විදේශ පුවත්

පසුගිය දිනවල දිග හැරුණු ජාත්‍යන්තර දේශපාලන සිදුවීම් අතරින් විශාල අවධානයක් යොමු වූ සිදුවීමක් වූයේ 21 වැනි සඳුදා පැවැති කැනඩා මහා මැතිවරණයයි. මෙයට පෙර 2015 වසරේ පැවැති මැතිවරණයේ දී විශිෂ්ට ජයක් හිමි කරගනිමින් එරට අගමැති ධුරයට පත් තරුණ නායකයෙකු වූ ජස්ටින් ටෲඩෝ මෙවරත් සිය ජනප්‍රියත්වය රඳවා ගැනීමට සමත් වේවි ද යන්න මෙහිදී බොහෝ දෙනෙකු කුතුහලයෙන් යුතුව බලා සිටි කාරණයක් විය. මේ අතර ඇතැම් දේශපාලන නිරීක්‍ෂකයින් ගේ අදහස වී තිබුණේ ඔහු සමහර විට මෙවර පරාජය වීමට පවා ඉඩ ඇති බවයි. 2015 වසරේ බලයට එද්දී ටෲඩෝ ලබා දුන් සමහර පොරොන්දු ඉටු කිරීමට ඔහු අපොහොසත් වීම සහ යම් යම් අක්‍රමිකතා පිළිබඳ එල්ල වූ චෝදනා නිසා ජනතාව අතර ඔහු කෙරේ යම් අප්‍රසාදයක් ගොඩ නැගී ඇති බවට පිළිගැනීමක් විය.

කෙසේ හෝ වේවා, සඳුදා රාත්‍රියේ මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් වෙද්දී දැකගත හැකි වූයේ තරුණ නායකයා තව දුරටත් සිය බලය රැක ගැනීමට සමත්ව සිටින බවයි. නමුත් විශේෂත්වයක් වූයේ 2015 වසරේ තරම් විශාල ජයග්‍රහණයක් හිමි කරගැනීමට මෙවර ඔහු සමත්ව නොසිටීමයි. කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගැනීමට ඔහුගේ ලිබරල් පක්‍ෂය මෙවර සමත්ව නැති අතර මේ නිසා ඔහුට පිහිටුවීමට සිදුව ඇත්තේ සුළුතර ආණ්ඩුවකි.

කැනඩා පාර්ලිමේන්තුව මන්ත්‍රී මණ්ඩල දෙකකින් සමන්විත වේ. එනම්, සෙනෙට් මණ්ඩලය (ඉහළ මන්ත්‍රී මණ්ඩලය) සහ ‘හවුස් ඔෆ් කොමන්ස්’ (House of Commons) යනුවෙන් හැඳින්වෙන පහළ මන්ත්‍රී මණ්ඩලයයි. මැතිවරණයෙන් තෝරා ගැනෙන්නේ එහි පහළ මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිතයින්ය. මෙම මන්ත්‍රී මණ්ඩලයේ සම්පූර්ණ ආසන ගණන 338 කි. යම් පක්‍ෂයක් හෝ සන්ධානයක් හෝ ආණ්ඩුවක් පිහිටුවීමට නම් එහි ආසන 170කට වඩා දිනාගත යුතුය. නමුත් ටෲඩෝ ගේ ලිබරල් පක්‍ෂයට හිමිව ඇත්තේ ආසන 157ක් පමණි. (2015 මැතිවරණයේ දී ඔහුගේ පක්‍ෂය ආසන 184ක් දිනාගත්තේය.) මේ අනුව මෙවර ඔහුගේ පක්‍ෂයට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාවක් නොමැත.

මැතිවරණයේ දී සිදුව ඇති තවත් විශේෂ සිද්ධියක් වී ඇත්තේ රටේ සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් දිනාගෙන ඇත්තේ ටෲඩෝගේ පක්‍ෂය නොවීමයි. ඔහුගේ පක්‍ෂයට ඡන්දය දී ඇත්තේ ආසන්න වශයෙන් ලක්‍ෂ 59ක ඡන්දදායකයින් පිරිසක් පමණි. නමුත් ලිබරල් පක්‍ෂයේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ කොන්සර්වේටිව් පක්‍ෂය ආසන්න වශයෙන් ඡන්ද ලක්‍ෂ 62ක් ලබාගෙන තිබේ. එහෙත් ආසන වශයෙන් ගත් කල ලිබරල් පක්‍ෂය වැඩි ආසන ගණනක් දිනාගෙන ඇති බැවින් මැතිවරණයේ ජය ඔවුන් සතුව තිබේ. (කොන්සර්වේටිව් පක්‍ෂයට හිමිව ඇත්තේ ආසන 121 ක් පමණි)

මැතිවරණ ප්‍රතිඵල අනුව කැපී පෙනෙන කාරණා කිහිපයක් වෙයි. එකක් නම් වාමාංශික නැඹුරුවකින් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ ආසන ගණන අඩු වී තිබීමයි. 2015 දී ඔවුන් ආසන 39ක් දිනාගැනීමට සමත් වුවත් මෙවර ඔවුන්ට හිමිව ඇත්තේ ආසන 24 ක් පමණි. මේ අතර කැනඩාවේ කියුබෙක් (Quebec) නැමැති පළාතට වැඩි නිදහසක් හිමි කරගැනීමට සටන් කරන ‘බ්ලොක් කියුබෙක්වා’ නැමැති ජාතිකවාදී පක්‍ෂය ඉහත වාමාංශික පක්‍ෂයට වඩා කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමි කරගෙන සිටියි. ඔවුන් ආසන 32 ක් දිනාගෙන සිටින අතර මෙහි ඇති විශේෂත්වය වන්නේ ඔවුන් තරග කළේ කියුබෙක් පළාත තුළ පමණක් වීමයි. 2015 වසරේ මෙම පක්‍ෂය හිමි කරගෙන සිටියේ ආසන 10 ක් පමණි. මෙවර ඔවුහු තුන්වැනි තැනට පත්ව සිටිති.

කැනඩා මැතිවරණයේ දී ජනතාවගේ අවධානය දිනාගත් ප්‍රධාන කාරණා අතර පාරිසරික සහ කාලගුණික අර්බුදය මුල් තැනක් දිනාගත්තේය. මෙම අර්බුද ජයගැනීම වෙනුවෙන් ටෲඩෝ දී තිබූ ඇතැම් පොරොන්දු ඉටු කිරීමට ඔහු මුළුමනින් සමත් නොවූයේය යන්න ඔහුට එරෙහිව නැගුණු ප්‍රධාන චෝදනාවක් විය. විශේෂයෙන් ‘ට්‍රාන්ස් මවුන්ටන් තෙල් නළ ව්‍යාපෘතිය’ නැමැති ව්‍යාපෘතියකට ඔහු සහය දැක්වීම පරිසර හිතකාමීන් ගේ විරෝධය ඔහු වෙත එල්ල වීමට බල පෑ බව පිළිගැනේ. ඛණිජ තෙල් දහනය සැලකෙන්නේ පරිසර දූෂණයට බලපාන ප්‍රධානම සාධකයක් ලෙසිනි. එවැනි තත්ත්වයක් තිබියදී තවදුරටත් ඛණිජ තෙල් පරිභෝජනයට යොමු වීම ගැටලුකාරී කාරණාවක් ලෙස සැලකිණි. මේ අතර යම් යම් අක්‍රමිකතා පිළිබඳ චෝදනා ද ටෲඩෝ වෙත එල්ල විය.

දූෂණ චෝදනා එල්ල වී තිබූ එක්තරා පෞද්ගලික සමාගමකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේ දී එයට ඔහු බලපෑම් කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාව විශාල ආන්දෝලනයක් ඇති කළේය. එමෙන්ම මැතිවරණය ආසන්නයේ ඔහුගේ ජනප්‍රියත්වය පහත හෙළීමට හේතු වූ තවත් බරපතළ සිද්ධියක් සිදුවිය. එනම් කලකට පෙර ඔහු අධ්‍යාපන ආයතනයක ගුරුවරයෙකු ලෙස කටයුතු කළ කාලයේ විවිධ ප්‍රසංගයක් වැනි අවස්ථාවක මුහුණ කළු පාටින් වර්ණ ගන්වාගෙන රඟ දක්වන ආකාරය රැගත් පැරණි ඡායාරූප වාගයක් ප්‍රසිද්ධියට පත් වීමයි. මේ ආකාරයෙන් මුහුණ කළු කරගෙන රඟදැක්වීම සැලකෙන්නේ කළු ජාතික ජනයාට අපහාස කිරීමට යොදා ගන්නා කටයුත්තක් වශයෙනි. ජාතිවාදය වැනි අගතීන්ගෙන් තොර, ලිබරල් නායකයෙකු ලෙස සිය ප්‍රතිරූපය ගොඩ නගා ගෙන සිටි ටෲඩෝ ගේ එම ප්‍රතිරූපයට මෙයින් බරපතළ හානියක් සිදු විය.

කෙසේ හෝ වේවා, මේ වනවිට ටෲඩෝ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වෙනත් පක්‍ෂ සමග සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඔහුගේ අවධානය යොමු වනු ඇත්තේ ආසන 24 ක් දිනාගෙන සිටින නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය වෙතය. වාමාංශික නැඹුරුවක් සහිත මෙම පක්‍ෂය රටේ සාමාන්‍ය ජනයාට බලපාන ප්‍රශ්න කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ පක්‍ෂයකි. අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස, ප්‍රවාහනය වැනි කාරණාවල දී සාමාන්‍ය ජනතාවට දරන්නට සිදුවන වියදම් අඩු කිරීමත්, එම සේවාවන් හි ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීමත් ඔවුන්ගේ ප්‍රතිපත්ති අතර කැපී පෙනිණි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එසේ තිබියදීත් මෙවර පක්‍ෂය ජනතාවගෙන් තරමක් ප්‍රතික්‍ෂේප වී තිබීමයි. කෙසේ නමුත් ටෲඩෝට බහුතරයක් නොලැබුණු තත්ත්වය තුළ රටේ නායකයා කවුද යන්න තීරණය කිරීමේ දුරස්ථ පාලකය මෙම පක්‍ෂයට ලැබී ඇති අයුරු දැකිය හැකි වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය සම්බන්ධයෙන් ඇති තවත් විශේෂ කාරණයක් නම් එහි නායකයා වන ජග්මීත් සිං ඉන්දියානු සම්භවයක් සහිත පුද්ගලයෙකු වීමයි. ඔහුගේ මව්පියන් කලකට පෙර ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ සිට කැනඩාවට සංක්‍රමණය වූවන් බව සඳහන් වේ. කැනඩාවේ ‘රජුන් තැනීමේ බලය’ ඉන්දියානු සම්භවයක් සහිත කෙනෙකුට හිමිව ඇති බව පසුගිය දිනවල ඉන්දියානු මාධ්‍ය අවධාරණය කර තිබෙනු ද දැකිය හැකි විය. මේ අතර ජග්මීත් සිං පවසා ඇත්තේ තම පක්‍ෂයේ ඉහත කී ජනතා හිතවාදී ප්‍රතිපත්තිවලට සහය දීමට ටෲඩෝ සූදානම් නම් ටෲඩෝ ගේ පක්‍ෂයට සහය දීමට තමුන් ද සූදානම් බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More