පුරවැසි කොලම

අර්ධගෝලයන්ට අයත් ධ‍්‍රැවාසන්න සීතල පෙදෙස් නිවැසි කොට ගෙන වාසය කරනා සත්ව විශේෂයක් ලෙස වාර්තා වූ සීල් මුහුදු ක්ෂීරපායි සත්ත්වයෙක් එක් වරම අපේ රට වැනි උණුසුම් සමකාසන්න රටකට අයත් මුහුදු සීමාවේ වාර්තා වීම සැබැවින්ම පරිසරවේදීන්ගේ මවිතයට හේතු විය. එම සත්ත්වයාගේ නිරීක්ෂණය එක් දිනකට, දින දෙකකට පමණක් සීමා නොවී මසකට ආසන්න කාලයක් තුළදී නිරීක්ෂණය කළ හැකි වීම සැබැවින්ම මවිතයට කරුණක්ම විය. අප රට ආශ‍්‍රිත මුහුදු කලාපය තුළ මින් පෙර මෙවැනි සත්ත්වයෙක් වාර්තා වූ බවට සාක්ෂි සොයා ගත නොහැකි වීමත්, මේ පළමු අවස්ථාව වීමත් මෙම සත්ත්වයාගේ ලංකා ගමනය පිළිබඳ පුවත ලෝ පුරා පරිසරවේදීන්ගේ අවධානය යොමු වීමට මූලික ලෙසම හේතු විය. ධ‍්‍රැවාසන්න සීතල බිම් මත අයිස් ස්ථරයන් තුළ වාසය කරනා සීල් වර්ගයට අයත් ක්ෂීරපායි සත්වයන් පිළිබඳව සකස් කළ වාර්තාමය වැඩසටහන් ඔස්සේ මෙබඳු සත්වයන් පිළිබඳවත්, එම සත්ත්වයන්ගේ හැඩරුව පිළිබඳවත් දැක ඇති ශ‍්‍රී ලාංකිකයින්ට සීල් සත්ත්වයෙක් හැබැහින් දැක ගත හැකි වීම සැබැවින්ම අපූර්ව වූ අත්දැකීමක් වූ බවත් සඳහන් කළ යුතුමය. සීල් වර්ගයට අයත් සත්වයන් අතරේ මේ සත්ත්වයා හඳුන්වන්නේ ”හස්ති සීල් ” (Elephant Seal) වශයෙනි.

සමකාසන්න උණුසුම් රටවල් ආශ‍්‍රිතව මෙවැනි සතුන් ජීවත් නොවූවත් සෞම්‍ය දේශගුණයක් පවතින ධ‍්‍රැවාසන්න සීතල වෙරළාශ‍්‍රිත කලාපයන් තුළ සීතල ජලයේ බොහෝ දුර පිහිනා යමින් ගැඹුරට කිමිදෙමින් කරදිය වාසී සත්ත්වයන් ගොදුරු කර ගනිමින් විසල් රැුළ සැදී (සීල් සත්ත්ව කොළනියක් සේ) වාසය කරයි. අහඹු ලෙස ශ‍්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරය ආශ‍්‍රිතව පළමු වතාවට වාර්තා වූ මෙම සත්ත්වයා ආහාර සොයා සිදු කළ සංචාරයක් අතරතුරදී දිය වැලකට හසුව ශ‍්‍රී ලංකාව දෙසට ගසා ගෙන එන්නට ඇති බවට අනුමාන කළ හැකිය. අප රටට අයත් මුහුදු සීමාව තුළ වෙරළ ආශ‍්‍රිතව ගත කළ කාලය පුරා බොහෝ වේලාවක් වෙරළාශ‍්‍රිත ගල් වැටි ඇසුරේ කාලය ගත කිරීමේ ප‍්‍රියතාවක් මෙම සත්ත්වයා තුළින් නිරීක්ෂණය කළ හැකි විය. එබඳු අවස්ථාවන් හිදී සත්ත්වයාට යම් තාක් දුරකට සමීප වී නිරීක්ෂණය කළ හැකි වුවත්, ගල්පර මත විවේකීයව ගත කරනා කාලය තුළදී තමන්ගේ නිදහසට බාධා වන යම් මිනිස් ක‍්‍රියාවක් සිදු වන බව අවබෝධ වූයේ නම් මිනිසුන් සපා කෑමට වුවද මෙබදු සත්ත්වයන් පෙළඹීමේ හැකියාව ඇති බවත් සඳහන් කළ යුතුමය. වෙරළාසන්නයේ ගල් පර මතට ගොඩ වූ සත්ත්වයා වෙත සමීප වී පරීක්ෂා කිරීමේදී දැක ගත හැකිවී ඇත්තේ මෙම සත්වයාගේ සම ඉවත් ව යමින් අලූත් සමක් වර්ධනය වීමේ අවස්ථාවේ (Moult) මෙම සීල් සත්ත්වයා පසු වන බවය. ඇතැමුන් තුවාල කැලැල් ලෙස අර්ථ දක්වා ඇත්තේ මෙම තත්ත්වයයි. සීල් වර්ගයේ සත්ත්වයන් පෙර සඳහන් කළ ශාරීරික ක‍්‍රියාවලියට බඳුන් වීම සාමාන්‍ය තත්ත්වයකි. ඔවුන් ජීවත් වන හුරුපුරුදු පරිසරය තුළ නම් එවැනි අවස්ථාවන්හිදි සිදු වන්නේ සත්ත්වයා අයිස් කුට්ටි මතට ගොඩවී විවේකයෙන් සිටීමය. නමුත් මේ සිටිනුයේ අහඹු ලෙස අප රටට සේන්දු වූ සිල් සත්ත්වයෙකි. එබැවින් එම ශාරීරික අවශ්‍යතාව නිසි පරිදි ඉටු කර ගැනීමේ කාර්යය සඳහා මෙම සත්ත්වයාට සති තුනක පමණ කාලයක් ගත වන බැවින් අවශ්‍ය වන නිදහස ඔහු බුක්ති වින්දේ ගල් පර මතය. සීල් වර්ගයට අයත් සත්ත්වයන්ගේ චර්යා රටාවන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වන්නේ සිරුරේ

පැරැණි හම ඉවත් වීම ආරම්භ වත්ම අලූත් සමක් වර්ධනය වන තෙක් කාලය ගොඩ බිම ආශ‍්‍රිතව (ගල් පර, අයිස් කුට්ටි වැනි) විවේකයෙන් (Resting) ගත කිරීමේ ප‍්‍රියතාවයක් දක්වන බවය. නිදහස් පාරිසරික තත්ත්වයන් අභිමුව අහිංසක සත්ත්ව විශේෂයක් ලෙස වාර්තා වුවත්, යම් කලබලකාරී වටපිටාවක් තුළදී කෝපයට පත්ව සපා කෑමට වුවද මෙවැනි සත්ත්වයින් පෙළඹීමේ වැඩි ඉඩක් ඇත. එබැවින් මෙම සත්ත්වයා ශ‍්‍රී ලංකා මුහුදු තීරය ආසන්නයේ නිරීක්ෂණය වන අවස්ථාවන්හිදී එම සත්ත්වයාට අනවශ්‍ය පරිදි සමීප වීමට සහ එම සත්වයාගේ නිදහසට බාධාවක් නොවන ආකාරයට සත්ත්වයාට මීටර් 20 ක් පමණ දුරක සිට නිරීක්ෂණය කිරීම යෝග්‍ය බවත් සඳහන් කළ යුතුමය.

එබැවින් මෙබඳු සත්ත්වයන් සංරක්ෂණයේදී නිජ බිම් සහ සංක‍්‍රමණික බිම්ද ඇතුළත් සමස්ත භූමියම අන්තර්ගත වන පරිදි සියලූ රටවල් නියෝජනය වන එකමුතුවක් ලෙස CMS නැතිනම් Bonn සම්මුතිය හැඳින්විය හැකිය. සංක‍්‍රමණික සත්ත්වයන් අතරට ගුවන, භෞමික සහ සමුද්‍රීය ජීවී විශේෂයන් බොහෝමයක් ඇතුළත්ය. එවැනි සංක‍්‍රමණික සත්ත්වයන්ගේ ගමන් මාර්ගයන් වැටී ඇති රටවල් 122 ක සාමාජිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන (UNEP) යටතේ ක‍්‍රියාත්මක වන සංක‍්‍රමණික වන සත්ත්ව විශේෂයන් සංරක්ෂණය පිළිබඳ සම්මුතියට (CMS-Convention on the Conservation of Migratory Species of Wild Animals) ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අත්සන් තබා ඇත. මෙම සම්මුතිය වර්ෂ 1979 දී නැගෙනහිර ජර්මනියේ බොන් නගරයේදී අත්සන් තබන ලද බැවින් බොන් සම්මුතිය [Bonn Convention] ලෙසින්ද හඳුන්වයි. වර්ෂ 1983 සිට බලාත්මක මෙම සම්මුතිය මගින් භෞමික, සුමුද්‍රීය හා ගුවනේ ජීවත් වන සංක‍්‍රමණික වන ජීවීන් ඔවුන්ගේ සම්පූර්ණ විසුම් පරාසය තුළම සංරක්ෂණය කිරීම මුඛ්‍ය පරමාර්ථය වේ. ඒ අනුව අප රටට අයත් භූමිය තුළ, ගුවන තුළ හෝ සයුර තුළ වාර්තා වන සුපුරුදු සංක‍්‍රමණික සත්ත්වයින්සේ

ම අහඹු ලෙස පැමිණෙන සංක‍්‍රමණික සත්ත්වයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටද ශ‍්‍රී ලංකාව බැඳී සිටියි. මේ හරහා ගොඩනැගෙන ගෝලීය වේදිකාව මගින් සංක‍්‍රමණික සතුන් පසුකර යන රාජ්‍යන් තුළ සුරක්ෂිත වූ ඒකාබද්ධ සංරක්ෂණ ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක කිරීමට හැකියාව ලැබේ. බොන් සම්මුතියට ඇතුළත් සංක‍්‍රමණික වනසත්ව විශේෂ සංඛ්‍යාව 552 කට ආසන්නය. ශ‍්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම සම්මුතියට අත්සන් තබමින් එහි පාර්ශ්ව කරුවෙක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිරන්තරවම කටයුතු කරන බවද සිහිපත් කළ යුතුමය. එසේම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දැඩි ආරක්ෂිත ක්ෂිරපායි සත්ව විශේෂයන් ලෙස සමුද්‍ර ක්ෂිරපායින් නම් කර ඇත. දැනට සති කිහිපයක සිට මෙම සත්ත්වයා නිරීක්ෂණය වී නොමැති බැවින් තම සුපුරුදු නිජ බිම් සොයා යළිත් සංක‍්‍රමණය වන්නට ඇතැයි උප කල්පනය කළ හැකිය. අහඹු ලෙස අප රට වෙතට පැමිණ, සත්ත්ව ලොව විවිධත්වය මොනවට පසක් කර යළිත් නොකියාම ගිය සීල්, පරිසරලෝලීන් අතරේ නොමැකෙන මතක සටහනක් තබා ගිය බව නම් ඒකාන්තය.

 

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More