දේශීය පුවත්

සිංහයාගේ දත් නිය ගලවා දඩයම් කරන්න බෑ.
පසුගිය ජනපතිවරණයට වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කළ “දින සීයෙන් අළුත් රටක්“ වැඩසටහන අනුව ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ 2015 පෙබරවාරි 19 දිනයි. ඒ කියන්නේ මීට වසර තුනකට පෙරයි. අපි කෙතරම් ඒ පිළිබඳ කතා කළත් තවමත් ඒ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෑ. 2015 දෙසැම්බර් මාසයේ ජාතික විගණන කොමිසමට සාමාජිකයින් පත් කළා. ඊට පස්සේ දැන් විගණන කොමිසම සක්‍රියයි කියලා පත්තර වල පිටු ගණනින් දැන්වීම් පල කළා. නමුත් ඇත්ත කතාව මීට වෙනස්.
එක පැත්තකින් විගණන කොමිසමක් පත් කරලා වැටුප් ගෙවමින් නඩත්තු කරනවා. අනිත් පැත්තෙන් විගණන පනත පමා කරමින් ඒ අයට කරන්න වැඩක් නැති කරලා තිබෙනවා. මෙහෙම සිදුවෙන්න හේතුව තමයි ආණ්ඩුව මැතිවරණ කාලේ හොරු අල්ලනවා වැරදි කරන අයට දඩුවම් දෙනවා කිව්වත් ආණ්ඩුව අද කරමින් සිටින්නේ හොරුන් රැකීමේ ව්‍යාපෘතියක් නිසියි.
වසර තුනක් පුරා සටන් කළ අයගේ උත්සාහය නිසා විගණන පනත් කෙටුම්පත මේ සතියේ ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරනවාලු. නමුත් අපට තිබෙන තොරතුරු අනුව විගණන කොමිසමේ බලතල බරපතල ලෙස කප්පාදු කරලයි මේ පනත ඉදිරිපත් කරන්නේ. විශේෂයෙන්ම යම් අලාභයක් සිදු කළ නිළධාරියෙකුගෙන් ඒ මුදල අය කර ගැනීමට කොමිසමට තිබුණු බලතල ඉවත කරලා බවටයි අපට ආරංචි.
සිංහයාගේ දත් නිය ගලවලා දඩයම් කරපිය කියලා කැළයට දැම්මාට සිංහයාට දඩයම් කරන්න බෑ. ඒ වගේම විගණන කොමිසමක් පිහිටවූ පමණින් ආණ්ඩුවේ යාන්ත්‍රණයේ සිදුවන වැරදි අල්ල ගන්න පුලුවන් කමක් නෑ. එයට අවශ්‍ය නිසි බලය ලබාදිය යුතුයි. ලබා දී තිබු බලයත් ඉවත්කරල නම් මේ විගණන පනත ගේන්නේ මේකෙන් හොරුන්ගේ අරමුණු මිසක් යහපාලනක අරමුණු නම් කිසිසේත් ඉටුවෙන්නේ නෑ. ඒ නිසා හොරු රැකීම දැන්වත් නවත්වා දුන් පොරොන්දු ඉටු කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. මේ විගණන පනත ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ හත් වන වතාවටයි. මීට පෙර ඉදිරිපත් කළ සෑම අවස්ථාවකම විවිධ සංශෝධන සහ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් පනත ආපසු එව්වා. මේ වතාවේ විගණන පනතට සුපුරුදු ඉරණම අත් නොවේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා.

කන්දක් විලි ලා වදපු ඇමති මාරු මී පැටියා

සති දෙකක් පුරා අඛණ්ඩව පෙන් වූ ඇමති මාරුව නාට්‍ය නොඑසේනම් ආණ්ඩුවේම ඇමතිවරුන් පැවසු විකට නාට්‍යය දැන් අවසන්. මේක හරියට කන්දක් විලි ලා මී පැටියෙකු වැදුවා වගේ වැඩක්. ජනපතිතුමා පසුගිය කාලයේ කිව්වේ ඡන්දයෙන් පස්සේ ආර්ථිකය මගේ අතට ගන්නවා කියා. ආණ්ඩුව තුල රැඩිකල් වෙනසක් කරනවා කියා. ජනතාවත් ඇසි දල්වා මේ රැඩිකල් වෙනස දෙස බලා හිටියා. අන්තිමට මොකද වුණේ? ආර්ථිකය සම්බන්ධ සියළුම අමාත්‍යාංශ තවමත් තිබෙන්නේ එජාප අතේ. නටපු තොවිලයකුත් නෑ. බෙරේ පලුවකුත් නෑ. ඇමති මණ්ඩල සංශෝධනයෙන් ජනතාව සතුටුත් නෑ. ඇමතිවරුන් සතුටුත් නෑ. කවුරුත්ම සතුටු වී නෑ.
ඡන්දය කාලයේ දී අගමැතිතුමාට බැංකු හොරා කිව්වා. දැන් එතුමාට හොරු අල්ලන පොලීසිය භාර දීලා තිබෙනවා. නරියාට කුකුල්ලු භාර දුන්නා නම් මීට හොඳයි. ඡන්දය කාලේ බැඳුම්කර වංචාව ගැන ආණ්ඩුවේ නායකයන් කවර කතා කිව්වත් බැඳුම්කර වංචාව ගැන යුක්තිය ඉටුවීම නම් ඊයෙන් අවසන් කියන එක අපි රටට කියන්න අවශ්‍යයි. මොකද මේ වංචාව සම්බන්දයෙන් ප්‍රශලම චෝදනා ලද අගමැතිවරයා යටතට පොලීිසය පත්කල පසු අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමක්වත්, චෝදනා ලද අන් අයට එරෙහි ඉදිරි ක්‍රියාමාර්ග නිසි ආකාරයට සිදු වේවියැයි විශ්වාශයක්වත් මේ රටේ ජනතාවට තව දුරටත් නෑ.
වැඩ බැරි ඇමතිවරුන්ට මොන වැඩේ බාර දුන්නත් බෑම තමයි. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේම අමාත්‍යාංශය මාරු වුණාට හොරකම බැරිකම මාරු වෙන්නේ නෑ. ඒවා පරන අමාත්‍යාංශයේ සිට අළුත් අමාත්‍යාංශයට එනවා අර අමාත්‍යවරයා අරන් එනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිතුමන් වරක් පැවසූ පරිදි අද අවශ්‍ය හිසේ කැක්කුමට කොට්ට මාරු කිරීමක් නොවෙයි. අද ජනතාව ඉල්ලන්නේ කොට්ටෙ මාරුකරන එක නතර කරලා තිබෙන ඇඳ වෙනුවට අළුත් ඇඳක් ගැනීමයි. ඒ නිසා අපි පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා මාර්තු 7 වෙනිදා ජනතාව සමගින් පාරට බහින්න තීරණය කරල තියෙනවා.
එජාපයේ දර දිය ඇදලා තමන්ට නියෝජ්ය අමාත්යධූරවත් ලැබේවි කියලා බලාපොරෝත්තු වූ තරුණ මන්ත්රීවරුන් තමන්ට නියෝජ්ය අමාත්යධූර නොලැබීම නිසා ඉතාම අසහනයට පත්වී සිටිනවා. මේ නිසා එජාපයේ දෙවෙනි පිපිරීම අතලගයි. ඒ වගේම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය යෝජනාව යලි කරළියට ගෙන ආ යුතුයි එහෙම ගෙන එනවානම් අපි අත්සන් කරන්න ලෑස්තියි කියණ පණිවිඩය මෙතෙක් අගමැතිතුමන් රැකගැනීම සදහා කටයුතු කරමින් සිටි එජාපයේ තරුණ මන්ත්රීවරුන්ගෙන් අපට ලැබෙනවා.

තරහට දුන් ඇමතිකම

ප්‍රශ්නය
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා මහතා ඊට විරෝධය පා නැවතත් සිය පැරණි අමාත්ධූ‍යරයම ලබා ගැනීමට සූදානම් වන බවට ආරංචි පල වෙනවා. ඔබතුමන් මොකද මේ ගැන සිතන්නේ.

පිළිතුර
අජිත් පී පෙරේරා ඇමතිතුමන් අර්ජුන් ඇලෝසියස් සමග දුරකථන සාකච්ඡා පැවැත්වූ බවට චෝදනාවක් තිබෙනවා. එසේ තිබියදී එතුමන් එතුමන් බන්ධනාගාර භාර අමාත්ව‍යරයා ලෙස පත්කරන්නේ අර්ජුන් ඇලෝසියස් බන්ධනාගාර ගතකර සිටින අතර තුර. මේක හරියට අර්ජුන් ඇලෝසියස් බලාගන්න අජිත් පී පෙරේරා මන්ත්රීතුමාට දුන්න වගේ වැඩක්. අගමැතිතුමන් කරපු මේ වැඩෙන් අජිත් පී පෙරේරා ඇමතිතුමාගේ කීර්තියට ලොකු හානියක් සිදු වෙනවා. ඒ නිසා එතුමන් ඒක නිවැරදි කරගන්න උත්සහ දරනවා ඇති. මම හිතන්නේ මේක තරහට කරපු වැඩක්.

බැඳුම්කර හොරු ඉක්මනින් ඇල්ලිය හැකි නීතිය සහ සාමය භාර නව ඇමති

ප්‍රශ්නය
නීතිය හා සාමය අමාත්යංශය අගමැතිතුමන් අතට පත්වීම ඔබතුමන් දකින්නේ කොහොමද? මේ හරහා රටේ නීතිය අපරාධ කරුවන්ට එරෙහි පරීක්ෂණ නිසි පරිදි සිදුවෙයි ද?

පිළිතුර හොරෙක් කිව්ව කෙනෙකුට පොලීසිය බාරදුන් ප්රථම වතාව. නමුත් මේ හරහා අගමැතිතුමන්ට බැඳුම්කර වංචාව ගැන විදිමත් පරීක්ෂනයක් කරන්නත් අවශ්යනම් පුළුවන්. මොකද මේ හොරකම මුල සිට අගට එතුමන් දන්නවා. වෙනදා පොලීසියට පුද්ගලයන් ගෙනැවිත් ප්රශ්න කරමින් තමයි සොරකම් කවුද කලේ කොහොමද කලේ යන්න සොයා ගන්න වන්නේ. ඒ සදහා ලොකු උත්සහයක් දරන්න වෙනවා. ඒ ආකාරයට ඇතැම් සොරකම් සොයාගෙන තියෙනවා. ඇතැම් සොරකම් සොයාගන්න බැරිවෙලාවත් තියෙනවා. නමුත් අගමැතිවරයා මේ සොරකම වෙච්ච විදිහ දන්න නිසා එතුමන් පොලීසියට උපදෙස් දුන්නොත් මේන්න මේ විදිහට ප්රශ්න කරන්න මේ මේ විදිහට පරීක්ෂණ කරන්න කියලා, සියලුම දේ අල්ලගන්න පුලුවන්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More