ව්‍යාපාරික පුවත්

පසුගියදා රජය ප‍්‍රකාශයට පත් කළ බදු සහන සහ බදු ප‍්‍රතිසංස්කරණ නිසා බොහෝ දෙනෙක් කියන්නේ වැටී ඇති ආර්ථිකයට නව පණක් ලැබෙනු ඇති බවයි. එම සහනවල ප‍්‍රතිලාභ දැන් ක‍්‍රමයෙන් ජනයාට ගලා යමින් තිබුණත් මෙම බදු ප‍්‍රතිසංස්කරණවල මහජන ප‍්‍රතිලාභ ලැබීමේ කිසියම් ප‍්‍රමාදයක් තිබෙන බවක් පෙනේ. ඒ ගැන රජය විශේෂ අවධානය යොමු කළ යුතුව තිබේ. අදාළ රජයේ නව අඩු කළ බදු අනුපාත අනුව භාණ්ඩ මිල එයාකාරයෙන්ම අඩු වී නොමැති බවට බොහෝ පිරිස් චෝදනා කරමින් සිටිති. මේ නිසා රජයට ලැබෙන බදු ආදායම් අඩු වුවත් එම අපේක්ෂිත ප‍්‍රතිලාභ මහජනයාට නොලැබෙන්නේ නම් රජය විසින් මහජනයාට ලබා දීමට අපේක්ෂා කළ සහනය එලෙසම සාමාන්‍ය මහජනයාට නොලැබීමට ඉඩ තිබේ. ඇත්තවශයෙන්ම රජය මේ සහන දුන්නේ අවසාන පාරිභෝගිකයින්ට පමණක් නොවේ. මින් ව්‍යාපාරික ප‍්‍රජාවට ද සහන ලබා දුන්නේය. ඒ නිසා ඔවුන් වැඩි වැඩියෙන් ආයෝජන සහ ව්‍යාපාර කටයුතුවලට යොමු වීමෙන් රටේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය ඉහළ යනු ඇති බව රජයේ අපේක්ෂාව වී තිබේ. මේ තුළින් දැනට මන්දගාමී වී ඇති ආර්ථික වර්ධනය වේගවත් වනු ඇතැයි ලංකා වාණිජ මණ්ඩලය සහ කොළඹ ව්‍යාපාරික සංගමය ඇතුළු සෙසු ව්‍යාපාරික ප‍්‍රජාව ද අපේක්ෂා කරන්නකි. ව්‍යාපාරික ප‍්‍රජාව සහ මහජනයා කෙතරම් සහනවලට කැමති වුවත් රට කිරීමට රජයට බදු ආදායම් ද අවශ්‍ය වෙයි. මින් ලොකුම වගකීමක් වන්නේ රජයේ නොපියවූ ණය ගෙවීමට විශාල මුදලක් අවශ්‍ය වීමයි. මින් විදෙස් ණය ගෙවීමට සිදු වන්නේ විදේශ මුදල්වලින්මය. එනම් ඒ සඳහා අපට ඩොලර් අවශ්‍ය වේ. ආණ්ඩුවට ඩොලර් නැති නිසා ඩොලර් ගැනීමට වන්නේ මහ බැංකුවෙනි. එහෙත් මහ බැංකුව තුළත් විදෙස් සංචිත ඇත්තේ ඉතා සීමිතවය. බදු සහන නිසා රජයේ බදු ආදායම අඩු වීමෙන් රජයේ ආදායම ද සීමා වන තත්ත්වයක් තුළ රජයට විශාල අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙයි.

edifea2ආර්ථික තත්ත්වය යහපත් කර ගැනීමට ප‍්‍රධාන වශයෙන් ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීම, දේශපාලන ස්ථාවරත්වය, රජයේ ආර්ථික ප‍්‍රතිපත්ති මෙන්ම රටේ ආර්ථිකය කෙරෙහි දේශීය සහ විදේශීය පාර්ශ්වයන්ගේ විශ්වාසය තහවුරු කර ගැනීම යනාදිය ඉතාමත් වැදගත්ය. මෙහිදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට ප‍්‍රමාණවත් විශ්වාසය තහවුරු වීමක් සිදු වී ඇති අතර පසුගිය ජනාධිපතිවරණ ජයග‍්‍රහණය සමග දේශපාලන ස්ථාවරත්වය ද කිසියම් දුරකට ඇතිව තිබේ. ඉදිරි මහා මැතිවරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ රජයට පාර්ලිමේන්තු බහුතර බලය ද ලැබුණහොත් බොහෝ දුරට සැලකිය යුතු දේශපාලන ස්ථාවරත්වයක් රට තුළ ඇති වනු ඇති සිතිය හැකිය. මේ පසුබිම තුළ දේශපාලන ස්ථාවරත්වය සමග ආයෝජක විශ්වාසය ඉහළ යෑමත් රාජ්‍ය මුල්‍ය කටයුතු දැඩි විනයකට යටත් කිරීමෙන් පහත වැටී ඇති ආර්ථිකය යළි වර්ධන මාවතකට ගමන් කරනු ඇති බව අපේක්ෂා කෙරේ. හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මහතා මේ ලියුම්කරුට කීවේ 2020 වර්ෂයේදී සියයට 6 ඉක්මවූ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන බවයි. මෙය උසස් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද පසුගියදා පවසා තිබුණි. ජනපතිවරණයෙන් පසුව ඇතිව තිබෙන යහපත් පරිසරය සහ රජයේ නව බදු සහන ඇතුළත් ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ නිසා මන්දගාමී ආර්ථික වර්ධනය වේගවත් වීමට හොඳටම ඉඩ තිබේ. එහෙත් ලබන වසර (2020) සඳහා සියයට 6 ක සාපේක්ෂව ඉහළ ආර්ථික වර්ධන ඉලක්කයක් ඇති කර ගැනීම නම් තරමක අධි තක්සේරුවක් බව අපට හැෙඟයි.

ශ‍්‍රී ලංකා මහ බැංකුව සතුව ඩොලර් සංචිත ඇත්තේ සීමිතවය. එය අපගේ විදේශ විනිමය අවශ්‍යතාවලට සාපේක්ෂව ප‍්‍රමාණවත් මට්ටමක් නොවේ. පසුගිය ඔක්තෝබර් මස අවසානය වන විට පැවති දළ නිල සංචිත ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 7.8 ක් ලෙස මහ බැංකුව විසින් ඇස්තමේන්තු කර ඇති අතර එය මාස 4.7 ක ආනයන ආවරණය කර ගැනීමට ප‍්‍රමාණවත් වන්නකි. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා පවසන්නේ 2015 වසරට පෙර ලබාගත් ණය, ඉදිරි වසර පහ තුළදී ගෙවීමට සිදුවීම නව රජය මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයක් බවයි. ඉදිරි වසර පහේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කළ විමසීමකදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඩබ්. ඒ. විජේවර්ධන මහතා මේ බව පවසා තිබුණි. ඔහු තවදුරටත් කියන්නේ පසුගිය වසර 10 ක කාලය තුළ ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය මුදල් රැසක් ආපසු පියවීම සඳහා දී තිබූ සහන කාල සීමාව ඉදිරි වසර 5 තුළදී අවසන් වන බවය. මේ අනුව ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය මුදල් රැසකට ආපසු පියවීම සඳහා දී තිබූ සහන කාල සීමාව ඉකුත් වීමත් සමග එම ණය ආපසු ගෙවීමට සිදුවන හෙයින්, ශ‍්‍රී ලංකා රජය පියවිය යුතු වාර්ෂික ණය වාරික මුදල් ප‍්‍රමාණය අතිශයින් ඉහළ යනු ඇති බව ද ඔහු පවසා තිබුණි.

2025 වසරට පෙර සහන කාලය ඉකුත් වන ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය 2010 වසරේ සිට 2015 වසර දක්වා පැවති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රජය යටතේ ලබා ගත් ඒවා බව ද ඔහු පවසා තිබුණි. කවර රජයක් විසින් ඒ ණය ලබාගෙන තිබුණත් ඒවා හැම විටම ගෙවීමට සිදු වන්නේ පවතින රජයටය. ඒ අනුව මේ දැවැන්ත ණය අභියෝගයට මුහුණ දීමට ඉදිරි වසරවලදී ගෝඨාභය රාජපක්ෂ රජයට සිදු වනු ඇත. මේ සඳහා විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් අවශ්‍ය වෙයි. රජය සතුව විදේශ විනිමය නැත. මහ බැංකුව සතුව විදේශ විනිමය යම් ප‍්‍රමාණයක් තිබුණත් එය ප‍්‍රමාණවත් නොවේ. මේ නිසා නව රජය ප‍්‍රධාන වශයෙන්ම විදේශ විනිමය ඉපයුම් හැකිතාක් ඉහළ නංවා ගැනීමට තම ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ තුළ ක‍්‍රියා කිරීම අනිවාර්ය වෙයි. එහෙත් උපයන විදේශ විනිමය ප‍්‍රමාණවත් නොවන නිසා ඉදිරි ණය වාරික පියවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට යළිත් විදේශ ණය සහ ආධාර ලබා ගැනීමට සිදු වෙයි. මේ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළට ගොස් රජයේ බැඳුම්කර නිකුත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත. මේ අනුව අඩු පොලියට ණය සොයා ගත හැකි වුවහොත් සහ අපගේ විදේශ විනිමය ඉපැයුම් වැඩි කර ගැනීමේ මෙහෙයුම් සාර්ථක වුවහොත් මේ ප‍්‍රශ්නය සෑහෙන දුරකට සමනය කරගත හැකි වනු ඇත. මේ නිසා සංචාරක ව්‍යාපාරය සහ සෘජු විදේශ ඇතුළු විදේශ විනිමය රට තුළට ගලාගෙන එන ප‍්‍රමාණය හැකිතාක් වැඩි කරගෙන ඉතුරු විනිමය අවශ්‍යතා සාපේක්ෂව අඩු පොලියකට ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් සපයා ගත හැකි නම් මේ අභියෝගය ජය ගත හැකි වනු ඇත. කෙසේ හෝ නව රජයට විදේශ විනිමය වැඩි වශයෙන් සොයාගැනීමේ මාර්ග ගැන තීරණය කිරීමට සිදු වනු ඇත.

ලබා දුන් රජයේ බදු සහන නිසා කෙටිකාලීනව ආර්ථික වර්ධනය වේගවත් වනු ඇති බව මහ බැංකුව ද කියයි. ඒ ගැන පසුගිය නොවැම්බර් මස 29 දින නිකුත් කළ මහ බැංකුවේ මුදල් ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේ මෙසේ සඳහන්ය.

‘ආර්ථික දර්ශක මගින් පිළිබිඹු වන පරිදි කර්මාන්ත සහ සේවා ක‍්‍රියාකාරකම්වල ඇති විය හැකි මන්දගාමී වර්ධනය සමග වසරේ ඉතිරි කාලය තුළ ආර්ථික වර්ධනය මධ්‍යස්ථව පවතිනු ඇතැයි පුරෝකථනය කෙරේ. කෙසේ වුවද දේශපාලන ස්ථාවරත්වය සමග ආයෝජක විශ්වාසය ඉහළ යෑම සහ රාජ්‍ය මුල්‍ය අංශයෙන් ලැබෙන උත්තේජනය තුළින් සමස්ත ඉල්ලූම ඉහළ යෑම මගින් කෙටිකාලීනව ආර්ථික වර්ධනය ඉහළ නැංවෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. දැනට පවතින සීමිත ප‍්‍රතිපත්ති අවකාශය විචක්ෂණශීලීව උපයෝජනය කෙරෙන වඩාත් සුදුසු ප‍්‍රතිපත්ති සංකලනයක් හඳුන්වා දීම මගින් මැදිකාලීනව ආර්ථිකයට විභව වර්ධන මට්ටම කරා ළඟා වීමට මෙන්ම විභව ආර්ථික වර්ධන මට්ටම තවදුරටත් ඉහළ නංවා ගැනීමට ද සහාය වනු ඇත.’

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More