුවෙකු අතින් ඝාතනයට ලක්විය. මෙය ලංකාවේ සිදුවූ පළමුවන දේශපාලන ඝාතනය වූ අතර එය අදටද නොවිසඳුණු අබිරහසක්ය.

බණ්ඩාරනායක මහතාගෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන් මග

බණ්ඩාරනායක මහතාගේ ඝාතනයෙන් පසුවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වාමාංශික පක්ෂ හා එක්ව කටයුතු කළේය. විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිනිය එම ප්‍රතිපත්ති සාර්ථකව ක්‍රියාත්මක කළ අතර ඒවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම කරගත්තේය. එනම් සෑම මැතිවරණ අවස්ථාවකම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරට කර තරග කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂය සමගය. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය අවශ්‍ය වූ සෑම අවස්ථාවකම වාමාංශික පක්ෂ එකතුවීම සිදුවිය. 1977 සාමානුපාතික නියෝජන ක්‍රමය ඇතිකිරීමෙන් පසුවද ගිවිසුම් රහිතව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දුන්නේය. ඒ අනුව අත ලකුණ පුටුව වෙමින්ද පුටුව ලකුණ බුලත්කොළය වෙමින්ද මෙම සන්ධානය පැවත ආවේය. 2015 වසරේ පැවති මැතිවරණයේදීද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක් නොවුණේය. එහෙත් 2015 ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයෙකුව සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වී ජනාධිපති ලෙස තේරීපත්ව එක්සත් ජාතික පක්ෂයත් සමග ආණ්ඩුව පිහිටෙව්වේය. ඉන් පසු ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට තේරී පත්විය. ඔහුත් සමග නිදහස් පක්ෂයේ යම් පිරිසක් නව ආණ්ඩුවේ ඇමතිධුර භාරගත්හ. එහෙත් තවත් පිරිසක් පක්ෂයේ අනන්‍යතාව රැකගනිමින් බණ්ඩාරනායක ප්‍රතිපත්ති පාවා නොදෙමින් පසෙකට විය. මෙවන් වූ වාතාවරණයකදී බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරූ ස්වභාවයක් ගෙන තිබේ. එනම් 2018 වසර වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කොටසක් පොහොට්ටුව වටා එකතු වූ අතර තවත් කොටසක් එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කළහ. එය පසුගිය කාලය තුළ සිදුකළ පනත් සම්මත කිරීම් වලින්ම මැනවින් පැහැදිලි විය. මේ අනුව පෙනී යන්නේ බණ්ඩාරනායක මහතාට මෙරට ජාතික හා ආගමික වශයෙන්ද ආර්ථිකයෙන්ද නිදහස් රාජ්‍යයක් කිරීමට අවශ්‍ය වුවද අද එම ප්‍රතිපත්තින් මුදලට අලෙවිවන බවය. එවැනි තත්ත්වයකදී එක්සත් ජාතික පක්ෂයට අභියෝග කළ හැකි පක්ෂයක් ලෙස ආරම්භ කළ පොහොට්ටුව ජනතා ආකර්ෂණය දිනාගෙන ඇත. ඊට හේතුව හෙට දිනයේ බණ්ඩාරනායක පිළිවෙත් දැකිය හැකිවන්නේ පොහොට්ටුවෙන් පමණයි යන්න ජනතා විශ්වාසය වී තිබීමය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More