ප්‍රතිභාපූර්ණ රංගධර ආචාර්ය ජයලත් මනෝරත්නයන් ඊයේ (12 වැනිදා ) අලුයම අභාවප්‍රාප්ත විය. මියයන විට හැත්තෑ දෙවැනි වියෙහි පසු වූ ඔහු කලක සිට රෝගීව ප්‍රතිකාර ලබමින් සිටියේය.1948 ජුනි 12 වැනිදා නුවරඑළිය දෙහිපෙ ග්‍රාමයේ උපත ලද ජයලත් මනෝරත්න දෙහිපෙ ප්‍රාථමික විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව පොරමඩුල්ල මහා විද්‍යාලයේ නේවාසික සිසුවෙක් බවට පත් විය.
මනෝරත්න රංගනයට පෙලඹෙන්නේ පොරමඩුල්ල විද්‍යාලයේ ඉගෙනුම ලබද්දීය. පාසල විසින් නිර්මාණය කළ ‘අස්ස ගුඩුං’ ඔහුගේ පළමු වේදිකා නාට්යයවේ. 1960 වසරේදී ඔහු ‘අස්සගුඩුං’ රංගනයට සම්මානයක්ද හිමිකර ගන්නේය.
ජයලත් මනෝරත්න උසස් අධ්‍යාපනය සඳහා 1966 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වේ. එහිදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‘ පේමතෝ ජායතී සෝකෝ ’ නාට්‍යයට තෝරාගනී. 1970 දී ශාස්ත්‍රවේදී උපාධිධාරියකු ලෙස සරසවියෙන් පිටවන ඔහු හඟුරන්කෙත තිස්සපෑල පිරිවෙනේ භූගෝල ගුරුවරයා ලෙසත් අනතුරුව නුවරඑළිය කච්චේරියේ ලිපිකරුවකු ලෙසත් රැකියාව කරයි. රැකියාව අතහැර කොළඹ පැමිණෙන මනෝරත්න 1973 දී හෙන්රි ජයසේනගේ ‘මකරා’ නාට්‍යයේ පූසාගේ චරිතය රඟමින් පූර්ණකාලීන නළුවකු බවට පත්වේ. 1974 වසරේදී ”රතු හැට්ටකාරී” නාට්‍යයේද ඔහු රඟපෑවේය.
මනෝරත්ත විසින් ජනප්‍රිය නාට්‍ය කීපයක් ලියා , අධ්‍යක්ෂණය කළේය. පුත්‍ර සමාගම , තල මල පිපිලා , සොක්රටීස් , ද්විත්ව, මහගිරදඹ, ගුරු තරුව ,අන්දරේලා, ලෝකය තනි යායක් , මකරා ,බූරුවා මහත්තයා ,සෙල්ලං නිරිඳු, හඬ නිහඬ එම නිර්මාණවේ. තල මල පිපිලා, අන්දරේලා සහ ගුරු තරුව නාට්‍ය සඳහා මනෝරත්න රාජ්‍ය සම්මානද හිමිකර ගත්තේය. ඔහු කවියෙකි. නවකතා සහ කෙටිකතාකරුවෙකි.
මනෝරත්න මුලින්ම ලේඛන කලාවට යොමු වන්නේ 1971 වසරේ”දොළොස් මහේ පහන” නම්,වූ කාව්‍ය සංග්‍රහය මහාචාර්ය සුනිල් ආරියරත්න හා බුද්ධදාස ගලප්පත්ති සමග එක්ව එළිදක්වමිනි.“දවස තාම තරුණයි” නමින් නවකතා පොතක්ද ඔහු ලියා ඇත. 1979 දී ටයිටස් තොටවත්තයන්ගේ ”හඳයා” චිත්‍රපටයෙන් ඔහු සිනමාවට පිවිසේය.
ඉන්පසු සිරිබෝ අයියා, හිත හොඳ චණ්ඩියා, මංගල තෑග්ග, ස්ත්‍රී, උමයංගනා, සිසිල ගිනි ගනී, පුංචි සුරංගනාවි, සුදු හෙවණැලි, සූරිය අරණ, ප්‍රේමවන්තයෝ, ගිනි කිරිල්ලී, හිරිපොද වැස්ස, භේරුණ්ඩ පක්ෂියා, සිරි රජ සිරි, වලා පටල, බිංදු, බඹර වළල්ල, හෝ ගානා පොකුණ, ගෝල් යන චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වී ඇති මනෝරත්නයන් සුදු හෙවණැලි (2004) හා භේරුණ්ඩ පක්ෂියා (2007 ) සඳහා හොඳම සහාය නළුවා ලෙස සම්මානයට පාත්‍ර විය.
2014 වසරේ Global Bias cope International film festival හිදී ජයලත් මනෝරත්නයන් ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවූයේ ””සූවිසි විවරණ”” චිත්‍රපටයේ කළ රංගනය උදෙසාය. එය මෙතෙක් තිරගතවී නැත. මින් පෙර ජෝ අබේවික්‍රම (පුර හඳ කළුවර) සහ ජගත් චමිලට (සැමීගේ කතාව) පසුව හොඳම නළුවා ලෙස ජාත්‍යන්තර සම්මානයක් ලැබූ ශිල්පියා වන්නේද මනෝරත්නයන්ය.
සෙක්කු ගෙදර, රන්සිරිගේ සංග්‍රාමය, මගෙ කවිය මට දෙන්න, මහ පොළොව අපේ නොවෙයි ,තුන්පත් රටාවක ලස්සන, සූරිය කුසුම, ඊළඟට මොකද වෙන්නේ, රිදුණු තැන් බොහොමයි මනෝරත්නයන් විසින් අධ්‍යක්ෂණය කළ ටෙලිනාට්‍ය වේ. ඇසළ සඳ, රෝද තුනේ මනමාලයා මනෝ රඟපෑ ජනප්‍රිය ටෙලිනාට්‍ය දෙකකි.
තම වේදිකා නාට්‍ය සියල්ලේම ගීත රචනා කළ ජයලත් මනෝරත්නයන් ලක්ෂ්මන් විජේසේකර ගයන ‘සඳ කඩාවැටී වෙරළේ” ගීතයේද පද රචකයාය.
ජනප්‍රිය වේදිකා නිළියක වන මාලිනී රණසිංහගේ නැගණිය ජයන්ති, මනෝරත්නගේ ආදරණීය බිරියයි. භානුක සහ ඉන්දීවරී මනෝරත්නයන්ගේ දරු දෙදෙනාය.
ජයලත් මනෝරත්නයන්ගේ දේහය අංක 18, අබේරත්න මාවත බොරලැස්ගමුව නිවසේ තැන්පත්කර ඇත. අවසන් කටයුතු බදාදා (15 වැනිදා) පස්වරු 5.00 ට බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...