පුරවැසි කොලම

ගෝලීය උණුසුම හේතුවෙන් දැනටමත් ධ‍්‍රැවගත අයිස් දියවෙමින් පවතී. මෙම ජලය එකතු වන්නේ සාගර වලටය. එහි ප‍්‍රතිඵලය ලෙස සාගර ජල මට්ටම ඉහළ යයි.
ඉන් පසු සිදු වන්නේ මුහුද ගොඩ ගැලීමයි.

එය මාලදිවයින, ශ‍්‍රී ලංකාව වැනි දූපත් වැසියන්ට අනතුරුදායකය. ඒ අනුව පරිසරයට මුදාහරින කාබන් පාලනය කිරීමට එනම්, වායු දූෂණය වැළැක්වීමට ඒ මගින් ගෝලීය උණුසුම පාලනයට දායකවීමට ශ‍්‍රී ලංකාව ද අවදානමට ලක්ව ඇති රාජ්‍යයක් ලෙස දැඩි කැපවීමෙන් කටයුතු කරමින්,

පූර්ව ආරක්ෂණ ක‍්‍රියාමාර්ගයන් සලස්වා ගත යුතුය.

සමකාලීන ගෝලීය සමාජය දේශපාලන, සමාජ, ආර්ථික හා සංස්කෘතික වශයෙන් මුහුණ දෙන අභියෝග අතර තීරණාත්මක අභියෝගයක් එල්ල වන්නේ නූතන පාරිසරික ගැටලූව ඔස්සේය. වත්මන් මානව ක‍්‍රියාකාරකම් ඔස්සේ ප‍්‍රබල ලෙස පරිසරයේ සිදුව ඇති හායනයන් හේතුවෙන් ස්වභාවික පාරිසරික සමතුලනය බිඳ වැටීමට ලක්වීමෙන් ගෝලීය ජෛව පැවැත්ම බරපතළ අවදානමකට ලක් වී ඇත. ජෛව යහ පැවැත්මට අහිතකර ලෙස බලපාන ප‍්‍රධානතම පාරිසරික ගැටලූවක් වී ඇත්තේ ‘ගෝලීය උණුසුම’ (Global Warming) ඉහළ යෑමත් ඒ නිසා ඇති වන ‘දේශගුණ විපර්යාසයත්’ ය((Climate Change) එය 2030 වන විට ලෝක සමාජය විසින් අත් කර ගත යුතු තිරසර සංවර්ධන අභිමතාර්ථ ජය ගැනීමට ද බාධාවකි.

වායු දූෂණය (Air Pollution) ගෝලීය උණුසුම ඉහළ යෑමට බලපාන ප‍්‍රධානතම සාධකයයි. ශාක වලට, සත්වයන්ට මෙන්ම මනුෂ්‍යයාට හා අජීවි වස්තූන්ට අනිෂ්ට විපාක ඇති කරවන වාතයෙහි භෞතික, රසායනික හා ජෛවී ලක්ෂණයන්ගේ ඇතිකරවන වෙනස් වීමක් ‘වායු දූෂණය’ යනුවෙන් හැඳින්වේ. නූතන කාර්මීකරණය හා ලිබරල් වෙළෙඳපොළ ක‍්‍රමය ඔස්සේ සිදුවන බහුවිධ නිෂ්පාදන මාදිලි මගින් ප‍්‍රධාන වශයෙන් වායු දූෂණය සිදුවන අතර, මේ ආකාරයෙන් දිගින් දිගට වායු දූෂණය සිදුවීමෙන් ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 2 කින් ඉහළ ගියහොත් ගෝලීය සමාජයට දරුණු විපාක වලට මුහුණ දෙන්නට සිදු වන බැවින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ට හෝ ඊටත් අඩු මට්ටමක පවත්වා ගත යුතු බව ජාත්‍යන්තර පරිසර විද්වතුන්ගේ මතයයි. ඒ අනුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමට බලපාන ප‍්‍රධානතම සාධකය වන ‘වායු දූෂණය’ පසුගිය ලෝක පරිසර දින තේමාව ලෙස ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) කටයුතු කළේය.

ගෝලීය කාලගුණ අවදානම් දර්ශකය (Global Climate Risk Index) මගින් සිදු කරන්නේ කාලගුණ විපර්යාසයන් ලෝකයේ එකිනෙක රටවලට බලපාන ආකාරය මිණුම් කිරීමයි. 2018 නොවැම්බර් මස නිකුත් වූ එහි නවතම වාර්තාව මගින් 2017 වර්ෂයේ කාලගුණ විපර්යාස වල අහිතකර බලපෑමට ලක් වෙමින් වැඩිපුරම විපතට පත් රටවල් 10 අතර 2 වැනි තැනට ලංකාව පත් වී ඇත. කාලගුණ විපර්යාස මගින් රටට කොතරම් බලපෑමක් කර ඇත්දැයි මෙමගින් පැහැදිලි වන අතර, අනාගතය පිළිබඳ යම් ආකාරයක භීතියක් ද දනවනු ලැබ ඇත.

ගෝලීය උණුසුම හේතුවෙන් දැනටමත් ධ‍්‍රැවගත අයිස් දියවෙමින් පවතී. මෙම ජලය එකතු වන්නේ සාගර වලටය. එහි ප‍්‍රතිඵලය ලෙස සාගර ජල මට්ටම ඉහළ යයි. ඉන් පසු සිදු වන්නේ මුහුද ගොඩ ගැලීමයි. එය මාලදිවයින, ශ‍්‍රී ලංකාව වැනි දූපත් වැසියන්ට අනතුරුදායකය. ඒ අනුව පරිසරයට මුදාහරින කාබන් පාලනය කිරීමට එනම්, වායු දූෂණය වැළැක්වීමට ඒ මගින් ගෝලීය උණුසුම පාලනයට දායකවීමට ශ‍්‍රී ලංකාව ද අවදානමට ලක්ව ඇති රාජ්‍යයක් ලෙස දැඩි කැපවීමෙන් කටයුතු කරමින්, පූර්ව ආරක්ෂණ ක‍්‍රියාමාර්ගයන් සලස්වා ගත යුතුය. තවත් විදියකට කියන්නේ නම් ‘කාලගුණික සරණාගතයන්’ නොවන්නට වග බලා ගත යුතුය. ලොව සෙසු රටවල් හා බලන විට ගිනි කඳු, භූමි කම්පා, ස්වභාවික විපත් අවම පතිරූපදේශයක් ලෙස කියැවුණු මෙරටට අද අත් වී ඇති ඉරණම ඛේදජනකය. පූර්ව අවධානයෙන් තොරව සිට ආපදාවක් සිදුවීමෙන් අනතුරුව සංරක්ෂණ පියවර ගැනීමට වෙහෙසීම ජාතික අනන්‍යතාවක් බව කාලයක සිට ප‍්‍රකට කර ඇති බැවින්, එම අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් මිදීමට අදාළ වගකිව යුතු අංශ මෙන්ම අප සැම ක‍්‍රියා කළ යුතුය.

පෘථිවිය, වායුගෝලය හා දූෂණය

පෘථිවිය, වායුගෝලයෙන් ආවරණය වී ඇත. ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයට ආසන්නව රැුඳී ඇති වායු අණුවලින්ද සමන්විතය. වායුගෝලයේ නයිට‍්‍රජන් 78% ක්, ඔක්සිජන් 21% ක් හා ආගන් 0.9 % ක් අන්තර්ගත වන අතර, ක‍්‍රිප්ටන්, කාබන්ඩයොක්සයිඞ් ආදී වායු සුළු ප‍්‍රමාණයක් ද , ජල වාෂ්ප, දූවිලි අංශු විවිධ ප‍්‍රමාණ වලින් ද යුක්ත වේ. මතුපිට පස්, මුහුදු ජලය, ගිණිකඳු ක‍්‍රියාකාරීත්වයෙන් පිටවන අංශු හා වායු වර්ග හේතු කරගෙන ස්වභාවිකව වායු දූෂණය සිදු වන අතර, බරපතළ ලෙස වායු දූෂණය සිදු වන්නේ මානව ක‍්‍රියාකාරීත්වය; එනම් රථවාහන හා කර්මාන්තශාලා දුම් වලින්, පොසිල ඉන්ධන දහනයෙන් පිට වන විමෝචන වලින්, නාගරික හා ගෘහස්ථ ඝන අපද්‍රව්‍ය පිළිස්සීමෙන් එනම්; ප්ලාස්ටික් නිෂ්පාදන පිළිස්සීමෙන්, පිටවන විමෝචන වලින්, සංවර්ධන ක‍්‍රියාවලියේදී හෝ අලූත්වැඩියා කිරීම් වලදී ඇති වන දූවිලි අංශු වලින්ය.

දර දහනය, සිගරට් දුම, ඉසුම්කාරක, ගෘහ භාණ්ඩ අලවන පෝමැල්හයිඞ්, ග‍්‍රැනයිට් වලින් නිකුත් වන රේඩෝන් වායුව, මදුරු දඟර, හඳුන්කූරු දැල්වීමෙන් ආදී වශයෙන් සිදු වන ගෘහස්ථ වායු දූෂණ තත්ත්වයන් ද මෙහිදී සඳහන් කළ හැකිය. රථවාහන දුම මෙන්ම මාර්ග සංවර්ධනය වායු දූෂණ තත්ත්වය වැඩි කරන ප‍්‍රධාන සාධක වේ. වාහන දුම්, ලිහිසි තෙල් තුළ ඇති සංඝටක, වාහන රෝද හා තිරිංග පද්ධති, නිසි ලෙස වාහන නඩත්තු නොකිරීම, දැඩි වාහන තදබදය, දූෂිත තත්ත්වය වැඩි කිරීමට හේතු වන සාධකයන්ය.

ලෝකයේ ප‍්‍රධාන නගර 3500 ට වැඩි ප‍්‍රමාණයක් වායු දූෂණ ගැටලූවට මුහුණ දී ඇත. ආසියානු සංවර්ධන බැංකුවේ දත්ත වලට අනුව පසුගිය වසර 10 තුළ ආසියානු නගර තුළ වායු දූෂණය වැඩි වී ඇති අතර, ලොව වඩාත්ම දූෂිත නගර 15 න් 13 ක්ම පිහිටා ඇත්තේ ආසියාවේ ය. චීනයේ බීජිං නගරය, නවදිල්ලිය, අලහබාද් හා පැට්නා, පාකිස්තානය, බංගලාදේශය, නේපාලයේ කත්මණ්ඩු යන නගර උදාහරණ ලෙස දැක්විය හැකිය.

වායු දූෂණය; ආර්ථික හා සෞඛ්‍ය හානි

සාමාන්‍යයෙන් පුද්ගලයෙක් දිනකට ආහාර kg 1 -2 ක් ද, ජලය ලීටර් 1 -2 ක් ද හා වාතය ලීටර් 10,000 ක් පමණ ද පරිභෝජනය කරයි. පරිභෝජනයට ගනු ලබන ආහාර වර්ග, ජලය මෙන්ම වෙනත් භාණ්ඩ වල පවිත‍්‍රතාවය, ප‍්‍රමිතීන් පිළිබඳ අප සැලකිලිමත්ය. ඒත් අපේ පැවැත්මට අත්‍යවශ්‍ය ‘වායුවේ’ පවිත‍්‍රතාවය, ප‍්‍රමිතිය පිළිබඳව සැලකිලිමත්ද? විවිධ මානව ක‍්‍රියාකාරකම් සඳහා පොසිල ඉන්ධන දහනයේදී කාබන් මොනොක්සයිඞ්, කළු දුම් ලෙස පිටවන කාබන් අංශු, සල්ෆර් ඩයොක්සයිඞ් හා නයිට‍්‍රජන් ඩයොක්සයිඞ් ආදී වායු දූෂකාරකයන් හටගනී. නයිට‍්‍රජන් හා සල්ෆර් ඩයොක්සයිඞ් යනු හානිකර වායු දූෂකයක් වන අතර ඒවා පෙනහලූ පටක වල ඇති ආරක්ෂිත පටලයට හානි කරන අතර, එම නිසා බැක්ටීරියා හා වෛරස්වලට පෙනහලූ තුළින් ශරීරයට ඇතුළු වීමට ඉඩ ප‍්‍රස්ථා ලැබේ. මේ නිසා ඇදුම, බ‍්‍ර?න්කයිටිස්, කල්ගත පුප්පුසීය පෙනහලූ රෝගය, හා පෙනහලූ පිළිකා ආදී ශ්වසන රෝග වලට අමතරව, විවිධ හෘද රෝග, අඩු බර දරු උපත් ඇති වීම, ස්ථූලතාව මෙන්ම අකල් මරණ ද සිදු වේ.

2008 වසරේ චීනයේ හා ඉන්දියාවේ මනුෂ්‍යයින් මිලියන 1/2 පමණ වායු දූෂණයෙන් මියගොස් ඇති අතර ලොව අකල් මරණ වලට ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ ද වායු දූෂණයයි. වර්ෂ 2050 වන විට ලොව අකල් මරණ සංඛ්‍යාව මිලියන 3.5 ක් පමණ වන බවට ද පුරෝකථනයන් පවතී. මින් 65% ක් පමණ චීනය හා ඉන්දියාවේ ය. එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන්නේ සෑම වසරකම ලොව පුරා මිලියන 07 ක ජනතාව වායු දූෂණයෙන් අකාලයේ මිය යන බවත්, මෙයින් මිලියන 04 ක් ආසියා පැසිපික් ප‍්‍රදේශ වලට අයත් රාජ්‍ය වල ද වන බවයි. එසේම ලෝකය පුරා ජනගහනයෙන් 92 % ක් පිරිසිදු වාතය ආස්වාස ප‍්‍රස්වාස නොකරන බව ද සඳහන් වේ. ගෝලීය ආර්ථිකය තුළ සෑම වසරකම වායු දූෂණ පිරිවැය ඇමෙරිකන් ඩොලර් ටි‍්‍රලියන 05 ක් පමණ වන අතර, එය සුබසාධන පිරිවැයක් ලෙස ගණනය කෙරේ. පරිසර දූෂණ තත්ත්වයන් යටතේ 2030 වන විට බිම් මට්ටමේ ඕසෝන් දූෂණය නිසා ප‍්‍රධාන ආහාර බෝග වල ඵලදාව ද අඩු විය හැකි බවත්, එම තත්ත්වය වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර සපයා ගැනීමට එනම් ආහාර සුරක්ෂිතතාවට ද බාධාවක් වේ.

වායු දූෂණ පාලනය හා ගෝලීය ක‍්‍රියාමාර්ග

කාර්මික විප්ලවයෙන් පසු පොසිල ඉන්ධන දහනය නිසා කාබන් ඩයොක්සයිඞ් වලට අමතර වශයෙන් වායුගෝලයට එකතු වන කාබන් මොනොක්සයිඞ්, මීතේන්, සල්ෆර් ඩයොක්සයිඞ්, ඊයම් වැනි ලෝහ වල ඔක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යෑම ද, වායු දූෂණයට හේතු වී ඇති අතර, අමතරව කාබන්ඩයොක්සයිඞ් අවශෝෂණය කර ගනු ලබන වන ගහනය අඩු වීම ද තත්ත්වය උග‍්‍ර කිරීමට හේතු වී තිබේ. වායු දූෂණය පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය සියවසකටත් එහා දිව යයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීමෙන් අනතුරුව එහි මහා මණ්ඩල සැසි වලදී ඒ පිළිබඳව සාකච්ඡුා වී තිබේ. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන යටතේ 1972 වසරේ සිට නොයෙක් පර්යේෂණ පවත්වා වාර්තා ඉදිරිපත් කරනු ලැබුව ද ඒවා ක‍්‍රියාත්මක වූයේ මන්දගාමීවය. අනතුරුව ඉලක්ක ගොඩ නගා ගනිමින් කඩිකමින් ඒවාට ළඟාවීම සඳහා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) යටතේ ලද අතර දේශගුණික විපර්යාස උදෙසා අන්තර් ආණ්ඩු අනුමණ්ඩලයක් (IPCC‍) 1988 වසරේ පිහිටු වන ලද අතර ඉන් ලද නිර්දේශ අනුව විවිධ සම්මුති වරින් වර සකස් කරන ලදී. 2015 වසරේ පැරිස් නුවර දී සියලූ රාජ්‍ය වල එකඟතාවයෙන් අනුමත වූ ‘පැරිස් සම්මුතිය’ අවසන් වරට සකස් කළ සම්මුතිය විය. රටවල් 196 ක සහභාගිත්වයෙන් 2016 අපේ‍්‍රල් මාසයේදී මෙම සම්මුතියට අත්සන් තබන ලදී.

සම්මුතියේ පොදු එකඟතාව නම්, වායු දූෂණයට ප‍්‍රබල සාධකයක් වන පොසිල ඉන්ධන භාවිතය සීමා කිරීමයි. එසේම වායු දූෂණයට හේතු වන සියලූ ක‍්‍රියාකාරකම් වල පාලනයක් ඇති කර ගැනීමයි. එකඟතාවට අදාළ සැලසුම 2020 වර්ෂයේ සිට සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කරමින්, 2040 වර්ෂය වන විට එය අවසන් කිරීමට කටයුතු කිරීමයි. ආසියා පැසිපික් ප‍්‍රදේශ වල වායු දූෂණය වැළැක්වීම සඳහා හරිත තාක්ෂණික ප‍්‍රතිපත්ති 25ක් ක‍්‍රියාත්මක කරන බවත්, එමගින් වාතයේ කාබන් ඩයොක්සයිඞ් 20% කින් අඩු කිරීමටත්, 45% කින් මීතේන් දූෂණය වැළැක්වීමටත් හැකි වෙනු ඇති බව කියා සිටියි. ඒ අනුව ගෝලීය උණුසුම අවම කිරීම සඳහා වායු දූෂණය පාලනයට මෙන්ම වායු තත්ත්වය වැඩි දියුණු කිරීමට ‘පුනර්ජනනීය බලශක්ති’ (Renewable energy) ප‍්‍රවේශයන්ට හා ‘හරිත තාක්ෂණයට’ (Green technologies) පිවිසීමත්, එහි නව සොයා ගැනීම් සිදු කර ගැනීමත්, අත්‍යවශ්‍ය බව මෙවර තේමාව මගින් ලෝකයට අවධාරණය කරයි.

ජනාධිපති බැරක් ඔබාමා පාලනය යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පැරිස් ගිවිසුමට අත්සන් තැබුව ද, වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පාලනය යටතේ එම සම්මුතියේ එකඟතාවන්ට සහාය පළ කිරීමක් නොකරයි. එම සම්මුතිය ප‍්‍රකාරව කටයුතු කිරීමෙන් අධික වියදම් දැරීමට සිදු වන බවත්, ලාභ පොසිල ඉන්ධන තිබියදී විකල්ප වලට යෑම ආර්ථිකයට අහිතකර බවත් ඇමෙරිකානු ජනතාවගේ ආර්ථික අභිලාෂ මුදුන්පත් කිරීමට තමා බැඳී සිටින බවත් වත්මන් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි. ඒ අනුව යමින් 2017 පෙබරවාරි මාසයේදී පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ඇමෙරිකාව කටයුතු කරන ලදී. මෙම වසරේදී එනම්, 2019 වසරේදී සම්මුතියෙන් ඉවත් වීමට ඇමෙරිකාවට හැකිය. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් නොව ලොව පුරා පරිසර විද්‍යාඥයන්ගේ බලවත් කණස්සල්ලට හේතු වී ඇත. ලොව ජනගහනයෙන් 5% ක් ඇමරිකානුවන් ය. එහෙත් ලොව පොසිල ඉන්ධන වලින් 20 % ක් පරිභෝජනය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ඇමෙරිකානු සෙනෙට් මණ්ඩලයේ අනු කමිටුවක් විසින් පත් කරන ලද විද්වත් පාරිසරික කමිටුවක්, මගින් කාබන් විමෝචනයෙන් පරිසරයට සිදු වන හානිය පිළිබඳව අධ්‍යනයක් කර වාර්තාවක් ඉදිරිපත් කරමින්, පාරිසරික හානි සිදුකර ලබන ආර්ථික වාසි වලට වඩා ඉන් වන හානිය හා එයට දරන්නට වන වියදම අධික බව පෙන්වා දී ඇත. කෙසේ නමුත් බලවත් රටක් පොදු සම්මුතිය කඩ කරමින් පුද්ගලික න්‍යාය පත‍්‍රයන් අනුව කටයුතු කිරීම මිහි මත ජීව පැවැත්ම සහතික කර ගැනීම සඳහා ගෙන යන පොදු පරිසර සංරක්ෂණ වැඩ පිළිවෙළට විශාල බාධාවක් වන අතර, එය සෙසු රටවල සාමූහික උනන්දුව බෙලහීන කිරීමට ද හේතු වේ.

මෙරට වායු දූෂණ පාලන ක‍්‍රියාමාර්ග

මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමල් කුමාරගේ මහතාගේ අධ්‍යයනයකට අනුව දිනකට කොළඹ නගරයට ඇතුල් වන වාහන සංඛ්‍යාව 300,000 කි 2018 වන විට ලංකාවේ ලියාපදිංචි මෝටර් රථ වාහන ප‍්‍රමාණය මිලියන 7.24 කි. යතුරු පැදි මිලියන 4.04 ක් ද, ත‍්‍රිරෝද රථ මිලියන 1.14 ක් ද වේ. සෑම වසරකම වාහන 600,000 ක් පමණ අලූතෙන් ලියාපදිංචි කෙරේ. 1990 සිට 2010 දක්වා මෝටර් වාහන සංඛ්‍යාව 14 ගුණයකින් වැඩි වී ඇත. යතුරු පැදි හා ත‍්‍රිරෝද රථ 600 ගුණයකින් වැඩි වී ඇත. තවමත් සාර්ථක ප‍්‍රවාහන පද්ධතියක් නොමැති නිසා ජනතාවගෙන් 50% පමණ සිය සේවා සඳහා පෞද්ගලික වාහන භාවිතා කරයි. 2012 දී කොළඹ නගරයේ රථ වාහන වල සාමාන්‍ය වේගය පැයට කි.මී. 22 වූ අතර වර්තමානයේ එය පැයට කි.මී.17 වී ඇත. දැරිය නොහැකි ලෙස අධික වාහන ප‍්‍රමාණයක් කොළඹ නගරයට ඇතුල්වීම අනවශ්‍ය තදබදයක් ඇති වීමට හේතු වේ. වේගය සීමා වීම නිසා අනවශ්‍ය ලෙස ඉන්ධනද දහනය වේ. කළු දුමාරයෙන් සෞඛ්‍යට ද අහිතකරය. තදබදයෙන් කාලය නාස්තිය ද සිදු වේ. කොළඹ නගරයේ සියුම් අංශු මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශිත මට්ටමට වඩා 3.6 කින් වැඩි බව ස්වාධීන පර්යේෂකයන් සඳහන් කරයි.

මධ්‍යම පරිසර අධිකාරියේ 2010 වායු විමෝචන දත්ත ලේඛනයට අනුව වායුගෝලයට දූෂකාරක එකතු කරන ප‍්‍රධාන සංරචකය ලෙස ‘වාහන දුම්’ හඳුනාගෙන ඇති අතර වාහන දුම් පරීක්ෂණ වාර්තා නිකුත් කරමින් වාහන දුම පාලනය කිරීමේ වැඩ සටහනක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සිදුකෙරේ. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රමිති උපමාන මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කර ලබා දී ඇති අතර, ඇතිවන ගැටලූ වළක්වාලීමට අදාළ තාක්ෂණික මැදිහත්වීම ද 2008 වර්ෂයේ සිට ලබා දී ඇත. එම වාහන දුම් පරීක්ෂණ ක‍්‍රියාවලියට විවේචන ඇතත් එමගින් ප‍්‍රධාන නගර බොහොමයක වායු දූෂණය පාලනයට හැකියාව ලැබී තිබේ. කෙසේ නමුත් පදනම් දත්ත වාර්තා සඳහන් කරන්නේ ශ‍්‍රී ලංකාවේ බරපතළ වායු දූෂණ තත්ත්වයක් නොමැති බවත් වාණිජකරණය, මෝටර් රථ ප‍්‍රමාණය වර්ධනය, හා කාර්මීකරණය ආදී හේතුන් මත අනාගතයේදී වායු දූෂණ අවධානමක් ඇති බවයි. ජංගම වායු තත්ත්ව රසායනාගාරයක් මගින් දිවයින පුරා වායුගෝලීය තත්ත්වය පසුවිපරම් කිරීම ද සිදු කෙරේ. වායු දූෂණය පාලනය හා වැළැක්වීම සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය ද, උපාය මාර්ග හඳුනා ගැනීම ද, ක‍්‍රියාත්මක වැඩපිළිවෙළ සකස් කිරීම ද අදාළ ආයතන හා එක්ව සිදු කර ඇත.

වායු දූෂණය පාලනය හා සමාජ වගකීම

වාහන මගින් සිදුවන දූෂණය පාලනය සඳහා වාහන හිමියන්ට, රියැදුරන්ට සැලකිය යුතු වගකීමක් පවතී. ගමන් කළමනාකරණය කර ගනිමින් ඉන්ධන භාවිතය අවම කර ගත යුතුය. වාහන නඩත්තු සේවා නියමිත පරිදි කළ යුතු අතර, නිසි ප‍්‍රමිතියෙන් යුත් උපාංග සවි කිරීමට ද වගබලා ගත යුතුය. වායු දූෂණය අවම කරන ඔක්ටේන් 95 පෙට‍්‍රල් භාවිතයට පෙට‍්‍රල් වාහන හිමියන් පිවිසීම ද අවශ්‍යය. කොළඹ නගරයට දිනපතා ඇතුළු වන වාහන අතරින් වැඩිම වාහන ප‍්‍රමාණයක් පෞද්ගලික වාහනය. ජාතික ප‍්‍රතිපත්තියකට අනුව පොදු ප‍්‍රවාහන පද්ධතියක් ස්ථාපනය කිරීමෙන් අනවශ්‍ය වාහන ප‍්‍රමාණයක් නගරයට ඇදී ඒම සීමා කිරීමත්, වාහන තදබදයත්, අනවශ්‍ය කාලය නාස්තියත්, වායු දූෂණය පාලනයත් සිදු කළ හැකිය. ත‍්‍රිරෝද රථ හා යතුරු පැදි භාවිතය ද විධිමත් කළ යුතුය. මහා මාර්ග භාවිතා කරන්නන් මාර්ග නීති රීති පිළිපදින ස්වයං – විනයක් සහිත ශිෂ්ට පිරිස් බවට පත්වීම ද සමාජයකට අවශ්‍යය. ඒ සඳහා ආකල්ප හැඩ ගැස්මකට ද අප යා යුතුය.

දීපාල් ද සිල්වා
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිසර ප‍්‍රවර්ධන)
මධ්‍යම පරිසර අධිකාරිය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More