සුදු වෑන් සිදුවීමට අදාළව සැකපිට අත්අඩංගුවට පත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට පසුගිය 30 වැනි දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලැබුණේය. ඒ පිළිබඳ සමාජයේ දැඩි කතාබහකට ලක් වූ සිදුවීමක් විය. විශේෂයෙන්ම එම සිදුවීමට අදාළ අනෙක් පුද්ගලයන්ට ඇපහිමි නොවීමත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට පමණක් ඇප ලැබීමත් සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ මතිමතාන්තර ඉදිරිපත් කරන්නට විය. කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ ක්‍රියාවලියේ නීතිමය පසුබිම විග්‍රහ කිරීම මෙහිදී වඩා වැදගත් වනු ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවකුට ඇප දීමට අදාළ නීතිය වනුයේ 1997 අංක 30 දරන ඇප පනතයි. මෙම පනතේ 2 වන වගන්තියට අනුව ඇප දීම රීතිය විය යුතු බව දැක්වේ. තවද ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේඛී අවස්ථාවක් ලෙසට නීතිය සලකනු ලබයි. සැබැවින්ම අත්අඩංගුවට පත් ඕනෑම සැකකරුවකුට ඇප නොදී රක්ෂිත බන්ධනාගාරගත කිරීම කළ යුතු බවට සාවද්‍ය මතයක් සමාජගත වී ඇත. එහෙත් නීතිමය ප්‍රතිපාදන තුළ ඇප ලබාදීමේ අරමුණ වනුයේ සැකකරුවකු නියමිත දිනයේදී අධිකරණය ඉදිරියේ පෙනී සිටීම තහවුරු කර ගැනීමයි. තවද ඇප දීම හෝ නොදීම මත අදාළ සැකකරු එම චෝදනාවන්ට වරදකරු හෝ නිවැරදිකරු බවට අවසන් නිගමනයකට එළඹීම වැරදිය. ඒ පිළිබඳ තීරණය වනුයේ නඩු විභාගය අවසානයේදීය. ඇප දීම සම්බන්ධයෙන් අදාළ වරද ඇප දිය හැකි වරදක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් අධිකරණය විසින් ක්‍රියා කළ යුතු ආකාරය, පතිරණට එරෙහිව නිට්ටඹුව පොලිස් ස්ථානාධිපති (1988/ISLR 84) නඩුවේ දක්වා ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ ඇප දිය හැකි වරදක් ලෙසට දක්වා ඇති යම් වරදක් සම්බන්ධයෙන් චූදිතයකු අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඇප දීමේ යුතුකමක් අධිකරණය වෙත පවතින බවය.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ පළමු උපලේඛනයේ දණ්ඩ නීති සංග්‍රහයට අදාළවන වැරදි සම්බන්ධයෙන් ඇප දිය හැකි වැරදි සහ ඇප නොදිය හැකි වැරදි පිළිබඳ දක්වා ඇත. මීට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා ඇති වරදවල්වලට අමතරව ඇප දීමේදී සුවිශේෂී තත්ත්වයන් අදාළවන ඇතැම් වැරදි සුවිශේෂී නීතිවලින් හඳුන්වා දී ඇත. උදාහරණ වශයෙන් තුවක්කු ආඥා පනත ආගමන විගමන පනත, රේගු ආඥා පනත, පොදු දේපොළ පනත, පුරාවිද්‍යා පනත, විෂ වර්ග, අබිං හා අන්තරාදායක ඖෂධ පනත, අල්ලස් පනත ආදී පනත්වලින් දක්වා ඇති වැරදි සම්බන්ධයෙන් ඇප දීමේදී එම පනත් තුළ දක්වා ඇති ක්‍රමවේදයන් අධිකරණය විසින් සලකා බලනු ලබයි.
කෙසේ වෙතත් ඉහත දණ්ඩ නීති සංග්‍රහය යටතේ දක්වා ඇති වැරදි සම්බන්ධයෙන් සලකා බලන කල ඇපදිය හැකි වැරදි හා ඇප නොදිය හැකි වැරදි සම්බන්ධයෙන්ද ඇප දීම ප්‍රතික්ෂේප කිරීම කළ යුතු අවස්ථාවන් ඇප පනතේ 14 වන වගන්තිය යටතේ දක්වා ඇත. එහිදී යම් සැකකරුවකු නැවත නඩු විභාගය සඳහා අධිකරණය වෙත නොපැමිණිය හැකි බවට සාධාරණ හේතු ඇතිවීම හෝ, සාක්ෂිකරුන්ට බලපෑම් කළ හැකි බවට තොරතුරු අනාවරණය වුවහොත් හෝ ඇපදී ඇති කාලයේදී නැවත වරදක් කළ හැකි බවට හෝ අදාළ වරදේ බරපතළකම අනුව මහජන කැලඹීමක් ඇතිවිය හැකි බවට අධිකරණය සලකා බලන කල ඇප දිය හැකි වැරදි සඳහාද සැකකරුවන්ට ඇප ලබානොදීමට නීතිමය ප්‍රතිපාදන ඇත.
විශේෂයෙන්ම ඉහත රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ සිදුවීමට අදාළව සලකා බැලූ කල ඔහුට ඉදිරිපත් කර ඇති චෝදනා ඇප දිය හැකි චෝදනා බවට වාර්තා වී ඇත. එවැනි තත්ත්වයන් යටතේ අධිකරණය පුද්ගලභාවය පිළිබඳ සලකා නොබැලේ. අධිකරණය ඉදිරියට ඉදිරිපත්කර ඇති කරණු මත පමණක් සලකා ඇප දීම සිදු කරනු ඇත. තවද මෙහිදී සැකකරුවකු සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීම පරීක්ෂණ මෙහෙයවීම චෝදක පක්ෂයේ (පොලිසිය/ නීතිපති දෙපාර්තමේන්තුව) කාර්යයකි. මෙම ආයතන මගින් ඉදිරිපත්කරන කරුණු දැක්වීම සහ වැඩිදුර විමර්ශන වාර්තා සලකා බලා සැකකරුවකුට ඇප දීමට අධිකරණය කටයුතු කරනු ලබයි. එහිදී මූලිකව සඳහන් කළ ඇපදීම රීතිය බවට වූ ඇප පනතේ නීතිමය ප්‍රතිපාදන අනුගමනය කිරීමට අධිකරණය කටයුතු කරනු ලබයි. තවද මෙහිදී ඉහත සුදු වෑන් සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් පාර්ශ්ව වෙත ඇප නොදුන් බවටත්, රාජිත සේනාරත්නට ඇප දී ඇති බවටත් සමාජයේ කතාබහට ලක්ව ඇත. මේ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය වන්නේ එම සියලු දෙනා සම්බන්ධයෙන් චෝදනා පාර්ශ්වය විසින් ගොනුකර ඇති චෝදනා එකම නොවිය හැකි බවයි. තවද ඇතැම් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කළ යුතු බවට චෝදනා පාර්ශ්වය කරුණු දක්වන්නේ නම් අධිකරණය එම කරුණු සැලකිල්ලට ගන්නා බවත්ය. මෙම සිදුවීම තරම් ප්‍රසිද්ධ නොවුණු බොහෝ අධිකරණමය නඩුවලදී සැකකරුවන් කීප දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණද ඇතැම් සැකකරුවන්ට ඇප දුන් අවස්ථාවලදී අධිකරණය ඉහත කී කරුණු සලකා බලන බවට උදාහරණ අප දැක ඇත. මෙහිදී එක් එක් සැකකරුවන්ට ගොනුකර ඇති චෝදනා වෙනස් බවත්, එම සැකකරුවන් සම්බන්ධ විමර්ශන කටයුතු අවසන්ව ඇති බවටත් චෝදනා පාර්ශ්වය ප්‍රකාශ කරන විටදී ඇප දීමට ඇප පනත අනුව අධිකරණය කටයුතු කරනු ලබයි.
විශේෂයෙන්ම සැකකරුවකු අත්අඩංගුවට ගත් පසු ඇප නොදී රක්ෂිත බන්ධනාගාරගත කිරීම කළ යුතු බවට සමාජය බලාපොරොත්තු වන්නේ නම් එය නීතිය පිළිබඳ අනවබෝධය තුළ ඇති කරගන්නා තත්ත්වයකි. සැකකරුවකුට දඬුවම් කළ යුත්තේ ඔහුට විරුද්ධව සාධාරණ නඩු විභාගයක් අවසානයේදීය. එහෙත් සියලුම සැකකරුවන් සම්බන්ධයෙන් නීතිය සලකනු ලබනුයේ නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය අදාළ කර ගනිමිනි.
විශේෂයෙන්ම නවරජය පත් වූ පසු දේශපාලන හේතු මත පුද්ගලයන් අත්අඩංගුවට ගනු ලබන බවට විපක්ෂය විසින් චෝදනා එල්ල කළද පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමත්, ඔවුන් ඇපමත මුදා හැරීමත් සම්බන්ධයෙන් රජය විසින් කිසිදු බලපෑමක් නොකරන බවටත් එම කාර්යයන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ස්වාධීනව, අපක්ෂපාතීව කරන බවටත් මෙම සියලු කරුණු සලකා බැලීමේදී පෙනී යන සත්‍යයයි.
නීතිඥ සමින්ද කෝනාර
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...