අද සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ ඉන්න දක්ෂතම කථිකයා Dilshan Pathiratne යි. ඔහු හා මම පෞද්ගලිකව දැන හදුනන මිතුරන් නොවුණත් සාහිත්‍ය කලාව පැත්තෙන් ගත්තත්, මාධ්‍ය ක්ෂේත්‍රය පැත්තෙන් ගත්තත් අපිට හඳුනා නොගත් නෑකමක් තිබෙනවා. ඒ නිසාම ඩිල්ෂාන්ට පොඩි උත්තරයක් දෙන්න හිතුවේ රාජපක්ෂලා බදාගෙන ඉන්න අල්පශ්‍රැත ෆේස්බුක් ක්‍රියාකාරීන්ගෙන් නම් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකි නිසා. ඩිල්ෂාන් මාධ්‍ය ක්ෂේත්‍රයේ දක්ෂයෙක්. ඔහු සමාජ ප්‍රාග්ධනයක් උපයා ගන්නේ මහින්ද රාජපක්ෂ සමයේ ඇරඹි ITN රුපවාහිනිය ඔස්සේ විකාශනය වූ “වෙනස” වැඩසටහන ඔස්සේයි. මට මතකයි හම්බන්තොට වරාය ගැන වෙනස වැඩසටහනක් කරපු ඩිල්ෂාන් එය හදුන්වා දුන්නේ ලංකා සිතියමත් වෙනස් කළ වැඩක් ලෙසයි. එපමණක් නොව ඒ යුගයේ තවත් ශ්‍රී විභූතීන් ගැන විවිධ විශේෂාංග වෙනස වැඩසටහනට ඇතුළත් වුණා. නමුත් සජිත්ගේ වේදිකාවේ දී ඩිල්ෂාන්ට ඩිල්ෂාන්ම වෙනස වැඩසටහන ඔස්සේ ජනතාවට කියපු දේවල් බරපතල විදිහට අමතක වෙලා රාජපක්ෂ සමයේ වූ මිනි මැරුම්, පැහැරගෙන යෑම්, මාධ්‍යවේදීන්ගේ ඝාතන ආදි ත්‍රාසය හා භීතිය දනවන පුවත් පමණක් මතක් වී තිබුණා. පුදුමය තමයි ඩිල්ෂාන් මේවා කතා කරන්නේ පියාණෝගේ පුතාණෝ ජනාධිපති කරන වේදිකාවේ සිටයි.
මම දැන් ඩිල්ෂාන්ට මතක් කරදෙන්න කැමතියි මිනීමැරුම් , පැහැරගෙනයෑම් ඇතුළු ඝාතන සංස්කෘතියේ ගෝඩ්ෆාදර්ලා ඉන්නේ කොහෙද ? මේ රට මිනී කන්නන්ගේ දේශයක් බවට පත්කළේ කවුද යන වග පැහැදිලි කරදෙන්න. මම ඒ සඳහා සාක්ෂයක් ලෙස උපුටන්නේ ජීවමාන අත්දැකීම් සහිතවම පහත සංඛ්‍යා ලේඛන හා දත්ත මීට පෙර ලිපියක ලියා දැක්වූ ආචාර්ය Nawarathna Rambukwella මහතායි. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා ආචාර්යවරයෙක් වූ නවරත්න රඹුක්වැල්ල මහතා මේ භීම සමයේ මානාව අත්දැකීම් ලත් තැනැත්තෙක්. එතුමාට අනුව 1986 අග භාගයෙන් අරඹා 1987 ජුලි 29 කොළඹ කරන ලද සිය ගණනක් වූ ජන ඝාතනයේ සිට 1991 දක්වා UNP නීති විරෝදී රජය විසින් මහ මඟ කපා, කොටා, ටයර් දමා පුච්චා, ගංගා වල පාකොට, ප්‍රදර්ශනය කරමින් මරණ ලද තරුණයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි. එතුමා පෙන්වාදී තිබුනේ හැට හත් දහස යන සංඛ්‍යාව ව්‍යාජයක් බවයි. එක් ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රී වරයෙක්, 89 සැප්තැම්බර් මස පාර්ලිමේන්තුවේදී, දැනට මරා දමා ඇති තරුණයින් සංඛ්‍යාව 75000 ක් බව කීවේය, ඒ ඝාතන යන අතරමඟ කාලයකය. (එම මස හැන්සාර්ඩ් වාර්තා බලන්න.) 87 සහ 88 අත හැර ගතහොත් 89 යේ මුල් මාසවල මෙරට දිනකට මරා පුච්චන ලද තරුණයින් සංඛ්‍යාව 300ක් පමණ වූ අතර එම වසරේ අග භාගය වන විට එය දිනකට 500 ඉක්මවූ බව රඹුක්වැල්ල මහතාගේ අදහසයි.
89 ජුලි, අගෝස්තු, සැප්තැම්බර්, වන විට සමුහ ඝාතන වලින් ජනතා විමුක්ති පෙරමුණ යටපත් කර ගෙන සිටි UNP ආණ්ඩුව මාර්ග ඝාතන තරඟය දිනීම සඳහා මැරිල්ලේ උච්චතම අවස්ථාවේ සිටි බව රඹුක්වැල්ල මහතා සිය පැරණි දින සටහන් ඇසුරින් පෙන්වා දී තිබුණි. UNP ආණ්ඩුව කලේ රාත්‍රී තරුණයින් පැහැරගෙන දස වධ දී මරා උදේට පාරවල් දිග ප්‍රදර්ශනය සඳහා පිච්චීමයි. අද චම්පික එජාප ආධාරකරුවකු වී සිටියද චම්පිකට අනුව ඒ දිනවල කොළඹ අවට පමණක් තිබු වධකාගාර ගණන 10 ට වැඩිය. ලංකාවේම 100 කට වැඩිය. මේවායේ අතිශය කෘර වධහිංසා දෙවැනි වන්නේ දෙවන ලෝක යුධ සමයේ හිට්ලර් විසින් මරණයට නියමවූ යුදෙව්වන් රදවා පෝලන්තයේ අවුෂ්විට්ස් කදවුරටයි.
රඹුක්වැල්ල මහතා පෙන්වා දී තිබුනේ අපේ රටේ සියවස් ගණනක ලිඛිත ඉතිහාසය තුල මීට වඩා ඉහල ඝාතන ඇතිවූ අවස්ථාවක්වේ නම් ඒ 1818 සහ 1848 කැරලිවලදී සිදු වූ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සිංහල ජන සමුහ ඝාතනවලට බවයි. මේ ඝාතන සඳහා එජාප ආණ්ඩුව යොදා ගත් ඝාතක කල්ලි වුයේ “ප්‍රා “, “උකුස්සා”, “කහ බළල්ලු”, “කළු බළල්ලු”, “කොළ කොටි” සහ තවත් නම් යටතේ ආණ්ඩුවේ අවි ගත් කණ්ඩායම් වෙයි. එහෙව් අතීතයක් හිමි එජාප වේදිකාවේ සිටගෙන මේ ඝාතන වැඩිම ප්‍රමාණයකට වගකිව යුතු පියාණෝගේ පුත්‍රයාට බලය දෙන්නයි ඩිල්ෂාන් ඉල්ලන්නේ රාජපක්ෂ සමයේ ඇගිලිවලින් ගැණිය හැකි මරණ කිහිපයක් පෙන්වමිනි. =D ඒවා පිළිබඳව පරීක්ෂණ කරන්නැයි බලය ගත් ආණ්ඩුව ඊට අදාළ කිසිම වගඋත්තරකරුවකු සොයා නොගෙන කෝකටත් තෛලය මෙන් නැවතත් එම සටන්පාඨ වලින්ම ගොඩයන්න හැදුවත් ජනතාව දැන් ඒ ඉතිහාසයට විනිශ්චයක් දී හමාරය. ඊනියා ප්‍රජාත්‍රන්තවාදය, යහපාලනය වැනි තොරොම්බල් මාතෘකා වලට වඩා ජාතියේ කොඳු නාරටිය මේ ආණ්ඩුවෙන් ආරක්ෂා කරගැනීම අන් සියල්ලට වඩා දැන් ජනතාවට ප්‍රමුඛ වී තිබේ.
ඩිල්ෂාන් මතුකරන මාධ්‍යවේදීන් පැහැරගෙන යෑම, ඝාතනය කිරීම ආදිය ගැනත් වචනයක් කිව යුතුයි. ඒ මෙම චෝදනාව ඩිල්ෂාන් පමණක් නොව NGO ධාරාවේ බොහෝ දෙනා නගන චෝදනාවක් නිසා. ලසන්ත වික්‍රමතුංග හැරුණු විට රාජපක්ෂ ආණ්ඩු සමයේ ඝාතනය වූ මාධ්‍යවේදීන් කොපමණ ද ? ඒ කවුද ? ඔවුන් සේවය කළ මාධ්‍ය ආයතන මොනවාද ? මරා දැමීමට තරම් ඔවුන් ලියා ඇති පුවත්පත් ලිපි දෙක තුනක්වත් ඇතුළත් ලැයිස්තුවක් අපිට ඉදිරිපත් කළ හැකිද ? මා ඒ පැනය අසන්නේ කිසිදාක පුවත්පතක සේවය කරනැති, පුවත්පත් ලිපියක් හෝ ලියා නැති එක්නැළිගොඩ වැන්නන්ද මාධ්‍යවේදී සළුවෙන් වසා ඇති නිසාය. එක්නැළිගොඩ යනු මාධ්‍යවේදියකු නොව වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් මඩගැසූ පුද්ගලයකි. මෙහි අදහස මාධ්‍යවේදියකු නොවෙන නිසා ඔහු ඝාතන ඉලක්කයක් වූවාට කමක් නැත යන්න නොවේ. අපි ඔහුගේ ජිවත්වීමේ අයිතිය පිළිගනිමු. නමුත් මින් මතුකරන්නේ එවැන්නකු පවා මාධ්‍යවේදී ගොඩට දාගනීමෙන් පෙනෙන්නේ මේ මාධ්‍යවේදී ඝාතන ලයිස්තුවේ ඔවුන්ට ඇති හිගතාවයයි. මාධ්‍යවේදීන් කියාගන්නා බොහෝ අය තමන්ට තර්ජන ගර්ජන ඇතැයි බොරු මවාපෑමක් සිදුකළේ දේශපාලන රැකවරණ මුවාවෙන් රැකියාවක් සඳහා විදේශගත වීමටයි. මේ ජනමාධ්‍ය චෞරයන් ගැන අපි නෙමෙයි ලිව්වේ රාවය පුවත්පතේ වික්ටර් අයිවන්. ඩිල්ෂාන්ට අවශ්‍ය නම් ඒවා අයිවන්ගෙන් හෝ පරණ රාවය පුවත්පත් කියවා මාධ්‍යවේදීන් කියාගත් තක්කඩින් ගැන අවබෝධයක් ලද හැකියි. රාජපක්ෂ ආණ්ඩුව සමයේ ජිවිත තර්ජන ඇතැයි රට පැනගත් මාධ්‍යවේදීන් රාජපක්ෂලාට බලය නැති ඔවුන් පත්කරගත් යහපාලන ආණ්ඩුව ආ පසු කීදෙනෙක් ලංකාවට ආවේද? එසේ නොආවේ ඔවුන් ගියේ ඇත්තටම රාජපක්ෂ ආණ්ඩුවේ තර්ජන නිසා නොව ඒ මුවාවෙන් රට රස්සාවකට පැනගත් නිසාය.
මාධවේදීන්ට ඇත්තම තර්ජන ගර්ජන තිබුණ යුගය වන්නේත් එජාප භීම සමයයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්‌ථාවේ සභාපති තනතුර මෙන්ම අධ්‍යක්‌ෂ ජනරාල් තනතුරද හෙබ වූ තේවිස් ගුරුගේ 1989 ජුලි 23 දා ඝාතනය කර තිබුනේ උදෑසන ආහාරය සඳහා ආප්ප ගෙන ඒමට ගිය විටය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම හොද පරිපාලකයෙක්ද වූ ඔහු 1983 දී විශ්‍රාම ගොස් තිබුණි. රූපවාහිනි සංස්‌ථාවේ ප්‍රධාන ප්‍රවෘත්ති කර්තෘවරයා වූ කුලසිරි අමරතුංග සිය නිවෙසේදීම 1989 අගෝස්‌තු 13 වෙඩිතබා ඝාතනය කළේ පුවත්පතක් බලමින් සිටි විටය. සියලු හැකියාවලින් පරිපූර්ණ මාධ්‍යවේදියෙක් වූ ප්‍රේමකීර්ති අල්විස් 1989 ජුලි 31 වෙඩිතබා ඝාතනය කළේය. රුපවාහිනී නිවේදිකාවක් වූ සාගරිකා ගෝමස් 1989 සැප්තැම්බර් 13 පැහැරගෙන ගොස් ඔළුවට වෙඩි තබා බෙල්ලට පිහියෙන්ද ඇන ඝාතනය කර මුහුදට දමා ගොස් තිබිණි. විනිවිද මාසික සඟරාවේ ලේඛකයකු වූ කේ. කේ. ප්‍රභාත් ජිනදාස 1989 සැප්තැම්බර් 17 ආරක්ෂක අංශ ඝාතන කලේ එම යුගයේ සිදුවූ මිනිස් ඝාතන ගැන ඇසින් දුටු සාක්‌ෂි පදනම් කරගෙන ඔහු විසින් ලියන ලද ලිපියක් 89 විනිවිද ජූලි කලාපයේ පළකළ නිසාය. ආරක්‌ෂක හමුදා මගින් ඝාතනය කළ තවත් මාධ්‍යවේදියකු වූයේ විනිවිද සඟරාවේ මාණ්‌ඩලික චිත්‍ර ශිල්පී මහින්ද බණ්‌ඩාර විඡේකෝන්ය. ප්‍රකට මාධ්‍යවේදියකු වූ රිචඩ් ද සොයිසාගේ නිවසට කඩාවැදුණු කණ්‌ඩායමක් 1990 පෙබරවාරි 18 පාන්දර පැහැරගෙන යාමෙන් පසුව ඔහුගේ නිරුවත් සිරුර පෙබරවාරි 19 දා සවස මුහුදේ රළගෙඩි අතරින් මොරටුව කොරළවැල්ලට ගොඩගැසුවේය. රිචඩ් ද සොයිසාගේ මව වූ මනෝරානි සරවනමුත්තු පුතු පැහැරගෙන ගිය කණ්ඩායමේ කොළඹ ප්‍රදේශයේ දේශපාලන පොලිස් බලවතා වූ පොලිස් අධිකාරි රොනී ගුණසිංහ සිටි බව හදුනා ගත්තාය. රොනී ගුණසිංහ අත්අඩංගුවට ගන්නැයි එවකට මහෙස්‌ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළවිට රොනී ගුණසිංහ අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි රාජ්‍ය ආරක්‍ෂක ඇමැතිව සිටි රන්ජන් විඡේරත්න පොලිසියට නියෝග කළේය. රොනී ගුණසිංහ යනු ප්‍රේමදාස ජනාධිපති ළගින් ඇසුරු කළ ඔහුගේ ඕනෑ එපාකම් බලාපොරොත්තු මට්ටමටත් වඩා හොදින් ඉටුකරදීමට කැපවූ පොලිස් අධිකාරීවරයෙකි. ඔහු මිය ගියේද ආමර් විදියේ ප්‍රේමදාස සමගින් එකම බෝම්බයකට ගොදුරු වෙමිනි. මේ ලැයිස්තුව තව දිග වුවත් තවත් තොරතුරු නොසොය නොලියා සිටින්නේ මෙය පළ කිරීමට ඇති හදිසිය නිසයි. කප්පරක් අසුචි ගොඩක ඉදිමින් අධෝ වාතයක් ගැන ඇගිල්ල දිගු කරන්නා සේ ඩිල්ෂාන් මේ චෝදානා කරන්නේ එහෙව් උරුමයක් කරගසාගෙන එන අපේක්ෂකයකුගේ වේදිකාවේ සිටයි.
.
රත්තනදෙණියේ මේධානන්ද හිමි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...