පුරවැසි කොලම

නව ජනාධිපතිවරයෙක් දිවුරුම් දී තිබෙන මොහොතක එහි ඊළඟ පියවර ලෙස නෛතික වශයෙන් සකස් වන්නේ කෙසේද…? දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල සහ ඊළඟ දේශපාලන පියවර සඳහා ඇති නෛතික හේතු සාධක කවරේද…? ඒ පිළිබඳව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා විසින් පළ කරන ලද අදහස් පහත දැක්වේ.

මෙහිදී ප්‍රථමයෙන් සදහන් කළ යුත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට පරාජිත අපේක්ෂකයා විසින් ද සිය ජයග්‍රාහී අපේක්ෂකයාගේ නායකත්වය පිළිගැනීමයි. එය දේශපාලන සදාචාරය අතින් බලන විට වැදගත් තත්ත්වයකි. නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති වගකීම විශාලය. ඔහු වෙත පැවරී ඇති විශාල කාර්යය ඉටු කිරීමේදී ව්‍යවස්ථාවේ විධිවිධාන සම්බන්ධයෙන් සලකා බැලීම අත්‍යවශ්‍යය. විවිධ සංශෝධන හේතුවෙන් මේ පිළිබඳව පැටලිලි සහගත තත්ත්වයන් රාශියක් ඇති වී තිබේ. මීට පෙර සිටි ජනාධිපති සිරිසේන මහතා මෙම ධුරය සම්පූර්ණයෙන්ම කෙලෙසා දමා තිබෙන බව කිව හැකිය. මේ නිසා දහනව වැනි සංශෝධනයෙන් පසු ජනාධිපති තනතුර පිළිබඳව නිසි පූර්වාදර්ශයක් ඇත්තේ ද නැත. මෙහිදී වැදගත් වන්නේ භූමිකාව යන වචනයයි. නව ජනාධිපතිවරයා සතු භූමිකාව සඳහා පූර්වාදර්ශයක් නොමැති තත්ත්වයක් තුළදී ඒ සඳහා මග පෙන්වනු ලබන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ චෝදනා රාශියක් තිබුණත් මෙය ආකෘතික වශයෙන් අතිශය ශක්තිමත් භාවයක් පවතින්නක් බව කිව හැකිය. මහාචාර්ය ඒ.ජේ. විල්සන් වැනි විද්වතුන් විසින් මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී, පරමාධිපත්‍යය බලය පිහිටවා ඇත්තේ ජනතාව කෙරෙහිය. පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීම ද භුක්ති විඳීම පිළිබඳව සදහන් වන්නේ ව්‍යවස්ථාවේ හතර වැනි ව්‍යවස්ථාවේය. එහි හතර (ආ) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ‘රටේ ආරක්ෂාව ඇතුළු ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය’ යනුවෙනි. මේ මූලික වගන්තිය කිසිම සංශෝධනයකින් යටපත් කර නැත. ඒ අනුව විධායක බලය ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා සතු වූවකි. අපේ ව්‍යවස්ථාවේ හත, අට සහ නවය යන පරිච්ඡේද තුනේම විධායක බලය යනු කුමක්දැයි පැහැදිලි කර තිබේ.

හත්වැනි පරිච්ඡේදයේ විධායක ජනරජයේ ජනාධිපතිවරයා සතු බලතල සහ ඔහුට සෘජුවම පැවරෙන කාර්ය භාරය යි. අට වැනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ කැබිනට් මණ්ඩලය පිළිබඳවයි. නව වෙනි පරිච්ඡේදයේ සඳහන් වන්නේ රාජ්‍ය සේවය පිළිබඳවයි. මේ තුනේම ප්‍රධානියා වන්නේ විධායක ජනාධිපතිවරයායි. ‘ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා, විධායකයේ ප්‍රධානියා, ආණ්ඩුවේ ප්‍රධානියා මෙන්ම සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වේ. මෙය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 සහ 30 යන ව්‍යවස්ථාවල දැක්වේ. මෙය දහනව වෙනි සංශෝධනයේ ද ඒ ලෙසම තිබේ. එසේම ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම එහි ප්‍රධානියා වන බව අටවෙනි වගන්තියේ සඳහන් වේ. මේ සියල්ල බලන විට ජනාධිපතිවරයා සතු බලතල පරාසය තේරුම් ගත හැකිය. මේ පිළිබඳව අවබෝධය සිරිසේන ජනාධිපතිතුමාට තිබුණේ නැහැ.

ජනාධිපතිවරයකු පත් වූ විට ඇමැති මණ්ඩලය පිළිබඳ සඳහන් වන ආකාරය අප සලකා බැලිය යුතුය. ජනරජයේ අටවෙනි වගන්තියේ 42 (1) ජනරජයේ ආණ්ඩුවේ පාලනය මෙහෙයවීම සහ ඒ පාලනය පිළිබඳ විධානය භාර අමාත්‍ය මණ්ඩලයක් වන්නේ ය.

(2) අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ පිළිතුරු බැඳීමට බැඳී සිටින්නේ ය.

(3) ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වන්නේ ය.

(4) ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබිය යුත්තේ ය යනුවෙන් සඳහන් වේ. ඒ අනුව නව ජනාධිපතිවරයකු වෙත නව අගමැතිවරයකු පත්කරගැනීමේ බලය ලැබෙනු ඇත. මෙම අවස්ථාව අනුව හිටපු ජනාධිපතිවරයා පත් කර ඇති අගමැති නොව නව අගමැතිවරයකු පත් කර ගැනීම සඳහා නව ජන මතය අනුව ජනාධිපතිවරයා වෙත හැකිවෙනවා ඇත. ව්‍යවස්ථාවේ කිසිම තැනක නව අගමැතිවරයා පත් කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මැතිවරණයේ දී සිදුවෙන බව සඳහන් නොවේ. ඇමැති මණ්ඩලය පත්කිරීම ද එසේය. ව්‍යවස්ථාව අනුව 43 (1) අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා, ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන්ගේ සංඛ්‍යාව ද අමාත්‍යාංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය සහ කාර්ය ද නිශ්චය කළ යුත්තේ ය යනුවෙන් එහි සඳහන් වේ. එය ද ජනාධිපතිවරයාට අවශ්‍ය නම් පමණක් කළ හැකි අතර එම පත් කිරීම ද මහ මැතිවරණයකින් පසු නොව නව ජනාධිපති පත් කිරීමෙන් පසු කළ හැකි බලය ඔහුට තිබේ. මීට පෙර බලයේ සිටි ජනාධිපතිවරයා විසින් සිදුකරන ලද පත් කිරීම් සඳහා නව ජනාධිපතිවරයා බැඳී නොමැති බව මෙයින් කිව හැකිය.

මේ පිළිබඳව සඳහන් කිරීමේදී ප්‍රශ්න කළ හැකි අවස්ථා දෙකක් තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා, 2015 ජනවාරි නව වැනිදා සන්ධ්‍යාවේ, ජනාධිපති ලෙස දිවුරුම් දුන් විගස නව අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමත් 2018 ඔක්තෝබර් මස 26 දින රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ලෙස පත් කිරීමත් යන අවස්ථා දෙක මේ බලතල සම්බන්ධයෙන් සලකා බැලීම වැදගත්ය. ජනවාරි නව වැනිදා සන්ධ්‍යාවේදී ජනාධිපතිවරයා සිය බලතල ක්‍රියාත්මක කරන ලද්දේ, සෘජුවම මෙම වගන්තියට අනුවය. ඒ අනුව එය නෛතික තත්ත්වයක් බව කිව හැකිය. ඒ අනුව තවම එම බලතල ක්‍රියාත්මක වන අතර නව ජනාධිපතිවරයා වෙත ද එම බලතල පැවරී තිබේ. ඔක්තෝබර් 26 වැනිදා රාත්‍රිය ඊට වඩා වෙනස් තත්ත්වයක් බව කිව හැකිය. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඔහුගේ වරම අනුව අගමැතිවරයෙක් ඒ වන විටත් පත් කර තිබුණි. මහ පළමු පත් කිරීමෙන් අනතුරුව මැතිවරණයෙන් ද ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස ඒ වන විට පත් කර තිබුණි. ඔක්තෝබර් මාසයේ පත් කිරීම ප්‍රශ්නකාරීය. එය නිවැරදි විය හැකි එකම ආකාරය වන්නේ ජාතික ආණ්ඩුව කඩා වැටීමේ අර්ථකථනයයි. එසේ නම් ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ කැබිනට් මණ්ඩලයම අලුතින් පත් කිරීමය.

දහ නව වැනි සංශෝධනය අනුව කලින් සිටි ජනාධිපතිවරයා නොව දැන් සිටින්නේ ඊට වඩා දුර්වල ජනාධිපතිවරයෙක් බව ප්‍රකාශ වේ. එතැනදී ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහ දක්වා අඩු විය. මේ නිසා නව ජනාධිපතිවරයාගේ සෑම දිනක්ම අතිශයින් වැදගත්ය. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කළමනාකරණ කුසලතාව අනුව ඔහුට සිය වැඩ කටයුතු සඳහා එක් දිනක් හෝ නාස්ති කළ හැකි නොවේ. මේ නිසා පවතින නීති රීති අනුව කැබිනට් මණ්ඩලයක් විද්‍යාත්මක ආකාරයෙන් නම් කර එය දිගටම ක්‍රියාත්මක කරගෙන යෑම රටේ සංවර්ධනය පාර්ශ්වයෙන් සලකා බලන විට අත්‍යවශ්‍ය ය. මහ මැතිවරණයකින් පසුව එම කැබිනට් තනතුර සඳහා යොදවන පුද්ගලයන් වෙනස් වුවත් අදාළ කර්තව්‍යයන් ඒ ලෙසම ඔහුට ක්‍රියාත්මක කරගෙන යා හැකි වනු ඇත. මේ නිසා ජනාධිපතිවරයාගේ බලතල සීමා වීම මෙම කටයුතු සඳහා බල නොපානු ඇත. කාලය අවමවීම, අගමැතිවරයා විමසීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ කාලය අවම වීම යන කාරණා දුර්වල තත්ත්වයන් නොව ඒවා ප්‍රජාතන්ත්‍රවාදී සීමා ලෙස ගෙන තම බලතල අනුව රට ඉදිරියට ගෙන යෑම නව ජනාධිපතිවරයා සතුය.

සාකච්ඡාවක් ඇසුරෙනි.

මනෝජ් අබයදීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More