පුරවැසි කොලම

රට ඉල්ලන ජනපති

October 30, 2019 9:51 am | Lanka Lead News

එළැඹෙන නොවැම්බර් 16 වැනිදා ශ‍්‍රී ලාංකිකයන්ට නව ජනාධිපතිවරයකු පත් කරගැනීමට අවස්ථාවක් උදාවේ. ඒ වසර පහක ධුරකාලයක් සඳහා ය. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහ වුවත් ඒ කාලය තුළ ඔහුගේ දේශපාලන ප‍්‍රතිපත්ති සහ ඔහු ගනු ලබන තීරණ අනුව ලාංකිකයන්ගේ වර්තමානය සහ අනාගතය තීරණය වේ. බොහෝවිට ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීමට ඉඩ ඇත. සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයෙන් බලය ලබා ගන්නා අපේක්‍ෂකයා නියෝජනය කරන දේශපාලන පක්‍ෂය හෝ සන්ධානය බොහෝවිට මහමැතිවරණයේ දී බහුතර පාර්ලිමේන්තු බලයක් ලබා ගනු ඇත. පසුව පාර්ලිමේන්තු බහුතර ඡුන්දයෙන් අගමැතිවරයකු තෝරා පත් කර ගැනේ.

ලංකාවේ දැනට පවත්නා ව්‍යවස්ථා ප‍්‍රතිපාදනය අනුව රටේ නායකයා වන්නේ ද කැබිනට් මණ්ඩලය, මෙහෙයවීමේ බලය පවතින්නේ ද ජනාධිපතිවරයාට ය. ඒ අනුව ජනාධිපතිවරයාගේ නායකත්වය, ඔහුගේ දේශපාලන ප‍්‍රතිපත්ති සහ ඔහුගේ ආණ්ඩුවේ දේශපාලන තීරණ රටේ ද ජනතාවගේ ද පැවැත්ම කෙරෙහි සෘජුවම බලපානු ලබයි. එබැවින් දැනට ඉදිරිපත් වී ඇති අපේක්‍ෂකයන් අතරින් වඩාත් උචිත, ප‍්‍රායෝගික වැඩපිළිවෙළක් සහ ප‍්‍රතිපත්තියක් සහිත තැනැත්තා රටේ නායකත්වය සඳහා තෝරාගත යුතුය. ඒ අනුව ලාංකිකයන් සිය මවුබිම වෙනුවෙන් ජනාධිපතිවරණයේ දී ඉතා වටිනා ආයෝජනයක් කරනු ඇතැයි යන්න අපගේ හැඟීමයි.

රටේ නායකයා දාර්ශනිකයෙකු විය යුතු නැත. නමුත් නායකයාට සිය දේශපාලන ප‍්‍රතිපත්ති සහ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දර්ශනයක් තිබිය යුතුය. රටේ නායකයා සිංහයකු මෙන් එඩිතර විය යුතු නැත. නරියකු මෙන් කපටි විය යුතු ද නැත. නමුත් රටේ සියලූ ජනතාවට නායකයා ළඟ ආරක්ෂාවක් තිබිය යුතුය. ඒ අනුව ලංකාවේ නම්, සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනවර්ගවලට අයත් ජනතාවට බියෙන් තොරව ආරක්‍ෂිතව සිය කටයුතු කරගෙන යාමේ පරිසරය නව නායකයා විසින් සම්පාදනය කරවිය යුතු ය. ඕනෑම ව්‍යවසනකාරී අවස්ථාවක දී නායකයා සිය ප‍්‍රජාවේ ආරක්‍ෂාව උදෙසා පෙරට එන්නෙකු විය යුතු ය.

ලෝක දේශපාලනයේ දී හමුවන සුවිශේෂී නායකයෙකි ඒබ‍්‍රහම් ලින්කන්. ඔහු ලෝකයේ දැනට බිහි වූ විශිෂ්ටතම මානවවාදී නායකයන් අතරින් කෙනෙකි. අසාර්ථකත්වයෙන් ජීවිතය ආරම්භ කළ ද සාර්ථකත්වයෙන් ජයග‍්‍රාහී ලීලාවෙන් සිය ගමන අවසන් කළ අයෙකි ලින්කන්. වර්තමානයේ ද ලින්කන් සතුව පැවති නායකත්වයේ ගුණාංග සහ මානවවාදී සිතැඟියාවන් පිළිබඳව ලෝක මට්ටමින් අවධානය යොමුවී ඇත. ලින්කන්ගේ වෛවර්ණ, අලංකාරික ඡුායාරූප නැත. ලින්කන් මනස්කාන්ත රූප ස්වභාවයක් සහිත අයෙක් ද නොවේ. රූප ස්වභාවයක් රහිත අයෙක් ද නොවේ. නමුත් ලින්කන් නායකයෙකු වශයෙන් පතළ කළ දේශපාලන දර්ශනය ප‍්‍රජාව පිළිබඳ ඔහුගේ චින්තනය තවමත් ලොව තුළ ඉතිරිව ඇත.

ලින්කන් කිසිවිටෙක සිය ජනතාව ඉදිරියේ වහසිබස් දෙඩුවේ නැත. තමා ගැන අධි තක්සේරුවෙන් කතා කළේ ද නැත. සිය ප‍්‍රජාව රැුවටීමේ අදහසින් බොරු පොරොන්දු දුන්නේ ද නැත. කෙටියෙන් ම කියතොත් ලින්කන් ස්වකීය ලාභ ප‍්‍රයෝජන පිණිස සිය ප‍්‍රජාව ‘ඇන්දුවේ’ නැත.

ලින්කන් ජනමාධ්‍ය හමුවේ බොරු කිව්වේ නැත. වරක් ජනමාධ්‍යවේදියෙක්් ලින්කන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ඇසුවේ ය.

මාධ්‍යවේදියා : ජනාධිපතිතුමා, ඔබගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද?

ලින්කන් : අසම්පූර්ණයි. මම පාසලකට අඩියක් තියාවත් නැත. නමුත් ගණන් එකතු කරන්න, අඩු කරන්න, බෙදන්න පුළුවන්. මා තුළ පවතින අවශ්‍යතාව මගින් මට වුවමනා දේ මගේ දැනුම ගබඩාවේ තැන්පත් කර ගනිමි.

තමා ලැබූ අධ්‍යාපනය පිළිබඳව බොරු සහතික ඉදිරිපත් කරන සහ සිය සුදුසුකම් පිළිබඳ ඇත්ත කීමට මැලිවන අපේ රටේ පාලකයන්ට ලින්කන් වැනි නායකයන් මහත් ආදර්ශයක් සපයයි.

ලොව පහල වූ ශ්‍රේෂ්ඨ නායකයෙකි නෙල්සන් මැන්ඩෙලා. ඔහු කළු හමක් සහිත අප‍්‍රිකානුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සුදු ජාතික අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළේ ය. සිය ජීවිතයට විවිධ බාධා පැමිණිය ද ඔහු සටන අතහැරියේ නැත. අධිරාජ්‍යවාදී පාලකයෝ මැන්ඩෙලා සිරගත කළහ. වධ බන්ධනයට ලක් කළහ. නමුත් මැන්ඩෙලා සිය සටන අත් නොහැරියේ ය. අවසානයේ මැන්ඩෙලාගේ සටන ජයග‍්‍රහණයෙන් කෙළවර විය. එය අප‍්‍රිකානු කළු ජාතිකයන්ගේ පමණක් නොව ලොව සමස්ත කළු ජාතිකයන් විසින් ලද ජයග‍්‍රහණයකි. එය හිංසාවට එරෙහිව අවිහිංසාව ලද ජයග‍්‍රහණයකි. අවනීතියට, දූෂණයට එරෙහිව ශිෂ්ටත්වය, මනුෂ්‍යත්වය ලත් ජයග‍්‍රහණයකි. මේ ජයග‍්‍රහණ සියල්ල මානව ශිෂ්ටාචාරයේ සදානුස්මරණීය වන්නේ මැන්ඩෙලාගේ ජීවිතයේ දහඩිය, කඳුළු මෙන් ම අනන්ත කැපකිරීම් පරිත්‍යාගයන් ආදී සියල්ල මේ අරගලය මුවහත් කළ බැවිනි.

මැන්ඩෙලා සිය ජනතාව ඉදිරියේ අභීතව ප‍්‍රකාශ කළේ සියල්ල අහිමි වී ගිය ද, කෙතරම් බාධක පැමිණියද සිය අභිමතාර්ථ සඵල වන තුරු අරගලය අත්නොහැරිය යුතු බවයි. ඔහු සිය ජනතාවට ධෛර්වන්ත බව ඉගැන්වූයේ ය. ඉවසීම ඉගැන්වූයේ ය. මානව දයාව ඉගැන්වූයේ ය. නායකයකු සතු විය යුතු ජනතාවාදී බව ඉගැන්වූයේය.

‘මා ගැලවුම්කරුවකු නොව සාමාන්‍ය මිනිසෙක් විලස අති සුවිශේෂ තත්ත්වයන් යටතේ නායකයකු වූවෙමි.’

‘සමහර දේශපාලනඥයන් මෙන් නොව මම වරද භාරගැනීමට සූදානම් වූවෙක්මි.’

අප රටේ නායකයන්ට මැන්ඩෙලාට මෙන් අරගලයෙන් දිනා ගත යුතු දෙයක් නැත. ඉංග‍්‍රීසි ජාතිකයන් අපට භාර කළේ ආර්ථික වශයෙන් යම් සංවර්ධනයක් සහිත රටකි. නමුත් නිදහසින් පසු බලයට පත් සියලූ දේශපාලන නායකයන් හා ආණ්ඩු අපගේ ආර්ථික සංවර්ධන උපාය මාර්ග නිවැරදිව හඳුනා නොගත්තේ ය. මේ කිසිවෙකුට අප ලැබූ නිදහස, කළමනාකරණය කරගැනීමට නොහැකි විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් නිදහසින් පසු අපට ඉතිරිවූයේ අස්ථාවර බව පමණකි. මේ අස්ථාවරත්වය සංවර්ධන බාධාවක් වූයේ ය. ජන ජීවිතය ව්‍යාකූල කළේය. රට අවුලෙන් අවුලට පත් කළේය. ඒ නිදහසින් පසු ශ්‍රේෂ්ඨ ජනනායකයකු හෝ පාලන තන්ත‍්‍රයක් අප රට තුළ ස්ථාපිත නොවූ බැවිනි. දේශපාලන දර්ශනයක් සහිත ජනනායකයන් පාලනයට නොපැමිණි බැවිනි. ඒ මැන්ඩෙලා, ලින්කන්, මාවෝ සේතුං, ශ‍්‍රී නේරු වැනි ජනතාවාදී නායකයන්, දූරදර්ශී ජනනායකයන් අප රටේ නොසිටි බැවිනි.

ලින්කන් කිසිදා, සිය දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගත්තේ නැත. දේශපාලන සතුරන්ට මෙන් ම විවේචකයන්ට එළව එළවා පහර දෙන්නට ගියේ නැත. යුද බිමේ සතුරන්ට පවා ලින්කන් සමාව දුන්නේ ය. රාජ්‍ය පාලනයේ දී සෙසු නිලධාරීන්ගේ අඩුලූහුඬුතා දෙස අනුකම්පාවෙන් බැලූවේ ය. ඇතැම් දූෂිතයන්ගේ ක‍්‍රියා හමුවේ ඉවසිලිවන්ත විය. විශේෂයෙන් ම ලින්කන් සිය ජනතාව සමග සිටියේ ය. කිසිම ගැටලූවක දී පාලකයකු වශයෙන් ලින්කන් ජනතාව හැර නොගියේය. ප‍්‍රජාවේ අවශ්‍යතා දැන ඔවුන් වෙනුවෙන් ලින්කන් සැමදා කටයුතු කළේ ය.

ලින්කන් සමග එකඟ නොවූ නිතර ලින්කන්ගේ ක‍්‍රියා පටිපාටිය විවේචනය කළ හමුදා ජෙනරාල්වරයකු එවක ඇමරිකානු හමුදාවේ සිටියේ ය. ඒ බව දත් ලින්කන් එකී නිලධාරියාට උසස් වීමක් ලබා දී හමුදාව මෙහෙය වීම ද පැවරුවේ ය. දේශපාලනමය වශයෙන් ලින්කන්ගේ සතුරෙකුට හමුදාවේ වගකීම පැවරීම ගැන ඇතමෙක් ලින්කන්ගෙන් ප‍්‍රශ්න කළහ.

‘රටේ පවතින සිවිල් යුද්ධය දිනා ගැනීම සඳහා අවශ්‍ය නම් ජෙනරාල්වරයාගේ තොප්පිය වුව ද අල්ලා සිටීමට මම සූදානම්’ ලින්කන් පැවසීය.

ඒ කිසිවිටෙක තමාට ප‍්‍රතිවිරුද්ධ මත පාලනය කිරීමට හෝ ඒවා පතුරුවන අය මර්දනය කිරීමට ලින්කන් කටයුතු නොකළේ ය. ලින්කන්ලාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ. බලයේ සිටින අයට බලය ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් පසුවන අයට ද ලින්කන් මහත් ආදර්ශයකි.

ජනතාවට තමන් සමීප බව හැඟවීම සඳහා ලින්කන් කිසිවිටෙක තුට්ටුදෙකේ වැඩ කරන්නට ගියේ නැත. ජනාධිපති මන්දිරයේ නොඉඳ සිය නිවසේ පදිංචියට ගොස් තමා ජනහිතකාමියෙකු යැයි ඔප්පු කිරීමට ද වෙහෙස ගත්තේ නැත. මිනිසුන් අතර සිටින ඡුායාරූප ගෙන ඒවා විශාල මුදලක් යොදවා ජනමාධ්‍ය, පෝස්ටර්, බැනර් වැනි ක‍්‍රමවේදවලින් ප‍්‍රදර්ශනය කර තමා ජනහිතකාමියකු යැයි ප‍්‍රසිද්ධ කිරීමට ලින්කන් කිසිවිටෙක ක‍්‍රියා නොකළේය.

දිනක් ලින්කන් සිය රථයේ ගමන් කරමින් සිටියේ ය. රථය ධාවනය වූයේ සෙමින් ය. ලින්කන් දුටු එරට වැසියෙක් ලින්කන්ට ආචාර කළේය. මෙය දුටු ලින්කන් තමා පැළඳ සිටි හිස්වැසුම ගළවා ඔහුට ද ආචාර කළේය.

එවිට ලින්කන්ගේ රියැදුරා ‘ජනාධිපතිතුමනි, ඔබ මේ රටේ මුල් පුරවැසියා. ඔබ මෙලෙස මිනිසුන්ට ආචාර කිරීමට පෙළඹෙන්නේ ඇයි? එය ඔබට නොගැළපෙන දෙයක් ’ යැයි ලින්කන්ට පැවසුවේය. එවිට ලින්කන්ගේ පිළිතුර වූයේ ‘අප ආචාරධර්ම අතින් ද ගුණගරුක බව අතින් ද කිසිවෙකුට දෙවැනි විය යුතු නැත යන්නයි.’

මෙවැනි සිදුවීම් ලින්කන්ගේ ජීවිතය පුරා පවතියි. එහෙයින් ඕනෑම ක්ෂේත‍්‍රයක නායකත්වය හොබවන්නෙකුට ලින්කන්ගේ ජීවිතයෙන් ලබා ගත හැකි ආදර්ශයන් අති මහත් ය. මේවා කෘතී‍්‍රමව ගොතන ලද ප‍්‍රබන්ධ යැයි කෙනෙකුට තර්ක කිරීමට පිළිවන. නමුත් කතාවක් ගෙතීමට වුව ද යම් සාධාරණ මූලයක් පැවතිය යුතුය.

නමුත් අප අභිමුවේ සිටින පාලකයන්ට එවැනි මූලයන් නැත. ඇතැම්විට ඔවුහු කතාවට පමණක් දක්ෂයෝ වෙති. කැමරාව ඉදිරියේ පමණක් මානවවාදියෙක් සේ පෙන්වීමට කටයුතු කරයි. සිය ජීවිතයේ ඇතුළාන්තයෙන් ම සිය ප‍්‍රජාවේ උන්නතිය උදෙසා කැප වී නොමැත. ඔවුන්ට දයාවන්ත බව, කරුණාව වෙළඳ ලකුණක් :ඔර්ාැ ඵ්රන* පමණි.

‘වංචා සහගත, දූෂිත පිරිමියෙකු හෝ ගැහැනියක රටෙහි හෝ ආයතනයක ප‍්‍රධානී තනතුරට පත් වූ විට එම ආයතනය හෝ රට පරිහානියට පත්වන්නේ යැයි අංගුත්තර නිකායේ කුල සූත‍්‍රයේ සඳහන් වේ. එසේම රටේ පාලකයා අධාර්මික වූ විට සමස්ත රාජ්‍ය ක‍්‍රියාවලිය පමණක් නොව ඊට සම්බන්ධ පුද්ගලයන් ක‍්‍රමානුකූලව අධාර්මිකත්වයට පත් වේ. එපමණක් නොව වාතය, සුළඟ මෙන් ම සොබා දහම, වන වගාවන් ආහාරපාන යනාදී සියල්ල දූෂණය වේ. එම ආහාරපාන අනුභව කරන ප‍්‍රජාව අල්පායුෂ වෙති. දුර්වර්ණ වෙති. බොහෝ ආබාධ සහිත අය වෙති.’ මේ පිළිබඳ ඉතා පුළුල් විග‍්‍රහයක් අංගුත්තර නිකායේ අධම්මික සූත‍්‍රයේ දැක්වේ.

මෙයින් පැහැදිලි වන්නේ කුමක්ද? යහපත් ජනසමාජයක් ආහාරපානවලින් පෝෂිත රටක්, නිරෝගිමත් ජනතාවක් සඳහා රාජ්‍ය පාලකයා ධාර්මික විය යුතු බවයි.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී දේශපාලන දර්ශනයක් සහිත, සංවර්ධන උපාය මාර්ග හඳුනාගත් සැබෑ ජනහිතකාමියකු තෝරා ගැනීමේ අවස්ථාව ඡුන්දදායකයන්ට විවර වේ. රටට අවශ්‍ය වන්නේ දේශපාලන විවේචකයෙකු නොව රට ගොඩනැගීමේ නිරවුල් වැඩපිළිවෙළක් සහිත නායකයෙකි. රටට අවශ්‍ය වන්නේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඊනියා උගතුන්ගේ පදයට නටන නායකයකු නොවේ. රටට අවශ්‍ය වන්නේ ස්වාධීනව ස්වකීය චින්තනය මෙහෙය විය හැකි නායකයෙකි. රටට අවශ්‍ය වන්නේ තම දේශපාලන අනුගාමිකයන් ජනතාව තලා පෙළා පීඩාවට පත්කරන තුරු ඒ දෙස ඔහේ බලා සිටින නායකයකු නොවේ. රටට අවශ්‍ය වන්නේ හැම කෙනාගේම වරද වරද වශයෙන් දැකිය හැකි නිසරු දේ බැහැර කළ හැකි නිදහස් මතයක් සහිත නායකයෙකි.

දැනට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී ඇති අය අතුරෙන් ඉහත කී හැකියාවන්, දක්ෂතා මෙන් ම ගුණගරුක බව සහිත අයෙකු මීළඟ ජනාධිපතිවරයා වශයෙන් තෝරාගැනීම ඡන්දදායකයාගේ වගකීමකි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්‍ෂ
ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
කැලණිය විශ්වවිද්‍යාලය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More