පුරවැසි කොලම

අප රටෙහි වෙළෙඳ ශේෂ හිඟය දිගින් දිගටම ඉහළ යමින් පවතී. අපනයන ඉක්මවා සිදු කරන ආනයන, රුපියල අවප්‍රමාණය වීම සහ ලෝක වෙළෙඳපොළේ සිදු වන මිල උච්චාවචනයන් මෙයට බලපාන ප්‍රධාන හේතු ලෙස හඳුනාගත හැකිය. රුපියලේ අගය අවප්‍රමාණය වීම සහ ලෝක වෙළෙඳපොළේ සිදු වන මිල උච්චාවචනයන් පාලනය කිරීම අසීරු සහ නොහැකි කාරණා වූවද ආනයන පාලනය එතරම් අපහසු දෙයක් නොවේ. මේ සඳහා අවශ්‍ය වන්නේ ශක්තිමත් ආනයන ප්‍රතිපත්තියක් පමණි. 1977 දී ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාවට විවෘත ආර්ථික ප්‍රතිපත්තිය හඳුන්වා දීමත් සමග එතෙක් පැවති සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය අවසන් වී අප විවෘත ආර්ථිකයක් බවට පත් විය. රටක් ජාත්‍යන්තර වෙළෙඳාමට විවෘත කිරීමෙන් බොහෝ ආර්ථික වාසි ලබා ගත හැකි වුවත් එම වාසි නිසියාකාරව ලබා ගත හැක්කේ එය නිවැරැදි වෙලාවට සිදු කළහොත් පමණි. ෆෙඩ්රිච් ලිස්ට් නම් ආර්ථික විද්‍යාඥයා පෙන්වා දෙන පරිදි රටක් ජාත්‍යන්තර වෙළෙඳාමට නිදහසේ විවෘත කළ යුත්තේ රට තුළ ශක්තිමත් කෘෂිකාර්මික, කාර්මික සහ වාණිජ්‍ය පදනමක් සකස් කර ගත් පසුවය. මෙම අදහස පිළිගැනීම නොගැනීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳාමට විවෘත කළේ නිසි අධ්‍යයනයකින් පසුද යන ප්‍රශ්නය අදටත් ඉතිරි වී ඇත. ඒ කෙසේ වෙතත් ඉවක් බවක් නැතිව සිදු කරන ආනයන තුළ දිගින් දිගටම සිදුවන වෙළෙඳ ශේෂ හිඟය පුළුල් වීම නිසා අද වන විට ශ්‍රී ලංකාව දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇත. දැන්වත් මෙය යම් පාලනයකට යටත් නොකළහොත් එක් අතකින් වර්තමාන රජයේ ප්‍රමුඛ බලාපොරාත්තුවක් වන දේශීය ව්‍යවසායකයා නගාසිටුවීම දැඩි අභියෝගයකට ලක් වන අතර අනෙක් අතින් රජයේ ණය ගැනීම් දිගින් දිගටම වැඩි කිරීමට සිදු වනු ඇත.

මෙරටට ගෙන්වන ආනයන භාණ්ඩවලින් බොහොමයක් අනවශ්‍ය භාණ්ඩය. පසුගිය වර්ෂවල ශ්‍රී ලංකාවේ ආනයන සංයුතිය සලකා බැලීමේ දී එය මොනවට පැහැදිලි වේ. විශේෂයෙන්ම අප රටෙහි නිෂ්පාදනය කළ හැකි සහල්, ලූනු, සීනි, මාළු, කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන, තෙල් සහ මේදය සහ කුළුබඩුවලට පමණක් 2018 දී අපි රුපියල් මිලියන 185, 477 වියදම් කර ඇත්තෙමු. එක් අතකින් සහල් තොග නරක් වී සත්ත්ව ආහාර ලෙස ඉවත් කරන අතර අනෙක් අතින් සහල් ආනයනය සඳහා පසුගිය වසර පහක කාලය තුළ වැය කළ මුදලෙහි වාර්ෂික සාමාන්‍ය රුපියල් මිලියන 23, 844.2 වේ. කුළුබඩු වෙනුවෙන් ලෝකයේ නම් දරා සිටින රටක් වන අප 2018 වර්ෂයේ දී කුළුබඩු වෙනුවෙන් පමණක් රුපියල් මිලියන 18,562ක් වැය කර තිබිණි. ගම්මිරිස් ඇතුළු මෙම කුළුබඩු ආනයනය තුළින් රටෙන් පිටතට ගලා ගිය මෙම මුදල් ප්‍රමාණයත් සමඟ දේශීය සුළු අපනයන ගොවීයාගේ ආර්ථිකය ද ගම්මිරිස් ඇතුළු අප රටෙහි කුළුබඩුවලට ලෝකයේ පැවති කීර්ති නාමයද සම්පූර්ණයෙන්ම කඩා වැටුණි. විශේෂයෙන්ම ප්‍රති අපනයනය සඳහා වියට්නාමයෙන් බාල වර්ගයේ ගම්මිරිස් ආනයනය කිරීම මෙයට ප්‍රධාන හේතුව විය. තවද රට වටා මුහුදක් පිහිටියද මාළු ආනයනය වෙනුවෙන් පමණක් පසුගිය වසර තුන තුළ අප වැය කර ඇති මුදල රුපියල් මිලියන 97,943 ඉක්මවයි. එපමණක් නොව සීනි, ලූනු, කිරි, තෙල් ආදිය වෙනුවෙන්ද පසුගිය කාලය පුරාම අති විශාල මුදලක් වැය කර ඇති නමුත් මේ කිසිවක් මෙරට නිෂ්පාදනය කළ නොහැකි ඒවා නොවේ. එසේම පලතුරු සහ එළවළු ආනයනය සඳහා ද 2018 වර්ෂයේදී පමණක් රුපියල් මිලියන 65,441 වැය කර ඇති අතර කනගාටුවට කරුණ වන්නේ මෙතරම් මුදලක් වැය කර ගෙන්වන මෙම ආනයනික පලතුරු සහ එළවළු ශරීර සෞඛ්‍යයට දැඩි ලෙස අහිතකර වීමයි. තවද පසු ගිය කාලයේ විශාල වශයෙන් මෙරටට ගෙන්වන ලද පොල්මද සහ ෆාම් ඔයිල් නිසා පොල් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක් විය. මෙමගින් දේශීය පොල් නිෂ්පාදනයට පවතින ඉල්ලුම අඩු වූ අතර පොල් මිල ශීඝ්‍රයෙන් කඩා වැටුණි. එසේම රබර් මිල කඩා වැටීමට එක් හේතුවක් වන්නේද විශාල වශයෙන් සිදු කරන කෘත්‍රීම මෙන්ම ස්වාභාවික රබර් ආනයනයයි.

කෘෂිකාර්මික ක්‍ෂේත්‍රය පමණක් නොව කාර්මික අංශයද විදේශ ආනයන විසින් දරුණු ලෙස ගිල ගනිමින් තිබේ. තායිලන්තය, සිංගප්පූරුව, හොංකොන් වැනි රටවලින් ගෙන්වන අත්බෑග්, සපත්තු, ඇඟලුම්, විසිතුරු භාණ්ඩ ආදිය මෙන්ම චීනය, ඉන්දියාව වැනි රටවලින් ගෙන්වන මෙරට නිපදවිය හැකි සහ නිපදවන බොහෝ උපකරණ මෙරටට දැරිය නොහැකි ආනයන වියදමක් නිර්මාණය කරනවා පමණක් නොව මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්‍වය වෙළෙඳපොළෙන් එළියට ඇද දමමින් සිටී. ශ්‍රී ලංකාවේ ආනයන දෙස විමසිලිමත්ව බැලීමේදී පෙනී යන්නේ අප ලෝකයට හොඳ වෙළෙඳපොළක් පමණක් සපයා ඇති බවයි. එහෙත් ජාත්‍යන්තර වෙළෙඳාමේ සාපේක්‍ෂ වාසි අප ලබා ගන්නා බවක් පෙනෙන්නට නැත. ජාත්‍යන්තර වෙළෙඳාමේ පදනම වන්නේ සාපේක්‍ෂ වාසි පවතින භාණ්ඩ අපනයනය කර සාපේක්‍ෂව අවාසි භාණ්ඩ ආනයනය කිරීමයි. එහෙත් අප මේ කිසිවක් සැලකිල්ලට නොගෙන සාපේක්‍ෂ වශයෙන් වාසි අවාසි භාණ්ඩ සියල්ල සීමාවකින් තොරව ගෙන්වයි. අප ජාත්‍යන්තර වෙළෙඳාමේ වාසි ලබා ගැනීමට නම් අපේ සම්පත් සහ ශක්‍යතාවන් හොඳින් හඳුනාගත යුතුය. එසේ නොමැතිව සිංගප්පූරුවක් හෝ වෙනත් රටක මොඩලයක් වීමට උත්සාහ කළ යුතු නැත. අප අපට ගැළපෙන අපට අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක් සමග ගමන් කළ යුතුය. ඒ සඳහා ලෝකයේ අනෙකුත් රටවලින් අත්දැකීම් ලබා ගැනීම පමණක් කළ යුතු අතර ඒවා අනුකරණය කිරීම නොකළ යුතුය. 1956 දී ලී ක්වාන් යූ ශ්‍රී ලංකාවට පැමිණි විට ශ්‍රී ලංකාවේ එවකට පැවති ආර්ථික තත්ත්වය දැක ඔහු පැවසුවේ සිංගප්පූරුව ශ්‍රී ලංකාව මෙන් දියුණු නොමැති බවය. ශ්‍රී ලංකාවට තරම් සිංගප්පූරුවට සම්පත් හෝ යටිතල පහසුකම් නොමැති බවය. එදා ඔහුට අවශ්‍ය වූයේ සිංගප්පූරුව ශ්‍රී ලංකාව මෙන් කරන්නටය. එසේ වුවද අවසානයේ ලී ක්වාන් යූ සිංගප්පූරුව ශ්‍රී ලංකාවක් කළේ නැත. ඔහු තම රටේ අවශ්‍යතාව සහ හැකියාව හොඳින් තේරුම් ගෙන එම රටට අනන්‍ය වූ ආර්ථික ප්‍රතිපත්තියක රට මෙහෙය වීය. එහෙත් අවාසනාවකට අපි පසු ගිය කාලය පුරාම ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කරන්නට වෙර දරමින් සිටියෙමු. ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමේ සංකල්පය අද ඊයෙක ඇති වූවක් නොවේ. මෙම සංකල්පයේ ආරම්භකයා වන්නේ ජේ. ආර්. ජයවර්ධනය. 1977 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමත් සමග මෙම සංකල්පයද කරළියට පැමිණියේය. සිංගප්පූරුවට වසර හතළිහක් වැනි කෙටි කාලයක් තුළ ‘තුන්වන ලෝකයෙන් පළමුවන ලෝකයට’ ආ හැකි වූයේ සිංගප්පූරුව ශ්‍රී ලංකාවේ හෝ වෙනත් කිසිම රටක මොඩලයක් නොවූ නිසාය. ඉතාමත් කුඩා භූමි භාගයකට හිමිකම් කියන සිංගප්පූරුව සම්පත් ඌන රටකි. එම නිසා වෙළෙදාම සහ සේවා සැපයීම තම රට ආර්ථික සංවර්ධනය කරා මෙහෙය වීමේ යාන්ත්‍රණය ලෙස ඔවුහු හඳුනාගත්හ. සිංගප්පූරුව නිදහස් තොටක් ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම පදනම මතය. සිංගප්පූරුවේ පිහිටීමද එයට මහත් රුකුලක් විය. විශේෂයෙන්ම ගුවන් හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස බොහෝ රටවල් සිංගප්පූරුව භාවිත කිරීම එම රට ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයක් කිරීමේ වාසි ලබා දුන්නේය. ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙයට වඩා බොහෝ සෙයින් වෙනස්ය. අපට බැර සම්පත් සැලකිය යුතු තරම් නැතත් සිංගප්පූරුවට වඩා බොහෝ සම්පත් ඇත. එම සම්පත් භාවිතයෙන් ශ්‍රී ලංකාව ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් බවට පත් කළ හැකිය. අවශ්‍ය වන්නේ හොඳ ජාතික ආර්ථික ප්‍රතිපත්තියකි.

කෙසේ වෙතත් වර්තමාන රජය ගන්නා සමහර පියවර වැරදුන ආර්ථිකය නිවැරැදි කිරීමට ගන්නා උත්සාහයක් ලෙස පෙනේ. විශේෂයෙන්ම ප්‍රති අපනයනය සඳහා ගම්මිරිස් ඇතුළු කුළුබඩු ගෙන්වීම තහනම් කිරීම, පොල්මද ගෙන්වීම තහනම් කිරීම ආදිය අගය කළ යුතුය. එහෙත් නිරපරාදේ රටෙන් පිටතට ගලා යන විදේශ විනිමය පාලනයටත් දේශීය ව්‍යවසායකත්‍වය ශක්තිමත් කිරීමටත් මෙයට වඩා ආනයනය පාලනය කිරීමක් අත්‍යවශ්‍ය වේ. ආර්ථිකයට සත්‍ය වශයෙන්ම හානිදායක ආනයන සඳහා ඉහළ තීරු බදු පැනවීම, ආනයන තහනම් කිරීම සහ කෝටා ක්‍රම ආදිය ක්‍රියාත්මක කළ යුතුය. ඒ සමගම පාරිභෝගික ශුභ සාධනය පිළිබඳව ද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වේ. එනම් ආනයන පාලනයේදී දේශීය ව්‍යවසායකයා ආරක්‍ෂා කිරීමත් පාරිභෝගික ශුභ සාධනය තහවුරු කිරීමත් එකම ප්‍රතිපත්තියක් තුළ අන්තර්ගත විය යුතුය. විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන වර්ෂය පුරාම ප්‍රමාණවත් තරම් සාධාරණ මිලකට ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට තහවුරු විය යුතුය.

1950 ගණන්වල අග භාගයේ සහ 1960 ගණන්වල මුල භාගයේ අපට පිටුපසින් සහ අපට සමගාමීව සිටි බොහෝ ආසියාතික රටවල් අප බලා සිටියදීම අප පසු කර ගියේ අපගේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසාය. වර්තමානයේ ශ්‍රී ලංකාව ශීඝ්‍රයෙන් වෙළෙඳ ආර්ථිකයක් දෙසට තල්ලුවී තිබේ. එහෙත් එහි වාසි ලබා ගැනීමට අවශ්‍ය මූලික සාධක ඉෂ්ට සිද්ධ කර ගෙන නොමැති පසුබිමක් තුළ අප ආනයන ආර්ථිකයක් පමණක් බවට පත්ව ඇත. කෙටියෙන්ම කිවහොත් වෙනත් කිසිදු රටකට අලෙවි කර ගත නොහැකි ඕනෑම ජරාවක් අලෙවි කර ගත හැකි බාල වෙළෙඳපොළක් බවට අප පත්ව ඇත. එදා අප හැදූ සරුංගලයද එදා අප හැදූ වෙසක් කූඩුව ද චීනයෙන් ආනයනය කරන්නට තරම් දුබල ජාතියක් වී ඇති අප එමගින් විනාශ කර දමන්නේ අප දරුවන්ගේ නවෝත්පාදන ශක්තිය පමණක් නොව ඔවුන් තුළ ගොඩ නැගෙන සාමූහික හැඟීම් බව අමතක නොකළ යුතුය.

මාධවී හේරත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ

ජේ‍යෂ්ඨ කථිකාචාර්ය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More