පුරවැසි කොලම

පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියා මාර්ගය දුටු විට මට ඇති වූයේ අප්‍රමාණ කනගාටුවකි. අපේ රටේ ගුරුවරුන්ට දක්වන සැලකිල්ල ගැන අමුතුවෙන් කියන්නට දෙයක් නැත. අඩු ම වශයෙන් ලියන්නට කියන්නට වත් දැනුමක් ඇති හැමෝ ම ඒ හැකියාව ලබා ඇත්තේ ගුරුවරුන්ට පින් සිදු වන්නට ය. ගුරුවරුන් කරන්නේ රස්සාවක්, ඒකට වැටුපක් ලැබෙනවා, පින් දෙන්නට දෙයක් නැතැයි ද එසේත් නැත්නම් ගුරුවරුන් කරන සේවයක් නැහැ, ළමයි විභාග පාස් වෙන්නේ ටියුෂන් නිසා යැයි ද මෙය කියවන නරුමයකුට සිතෙන්නට ඉඩ තිබේ. කාලයක් ටියුෂන් ගුරුවරයකු ලෙස කටයුතු කර ඇතත් මට කිසි දාක මගේ ගුරුවරුන් ගැන එසේ නොසිතෙන බැවින් එවැනි නරුම කතා මට අදාළ ම නැත.

ඇත්ත වශයෙන් ම අපේ රටේ පාසල් ගුරුවරයා ගෙවන්නේ උපන් ගෙයි කරුමයකි. තමන්ගේ අධ්‍යාපන සුදුසුකම්වලට ගැළපෙන වෙනත් රස්සාවක් සොයා ගන්නට බැරි වීම නිසා ‘මොකුත් ම නැත්නම් ටීචීං වත්‘ යැයි සිතා ගුරුකමට පැමිණි පිරිසක් සිටින බව ඇත්තක් නමුත් ගුරුවරුන් කරන්නේ උතුම් සේවයකි. එය ඔවුන්ට ලැබෙන වැටුප අනුව තක්සේරු කළ නොහැකි උතුම් සේවයකි. එවැනි සේවයක් වෙනත් කිසි දු රැකියාවකින් කළ නොහැකි ය. එහෙත් අපේ රටේ අද ගුරු වෘත්තිය යනු තෘප්තියක් නැති රස්සාවක් පමණි. ඒ උතුම් වෘත්තිය මජර දේශපාලනය ඉදිරියේ හෑල්ලු වී ඇති තරම දැන් දවස් දෙකකට කලින් කොටුවේ දී රටට ම දැක ගන්නට ලැබුණේ ය.

රටේ වටිනා ම සේවය කරන ගුරුවරයා උපරිම තෘප්තියකින් තමන්ගේ රැකියා ස්ථානයට පැමිණිය යුතු ය. ඔවුන්ගෙන් ඉගෙන ගන්නා දරුවන්ට උපරිම සේවයක් ලැබෙන්නේ ඔවුන් තෘප්තියෙන් සිටින තරමට ය. එහෙත් අද අපේ රටේ ගුරුවරුන්ට එවැනි තෘප්තියක් තිබේ ද? සොච්චම් වැටුපකට වැඩ කරන්නට සිදු වී ඇතිවා සේ ම අද ගුරුවරුන්ට පාසලට ගිය විට ඉගැන්නිල්ලට වඩා කරන්නට අවශේෂ රාජකාරි ගොන්නක් තිබේ. වාර සටහන්, දින සටහන්වලට අමතර ව, වෙනත් වාර්තා, ෆෝම් පිරවිලි ඇතුළු නහුතයක් කඩදාසි රාජකාරි ගුරුවරුන්ට නියම කර ඇත. මේ රාජකාරි ගොන්න ඉටු කරන ගුරුවරුන්ට උගන්වන්නට සහ උගන්වන්නට සූදානම් වන්නට වෙලාවක් තිබේ දැයි සැකසහිත ය. සෙනසුරාදා ඉරිදා දවස්වල පැවැත්වෙන ප්‍රතිඵල ඉහළ නැංවීමේ වැඩමුළුවලට ද සහභාගි විය යුතු ය. ඊට අමතර ව අධ්‍යාපන චාරිකා, ක්‍රීඩා උත්සව ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම් ය. ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයේ නාමයෙන් අද පාසල් ගුරුවරුන්ට අප්‍රමාණ පීඩාවක් විඳින්නට සිදු වී තිබේ.

ගුරු වෘත්තියට අපේ සමාජයේ ඇති සැලකිල්ල කෙබඳු ද? පාලකයන් නම් ගුරුවරුන් දෙස ඇහැක් ඇරලා බලන්නේ නැති බව කවුරුත් දන්නා දෙයකි. පාලකයන් කෙසේ වෙතත් කොට්ඨාසයේ, කලාපයේ පළාතේ අධ්‍යාපන බලධාරීන්ගේ, නිලධාරීන්ගේ අසමජ්ජාති සැලකිල්ලට ද ගුරුවරුන් මුහුණ දිය යුතු ය. එකී බලධාරීන් සහ නිලධාරීන් ගුරුවරුන් ඉදිරියේ හැසිරෙන්නේ අහසින් බැස්සාක් වැනි මහේශාඛ්‍ය ලීලාවකිනි.
එපමණක් නොව අඩු ම වශයෙන් තමන්ගේ ඥාති මිත්‍රාදීන් අතර වත් ගුරුවරයකුට හෝ ගුරුවරියකට වටිනාකමක් තිබේ ද? එවැනි වටිනාකමක් ඇත්නම් ඒ ඔවුන්ගේ රැකියාව නිසා නොව ඔවුන් සතු වෙනත් කුමක් හෝ කුසලාතාවක් නැත හොත් හැකියාවක් ආදී අතුරු වටිනාකමක් නිසා ය.

ගුරුවරුන්ගේ වැටුප් වැඩි විය යුතු බවට විවාදයක් තිබිය නොහැකි ය. එහෙත් මගේ ප්‍රශ්නය වන්නේ ලෙඩ නිවාඩු දම්මා කොටුවට හෝ පිටකොටුවට ගුරුවරුන් ගාල් කරන වෘත්තීය ක්‍රියා මාර්ගවලට තව දුරටත් වලංගුභාවයක් තිබේ ද යන්නයි. වැටුප් විෂමතා පිළිබඳ බී.සී පෙරේරා කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා වූ ගුරු වෘත්තීය ක්‍රියා මාර්ගය සැලසුම් කර තිබුණේ පසුගිය මැයි මාසයට නමුත් සහරාන්ලාට පින් සිදු වන්නට එය කල් දැමීමට සිදු විය. එසේ කල් දමන ලද වෘත්තීය ක්‍රියා මාර්ගය නැවත ක්‍රියාවට නැඟුණේ ගිය සතියේ ය. ජනාධිපතිවරණයක් කැඳවා තිබෙන හෙයින් මේ අවස්ථාව වෘත්තීය ක්‍රියා මාර්ගයට සුදුසු ම වේලාව යැයි වෘත්තීය සමිති නායකයන් සිතුවා ද වන්නට පුළුවන. එහත් එය කෙතරම් තර්කානුකූල ද?

ඒ වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් ලැබුණු පලය කුමක් දැයි මම නොදනිමි. එහෙත් මේ පන්නයේ වෘත්තීය ක්‍රියාමාර්ග වෙනුවට වඩා දියුණු හා පලදායක උපක්‍රම කෙරෙහි වෘත්තීය සමිති නායකයන්ගේ අවධානය යොමු විය යුතු යැයි මම සිතමි. මෙවර මා දුටු සාධනීය ම කාරණය නම් ගුරු වෘත්තීය සමිති එක පෙරමුණකට එක් වී සිටීම පමණකි. එහෙත් ගුරුවරුන්ගේ පෞද්ගලික නිවාඩු අහිමි කරවමින් කරන මෙවැනි වෘත්තීය ක්‍රියා මාර්ග හෝ වැඩ වර්ජනවලින් පාලකයන් අවදි කළ නොහැකි ය. ගුරුවරුන්ගේ වැඩ වර්ජනයකින් ආණ්ඩුවකට කළ හැකි තර්ජනයක් නැත. එබැවින් සාම්ප්‍රදායික හා යල් පැන ගිය වෘත්තීය ක්‍රියා මාර්ගවල සිර වී නොසිට පාලකයන්ට දැනෙන විකල්ප ක්‍රියා මාර්ග නිර්මාණය කර ගන්නට තරම් ගුරු වෘත්තීය සමිති නිර්මාණශීලී විය යුතු බව මගේ අදහසයි.

එමෙන් ම ගුරුවරුන්ගේ ආත්ම අභිමානය ආක්ෂා කර දීම ද වෘත්තීය සමිතිවල වගකීමක් බව මම විස්වාස කරමි. සෑම මාසයක ම අහිංසක ගුරුවරුන්ගේ සොච්චම් වැටුපින් මාසයකට වරක් රුපියල් දෙතුන් සීයක වත් සාමාජික මුදලක් ඩැහැ ගන්නා වෘත්තීය සමිතිවලට තම සාමාජිකයන්ගේ වෘත්තීය ගරුත්වය, ආත්ම අභිමානය රැක දීමේ වගකීමක් නැද්ද? ගුරුවරුන් අධ්‍යාපන බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ පීඩනයට හසු වී සිටින බව මේ වෘත්තීය සමිති දන්නේ නැද්ද? අඩු ම වශයෙන් ගුරු වෘත්තීය සමිතිවලට වත් ගුරුවරුන් ගැන වටිනාකමක් නැද්ද?

පාලකයන් සේ ම වෘත්තීය සමිති කරන්නේත් ගුරුවරුන් රැවටීම පමණක් ද? අවසානයේ නොඅසා ම බැරි ප්‍රශ්නය එයයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More