* කෙසෙල් කෙදි භාවිතා කර නිපදවන නූල්වලින් වසරකට ඇ. ඩොලර් මිලියන 500 ක විදේශ විනිමයක් රටට ලබා ගන්න පුළුවන්! * මුළුමනින්ම දේශීය පර්යේෂණයක ප‍්‍රතිඵලයක්
රුවන් ජයවර්ධන ඡායාරූප – කමල් වන්නිආරච්චි
පලතුරක් ලෙස ගත් කල කෙසෙල් රසවත් බවින් මෙන්ම පෝෂණ ගුණයෙන්ද පොහොසත්ය. මෙරට සම්බන්ධයෙන් ගත් කල රටට ආවේණික කෙසෙල් ප‍්‍රභේද 29 ක් පවතින අතර ඉන් ප‍්‍රභේද කීපයක් ආහාර ලෙස පිළියෙල කළ හැක. ඉතිරි ප‍්‍රභේද සියල්ලම පළතුරක් ලෙස ආහාරයට ගතහැක. මෙරට තුළ බහුලව දකින්නට ලැබෙන වගාවක් වන කෙසෙල් රටේ ඕනෑම ප‍්‍රදේශයක වගා කළ හැකිවීම එහි ඇති තවත් විශේෂත්වයක්ය. පසුගිය වසරවල පළවූ සංඛ්‍යාලේඛනවලට අනුව වාණිජ භෝගයක් ලෙස රට තුළ හෙක්ටයාර 56000 ක පමණ කෙසෙල් වගා කර තිබෙන අතර එහි වාර්ෂික පලදාව මෙටි‍්‍රක් ටොන් 450,000 ක අගයකින් යුක්තය. විධිමත් වගාවක් තුළ හෙක්ටයාරයක වගා කළ හැකි කෙසෙල් ගස් සංඛ්‍යාව 825 කි.
මේ සා විසල් ඵලදාවක් සහ ඵලදායිතාවයකින් යුත් කෙසෙල් ගස මිය පරළොව යන්නේ පලදාවත් සම`ග තම උපන් මෙහෙවර නිමා කරමින්ය. අනිකුත් ශාකයන් මෙන් නොව එතැන් සිට කෙසෙල් කඳ යනු කිසිවකුටවත් ප‍්‍රයෝජනයක් නොමැති තාල වර්ගයට අයත් ශාක කොටසක් පමණි. පසට පොහොරවීමේ හැකියාව පවා ස්වභාධර්මය විසින් කෙසෙල් ගසට ලබාදී නැත.
එම නියමයන් වෙනස් කරමින් මෙතෙක් කලක් මහපොළොවට බරක් වු කෙසෙල් කඳට හොඳ කලක් උදා වූ බවට ‘‘සුභාරංචියක්’ රට පුරා පැතිර යන්නට ගන්නේ මීට දින කීපයකට එපිට සිටය. ඉන් කියවෙන්නේ හරිත නිෂ්පාදනයක් ලෙස ඉවතලන කෙසෙල් කඳෙන් රෙදිපිළි නිපදවීමේ නවෝත්පාදනයක් පිළිබඳ අසිරිමත් තොරතුරක්ය.
මොරටුව විශ්වවිද්‍යාලයේ සහාය සහිතව කෙසෙල් කෙඳි භාවිතයෙන් රෙදිපිළි හා ඇ`ගළුම් නිෂ්පාදන සිදුකිරීම පිණිස ශ‍්‍රී ලංකා පේෂකර්ම හා ඇ`ගළුම් ආයතනය හෙවත් ‘‘ස්ලීටා’’ ආයතනය විසින් සිදුකළ දීර්ඝ කාලීන පර්යේෂණයන්හි ප‍්‍රතිඵලයක් ලෙස මෙම සුභරංචිය රටපුරා හමායන අතර ඒ හරහා සැබෑවීමට නියමිතව පවතින්නේ පරිසර හිතකාමී සංකල්පයට අනුව යමින් මෙරට රෙදිපිළි කර්මාන්තය ස්වභාවිකත්වය තුළින් හැඩගැන්වීමට නියමිත අනාගතයක් පිළිබඳව බරසාර පුවතකි.
රත්මලාන සර් ජෝන් කොතලාවල මාවත පිහිටි ශ‍්‍රී ලංකා පේෂකර්ම හා ඇ`ගළුම් ආයතනය තුළින් රටට වාර්තාවන මෙම පුවත පිළිබඳ අනාවරණයක් සිදු කිරීමේ අරමුණින් ඉකුත් දිනක අප එහි සංචාරයක නිරත විය. එම ආයතනයේ කාර්යභාරය වී ඇත්තේ පේෂකර්ම හා ඇ`ගළුම් නිෂ්පාදන ක්‍ෂේත‍්‍රයට අවශ්‍ය පුහුණුව පරික්‍ෂාකිරීම, තාක්‍ෂණික සේවා සැපයීම, තාක්‍ෂණික, ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කිරීම සහ උපදේශනය ලබාදීම වන අතර ‘‘කසළ ගොඩින් නිධානයක්’’ මතු කර ගැනීමට එම ආයතනය විසින් සමත් වී ඇත්තේ ඉහත සඳහන් සංකල්පයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙසින්ය. ඒ අනුව කෙසෙල් වගාවේදී අපද්‍රව්‍යයක් ලෙස ගැනෙන පලදාව නෙලා ගැනීමෙන් පසු ඉවත දමන කෙසෙල් කඳන්, භාවිතයෙන් නූල් නිෂ්පාදනය කිරීමත් ඒ හරහා අත්යන්ත‍්‍ර රෙදිපිළි පිළිනිෂ්පාදනය සිදු කිරීමටත් මේ වනවිට එම ආයතනය සමත්ව ඇත. එහි ගිය අපට දැකගන්නට ලැබුණේ එම ආයතනය විසින් වසර කීපයක් පුරා කරන ලද සාර්ථක පර්යේෂණවල ප‍්‍රතිපල ලෙස නිපදවන ලද ඇඳුම් පැළඳුම් ඇතුළු තවත් නිෂ්පාදන රාශියක්ය. මෙතෙක් කළක් කෙසෙල් වගාවේදී ‘‘අපද්‍රව්‍යයක්’’ ලෙස ඉවත දමන ලද කෙසෙල් කඳ ජාතික ආර්ථිකයට ශක්තියක් වීම පිණිස යොදා ගන්නා ආකාරය පිළිබඳව වැඩි දුරටත් තොරතුරු දැනගැනීම පිණිස අප විසින් පළමුව කතාබහට එකතු කර ගනු ලැබුවේ ශ‍්‍රී ලංකා පේෂකර්ම හා ඇ`ගළුම් ආයතනයෙහි මෙහෙයුම් අධ්‍යක්‍ෂ පී. වී. එස්. විජයරත්න මහතාවය. ඔහු විසින් සිය කතාබහ ආරම්භ කරන ලද්දේ ආයතනයක් ලෙස ඔවුන් විසින් සිදුකළ පර්යේෂණ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස මෙම නව සොයාගැනීම සිදු කළ බව සඳහන් කරමින්ය.
‘‘වාණිජ භෝගයක් ලෙස ආදායම් ඉපයීමේ අරමුණින් පමණක් රට තුළ හෙක්ටයාර පනස් හයදහසකට වැඩි ප‍්‍රමාණයක කෙසෙල් වගා කරල තිබෙනවා. නමුත් ඒ සම්බන්ධව කරල තිබෙන පර්යේෂණ ආදිය ඉතාමත් සීමිතයි. පලතුරක් ලෙස ආහාරයට ගන්නා කෙසෙල් වගාවෙන් ඔබ්බට ගිහින් ඒ හරහා වෙනත් නිෂ්පාදන කරන්න පුළුවන්ද කියලා බලන එක තමයි අපේ පර්යේෂණවල මූලික අරමුණ බවට පත්වුණේ. ඒ සඳහා රාජ්‍ය අනුග‍්‍රහය වගේම මොරටුව විශ්වවිද්‍යාලයේ සහායත්, කර්මාන්ත හා සැපයුම්දාම කළමණාකරන අමාත්‍යාංශයේ සහයත් අපට ලැබෙනවා. මේ වගේ සොයා ගැනීමක් සිද්ධ කරන්න ඒ කාරණා තුන ලොකු ශක්තියක් බවට පත්වුණා. අපේ මූලික අරමුණ වුණේ ඉවත දමන කෙසෙල් කඳන් පාවිච්චි කරල රෙදි විවීමට යෝග්‍ය ශක්තිමත් නූලක් නිෂ්පාදනය කරන එක. මොකද අද ලෝකය ගත්තොත් ස්වභාවික ‘දෙයට වැඩි ඉල්ලූමක් පැවතීමේ ප‍්‍රවණතාවයක් දකින්නට ලැබෙනවා. රෙදිපිළි කර්මාන්තය ගත්තොත් අත්යන්ත‍්‍ර රෙදිපිළි සඳහා හොඳ ඉල්ලූමක් මෙන්ම හොඳ මිලක් පවතිනවා. එහෙම තත්ත්වයක් තුළ ඉවත දමන කෙසෙල් කඳන් භාවිතා කරල ශක්තිමත් නූලක් නිපදවන්න පුළුවන් නම් ඒක ලොකු ජයග‍්‍රහණයක්. අනිත් පැත්තෙන් ගත්තොත් අපි දැක්ක දෙයක් තමයි මේ පර්යේෂණ සාර්ථක වුනොත් රටට අත්වෙන වාසි මොනවාද කියන එක. එතනදී මූලික අරමුණු දෙකක් අපිට තිබුණා. එකක් තමයි අලූත් නිෂ්පාදනයක් රටට හඳුන්වා දීම. අනික් කරුණ තමයි මේ විෂය සම්බන්ධව විෂයානුබද්ධ දැනුමක් සහිත කීප දෙනෙක් අපේ රට තුළින් බිහිකර ගැනීමට තිබුණ වුවමනාව. ඇත්තටම මේ කාරණා දෙකම මේ වන විට ඉෂ්ට වෙලා තිබෙනවා. මේක තරමක් අසීරු ආරම්භයක් නමුත් අපි මේ වෙද්දී ඉතාමත් සාර්ථක ලෙස ඒ ආරම්භය ලබාගෙන තිබෙනවා. එපමණක් නොවෙයි දේශීය වෙළෙඳපොළ පමණක් නොවෙයි ජාත්‍යන්තර වෙළෙඳපොළ පවා ඉහළින් ජයගන්න පුළුවන් විශේෂඥ දැනුමක් සහිත මානව සම්පතක් මේ පර්යේෂණ ක‍්‍රියාවලිය හරහා රටට දායාද කරන්නත් අපේ ආයතනයට හැකියාව ලැබුණා. රටට ආදායම උපදවන මහා පරිමාණ ව්‍යාපෘතියක් ලෙස මේ කටයුත්ත කරගෙන යන්න රජය හෝ පෞද්ගලික අංශය ඉදිරිපත් වෙනවා නම් ඒ සම්බන්ධව මූලිකත්වය දෙන්න ශ‍්‍රී ලංකා පේෂකර්ම හා ඇ`ගළුම් ආයතනය සූදානම් කියන පණිවිඩය මේ හරහා අපි රටට දෙනවා’’.
මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා විසින් පවසා සිටි දෙය සැබෑවක් බව හැ`ගී යන්නේ ඔවුන් විසින් මෙතෙක් සිදු කළ පර්යේෂණ කටයුතු සහ ඒ හරහා ලබාගත් දැනුම උපයෝගි කර ගනිමින් සිදු කර ඇති නිමැවුම් සියැසින් දකින විටය. මෙම සුවිශේෂී සොයාගැනීම් පිණිස මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු අංශය යටතේ පේෂකර්ම හා ඇ`ගළුම් තාක්‍ෂණය සම්බන්ධව උපාධිධාරීනියක් වන ඒ. සී. එස්. අයි. මුම්තාස් මහත්මිය විසින්ය. ඇයගේ සහය පිණිස එම විෂයෙහි සමත් සුභාෂිනී බාලක‍්‍රිෂ්නන් කටයුතු කරන අතර ඔවුන්ව මෙම කටයුත්ත පිණිස මෙහෙයවනු ලබන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කීප දෙනකු විසින්ය. මෙතෙක් කරන ලද පර්යේෂණ හා එහි ප‍්‍රතිඵල පිළිබඳ අප කළ විමසුමකට පිළිතුරු දුන් මුම්තාස් මහත්මිය.
‘‘කෙසෙල් කඳක් කියන්නෙ ඵලදාව නෙලා ගත්තට පස්සෙ කිසිම ප‍්‍රයෝජනයක් ගන්න බැරි ශාක කොටසක්. සරලව කියනවා නම් අපද්‍රව්‍යයක් ඒ හරහා නිරෝගී කෙසෙල් ගසකට රෝග බෝවීමේ ඉඩකඩත් පවතිනවා. ඒ නිසාම කෙසෙල් ගොවියාට සිදුවෙනවා ක්‍ෂේත‍්‍රයෙන් ඒ ශාක කොටස් ඉවත් කරන්න. මහා පරිමාණයෙන් කෙසෙල් වගා කරනවා නම් ඒ ශාක කොටස් ඉවත් කරන්න ගොවියාට යම් වියදමක් දරන්න පවා සිද්ධ වෙනවා. එහෙම තත්ත්වයක් තුළ අපතේ දමන කෙසෙල් කඳන් සඳහා මිලක් ලබාදීල ඒ හරහා පරිසර හිතකාමී නිෂ්පාදනයක් සිද්ධ කිරීම තමයි අපේ මූලික අරමුණ බවට පත්වුණේ. අද ලෝකය ගත්තොත් කාබනික ආහාර වගේම වෙනත් නිෂ්පාදන පිළිබඳවත් ලොකු අවධානයක් යොමු වෙමින් පවතිනවා. ඒ හරහා අත්යන්ත‍්‍ර රෙදි කර්මාන්තය අද හොඳ තත්ත්වයක පවතිනවා. එතනදී තමයි ආයතනයක් ලෙස කෙසෙල් කඳෙන් නූල් සහ ඇ`ගළුම් නිෂ්පාදනය පිණිස අපේ අවධානය යොමු වෙන්නේ. මේ ක‍්‍රියාවලිය පිළිබඳව සරල හැඳින්වීමක් කරනවා නම් අපි මූලිකවම සිදුකළ පර්යේෂණය තමයි නූල් නිෂ්පාදනය සඳහා සුදුසු කෙසෙල් ප‍්‍රභේද මොනවාද කියලා හොයාගන්න එක එතනදී පර්යේෂණ මගින් අපි සොයාගත්ත මෙරට කෙසෙල් ප‍්‍රභේද 10 ක් මේ සඳහා සුදුසුයි කියලා. ඒ කෙඳිවල ගුණාංග විශ්ලේෂණය කරල තමයි නූල් නිෂ්පාදනය සඳහා ඒවා සුදුසුයි කියන තීරණයට එන්නෙ. භෞතික හා අනුක ව්‍යූහ වශයෙන් කරන ලද පරීක්‍ෂණවලදී අපි දැක්ක දෙයක් තමයි අතුරු පස වශයෙන් ගන්න කෙසෙල් වර්ග අතරින් 46% ක ප‍්‍රමාණයක් කෙඳි සඳහා ගන්න පුළුවන් බව. පර්යේෂණාගාර ඇතුළෙ කරන ලද පරීක්‍ෂණවලින් අපි හොයල බැලූව මේ කෙඳි හරහා නිපදවන නූල් මිනිස් සිරුරට හිතකරද නැද්ද කියන කාරණය.
ඒ ප‍්‍රතිඵලවල සාර්ථකත්වයෙන් පසුව තමයි කෙසෙල් කඳෙන් ගන්න තන්තු හරහා නූල් නිපදවන්නෙ. ඊට පස්සේ තමයි ඒ නූල් පිළිබඳව දීර්ඝව පරීක්‍ෂණ පවත්වන්නෙ ඊළ`ග පියවර තමයි ඒ නූල් භාවිතා කරමින් අත් යන්ත‍්‍ර රෙදි නිපදවීම. එහි අවසන් ප‍්‍රතිඵලය තමයි ඇ`ගළුම් බවට පත්වෙන්නෙ. මේ ක‍්‍රියාවලිය අපි විසින් ආරම්භ කරන්නෙ 2016 වර්ෂයේ. අද අපි ලංවෙලා ඉන්න ඉලක්කයට එන්න මේ වන විට පර්යේෂණ 2500 කට ආසන්න ප‍්‍රමාණයක් කරල තියෙනවා. ඒ සඳහා ‘‘ස්ලිටා’’ ආයතනයේ යන්ත‍්‍ර සූත‍්‍ර සහ මොරටුව විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාර අපි විසින් භාවිතා කළා. ඒ වගේම මේ කටයුත්තේදී මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධර්මසිරි වික‍්‍රමසිංහ, මහාචාර්ය සමුද්‍රිකා විජයපාල, කථිකාචාර්ය උජිත ගුණසේකර හා ආචාර්ය මණ්ඩලය විසින් ලොකු ම`ගපෙන්වීමක් සිදුකළ බව මේ වෙලාවේ මතක් කර සිටිනවා.’’
ඉහත විස්තර කරන ලද්දේ රටේ උන්නතිය පිණිස මහත් සේ ඉවහල්වන දැවැන්ත ව්‍යාපෘතියක ආරම්භය පමණය. මේ වනවිට ඉවත දමන කෙසෙල් කඳන් භාවිතයෙන් නිපදවන නූල් 40% ක් යොදා ගනිමින් අත්යන්ත‍්‍ර රෙදි නිෂ්පාදනය කළ හැකි අතර ඇ`ගළුම් නිපදවීමේදී එහි ප‍්‍රතිශතය 20% ක පමණ අගයකින් යුක්තය. මෙම පර්යේෂණයන්හි අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ 100% ප‍්‍රතිශතයකින් යුත් රෙදිපිළි නිෂ්පාදනය කිරීමය. තවදුරටත් ඒ පිළිබඳ පර්යේෂණ කටයුතු සාර්ථකව සිදු කරන අතර නුදුරේ දිනක එයද සැබැවක් බවට පත්වීමට නියමිතය.
මෙම පර්යේෂක කණ්ඩායම සිය පර්යේෂණ හරහා වැඩිදුරටත් හෙළිකරගත් තොරතුරුවලට අනුව කෙසෙල් තන්තු භාවිතා කරමින් නිපදවන නූල් හරහා පමණක් වසරක් තුළ ඇ. ඩොලර් මිලියන 500 ක ආදායමක් රටට උපයා දිය හැකිය. මෙම නූල් විශේෂය සඳහා ජාත්‍යන්තරය තුළ ඉහළ වෙළෙඳපොළක් නිර්මාණය වී තිබීම ඊට හේතුව බවට පත්ව ඇත.
පර්යේෂණාගාරවල සිදුකළ පරීක්‍ෂණවලින් තහවුරු වී තිබෙන ආකාරයට අත්යන්ත‍්‍ර රෙදි පිළි නිෂ්පාදනය පිණිස ඉතාමත් යෝග්‍ය මෙම නූල් විශේෂය හා එම නූල් උපයෝගී කර ගනිමින් සිදුකරන ඇ`ගළුම් ජාත්‍යන්තර ප‍්‍රමිතිය යටතේ සිදුකිරීමට මේ වන විටත් මෙරටට හැකියාව ලැබී තිබෙන අතර දැනට යම් අඩුපාඩුවකට පවතින්නේ ඒ සඳහා අවශ්‍ය කාර්යක්‍ෂමතාවය සහිත නවීන යන්ත‍්‍ර සූත‍්‍ර රට තුළ නොමැතිවීමේ ගැටලූවක් පමණය.
පර්යේෂණ ක‍්‍රියාවලියේ ප‍්‍රතිපලයක් ලෙස මේ වනවිට නිපදවීමට සමත් ඇ`ගළුම් අතරින් උසස්ම තත්ත්වයෙන් යුත් කමිසයක් මෙරට මුදලින් රු 10000 ට පමණ අලෙවි කළ හැකි බව පවසා සිටින පර්යේෂක කණ්ඩායම ඒ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වමින් ප‍්‍රකාශ කර සිටියේ එය ආදායම් උත්පාදන මාර්ගයක් දක්වා වර්ධනය වේ නම්අ එම මිල ගණන් තවත් පහළ හෙළීමේ හැකියාව පවතින බවක්ය.
නවෝත්පාදන පර්යේෂණ ක‍්‍රියාවලියක ප‍්‍රතිඵලයක් ලෙස රටේ උන්නතිය පිණිස රට තුළම නිර්මාණය කළ හැකි ‘‘දැවැන්ත වැඩ බිමක්’’ පිණිස මූලික වටපිටාව මේ වන විටත් සැකසී අවසන්ය. දැන් සිදු කළ යුතුව පවතින්නේ ලක් පොළොව මත එය සැබෑවක් කිරීම පමණය. ඒ හරහා රැකීරක්‍ෂා දහස් ගණනක් බිහි කළ හැක. අපද්‍රව්‍යයක් ලෙස කසළ ගොඩට බැහැර කරන කෙසෙල් කඳ ආදායම් උත්පාදන මාර්ගයක් කර ගැනීම තුළ කෙසෙල් වගාකරුවන්ට අමතර ආදායම් මාර්ගයක් පිණිසද දොරටු විවර වනු ඇත. ලොව පුරා වේගයෙන් පැතිර යන ප‍්‍රවණතාවයක් වන හරිත නිෂ්පාදන ක‍්‍රියාවලිය යටතේ මෙරට ක‍්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සමාජගත කිරීම තුළ සුළු හා මධ්‍ය පරිමාණ ගෘහ කර්මාන්තයක් වන අත්යන්ත‍්‍ර රෙදි විවීමේ කර්මාන්තයට වැඩි වටිනාකමක් හිමි වන අතර ඒ හරහා අත්කම් නිර්මාණ ශිල්පීන්ට බෙදාහරින්නන් සහ ඒ හා සම්බන්ධ වෙනත් කණ්ඩායම්වලට වෙළෙඳ පොළ අවස්ථා සහ වැඩි ආදායමක් හිමිකර ගත හැකිය. ඒ හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් බලගැන්වෙන අතර ඒ හරහා අපනයන වෙළෙඳ පොළ ජයගැනීමේ වැඩි අවස්ථාවක් හිමිකර ගත හැකිය. ඒ හරහා විදේශී විනිමය මෙරටට ගෙන්වා ගත හැකිවනු ඇත. මෙම කරුණු කාරණා ගත්කල මෙම පර්යේෂණ කි‍්‍රයාවලිය තුළින් අත්පත් කරගත් ප‍්‍රතිඵල ලක් පොළොව මත සැබෑවක් කිරීම පිණිස වගකිවයුතු ආයතන හා බලධාරීන්ගේ අවධානය යොමුවේ නම් එය රටේ යහපත පිණිස ඉවහල් වනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...