ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තුසේවාවේ ඒජන්තයින් විසින් විකිරණශීලි ද්‍රව්‍යය ශරීරගත කොට පිළිකාවක් ඇති කොට ඝාතනය කළ බවට වෙනිසියුලානු වැසියන් විශ්වාස කරන ඔවුන්ගේ ආදරණීය නායකයා වූ හියුගෝ චාවේස් ගැන ඒ වැසියන් තරමටම දුක් වූ පිරිසක් වෙනත් රටක සිටියා නම් ඒ ශ්‍රී ලංකාවේ ය.
අප ඔහු ගැන ලියූ කවි සහ ලිපි, පරිවර්ථනය කළ පොත් සහ පැවැත් වූ සම්මන්ත්‍රණ හා සමරු උත්සව පිළිබඳ මතකය අද දවසේ වුවද අපගේ දෑස් තෙත් කරයි. ජනාධිපති චාවේස්ගේ මරණයට පෙර එවකට ශ්‍රී ලංකාවේ කියුබානු තානාපතිනිය වූ ඉන්දිරා ලෝපේස් මැතිණිය ශ්‍රී ලංකාවේ ජාතිකවාදී වාමවාදී බලවේග සමඟ ඉතා සමීප සංවාදයක නියුක්තව සිටි අයෙකි. ඇය අප සමඟ පැවසූ තොරතුරු අනුව කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝ බොලිවියානු නායක ඉවෝ මොරාලස්ට පවසා ඇත්තේ ලෝකයේ නැගී එන ජාතික ව්‍යාපාර කස්ත්‍රෝ ගෙන් ඉගෙනීමට වඩා චාවේස්ගෙන් ඉගෙනීමට ප්‍රමුඛතාවය දිය යුතු බවය.
අප ද චාවේස්ගෙන් ඉගෙනීමට උනන්දු වූ පිරිසක් බැවින් චාවේස් ගැන ලියූ පොත පත කියවීමට සහ ඒවා සිංහලයට පරිවර්තනය කිරීමට මෙන්ම එරට ජනජීවිතය සහ ආර්ථිකය පිළිබඳව ගැඹුරින් අධ්‍යනය කිරීමට අප තුළ විශාල උනන්දුවක් තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස අප විසින් කරනු ලැබූ ඉල්ලීමට කන් දෙමින් කියුබානු තානාපතිනිය විසින් ශ්‍රී ලංකාව ආවර්ණය කරන ඉන්දියාවේ වෙනිසියුලානු තානාපතිනිය අපට මුණ ගැස්වීමට ඉතා කාරුණිකව අවශ්‍ය කටයුතු සලස්වන ලදි. අවස්තා දෙකකදී වෙනිසිවුලානු තානාපතිනිය මුණගැසුණු අප ඇයට පෙන්වා දුන් ප්‍රධාන කරුණක් වූයේ වෙනිසියුලාවේ ආහාර සුරක්ෂිතතාවය අනතුරුදායක තත්වයක තිබෙන බවය. විශේෂයෙන්ම අප විසින් එම කරුණු මතු කරනු ලැබුවේ ඇමරිකානු සම්බාධක වලට මුහුණ දීමට තම රාජ්‍ය සූදානම් බවට තානාපතිනිය විසින් ලබා දුන් සහතිකයට අභියෝග කරමින් අප විසින් දිරිපති කරනු ලැබූ ප්‍රති තර්ක වලට අදාළ සංවාදය තුළය.
චාවේස්ට වැරදුනු හැටි
වෙනුසියුලාවට සහ එරට වැසියන්ට අසීමිතව ආදරය කළ නිර්භීත නායකයෙකු වූ චාවේස්ගේ උතුම් අරමුණු පිළිබඳ අපට විවාදයක් නොතිබුණි. එහෙත් ඛණිජ තෙල් ආදායම් යොදා ගනිමින් ගොඩනගන නිවාස ව්‍යාපෘති, සුපිරි අලෙවිසැල් ජාල සහ නගර අලංකරණය ඇතුළු නාගරික ඉදිකිරීම් මුල්කරගත් ආර්ථික මොඩලය වෙනුවට ආහාර සුරක්ෂිතතාවය සහ වෙළඳපළට ඉදිරිපත් කරන භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය වර්ධනය කෙරෙන ජාතික නිෂ්පාදන ආර්ථික මොඩලයක් නිර්මාණය කළ යුතු බවට අප විසින් ඉදිරිපත් කළ තර්ක තානාපතිය විසින් පිළිගන්නට යෙදුණි. විශේෂයෙන්ම එම පරිවර්ථනය ඇමරිකානු බලහත්කාරයට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියක් බවට අප විසින් ගොඩනැගූ තර්ක ඇයගේ අවධානයට ලක් විය. එසේ වුවත් ආහාර සුරක්ෂිතතාවය යනු ආහාර ස්වෛයිරීත්වය බව ඇය දැන සිටියේ නැත. ආහාර ආරක්ෂණ තොග පවත්වා ගැනීම මඟින් ආහාර සුරක්ෂිතතාවය සහතික කළ හැකි බවට තානාපතිනියගේ මනස තුළ වැරදි අදහසක් පවතින බව දක්ට ලැබුණු බැවින් අප විසින් ආහාර නිෂ්පාදන පද්ධතියේ දීර්ඝ කාලීන පැවැත්මට අදාළ මූලික සාධක ඇයට පහදා දුණි.
එහිදී අප රටේ ඓතිහාසික වාරි ශිෂ්ඨාචාරය සහ ආහාර නිෂපාදන පද්ධතිය පිළිබඳව අප විසින් ඉදිරිපත් කළ විස්තරාත්මක තොරතුරු පිළිබඳව ඇය මවිතයට පත් විය. යම් වාරි පද්ධති දැක බලා ගැනීමට ද ඇයට උවමනා විය. නමුත් වෙනිසියුලාවේ භූ විෂමතා අනුව අප රට සතු වාසි දායක තත්වය ඔවුනට නොමැති බවද ඇය විසින් සඳහන් කරනු ලැබීය. ආහාර නිෂ්පාදනයේදී අප සතු වාසිදායක තත්වයන් වෙනිසියුලානුවන්ට නැතත් ඔවුන් අල වර්ග, ධාන්‍ය වර්ග සහ සත්ත්ව නිෂ්පාදන මත පදනම් වූ ඔවුන්ගේ ආහාර පුරුදු සෞඛ්‍ය, ආර්ථික සහ සමාජ සංස්කෘතික සාධක මත දියුණු ලෙස ස්තානගත කිරීම සඳහා විස්තීරණ ආහාර ප්‍රතිපත්තියක් ඔවුන් සතුව ඇත. 1991 දී හඳුන්වා දී ඇති එම ප්‍රතිපත්තිය හඳුන්වන්නේ ආහාර භෝග මත පදනම් වූ ආහාර ප්‍රතිපත්තියක් ලෙසය. පෝෂණය මත පදනම් වූ ආහාර ප්‍රතිපත්තියක් ගැන කතාකරන පොට පටලවා ගත් අප රටේ විද්වතුන්ට එම ප්‍රතිපත්තිය හැදෑරීම ප්‍රයෝජනවත් වනු ඇති බවද කිව යුතුය. අඩු මුදලට ආහාර මිලදී ගැනීම සහ නිෂ්පාදනය කිරීම මෙන්ම ආහාර විවිධත්වය සහ දේශීය ශාකමය ආහාර බහුලව ආහාරයට ගැනීමේ වැදගත් කමද එම ප්‍රතිපත්තිය මඟින් අවධාරණය කෙරෙයි.
ඒ අතින් බලන විට අප රටේ සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍යවරුන් ප්‍රමුඛ ක්ෂේත්‍රයේ විද්වතුන් ජීවත්වන්නේ වැනිසුයුලාවේ එවැනි පිරිස් වලට වඩා ගව් ගණනක් පිටුපසින් බව පිළිගැනීමට සිදුවේ. කෙසේ වෙතත් අප විසින් වෙනිසියුලානු තානාපතිනියට ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව අවධාරණය කරනු ලැබුවේ එරට ජාතික ආරක්ෂාව සමස්ථ ලෝක වැසියන්ගේ ආරක්ෂාවට බලපාන බැවිනි. එසේ නම් ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන බව සහ ඒවා එකිනෙකට සම්බන්ධ බවද පිළිගැනීමට සිදුවේ. නමුත් ඒ බව වෙනිසියුලානුවන් විසින් තේරුම් ගන්නා විට බොහෝ පමා වූ බව දැන් අපි දනිමු. ඇමරිකානු මූල්‍ය සහ වෙළඳ සම්බාධක හමුවේ සැබෑ ආහාර හිඟය පමණක් නොව සුපිරි අලෙවි සැල් ජාල මඟින් කෘතිම නිර්මාණය කළ ආහාර හිඟය මඟින් ජනතාව වීදි වලට කැඳවනු ලැබීය. ආහාර පමණක් නොව වැසිකිළි කඩදාසි රෝල් ලබා ගැනීම සඳහා ද පෝලිම් ගැසීමට එරට ජනයාට සිදුවිය. නාගරික – කරණයේ ඊනියා අනිවාර්ය අංගයක් වූ සුපිරි අලෙවිසැල් ද අවසානයේ ඇමරිකානු රහස් ඔත්තුසේවා වල ආධිපත්‍යයට යටත් විය. චාවේස්ට උපදෙස් දුන් පිරිස් නූතන ඇමෙරිකාවේ භෞතික සංවර්ධනයේ රහස නිවරදිව කියවාගත් පිරිසක් නොවන බව පිළිගැනීමට සිදුවේ. ඇමෙරිකාව තම නාඟරික යටිතල පහසුකම් මුල් කරගත් නූතන සංවර්ධන මොඩලය ගොඩනගා ඇත්තේ ශක්තිමත් කෘෂිකාර්මික නිශ්පාදන පද්ධතියක් සහිත ඓතිහාසික අත්තිවාරමක් මත බව බොහෝ නව ලිබරල් විද්වතුන් තේරුම් ගන්නේ නැත.
කියුබාවේ නාගරික සහ අර්ධ නාගරික වැසියන් පවා තම ආහාර අවශ්‍යතාවයෙන් 40% දක්වා ගෙවතුවල වගා කිරීමට සමත්වන තත්වයක් යටතේ පවා වැනිසියුලානුවන් ඒ පාඩම ඉගෙන ගත්තේ නැත. එපමණක් නොව සිල්ලර වෙළඳාම ආරක්ෂා කිරීමේ වැදගත් කමද අවබෝධ කොටගෙන නොතිබිණි. සිල්ලර වෙළඳාම සහ කුඩා පරිමාණ බෙදා හැරීමේ ව්‍යාපාර ආරක්ෂා කිරීම යනු ආහාර සුරක්ෂිතතාවයේ වැදගත් අංගයක් බව අවබෝධ කර ගැනීමට ද චාවේස් නම් වූ අසාහය නායකයා අසමත් විය. ඔහු ආදරය කළ ජනතාව පෙරළා ඔහුට ද ආදරය කල බැවින් ජනතාව සක්‍රීය කිරීමේ බාධාවක් හෝ ඔවුනට අමාරු දේ අවබෝධ කරවීමේ බාධාවක් නොතිබිණි. වරද සිදුවූයේ උපාය මාර්ගික තේරීම්වල දුප්පත් කම නිසා බව දැන් ඉතා පැහැදිළිය. එහෙත් එම බරපතල වරදට වන්දි ගෙවිමට සිදුවන්නේ චවේස්ගෙන් පසු නායකත්වයට පත් වන ජනාධිපති නිකුලස් මදුරෝට ය. එදා චාවේස් බලයෙන් පහ කිරීමෙන් පසුව නැවත බලය අත්පත් කරගත් විට ඔහු සහ රාජ්‍යය රැකීමට යුධ හමුදාවට වඩා බලවත් ලෙස ජනතාව පෙරට පැමිණියහ. අද ගෝඨාභය රාජපක්ෂයන්ගේ ආගමනය සමඟ චිත්‍ර අඳින, පැල සිටුවන සහ කසල ඉවත් කරන තරුණ බලවේග විසින් පෙන්වනු ලබන්නේද එවැනි ප්‍රවනතාවයක් නොවේද?. ඔවුන් විසින් කරනු ලබන කාර්යයට වඩා ඒ පිටුපස පවතින ඔවුන්ගේ මනෝ භාවය ගැඹුරින් තේරුම් ගැනිම වැදගත් වන්නේ චාවේස්ගේ පාඩම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහාය. වර්තමාන රජය විසින් අත්විඳින තරුණයින්ගේ සුවිශේෂී සහ නව අපේක්ෂාවන් සහ උනන්දුව ඊට පෙර රජය විසින් අත් විඳිනු ලැබූ විරෝධාකල්පයන්ට වඩා බලවත් බව ගෝඨාභය රාජපක්ෂයන් විසින් තේරුම් ගෙන ඇතැයි අපි විශ්වාස කරමු.
චාවේස් සහ ගෝඨා
කෙසේ වෙතත් මෙම දිර්ඝ පූර්විකාව අවශ්‍ය වන්නේ බෝහෝ ලක්ෂණ වලින් චාවේස් ට ආසන්න විය හැකි ගෝඨාභය රාජපක්ෂයන් විසින් යම් කරුණු වලට අදාළ චාවේස්ගේ වැරදීම් වලින් පාඩම ඉගෙනීමේ වැදගත්කම පෙන්වා දීම සඳහාය. නමුත් එය වැදගත් වන්නේ එක් පූර්ව කොන්දේසියක් හෝ නිගමනයකට යටත්වය. එදා වෙනිසියුලාවේ ඛණිජ තෙල් සමාගම් ජනසතු කිරීම වැළැක්වීමට චාවේස්ට බලපෑම්කළ බටහිර බලවේග මෙදා ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ සහ ඇමරිකානු හමුදාවේ සැපයුම් සහ මෙහෙයුම් තිත්පොලක් බවට පත් කිරීමේ උවමනාව සඳහා ගෝඨාභය රාජපක්ෂයන්ට බලපෑම් කරන බව රහසක් නොවේ. එසේ නොවන බව කුඩා ළමයෙකු හෝ විශ්වාස කරන බව පිළිගත නොහැක. එහිදි ගෝඨාභය රජපක්ෂයන්ට චාවේස්ගේ පාඩම් වැදගත් වන්නේ චාවේස්ගේ මූලික සහ ඔහුට ආවේනික වූ භූමිකාව ඔහු විසින් රඟදක්වන්නේ නම් පමණි. එනම් ඉන්දියානු සහ ඇමෙරිකානු බලපෑම් වලට යටත් නොවන්නේ නම් පමණි. එදා යුධ ජයග්‍රහණයෙන් පසුව එම බලවේග වලට යටත් නොවූ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව බටහිර බලවේග විසින් අරාබිවසන්තය කැඳවීමට කැසකවන අවස්ථාවේදී සහ විශේෂයෙන්ම අද ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් එදා ඇමරිකාවේ සහයෝගයෙන් ආණ්ඩු පෙරළීමට හෝ සමාජවාදය ගොඩනැගීමට කථා කරන තත්වයක් තුළ අප විසින් ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාව තරමටම වැදගත් වන බව පෙන්වා දුණි.
ඊට අදාළව හිටපු අගවිනිසුරු රාජා වනසුන්දර මහතාගේ නායකත්වයෙන් ඉදිරිපත් කළ ජාතික පුනර්ජීවණ කොමිෂන් වාර්ථාව, මව්බිම ලංකා පදනම විසින් ඉදිරිපත් කළ ආර්ථික සෞභාග්‍යය සඳහා වන උපාය මාර්ගික ප්‍රවේශය සහ බෞද්ධ පුනර් ජීවන කමිටු වාර්ථාව ආදි විද්වත් වාර්ථා කිහිපයක් මඟින් කරුණු ඉදිරිපත් කරන්නට යෙදුණි. ඒ අනුව එදා රජයේ තිරිඟු පිටි සහ ආනයනික කිරිපිටි අධෛර්යමත් කිරීම සඳහා බදු පනුවනු ලැබිය. නමුත් පරාජයට පත් වු පසුගිය යහපාලන රජය විසින් එසේ කිරිපිටි වලට පනවා තිබූ කි.ග්‍රෑම් 1 කට රු. 225 ක් වූ සෙස් බද්ද රු. 2 දක්වා රු. 223 කින් කපා හරිනු ලැබීය. ඒ මඟින් රජයට අහිමි වූ ආදායම රු. මිලියන 10,000 ක් පමණ වේ. එමගින් දේශීය කිරි ආර්ථිකයට සිදු වූ පාඩුව එසේ සංඛ්‍යාත්මකව සංගණනය කිරීමට නොහැකි තරම් විශාල බව කිව යුතු නැත. එසේම අවස්ථා දෙකකදී රු.10 බැගින් තිරිඟු වලට පනවා තිබු බද්ද රු.20 කින් අඩු කිරීම නිසා රටට අද වන විට වාර්ෂිකව සිදු වන පාඩුව රු. මිලියන 34,000 කි. ඒ මඟින් රටට හෝ පාරිභෝගිකයාට සිදු වූ සෙතක් නැතත් මහා පරිමාණ බේකරි හිමියන්ට සහ තිරිඟු ආනයනය කරන සමාගමට පමණක් නොව බදු සහන දීම සඳහා ආණ්ඩුවට ලනු ගිල්වන නව ලිබරල් විද්වතුන්ට හෝ විද්වතාට ලැබෙන ලාභය කොතෙක් දැයි රජයට සිදුවන පාඩුව අනුව සිතාගත හැක.
වරද කුමක්ද?
මෙම ලිපිය ලිවීමේ මූලික අරමුණ යහපාලන ආණ්ඩුව විසින් සිද කළ රටේ ආහාර සුරක්ෂිතතාවයට අදාළ එම මූලික උපායමාර්ගික වරදේ දිඟුවකට නව ආණ්ඩුව විසින් මුල පිරීමය. එනම් තිරිඟු ඇට ආනයනය කරන මහා සමාගමක ඒකාධිකාරිය බිඳීම නම් වු ව්‍යාජ තර්කයේ ආවර්ණය යටතේ මේ වන විට සිදු කරන තිරිඟු ඇටවලට සහන දීමේ වරද දෙගුණයක් කරමින් තිරිඟු පිටි ආනයනයට බඳු සහන ලබා දීමය. තිරිඟු ඇට ආනයනය කොට අඹරා පෝෂණ ගුණය සහිත කොටස නැවත වැඩි මිලට අපනයනය කොට සුදු පාට රොඩු ශ්‍රී ලාංකිකයන්ට කැවීමේ ව්‍යාපාරයට ඉහත සඳහන් කළ මිලියන 34,000 ක සහනය අමතරව තව බොහෝ සහන දැනට වසර වසර 40 කට අධික කාලයක් තිස්සේ ලබා දී ඇත. උදාහරණයක් ලෙස තිරිඟු ඇට ආනයනයේදී ත්‍රිකුණාමලය වරායට ගෙවිය යුතු බදු වර්ග 4 කින් එම සමාගම යටත් වන්නේ එක් බද්දකට එනම් අඩුම බද්ද වන නාවික බද්ද හෙවත් ” නැවිගේෂන් ” බද්දට පමණි. ඒ අනුව එසේ නිදහස් කොට ඇති බදු නිසා වසරකදී රජයට අහිමිවන බදු ආදායම රු.මිලියන 10,000 කට අධික බව වරායේ නිලධාරීන් පවසති. ඒ නිසා එම සමාගමේ ඒකාධිකාරීය බිඳීම සඳහා තිරිඟු පිටි සෘජුව අනයනය කිරීමට බදු සහන දීම ළදරු ක්‍රියාවක් බව කණගාටුවෙන් වුවද සඳහන් කල යුතුය. නව බදු සහන යොදා ගනිමින් තිරිඟු ඇට ගෙන්වන සමාගමට වෙනත් නාමික සමාගමක් යටතේ තිරිඟු පිටි ආනයනය කිරීමට බාදාවක් නැත.
මීට පෙර එසේ ඒකාධිකාරිය බිඳීම මුවාවෙන් වෙනත් සමාගමකට තිරිඟු ඇට ගෙන්වීමට සහ ඇඹරීමට සහන ලබා දුන්නද එම අරමුණ ඉටු වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ තවදුරටත් තිරිඟු පිටි පරිභෝජනය වැඩි වීම පමණි. 2014 දී මෙ.ටො ලක්ෂ 13 ක මට්ටමේ තිබූ තිරිඟු පිටි පරිභෝජනය බදු සහන නිසා මෙ.ටො ලක්ෂ 17 දක්වා වැඩි කිරීමට අදාළ සමාගම් සමත් විය. මේවන විට තිරිඟු ඇට සඳහා වන තීරු බදු සහ සෙසු බදු 15% ක මට්ටමේ පවතින අතර තිරිඟු පිටි සඳහා එම බදු 30% මට්ටමේ හෙවත් දෙගුණයක මට්ටමේ පවතී. නව බදු සහනය යටතේ පිටි 1kg සඳහා රුපියල් 28ක සහනයක් සමාගම් වලට ලැබෙන අතර එය අදායමක් ලෙස රජයට අහිමි වේ. ඒ අනුව පිටි සඳහා වන බද්ද ඉවත් කළ විට ඉතා කෙටි කාලයක් තුළදී තිරිඟු පරිභෝජනය මෙ.ටො ලක්ෂ 20 දක්වා ඉහළ යාමට බව මෙන්ම රජයට අහිමිවන බදු ආදායම හෙවත් සමාගම් වලට ආපසු දෙන සන්තොෂම රු. මිලියන 34,000 සිට රු. මිලියන 40,000 දක්වා ඉහල යාමේ පැහැදිළි ඉඩක් ඇත. විදේශීය තිරිඟු පිටි සමාගම් සහ කිරිපිටි සමාගම් ආණ්ඩු පෙරළියකට පසුව විශේෂයෙන්ම දේශීය ආර්ථිකය රැකීමේ පොරොන්දු සහිතව බලයට එන ආණ්ඩු විසින් ආහාර ආනයන අධ්‍යමත් කිරීමේ බදු පනවීම වැළැක්වීම සඳහා යොදා ගන්නා පැරණිතම සහ ප්‍රාථමික උපක්‍රමය වන්නේ මිල වැඩි කිරීම හෝ එසේ කරන බවට තර්ජනය කිරීමය. එම නාටකය බොහෝ විට භාණ්ඩාගාර නිලධාරීන් සමඟ එකඟතාවයෙන් රඟ දක්වන බව ප්‍රසිද්ධ කරුණකි.
මෙවර බදු සහන යෝජනා වලට පෙර එසේ මිල ඉහල දැමීමේ තර්ජන සිදුකරනු ලැබුවේ ලෝක වෙළඳ පොලේ මිල වෙනස් විමක් නොමැති තත්වයක් යටතේය. කිරිපිටි සමාගම් වලට බදු වැඩි කිරීම වෙනුවට 7% ක වැට් බදු සහනයක් ලැබුණි. එම සහනයෙන් කොටසක් මිල අඩුකිරීමක් ලෙස මහජනයාට ලබා දී ඇතත් බොහෝ විට තිරිඟු පිටි වලට ලබා දුන් සහනය ඒ ආකාරයෙන්ම වෙළඳපල තුළ පිළිබිඹු නොවීය. කුඩා බේකරි බනිස් ගෙඩියක් රුපියල් 20කට විකුණන විට මහා බේකරි එය විකුණන්නේ රු. 50 කටය. ඒ අනුව බදු සහනය බේකරි හිමියන්, ආනයන සමාගම් සහ බදු සහන සඳහා ආණ්ඩුව පොළඹවන ඊනිසා උපදේශකයින් විසින් බෙදා ගන්නා බව සත්‍යයකි. තායිලන්තය වැනි සගල් ප්‍රධාන ආහාරය වන රටක ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය ක්‍රි.ග්‍රෑම් 30 කට අඩු මට්ටමේ පැවතියද පෙරදිග ධාන්‍යාගාරයේ දී බදු සහන වලට පින්සිදු වන්නට එම ප්‍රමාණය එමෙන් දෙගුණයකි. වැඩිපුර කන සෑම පාන්පිටි කි.ග්‍රෑම් එකකටම සහල් පරිභෝජනය එම ප්‍රමාණයෙන් අඩුවන බව පොඩි ළමයෙකුට වුවද තේරුම් ගත හැක.
බදු සහන කාටද?
නමුත් වී ගොවියාට කොකා පෙන්වන සහ පාරිභෝගිකයා ගොනාට අන්දවන පාන්පිටි මිල අඩුකිරීමේ තීන්දුවට පක්ෂපාතී වන පිරිස් වලට ඒ බව වැටහෙන්නේ නැත. බෝනොවන රෝග වලින් සිදු වන මරණ සංඛ්‍යාව 85% දක්වා ඉහළ යන්නේ ප්‍රධාන වශයෙන් තිරිඟු පිටි පරිභෝජනය ඉහල යාම නිසා බව වෛද්‍යවරු පුද්ගලිකව මෙන්ම ප්‍රසිද්ධියේද පවසති. එහෙත් රෝහලක් තුල කුස්සියේ හෝ ආපන ශාලාවේ තිරිඟු පිටි ආහාර නැවැත් විය යුතු බවට ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවට සෞඛ්‍ය ඇමතිවරයාට බල කිරීමට වෛද්‍ය සංගම්වලට ධෛර්යක් නැත. පාන් පිටි මිල අඩු කරමින් හෝ අඩු මිලට පාන් කමින් වී ගොවිතැන හෝ වී ගොවියා බේරාගත නොහැකි බව කියන්නට වාචාංශික යැයි කියන ගොවිසමිති නායකයින්ගේ කට ඇරෙන්නේ නැත. එවැනි තත්වයක් තුළ සහල් මිල ඉහළ යාම නිසා තිරිඟු පිටි මිල පහත හෙළිම සඳහා බදු අඩු කරන බවට අන්දරේලා මෙන් ප්‍රකාශ නිකුත් කිරීමට දේශපාලකයින්ට හැකිවී ඇත. එහෙත් ගැසට් නිවේදනය අනුව රු. 85 ට විකිණිය යුතු සම්බා කිලෝව 100 ට විකිණීම දඬුවම් ලැබිය යුතු වරදක් බව කිසිවකු කියන්නේ නැත. සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ඇමතිව සිටියදී පාසල්වල තිරිඟු පිටි තහනම් කරමින් නිකුත් කළ චක්‍රෙල්ඛය කුණු බාල්දියට දැමීම පිළිබඳව කිසිවකු ප්‍රශ්ණ කරන්නේ නැත. සිසු දරුවන්ගේ සෞඛ්‍යය යකාට ගියත් විදුහල්පතිවරුන්ට සහ පාසල් සංවර්ධන සමිති වලට වැදගත් වන්නේ ආපන ශාලාවේ කුලිය වැඩි කිරීම පමණි.
පාන්පිටි සමාගම් වලට බදු සහන දෙමින් පාන් පිටි පරිභෝජනය වැඩි කරන අතර වී ගොවියා රැකීම හෝ මහජන සෞඛ්‍ය රැකීම සඳහා ගනු ලබන අමන උත්සහායන් පිළිබඳ අතීත කථාව ඉතා හාස්‍ය ජනකය. සැපයුම් පැත්තේ කුමන මැදිහත් වීම් සිදු කළත් ඉල්ලුම පැත්තේ මුලික මැඳිහත් වීම හෙවත් සහල් පිටි වලට වඩා තිරිඟු පිටි මිල ඉහළ මට්ටමක පවත්වා ගැනීමෙන් තොරව වී ගොවියාගේ ප්‍රශ්ණය සහ මහජන සෞඛ්ය ප්‍රශ්නය විසඳිය නොහැකි බව දැන් පරම සත්‍යයකි. එම සත්‍යය වෙනස් කළ නොහැකි බව සක්‍රයා සහ ඔහුගේ පුත් වයිමා පැමිණියත් බැරි බව කියන ඇමතිවරුන් විසින් වසර දහයකට අධික කාලයක් තිස්සේ ප්‍රායෝගිකව ඔප්පු කර ඇත. ඒ නිසා එම සත්‍යය ජනාධිපති චාවේස්ට මෙන්ම ජනාධිපති ගෝඨාභයට වලංගුවන බව ඉර හඳ මෙන් විශ්වාස බව අභියෝගාත්මකව කිව යුතුය. නමුත් වී මිල පහත වැටීම වැලැක්වීම සඳහා එක්තරා ඇමතිවරයෙකු රජය විසින් වී තොග මිලදී ගෙන ගබඩා කිරීම සඳහා ඊෂ්රායලයෙන් තාවකාලික කූඩාරම් ගබඩා ආනයනය කිරීමට යෝජනා කළේය. එසේම කුඩා සහල් මෝල් වැසීයාමට හේතුව කුමක් දැයි අවබෝධ කොට නොගත් ජනාධිපතිවරියක් වෙළඳපොල තත්වයන් එසේම තිබියදී බැංකු ණය ලබා දී ඔවුන් ගොඩ ගැනීමට උත්සහා කිරීම නිසා අද ඔවුන්ගේ දේපළ බැංකු වලට සින්න වී ඇත.
ඊට අමතරව පසුගිය වසර වලදී තිරිඟු පිටි මිල අඩු කළ ආණ්ඩුව එම හේතුව නිසා වී මිල පහත වැටීම වැළැක්වීම සඳහා රජය මඟින් මිලදී ගන්නා වී ප්‍රමාණය වැඩි කරනු ලැබීය. ඒ අනුව රු.42ට මිලදීගත් වී කිලෝව වසරකට පසුව රු. 28 ට විකුණා රජය ට සහ මහජනයාට රු. මිලියන 6000 ක පාඩුවක් සිදුකල බව සහ ඉන් අඩක් යම් පිරිසක් විසින් සාක්කුවට දමාගත් බවටද චෝදනා එල්ල විය. එසේම කුඩා සහ මධ්‍යම පරිමාණ වී සහ සහල් මෝල් වැසී යාම නිසා සහ කුඩා පරිමාණ සහල් නිෂ්පාදනය සහ විකිණීම ලාභදායි නොවීම නිසා අදවන විට රාජ්‍යය සහ ජනතාව මහා පරිමාණ සහල් මෝල් හිමියන් අතලොස්සකගේ ප්‍රාණ ඇපයට ගොදුරු වී ඇත. එහෙත් අඩු තරමින් ආරක්ෂණ සහල් සහ වී තොග පවත්වා ගෙන යාම සහතික කිරීම සහ යාන්ත්‍රණයක් හෝ පැහැදිළි නීතිමය ආවරණයක් නැත. ඒ ආකාරයට තකතීරු උත්තර සෙවීමේ ක්‍රියාවලිය තුළ කෘෂිකර්ම බලධෘරීන් විසින් හාස්‍යජනක බව පෙනෙන එහෙත් ඉතා දුෂ්ඨ ප්‍රවේශයන්ට පවා යොමුවී ඇත. වී මිල පහත වැටීම සහ රජය විසින් වී මිලදී ගැනීමේ දී මතුවන ගැටළු වලට මුහුණ දී සඳහා ඔවුන් විසින් යෝජනා කරන විසඳුම වන්නේ වී නිෂ්පාදනය අඩු කිරීමය. ඒ අනුව යල් කන්නයේ වී වගා නොකරන ලෙසට ගොවීන්ට බල කරන එම නිලධාරීහු මහා වාරිමාර්ග ආශ්‍රිතව වතුර නිදහස් කිරීමේදී ගොවීන් අධෛර්යමත් කෙරෙන පිළිවෙතක් අනුගමනය කරති.
කළ යුත්තේ කුමක්ද?
ජනාධිපති චාවේස්ට තම වැරැද්ද නිවැරදි කිරීම සඳහා ඉතිහාසයෙන් අවස්ථාවක් ලබා නොදුන්නද මෙම වැරදි නිවරදි කිරීම සඳහා ජනාධිපති ගෝඨාභයට අවස්ථාව සහ වාසනාව හිමිවී ඇත.ඒ නිසා සක්‍රයා හෝ වයිමා ආවත් පිළිගැනීමට සිදුවන ලෝකයේ අත්හදා බලා ඇති දස වැදෑරුම් උපාය මාර්ගික රාමුවක් එතුමාට මෙසේ ඉදිරිපත් කළ හැක. ඉන් පළමුවැන්න වී සඳහා සහතික මිලක් නියම කිරීම සහ දැනට පවතින වෙළඳපල සාධක අනුව අවම මිල රු.50 බවට නියම කිරීමය. දෙවැන්න ඊට සාපේක්ෂව සහල් සිල්ලර මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීම සහ ඒ මත පදනම්ව තිරිඟු පිටි තොග මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමය. එහිදී සාධක දෙකක් සැලකිල්ලට ගත යුතු වේ. පළමු වැන්න වී මෝල් හිමියා විසින් වී මිලදී ගැනීමේදී මිල වට්ටවා ලාභ ලැබීම වෙනුවට වී කෙටීම මඟින් ලාභ ලැබිය හැකි ආකාරයට මිල සූත්‍රය නියම කිරීමය. දෙවන සාධකය සහල් පිටි තොග මිලට වඩා තිරිඟු පිටි තොග මිල අවම වශයෙන් රු. 10 කින් වැඩිවන ආකාරයට තිරිඟු ඇට සහ පිටි සඳහා සුදුසු පරිදි සෙස් බදු පැනවීමය. තුන්වන උපාය මාර්ගය වන්නේ ඉන්දියාව ආදර්ශයට ගනිමින් ආහාර පනත සංශෝධනය කොට තිරිඟු පිටි සඳහා තාක්ෂණික බාධක හෙවත් බදු නොවන බාධක පැනවීමය. ඒ සඳහා අංග සම්පූර්ණ තිරිඟු පිටි සහ පෝෂණ ගුණයෙන් හීන ඊනිසා සුදු පිටි අතර වෙනස වෙළඳපල තුළ පිළිබිඹුවන ආකාරයට ප්‍රමිතීන් පැනවිය හැකිය.
හතරවන උපාය මාර්ගය නව ආහාර සුරක්ෂතා පනතක් මඟින් දේශීය ආහාර ප්‍රචලිත කිරීම සඳහා දිරිගැන්වීම් ලබා දීම, ආහාර ආනයනය අධ්‍යමත් කිරීම සහ ආහාර තොග පවත්වා ගැනීම නියාමනය කිරීමය. එහිදී තිරිඟු පිටි වලට තොග මිල නියම කළද පාන් වලට තොග මිලක් නියම නොකළ යුතු අතර පාන් පනත ආහාර සුරක්ෂිතතා පනත මඟින් අවලංගු කොට පාන් වලට සහල් පිටි එකතු කිරීමට එරෙහිව පවතින නීතිමය බාධක ඉවත් කළ යුතුය. පස්වන උපාය මාර්ගය දේශීය සහල් නිෂ්පාදනයේ උස් පහත් වීම් වලට මුහුණ දිමේදී හිගය පියවීම තිරිඟු පිටි ප්‍රචලිත කිරීම වෙනුවට සහල් ආනයනය කිරීම සහ නව පනත් මඟින් සහල් ආරක්ෂණතොග පවත්වාගෙන යාමේ වගකීම ස.තො.ස ආයතනයට පැවරීමය. ඊට අමතරව ආරක්ෂණ වී තොග ප්‍රමාණයන් නම් කොට ඒවා පවත්වාගෙ යාමේ වගකීම වී අලෙවි මණ්ඩලයට පැවරීමය. හයවැන්න කුඩා සහ මධ්‍යම පරිමාන සහල් සහ සහල් පිටි මෝල් පද්ධතිය නගා සිටුවා ආරක්ෂා කිරීම සඳහා ජාතික වැඩපිළිවෙළක් සකස් කිරීමය. හත්වන උපාය මාර්ගය පොහොර සහනාධාරය ගොවීන්ගේ ගොවිතැන් ක්‍රම වෙනස් කිරීම සහ නිෂ්පාදන කාර්යක්මෂතාව මුල්කරගෙන සෘජුව මුදල් වශයෙන් ගෙවීමය. එහිදී වී වගාව සහ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම මඟින් ගොවියාගේ ආදායම් මට්ටම ඉහළ දැමීම සඳහා ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. ඒ සඳහා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලගය සතු සම්පත් යොදා ගත යුතුය. විශේෂයෙන්ම එම ආයතනයට අදාළ පනත අනුව එම ආයතනය සතු ගොවිපළවල් දේශීය කිරි ගව අභිජන ජාතික වැඩසටහනක් සඳහා යොදා ගත යුතු අතර පොහොර සහනාධාරය සඳහා වෙන්කෙරෙන මුදලින් කොටසක් ඒ සඳහා යෙදවිය යුතුය.
අටවන උපාය මාර්ගය වස විස නැති දේශීය වී වර්ග ප්‍රචලිත කිරීම සහ ඒවාට ඉහළ වෙළඳපලක් ලබා දීම සඳහා ස.තො.ස ඇතුළු රාජ්‍ය ආයතන පද්ධතිය යෙදවීමයි. එහිදී උසස් ගුණය සහිත රසවත් සහ විවිධත්වය සහිත සහල් පරිභෝජනය කිරීම උසස් පරිභෝජන සංස්කෘතියක් ලෙස ප්‍රචලිත කල යුතුය. නමවැනි උපාය මාර්ගය වෙනිසියුලාවේ මෙන් විස්තීර්ණ ජාතික ආහාර ප්‍රතිපත්තියක් හඳුන්වා දීමය. ඒ මඟින් විශේෂයෙන්ම රෝහල් පාසල් සහ රාජ්‍ය ආයතන ආශ්‍රිත තිරිඟු පිටි සහ පැණි බීම වර්ග මෙන්ම ආනයනික කිරිපිටි ඇතුළු ආනයනික ආහාර අධ්‍යමත් කිරීම සඳහා මෙන්ම ආහාර විවිධත්වය දිරිමත් කිරීම සඳහා පියවර ගත යුතුය. එහිදී වඩා වැදගත් වන්නේ පාලනය කිරීමට වඩා විවිධ දිරිගැන්වීමේ උපාංග හඳුන්වා දීම සහ ආකල්පීය වෙනසක් සඳහා මානසික බලපෑමක් ඇතිවන අධ්‍යාපන වැඩසටහන් සහ ක්‍රියාකාරකම් හඳුන්වා දීමය. ඒ සියල්ල මඟින් අවසාන වශයෙන් කළ යුත්තේ අඩු මිලට පාන් කෑමේ දුප්පත් මනෝභාවයෙන් ජාතිය ගලවා ගැනීමය. දේශිය ආහාර නිපදවන්නන්, සකස් කරන්නන් සහ අලෙවි කරන්නන් පුහුණු කිරීම මෙන්ම ඔවුන් පාලාත් පාලන ආයතන මට්ටමින් ලියාපදිංචි කිරීම සහ පහසුකම් ඇතුළු දිරිගැන්වීම් ලබා දීමද ඉතා වැදගත් වේ.
දසවැනි උපායමාර්ගය හෙවත් සැපයුම් පැත්තේන් ගත් විට ප්‍රධානතම රාජ්‍යය මැදිහත් වීම අවශ්‍ය වන ක්‍රියාමාර්ගය වන්නේ කෘෂි හෙවත් ආහාර නිෂ්පාදන යටිතල පහසුකම් පද්ධතිය උපරිමයෙන් දියුණු කිරීමය. ඒ සඳහා වැයවන සෑම රුපියලක්ම ජාතියේ දීර්ඝකාලීන පැවැත්ම සඳහා යොදවන බවට සමාජ මනෝභාවය සකස් කළ යුතු අතර දේශීය ආහාර පරිභෝජනය වර්ධනය කිරීම සහ ආනයනික ආහාර අවම කිරීම යනු ජාතියේ පැවැත්ම සඳහා වන මූලික අවශ්‍ය තාවයක් බවට තහවුරු කළ යුතුය. එහිදී මූලික ප්‍රතිපත්තිය සහ සටන් පාඨය බවට පත්විය යුත්තේ සැම බිම්අගලක්ම වගා කිරීම සහ සෑම ජල බින්දුවක්ම පොළොවට උරාගැනීමෙන් පසුව අතිරික්තය පමණක් ගංගා හරහා මුහුදට යා යුතුය යන්නයි. ඒ අනුවපස රැකීම සහ සංරක්ෂණයද ආහාර සුරක්සිතතාවයට අදාළ මූලික වගකීමක් බවට පත්වේ. පස විනාශ වීමට ඉඩ හැර ඊට පිලියම් ලෙස බාහිරින් වස විස සහිත පොහොර එකතු කිරීම සඳහා සහනාධාර ඉල්ලීම අමන ක්‍රියාවක් බවට සමාජ මනෝභාවයක් ගොඩනැගිය යුතුවේ. ඒ තුළ දැනට ශ්‍රී ලංකාවේ අභාවයට යමින් පවතින 35,000 කට අධික කුඩා වැව්, අමුණු සහ කුඩා ජල දේහ ප්‍රතිසංස්කරණය කිරීමට ජාතික ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය. ඊට අමතරව ජල මූලාශ්‍රයක් සහිත සෑම ගලායන දියපහරකින්ම පුංචි වැවක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා ආචාර්ය තෙන්නකෝන්, ආචාර්ය ධර්මසේන සහ මහාචාර්ය පාන්බොක්කේ වැනි විද්වතුන්ගේ විද්වත් ලේඛන වල මඟ පෙන්වීම යොදා ගත හැක. ඒ සඳහා වැයවන්නේ විදේශීය පාන් පිටි සහ කිරි පිටි සමාගම් වලට එක් වර්ෂයකදී ලබා දෙන සහනාදාරයට සමාන මුදලකි.
එසේම වන වගා කිරීමේදී සහ සෑම බිම් අගලකම වගා කළ යුතුය යන සටන් පාඨය යටතේ මෙන්ම කඳු බැවුම් ආරක්ෂා කිරීමේදී කොස් දෙල් ඇතුළු බහුවාර්ගික ආහාර බෝග වගා කිරීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතුය. මෙම ක්‍රියාන්විතය මහජන සහභාගීත්වයෙන් සිදු කළ යුතු වුවද එය කළමණාකරනය කිරීමේදී ප්‍රධාන සාධක දෙකක් සැලකිල්ලට ගත යුතු බවද කිව යුතුය. පළමුවැන්න බිම් මට්ටමේදී සෑම බිම් අඟලකටම වග කියන ක්ෂේත්‍ර නිලධාරියෙකු සිටියයුතු වීමය. දෙවැන්න මහා සමාගම්වල ඒජන්තයින් ලෙස කටයුතු කරමින් දේශීය ආහාර නිශ්පාදනයට වින කටින ඉහළ නිලධාරීන් සහ ඊනියා උපදේශකයින් හදුනා ගැනීමය. ජාතියේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා මීට වඩා වෙනස් උපාය මාර්ගික ප්‍රෙවේශයක් ඇත්නම් ඕනෑම වේදිකාවක විවාදයකට සූදානම් බවට අවසාන වශයෙන් සඳහන් කළ යුතුය. ඊට අමතරව තිරිඟු පිටි වලට බදු සහන දීමේ අදූරදර්ශී තීන්දුවේ ප්‍රතිඵල මහකන්නයේ වී අස්වනු විකුණන ඉදිරි මැතිවරණ සමයේදී අත්විදීමට සිදුවිය හැකි බවටද අනතුරු ඇඟවිය හැක.
– වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර. –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...