ස්වාධීන කොමිසමක් යටතේ පැවැත්වෙන ප්‍රථම ජාතික මැතිවරණය වන්නේ මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයයි. මෙරට පැවැති වෙන කිසිදු මැතිවරණයකට වඩා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් බවට මෙවර ජනාධිපතිවරණය පත් කරගැනීමට මැතිවරණ කොමිසමද විශාල වෙහෙසක් දරයි. මෙතෙක් කලක් අත නොගැසූ ඉසව්වලට පවා මැතිවරණ කොමිසම මේ වන විට අත තබා ඇත්තේ එබැවිනි.
මැතිවරණ කොමිසම මෙවර ජනාධිපතිවරණයට වැඩ අල්ලන්නේ එම ඉසව් මොනවාදැයි හොඳහැටි අවබෝධ කරගෙනය. මැතිවරණය ප්‍රකාශයට පත් කරන්නට පෙර සිටම ෆේස් බුක් ඇතුළු සමාජ ජාල ක්රියාකාරිකයන් සමඟ මැතිවරණ කොමිසම අදහස් හුවමාරු කර ගන්නේ ඒ අනුවය. එහිදී මැතිවරණ කොමිසම වැඩි වශයෙන් අදහස් හුවමාරු කරගන්නේ මැතිවරණ සමයේදී ෆේස් බුක් සමාජ ජාලයේ හැසිරීම් ගැනය.
මැතිවරණයකදී ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මඟින් ව්‍යාජ පුවත් මවමින් ඡන්ද දායකයන්ට කරන බලපෑම ගැන පැහැදිලි අවබෝධයක් මැතිවරණ කොමිසමට තිබේ. ඒ නිසාම මැතිවරණ කොමිසම ව්‍යාජ පුවත්වලට වැට බැඳීමට ෆේස් බුක් ජාලයේ කලාපීය ප්‍රධානීන් සමඟද අදහස් හුවමරු කරගත්තේය. ඒ ව්‍යාජ පුවත් මවන ෆේස්බුක් ගිණුම්වලට අනතුරු ඇඟවීමක්ද කරමිනි. එබැවින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ අසත්‍ය සහ අපේක්ෂකයෙකු අගතියට පත් වන තොරතුරු මෙවර මැතිවරණ සමයේදී හුවමාරු නොකරන ලෙසය.
මැතිවරණ සමයේදී රාජ්‍ය මාධ්‍යවල හැසිරීම පාලනය කිරීමට බලයක් මැතිවරණ කටයුතු මැතිවරණ කොමසාරිස්ගේ පාලනයේ සිටම පැවැතියත් පෞද්ගලික මාධ්‍ය පාලනය එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. එහෙත් මැතිවරණ කොමිසම ස්ථාපිත කිරීමත් සමඟ කොමිසමේ සාමාජිකයන් මැතිවරණ සමයකදී පෞද්ගලික මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන්ද උපමාන සකස් කරමින් එය අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධ පත් කරන්නේ මැතිවරණ සමයේදී පෞද්ගලික මාධ්‍යවලට පවා හිතුමතේට දේශපාලනඥයන්ට කඩේ යන්නට ඉඩක් නොතබමිනි.
2017 දෙසැම්බර් 04 වැනිදා දාතමින් 2048/1 අංකයෙන් එම අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කරන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කොමිසමට ලැබී ඇති බලතල ප්‍රකාරවය. 2017 වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් කළ එම මාධ්‍ය උපමාන ගැසට් නිවේදනයෙන් මැතිවරණ කොමිසම ක්‍රියාවට නංවන්නේ මෙවර මැතිවරණයේදීය. එය අනුව විද්‍යුත් මාධ්‍ය සිය ප්‍රවෘත්ති විකාශනවලදීත් දේශපාලන වැඩසටහන්වලදීත් ඒ හා සමාන වෙනත් වැඩසටහන් විකාශය කිරීමේදීත් නිවැරදි, සමතුලිත, අපක්ෂපාතී තොරතුරු මහජනතාවට ලබාදීමට වගබලාගත යුතුය. එහිදී කිසිදු අපේක්ෂකයෙකුට අසාධාරණයක් නොවන මෙන්ම තවත් අපේක්ෂකයෙකුට විශේෂ වාසියක් ඇති වන පරිදි එම වැඩසටහන් විකාශය නොකළ යුතු මෙන්ම පුවත්පත්වල වාර්තා සකස් නොකළ යුතු බව පැහැදිලිවම සඳහන් කර තිබේ.
එම මාධ්‍ය උපමාන කරුණු 32ක් යටතේ වෙන් වෙන්ව පැහැදිලි කිරීමට මැතිවරණ කොමිසම වග බලාගෙන ඇත. එම උපමානවලට පිටින් යම් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් කටයුතු කරන්නේ නම් ඒ අයට එරෙහිව කරන්නේ කුමක්දැයි අනතුරු ඇඟවීමක්ද කරන්නට මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා අමතක නොකළේය. ඒ විද්‍යුත් මාධ්‍ය පෞද්ගලික හිමිකාරිත්වයකට යටත් වූවත් ඒවා විකාශය කරන සංඛ්‍යාත සහ තංරගවල හිමිකාරිත්වය මහජන දේපොළක් බව පෙන්වා දෙමිනි.
එම සංඛ්‍යාතවල හිමිකාරිත්වය සහ පාලන බලය සතුව ඇත්තේ රාජ්‍ය ආයතනයක් සතුව බවද ඔහු කියයි. එමඟින් ඔහු නොකියා අනතුරු අඟවන්නේ කොමිසමේ උපමානවලට පිටින් ක්‍රියා කරන්නේ නම් එම මාධ්‍ය ආයතනවල සංඛ්‍යාත මෙන්ම තරංග සම්බන්ධයෙන් පියවර ගැනීමට හැකියාවක් ඇති බවකි.
එක්සත් ජාතික පක්ෂය විසින් සිය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමේ උත්සවය රජයේ සහ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක සජීවීව විකාශය වෙමින් තිබියදී මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලකට අනුව එම සජීවී විකාශය නතර කරන්නැයි මැතිවරණ කොමිසම කළ පළමු දැනුම් දීමෙන්ම ඒ ගැන දෙවරක් නොසිතා රජයේ රූපවාහිනී ආයතනය මෙන්ම පෞද්ගලික රූපවාහිනී ආයතනයද එම සජීවී විකාශය නතර කරන්නේ ඒ නිසාය. එම සජීවී විකාශය නතර කෙරෙන්නේද ඒ වන විට සජිත් ප්‍රේමදාස මහතා හෝ එක්සත් ජාතික පක්ෂය හෝ අපේක්ෂකයෙකු වෙනුවෙන් අඩුම තරමින් ඇප මුදල් පවා තැන්පත් නොකර තිබියදීය.
මැතිවරණ කොමිසම මෙවර තදින්ම තීරණය කර ඇත්තේ අපේක්ෂකයන් හෝ වෙනත් ඡන්ද දායකයන් සිය ඡන්දය භාවිතා කරන අයුරු ඡන්දය පැවැත්වෙන කාල සීමාව තුළ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ නොකරන්නටය. මැතිවරණ කොමිසම විශ්වාස කරන්නේ මඟින් සිදු වන්නේ ඡන්දය පැවැත්වෙන කාලය තුළ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමක් බවය.
මැතිවරණ කොමිසමේ ලිඛිත අවසරයකින් තොරව කිසිදු මාධ්‍යවේදියෙකුට හෝ මාධ්‍ය ආයතනයකට ඡන්ද මධ්‍යස්ථාවලට ඇතුළු වීමටත් ඡායාරූප ගැනීමටත් වීඩියෝ ගත කිරීමටත් ඉඩ ලබා නොදීමට මැතිවරණ කොමිසම තීරණය කරන්නේ ඒ අනුවය. ඒ සම්බන්ධව දැනටමත් මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර හමාරය. එම නීතිය තැපැල් ඡන්දයටද බලපාන්නේ එක හා සමානවය. එසේම නිසි අවසරයකින් තොරව ලබාගත් ඡයාරූපයක් හෝ වීඩියෝවක් පවා මැතිවරණ කොමිසමේ අවසරයෙන් තොරව විකාශය කිරීම හෝ පළ කිරීමද තහනම්ය.
රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම රාජ්‍ය සේවකයන්ටද මැතිවරණ කොමිසම මේ වන විට අනුගමනය කරන්නේ දැඩි ප්රතිපත්තියකි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරන්නේ දේශපාලන අයිතිවාසිකම් අහිමි වූ කිසිදු නිලධාරියෙකුට ජනාධිපතිවරණයට අදාළව ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලනමය ක්‍රියාවක නිරත විය නොහැකි බවය. එමෙන්ම දේශපාලන හිමිකම් ඇති රාජ්‍ය සේවකයන්ට පවා කාර්යාල වේලාවන්වලදී දේශපාලන කටයුතු වල නිරතවීම තහනම්ය. එසේම රාජ්‍ය දේපොළ අවභාවිතා කිරීම්වලටද මැතිවරණ කොමිසම වැට බැඳ ඇත්තේ කල්තියාමය. රජයේ වාහන සංචිත තොරතුරු පවා මැතිවරණ කොමිසම විසින් එක් රැස් කරන්නේ මැතිවරණයට සූදානම් වෙමින් සිටි මුල් වකවානුවේදීමය.
මැතිවරණ කොමසාරිස්ගේ කාලය මෙන් නොව, දැන් කිසිවෙකුටත් කොමිසම සමඟ සෙල්ලම් කරන්නට නොහැකිය. ඒ නිසාම රජයේ සේවකයන් මෙන්ම දේශපාලනඥයන් ද මැතිවරණ කොමිසමට දක්වන්නේ දැඩි බියකි. ඒ කොමසාරිස්ගේ පාලනයට වඩා වැඩි බලතලයක් කොමිසම සතුව පවතින බැවිනි. මැතිවරණ සමයේදී දේශපාලනඥයන් විසින් සිය දේශපාලන කටයුතු සඳහා රාජ්‍ය දේපොළ භාවිතා කිරීම් පාලනය කිරීමටත් වැළැක්වීමටත් කොමිසම වගබලාගන්නේ වගකීම් රාජ්‍ය නිලධාරියාට පවරමිනි.
වෙන කිසිදු මැතිවරණයක දකින්නට නැති ආකාරයට මෙවර මැතිවරණයේදී මෙතෙක් රාජ්‍ය දේපොළ අවභාවිතා වන අයුරු දකින්නට නැත්තේ මැතිවරණ කොමිසමේ එම දරදඬු පාලනය හේතු කොටගෙනය. මැතිවරණ කොමිසම මේ වන විටත් පැහැදිලිවම රාජ්‍ය නිලධාරීන්ට ඒ බව දැනුම් දී ඇත්තේ යම් වැරදි ක්‍රියාවක් සිදු වුවහොත් දෙවරක් නොසිතා වැඩ තහනම් කිරීමට නොපැකිළෙන බවට වූ අනතුරු ඇඟවීමක්ද කරමිනි.
මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ඡන්දය ලබාගැනීමේ අරමුණින් කෙරෙන සංග්‍රහ කිරීම්, චාරිකා රැගෙන යෑම්, තෑගිබෝග මෙන්ම මිල මුදල් වැනි අල්ලස් දීම් සැලකෙන්නේ ඡන්ද දායකයන්ට කෙරෙන අයුතු බලපෑම් ලෙසිනි. අනියම් සහ ආදේශක සේවකයන් ස්ථීර කිරීමේ කටයුතුවලට පවා විටෙන් විට මැතිවරණ කොමිසම බලපෑම් කරන්නේද ඉන් සිදු වන්නේ මැතිවරණ නීතිය උල්ලංඝනය වීමක් නිසාය.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරන්නේ ආගමික වැඩසටහන් මඟින් කෙරෙන අපේක්ෂකයන් ප්‍රවර්ධනයද ඡන්දදායකයාට කෙරෙන අයුතු බලපෑමක් බවකි. පූජනීය ස්ථාන තුළ ජනපති අපේකෂකයන් මුල් කරගෙන කෙරෙන ආගමික වැඩසටහන් මෙන්ම පවත්වන රැස්වීම් පවා සැලකෙන්නේ මැතිවරණ වැරදි ලෙසිනි. විහාරස්ථානයක පැවැත්වෙන පින්කමක් අතරතුර හෝ පල්ලියක පැවැත්වෙන දේවමෙහෙයක් අතරතුර හෝ අපේක්ෂකයාගේ නම සඳහන් කරමින් ඔහු ජනපති වේවා යැයි හඬ නඟා කෙරෙන ප්‍රාර්ථනය පවා අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමකි. ඒවා අයුතු බලපෑම් බැවින් මැතිවරණ කොමිසම ආගමික නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මැතිවරණ නීති උල්ලංඝනය කෙරන එවන් ක්‍රියාවල නිරත නොවන ලෙසටය.
මැතිවරණ කොමිසමට අනුව භික්ෂූන් වහන්සේ නමක් අපේක්ෂකයෙකුගේ අතෙහි පිරිත් නූලක් බඳිමින් ඔබ ජනාධිපති වේවා යැයි පැවැසීමද සැලකෙන්නේ මැතිවරණ වැරැද්දක් ලෙසිනි.
මැතිවරණ කොමිසම සඳහන් කරන ආකාරයට අනුව ජනපති අපේක්ෂකයෙකුට කාර්යාල 12806ක් දිවයින පුරා පිහිටුවීමට අවස්ථාව හිමිය. ඒ දිවයින පුරා පිහිටි ඡන්ද කොට්ඨාස සියල්ල සහ ඔහු පදිංචිව සිටි නිවසද ඇතුළුවය. මෙවර අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වන බැවින් එක් ඡන්ද කොට්ඨාසයක උපරිම කාර්යාල 35ක්වත් විවෘත වෙනු ඇත. ඒ අනුව බලන කල රටපුරාම ජනපති අපේක්ෂක කාර්යාල ලක්ෂ හතර හමාරකට ආසන්න ප්‍රමාණයක් විවෘත වෙනු ඇත. එය ඉතිහාසයේ වැඩිම ජනපති අපේක්ෂක කාර්යාල ගණනකි. එය සුළු පටු ගණනක් නොවේ.
එබැවින් එම කාර්යාල පවත්වාගෙන යා යුතු පිළිවෙළක්ද මැතිවරණ කොමිසම අපේකෂකයන්ට දැනුම් දී තිබේ. වෙනත් අපේකෂකයන්ට එම කාර්යාල බදු දීම මෙවර සපුරා තහනම්ය. අපේක්ෂකයාගෙන් පිට වෙනත් අපේක්ෂකයන්ගේ ඡායාරූප සහ ඡන්ද සලකුණු ප්‍රදර්ශනයද තහනම්ය. කාර්යාලය ඉදිරිපිට සැරසිලි කරමින් වෙන දා මෙන් යකා නටන්නට පවා මෙවර අපේක්ෂකයන්ට ඉඩක් නැත. කොඩි කණු පවා තුනකට වඩා කාර්යාලය ඉදිරිපිට සවි කළ නොහැකිය.
එසේම පෙළපාළි මුළුමනින්ම තහනම්ය. ගෙයින් ගෙට යා හැකි වන්නේද අපේක්ෂකයා ඇතුළු එකොලොස් දෙනෙකුට පමණි. ඊට වඩා ගමන් කරන්නේ නම් එය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි.
කොමිසමේ උත්සාහය මෙවර පොලිතින්වලින් තොර මැතිවරණයකි. පොලිතින් භාවිතයෙන් වැළකෙන්නැයි මැතිවරණ කොමිසම මේ වන විටත් සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක්ද කර ඇත්තේ පරිසර ආරක්ෂක වැඩපිළිවෙළක් ලෙසිනි. මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණය අවසන්ව සතියක් ඉක්ම යන තුරු පෙළපාළි තහනම් බවය.
අපේක්ෂකයන්ට මෙවර නීති මාලාවක්ම දමන මැතිවරණ කොමිසම එම නීති අපේක්ෂකයන් අනුගමනය කරන්නේ දැයි සොයා බැලීමටද යාන්ත්‍රණයක් සකස් කර ඇත. ඒ මැතිවරණ කොමිසම සහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් යටතේ ඇති වීඩියෝ කණ්ඩායම් යොදා ගනිමිනි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්ෂකයන්ට සිය අපේක්ෂකත්වය පවා මෙවර අහිමි විය හැකි බවය. එපමණක් නොව, අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය පවා අහිමි වීමේ අවකාශ ඇතැයිද ඔහු පෙන්වා දෙන්නේය. මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරන්නේ ගෝලයන් ඡන්ද නීති කැඩුවත් අවසන් ප්‍රතිඵලය භුක්ති විඳින්නට සිදු වන්නේ අපේක්ෂකයාට බවය.
මැතිවරණය සමඟ බද්ධ වී ඇත්තේ ප්රචණ්ඩත්වයයි. මෙතෙක් ඉතිහාසයේ පැවැති සෑම මැතිවරණයක් අවසානයේදීම ප්‍රචණ්ඩත්වයට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වූයේ දණ්ඩනීති සංග්රහයෙනි. එහෙත් මෙවර මැතිවරණ කොමිසම සූදානම් වන්නේ දණ්ඩනීති සංග්‍රහයට අමතරව මැතිවරණ පනතින්ද මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නටය. ප්‍රජා අයිතිය අහිමි කිරීමට හැකියාව ලැබෙන්නේ මැතිවරණ පනතින් ක්‍රියාත්මක වීමේදීය.
මැතිවරණ පනතට අනුව හොර ඡන්ද දැමීම්, ඡන්ද පත්‍රිකා විනාශ කිරීම් ආදී ඡන්ද වැරදි සම්බන්ධයෙන් දඬුවම වසර දෙකකට නොවැඩි සිර දඬුවමක් සමඟ වසර 07 ක ප්‍රජා අයිතිය අහිමි කිරීමකි. අල්ලස් දීම්, සංග්‍රහ කිරීම්, අයුතු බලපෑම් කිරීම් වැනි වැරදි මැතිවරණ පනතට අනුව වර්ග කෙරෙන්නේ දූෂණ ක්‍රියා ලෙසිනි. ආගමික ස්ථාන කේන්ද්‍ර කරගනිමින් සිදු වන මැතිවරණ ප්‍රචාර අයත් වන්නේ දූෂණ ක්‍රියා ගොන්නටය. ඊට වැරදිකරුවෙකු වන තැනැත්තෙකුට හිමි වන්නේ රුපියල් 300ක දඩයක් සහ වසර තුනක ප්‍රජා අයිතිය අහිමි වීමකි.
ප්රවෘත්තිපත්රවල අසත්‍ය වාර්තා හා ප්‍රකාශන මුද්‍රණ කටයුතු සම්බන්ධ වැරදි ඇතුළත් වන්නේ නීති විරෝධි ක්‍රියා ගණයටය. මැතිවරණ පනතට අනුව ඒ සම්බන්ධයෙන්ද වැරදිකරුවෙකු වූ තැනැත්තෙකුට හිමි වන්නේ රුපියල් 300ක දඩයක් සමඟ වසර තුනක ප්‍රජා අයිතිය අහිමි වීමක් පමණි.
පොලිසිය සඳහන් කරන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන් වරෙන්තුවක් නැතිව අත්අඩංගුවට ගැනීමට හැකි බවය. එබැවින් මෙවර මැතිවරණයේදී වෙනත් කිසිදු මැතිවරණයක නැති ආකාරයේ ආරක්ෂක පියවර රැසක් ගෙන ඇති බව පොලීසිය පැත්තෙන් සඳහන් වේ. මේ ලියන මොහොත වන විටත් සියල්ල සාමකාමීය. නීතියට වංගු දාන්නට එන අය ඇත්තේ නැති තරම්ය. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්ද ඇත්තේ ඉතා පහළම අගයකය. මැතිවරණ කොමිසමේ බලවත්කමත් පොලිස් කොමිසමෙන් පොලීසියට ලැබී ඇති රැකවරණයත් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පොලීසිය මෙහෙයවන ආකාරයත් ඊට මුල් වී ඇති බව පැහැදිලිය. එය රටේ අනාගතයට සුබ ලකුණක් වනු නිසැකය.
Dinamina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...