නව ජනාධිපතිවරයා වශයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලොව රාජ්‍ය නායකයින් රැසක් සහ අන්තර්ජාතික සංවිධාන රැසක් සිය සුබ පැතුම් එක් කැර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ චීන – ශ්‍රී ලංකා සබඳතාවල නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා පවසයි.
දෙරටේ ම ජනතාවට තවදුරටත් ප්‍රතිලාභ ලැබෙන පරිදි එම සබඳතා පවත්වාගෙන යෑමට අපේකෂා කරන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමේ පුවත ඉතා සතුට දනවන්නක් බවද සඳහන් කැර ඇති චීන ජනාධිපතිවරයා තමාගේ මෙන්ම තම රටේ ජනතාවගේ හෘදයාංගම සුබපැතුම් නව ජනාධිපතිවරයාට එක්කරන බවද ප්‍රකාශ කැර තිබේ. දීර්ඝ කාලයක සිට ශ්‍රී ලංකාව සහ චීනය අතර සාම්ප්‍රදායික, මිත්‍රශීලී සබඳතාවක් පවත්වාගෙන යන අතර නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා දක්වන අඛණ්ඩ සහයෝගීතාවය අගය කරන බව ද චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා සඳහන් කර ඇත.
නව ජනාධිපතිවරයා වෙත සුබ පැතුම් එක්කරන ජපාන අගමැති ෂින් සෝ අබේ මහතා කියා සිටින්නේ ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිර්ඝ කාලයක සිට පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවයි.
මේ අතර නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ යුරෝපා සංගමයෙන් ද සුබපැතුම් එක්කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය ට්විටර් පණිවිඩයක් මඟින් සුබපැතුම් එක්කර ඇති බව වාර්තා වන අතර ජනාධිපතිවරණයේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාව පිළිගන්නා බවද සාමය, සංහිඳියාව, මානව හිමිකම් සහ තිරසර සංවර්ධනය යන කරුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ අඛණ්ඩව ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එක්සත් ජාතින්ගේ සංවිධානය නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන් වෙයි.
එමෙන්ම යුරෝපා සංගමය ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පණිවුඩයක් නිකුත් කරමින් සුබපැතුම් එක්කර තිබෙන අතර යුරෝපා සංගමය පෙන්වා දෙන්නේ අංශ ගණනාවක් සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.
සුළු ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වුවද ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පවත්වා ඇති බවත් ශ්‍රී ලාංකික ජනතාව ඔවුන්ගේ මුලික අයිතිවාසිකම් සහ නිදහස භාවිත කැර ඇති බවත් එම නිවේදනයේ සඳහන් කැර ඇති අතර වෙළෙදාම විශේෂ ප්‍රතිපත්ති සහ ආරක්ෂාව යන අංශ ගණනාවක් ආවරණය වන පරිදි යුරෝපා සංගමය ශ්‍රී ලංකාව සමඟ ඉදිරියට කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
මේ අතර අමෙරිකානු රජය ද නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබෙන අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට අමෙරිකාව සූදානම්ව සිටින බවයි. ආරක්ෂක අංශවල ප්‍රතිසංස්කරණය, මානව හිමිකම්වලට ගරු කිරීම සහ ප්‍රචණ්ඩත්වය නැවත ඇති නොවීම සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම අපේක්ෂා කරන බව එම නිවේදනයේ සඳහන් වෙයි. යුක්තිය, ප්‍රතිසංන්ධානය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය පියවර ගත යුතු බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ අතර චීනය, ඉරානය, වියට්නාමය ඇතුළු තවත් විදෙස් රටවල් රැසක් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපැතුම් එක්කර තිබෙන අතර සුළු සිදුවීම් කිහිපයක් වාර්තා වුවත් ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාමකාමීව පැවති බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.
ප්‍රචණ්ඩත්වයෙන් තොර නිදහස් මැතිවරණ ක්‍රියාවලිය පරිපාලනය විසින් හොඳින් කළමනාකරණය කැර තිබු බව එම දූත පිරිසේ ප්‍රධානි මරිසා මටියාස් මහත්මිය ප්‍රකාශ කර ඇත. යුරෝපා සංගමයේ මැතිවරණ නිරික්ෂණවල මුලික වාර්තාව ඉදිරිපත් කරමින් ඇය මේ බව ප්‍රකාශ කැර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...