පුරවැසි කොලම

ආර්ථික වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා ගැනීම සඳහා සංචාරක කර්මාන්තයේ පුළුල් ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීමට නව රජය සැලසුම් කර ඇත. එහෙත් නිකන් මහජන මුදල් නාස්ති කරන්නේ නැතිව නිසි සැලසුමක් ඇතිව ඵලදායී සංචාරක ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි. පසුගිය යහපාලන රජය සමයේ ජෝන් අමරතුංග සංචාරක ඇමැති යටතේ ‘so srilanka’’ නම් වූ විකාර තේමා පාඨයක් මගින් අපේ සංචාරක කර්මාන්තය ප‍්‍රවර්ධනය කිරීමට යයි කියමින් විශාල මුදල් නාස්තියක් සිදු කළ බව කර්මාන්තයේ බොහෝ අය අප සමග කතාබහ කරන විට පවසන දෙයකි. එහෙත් ජෝන් අමරතුංග යටතේ පැවති සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයෙන් තම වැඩසටහන් සඳහා මුල්‍ය අනුග‍්‍රහය ලැබූ ඇතැම් සරසවි සංචාරක ගුරුවරුන්ට නම් ඒවා හොඳයි කියනවා හැරෙන්නට වෙන දෙයක් කියන්නට අපහසු බව අපට පැහැදිලිය. ආණ්ඩුව මාරු වූ නිසා නොව සංචාරක ප‍්‍රවර්ධනයට නොගැලපෙන තේමා පාඨයක් වෙනුවට අපේ රට ප‍්‍රවර්ධනය කළ හැකි අපට අනන්‍ය ආකර්ෂණීය තේමා පාඨයක් අපේ සංචාරක කර්මාන්තයේ අනාගත ප‍්‍රවර්ධනයට අත්‍යවශ්‍ය වෙයි. කෙතරම් හොඳ තේමා පාඨයක් යොදා ගත්තක් එය නිසා පමණක් මෙරටට සංචාරකයන් ගලාගෙන එන්නේ නැත. ඒ සමගම නිවැරදි සහ ඵලදායි ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යම වෙයි.

පසුගිය රජයේ ‘so srilanka’ තේමා පාඨය වෙනුවට අනිවාර්යෙන්ම නව තේමාවක් ඔස්සේ නව රජයේ සංචාරක ප‍්‍රවර්ධන සැලසුම් පුළුල් වශයෙන් දියත් කරන බව සංචාරක ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැති අරුන්දික ප‍්‍රනාන්දු මහතා ද පසුගියදා කොල්ලූපිටියේ සංචාරක අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකදී කීවේය. එය නිවැරදි තීරණයක් බව අපගේ ද කර්මාන්තයේ බොහෝදෙනෙක්ගේ ද අදහසකි. මෙය එලෙසින් සිදු වේද නැතිද යන්න අප නොදන්නා නමුත් සංචාරක ප‍්‍රවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී මේ බව කීවේය. මේ අතර පසුගියදා (13* ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශයේ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡුාවක් පැවැත්විණි. එහිදී ද සංචාරක කර්මාන්තයේ ප‍්‍රවර්ධනය උදෙසා ඉලක්කගත වැඩපිළිවෙළක් සැලසුම් කරන්නැයි ජනාධිපතිතුමා එම නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙසේ සඳහන් කළේය.

‘2025 වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ඉක්මවා ගිය ආදායමක් ඉපැයීම අරමුණයි. වේගවත් ආර්ථික වර්ධනයක් වෙනුවෙන් දායක කරගත හැකි ප‍්‍රධාන ක්ෂේත‍්‍රය ලෙස සංචාරක කර්මාන්තය යොදාගත යුතුයි. ක්ෂේත‍්‍රයේ පළපුරුද්ද සහ කැපවීම සහිත දක්ෂ කණ්ඩායමක් අපට අවශ්‍යයි. හැම පියවරකින්ම කඩිනම් ප‍්‍රතිඵල අත්කරගත යුතුය. ගත යුතු තීන්දු තීරණ රට වෙනුවෙන් නොබියව ගැනීමට මම සූදානම්. තීරණවල ප‍්‍රතිඵල රටට සහ ජනතාවට හිමිකරදීමට නිලධාරීන් කැපවනු ඇතැයි අපේක්ෂා කරනවා. ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඇත්නම් ඕනෑම අභියෝගයක් ජයගන්න පිළිවන්.’

ජනාධිපතිවරයා සඳහන් කළේ මේ සඳහා කැප වී ක‍්‍රියා කරන දක්ෂ කණ්ඩායමක් අවශ්‍ය බවයි. එය සත්‍යයකි. මේ ආණ්ඩුව වියත් මගේ බොහෝ වියතුන් රජයේ තනතුරුවලට පත් කරන බව කියයි. එහෙත් උගතුන්, වියතුන් වූ පමණින් ඒ හැම කෙනාම දක්ෂයින් හෝ ආයතන පරිපාලනය කිරීමේ කුසලතා ඇති අය නොවන බව ද මේ රජය තේරුම් ගත යුතුය. එසේම ඇතැම් අය ඉතාම දක්ෂයින් වුවත් ඔවුන්ට දී ඇති තනතුරු ඔවුන්ගේ දැනුමට සහ දක්ෂතාවට එතරම් නොගැලපෙන බව ද පෙනේ. ඒ නිසා එවැනි පත් කිරීම්වලින් එතරම් ප‍්‍රතිඵල ඇති කර ගැනීම අපහසු බව අපගේ අදහසයි. ඒ නිසා ජනාධිපතිවරයා කියන කැප වී ක‍්‍රියා කළ යුතු කණ්ඩායම ඒ ඒ විෂයට ගැලපෙන දැනුම ඇති දක්ෂයින් ද විය යුතු වේ. මෙය සංචාරක ක්ෂේත‍්‍රයට පමණක් නොව ඕනෑම ක්ෂේත‍්‍රයක් සම්බන්ධයෙන් එක ලෙසම අදාළය. එසේම යහපාලන රජය පරාජය කර නව රජය බලයට පත් කිරීමට මුල සිටම අඛණ්ඩව දායක වූ අය වෙනුවට පසුගිය පළාත් පාලන මැතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසු හුළඟ හමන දිසාව හඳුනාගෙන තම ආත්මලාභය උදෙසාම ඉතා සටකපටව කටයුතු කරන ඉතාම අවස්ථාවාදී අය ද යහපාලන රජයට එරෙහිව මුල සිට අවසානය දක්වාම සිටි ඇතැම් උගතුන්, වියතුන් කපාදමාගෙන මේ රජයෙන් ඉහළ තනතුරු ලැබීමට සමත්ව ඇත. මේ නිසා මේ වෙනස සඳහා ආරම්භයේ සිටම කැප වූ බොහෝ සරසවි ඇදුරන් රජයෙන් ඈත වී සිදු වෙන දේ බලාගෙන සිටිති. රටේ ආර්ථිකයට වින කළ ඊනියා යහපාලනය හමාර කිරීම සඳහා මහජන මතය හැදීමට දායක නොවූ බොහෝ අය දැන් මේ රජයේ බොහෝ ඉහළින් සිටින නළුවන් බවට පත්ව ඇති බව මේ රජයට සමීප ඇතැම් උගතුන්, වියතුන් අපට පෙන්වා දෙන කරුණකි. මේ නිසා සංචාරක අංශයේ පමණක් නොව අනෙක් සෑම අංශයකටම පත් කිරීම් සිදු කිරීමේදී මේ ගැන ද සලකා ඔවුන්ගේ දැනුමට සහ දක්ෂතාවට ගැලපෙන අංශවල ඔවුන්ට සුදුසු තනතුරු ලබා දීම ද අත්‍යවශ්‍ය වෙයි.

ඉහතින් සඳහන් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවේදී සංචාරක කර්මාන්තයේ හඳුනාගත් ගැටලූ සහ එහි ප‍්‍රවර්ධනයට ගත යුතු තීරණ පුළුල් ලෙස සාකච්ඡුාවට ලක්ව තිබේ. මෙරටට පැමිණෙන සංචාරකයන්ට සැපයෙන පහසුකම් වැඩිදියුණු කළ යුතු බවත්, ගුවන් තොටුපොළේ සිටම පහසුකම් විධිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබේ. සංචාරක ආකර්ෂණයට ලක් වූ ස්ථාන වැඩිදියුණු කිරීමේ සහ එම ස්ථාන පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පුළුල් ප‍්‍රචාරණ යාන්ත‍්‍රණයක අවශ්‍යතාව ද ජනාධිපතිතුමා පැහැදිලි කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. මෙය අප එදා බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන ඇමැතිවරයාව සිටිය දී පවා කී දෙයකි. එනම් අපගේ ප‍්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථානවල පහසුකම් වැඩි දියුණු කළ යුතු බවයි. විදෙස් සංචාරකයා යම් මුදලක් ගෙවනවා නම් ඔවුන් එම ස්ථානයෙන් මෙන්ම අවසානයේ මේ රටින් පිටව යා යුත්තේ ද තෘප්තිමත් මනසකින් නැවත මේ රටට පැමිණෙන බවට වන අදහස ද ඇතිවය. මේ නිසා සංචාරක ප‍්‍රවර්ධනය යනු විදෙස් රටවල කරන දෙයක් පමණක් නොවේ. වඩාත්ම වැදගත් වන්නේ අලූතින් සංචාරකයින් ගෙන්වා ගැනීම මෙන්ම මෙරටට පැමිණි සංචාරකයා නැවත නැවත මේ රටට ගෙන්වා ගැනීමට අප සමත් වන්නේ නම්ය. ඒ සඳහා පිටරටවල පමණක් නොව මේ රට තුළ ද අප බොහෝ දේ කළ යුතුව තිබේ. එදා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා සංචාරක විෂය භාරව සිටියදී අප නිතරම සංචාරක ආර්ථිකයට රට සූදානම් කළ යුතු බව කියා සිටියෙමු. නිසි සංචාරක ප‍්‍රවර්ධන වැඩපිළිවෙළක් දියත් කරන්නේ නම් එමගින් අපට උපයා ගත හැකි විදෙස් විනිමය අසීමිතය. අපගේ ආර්ථිකයට ඉතාම කෙටි කාලෙකින් වැඩිම දායකත්වය ලබා ගත හැකි එසේම ආර්ථිකයේ බොහෝ අංශවලට ප‍්‍රතිලාභ ගලායන හොඳම ක්ෂේත‍්‍රය සංචාරක කර්මාන්තයයි. මේ කර්මාන්තයේ වැදගත්කම අනෙකුත් සියලූම දෙනාට වඩා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හඳුනාගෙන ඇති සැටියකි. එය සංචාරක කර්මාන්තයේ හෙට දවසට ඉතාම ශුභදායි තත්ත්වයකි. අංක එකට විදේශ විනිමය උපයන එසේම සමාජයේ වැඩි පිරිසකට ප‍්‍රතිලාභ ගලා යන කර්මාන්තය බවට කෙටි කලකින්ම සංචාරක කර්මාන්තය පත් කළ හැකිය. ඒ සඳහා ඉතා සැලසුම්සහගත සංචාරක සංවර්ධන වැඩපිළිවෙළක් තිබිය යුතු වේ. මෙහිදී සංචාරක ආර්ථිකයට රට සූදානම් කරමින් ඊට ජනමනස සකස් කිරීම් ද අවශ්‍ය වේ. මෙහිදී ජනමාධ්‍යයට ද කරන්නට පුළුල් මෙහෙයක් තිබේ. කෙතරම් විදෙස් රටවල අධික මුදල් වියදම් කර මෙරටට විදෙස් සංචාරකයන් ගෙන්වා ගනු ලැබුවත් ඒ එන සංචාරකයා මෙරටදී අසතුටට පත්ව මෙරටින් පිටව ගියහොත් එය විශාල හානියකි. ඒ නිසා විදෙස් රටවල ප‍්‍රවර්ධන කටයුතු කරන අතරම ඒ අනුව මෙරටට එන සංචාරකයා සතුටු සිතින් මෙරටින් පිටව යන පරිසරයක් ද අප ඇති කළ යුතු වේ.

දේශීය ආයුර්වේද ක‍්‍රම සංචාරකයන්ගේ දැඩි ප‍්‍රසාදයට ලක්ව ඇති බවත් මුහුදු රළ කී‍්‍රඩා, ශ‍්‍රී ලාංකීය තේ ඇතුළු ශ‍්‍රී ලංකාවට සුවිශේෂ සහ අනන්‍ය වූ සංචාරක ආකර්ෂණය දිනා ගත් ක්ෂේත‍්‍ර ප‍්‍රවර්ධනයට ප‍්‍රමුඛත්වය දිය යුතු බවත් ඉහත හමුවේදී ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දී තිබේ. සංචාරකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් වෙළෙඳ සංකීර්ණ පවත්වාගෙන යා යුතුයි. සංචාරකයන් ගෙන්වා ගැනීම පිළිබඳව ද විධිමත් යාන්ත‍්‍රණයක අවශ්‍යතාව පැහැදිලි කළ ජනාධිපතිවරයා, ශ‍්‍රී ලාංකිය ප‍්‍රතිරූපය ඉහළ නැංවීමට සහ සංචාරයට සුදුසු රටක් ලෙස ශ‍්‍රී ලංකාව පිළිබඳව දැනුවත් කිරීමට තානාපතිවරුන් මගින් වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට ද මෙහිදී ජනාධිපතිවරයා රජයේ සංචාරක ආයතනවල නිලධාරීන්ට උපදෙස් දී තිබේ. අපේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ජාතික ගුවන් සේවයක් තිබීම අවශ්‍ය දෙයකි. පසුගිය මහින්ද රාජපක්ෂ සමයේදී නිශාන්ත වික‍්‍රමසිංහ ජාතික ගුවන් සේවයේ සභාපති ලෙස පත් කර එම ගුවන් සේවයට සිදු කළ හානිය අපමණ බව ශ‍්‍රී ලන්කන් – මිහින් ලංකා ජනාධිපති කොමිසමේ දී හෙළි වූ කරුණු අනුව රටටම පැහැදිලි විය. එවැනි වැරදි නැවත සිදු නොවිය යුතුය. ඒ සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සේවාව ගුණාත්මක සේවා ලෙස වැඩිදියුණු කළ යුතුය. පැරණි සංචාරක මණ්ඩලය කලක් තිස්සේම ක‍්‍රියාත්මක වන්නේ ආයතන හතරක් ලෙසය. මේවා එක් කරමින් සියලූ ආයතන මනා සම්බන්ධීකරණයෙන් සහ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා ඉහත හමුවේ දී පැහැදිලි කර දී ඇත. සෘජු ගුවන් සේවා ස්ථාපනය කිරීමෙන් සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ හැකියාව තිබේ. පසුගිය රජය විසින් නවතා දමන ලද යුරෝපා රටවල් ඉලක්ක කොටගත් සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුව ඇත. සංචාරක සහ හෝටල් ක්ෂේත‍්‍රය පිළිබඳ උපාධි හදාරන සිසුන්ට හෝටල් පාසලේ පුහුණුවක් දීමෙන් හෝටල් කළමනාකරුවන් බිහිකිරීමේ හැකියාව, සංචාරක පොලීසිය යළි ක‍්‍රියාත්මක කිරීමට සහ ක්ෂේත‍්‍රයට අදාළව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු පත් කිරීමට තීරණය කිරීම, ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් නීති රීතිවල සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳව අවධානය යොමු වූ අතර අනවශ්‍ය අනුමැතීන් ඉවත් කිරීමේ වැදගත්කම ඇතුළු සංචාරක ක්ෂේත‍්‍රයේ ඉදිරි ගමන වෙනුවෙන් ඉතා වැදගත් කරුණු රැුසක් මෙහිදී සාකච්ඡුාවට ලක්ව තිබේ. මේ සියල්ලම ඉතා හොඳය. අප නම් සිතන්නේ ජනාධිපතිවරයා නව රජය යටතේ ක‍්‍රියාත්මක කෙරෙන සංචාරක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කිරීම සුදුසු බවයි. මේ හමුව සඳහා සංචාරක ප‍්‍රවර්ධන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරු ද සංචාරක සහ ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඞ් මහත්මිය සහ සංචාරක ප‍්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.එස්.එස්. ප‍්‍රනාන්දු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු රැුසක් මීට එක්ව සිටියහ.

දැනට අපේ සංචාරක කර්මාන්තය තිබෙන්නේ විදේශ විනිමය ඉපයීම අතින් තුන් වන ස්ථානයෙහිය. විදේශ විනිමය ඉපයීම අතින් සංචාරක කර්මාන්තය අංක එකට පත් කිරීමට හොඳටම හැකියාව තිබේ. එහෙත් එය p8 1ඉබේම සිදුවන්නක් නොවේ. ඒ තත්ත්වයට ගමන් කිරීම සඳහා අප කළ යුතු දේවල් නව රජය විසින් හඳුනාගත යුතුව තිබේ. අප නම් සිතන්නේ මූලික වශයෙන්ම සංචාරක ආර්ථිකයට රට සූදානම් කළ යුතුව තිබෙන බවයි. වැටී ඇති ආර්ථිකයට සංචාරක කර්මාන්තය දියුණු කිරීම හරහා කෙටි කලකින්ම නව පණක් දිය හැකිය. ඒ සඳහා වන විශාල මෙහෙයුමක් අවශ්‍යය. ඒ සම්බන්ධයෙන් මහජනයා දැනුම්වත් කොට ජන මනස ද සකස් කරමින්, ඒ සඳහා ජනමාධ්‍යයෙන් ගත හැකි දායකත්වය ද ලබා ගනිමින් එසේම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ කර ගත හැකි සියලූම පාර්ශ්වයන්, එම සංචාරක ප‍්‍රවර්ධන මෙහෙයුමට සම්බන්ධ කර ගනිමින් ක‍්‍රියා කිරීම අවශ්‍ය වේ. එහිදී මහා පරිමාණ හෝටල් හිමියාගේ සිට විදෙස් සංචාරකයා ගෙන යන ත‍්‍රී රෝද රථ රියැදුරා මෙන්ම මහ මග සංචාරකයාට තැඹිලි විකුණන තැඹිලි කරත්තකරුවා ද එක ලෙසම වැදගත්ය. මෙවැනි මෙහෙයුමක් දියත් කිරීම තුළින් මෙරට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට උදා වී තිබෙන මහඟු අවස්ථාවෙන් අප රටක් ලෙස උපරිම ඵල නෙලා ගත යුතුව තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
shyam.divaina@gmail.com



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More