පුරවැසි කොලම

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක සතුව තිබී අනාවරණය වී ඇති හඬ පට ගණනාවක් විද්‍යුත් සහ සමාජ මාධ්‍ය කලඹවමින් සැරිසරයි. මෙතෙක් මාධ්‍යයට අනාවරණය නොකළ තවත් හඬ පට ගණනාවක් ඇති බවද කියැවේ. හිටපු අගමැති සමග කරන ලද බවට නිරීක්ෂණය වන හඬ පටයක මන්ත‍්‍රීවරයෙකු දෙසට වෙඩි තැබීම ගැනත්, එහිදී අධිකරණය නොමඟ යැවෙන සේ සාක්ෂි දීමට රටේ අගමැති විසින් උපදෙස් දෙන අයුරු ඇසෙයි.

ගරු අධිකරණයේ විනිසුරු තුමියක සමඟ කෙරෙන, විළියෙන් තොරව සවන් දීමට නොහැකි, තවත් එක් දෙබසකි. එනම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් තමන් විසින් ලබාදුන් නඩු තීන්දු පෙන්වා දෙමින් තමන්ගේ උසස් වීමක් සම්බන්ධයෙන් දේශපාලඥයෙකුගේ සහාය පතන අයුරුයි. එයින් හැඟී යන්නේ ඇය එම තීන්දුව ලබා දී ඇත්තේ තමන්ට උසස් වීමක් ලබා ගැනීම සඳහා, නඩුවට අදාළ කරුණු මත නොව, අදාළ චූදිතයාට එරෙහි දේශපාලනඥයන් තෘප්තිමත් කිරීම සඳහා බවය. එය මොන තරම් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ද ?

විශේෂයෙන් එම විනිසුරුවරියට අදාළ හඬ පටය ඉතාමත් බරපතළ කාරණාවක් වන්නේ ජිනීවා නුවර අප රටට විරුද්ධව දැනටමත් ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයට එය උඩගෙඩි දීමක් වන බැවිනි.

අප හමුදාවන් විසින් කිසිදා නොකළ යුද අපරාධ කළා යැයි පිළි ගනිමින් අපට එරෙහිව ඇමරිකාව විසින් ඉදිරිපත් කළ 30/1 ජිනීවා යෝජනාවට ඉතා දුෂ්ට ලෙස සම අනුග‍්‍රාහකත්වය දැක්වූයේ පසුගිය යහපාලන රජයේ මංගල සමරවීර හිටපු විදේශ ඇමැතිවරයාය. ඉන්පසු මේ රටට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මගින් විවිධ විෂයයන් සම්බන්ධයෙන් විමර්ශනයන් කොට වාර්තා කිරීම සඳහා ජිනීවා විශේෂ වාර්තාකරුවන් (special rapporteurs) එවනු ලැබූ අතර, ඔවුන් සියලූ දෙනාට යහපාලන රජය රතු පලස් මත පිළිගෙන ඔවුන්ට රටේ අස්සක් මුල්ලක් නෑර යෑමට අවසර දෙන ලදී. අපේ රටේ නිවට නායකයෝ එසේ හැසිරුණද කාශ්මීර ප‍්‍රශ්නය සම්බන්ධයෙන් හෝ කුමන අන්දමේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් හෝ ජිනීවා හි කිසිම විශේෂ වාර්තා කරුවෙක්ට මෙතෙක් කිසිම ඉන්දියානු නායකයෙක් ඉන්දියාවට පය ගැසීමට ඉඩ නොදෙන බවද මෙහිදී ප‍්‍රකාශ කළ යුතුය.

edifea2එසේ අප රටට පැමිණුනු එක් විදේශ නියෝජිතවරියක් වූයේ මොනිකා පින්ටෝය. ඇය පැමිණියේ ලංකාවේ අධිකරණයේ විනිසුරුවන් සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳව පරීක්ෂා කොට ජිනීවා නුවරට වාර්තාවක් සැපයීමටය. ඇය මෙරටට පැමිණ යාපනයට පවා ගිය අතර, විදේශ ඇමැති, අධිකරණ ඇමැති, නීතිය හා සාමය පිළිබඳ ඇමැති, බන්ධනාගාර, පුනරුත්ථාපන, හින්දු කටයුතු පිළිබඳ ඇමැති, උතුරු ප‍්‍රධාන ඇමැති විග්නේශ්වරන්, අධිකරණ සේවා කොමිසම, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම ආදී සියල්ලන්ම කෙටි වේලාවකට හෝ හමු වී තිබේ.

ඇය ලංකාවේ සිටියේ 2016 අපේ‍්‍රල් 29 වෙනිදා සිට මැයි 7 දක්වා දින 8 ක් පමණි. ඒ දින 8 තුළ අපේ අධිකරණ පද්ධතිය විමර්ශනය කොට වසර දෙසීයක ඉතිහාසයක් ඇති අපේ අධිකරණය සහ විනිසුරුවන් සම්බන්ධ නිරීක්ෂණයන් සහ නිර්දේශයන් සමග ඉතා සවිස්තර වාර්තාවක් සම්පාදනය කළ අතර, මානව හිමිකම් කවුන්සිලයේ 35 වන සැසිවාරයේ දී එම වාර්තාව ජිනීවාහි ඉදිරිපත් කළේ දියාගො ගර්සියා සයාන් නමැත්තාය.

මොනිකා පින්ටෝ එම වාර්තාවේ අපේ සමස්ත අධිකරණ පද්ධතියම දෝෂාරෝපණයට ලක් කරන අතර, යහපාලන රජයට යම් ප‍්‍රමාණයක ප‍්‍රශංසාවක්ද කරයි. ඉතා සංක්ෂිප්තව සඳහන් කළහොත් ඇය අපගේ අධිකරණය පද්ධතියට එල්ල කර ඇති චෝදනා මෙසේය.

1. ලංකාවේ නීතිපති දෙපාර්මේන්තුව කටයුතු කරන්නේ ඉතාම උදාසීනවය. ඉතා සංවේදී නඩු කටයුතු වලදී ඔවුන් ක‍්‍රියා කරන්නේ ජනතාවගේ නොව පවතින රජයේ සුබසිද්ධිය සඳහාය.

2. විධායකය විසින් විනිසුරු කරුවන්ට තදබල ලෙස බලපෑම් කර තිබේ.

3. විනිසුරුවන් තදබල ලෙස දේශපාලනීයකරණය වී ඇත.

4. විනිසුරුවන් විශ‍්‍රාම ගිය පසු රජයේ හෝ දේශපාලන ප‍්‍රවාහයේ උසස් රැකියා බලාපොරොත්තු වේ. ඒ නිසා විශ‍්‍රාම යෑමට කිට්ටු විනිසුරු කරුවන් පවතින රජය සතුටු කිරීමට තම නඩු තීන්දු දෙන ප‍්‍රවණතාවක් තිබේ.

5. විනිසුරුවන්ගේ කාර්යයන් නිසි පරිදි අගය කිරීමට හෝ උසස්වීම් ලබා දීමට සම්පාදනය කළ ක‍්‍රමවේදයක් හෝ නොමැත. ඒ නිසා අධිකරණ සේවා කොමිසමට තමන්ට කැමති කෙනාට උසස්වීම් ලබා දීමට පූර්ණ නිදහස තිබේ.

6. විමර්ශන කටයුතු වලට පොලිස් නිලධාරීන් අවශ්‍ය ප‍්‍රමාණයට පුහුණු වී නොමැති අතර අවශ්‍ය කරන මූලික තාක්ෂණික දැනුම පවා ඔවුන්ට නොමැත. බොහෝ පරීක්ෂණ කටයුතු වධහිංසා දෙමින් ලබාගත් පාපොච්චාරණ වලට පමණක් සීමා වී තිබේ.

7. ළමා අපචාර පිළිබඳ චෝදනා ගොනු කිරීමට වසර හතක් පමණ ගතවේ.

8. හමුදා පුද්ගලයන් සම්බන්ධ මානව හිමිකම් කඩවීම් පිළිබඳ චෝදනා එක්කෝ විභාග නොකරයි. නැතහොත් සම්පූර්ණයෙන් අමතක කර දමයි.

9. ලංකාවේ අධිකරණය සමාජයේ බහුතර ලක්ෂණ පිළිබිඹු නොකරයි. සමහර ස්ථාන වල ඉන්නේ සිංහල මිනිසුන් කරුවන් පමණි. (යාපනය, අම්පාර, ත‍්‍රිකුණාමලයේ සේවය කරන දෙමළ විනිසුරුවන් ගැන සඳහනක් නොමැත.) උතුරු සහ නැගෙනහිර ප‍්‍රදේශවල නඩු කටයුතු කරන්නේද සිංහල බසිනි. එසේ දෙනු ලබන තීරණ දෙන්නේද සිංහල බසිනි. එය දෙමළ ජනතාවට නොතේරෙන බැවින් ඔවුන් මහත් අපහසුතාවට පත්වේ.

10. ලංකාවේ නීතිඥ සංගමය දේශපාලන වශයෙන් ඉතා තදබල ලෙස බෙදී වෙන් වී ඇත. එය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇත.

11. අපරාධ නඩු අවසන් කිරීමට වසර 10 – 15 අතර කාලයක් ගනී. සිවිල් නඩු වසර 30 ක් පමණ ගනී. දික්කසාද නඩුව වසර 8 – 10 කාලයක් ගනී. මෙය යුක්තිය පැහැර ගැනීමකි.

12. ශිරාණි බණ්ඩාරනායක විශ්වාසභංගයට පෙර විනිසුරුවන්ට/ නීතිඥයන්ට බරපතළ ලෙස ප‍්‍රහාර එල්ල කළ අතර යහපාලන රජය ස්ථාපිත වූ පසු එය අඩු වී තිබේ.

13. මෙතෙක් විධායක ජනාධිපති විසින් පත් කළ, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්, අභියාචනාධිකරණයේ විනිසුරුවන් අධිකරණ සේවා කොමිසම යනාදීන් දැන් පත් කරන්නේ දහනමවන සංශෝධනය මගින් ගෙන්වා ව්‍යවස්ථාදායක සභාව මගිනි. එය ඉතා හොඳ ප‍්‍රවණතාවකි.

14. පසුගිය රජය විසින් (මහින්ද රාජපක්ෂ රජය) කරන ලද දුෂ්ට ම්ලේච්ඡු ක‍්‍රියා සම්බන්ධයෙන් වහා කටයුතු කළ යුතුය. යුක්තිය සිදුවීම පමණක් නොව, යුක්තිය සිදුවෙන බව ජනතාවට පෙනී යා යුතුය.

15. ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය පාරදෘශ්‍ය භාවයකින් වහා කළ යුතුය.

පිටු 20 කින් යුත් මොනිකා පින්ටෝගේ එම ”ලංකාවේ විනිසුරුවන්ට සහ නීතිඥයන්ට තිබෙන නිදහස” යන එම විශේෂ වාර්තාවේ සඳහන් ඉතා ස්වල්පයක් වූ කරුණුය ඒ. එහි වූ සමහරක් නිරීක්ෂණ ඉතා සාවද්‍ය පදනම් රහිත කරුණු බැව් ඕනෑම කෙනෙකුට වැටහේ. 30/1 ජිනීවා යෝජනාවේ තිබෙන ප‍්‍රධානම නිරීක්ෂණයක් වූයේ ලංකාවේ හමුදාවට විරුද්ධව තිබෙන යුද අපරාධ චෝදනා විභාග කිරීමට විදේශීය විනිසුරු කරුවන්ගෙන් යුත් දෙමුහුන් අධිකරණයක් මෙහි ස්ථාපිත කළ යුතු බවය. එසේ නිර්දේශ කිරීමට ප‍්‍රධාන හේතුව ලංකාවේ අධිකරණ විනිසුරු කරුවන් වෙත ඔවුන්ගේ කිසිදු විශ්වාසයක් නොමැති නිසාය. මොනිකා පින්ටෝගේ වාර්තාවෙන්ද එය සනාථ වන නිසාය.

මොනිකා පින්ටෝගේ උක්ත වාර්තාවට ජිනීවා හි අභියෝග කළේ අප පමණි. රජයේ ප‍්‍රතිචාරය වූයේ යහපාලන රජය පැමිණි පසු විනිසුරු කරුවන්ට මෙතෙක් තිබූ බලපෑම් අඩු වීම ගැන සඳහන් කළ මොනිකාට ප‍්‍රසංසා මුඛයෙන් කතා කිරීමය. ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ එවකට සිටි කොමසාරිස් ජනරාල් වරයා 2016 සිට සෑම මානව හිමිකම් සැසිවාරයකදීම ලංකාවේ අධිකරණය ස්වාධීන නැති බවත්, එය අධික ලෙස දේශපාලනීකරණය වී ඇති බවත් ලෝකයා ඉදිරියේ පවසා අපේ අධිකරණයට තදින් අපහාස කළේය. ලංකාවේ අධිකරණය රටේ අභ්‍යන්තර කාරණාවක් බවත් රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට සෙයිඞ් අල් හුසේන්ට එක්සත් ජාතීන්ගේ සංගමයේ කිසිදු අවසරයක් ලබා දී නොමැති බවත් අප විසින් ජිනීවාහිදී පෙන්වා වසර 200 ක අධිකරණ ඉතිහාසයක් තිබෙන, ලාංකික විනිසුරුවන් විදේශ රටවල අගවිනිසුරු තනතුරු හොබවන තත්ත්වයක් තුළ මොනිකා පින්ටෝ වැන්නෙක් දින 8 ක් තුළ එවන් අධිකරණයක් පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් දෙන්නේ කෙලෙස දැයි ප‍්‍රශ්න කළෙමු. සෙයිඞ් අල් හුසේන් ඔහුගේ අවසාන සැසිවාරයේදී ලංකාව ගැන කතා කරන විට එතෙක් ප‍්‍රකාශ කළ ලෙස අපේ අධිකරණය ගැන කිසිදු වචනයක් නොකී අතර, අපහාසාත්මක මුඛයෙන් කතා නොකළේය. එසේ කළේ අප විසින් ඔහුට දැකවූ විරෝධය පෙන්වා දුන් ඉහත කරුණු නිසා යැයි අප විශ්වාස කරමු.

ජිනීවා 30/1 යෝජනාවේ තවත් එක් නිර්දේශයක් වූයේ සංහිඳියාව උදෙසා ප‍්‍රවිචාරණ කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමය. එසේ ඒ ස්ථාපිත කළ එම කාර්ය සාධක බළකායේ සභාපති වූයේ මනෝරි මුත්තෙට්ටුවෙගමය. සාමාජිකයන් වූයේ පක්‍යසෝති සරවනමුත්තු, ශාන්තා අභිමානසිංගම්, විශාකා ධර්මදාස, ෆර්සානා හනීෆා, චිත‍්‍රලේඛා, මොන්ගුරු, මිරාක් රහීම්, ගමිලා සමරසිංහ, දයා සොමසුන්දරම් සහ ගාමිනී වියන්ගොඩයි. ඔවුන්ගේද ප‍්‍රධාන නිර්දේශයක් වූයේ හයිබි‍්‍රඞ් එනම් විදේශීය විනිසුරු වන්ගෙන් හෙබි දෙමුහුන් අධිකරණයකි. ඔවුන්ද එසේ නිර්දේශ කළේ අපේ විනිසුරුවන්ගේ තීන්දු ගැන කිසිදු විශ්වාසයක් නැති නිසාය. එම වාර්තාවේ ද මොනිකා පින්ටෝ විසින් පෙන්වා දෙන ලද අපේ අධිකරණය පිළිබඳ විශ්වාසය නැති කම සනාථ කරයි. අපගේ නීතිඥ සංගමය විසින් මනෝරී මුත්තෙට්ටුවගම මහත්මියගෙන් අපට වෘත්තීමය විනිසුරුවන් සිටියදී එසේ දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු යැයි ජාත්‍යන්තරයට ප‍්‍රකාශ කළේ ඇයි දැයි විමසීමට තවමත් ප‍්‍රමාද නැතැයි අප සිතමු.

මොනිකා පින්ටෝගේ සහ මනෝරී මුත්තෙට්ටුවගමගේ වාර්තා අනුව අපේ අධිකරණ විනිසුරුවන් පක්ෂග‍්‍රාහී දේශපාලනඥයන්ට කඬේ යන, උසස් වීම් උදෙසා තීන්දු වෙනස් කරන පුද්ගලයන් බවට ලෝකයාටම පෙන්වා දුන් නිසා කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව ද විදේශීය විනිසුරු කරුවන් ඉල්ලා සිටී. ඒ අපේ සිංහල විනිසුරු වන් පක්ෂග‍්‍රාහී දේශපාලනඥයන්ගේ කීමට නැමෙන අය බව ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබෙන නිසාය. මොනිකා පින්ටෝ පමණක් නොව අපේ සිංහල විනිසුරුවන් එවන් අය බව සිංහල කෙනෙක්ගේ සභාපතිත්වයෙන් යුත් ප‍්‍රවිචාරණ කාර්ය සාධක බළකායෙනුත් වක‍්‍රව පෙන්වා දී ඇත්තේ ඒ නිසාය.

අප විනිසුරුවන් එසේ නොවේ යැයි අප ඔවුන් වෙනුවෙන් මෙතෙක් ජාත්‍යන්තරයේ සටන් කළෙමු. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වී යහපාලන රජය විසින් විනාශ කළ අපේ ඒ අභිමානය නැවත ඇති කරමින් සිටින මොහොතකය, රංජන් රාමනායකගේ උක්ත හඬ පටය කරළියට එන්නේ.

ඒ හඬ පටයෙන් සනාථ වන්නේ මහාධිකරණයේ විනිසුරු වරයෙක් තමන්ගේ උසස් වීමක් වෙනුවෙන් තමන් නඩුවක ගත් තීන්දුව ද පෙන්වා දෙමින් දේශපාලනඥයෙකුගේ සහාය පතන ආකාරයයි.

එයින් දැනටමත් මොනිකා පින්ටෝ විසින් අපේ අධිකරණයේ ඇති දූෂිත භාවය ගැන කියූ දේ සනාථ වී හමාරය. එසේ නම් මෙයින් දැඩි අපහසුතාවට දැන් පත් වී ඇත්තේ අපේ අධිකරණයේ විනිසුරුවන් පමණක් නොව ඔවුන් එසේ නොවේ යැයි ජිනීවාහිදී මොනිකා පින්ටෝට පමණක් නොව සෙයිඞ් අල් හුසේන්ටද අභියෝග කළ අපත්ය. මෙය ඉතා බරපතළ කාරණාවක් වන්නේ ඒ නිසාය. එබැවින් අපගේ නීතිඥ සංගමය මෙහිදී වහා පියවර ගෙන සමස්ත අධිකරණයටම සිදු වූ අවමානය කෙසේ හෝ වළක්වා ගත යුතුය. එදා මෙදා තුර දේශපාලනඥයන්ට යට නොවී විනිසුරුවන් ලබාදුන් සාධාරණ තීන්දු පෙන්වා දිය යුතුය. ඕනෑම ආයතනයක මෙන්ම අධිකරණයේද දූෂිතයන් සිටීම වැළැක්විය නොහැකි බව අපේ පමණක් නොව විදේශ රටවල් වල උදාහරණවලින් ද පෙන්වා දිය යුතුය. හෙට අනිද්දා වන විට අපේ රටේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට ජාත්‍යන්තරයේ බලපෑම ඉතා දැඩි වනු ඇත. එයට විරෝධය පෑමට ජනාධිපති තුමාට අපට සහාය විය හැක්කේ ඒ අයුරිනි. එක් අඥානයෙකුගේ අමන ක‍්‍රියාවකින් එක් යථාර්ථයක් එළිදැක්වූ අතරම සමස්ත ජාතියම නින්දාවට/ අනතුරට පත් වී ඇත්තේ ඒ අයුරෙනි.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More