පුරවැසි කොලම

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අතර පසුගිය දා, පැවති ද්විපාර්ශවික සාකච්ඡා වලින් මතු වූ ප්‍රධාන කරුණක් පිළිබඳ ජාතික සංවිධාන නායකයින් අතර ප්‍රභල සංවාදයක් පැන නැගුණි. ඒ අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා විසින් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝදනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම පිළිබඳවය. ඊට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තම මතය පළ නොකිරීම පිළිබඳව ද යම් විවේචනාත්මක අදහස් ප්‍රකාශ විය. ඒ පිළිබඳ මෙම ලියුම් කරුගේ මතය මෙසේ දැක්විය හැක. රටවල් දෙකක රාජ්‍ය නායකයින් දෙපළක් අතර පැවැත්වෙන ද්විපාර්ශවීය නිළ රාජ්‍යනාත්‍රික සාකච්ඡාවක දී එක් රටක නායකයෙකු විසින් අනෙක් රටේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ඉල්ලා සිටීම යනු රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පිළිගත නොහැකි හැසිරීමකි. අගමැති මෝඩිගේ ඉල්ලීම ඉටු කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට සිදුවේ. එම නිසා එම වරදට එරෙහිව එම සාකච්ඡාවේදීම කරුණු දැක්වීම හෝ ප්‍රතියෝජනා ඉදිරිපත් කිරීම ද රාජ්‍යතාන්ත්‍රික වරදක් බවට පත් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉන්දියාවේ අගමැතිවරයා විසින් කරන ලද වරදට දායක නොවීම උසස් රාජ්‍ය තාන්ත්‍රික ගුණයකි. එසේම දේශපාලනික වශයෙන් පිළිතුරු දිය යුතු එම ඉල්ලීමට ඉන්දියාවේ භූමියෙන් පිටවීමට පෙර පුවත් පතකට ලබා දුන් සාකච්ඡාවක් යොදා ගනිමින් පිළිතුරු දීම ද දියුණු දේශපාලන තේරීමකි. එහිදී ප්‍රශ්ණ දෙකක් පැන නගියි. පළමු වැන්න 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ කුමක් නිසාද යන්නයි. දෙවැන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සඳහන් කරන ආකාරයට ඉඩම් බලතල හෝ පොලිස් බලතල පිළිබඳ ප්‍රශ්ණය පමණක් 13 වැනි සංශෝධනයේ සමස්ථ ගැටළුවෙන් වෙන්කොට විසඳිය හැකිද යන්නයි.

කෙසේ වෙතත් හින්දු පුවත්පතට ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශය අනාගතයේදී ප්‍රශ්නය විසඳීමේදී තීරණාත්මක සාධකය බවට පත් විය හැක. එම සාකච්ඡාවේදී ඔහු සඳහන් කරන්නේ බහුතර ජනතාවගේ කැමැත්ත නොමැතිව ප්‍රශ්ණය විසඳිය නොහැකි බවයි. පසුගිය ජනාධිපතිවරණය 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතුද යන්න ජනතාවගෙන් විමසන ජනමත විචාරණයක් බවට පත්විය. ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙමළ ජාතික සන්ධානය සතුටු කිරීම සඳහා 13 වැනි සංශෝධනය ඉක්මවා යන බලයත් පළාත් සභා වලට ලබා දෙන බවට දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශයකට ඇතුළත් කිරීමට සජිත් ප්‍රේමදාස නම් වූ ජනාධිපති අපේක්ෂකයා කටයුතු කළේය. එවැනි කථා යම් අවස්ථාවල දේශපාලන නායකයින්ගේ කටින් පිටවුවද නිශ්චිතව ප්‍රතිපත්ති ප්‍රකාශයකට එවැනි ස්ථාවරයක් අතුළත් කිරීමට ධෛර්මත් වූයේ සජිත් ප්‍රේමදාස මහතා පමණි. ඔහුගේ පියාට පවා නොතිබූ ධෛර්යක් ඔහුට පහළ වන්නේ බහුතර සිංහල ජනයා සුපුරුදු නින්දේ පසුවනු ඇති බවට වූ වැරදි විශ්වාසය නිසා විය හැක.

එම පොරොන්දුව අනුව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති බවට තේරීපත් වූවා නම් රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළ සහ සුමන්දිරම් මහතාගේ උපදේශකත්වයෙන් දියත් වූ ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් පවතින 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට අවශ්‍ය වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකෙරෙනු ඇත. ඊට අමතරව පවතින 13 වැනි සංශෝධනය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පළාත් සභා මඟින් දුර්වල කෙරෙන පාර්ලිමෙන්තුව තව දුරටත් දුර්වල කිරීම සඳහා සෙනට් සභාවක් හඳුන්වා දෙනු ඇත. එසේම පාර්ලිමේන්තුවේ තීන්දු සෙනට් සභාව මඟින් අභියෝගයට ලක් කිරීමට අමතරව විධායකගේ තීන්දු අභියෝගයට ලක් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පරිබාහිරව එන්.ජී.ඕ පන්නයේ ව්‍යවස්ථා අධිකරණයක් හඳුන්වා දෙනු ඇත.

ඒ සියල්ල ඉටු වූ පසුව බෙදුම්වාදීන්ට වෙනත් කිසිවක් අවශ්‍ය නැත. බෙදුම්වාදී බලවේග විසින් දිගින් දිගටම කේවල් කරනු ලැබුවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා පමණි. ඒ අනුව ඊට අමතරව සෙනට් සභාවක් සහ ව්‍යවස්ථා අධිකරණයක් ලබා දීම මඟින් ඊලාම් මාර්ග සිතියමේ සැතපුම් ප්‍රමාණය සහ එම ගමනේ පළමු අදියර වන ඊනිසා සාමකාමී සටන් ක්‍රියාමාර්ගවල දුෂ්කරතාවය අඩුවේ. ඉහත මතුකළ පළමු ප්‍රශ්ණය අනුව 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වන්නේ ඊට අදාළ යම් බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහිව ව්‍යවස්ථා බාධක ප්‍රමාණයක් පනවා ඇති බැවිනි. ඇත්ත වශයෙන්ම එම බාධක ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් දැනුවත්ව ඇතුල්කළ බවට සාක්ෂි ඇත. ඔහු ප්‍රාන්ත වලට බලය බෙදා දීමට වඩා සමස්ථ බලය තමා වටා කේන්ද්‍රකර ගත් බලවත් මධ්‍යතන ධනපති රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටි, අයෙකි. එනිසා ඔහුට උපදෙස් ලබා දුන් යම් දේශප්‍රේමි විද්වතුන්ගේ උපදෙස්මත එම ව්‍යවස්ථා බාධක ඇතුල් කිරීමට ඔහු සමත් විය. එහිදී ඔහු ඉන්දියාව එක ග කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් ඔහුට එරෙහිව දියත් කළ ප්‍රචන්ඩ විරෝධය ද තම වාසියට යොදා ගනු ලැබීය.

එම ව්‍යවස්ථා බාධක නොතිබුනානම් වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීම දක්වා වන මාර්ග සිතියමට පරිපාලන බාධක දැමීමට විධායක ජනපති වරයාට ඉඩ ලැබෙන්නේ නැත. ඉන්දියානු රෝ ඔත්තු සේවාව විසින් 13 වැනි සංශෝධනය තාක්ෂණිකව සැලසුම් කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය එසේම තිබියදී රට බෙදීමේ මූලික උපාංගයක් ලෙසය. එසේ බෙදා වෙන් කෙරෙන රට ආරක්ෂක හා ආයෝජන ගිවිසුම් මඟින් අර්ධ කොලනියක් ලෙස ඇඳා ගැනීම යනු ඉන්දියානු භූ දේශපාලන උපායමාර්ගික මහා සැලසුමට අයත් ප්‍රධාන පූර්ව කොන්දේසියකි. යමෙකු ඊට එරෙහිව තර්ක ඉදිරිපත් කරන්නේ නම් ඒපිළිබඳ වෙනම සාකච්ඡා කළ හැක. කෙසේ වෙතත් විධායක ජනාධිපති ක්‍රමය නිසා රට බෙදීමෙන් වැළකී තිබෙන බවට ඉදිරිපත් කරන තර්කය දේශපාලන වශයෙන් ළදරු ස්ථාවරයක් බවද කිව යුතුය. 13 වැනි සංශෝධනයට එරෙහිව විධායක ජනාධිපති ක්‍රමය බාධකයක් වන්නේ ඉහත සඳහන් කළ සෙසු බාධක ව්‍යවස්ථාවේ තිබෙන තෙක් පමණි. එම බාධක ඉවත් කළ විට පළාත් සභාවක භූගෝලීය ප්‍රදේශ තුළ ජීවත් වන ජනතාවට ස්වයං පාලනයක් ලබා දී ඇති බව හෙවත් පරමාධිපත්‍ය බලය එම ජනතාවට බෙදී යන බවට ජාත්‍යන්තර නීතිය යටතේ තහවුරු වේ.

නැගෙනහිර ටිමෝරය බෙදී වෙන්වීමේදී පෘතුගාලය විසින් ඔස්ට්‍රේලියාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ ගොනුකළ නඩුවේ තීන්දුව අනුව යම් භූ ගෝලීය ප්‍රදේශයක ජීවත්වන ජනතාවකට විශේෂිතව පරමාධිපත්‍ය බලය බෙදී යන ආකාරයට ස්වයං පාලනයක් ලබා දී ඇති අවස්ථාවක එම බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහිව මධ්‍යම ආණ්ඩුව විසින් බලය පාවිච්චි කරන්නේ නම්එම ජනතාවට වෙන් ව යාමේ අයිතිය ඇත. ඊට අමතරව එවැනි ජනතාවකට ආණ්ඩුව විසින් නින්දා සහගත ලෙස සලකන්නේ නම් සහ එම ජනතාව සමුල ඝාතන තර්ජනයකට ලක් වී සිටි නම් ඒ මඟින්ද වෙන්ව යාමේ අයිතිය තවදුරටත් තහවුරු වේ. උතුරේ හිටපු මහ ඇමති, විග්නේෂ්වරම් මහතා විසින් තම ජනතාවට ශ්‍රී ලංකාවේ රජය නින්දාසහගත ලෙස සලකන බවට සහ ඔවුන් සමූල ඝාතනයකට ලක්ව සිටින බවට නිරන්තරයෙන් පැමිණිලි ඉදිරිපත් කරන්නේ කුමක් නිසාදැයි එම නඩු තීන්දුව තුලින් පැහැදිළි වේ.

ඊට අමතරව ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවෙි විභාග වූ මාවෙයි සේනාධිරාජාට එරෙහිව චන්ද්‍රසෝම නඩුවේ තීන්දුව අනුව ව්‍යව්සථාවේ එකීය වචනය එසේ ම තිබියදී අංග සම්පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් පැවැතිය හැකිය. එනම් ජනමත විචාරණයකින් පමණක් සංශෝධනය කළ හැකි එකීය වචනය ව්‍යවස්ථාවේ එසේම තිබියදී පාර්ලිමෙන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් ගෙන එන ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් රට ෆෙඩරල් කළ හැක. ඒ අකාරයට ඉහත සඳහන් කළ ව්‍යවස්ථාමය බාධක ව්‍යවස්ථා සංශෝධනයකින් ඉවත් කළ විට බෙදුම්වාදී මාර්ග සිතියම ඉදිරියට ගමන් කරනු ඇත. එම අවස්ථාවේ දී විධායක ජනපතිට උඩ බලාගෙන සිටීම හැර කළ හැකි දෙයක් නැත. ඊට හේතුව ඉහත සඳහන් කළ ආකාරයට ස්වයං පාලන බලතල හිමි ජනතාවක් විසින් එම බලතල භාවිත කිරීමේදී මධ්‍යම රාජ්‍ය ඊට බාධා එල්ල කරන්නේ නම් ජාත්‍යන්තර මැදිහත්වීමකට ඉඩසැළසීමය. උදාහරණයක් ලෙස පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහිව එනම් පොලිස් ප්‍රඥාප්තිය සම්මත කිරීමට එරෙහිව ආණ්ඩුකාරවරයාට බාධා එල්ල කළ නොහැකි ආකාරයට එම බාධකය ඉවත් කල විට අදාළ ප්‍රඥාප්තිය සම්මත කළ හැක. ඉන්පසුව අදාළ බලතල ක්‍රියාත්මක කිරීමට එරෙහිව ජනපතිවරයා විසින් හමුදා බලය යෙදවුවහොත් ඊට එරෙහිව ඔනෑම අවස්ථාවක මැදිහත් වීම සඳහා ජාත්‍යන්තර බලවේග පෙළගැසී සිටින බව රහසක් නොවේ.    එහිදී ඉන්දියාවට අදාළව ගත්ත ද එම තත්වය අඬන්න බලා සිටින්නාගේ ඇසට ඇනීමකි.

දැනටමත් ඉන්දියාවටත් වඩා යම් ෆෙඩරල් බලතල සහිත ශ්‍රී ලංකාවේ පළාත් සභා වලට පූර්ණ ෆෙඩරල් බලතල ලබා ගැනීම සඳහා ඉවත් කළ යුතු බාධක මූලික වශයෙන් 05 ක් හඳුනාගත හැක. ඉතා සුළු සංශෝධන මඟින් ඒවා ඉවත් කළ හැක. ඒවා බෙදුම්වාදී බලවේග විසින් 1987 සිටම දිගින් දිගටම ඉල්ලා සිටින ඉල්ලීම්ය. ඊට අමතරව ඉන්දියාවේ බෙදුම්වාදයට එරෙහිව පවතින ප්‍රධාන ව්‍යවස්ථා බාධක දෙකක් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුල් කොට නැත. පළමු වැන්න ඉන්දියාවේ ප්‍රාන්ත රජයකට අදාළව මධ්‍යම රජය විසින් නීතියක් සම්මත කිරිම සඳහා විශේෂ බහුතර බලය අවශ්‍ය නොවීමය. නමුත් ශ්‍රී ලංකාවේ ඒ සඳහා තුනෙන් දෙකේ විශේෂ බහුතර කැමැත්ත එනම් ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමේ බලය අවශ්‍ය වේ. දෙවැන්න ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩුවක් විසින් සම්මත කරන නීතියක් ඒක පාර්ශවීයව අත්හිටුවීමට අවශ්‍ය බලය ජනාධිපතිවරයා සතු වීමය. ශ්‍රී ලංකාවේ පළාත් සභා ප්‍රඥ්ඥාප්තියකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීමටවත් බලයක් මහජනයාට නැත. ඒ සියල්ලට අමතර පොලිස් බලතල ක්‍රියාත්මක කිරීමට අදාළව නීතිය සහ අතුරු නීති හෝ රෙගුලාසි වලට ඇතුලත් කළ යුතු ප්‍රතිපාදන පවා ව්‍යවස්ථාවට ඇතුලත් කොට ඇත. ඒ අනුව ඉහත සඳහන් කළ ව්‍යවස්ථාමය බාධක 05 ඉවත් කළ විට ශ්‍රී ලංකාවේ පලාත් සභාවකට ඉන්දියාවේ ප්‍රාන්ත රජයකට වඩා බලවත්ව ක්‍රියාත්මක විය හැක.

ඒ ආකාරයට බෙදුම්වාදි බලවේග විසින් ඉවත් කළ යුතු බවට බලකරන ව්‍යවස්ථා බාධක මෙසේ හඳුනා ගත හැක. පළමු වැන්න සමගාමී බලතල ලැයිස්තුව ඉවත් කොට එම බලතල මධ්‍යම රජය සහ පළාත් බලතල ලැයිස්තු වලට ඇතුළත් කිරීමය. එමඟින් පලාත් සහ මධ්‍යම රජය අතර බලතල පැහැදිළිවම බෙදී වෙන්වන අතර එම තත්වය ජාත්‍යන්තර නීතිය යටතේ පරමාධිපත්‍ය බෙදීගොස් ඇති බව තහවුරු කිරීම සඳහා ඉතා වැදගත් වේ. දෙවැන්න ප්‍රතිපත්ති හැදීමේ බලය පළාත් සභා වලට ද ලබා දීමය. දැනට ජාතික ප්‍රතිපත්ති හැදීමේ බලය මධ්‍යම රජය සතු වේ. එවිට පළාත් සභා වලට අනිත්‍ය වූ ඉඩම් ප්‍රතිපත්තියක් සම්මත කිරීමට බලය ලැබේ. තුන්වැන්න ඉඩම් පරිහරනය කිරීමේ අයිතිය පළාත් සතු කොට බැහැර කිරීමේ අයිතිය පමණක් ජනාධිපතිවරයා සතු කිරීමය. එවිට පළාත් ප්‍රතිපත්තිය යටතේ කෙටිකාලීන බලපත්‍ර යටතේ පළාත් ඉඩම් මහජනයාට හෝ සමාගම්වලට පැවරිය හැකිය.

හතරවැන්න  පළාත් භාණ්ඩාගාරයක් පවත්වා ගෙන යාම සහ බදු පැනවීම සඳහා ස්වාධීන මූල්‍ය බලය පළාත් වලට ලබා දීමය. පස්වැන්න ඉතා වැදගත් වන අතර එය ආණ්ඩුකාරවරයාගේ බලතල මඟින් ඇති කරන බාධකය ඉවත් කිරීමය. ඒ සඳහා කළයුත්තේ ආණ්ඩුකාරවරයා පළාත් මහ ඇමතිට යටත් කෙරෙන ආකාරයේ සංශෝධනයක් පමණි. උදාහරණයක් ලෙස ජනාධිපතිවරයා විසින් මහ ඇමති කැමැත්ත විමසා ආණ්ඩුකාරවරයා පත් කළ යුතු බවට වන සංශෝධනයක් ඒ සඳහා ප්‍රමාණවත් වේ. එවිට පළාත් ප්‍රඥාප්තියක් සම්මත කිරීමට ඉඩ නොදී ආපසු හරවා යැවීමේ ප්‍රතිපාදන ක්‍රියාත්මක නොවේ. එනම් පළාත් පොලිස් ප්‍රඥාප්ති හා ඉඩම් ප්‍රඥාප්ති සම්මත කිරීමට එරෙහිව මෙතෙක් පැවති එකම බාධකය ඉවත් වේ. ව්‍යවස්ථාවේ ඉතා විස්තීර්ණ ලෙස දක්වා ඇති සහ ලබා දී ඇති පොලිස් බලතල මෙතෙක් ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ප්‍රඥාප්තියක් සම්මත කිරීමට ඉඩ නොදීම නිසාය. එසේ එම බාධකය ඉවත් කළ විට නව ජනාධිපතිවරයා කියන ආකාරයට පොලිස් බලතල ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට හැකියාවක් නැත. පොලිස් ප්‍රඥාප්තියක් සම්මත කළ පසු එය ක්‍රියාත්මක කිරීමට එරෙහිව බාධා කළහොත් ඉහත සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තර මැදිහත් වීමට පාර කැපෙනු ඇත.

ඒ අනුව පවතින තත්වය තුළ 13 වැනි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට හෝ පොලිස් බලතල වැනි යම් බලතල ඉන් ගැලවීම හෝ එම සංශෝධනය තවදුරටත් බලවත් කිරීම යන කුමක් සිදු කිරීමට උත්සහ කළත් කුමන හෝ පාර්ශවයක බරපතල විරෝධය මතුවේ. විශේෂයෙන්ම 19 වැනි සංශෝධනය ඉවත් කිරීම හෝ නැවත සංශෝධනය කිරීම නමැති ” කැරට් අලය ” සමඟ ගැටගැසා මැතිවරන ක්‍රමය සංශෝධනය කිරීම නම් වූ වර්ණ තවරා ඉදිරිපත් කෙරෙන 13 වැනි සංශෝධනයේ බාධක ඉවත් කිරීමේ කූඨ ක්‍රියාවලියකට ගොදුරු වුවහොත් බරපතල දේශපාලන අර්බුදයකට මුහුණදීමට නව ජනාධිපතිවරයාට සිදුවේ. 19 වැනි සංශෝධනය ගෙන ඒමේදී පාර්ලිමෙන්තුව කෝලම් මඩුවක් බවට පත් කොට කාරක සභා අවස්ථාවේදී කූඨ ලෙස සංශෝධන 40 ක් ව්‍යවස්ථා‍ට ඇතුල්කළ ව්‍යවස්ථා මකබාස්ලා පාර්ලිමේන්තුව තුළ තවමත් සිටියදී පවතින ව්‍යවස්ථාවේ කැලි ගැලවීමට හෝ ටින්කරින් කිරීමට උත්සහා කිරීම ඉතා අනතුරුදායක වනු ඇත.

නව ජනපතිවරයා ඉතා නිවරුදිව සඳහන් කළ ආකාරයට පසුගිය මැතිවරණයේදී මහජනයා විසින් 52% බහුතර ඡන්දයකින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සහ එය තව දුරටත් බලවත් කිරීම යන යෝජනා දෙකම පරාජය කොට ඇත. ඒ නිසා එම යෝජනා නැවත ඉදිරිපත් කිරීමට හෝ පිළිගැනීමට කිසිඳු ඉඩක් නැත. බලය බෙදීම යන වචනය නැවත නැවත පුනරුවිචාරණය කිරිමෙන් ප්‍රශ්ණය විසඳී නැති බවත් උතුරේ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම සඳහා විකල්ප යෝජනා අවශ්‍ය බවත් නව ජනාධිපතිවරයා විසින් පැහැදිළිව සඳහන් කිරීම තුලින් පෙන්වන්නේ එතුමා ජනවරමට හිස නමන බවය. නමුත් ඉන්දියානු ඔත්තු සේවා එම ජනවරමට හිස නොනමන බව ඉන්දීය අගමැති වරයාගේ ප්‍රකාශයෙන් පැහැදිළි වේ. එනිසා බාහිර සහ අභ්‍යන්තර සියළු බලපෑම් වලින් නිදහස් වී උතුරේ ජනතාවට සාධාරණය ඉටු කළ හැක්කේ නව ව්‍යවස්ථාවක් මඟින් පමණි.  නව ජනපතිවරයා ඒ බව තම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් පිළිගෙන ඇත.

ඒ නිසා රනිල් වික්‍රමසිංහ රජය සිදු කළ ආකාරයට තවත් වසර 05 ක් තිස්සේ ප්‍රශ්ණය තව දුරටත් ඇදගෙන යාමට අවකාශයක් නැත. නව ව්‍යවස්ථාවක 19 ක් හෝ 13 ක් හෝ 1 සිට 19 දක්වා කුමන හෝ සංශෝධනයක් අඩංගු වන්නේ නැත. ඒ නිසා බෙදුම්වාදයට රට ගොදුරු නොවන ආකාරයට විධායක බලය හෙවත් පරිපාලන බලතල පමණක් උපරිමයෙන් විමධ්‍යගත කෙරෙන පළාත් පාලන මොඩලයක් හඳුන්වා දීමට ඒ මඟින් අවස්ථාව ලැබේ. පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ පළාත් සම්මේලනය පළාත් සංවර්ධන සභාවක් ලෙස නම් කිරීම සහ පළාත් පාලන ආයතන වලට අදාළ පනත යටතේ උපරිමයෙන් බලතල දීම පිළිබඳව විද්වත් භික්ෂු සංසදය ඇතුළු විවිධ ජාතික සංවිධාන විසින් යෝජනා ඉදිරිපත් කොට ඇත. ඒ නිසා එවැනි යෝජනා සැලකිල්ලට ගෙන නව ව්‍යවස්ථා රාමුවක් ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණය ජනමත විචාරණයක් බවට පත් කරමින් රටට ඉදිරිපත් කීරිමට නව ජනාධිපතිවරයාට මනරම් අවස්ථාවක් උදාවී ඇත.

 

– වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර. –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More