ජනපතිවරණය යන මාතෘකාවත් සමගින් කියැවෙන අනික් මාතෘකාව බවට පත්ව ඇත්තේ විධායක ජනපතිධුරය අහෝසි කිරීමයි. ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේද ‘විධායක ජනපති ධුරය’ ගැන මාතෘකා මවමිනි. විධායක ජනපති ධුරය යනු යකෙක්ද? නැතිනම් ඒ යකා එතරම් කළු නැතිද? එසේත් නැතිනම් එය අප වැනි රටකට ආශිර්වාදයක්ද? මාතෘකාව යළිත් කරලියට පැමිණ තිබේ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි පවතිනතාක් විධායක ජනාධිපති ධුරය අහෝසි නොකළ යුතුය, යන්න ජාතික ව්‍යාපාරයේ පොදු මතයයි. ඔන්න මෙන්න ෆෙඩරල් ක්‍රමයක් වු පළාත් සභාවල බෙදුම්වාදී ප්‍රවණතාවන් මැඩ පවත්වා ඒකීයබව රැක ගැනීමේ එකම නූල් පට විධායක ජනාධිපති ධුරය බවට විවාදයක් නොමැත. 13 වන සංශෝධනය අහෝසි කරනවා තබා ඊට අත තබන්නවත් හීනෙන්වත් නොහිතන දේශපාලන පරිසරයක, විධායක ජනාධිපතිධූරය අහෝසි කරන සාකච්ඡාවක් මුහුද හත් ගවුවක් තියාගෙන අමුඩය ගැසිමට එහා ගිය වැඩකි. යථාර්ථය එය නම් ජාතික ව්‍යාපාරය පළමුව කළ යුත්තේ තැන තැන කෙඳිරි නොගසා 13 සංශෝධනය අහෝසි කිරීමට බල කෙරෙන විවෘත ජන සංග්‍රාමයක් දියත් කිරීමයි.
අද වන විට ශ්‍රී ලාකීය සමාජය, ඉතිහාසයේ වෙන කවරදාටවත් වඩා බේද භින්න වී ඇත. පක්ෂ දේශපාලනය, මුදල්වලට වැඩකරන එන්.ජි.ඕ හා සමාජ මාධ්‍ය මගින් වපුරන ලද ඕපාදූප, අවලාද හා අවිචාරවත් විවේචන සංස්කෘතියක අපි ගිලෙමින් සිටිමු. එකිනෙකා අනෙකා සැක කරන, කිසිවෙක් කිසිවෙකු විශ්වාස නොකරන සමාජයක් අපට උරුම වී ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳව හෝ සංවර්ධනය පිළිබඳව ව්‍යපෘතියක් ජාතික අවශ්‍යතාවක් වශයෙන් පිළිගනු ලබන පොඳු එකඟතාවක් නොමැත. ඕන ගොනෙකුට යුද්දේ කරන්න පුළුවන් කියන, තොප්පිගලත් කැලයක් යැයි කියමින් ජාතික ආරක්ෂාව අවතක්සේරු කරන ලද හම්බන්තොට වරායේ ගලක් ඇතිබවත්, ගුවන් තොටුපළ වී ගබඩාවක් කරන ලද වෛරී සමාජයක, රට, එක මතයක් ඔස්සේ ඉදිරියට ගෙන යන්නේ කෙසේද? ජාතියේ පවැත්මට කඳන් පණුවකු ලෙස පහර දෙන මෙම සමාජ විභේදනය පිළිබඳව වෙනම සාකච්ඡාවක් ඇරඹිය යුතුය. බටහිර බලපෑමෙන් එන අරාබි වසන්තයන්ගේ සුළගට මෙන්ම දේශීය කෙබ්බ රැලිවලට ජාතියේ ඉරණම ගසා ගෙන යෑමට ඉඩ හළ යුතුද?
නමුත් එකී විභේදනය විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාවට අදාළ වන්නේ, එය මෙරට දේශපාලන ස්ථාවරත්වය බරපතළ අවධානමකට ලක් කරන හෙයිනි. දැනට පවතින ව්‍යවස්ථාව තුළ විධායක ජනාධිපතිවරයාගේ පත්වීම හා පැවැත්ම බොහෝ දුරට පාර්ලිමේන්තුවෙන් ස්වායත්ත වේ. වෙස්ට්මිනිස්ටර් ආකෘතිය තුළ විධායකය වන අගමැතිවරයාගේ පත්වීම හා පැවැත්ම පාර්ලිමේන්තුවේ සෘජු පාලනයට නතුවේ. එයින් අගමැතිවරයා ගලවා ගන්නේ පක්ෂ ක්‍රමය හරහා සරල බහුතර මැතිවරණ ක්‍රමය මගින් පාර්ලිමේන්තුවේ ලබා දෙන බහුතර බලය විසිනි. දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් සරල බහුතර ක්‍රමය අහෝසි කළ අතර හඳුන්වා දුන් සමානුපාතික ක්‍රමය බහු පක්ෂ නියෝජනය දිරි ගන්වයි. විශේෂයෙන්ම එකළොස්වන සංශෝධනය මගින් මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට ලබා ගත යුතුව තිබු අවම ප්‍රතිශතය සියයට දොළහේ සිට පහ දක්වා අඩුකිරීමෙන් පාර්ලිමේන්තු නියෝජනයේ බහුවිධත්වය තවත් වැඩිවිය.
අලුතින් යෝජනා කරනු ලබන 60% හා 40% සරල බහුතර හා සමානුපාතික මිශ්‍ර ක්‍රමය පාර්ලිමේන්තුවේ නියෝජනය දැනටත් වඩා කුරුවල් කරයි. දැනටමත් ඇස් පණාපිට සනාථ වී ඇති පරිදි යෝජිත මිශ්‍ර ක්‍රමය අසාර්ථක බව පසුගිය පළාත් පාලන මැතිවරණය පෙන්වා දී තිබේ. ආසන සියල්ලම ජයගත් පක්ෂයට පවා තනිවම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට නොහැකි පළාත් පාලන ආයතන කීයක් මේවන විට පවතීද? රටේ මධ්‍යම ආණ්ඩුව මේ ආකාරයෙන් අස්ථාවර වුවහොත් ජාතික ආරක්ෂාව හා සංවර්ධනය සම්භන්ධයෙන් ඉරණම පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ කිහිපයක් විසින් තීරණය කරනු ඇත. ඒ නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා යැයි කීම රට තවත් අගාධයට පත් කරන යෝජනාවකි.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ගෙනෙන අනෙක් තර්කය වන්නේ, ජනාධිපතිවරණයකදී මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් බවට පත්වන හෙයින් එහිදි සුළු ජාතික ඡන්දවලට අනවශ්‍ය කේවල් කිරිමේ හැකියාවක් ඇතිවන බවයි. ජාතික ව්‍යාපාරයට වැදගත් වන්නේ රටේ ස්ථාවරත්වය රැකගත හැකි විධායයක් පැවතීමයි. එහෙයින් විධායකය තෝරා ගන්නා ක්‍රමය වෙනස් කළ හැකිය. සමස්ත රටේම ජනයාගේ නියෝජනය තහවුරු කරන ආකාරයට එක්සත් ජනපදයේ මෙන් ආසන මට්ටමින් තෝරා ගනු ලබන ඡන්ද විද්‍යාලයකින් ජනාධිපති ධුරයට පත් කළ හැකිය. ඒ ජන්ද විද්‍යාලයට තේරී පත්වන්නෙත් එහි එකම කාර්යභාරයත් වන්නේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පමණකි. අවසන් ජනාධිපතිවරණයේදි හිලරි කිලින්ටන් වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තද ඩොනල්ඩ් ට්‍රම්ප් ජන්ද විද්‍යාලයේ බහුතර ආසන ගණනක් දිනා ගැනීමෙන් ජනාධිපති ධුරයට පත් විය. කෙසේ වුවද ජනාධිපතිවරණය උදෙසා පැවැත්වෙන ඡන්ද විද්‍යාලය පාර්ලිමේන්තුව බවට පත් කර ගැනීම හෝ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා තෝරන ඡන්ද විද්‍යාලයක් කිරීම කළ නොහැක. ඊට හේතුව විධායකය හා ව්‍යවස්ථාදායකය තුළ සංවරණය හා සංතුලනය මගින් බලතල බෙදීම පවත්වා ගැනිම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට අත්‍යවශ්‍ය හෙයිනි.
විධායක ජනාධිපති ධුරයට එරෙහිව නැගෙන අනෙක් චෝදනාව එය දූෂිත බලාධිකාරියක් බවයි. යහපාලනය වෙනුවෙන් බලයට පැමිණි ජනාධිපතිවරයා හා අගමැතිවරයා සිය දේශපාලන පැවැත්ම වෙනුවෙන් ජාතික ආණ්ඩු සංකල්පය අමු අමුවේ දූෂණය කරන ලද, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ඇති කොමිසමේ ස්වාධීන කොමසාරිස්වරු මැතිවරණ පැවැත්වීමට එරෙහිව උසාවි ගිය, නීතිය නවන අල්ලස් කොමසාරිස්වරු හා පොලිස්පතිවරු, ඇමරිකාවෙන් වැටුප් ලබන උපදේශකයන්ට අනුව තීන්දු ගනු ලබන කථානායකවරු සිටින රටක විධායකයෙන් පමණක් අපේක්ෂා කරන පිරිසිඳුබව කුමක් ද?
ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා සංවර්ධනය වෙනුවෙන් ලෝකයේ ඕනෑම රටක පැවතිය හැකි කොමිශන් සභා, ආයතන ව්‍යවස්ථාමය සංවරණයන් ඕනෑවටත් වඩා අපට හඳුන්වා දී ඇත. ඒ සියලු මෙවලම් අතිශයින් අප්‍රායෝගික හා අසාර්ථකබවත් හුදෙක් පොතට සීමාවූ පුස් ඝෝෂාවන් බවත් ප්‍රත්‍යක්ෂයෙන්ම තහවුරු කර ඇත. එවැනි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින නිර්මාපකයන්ම ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් එම ආයතනය අපයෝජනය කරමින් සිටිති.
ප්‍රජාතන්ත්‍රවාදය සාපේක්ෂ සංකල්පයකි. බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ක්‍රමය, ඇමරිකාවෙන් වෙනස් වේ. ඇමරිකාව ලිබියාවේ හෝ ඉරාකයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන වෙහෙසෙන්නේ ඒ රටවල ජනතාව ගැන ඇති ආදරයක් නිසා නොව තෙල් වලට ඇති කෑදරකම නිසා බව අපි දනිමු. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය හරහා අප සියලු දෙනා රාජ්‍ය පාලනයට සහභාගි වනවා යැයි සිතීම විසි එක්වන සියවසේ හොඳම මිත්‍යාවන්ගෙන් එකකි. ලෝකයේ දියුණු රටවල මෙන්ම අපේ පැවති රාජ්‍ය ක්‍රමය තුළද පාලකයා හා ජනතාව අතර ඔය කියන ආකාරයේ ප්‍රෝඩාකාරී සම්භන්ධයක් නොපවති. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය තහවුරු කරමින් වැවු අමුණු ඇති කොට කෘෂි කර්මාන්තය දිරි ගන්වයි නම් රජ කරන්නේ තාත්තද පුතාද ඇවැස්ස මස්සිනා ද යන්න සාමාන්‍ය ජනතාවට වැදගත් ප්‍රශ්නයක් නොවේ. රජුගේ බලය ලෝක සම්මත චාරිත්‍රයන්ට බෞද්ධ ඉගැන්වීමට හා රාජ්‍ය ව්‍යවහාරයන්ට යටත් වේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ නොපැවත්වීම, හෝ එමිරේට්ස්වරුන්ගේ පවුල් පාලනය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංවර්ධනයට හෝ එහි ජනතාවට ප්‍රශ්නයක් වී නොමැත. අනෙක් අතට අප ප්‍රජාතන්ත්‍රවාදය නැමැති තිමිර පටලයක් විශ්වාස කරමින් එහි පැටලෙමින් පාලකයන්ගේ මුග්ධ රැවටීම්වලට ලක් වෙන ජාතියක් බවට පත්ව සිටිමු.
බ්‍රිතාන්‍යයන් විසින් මතුපිටින් අරෝපණය කරන ලද ප්‍රජාතන්ත්‍රවාදී සැරසිලි අපගේ සමාජයට උකහා නොගන්නා බව තේරුම් ගැනීමට අපොහොසත් වීමත් එවැනි සන්දර්භයක් අපට ආවේණික ප්‍රවාදයන් මත නිර්වචනය කිරීමට ඇති නොහැකියාවත් හේතුවෙන් ජාතික ව්‍යාපාරය ජවිපෙ වැනි අර්ධ දක්ෂිණාංශික කොපි කැට් විවේචකයන්ගේ තත්ත්වයට බවට පත්ව ඇත. කොයිතරම් මැන්නත්, බටහිරයන් අපට උරුම කර දී ඇති ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී සමීකරණයේ ප්‍රතිපල එකම වේ.
එසේ නම් ජාතික ව්‍යාපාරයේ කෝදුව කුමක්ද? මේ පවතින දූෂිත බල අරගලයට අපේ විසඳුම කුමක්ද? සතර අගතියෙන් බැහැර වූ, දසරාජ ධර්මය භාවිතාව කර ගත් සතර සංග්‍රහයෙන් ජනයා පිනවන රාජ්‍ය ක්‍රමයකි. අටලෝ දහම, අල්පේච්ඡතවය ගුරු කරගත් සැබෑ බෞද්ධ පාලනයක් වෙනුවෙන් පාලකයා මෙන්ම ජනයාද පෙළගස්වන ජාතික ව්‍යාපාරයක් මිස පිටකවරයට සීමාවූ බෞද්ධ තේමාවන් නොවේ. පරණ ඇඳුමටම අලුත් ආයිත්තම් එල්ලීම වෙනත් ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයකට භාරදි සැබෑ බෞද්ධ ව්‍යාපාරයකට උට්ඨාන වීර්යයෙන් කැපවීම ජාතික ව්‍යාපාරයේ වගකීමයි.
•• නීතිඥ නුවන් බැල්ලන්තුඩාව
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...