පුරවැසි කොලම

සිරිමන්ත රත්නසේකර
අපක්‌ෂපාතී විද්වත් මණ්‌ඩලයක්‌ විසින් මෙම වෝහාරික විගණන වාර්තාව කියවන්න කියලා අපි යෝජනා කරනවා. එතකොට පැහැදිලි වෙයි අපේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් කොල්ලකෑවේ කවුරුන්ද කියලා. අපේ රටේ කම්කරුවන්ගේ අර්ථ සාධක අරමුදල් කොල්ලකෑවේ කොහොමද කියලා. ගමේ ගොවියන්ගේ, කම්කරුවන්ගේ, වතු කම්කරුවන්ගේ පඩි සල්ලි තමයි මේ මූල්‍ය වංචාකරුවන් විසින් කොල්ල කන්නේ. කම්කරුවන් ඉතා දුක්‌ මහන්සි වී හම්බකරන සල්ලි මේ සුදු කරපටි අපරාධකාරීන් විසින් රුපියලක්‌ වත් හම්බනොකර මංකොල්ල කනවා” යෑයි ජනතා විමුක්‌ති පෙරමුණේ දේශපාලන මණ්‌ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (24 වැනිදා) සඳහන් කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය මෙන්ම කබ්රාල් කල්ලියත්, ඔවුන්ට උපදෙස්‌ දුන්නු දේශපාලන නායකයනුත් අධිකරණය හමුවට ගේන්න ඕනෑ යෑයිද හෙතෙම පැවසීය.

ජවිපෙ දේශපාලන මණ්‌ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ 24 වැනිදා එම අදහස්‌ පළ කළේ බත්තරමුල්ලේ පිහිටි එම පක්‌ෂ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වමින් සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.

අපේ රටේ සිදුවූ දැවැන්තම මූල්‍ය අපරාධය පිළිබඳ කොටස්‌ 05 කින් සමන්විත වෝහාරික විගණන වාර්තාව හා ඊට අනුබද්ධ ඇමුණුම් සමග විෂය බද්ධ සවිස්‌තරාත්මක අධ්‍යයනයක්‌ කළ යුතුව තිබෙනවා. ජනතා විමුක්‌ති පෙරමුණ ලෙස අපි වරින් වර ඉදිරිපත් කළ දේශපාලන හරය තමයි මෙම වෝහාරික විගණන වාර්තාව මගින් නැවතත් තහවුරුකොට තිබෙන්නේ. අපේ රටේ දූෂිත වළල්ලක්‌ ඉන්න බව අපි මුලසිටම කිව්වා. මෙම දූෂිත වළල්ල දේශපාලන ක්‌ෂේත්‍රයේත්, මූල්‍ය ක්‌ෂේත්‍රය ඇතුළු විවිධ ක්‌ෂේත්‍රවල දකින්නට ලැබෙනවා. ඒ දූෂිත වළල්ලට යූ.එන්.පී. ද ශ්‍රී ලංකාද කියලා බේදයක්‌ නැහැ. මේ දූෂිත වළල්ල මූල්‍ය වෙළෙඳපොළේ ඉන්නේ එකට. එක වෙලාවක යූ.එන්.පී. එකේ ඉන්නවා. තව වෙලාවක පොදුජන පෙරමුණේ ඉන්නවා. ඒ අයට විපක්‌ෂයේද ආණ්‌ඩු පක්‌ෂයේද කියලා වෙනසක්‌ නැහැ. මුදල් තියෙන තැනින් මංකොල්ලකන එක තමයි ඒ අයගේ වැඩේ. අපි හෙළිදරව් කරන්නේ මේ දූෂිත වළල්ලයි.

වෝහාරික විගණන වාර්තාව ඉදිරිපත් කරන්න සිද්ධ වුණේ කෝප් කමිටුවේ නිර්දේශ නිසයි. මෙම වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුවට එවන්නේ ඒ නිසයි. දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තු සභා වාරය අවසන් කිරීමත් සමග කෝප් කමිටුව අහෝසි වීම නිසා, මෙය කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න බැරිවුණා. එනිසා තමයි අපි දිගින් දිගටම මෙම විගණන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා බලපෑම් කළේ. නමුත් මෙම වාර්තාව කීප දෙනෙක්‌ විසින් හෑල්ලුවට ලක්‌කරන්න කටයුතු කළා. 2006 සිට 2015 දක්‌වා මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා වෝහාරික විගණන වාර්තාව ගැන ලිපි ලිව්වා. හොරාට කලින් කෙහෙල් කැණ වැට පනින බව අපි කිව්වේ ඒ නිසයි. දැන් මේ විගණන වාර්තාවට අනුව පේනවා අජිත් කබ්රාල් කලබල වුණේ ඇයි කියලා. ලබැඳියාවන් අතර ගැටලුව තිබුණේ අර්ජුන් මහේන්ද්‍රන්ලා අතර විතරක්‌ නොවෙයි. අජිත් කබ්රාල් කල්ලිය අතරත් ඒ ලබැඳියාවන් තිබුණු බව මේ වාර්තාවෙන් පේනවා.

මෙම වෝහාරික විගණන වාර්තාවේ පවුල් ගහ පිළිබඳව පැහැදිලි කිරීමක්‌ තිබෙනවා. 2006 සිට 2015 දක්‌වා අජිත් නිවාඩ් කබ්රාල් පවුල් කණ්‌ඩායමේ සහ 2015 සිට 2016 දක්‌වා අර්ජුන මහේන්ද්‍රන්ගේ පවුල් බැඳීම් සම්බන්ධයෙන් හෙළිදරව් කොට තිබෙනවා. අපේ මැදිහත්වීම නිසා මේ පවුල් ගහ කැඩී ගියා. එසේ නොවූවා නම් මේ පවුල් ගහ 2015 – 2020, 2020-2025 මේ ආකාරයට දිගටම යන්න ඉඩ තිබුණා. මෙම වෝහාරික විගණනය සිදුකිරීමට අපිට තාක්‌ෂණික හැකියාවක්‌ තිබුණේ නැහැ. ඒ නිසයි කෝප් සභාපතිවරයා ලෙස මම මහ බැංකුවට නිර්දේශයක්‌ ලබාදුන්නේ මෙම බැඳුම්කර සම්බන්ධයෙන් වෝහාරික විගණනයක්‌ කරන්න කියලා. ඒ මොහොතේ දී අජිත් නිවාඩ් කබ්රාල් පුවත්පත්වලට කිව්වා ඇයි මේ 2002 දක්‌වාම විගණනයක්‌ කරන්නේ කියලා. නමුත් බැඳුම්කර සම්බන්ධයෙන් විගණනයක්‌ කරනවා නම්, එය ආරම්භයේ සිටම පටන් ගන්න ඕනෑ. ඇයි ඒ විගණනයට විරුද්ධ වෙන්නේ. කබ්රාල් කලබල වුණේ ඇයි? මීට පෙර හිටපු අධිපතිවරු කලබල වෙලා නැහැ. වහන්න දෙයක්‌ තිබෙන නිසයි කබ්රාල් කලබල වුණේ. ජනතාව ඒවා දැනගත යුතුයි.

මෙම වෝහාරික විගණන වාර්තාව සකස්‌ කරනු ලැබුවේ අධිකරණ කටයුත්තක්‌ සඳහාමයි. මරණයක්‌ පිළිබඳව සිදුකරන වෝහාරික මරණ පරීක්‌ෂණයක්‌ වගෙයි. බැඳුම්කර සම්බන්ධ මෙම වෝහාරික විගණන වාර්තාව අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහාම සකස්‌ කළ එකක්‌. 2002-2015 දක්‌වා වූ සුදු කරපටි අපරාධකාරයන් අධිකරණය හමුවට ගේන්න ඕනෑ. අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය මෙන්ම කබ්රාල් කල්ලියත්, ඔවුන්ට උපදෙස්‌ දුන්නු දේශපාලන නායකයනුත් අධිකරණය හමුවට ගේන්න ඕනෑ.

මෙම වෝහාරික විගණනයට අදාළ වාර්තා පහක්‌ තිබෙනවා. පළවෙනි වාර්තාව බැඳුම්කර සම්බන්ධයෙන්ද, දෙවැනි වාර්තාව බැඳුම්කර ගනුදෙනු සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳවද, තුන්වැනි වාර්තාව අර්ථ සාධක අරමුදල් කොල්ලය පිළිබඳවද, හතර වැනි වාර්තාව බැඳුම්කර මගින් ලබාගත් මුදල්, මුදල් අමාත්‍යාංශයට යන ක්‍රියාවලිය පිළිබඳවද පස්‌වැනි වාර්තාවේ 2015 දී සිදුවූ කුප්‍රකට අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු වංචාව පිළිබඳවද විගණනය කොට තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් කල්ලිය සිදුකළ වංචාව පිළිබඳ සිදුකළ කෝප් විමර්ශන වෝහාරික විගණන වාර්තාව විසින් තහවුරුකොට තිබෙනවා. අපි මෙම ස්‌ථානයේදීම මාධ්‍ය හමුවක්‌ පවත්වලා හෙළිදරව් කරපු කරුණු එම විගණන වාර්තාවෙන් තහවුරුකොට තිබෙනවා. අපි ඉදිරිපත් කළ කරුණුවලට අමතරව ඉතා විද්‍යානුකූලව විමර්ශනය කරලා තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. ගෝඨාභය රාජපක්‌ෂ මහත්තයාට ඡන්දය දුන්නු 69 ලක්‌ෂයක්‌ ජනතාවගේ ජනතා අභිලාශයන් ඉටුකරන්න පස්‌වැනි වාර්තාව අනුව පුළුවන්. එම පස්‌වැනි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරලා මහ බැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න පුළුවන්. එම අධිකරණ ක්‍රියාවලිය කෝප් වාර්තාවත්, ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවත් යොදා ගන්න පුළුවන්. ගෝඨාභය රාජපක්‌ෂ මහත්තයාට තමන්ට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂය ඉටුකරන්න හොඳ අවස්‌ථාවක්‌ උදාවෙලා තිබෙනවා.

මෙහි විශේෂම කරුණ වෙන්නේ අර්ථ සාධක අරමුදලට වෙලා තිබෙන්නේ මොකක්‌ද කියන එකයි. අර්ථ සාධක අරමුදල රුපියල් බිලියන 2290 කින් සමන්විත අරමුදලක්‌. එහි ආදායම මසකට කෝටි 1200 ක්‌ පමණ වෙනවා. එහි සාමාජිකයන් මිලියන 18 ක්‌ පමණ වෙනවා. එම අරමුදලේ අයිතිය කම්කරු කොමසාරිස්‌වරයා සතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව එම අරමුදලේ භාරකරු ලෙස ක්‍රියාකරනවා. නමුත් මහ බැංකුවට හිතුමතේ අර්ථ සාධක අරමුදලේ සල්ලි ආයෝජනය කරන්න බැහැ. ඒ සඳහා නිර්ණායක තිබෙනවා. වෝහාරික විගණන වාර්තාවේ මාස හතරක විශ්ලේෂණය අනුව අර්ථ සාධක අරමුදල් සමාගම් 19ක Rජුව ආයෝජනය කොට තිබෙනවා. ඒ අනුව රුපියල් කෝටි 5795 ක පමණ පාඩුවක්‌ සිදුවෙලා තිබෙනවා. මේ පාඩුවට වගකියන්නේ කවුද? මුදල් අයෝජනය පිළිබඳව නිර්ණායකවලට අනුව සමාගම් සඳහා ආයෝජනය කළ හැකි ප්‍රතිශතයන් දක්‌වා තිබෙනවා. නමුත් අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ධුර කාලයේ මෙම ප්‍රතිශතයන් ඉක්‌මවා ආයෝජනයන් සිදුකර තිබෙනවා. ඇතැම් අවස්‌ථාවල උපරිම සීමාව 2% ක්‌ තිබියදී, එම සීමාව ඉක්‌මවා 10%, 30%, 40% වැනි ප්‍රතිශතයන්වලින් ආයෝජන සිදුකොට තිබෙනවා.

අපේ රටේ අධිකරණය ස්‌වාධීන නම්, අපේ රටේ මහ බැංකුවේ මුදල්වලට වුණේ මොකක්‌ද කියලා හොයන්න පුළුවන්. අපේ රටේ මාධ්‍ය ආයතනවලින්, සමාජ ජාල ක්‍රියාකාරීන්ගෙන් විශේෂ ඉල්ලීමක්‌ කරනවා මෙම වෝහාරික විගණන වාර්තාව යට ගහන්න ඉඩදෙන්න එපා කියලා.

මහ බැංකුව අධිපතිවරුන් කීපදෙනෙක්‌ යටතේ මහ දවල් මංකොල්ලකාලා තිබෙනවා. මේ දෙගොල්ලන්ගේම හොරකම් හොයන්න ඕනෑ. මුදල් ඇමැති ලෙස මහින්ද රාජපක්‌ෂ මහත්තයාට පුළුවන් මෙම ගනුදෙනුවල අගින් හෝ මුලින් පටන් ගන්න. බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න ජනවරමක්‌ ලැබිලා තිබෙනවා. 69 ලක්‌ෂය හිතුවේ රනිල් වික්‍රමසිංහලාගේ හොරකම් විතරයි. නමුත් දැන් වෝහාරික විගණන වාර්තාවට අනුව පැහැදිලි වෙනවා 2015 ට කලින් හොරකම් සිදුවෙලා තිබෙනවා කියලා. ජනතාවගේ අර්ථ සාධක අරමුදල කොල්ලකාලා තිබෙනවා කියලා. එනිසා එම මංකොල්ලකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගන්න කඩිනමින් කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. එසේ නොමැති නම් අපේ රටේ මූල්‍ය නීති සාමාන්‍ය ජනතාවටත් සුදු කරපටි අපරාධකාරයන්ටත් වෙනස්‌ ලෙස ක්‍රියාත්මක වෙන බව හිතන්න වෙනවා. ඒ වගේම දැන් අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න ආණ්‌ඩුවට බලය තිබෙනවා. මෙම මූල්‍ය අපරාධකරුවන්ට දඬුවම් දෙන තුරු අපි අරගලය දිගටම ගෙනියනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More