‘කුලයට මූලිකව විරෝධය දක්වා පරාජය කිරීමට නොහැකි දෙමළ ජාතිකවාදය හුදු දෙමළ හැඟීම මගින් පමණක් කුල පීඩිත ජනයාව එක් රැස් කර ගැනීමට උත්සාහ කළේය. අධ්‍යාපනය ලැබූ නැතහොත් ඉහළ තත්ත්වයට පත් වූ සමහර කුල පීඩිතයෝ එයට ආධාර කරමින් එක්වූහ. එවැනි අයටත් දෙමළ ජාතිකවාදී දේශපාලනය තුළ සීමිත ස්ථානයක් පමණක් ලබා දී තිබූ බව භාවිත සත්‍යයකි’.
වට්ටුක්කූට්ටේ සිට මුලතිව් දක්වා, 19 වෙනි පිටුව, එස්. කේ, සොන්දිවේල්, පුදිය නීති ප්‍රකශන, 2019
යාපනයේ ඡන්ද හසුරුවන්නන් මෙතෙක් ඉදිරියේ පැමිණෙන ජනාධිපතිවරණයේදී ඡන්දය දිය යුත්තේ කාටදැයි මෙතෙක් නිවේදන කර නැත. ඒකාබද්ධ පෙරමුණකට ගොනුවී සිටින මේ උතුරු පළාතේ ඡන්ද හසුරුවන්නන් ඉල්ලීම් 13 ඉදිරිපත් කර ඇතත් මේ දක්වා ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම එම ඉල්ලීම් පිළිනොගනිමින් උතුරේ ලක්ෂ අටකට නොඅඩු ඡන්ද තමන්ගේ ගොඩට එකතුකර ගැනීම මග හරිමින් සිටින්නේය. මේ වතාවේ සිංහල නොවන ඡන්දවලට යම් බලයක් යොදමින් සිටින ජනතා විමුක්ති පෙරමුණ මේ ඉල්ලීම්වලින් කීපයක් ගැන පමණක් සලකා බැලීමට කැමැත්ත ප්‍රකාශයට පත්කර තිබේ. එයින් අදහස් වෙන්නේ ජවිපෙ වැනි තෙවැනි බලවේගයක් පවා ඉල්ලීම් 13 ගෙඩිය පිටින් භාර නොගන්නා බවකි. දැනට මේ ඉල්ලීම් දහතුන පිළිගැනීමට එකඟ වී සිටින්නේ එක්සත් සමාජවාදී පක්ෂය හා එහි ජනාධිපති ධුර අපේක්ෂක සිරිතුංග ජයසූරිය පමණි. නමුත් උතුරේ දෙමළ නායකයන් ප්‍රධාන පක්ෂයකට මිස වෙන කිසිදු අපේක්ෂකයකුට හෝ පක්ෂයකට උතුරේ දෙමළ ඡන්ද දීමේ අනුමැතිය නොදෙනු ඇත.
ලබන 17 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේදී මේ උතුරු පළාතේ මැතිවරණ දිස්ත්‍රික්ක දෙකකට [යාපනය හා වන්නි] අයිති ඡන්ද කුටිටියක් හැටියට සැලකීම බරපතළ වරදක් බව පෙන්වීමය මේ ලිපියේ මූලික අරමුණ. උතුරු පළාතේ ඡන්දවලින් සියයට 95ක්ම දෙමළ ජනයාගේ ය. එයින් සියයට 74 හින්දුවරුන්ගේ ඡන්දය. සියයට 20ක් දෙමළ ක්‍රිස්තියානි හෝ දෙමළ, කතෝලික ඡන්දය. නමුත් මේ ඡන්ද ලක්ෂ අට තුළ යාපන වෙල්ලාල නොවන කුල ඡන්ද ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් පවතින්නේය. බොහෝ විට කඳුකරයේ දෙමළ ඡන්ද හෙවත් උතුරේ වෙසෙන මලයග මක්කල්වරුන්ගේ ඡන්ද ලක්ෂයක් පමණ මේ කුට්ටියේ මිශ්‍රවී තිබෙන නිසා උතුරේ ඇති වෙල්ලාල නොවන සෙසු කුල ඡන්ද ප්‍රමාණය ලක්ෂ තුනෙන් ඉහළට යන්නේය. අනෙක් අතට දෙමළ ඩයස්පෝරාවේ සිටින වෙල්ලාලයන් ප්‍රමාණයද සියයට 70 කට නොඅඩු නිසා උතුරේ වෙල්ලල කුල ඡන්ද ප්‍රතිශතය සාම්ප්‍රදායික ප්‍රතිශතයෙන් පහළට බසින්නේය.
උතුරු පළාතේ වෙල්ලාල [ගොවි] නොවන සෙසු කුල ජනගහනය එහි මුළු ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වේ. නමුත් මේ සෙසු කුල කණ්ඩායමට වතුකරයෙන් සංක්‍රමණය වී එහි වෙසෙන සෙසු කුලවලට අයත් ජන කණ්ඩායමට ම අයත් වුවත් අවුරුදු 70 පමණ වන මේ සංක්‍රමිකයන්ගේ ඉතිහාසය තුළ ජනගහන වාර්තාවල ඔවුන්ගේ පැවැත්ම නියෝජනය කරන්නේ නැත. දසලක්ෂයකට අධික උතුරු පළාතේ දෙමළ ජනගහනය තුළ ලක්ෂයක් පමණවන මේ කඳුකරයෙන් පැමිණි ජනයා කුල පීඩිත හෙවත් සෙසු කුල ජනයාගේ ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් යුද්ධ කාලයේ දී මෙන්ම ඉන් පසුවද ඔවුන්ගේ පැවැත්ම හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.
ලංකාවේ උඩරට හා පහතරට ගොවි කුලයේ මෙන්ම උතුරු වෙල්ලාල කුලයේද අනු කුල හෙවත් එකම කුලය තුළ තට්ටු කීපයක් පවතින්නේය. එහි ප්‍රධාන බෙදීම් දෙක හැටියට පෙරිය වෙල්ලාෙල [ඉහළ වෙල්ලාල] හා චින්න වෙල්ලාල [ පහත් වෙල්ලාල] නම් කෙරෙන්නේය. මේ පෙරිය වෙල්ලාල හෙවත් ඉහළ වෙල්ලායන් අතරේ ශෛව වෙල්ලාල හා කොවියත්ති ආණ්ඩුවර් වෙල්ලල [කොවියර්වරුන් පාලනය කරන වෙල්ලාල] ප්‍රධානය. මේ අතරවාරයේ තමිල්නාඩුවේ සිටින වෙල්ලාල කුලය අනුව ස්වකීය වෙල්ලාල භාවයේ අනන්‍යතාව කියන වෙල්ලාලවරුද උතුරු පළාතේ සිටිති. ඒ අරුනාට්ටු වෙල්ලාල, කර්කතාර් වෙල්ලාල, කෝන්ගු වෙල්ලාල හා චොසියා වෙල්ලාලය. මෙය හරියටම උඩරට පළාත්වලදී උඩරට ගොවි කුලය රදල හා පට්ටි යන ආකාරයට කර ගන්නා බෙදීමට සමානය.
යාපනයේදී ශෛව වෙල්ලාලයෝ බ්‍රාහ්මණ කුලයක් නැති යාපනයේදී බ්‍රාහ්මණයන් සේ හැසිරෙති. නමුත් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කාන්තා අංශයේ නායිකාව තමිලනී සටහන් තබා ඇති ආකාරයට කොටි කාන්තා බළකායේ සිටි බ්‍රාහ්මණ කුලයේ තරුණියන් දෙදෙනෙක් ගැන තබන සටහන් අනුව කොටි සංවිධානයේ නායකයන් පවා කුලය කෙරේ සංවේදී වූ ආකාරය හඳුනා ගත හැකිය. විශේෂයෙන් කොටි සංවිධානයේ නායකයන් වැඩිදෙනෙක් පැමිණ සිටියේ කරයර් හෙවත් කරාව කුලයෙන් වුවත් ඔවුන් වැඩි දෙනෙක් විවාහ වූයේ වෙල්ලාල තරුණියන් සමගය. ප්‍රභාකරන්ගේ බිරිඳ මෙන්ම කිට්ටු, තමිල් චෙල්වම්, සුසෙයි ඇතුළු සියලුම නායකයන් විවාහ වී සිටියේ යාපනයේ වෙල්ලාල කුල තරුණියන් සමගය.
දෙමළ සටන්කාමී සංවිධාන අතරින් වෙල්ලායන්ට නායකත්වය හිමිවී තිබුණේ ඊරෝස්, ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ් බඳු සංවිධානවල පමණි. මේ සංවිධානවල කාඩර්වරු බහුතරයක් සෙසු කුලවලට අයත් වූහ. විශේෂයෙන්ම පරයර් කුලයේ තරුණ පිරිස් වැඩිපුරම සිටියේ ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයටය. මේ නිසා යාපනයේ වෙල්ලාලයෝ ඊලත්ති පරයර් විමුක්ති පෙරමුණ නමින් එයට අවමන් කිරීමට පුරුදු වී සිටියහ. කොටි සංවිධානය 1990 දී ඉන්දියානු හමුදා පිටත්වීමත් සමග සෙසු සටන්කාමී සංවිධානවල නායකයන් හා බලවත් ක්‍රියාකාරීන් සමූල ඝාතනය ඇරඹූ විට එම පක්ෂවල පහළ ස්ථර කණ්ඩායම් පිටින් කොටි සංවිධානයට එකතු වුණේය. සහෝදරයන් මරා දැමූ මේ සමූල ඝාතනයන් තුළ කරයර් කුලය හා වෙල්ලාල කුලයේ සටන කැපී පෙනුණේය.
අවාසනාවට පැරණි වමේ ව්‍යාපාරය පසුබැස ගිය පසු උතුරේ සෙසු කුල හෙවත් කුල පීඩිතයන්ගේ ඡන්ද වෙනුවෙන් වැඩපිළිවෙළක් කොළඹ මූලස්ථානය කරගත් ප්‍රධාන දේශපාලන පක්ෂවලට තිබුණේ නැත. ඔවුන්ට කුල අනුව තබා පංති අනුවවත් උතුරේ ඡන්ද හඳුනා ගැනීමට හෝ ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළක් තිබුණේ නැත. මෙය හරියටම ඉන්න යකාට සොහොන්පිටිය අත්හැරීම වර්ගයේ දේශපාලන ප්‍රතිපත්තියක් වූයේය. සෙසු පළාත්වල දී තමන්ගේ කුල නියෝජිතයාට ඡන්දය දීමේ නිදහස මේ ‘සොහොන් යකා’ ප්‍රතිපත්තිය නිසා උතුරේ ජනයාට නොලැබුණේය. එල්.ටී.ටී.ඊ. පාලනය තුළදී පාලකයාත්, දේශපාලන නියෝජිතයාත් තීරණය කළේ කොටි සංවිධානයයි. සෙසු කාලවලදී උතුරේ දෙමළ ජනයාගේ නියෝජිතයා තීරණය කළේ වෙල්ලාල කුලවතුන්ට අයිති දේශපාලන පක්ෂවල නායකත්වය විසිනි. මේ නිසා ඡන්දය දීම වර්ජනය කිරීම ඒ මොහොතේ උතුර දේශපාලනිකව පාලනය කරන දේශපාලන ප්‍රභූන්ගේ අයිතියක් මිස එහි වෙසෙන ජනයාගේ අයිතියක් නොවේ.
නමුත් එන්. ෂන්මුගදාසන් නායකත්වය දුන් මාක්ස් ලෙන්නින්වාදී කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය හා ෂන්මුගදාසන්ගේ දේශපාලන උරුමය ඉදිරියට ගෙනයන නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මේ යාපන දේශපාලනය වෙනස් කිරීමට දැරූ උත්සාහය වසන් කිරීම බරපතළ වැරැද්දකි. අද දක්වාම කුල පීඩිතයන්ට වැසුණු කෝවිල්වල දොරවල් අරින්නට ඉදිරියට ගියේ මේ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ය. ඔවුන්ට වැසුණු සොහොන් පිටිවල සටන් කළේත් මේ පක්ෂවල සමාජිකයන්ය. අනෙක් සියලුම සටන්කාමී සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ ද උතුරේ කුල පීඩිතයන්ට කීවේ ඊළම හැදූ දවසට කුල බේදය අවසන් කරන බවකි. මේ පොරොන්දුව මිරිඟුව පසුපස ජලය සොයා යාම වුවත් වෙනත් විසඳුමක් ඊයේ තබා හෙටටත් උතුරේ දෙමළ ජනයාට නැත.
මේ වනවිට දෙමළ ජාතිකවාදයට ගැළපෙන වඩාත් ආකර්ෂණීය සටන් පාඨ හා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්නේ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයයි. එහි වර්තමාන නායකයා පිය උරුමයෙන් නායකත්වය ගත් ශෛව වෙල්ලායකු වූ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ය. දෙමළ කොංග්‍රසයේ අවුරුදු 76 ඉතිහාසය තුළ එහි නායකත්වයට ශෛව වෙල්ලාලයන් නොවන කිසිවෙක් පත්වී නැත. ලංකාවේ වෙසෙන බලවත් දේපළ හිමි මේ පොන්නම්බලම් පවුල උතුරේත් දකුණේත් අක්කර දහස් ගණනකට හිමිකම් කියන්නේය. කොළඹ කුවීන්ස් පාරේ ඇති පොන්නම්බලම් පවුලේ කොළඹ නිවසේ නිවසේ ඇති බෙන්ස් කාර් එකතුව 14කි. එම එකතුව දෙවැනි වන්නේ අක්බාර් පවුලේ බෙන්ස් කාර් එකතුවට පමණි. යාපන වලව්වේ වෙසෙන විට ගජේන්ද්‍ර කුමාර් දෙමළ විමුක්තිකාමියාට උයන ආහාරවල ඉතිරිය ඔහුට සේවය කරන වෙල්ලාලවරුන්ට පවා ආහාරයට ගැනීම තහනම්ය. මේ පවුලේ සාමාජිකයන් ආහාර වැළඳූ පසු සෙසු ආහාර සතුන්ටත් නොදමා වළලා දැමිය යුතු බව තතු දන්නෝ පවසති. නමුත් මේ මොහොතේ යාපනයේ උගතුන්ගේද ප්‍රභූ පංතියේද නායකයා වී සිටින්නේ මේ පොන්නම්බලම් පවුලේ ඔටුන්න හිමි කුමාරයාය.
මේසා කටුක දේශපාලන ගමනක අවසානයේ දෙමළ ජාතිකවාදයේ නායකත්වය යළි ප්‍රභූ කුල නායකයන්ටම හිමිවීම බරපතළ දේශපාලන සරදමකි.
උතුරේ වෙල්ලාල කුලවතුන් හැමදාමත් විශ්වාස කළේ තමන් ලෝකයේ වෙසෙන කුලීනම දෙමළ ජන කණ්ඩායම හැටියටය. ඔවුහු භාෂාවෙන් ද පැවැත්මෙන්ද ඉන්දියාවේ වසන දෙමළ ජනයාට වඩා ප්‍රභූවරු බව පෙන්නූහ. නැගෙනහිර පළාතේ දෙමළ ජනයා හැමදාමත් පැමිණිලි කළේ නැගෙනහිර පාලනයට ග්‍රාමසේවකගේ පටන් දිසාපති දක්වාත්, කපුරාලගේ පටන් බිෂොප් දක්වා වූ නායකයන් එන්නේ යාපනයෙන්ය යන කාරණයයි. උතුරු නැගෙනහිර දෙපළාත වෙන්කිරීම නැගෙනහිරට පළාත් සභාවක් ලැබීම මුක්කරහල් නමින් හැඳින්වෙන නැගෙනහිර කුලීනයන්ට යම් සහනයක් ලැබුණේය. එහෙත් විමුක්තිය පතා උතුරට ගිය වතුකරයේ ජනයාට ඊළාම් විමුක්ති සටන වෙනුවෙන් සමානව බිලිවීම හැර වෙනත් විමුක්තියක් ලැබුණේ නැත. ඔවුහු තවමත් තෝට්ටකාරණ හෙවත් වත්තේ එවුන් යන අපහාස නාමය විඳින පීඩිතයෝය.
මේ වෙනවිට ජී.ජී. පොන්නම්බලම් පවුලේ දේපළ හා දේශපාලන අනුප්‍රාප්තිකයා දෙමළ ජාතිකවාදයේ නව වීරයා බවට පට්රහ් වෙමින් සිටියත් 1948 පුරවැසි පනතින් දස ලක්ෂයක් වතුකම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කිරීමේ කටයුත්තේ එක් නායකයෙක් බව මේ පනත නිසාම උතුරට සංක්‍රමණය වූ වතුකරයේ දෙමළ ජනයාට සිහිපත්වන බවක් පෙනෙන්නට නැත. ඒ වගේම උතුරු පළාතේ ලක්ෂයකට අධික මේ ජනයාට පාර්ලිමේන්තුවේ තබා පළාත් සභාවකවත් නියෝජනයක් නොදෙද්දී ඔවුන්ට ලබා ගත හැකි නියෝජනයක් නැත.
මේ ආකාරයට කුල අනුවත් ප්‍රදේශවාදය අනුවත් බෙදුණු උතුරේ ඡන්ද ජාතික දේශපාලනයට ගෙන ඒමට දීර්ඝ හා කල්පනාකාරී දේශපාලන වැඩපිළිවෙළක් සැකසීම තනා ගැනීම පාර්ලිමේන්තු දේශපාලනය විශ්වාස කරන නායකයන් ගේ වගකීමකි. මන්ද ලංකාවට ඉන්දියාවෙන් ආනයනය කෙරුණු කුලවාදයෙන් ඉන්දියාවේ කුලපීඩිතයන් පමණටම බැට කන්නෝ උතුරේ දෙමළ කුල පීඩිතයෝය. උදාහරණයක් හැටියට 1974 පමණ යාපන සරසවිය අරඹද්දී කුල පීඩිතයන් මතු වීමේ අනතුර දුටු බියට පත් වෙල්ලාලයෝ යාපන සරසවිය උතුර සිංහලකරණයේ හා කොළඹ බුද්ධි බලය යාපනයේ පිහිටුවීමක් හැටියට හඳුනා ගෙන එයට ස්වකීය බලවත් විරෝධය පළ කළහ. මේ විරෝධය කොතෙක් දුර ගියේද කිවහොත් මුලින් පටන් ගැනුණු ලංකා විශ්ව විද්‍යාලයේ යාපන මණ්ඩපයේ ප්‍රධානියා වූ මහාචාර්ය කෛලාසපතිගේ යාපනයේ මනිපායි මහ ගෙදරට බෝම්බ ප්‍රහාරයක් පවා එල්ල කෙරුණේය. නමුත් යාපන මණ්ඩපය සරසවියක් කෙරෙද්දී මේ කුලවාදී නායකයෝම එහි උපකුලපති හැටියට ශෛව වෙල්ලාලයකු වූ මහාචාර්ය එස්. විද්‍යානන්දන් ජේ.ආර් ජයවර්ධන ජනාධිපති ලවා පට්රහ් කරවාගෙන වංශය කබල් ගා ගැනීමට අමතක නොකළහ.
මෙබඳු කුල හා ප්‍රාදේශීයවාදයන්ගෙන් භේද කෙරුණු ඡන්ද දස ලක්ෂයකට පිවිසෙන්නට උපායයන් ජයග්‍රාහී සිංහල අපේක්ෂකයාට තිබේද? ඔහු මේ බෙදී වෙන්වූ ඡන්දවලින් බහුතරයක් දිනා ගැනීමට කවර වර්ගයක ජාතික දේශපාලනයක් ක්‍රියාවට නගනු ඇත්ද? මේවාට පිළිතුරු ඇත්තේ ප්‍රධාන පක්ෂ දෙකේ ක්‍රමෝපායවාදීන්ටය. ඔවුන් අතරේ යළිත් යාපන වෙල්ලාල කුලවාදියෙක් බින්න බැස සිටියොත් එයම අපේක්ෂකයාගේ පරාජයට හේතු වනු ඇත. අනෙක් අතට උතුරේ ජනයාට ඡන්ද වර්ජනය අලුත් දෙයක් නොවේ. මෑත ඉතිහාසයේ ඔවුන් ඡන්ද වර්ජනය පටන් ගත්තේ 1981 සංවර්ධන සභා ඡන්දයේදීය. වර්ජනය අස්සේ ඡන්ද පෙට්ටි කොල්ලකෑම අවසන් වූයේ පොත් අනූපන්දහසක් තිබූ යාපන පුස්තකාලය කොළඹින් ගිය ජයවර්ධනගේ මැරයන් ගිනි තැබීමෙනි. 2005 ජනාධිපතිවරණ වර්ජනය එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ මරණය හතර අවුරුද්දකින් ළං කළේය. මේ තතු නිසා ලංකාවේ වෙසෙන දෙමළ ජනයා පමණක් නොව බහුතර සිංහල ජනයා ද තමන් විශ්වාස කරන දේශපාලන මත අනුව පොදු ජාතික දේශපාලන වැඩපිළිවෙළක් තනා ගැනීම දෙපාර්ශ්වයේම දේශපාලන සෞඛ්‍ය යහපත් වීමට හේතු වනු ඇත.
නන්දන වීරරත්න
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...