පුරවැසි කොලම

සී. වී. විග්නේෂ්වරම් මහතා 2019 දෙසැම්බර් 14 වන දින නිවේදනයක් නිකුත් කරමින් මහාවංශය පාලි භාෂාවෙන් ලියන ලද ප‍්‍රබන්ධයක් බවත්, මෙරට මුල් වැසියන් දෙමළ ජනතාව වන බවත්, මෙරට බෞද්ධ රටක් බව ප‍්‍රකාශ කිරීම නිවැරදි නොවන බවත් සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. අප ඒ පිළිබඳ විග්නේශ්රන් මහතාගේ විමසා සිටි අතර ඊට ඒ මහතා දැක්වූ ප‍්‍රතිචාරය පසුගිය 12 වන ඉරිදා දිවයින සංග‍්‍රහයෙහි පළ විය. එම ලිපිය බොහෝ දෙනාගේ කතා බහට ලක් වී ඇති බව ඊට ලැබුණු ප‍්‍රතිචාරවලින් පැහැදිලි වු බැවින්, එහි දී විග්නේශ්වරම් මහතා ප‍්‍රකාශ කර ඇති මතභේදාත්මක කරුණු කාරණා පිළිබඳව අප කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසා සිටීමට අදහස් කළෙමු. උතුරු පළාත් හිටපු මහ ඇමැතිවරයා මෙන්ම දෙමළ ජාතික එකමුතුව නම් පක්‍ෂයේ නායකයා ද වන විග්නේෂ්වරම් මහතා ප‍්‍රකාශ කර ඇති ඉතිහාසය පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පළ කළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය : උතුරු පළාතේ හිටපු මහඇමැති සී. වී. විග්නේශ්වරන් මහතා මෙරට ඉතිහාසයට අදාළව විවේචනාත්මක අදහස් දැක්වීමක් පසුගිය සති අග ‘දිවයින’ පුවත් පතකට ඔහු විසින් ලබා දුන් සාකච්ඡාවකදී ඉදිරිපත් කර තිබුණා. මෙරට ඉතිහාසයේ මුල්අවධියට අයත් එක් ප‍්‍රධාන ඓතිහාසික චරිතයක් වූ දේවානම්පියතිස්ස රජතුමා පවා වැරදි ආකාරයට ඉතිහාසයේ හඳුන්වා දී ඇති බව ඔහු පවසනවා. රටේ බහුතර දෙනා සියවසකට වැඩි කාලයක් තිස්සේ පාසලේදී විශ්වවිද්‍යාලයේදී හදාරන ලද රටේ ඉතිහාසය ගැන මෙවැනි මත පළ කිරීම ගැන මහජනයා යම් සංවේදීතාවකින් පසුවන බව පෙනෙනවා. මීට දිය හැකි පිළිතුර කුමක්ද?

පිළිතුර- මා සිතන්නේ මෙවැනි තත්ත්වවලට පිළිතුරු දීමට ගන්නා උත්සාහය කාලය අපතේ හැරීමක් බවයි. ඊට එක් හේතුවක් වන්නේ එවැනි අදහස් ඉතිහාසය පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත ප‍්‍රගල්භ ශාස්ත‍්‍රඥයෙකු විසින් පළ කරන අදහස් නොවීම නිසායි. විවේචන යනු දැනුම වර්ධනය කිරීමට ඉවහල් වන ක‍්‍රියාවලියක් වුවත් එය එසේ වන්නේ ඒ සඳහා නිසි ශාස්තී‍්‍රය පුහුණුවක් ලද කෙනෙකු විසින් විවේචනයේ සාරධර්මවලට අනුව කරනු ලබන විටයි. ඉතිහාසය ගැන අදහස් දැක්වීමට ඒ පිළිබඳ කාලයක් තිස්සේ පුහුණු කළ පරිචයක් තිබිය යුතුයි. ඉතිහාසකරණ ක‍්‍රමවේද, මූලාශ‍්‍රය ලියැවී ඇති ප‍්‍රාචීන භාෂා පිළිබඳ දැනුම, මූලාශ‍්‍ර සුවිනිශ්චය පිළිබඳ පරිචය යනාදි දේ ගැන ලබන ශික්ෂණය ඊට අයත් වෙනවා. ඉතිහාසඥයන් අතර පවා ඉතිහාසය ගැන නොයෙකුත් මතභේද සහ විවේචන තිබෙනවා. ඒවා විසඳා ගන්නේ සාක්ෂි මත පදනම් වූ තර්ක මගින් මිස තම තමන්ට හැෙ`ගන දේ පාලනයකින් තොරව පැවසීමෙන් නොවෙයි.

ප‍්‍රශ්නය : ඓතිහාසික මූලාශ‍්‍රයක් ලෙස මහාවංසයේ ලියා ඇති දේත් ඒවා ඇසුරින් ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය රචනා කළ ඉතිහාසඥයනුත් විග්නේශ්වරන් මහතාගේ දෝෂදර්ශනයට නිබඳ ලක් වෙනවා. මෙහි ඇති පසුබිම ඔබ දකින්නේ කෙසේද?

පිළිතුර- ඉතිහාසය යනු කිසියම් සමාජයක අතීතයට අයත් දැනුම් පද්ධතියක් බව අප විසින් වටහා ගත යුතුයි. එය කොටස් දෙකකින් සමන්විතයි. පළමුවැන්න නොයෙක් මූලාශ‍්‍රය මගින් ඉතිහාසඥයින් ලබා ගන්නා ඓතිහාසික සිද්ධි, පුද්ගලයන් සහ ක‍්‍රියාවලි පිළිබඳ දැනුමයි. දෙවැන්න ඉතිහාසකරණ ක‍්‍රමවේද අනුව එම දැනුම විග‍්‍රහ කිරීමෙන් නිපදවන අර්ථනිරූපනාත්මක දැනුමයි. මේ අතරින් පළමුවැන්න ‘ඉතිහාස කරුණු’ ලෙස සලකන අතර දෙවන වර්ගය සලකනු ලබන්නේ ‘ඉතිහාසය පිළිබඳ අදහස්’ හැටියටයි. මෙහිදී කරුණු ‘පූජනීය’ වන අතර ඒ මත ගොඩ නගන අදහස් එකී කරුණුවලින් ‘ස්වාධීන’ බව අප විසින් වටහා ගත යුතුයි. මේ පදනමේ සිට බලන්නේ නම් ඔබ විසින් සඳහන් කරන ප‍්‍රකාශ අයත් වන්නේ කරුණු සහ අදහස් යන දෙඅංශය ගැනම නොසලකා කරන ශාස්තී‍්‍රය වශයෙන් හීලෑ නොකළ අදහස් ගනයටයි. එය ඉතිහාසය පිළිබඳ ගැඹුරු විවේචනයක් ලෙස හැඳින්විය නොහැකියි.

wigi2 ප‍්‍රශ්නය : දේවානම්පියතිස්ස නමින් මෙරට ඉතිහාසයේ හඳුන්වා ඇති රජු ‘තේවානම්පියතීසන්’ නමැත්තෙකු බවත් එය පසුව දේවානම්පියතිස්ස යනුවෙන් වෙනස් කර ඇති බවත් විග්නේශ්වරන් මහතා විසින් පවසනවා. ඉතිහාසය ක‍්‍රමවත් ලෙස අධ්‍යයනය කිරීමට අවස්ථාවක් නොලැබුණු මෙරට තරුණ පිරිස මෙවැනි අදහස් ගැන කුතුහලයෙන් පසුවන නිසා එහි නියම තත්ත්වය පැහැදිලි කළ හැකිද?

පිළිතුර- ඔබ පැවසූ පරිදි මෙවැනි අදහස්වලින් තම අවබෝධය දුර්බෝධ බවට පත් කර

ගැනීමට ඉඩ තිබෙන පිරිස් සිටී නම් ඔවුන් වෙනුවෙන් මෙම කාරණය මම පැහැදිලි කරන්නම්. දේවානම්පියතිස්ස යන පදය කොටස් දෙකකින් සමන්විත වූවක්. එය ගොඩනැගෙන්නේ ‘දෙවානම්පිය’ සහ ‘තිස්ස’ යන වචන දෙක පදනම් කර ගෙනයි. මෙහි මුලින් සඳහන් කළ දෙවානම්පිය යන පදය අපේ රටේ පැරණිතම බ‍්‍රාහ්මී සෙල්ලිපිවල යෙදී තිබෙන්නේ ‘දෙවනපිය’ යනුවෙන්. එය සංස්කෘත භාෂාවෙන් ‘දේවානම්ප‍්‍රිය’ යන වචනය ආදි සිංහල භාෂාවෙන් ලියූ ආකාරයයි. ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවසේදී හෝ සමහර විට ඊටත් වඩා සියවසකට පමණ ඉහත කාලයකදී භාවිත වූ මෙම භාෂාව ඇතැම් භාෂා විශේෂඥයන් විසින් හඳුන්වා දී තිබෙන්නේ සිංහල ප‍්‍රාකෘත යන නමින්. දෙවානම්පිය යන්නෙහි සාහිත්‍යමය අරුත නම් ‘දෙවියන්ට ප‍්‍රිය වූ’ යන්නයි. දෙවියන්ට පි‍්‍රය වූයේ යම් කෙනෙක්ද ඔහු ‘දෙවානම්ප‍්‍රිය’ නමින් හැඳින්වීම ව්‍යාකරණානුකූලව හඳුන්වන්නේ සමාස පදයක් හැටියටයි. ‘කිරෙන් පිසූ බත්, කිරිබත්’ යනුවෙන් හැඳින්වීමට එය සමානයි. ප‍්‍රතාපවත්ව සිටි පැරණි රජවරු මේ පදය සිය පෞද්ගලික නාමවලට අභිධානයක් ලෙස යොදා තිබෙනවා. දේවානම්පියතිස්ස රජුගෙන් පසු බලයට පත් උත්තිය රජුගේ කාලයේ රචනා වූ සෙල්ලිපිවල ‘දෙවනපිය උති’ යනුවෙන් භාවිත කර තිබෙනවා. මිහින්තලේ පිහිටි බ‍්‍රාහ්මී සෙල්ලිපි දෙකක් මේ සඳහා නිදසුන් කළ හැකියි. එක් සෙල්ලිපියක ‘ගමිණි උති දෙවනපිය මහරජහ’ යන යෙදුම දකින්නට තිබෙනවා. අනෙක් සෙල්ලිපියේ ‘දෙවනපිය මහරජහ ගමිණි උති’ යනුවෙන් සඳහන්. මෙම සෙල්ලිපි මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් ප‍්‍රකාශයට පත් කර තිබෙන ඒවායි. දෙවනපිය යන අභිධානය මුල්කාලයේ මෙරට පාලනය කළ රජවරු කිහිපදෙනෙක් විසින්ම සිය පෞද්ගලික නාමයට ඉදිරියෙන් යොදා ගෙන තිබෙනවා. දුටුගැමුණු, සද්ධාතිස්ස සහ ලජ්ජිතිස්ස යන රජවරු මේ සඳහා නිදසුන් ලෙස දැක් විය හැකියි.

මෙම අභිධානය ඉන්දියාවේ මහාධිරාජ අශෝක විසින්ද භාවිත කර තිබෙනවා. ඔහු විසින් සමස්ත ඉන්දියාවේ වැඩි භූමි ප‍්‍රදේශයක පිහිටුවා තිබෙන ධර්මලිපි නමින් හඳුන්වන ආඥා ආරම්භ වන්නේ ‘දෙවානපියෙන පියදසි ලාජා’ යන පාඨයෙන්. ඉන් අදහස් කරන්නේ ‘දෙවියන්ට ප‍්‍රිය වූ ප‍්‍රියදර්ශී රජු’ යන්නයි. මෙහි ප‍්‍රියදර්ශී යනුවෙන් හඳුන්වන්නේ අශෝක රජතුමාවයි. ඔහු මෙම අභිධානය භාවිත කරන්නට ඇත්තේ පර්සියානු අධිරාජයා වූ පළමුවන ඬේරියස් විසින් භාවිත කරන ලද අභිධානයක ස්වරූපය අනුව යමින් විය යුතු බව විද්වතුන් විසින් පෙන්වා දෙනවා. පුරාණ පර්සියානු අගනගරය වූ පර්සිපොලිස් නගරයේ පිහිටා තිබූ පළමුවන ඬේරියස් රජුගේ මාළිගයේ දොර උ`ඵවහුවල කූන්‍ය අක්ෂර නමින් හැඳින්වෙන පුරාණ සුමේරියානු අක්ෂරවලින් කොටා තිබෙන සෙල්ලිපි සැලකිය යුතු ප‍්‍රමාණයක් පුරාවිද්‍යාඥයන් විසින් සොයා ගෙන තිබෙනවා. පුරාණ පර්සියානු භාෂාවෙන් රචිත එකී ලිපි අතර තිබෙන ඇතැම් ලිපි ආරම්භ කර තිබෙන්නේ ‘ ඩරායවවුෂ් ක්ෂායතීය වසරක් ක්ෂායතීය ක්ෂායතීය නාම් ක්ෂායතීය’ යන පාඨයෙන්. ඉන් කියැවෙන අදහස වන්නේ ‘ඬේරියස්, මහරජු, රජුන්ගේද රජු, සියලූ රටවල රජු’ යන අර්ථයයි. ‘දෙවියන්ට ප‍්‍රිය වූ’ යන අභිධානයද ඬේරියස් රජු විසින් භාවිත කළ අභිධානයෙන් ධ්වනිත කරන අදහසට සමීප අදහසක් ජනනය කරන බව පෙනෙනවා.

දේවානම්පියතිස්ස යන නාමයේ දෙවන කොටස වූ තිස්ස යන වචනය සංස්කෘත භාෂාවේ එන තිෂ්‍ය යන පදයේ ස්වරූපයක්. තිෂ්‍ය යනු නැකතකට අයත් නමක්. පුරාණ කාලයේ මෙරට වැසියන් නැකැත්වල නම් සිය පෞද්ගලික නම් ලෙස භාවිත කර තිබෙනවා. තිෂ්‍ය නැකත පමණක් නොව පුෂ්‍ය හෙවත් පුස නැකැතත් එසේ යොදා ගත් බව පෙන්වන නිදසුන් තිබෙනවා. පුස්සදේව නම් සෙන්පතියා ගැන විස්තර කරන මහාවංස ටීකාව ‘පුස්ස නක්ඛත්තේන ජාතභාවේන පුස්සදේවොති නාමං අකංසු‘ යැයි සඳහන් කරනවා. ‘පුස නැකතින් ඉපදුනු හෙයින් ඔහු පුස්සදේව නම් වූ බව’ ඉන් කියැවෙනවා. මේ අනුව අපට පෙනෙන්නේ සමහර විට තිෂ්‍ය නැකතින් උපන් නිසා රජුගේ නම තිස්ස වූ බවත් ‘දෙවනපිය’ යනු ඔහුගේ අභිධානය වූ බවත්ය. ඉන්දියාවේ මහාධිරාජ අශෝක විසින් භාවිත කළ රාජ අභිධානය අපේ රටේ රජවරු විසින් මහත් අභිරුචියකින් යුතුව භාවිත කිරීමෙන් පෙන්නුම් කරන්නේ එසමයේදී ඉන්දියාවේ පාටලීපුත‍්‍ර නගරය කේන්ද්‍ර කර ගත් මෞර්ය පාලනය සමග ශ‍්‍රී ලංකාව දැක්වූ සබඳතාවයි. ඉන්දියාවේ අශෝක අධිරාජයාත් භාවිත කර තිබෙන්නේ දෙමළ භාෂාවේ ‘තේවානම්පිය’ යන පදය යැයි කෙනෙකුට කිව හැකියි. එහෙයින් අශෝක අධිරාජයාත් දකුණු ඉන්දියාවෙන් පාටලීපුත‍්‍රයට සංක‍්‍රමණය වූ බව ඒ අනුව කෙනෙකුට පෙන්වා දිය හැකියි. එසේ නොකියන්නේ එසේ කීමෙන් ඇතිවන බරපතළ ප‍්‍රතිවිපාක දන්නා නිසයි.

ප‍්‍රශ්නය : මහාවංසය යනු බුදුදහමේ කීර්තිය විදහා දැක්වීමේ අරමුණින් ලියන ලද්දක් මිස එය ඉතිහාසය පිළිබඳ කෘතියක් ලෙස සැලකීම වැරදි බව හිටපු මහ ඇමැතිවරයාගේ අදහසයි. මෙය සාධාරණ තර්කයක් ලෙස ඔබ දකින්නේද?

පිළිතුර- මෙවැනි ගැටලූවලට පිළිතුරු දීමට පෙර ඉතිහාසයේ ඉතිහාසය කෙබන්දක්දැයි වටහා දිය යුතුයි. ඉතිහාසය යන අරුත දෙන හිස්ටොරියා (historia) යන වචනය පළමුවරට භාවිතයට පැමිණෙන්නේ ක‍්‍රිස්තු පූර්ව පස්වන සියවසේදියි. ග‍්‍රීක ජාතිකයන් විසින් සම්පාදනය කළ මෙම වචනය ග‍්‍රීක ඉතිහාසඥයෙකු යැයි සලකන හෙරඩෝටස් සහ තවත් අය විසින් භාවිතයට ගෙන තිබෙනවා. වැඩි අතීතයක් නොමැති සිද්ධි ඒවාට සම්බන්ධ වූ පුද්ගලයන් මගින් හෝ ඔවුන් සතු පරම්පරානුයාත මතකයෙන් ආ කරුණු සාක්ෂි සහිතව අධ්‍යයනය කිරීමයි හෙරඩෝටස් ඒ කාලයේ ඉතිහාසය යනුවෙන් සලකන ලද්දේ. මූලාශ‍්‍රකරණය (chronicling) නමින් හැඳින්වෙන මෙම ක‍්‍රමය පු`ඵල් ලෙස භාවිතයට පැමිණියේ පර්සියානු යුද්ධවලින් පසුවයි. යම් යම් කාලවලට අයත් ලේඛන පදනම් කර ගෙන අතීතය අධ්‍යයනය කිරීමේ ක‍්‍රමවේදය දියුණු වන්නේ ඒ ආකාරයටයි. කිසිදු රටක පැරණි කාලයේ ඉතිහාසය රචනා කිරීම යනුවෙන් සුවිශේෂි අරමුණකින් කළ දෙයක් හඳුනා ගන්නට නැහැ. මම මේ සඳහා තවත් නිදසුනක් ඉදිරිපත් කරන්නම්. චීනයේ පාලනය ගෙන ගිය සෞව් රාජ පෙළපත සමයේ (ක‍්‍රිස්තු පූර්ව 771-221) ජීවත් වූ චීනයේ මහා ඉතිහාසඥයා ලෙස පිළිගන්නා සීමා ක්වින් (Sima Qian) ඔහුගේ ෂී ජී (Shi Ji) නම් වූ ඓතිහාසික කෘතිය රචනා කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට චීනයේ පැරණි නටබුන් නැරඹීමට ගිය බව වාර්තා වී තිබෙනවා. එහිදී ඔහු ඒවා සම්බන්ධයෙන් ජනතාව අතර තිබෙන කථා සහ මතකයන් ප‍්‍රයෝජනයට ගත්තා. අතීතයේ සිදු වූ දේ ක‍්‍රමානුකූලව සොයා බලා වාර්තා කිරීමෙන් සමාජයක සදාචාරය වෙත බලපෑමක් ඇති කළ හැකි බවට කොන්ෆියුසියස් දාර්ශනිකයින් විසින් අදහස් කරනු ලැබුවා. මහාවංසය රචනා කිරීමේ අරමුණ වූයේත් සමාජය වෙනුවෙන් වැඩදායී දීර්ඝකාලීන සමාජ-දේශපාලනික ආකෘතියක් නිර්මාණය කිරීමයි. මහාවංසය වූ කලී මෙරට ඉතිහාසය ඉගෙනීමට භාවිත කළ හැකි විශ්වාසදායක මූලාශ‍්‍රය බව පළමුවරට ප‍්‍රකාශ කරන ලද්දේ ජොර්ජ් ටර්නර් විසින් 1833 වසරේදියි. ඔහු මෙරට සේවයට පැමිණි බි‍්‍රතාන්‍ය සිවිල් නිලධාරියෙක්. ’ලංකාවේ ඉතිහාසය පිළිබඳ පරමාදර්ශයක්’ යන අරුත ඇති an epitome of Ceylon history යන හිසින් සිලොන් ඇල්මනැක් ස`ගරාවේ ඔහු විසින් පළ කළ ලිපිය මගින් එය ප‍්‍රකාශයට පත් කරනු ලැබුවා.

අතීතය වාර්තා කිරීමට කිසියම් කර්තෘවරයෙක් විසින් තෝරා ගන්නා තේමාවන් වරණාත්මකයි. මහාවංසය මහානාම හිමියන්ගේ තනි අභිමතය අනුව ලියැවුණු කෘතියක් නොවෙයි. එයට සමකාලීන රාජ්‍ය අනුග‍්‍රහය ලැබුණු අතර සමස්ත මහා විහාරික භික්ෂූන් වහන්සේද ඊට එක`ගතාව පළ කළ අන්දම පෙනෙනවා. තමා මහාවංසය රචනා කරන්නේ ……මහා විහාරවාසීනං වාචන මග්ගං… එනම් මහා විහාරයේ පොදු මතය අනුව බව කියා තිබෙනවා. කෙසේවුවත් මෙම කෘති රචනා වීමට පෙර කලෙක සිට ඉතිහාසය සහ ඉතිහාසය රචනා කිරීමේ සම්ප‍්‍රදාය ගැන බෞද්ධ භික්ෂුන්වහන්සේට පැහැදිලි ස්ථිර දැනුමක් තිබූ බවට සාක්ෂි තිබෙනවා. මම ඒ ගැන ඔබට එක් උදාහරණයක් පෙන්වා දෙන්නම්. මම මේ උපුටා ගැනීම කරන්නේ දීඝනිකායට සැපයූ අට්ඨකථාව වන සුමංගල විලාසිනියෙන්. එහි එක් තැනෙක මෙසේ කියා තිබෙනවා.

……..‘ඉතිහාසපචමාන’න්ති: අථබ්බවේදං චතුත්ථං කත්වා ඉතීහ ආස ඉතීහ ආසාති ඊදිස වචනපටිසංයුත්තතො පුරාණකථා සංඛාතො ඉතිහාසො පංචමො එතෙ සන්ති……

මෙම පාලි භාෂා පාඨයේ සාරාංශ ගත අරුත වන්නේ ‘එය මෙසේ විය මෙසේ වී යැයි සමාන වචන ප‍්‍රතිසංයුක්ත වූ පුරාණ කථා සංඛ්‍යාත වූ දේ නම් ඉතිහාසයයි’ යන්නයි. ඉතිහාසය රචනා කළ පුද්ගලයන් ජීවත් වීමට පෙර කාලයේ සිද්ධි ගොඩ නැගීමට ඉතිහාසඥයාට මූලාශ‍්‍රය වන්නේ පුරාණ කථා බව මෙම නිර්වචනයේ පැහැදිලිව කියා තිබෙනවා. එය හෙරඩෝටස් ආදීන් හිස්ටෝරියා යනුවෙන් නිර්වචනය කළ දේ මිස අනෙකක් නොවෙයි. මෙවැනි පසුබිමක කවුරුන් හෝ මහාවංසය ඉතිහාසයක් නොවේ යැයි පවසන්නේ නම් එය එක්කෝ කරුණු හරි ආකාරයෙන් නොදැන කියන්නක් විය යුතුයි. එසේ නොවේ නම් කරුණු දැන ගත්තද තමා දරණ මතයට ගැළපෙන සේ සත්‍යය වෙනස් කිරීමේ අභිලාෂයෙන් කරන ප‍්‍රකාශයක් විය යුතුයි.

ප‍්‍රශ්නය : මහාවංසයේ සෑම ගාථාවක් අවසානයේදීම තමා බුදුදහමේ කීර්තිය සඳහා එය රචනා කරන බව මහාවංස කතුවරයා විසින් සඳහන් කරනු ලැබ ඇතැයි හිටපු උතුරු පළාත් මහඇමැතිවරයා විසින් සඳහන් කරනවා.

පිළිතුර- මෙය අසත්‍යයක්. මෙහි වලංගුතාව මහාවංසය පරීක්ෂා කිරීමෙන් දත හැකියි. මහාවංසයේ බොහෝ පරිච්ජේද අවසන් වන්නේ සමාජයට සදාචාරත්මක පණිවිඩයක් නිකුත් කරමින් මිස ආගමික ඉගැන්වීම් පතල කරන්නට වෑයම් කරමින් නොවෙයි. අහඹු නියැදියක් ලෙස මම මේ සඳහා මහාවංසයේ තිස්අටවන පරිච්ජේදයේ අවසන් ගාථාවේ අදහස පහත උපුටා දක්වන්නම්.

…..ඉසුරුමත් රාජශ්‍රේෂ්ඨයෝ ඉසුරුත් සමගම මරු මුව උපගතයහ. ඉසුරුමත්හුගේ ද වස්තුයෙහි අනිස බැව් දැක පැණැත්තේ නිවන්ම කැමති වන්නේ ය….

පාරිභෝගිකවාදී ජීවිතයක පවතින නිසරු බව සමාජය පැවසීමට ගන්නා උත්සාහයක් මිස මෙය ආධානග‍්‍රාහී ආගමික ඉගැන්වීමක් යැයි කියන්නේ කෙසේද ඉතිහාසය සමාජ සදාචාරය වර්ධනය කරනු පිණිස යොදා ගත හැකි යැයි කොන්ෆියුසියස් පළ කළ අදහස මේ සමග හොඳින් ගැළපෙන බවයි පෙනෙන්නේ.

ප‍්‍රශ්නය : මහාචාර්ය ඉන්ද්‍රපාලගේ ලේඛනයක් ගැන සඳහන් කරමින් විග්නේශ්වරන් මහතා පූර්ව බෞද්ධ සමයේ සිට ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාව වාසය කළ බව පවසනවා. මහාචාර්ය ඉන්ද්‍රපාල 2005 වසරේ ලියන ලද පොතක එය ඔප්පු කර ඇති බවද ඔහු පවසනවා. මේ පොත කුමක්ද? මහාචාර්ය ඉන්ද්‍රපාල එවැන්නක් එහි කියා තිබේද?

පිළිතුර- මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල මේ රටේ බිහි වූ ඉහළ තලයේ බුද්ධිමතෙක්. ඔහු කලෙක යාපනය විශ්වවිද්‍යාලයේ සේවය කළ කෙනෙක්. දැනට ඔස්ටේ‍්‍රලියාවේ වාසය කරන ඔහු 2005 වසරේදී තරමක මතභේදාත්මක පොතක් පළ කර තිබෙනවා. ‘වාර්ගික අනන්‍යතාවේ පරිණාමය: ක‍්‍රිස්තු පූර්ව 300 පමණ සිට ක‍්‍රිස්තු වර්ෂයෙන් 1200 පමණ තෙක් ශ‍්‍රී ලංකාවේ දෙමළ අය’ යන අදහස දෙන The Evolution of an Ethnic Identity The Tamils in Sri Lanka c. 300 BCE to c. 1200 CE යන ශීර්ෂය ඒ පොතට යොදා තිබෙනවා. මෙම කෘතිය ඉතා ප‍්‍රවේශමෙන් කියවන අයෙකුට මහාචාර්ය ඉන්ද්‍රපාල තමන්ගේ කුශාග‍්‍ර බුද්ධිමත් බව ඉක්මවා යමින් මතවාදී පක්ෂපාතීත්වයක් දෙසට ශාස්තී‍්‍රය කරුණු මෙහෙයවමින් තමන්ගේ කීර්තිය අන්ධකාරයට හෙලා ගන්නා අන්දම හොඳින් පිළිබිඹු වෙනවා. මේ බව පෙන්වා දීමට සෑහෙන නිදසුන් එම කෘතියේ අප‍්‍රමාණව ඇතත් ඉන් එකක් පමණක් පාඨකයන් උදෙසා උපුටා දැක්වීම ප‍්‍රමාණවත් යැයි මම කල්පනා කරනවා. ඔහු සිය කෘතියේ හයවන පරිච්ජේදයේ එනම් 171 වන පිටුවේ අමුතු ආකාරයේ අදහසක් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී ඔහු කියන්නෙ හෙල භාෂාව එක්තරා අවධියකදී දෙමළ භාෂාව මගින් ඇති කළ පීඩනයකට හසුව පැවති බවයි.

‘….Hela language appears to have been under notable pressure from Tamil….

මෙය සාවද්‍ය ප‍්‍රකාශයක්. ඔහු මෙම සාවද්‍ය අදහස ඉදිරි කිරීමට යොදා ගන්නේ පීටර් සිල්වා නමැති වාග්විද්‍යාඥයා විසින් කළ කෘතියක් බව පාදක සටහනක් යොදා පෙන්නුම් කර තිබෙනවා. එහෙත් ඔහු ආශි‍්‍රත ග‍්‍රන්ථ නාමාවලියේ ඒ කෘතිය කුමක්දැයි සඳහන් කර නැහැ. ඇත්තෙන්ම ඒ කෘතිය වන්නේ 1961 වර්ෂයේදී පීටර් සිල්වා විසින් එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ආචාර්ය උපාධි නිබන්ධයයි. එහි ශීර්ෂය වුණේ ‘සිංහල භාෂාවට ද්‍රවිඩ භාෂාවේ බලපෑම’(Influence of Dravida on Sinhalese) යන්නයි. එය අප‍්‍රකාශිත නිබන්ධයක්. එහි පෙන්වා දී තිබෙන්නේ ද්‍රවිඩ භාෂාවෙන් සිංහල භාෂාවට තද්භව සහ තත්සම වූ වචන ගැන මිස සිංහල භාෂාව දෙමළ භාෂාව නිසා පීඩනයකට හසු වූ බව නොවෙයි. අනෙක් අතට පීටර් සිල්වා එහිදී නගන තර්ක ශාස්තී‍්‍රය වශයෙන් ප‍්‍රාමාණික බව පෙනෙන්නේ නැහැ. කි‍්‍රස්තු වර්ෂයේ ආරම්භයේ පටන් ගත වූ සියවස් 10 ක කාලපරිච්ජේදය තුළ මේ රටේ සන්නිවේදන භාෂාව වූයේ දෙමළ භාෂාව බව ඔහු කියා ඇති කරුණ සත්‍යයක් විය නොහැක්කේ ඒ කාලය තුළ මෙරට රචනා වූ සෙල්ලිපිවල භාෂාව සිංහල භාෂාවේ පරිණාමීය අවස්ථාවක් නිරූපණය කර තිබීම නිසයි. ඒ කාලය තුළ මෙරට සෙල්ලිපිවල ද්‍රවිඩ ඌරුවක් ඇති වචන කිහිපයක් පමණක් දකින්නට තිබෙනවා. එය සිංහල භාෂාව දෙමළ භාෂාව නිසා පීඩනයකට හසුව පැවති කීමට තරම් ප‍්‍රමාණවත් සාක්ෂියක් නොවේ. එය එසේ වේ නම් සිංහල භාෂාව 1505 වසරෙන් පසු පෘතුගීසී, ලන්දේසි සහ ඉංග‍්‍රිසී භාෂාවල මගින් ඇති කළ පීඩනයකටත් හසු විය යුතුව තිබුණා. සදොස් අදහස් මත පිහිටා නගන තර්ක ඊටත් වඩා සදොස් වීම නොවැළැක්විය හැකියි.

ක‍්‍රිස්තු පූර්ව තෙවන සියවසේ රචනා කළ මෙරට සෙල්ලිපිවල දමෙඩ යන වචනය යොදා තිබෙනවා. එය දෙමළ යන වචනයේ සිංහල ප‍්‍රාකෘත ස්වරූපයයි. ඉතා පුරාණ කාලයක සිට දකුණු ඉන්දියාවෙන් මෙරටට දෙමළ ජනයා පැමිණීම සත්‍යයක්. ඒ ප‍්‍රධාන වශයෙන් වෙළෙඳ කටයුතු සඳහායි. අයෝනියන් සම්භවයක් ඇති පිරිස් කාම්බෝජ පිරිස් යන අයත් එවක අනුරාධපුරය සහ එහි අවට වාසය කළ බව සෙල්ලිපිවලින් පෙන්නුම් කර තිබෙනවා. ඉන්දීය සාගරයේ වෙළෙඳ කටයුතුවල උපායමාර්ගික තැනක පිහිටි ශ‍්‍රී ලංකාව වැනි රටකට එවැනි පිරිස් පැමිණිම මවිතයට හේතු වන කරුණක් විය නොහැකියි. සේන ගුත්තික ආදි දෙමළ වෙළෙඳුන් මෙරට දේශපාලන බලයට බලපෑම් කිරීමේ හේතුව වෙළඳාමේ ආධිපත්‍යය ලබා ගැනීමයි.

ප‍්‍රශ්නය : මේ රටේ දෙමළ සිංහල යනුවෙන් භේදයක් නොමැති බව නූතන ඞී. එන්. ඒ. පරීක්ෂණ මගින් පවා හෙළිදරව් වී ඇති බව හිටපු මහ ඇමැතිවරයා පෙන්වා දෙනවා. ඒ පර්යේෂණ මොනවාද?

පිළිතුර- ඇත්තෙන්ම මේ ප‍්‍රශ්නය ඔබ ඇසිය යුත්තේ කවරෙකු හෝ එසේ කියා ඇත්නම් ඒ පුද්ගලයාගෙනුයි. ජීව විද්‍යාත්මක ලක්ෂණ පදනම් කර ගැනීමෙන් වාර්ගික අනන්‍යතා තීරණය කිරීමේ අදහස ඇති වුණේ විසිවන සියවසේ මුල් භාගයේදියි. මෙම ක‍්‍රමය දියුණු කිරීමට පුරෝගාමී වුණේ ෆ‍්‍රැන්සිස් ගැල්ටන් නම් විද්‍යාඥයායි. මුහුණේ තිබෙන ලක්ෂණ මැනීමෙන් ලබා ගන්නා දත්ත සංඛ්‍යාන විශ්ලේෂණකට ලක් කර වාර්ගික වෙනස්කම් ප‍්‍රතිනිර්මාණය කිරීම එම ක‍්‍රමයේ පදනමයි. නමුත් එම ක‍්‍රමයේ තිබෙන ඇතැම් ගැටලූ නිසා ඊටත් වඩා විද්‍යාත්මක ක‍්‍රම වෙත යොමු වීමට විද්‍යාඥයන් පසුකාලීනව කටයුතු කර තිබෙනවා. මගේ දැනුමේ හැටියට නම් ජනගහන ඉතිහාසය ප‍්‍රතිනිර්මාණය කිරීම සඳහා ජාන විශ්ලේෂණ ක‍්‍රමය යොදා ගැනීම මෑතකාලවල ප‍්‍රචලිත වී තිබෙනවා. විශේෂයෙන්ම වයි (Y) ක්‍රොමෝසෝම සහ මයිටොකොන්ඩි‍්‍රයල් ඞී. එන්. ඒ විශ්ලේෂණ ක‍්‍රමවේද එහිදී යොදා ගන්නවා. එසේ වුවත් වාර්ගික වෙනස්කම් තීරණය කිරීමට මානව ජීවවිද්‍යාව සහ ජෛව මානව විද්‍යාව තුළ එම ක‍්‍රමය යොදා ගැනීමේ ඇති හැකියාව ගැන නොයෙකුත් විවාද තිබෙනවා. විශේෂයෙන්ම ‘අන්තර්වාර්ගික ජාන වෙනස්කම්’ යන සංකල්පය පවා අර්ථසම්පන්න දැයි සංවාදයක් හට ගෙන තිබෙන බව අමතක කළ යුතු නැහැ.

මෙහිදී මා කිව යුත්තේ වාර්ගික අදහස් ප‍්‍රචලිත කිරීමට ඥානය යොදා නොගත යුතු බවයි. ඒ ඒ කණ්ඩායම්වලට තමන් උපතින් හිමි කර ගත් සංස්කෘතික ජීවිතය භුක්ති වි`දීමට පූර්ණ අවකාශය ලබා දිය යුතුයි. එහිදී කථා කරන භාෂාව හෝ අදහන ආගම ඒ නිදහස ලබා දීමට ගැටලූවක් විය නොහැකියි. එවැනි සංස්කෘතික විවිධතාවක් ඇති කිරීමට බලපාන්නේ මිනිසුන් ජීවත්වන ස්වභාවික පරිසරයයි. සිංහල සහ දෙමළ භාෂා කථා කරන පිරිස් මෙරට ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ සුහදව ජීවත් වූ බවට සාක්ෂි පෙන්වා දිය හැකියි. ඒ සුහදතාවට යම් බාධාවක් වූයේ නම් එය එසේ වූවේ දේශපාලන අරමුණු පෙරට පැමිණෙිමෙන් පසුවයි. එවැනි අරමුණු ඇති පිරිස් මිනිසුන්ගේ ඞී. එන්. ඒ පවා යොදා ගන්නේ ෆෙඩරල් රාජ්‍ය තැනීමට බවයි පෙනෙන්නේ.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More