පුරවැසි කොලම

‘’රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලදි හෝ ජාත්‍යන්තර වෙළඳ ගනුදෙනු වලදී කිසිඳු විදේශීය රටක් හමුවේ දණින් වැටෙන්නේ නැත.’’
ජාතික බලවේග වල කනට මි පැණි වත් කරන්නා සේ දැනෙන එම ප්‍රකාශය කරනු ලැබුවේ ලිබියාවේ හිටපු ජනාධිපති මුහමර් ගඩාපි විසින් හෝ ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේම් විසින් නොවේ. ශ්‍රී ලංකාවේ පාර්ලිමෙන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට රාජාසන කථාවකදි එවැනි සෘජු ප්‍රකාශයක් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ හත්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. එය ඔහුගේ උතුම් වූ අභිලාභය සහ අධිෂ්ඨානය බවට රටේ ජනතාවට නම් කිසිඳු සැකයක් නැත. ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ විශාලතම වැඩි ඡන්ද ප්‍රතිශතය ලබා ගනිමින් ඔහු ජයග්‍රහණය කරන්නේ එම විශ්වාසය නිසාය.
දෙවනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බහුතර සිංහල ජනතාව විසින් පසුගිය ජනාධිපතිවරණයේදි සිදු කළ සුවශේෂි කර්තව්‍යද මතක් කරයි. ඔහු තම කථාවේදි රජුන් තැනිමේ භූමිකාව අත්පත්කරගෙන සිටි ජාතිවාදි, ආගම්වාදි බලවේගවල කේවල් කිරීමේ බලය බහුතර ජනතාව විසින් අවසන් කළ බවට නිර්භීත ප්‍රකශයක් කරනු ලැබිය. අප රටේ බහුතර ජනතාව නියෝජනය කරන බෙහෝ දේශපාලකයින් ” ඉස්කෝප්පයට ” ඉස්කෝප්පය යැයි කිමට බිය වෙති. සුළු ජන කොටස් අතර සැබෑ ජන බලයක් නොමැති එම ජනතාව දිර්ඝ කාලිනව විපතට පත්කළ ජාතිවාදි කප්පම්කරුවන්ට එරහිව වචනයක් කථා කළ හොත් තම ඡන්ද පදනම දෙදරා යනු ඇතැයි ඔවුහු බියට පත් වෙති. ගෝඨාභය රාජපක්ෂයන් ජයග්‍රහණය කරන්නේ ඔහුගේ කඳවුර කෙසේවෙතත් ඔහු සහ ජාතික බලවේග එම කප්පම්කරුවන්ට බිය නොවූ බැවිනි.
එහෙත් දණින් නොවැටි සිටීමේ අභිලාභය හෝ අධිෂ්ඨානය තිබූ පමණින් එසේ කළ හැකි යැයි සිතිම දේශපාලන මුලාවකි. සැබැ ලෙසම බලපෑම් අභියස දණින් නොවැටි සිටිම සඳහා ගෝඨාභය රාජපක්ෂ නම් වු නායකයාගේ නායකත්ව පෞර්ෂය වැදගත්ම සහ මූලික පූර්ව කොන්දේසිය බවට විවාදයක් නැත. එම පෞර්ෂ සාධකය ජනතාව විසින් යුද්ධය පැවති කාලයේදි පරික්ෂාවට ලක් කොට තහවුරු කොට ගත්තකි. එහෙත් අධිරාජ්‍ය වාදි බලපැම් හමුවේ සැබැ ලෙසම දණින් නොවැටි සිටිම සඳහා තවත් බොහෝ කොන්දේසි සපුරා ගැනිමට සිදුවේ. ඒ අතුරින් පළමු වැන්න විවිධ ණය සහ ආධාර ලබා දෙන ජාත්‍යන්තර ආයතන සහ ජාත්‍යන්තර ඔත්තු සේවා විසින් දියත් කරන රාජ්‍යය සහ ආරක්ෂක හමුදා ඇතුලතින් දුර්වල කිරීමේ මෙහෙයුම් වලට හසුනොවි සිටීමය. ආරක්ෂක හමුදා දුර්වල කිරිම වැලැක්වීමට පමණක් නොව ශක්තිමත් කිරිමට ද ඔහු සතුව සැලසුම් තිබෙන බවට ජනතාවට නම් සැකයක් නැත. ඔහු විසින් කරන ලද යම් පත්කිරිම් වලින් ඒ බව පිළිබිඹු වේ.
එසේ වුවත් ජාත්‍යන්තර බෙදුම්වාදි බලවේග විසින් ජිනිවා මානව හිමිකම් කවුන්සිලය යොදා ගනිමින් දියත්කොට ඇති ආරක්ෂක හමුදා දුර්වල කිරිමේ සහ දුර්මුඛ කිරීමේ ක්‍රියාවලියට මුහුණදිම සඳහා ප්‍රතිඵලදායක උපායමාර්ගික ප්‍රවේශයක් තෝරා ඇති බවක් මේ වනතුරු දක්නට නැත. කෙසේ වෙතත් ජාත්‍යන්තර අරමුදල් යොදාගනිමින් සහ විවිධ ඔත්තුකරුවන් රාජ්‍යයේ මර්මස්ථාන වලට ඇතුල්කරමින් රාජ්‍ය දුර්වල කිරිම සඳහා දියත්වන සුක්ෂම මෙහෙයුම් පිළිබඳ නිරන්තර අවබෝධයෙන් පසුවිය යුතු බවට විවාදයක් නැත. එම ක්‍රියාවලිය තුළ ACSA” SOFA” MCC වැනි ගිවිසුම් හරහා සිදු කෙරෙන මැදිහත්විම් වලට මුහුණදීම සඳහාද සුවිශේෂි උපායමාර්ගික සැලසුමක් අවශ්‍යවන බවට ද විවාදයක් නැත. එහිදි 1971 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කළ ඉන්දියානු සාගරය සාම කලාපයක් කිරිම සඳහා වන යෝජනාවට අප රටේ වාසියට යොදා ගැනිමේ හැකියාව ඇත. එසේම නුදුරු දිනකදි අප රටට සැපත්වන රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතාගේ අපේක්ෂා පිළිබඳ සංවේදි විමද වැදගත් වනු ඇත. එහු සිංහල භාෂාව ඉතා හොඳින් හසුරුවන ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ ආදරයක් ඇති රුසියානු නායකයෙකු ලෙස සැලකේ.
කෙසේ වෙතත් අධිරාජ්‍යවාදී බල බලවේග විසින් පරිධියේ රාජ්‍ය දුර්වල කිරීම සඳහා යොදා ගන්නා විවිධ උපායමාර්ගික ක්‍රමවේද පිළිබඳව අධ්‍යයනය ඉතා පුළුල් ක්ෂේත්‍රයකි. මෙම ලිපියේ මූලික අරමුණ රාජ්‍යය පමණක් නොව ජනතාව ද දුර්වල කෙරෙන සහ ජනතාව රාජ්‍යයට එරෙහිව උසි ගැන්වීම සඳහා යොදාගත හැකි උපාය මාර්ගයක් පිළිබඳව කතා කිරීමය. එනම් රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට වැටීමට ඉඩ නොදී ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පෙන්වා දීමය. බටහිර අධිරාජ්‍යවාදී රටවල් එම රටවල ආහාර සුරක්ෂිතතාවය ජාතික ආරක්ෂාව තරමටම වැදගත් කොට සලකති. එපමණක් නොව ඔවුහු ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ එක් පැතිකඩක් ලෙස දකිති. එ්නිසා දණින් නොවැටී සිටීම සඳහා ශක්තිමත්ව මහපොළොවේ දෙපා තබා ගැනීමට කල්පනා කරන ඕනෑම රාජ්‍ය පාලකයකු රටේ ආහාර සුරක්ෂිතතාවයතාවය ජාතික ආරක්ෂාව තරමටම වැදගත් කොට සැලකිය යුතුය.

නමුත් අද වනවිට අප රටේ ආහාර සුරක්ෂිතතාවය මැනීමේ ප්‍රධානතම සාධකය වන ආහාර ස්වෛරීත්වය ඉතා බරපතල ලෙස බිඳ වැටී තිබෙන බව පිළිගැනීමට සිදු වේ. එනම් රටේ ජනතාවගේ මූලික ආහාර අවශ්‍යතාවය රටතුළ නිපදවා ගැනීමට නොහැකි තත්වයක් මේ වන විට ගොඩනැගී ඇත. නමුත් ඒ පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට තිබෙන අවබෝධය ඉතා අල්ප බව මහා පරිමාණ සහල් ජාවාරම්කරුවන් විසින් කෘතිමව ඇති කරන ලද සහල් හිඟයට බිය වී ඊට පිළිතුරු ලෙස ගනු ලැබූ තිරිඟු පිටිවල ආනයනික බදු අඩුකිරීමේ කලබලකාරී තීන්දුව තුලින් පැහැදිලි වේ. මේ වන විට අප වැනි සහල් පරිභෝජනය කරන රටක් වන තායිලන්තය සමඟ සැසඳීමේ දී අප රටේ ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය එරට මෙන් දෙගුණයකි. එනම් වසරකට කිලෝ ග්‍රෑම් 60 කි. පසුගිය රජය විසින් තිරිඟු ඇට ආනයනය කරන මහා පරිමාණ ආයතන වලට බදු සහන ලබාදීම නිසා 2014 දී මෙට්‍රික් ටොන් ලක්ෂ 13 ක් වූ තිරිගු පිටි පරිභෝජනය 2018 වනවිට ලක්ෂ 17 දක්වා ලක්ෂ 4 කින් ඉහළ ගියේය. එමගින් රජයට අහිමි වන බදු ආදායම රුපියල් මිලියන 34,000කි. එසේ තිරිගු පිටි පරිභෝජනය ඉහළ යාම නිසා සහල් පරිභෝජනය ඊට සාපේක්ෂව අඩු වීම මගින් වී ගොවියා පමණක් නොව කුඩා හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියාද බරපතල ආර්ථික අර්බුදයකට ගමන් කරමින් සිටිති. ඒ තුළ ඔවුන් අදාළ ආර්ථික ක්‍රියාවලියෙන් ක්‍රමයෙන් ඉවත්වීම නිසා අවසානයේදී කෙටි කාලයක් තුළ එම ක්‍රියාවලිය නැවත පණ ගැන්වීමට හැකියාවක් නැත.
ඒ ආකාරයටම ආනයන ෆාම් තෙල් සහ කිරිපිටි වලට බදු සහන දීම නිසා නිසා දේශිය පොල් සහ කිරි නිෂ්පාදන ක්‍රියාවලියට සිදුවන දිර්ඝ කාලීන විනාශය ද කෙටිකලකදි නැවත යථා තත්වයට පත් කළ නොහැක. විවිධ ආකාරයට බදු වංචා කරමින් ෆාම් තෙල් ආනයනය කරන වෙළඳුන් හතර පස් දෙනෙකුගේ ලාභය වැඩි කිරිම සඳහා ලබා දෙන බදු සහන මඟින් රජයට අහිමිවන ආදායම රු. මිලියන 12,000 ක් ලෙස ගණන් බැලිය හැකිය. පසුගිය 2018 වසරේදි රටට ආනයනය කල ෆාම් තෙල් ප්‍රමාණය මෙ.ටො 240,000 කි. එ් තුළ වංචා සහතව ආනයනය කරන පිළිකාකාරක නිදහස් මේද අමිල ඉතා ඉහල ප්‍රතිශතයක් අඩංගු පිරිපහදු නොකළ තෙල් වැඩි වශයෙන් අඩංගු වන බවට ද චෝදනා එල්ල වේ. මේ වන විට ෆාම් තෙල් සහ පොල් තෙල් පරිභෝජනය පවතින්නේ 9.1 අනුපාතයටය. ඒ අනුව අප රටක් ලෙස ආහාරයට ගන්නා තෙල් සඳහා විදේශ සැපයුම් මත යැපෙන ප්‍රමා‍ණය කෙතරම් බරපතලද? කිරිපිටි වල තත්වයද එසේමය. ආනයනික කිරිපිටි සඳහා පනවා තිබු කි.ග්‍රෑම් 1 කට රු. 225 ක් වූ විශේෂ පරිභෝජන බද්ද පසු ගිය රජය විසින් රු. 2 දක්වා අඩු කිරිම නිසා දැන් දියර කිරි සහ යෝගට් සැදීම සඳහාද ආනයනික මේදය පුරවන ලද කිරිපිටි හෙවත් ෆාම් තෙල් මිශ්‍ර කළ කිරි පිටි යොදා ගැනේ. එම බදු සහන නිසා කිරිපිටි ආනයනය මෙ.ටො. 60,000 සිට 90,000 දක්වා ඉහල ගොස් ඇති බව වාර්ථා වේ. ඒ මඟින් රජයට අහිමිවන බදු ආදායම වසරකට රු මිලියන 10,000 ඉක්මවා යයි.
ඒ අනුව සමස්ථයක් ලෙස රටේ ආහාර සුරක්ෂිතතාවයට, රටේ ජනතාවගෙන් තුනෙන් එකක ජිවන තත්වයට, රටේ ආර්ථිකයේ හරස්කඩකට සහ පොදු මහජනතාවගේ සෞඛ්‍ය තත්වයට විශාල බලපැමක් ඇති කරන මෙම ගැටළු ත්‍රිත්වයට ප්‍රතිඵලදායක විසඳුම් සෙවිමෙන් තොරව කිසිඳු ආණ්ඩුවකට ඉදිරියට ගමන් කළ නොහැකි බව පසුගිය වසර 20 ක කාලය තුළ අසාර්ථක වූ විසඳුම් වලින් පැහැදිලි වේ. වී ගොවිතැන සහල් සහ සහල් පිටි කර්මාන්තය, පොල් වගාව සහ පොල් අශ්‍රීත කර්මාන්ත මෙන්ම කිරි ගොවිතැන ආශ්‍රිත ආර්ථිකයේ ඉල්ලුම පැත්තේ ගැටළුව එනම් වෙළඳපල මිල විකෘතිය නිවැරදි කිරිමෙන් තොරව සැපයුම් පැත්තේ කුමන මැදිහත් විම් සිදු කළද රාජ්‍ය අරමුදල් අපතේ යාම හැර අන් දෙයක් සිදු නොවන බවට තව දුරටත් වාද කළ යුතුද? මෙතෙක් කළ දේ තව දුරටත් කිරීමෙන් ප්‍රශ්නය විසදිය නොහැකි බව අවි වාදයෙන් පිළිගැනිමට වර්ථමාන ජනාධිපතිවරයාට ඉතා සුවිශේෂි අත්දැකීමක් ලැබුණි.
ගම්මිරිස් ප්‍රතිඅපනයනය නම් වූ කුඨ ව්‍යාපාරය මඟින් රු. 1500 ක් වු ගම්මිරිස් කි.ග්‍රෑම් එකක මිල රු. 450 දක්වා පහත වැටුණු බව පිළිගැනිමෙන් තොරව ගම්මිරිස් ගොවියා දිරිගැන්වීම සඳහා බොහෝ දේ කළ බව රහසක් නොවේ. ගම්මිරිස් ගොවියාට ණය ලබා දිමෙන් හෝ පැල නොමිලේ ලබා දිමෙන් හෝ ඔවුන්ට වෙළඳපළ පිළිබඳව දැනුම ලබා දිමෙන් හෝ සුළු අපනයන දෙපාර්තමෙන්තුව ඊනියා වැඩ බිමක් බවට පත් කිරිමෙන් හෝ ගැටළුව විසඳිය නොහැකි බව පැහැදිළි විය. වර්ථමාන ජනාධිපතිවරයා විසින් ප්‍රති අපනයන කුඨ ව්‍යාපාරය නැවැත් වු සැණින් වෙළඳපළ මිල විකෘතිය එනම් ඉල්ලුම පැත්තේ ගැටළුව විසඳුණි. දැන් සැපයුම් පැත්තේ එතෙක් සිදු කළ මැදිහත් විම් අදාළ නොවන බව පැහැදිලිව පෙනේ. ඒ නිසා දැන් ගම්මිරිස් ගොවියා පිටුපස දිවිමට හෝ රාජ්‍ය නිලධාරීන්ගේ ව්‍යාජ කාර්යක්ෂමතාවය වැඩි කිරිම සඳහා කාර්යාල වලට කඩා පැනිම අවශ්‍ය නොවේ. ඒ මඟින් පැහැදිළි කෙරෙන්නේ කාර්යක්ෂමතාවයට වඩා උපායමාර්ගයට හෙවත් ප්‍රතිඵලදායකත්වයට මුල් තැන දිය යුතු නොවේද?
මේ අත්දැකිම දැන් සහල්, පොල් සහ කිරි ගැටළුවට යොදා ගත හැක. පලමුවෙන්ම ආහාර ආනයන සමාගම් වලට සහනාධාර ලබා දී ඉන් කොටසක් පමණක් මහ ජනයාට ලැබෙන පරිදි ආනයනික ආහාරවල මිල අඩු කිරිමෙන් දේශිය ආර්ථිකය හෝ ගොවියා හෝ අවසානයේදී පාරිභෝගිකයාද බේරාගත නොහැකි බව පාලකයින් විසින් පිළිගත යුතුය. දෙවනුව ඊනියා පාරිභෝගිකයාට බිය නොවි ඒ පරම සත්‍යය ඔවුනට පැහැදිළි කළ යුතුය. එසේම පොදු මහජනයාට එම සත්‍යය අවබෝධ කරවිම සඳහා මානසික බලපැම ඇති කරන ක්‍රියාමාර්ග තේරිය යුතුය. තුන්වනුව ඊට බාධා කරන ආහාර ආනයන සමාගම් වල පඩි ලැයිස්තු වල සිටින රාජ්‍ය නිලධාරීන්ගේ මානසික යුධ උපක්‍රම හඳුනා ගෙන ඊට පිළි්යම් යෙදිය යුතුය. ඊනියා සැපයුම් පැත්තේ මැදිහත් විම් හෙවත් ගොවියාට හෝ සුළු පරිමාන සහල් මෝල් හිමියන්ට ණයදිම හෝ දැනටමත් ඇති තරම් පවතින ගබඩා පහසුකම් තවදුරටත් වැඩි කිරීම හෝ කෘෂි කර්ම හෝ වැවිලි අංශවල රාජ්‍ය ආයතන ඊනියා වැඩ බිම් බවට පරිවර්ථනය කිරිම පිළිබඳ ඊට පසුව සලකා බැලිය හැක. ඊට අමතරව ආහාර තොග එළිදරව් නොකිරීම සහ තොග නිසි ලෙස ගබඩා නොකිරීම මෙන්ම ආරක්ෂණ තොග පවත්වාගෙන යාමේ වගකීම ඉටු නොකිරීම ආදී ගැටළු සහ සමස්ථයක් ලෙස ආහාර සුරක්ෂිතතාවයට අදාළ සියලු පැතිකඩ ආවරණය කෙරෙන නව නීතියක් අවශ්‍ය බවටද විවාදයක් නැත.

එසේම පොහොර සහනාධාරය පොහොර ලෙස ගොවියාට දෙනවාද එසේ නැතහොත් මුදල් ලෙස දෙනවාද යන ප්‍රශ්නය ඊට පසුව සලකා බැලිය හැක. ඒ පිලිබඳව පුළුල් විද්වත් සංවාදයක් ඇති කළ යුතුය. බටහිරින් ඉගෙනගතයුතුයයි කියන පිරිස් ඊට අදාළව පක්ෂපාතී විය යුත්තේ පොහොර සහනාධාරය පොහොර ලෙස නොව සෘජු මූල්‍ය සහනාදාරයක් ලෙස දිය යුතුය යන මතයටය.එම මූල්‍ය සහනාධාරය කළ මණාකරනය කිරීම සදහා ගොවිජන බැංකුව නැවත පිහිටුවන්නේනම් ගොවියාට ක්ශුද්‍ර මූල්‍ය ණය පහසුකම් ලබාදීම සඳහා වන ඉතා වැදගත් අතුරු අවශ්‍යතාවයක්ද ඉටු වනු ඇත.
ඒ අනුව නව උපායමාර්ගික ප්‍රවේශය තුළ පළමුවෙන්ම තිරිඟු පිටි තොග මිල සහල් පිටි මිලට වඩා අවම වශයෙන් රු. 10 කින් වැඩි වන ලෙස තිරිඟු පිටි සහ සහල් වලට මිල සූත්‍ර හඳුන්වා දි අදාළ ආනයන බදු නැවත පැනවිය යුතුය. අඩුමතරමින් මැත කාලීනව ඉවත් කළ බදු නැවත පැනවිය යුතුය. ඊට අමතරව වී සඳහා අවම වශයෙන් රු 50ක් වන ලෙස සහතික මිළක් පැනවිය යුතුය. දෙවනුව ආනයනික කිරි පිටි වලට මහින්ද රාජපක්ෂ රජය විසින් පනවා තිබු සහ පසුව ඉවත් කළ කි.ග්‍රැම් එකකට රු. 225 ක් වු බද්ද නැවත පැනවිය යුතුය. ඊට අමතරව අප්‍රිකාවේ නොදියුණු රටවල නුගත් මිනිසුන්ට පොවන ෆාම් තෙල් මිශ්‍ර කළ ඊනියා මේදය පුරවන ලද කිරිපිටි ආනයනය නිතියෙන් තහනම් කළ යුතුය. එසේම දේශිය වෙළඳපල තුළ එම සමාගම් කියන හැටියට සාධාරණව තරඟ කිරීම සඳහා හැකි නම් කිරි මේදය පමණක් අඩංගු සැබෑ කිරිපිටි පමණක් ආනයනය කරන ලෙස අදාළ සමාගම් වලට උපදෙස් දිය යුතුය.
එම කොන්දේසි සම්පූර්ණ කළ විට කන්තලේ සහ කුරුණැගල කිරිපිටි කර්මාන්තශාලා ස්ථාපිත කිරිමට යෝජනා ඉදිරිපත් කොට වෙළඳපල මිල විකෘතිය නිසා ඒවා ක්‍රියාත්මක නොකර බලා සිටින දේශීය ව්‍යාපාරිකයින් වැඩ පටන් ගනු ඇත. එවිට විදේශ ආයෝජකයින් පසු පස යාම හෝ ඔවුනට බදු සහන දිමට අවශ්‍ය වන්නේ නැත. ඉන්පසුව කළ යුත්තේ ෆාම් තෙල් ජාවාරමට සම්බන්ධ ආණ්ඩුව දන්නා හඳුනන ව්‍යාපාරික මහත්වරුන්ට කථාකොට වෙනත් ව්‍යාපාරයක් කිරීම සඳහා උදව්කරන බව පවසා අනයනික ෆාම් තෙල් වල ඉවත් කළ බදු නැවත පැනවීමය. එවිට පොල් වගා කරුවන්ට නොමිලේ පොහොර සහනාධාර ලබා දිම හෝ පොල් තෙල් කර්මාන්ත කරුවන්ට ණය ලබා දිම සඳහා රජය විශේෂයෙන් මැදිහත්විමට අවශ්‍ය වන්නේ නැත. මෙම ආහාර වර්ග ත්‍රිත්වයට අදාළව ඒ ආකාරයට වෙළඳපල මිල විකෘතිය නිවැරදි කළ විට ගම්මිරිස් ගොවියාගේ මිල ප්‍රශ්නය විසඳුනු ආකාරයට පවුල් ලක්ෂ 25ක මිනිසුන්ගේ ජීවිත වෙනස් වීම ආරම්භ වන බවට කිසිදු සැකයක් නැත.
ඊට අමතරව මහජනයාගේ පරිභෝජන සංස්කෘතිය වෙනස් කිරීමද දීර්ගකාලීනව ප්‍රහ්නය විසඳීම සඳහා අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියකි. ඉහත සඳහන් කළ ආකාරයට ඒ සඳහා මූලික ප්‍රවේශයක් ලෙස 2011/01/18 දින හිටපු අධ්‍යාපන අමාත්‍ය සිසුල් ප්‍රේමරත්න මහතා විසින් පාසල් වල සෞඛ්‍යයට අහිතකර ආහාර විකිණීම පාලනය කිරිම සඳහා නිකුත් කළ චක්‍රලේඛය සියලු අධ්‍යාපන ආයතනවලට අදාළවන ලෙස නැවත බලාත්මක කළහොත් සිසුන්ගේ මනස වෙනස් කිරීම අමාරුවන්නේ නැත. නව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාට තිබූ ධෛර්යය තමා තුළ උපදවා ගන්නේනම් සෞඛ්‍යය අමාත්‍යවරිය තම ආයතනවලට අදාළව එවැනි චක්‍රලේකයක් නිකත් කිරීමට ධෛර්යමත් වනු ඇත. එවිට වෛද්‍ය සංගම්ද ඒ පිළිබඳව මැදිහත් වීම සඳහා ‍‍ෛධර්යය උපදවා ගනු ඇත. අවසාන වශයෙන් නව ජනපතිවරයාට සක්‍රයාගේ සහ පුත් වයිමාගේ සහය ලැබුනද ඒ තුන් වැදෑරුම් උපායමාර්ගික ප්‍රවේශයට පිටුපා ප්‍රශ්නය විසඳීමට නොහැකි බව අභියෝගාත්මකව පැවසිය යුතුය.

– වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More