ලංකාව අදටත් කෘෂිකාර්මික රටකි. එහෙත් ගොවියා සේම කුඩා හා මධ්‍ය පරිමාණ හාල් හා හාල් පිටි මෝල් හිමියන් ද සිටින්නේ දහ දුකේය. ඒ සියලු දෙනාගේ කඳුළු පිසදමා ඔවුන් වැටී සිටින වළෙන් ගොඩගෙන වී නිෂ්පාදනයෙන් රටේ ආර්ථිකය ගොඩ ගැනීමට කළ යුතු හා නොකළ යුතු දෑ පිළිබඳව අද රටට කරුණු කියන්නේ හෙල්දි ෆ්ලා කර්මාන්තායතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අරුණ කාන්ත බණ්ඩාර මහතාය. හෙතෙම ඒ පිළිබඳව කතා කරන්නේ සුවිශේෂ අත්දැකීම් සම්භාරයක් මතිනි. මතු දැක්වෙන්නේ ඔහුගේ හඬයි.
තිස් අවුරුදු යුද්ධය නිම වූ පසුව රටේ පැන නැඟුණු ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ උතුරු නැගෙනහිර පළාත් රටේ අනෙක් පළාත් සේම කෘෂි නිෂ්පාදනයට ප්‍රවේශ වීමය. රටේ සමස්ත වී නිෂ්පාදනයෙන් සියයට පනහකට වැඩි ප්‍රමාණයක් ඒ පළාත් දෙකෙන් ලැබෙන බවට මහ බැංකුව ගණනය කර තිබිණි. වී නිෂ්පාදනය එතරම් ඉහළ ගියොත් කරන්නේ කුමක්දැයි ඒ දිනවල සාකච්ඡාවට බදුන් විය. එකල ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍යන්තර සංවිධායකවරයා ලෙස කටයුතු කළේ මාය. කෘෂිකර්ම අමාත්‍යාංශය කෙටි කාලයක් පැවැතියේ ජවිපෙ යටතේය. මේ විෂයය ගැන එකල කළ සාකච්ඡාවලට මම ද සම්බන්ධ වූයෙමි. 2007 අග භාගයේදී මම ජවිපෙ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූයෙමි. දැවැන්ත වී නිෂ්පාදනයක් ජාතික ආර්ථිකයට එකතු වන බව ඒ යුගයේ නැවත නැවත සාකච්ඡාවට බදුන් විය.
දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය හා මව්බිම ලංකා පදනම සමග එකල මම විවිධ සාකච්ඡාවලට සහභාගි වූයෙමි. ඒ සාකච්ඡාවලදී මා ඔවුන්ට පෙන්වා දුන්නේ අතිරික්ත වී නිෂ්පාදනය වී හෝ හාල් ලෙස අපට අපනයනය කළ නොහැකි බවය. අපනයනයට සුදුසු මට්ටමට අපේ වී අදටත් නිෂ්පාදනය නොවෙයි. අවුරුද්දකට රුපියල් මිලියන 40,000ක පාන් පිටි ගෙන්වන බව ඒ සාකච්ඡාවලදී මම පෙන්වා දුන්නෙමි. පාන් පිටි වෙනුවට හාල් පිටි පරිභෝජනය ඉහළ නැංවුවහොත් වී නිෂ්පාදනය ඉහළ යාමෙන් ඇතිවන ප්‍රශ්නය රට ඇතුළේදීම විසඳාගත හැකි බව ඒ සාකච්ඡාවලදී මම පෙන්වා දුන්නෙමි. වෙනත් වෙළෙඳ පොළක් සෙවීමට අවශ්‍ය නැති බව ද මම කීවෙමි. එමගින් වී ගොවීන්ගේ හා හාල් කර්මාන්තකරුවන්ගේ ආදායමත් ඉහළ ගොස් පාන් පිටි ආනයනය පහළ යාමෙන් රටේ විදේශ විනිමය ද ඉතිරි වන බව ඒ සාකච්ඡාවලදී මම පෙන්වා දුන්නෙමි. මව්බිම ලංකා පදනම මගේ ඒ තොරතුරු ලබාගෙන මහා පරිමාණ හාල්පිටි කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට නොයෙක් පුද්ගලයන් හා සමාගම් සමඟ සාකච්ඡා කළත් ඒ සියලු උත්සාහයන් ව්‍යර්ථ විය.
අවසානයේදී මව්බිම ලංකා පදනමේ නියමුවා වන ආරියශීල වික්‍රමනායක මහතා මෙය මට කළ නොහැකි දැයි විමසුවේය. මම කොත්මලෙන් පැමිණි ගැමියකු නිසා එවැන්නක් කිරීමට තරම් ධනයක් මට නොතිබිණි. නව සොයා ගැනීම් මත ඇති කරන ව්‍යාපාර සඳහා ණය දෙන ක්‍රමයක් එකල මහ බැංකුවෙන් ආරම්භ කර තිබිණි. එහි පළමු ව්‍යාපෘතිය ලෙස හාල් පිටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මහ බැංකුවෙන් මට 2010 දී රුපියල් කෝටි හතරක ණයක් දුන්නේය.
ඒ වන විට ලෝකයේ කිසිම රටක් පාන්පිටි වලින් කරන සියලු නිෂ්පාදන කළ හැකි ලෙස හාල් පිටි නිපදවන යන්ත්‍ර නිෂ්පාදනය කළේ නැත. හාල් පිටි කොටන යන්ත්‍ර ලෝකයේ ඕනෑ තරම් තිබේ. මගේ ඉලක්කය ජය ගැනීමට හාල් පිටි කොටන යන්ත්‍රවලින් නොහැකිය. හාල්පිටි කොටන යන්ත්‍රවලින් කොටන හාල් පිටිවලින් පාන් බනිස් කේක් යනාදිය නිෂ්පාදනය කළ නොහැකිය. ඒවා නිපදවීමට හාල් පිටි කෙටිය යුත්තේ සාමාන්‍ය ක්‍රමවේදයකට නිපද වූ යන්ත්‍රයකින් නොවේ. ඒ යන්ත්‍රවල තාක්ෂණයෙහි වෙනසක් තිබේ. තාක්ෂණය පිළිබඳව මට තිබෙන දැනුම මත මම රටවල් කීපයකට ගොස් ඒ ගැන හදාරා අවසානයේ චීන සමාගමකින් මට අවශ්‍ය ආකාරයකට යන්ත්‍රය නිපදවා ගතිමි. චීනයෙන් ඒ යන්ත්‍රය ගෙනා පසු මම මගේ කටයුත්ත ආරම්භ කළෙමි.
බිස්කට් නිපදවන සමාගම් සේම බේකරි ද අපේ ඒ හාල්පිටි මහා පරිමාණයෙන් මිලදී ගත්තේය. එකල සෑම බිස්කට් සමාගමකටම මාසෙකට හාල් පිටි ටොන් 200කට වැඩි ප්‍රමාණයක් සැපයූවෙමි. එකල ප්‍රධාන බිස්කට් සමාගම් දහයකට මම හාල් පිටි සැපයූවෙමි. එකල රටේ හැමතැනම හාල් පිටි ආශ්‍රිත නිෂ්පාදනවල ප්‍රබෝධයක් ද ඇති විය. සාමාන්‍ය පාන්වලටත් සියයට 30ක් පමණ හාල් පිටි මිශ්‍ර කෙරිණි. එකල චූන් පාන් රථවල තිබුණේ හාල් පිටිවලින් නිෂ්පාදනය කළ ඉඳි ආප්ප, පිට්ටු, හැලප හා වණ්ඩු ආප්ප යනාදියයි. එසේම එකල ප්‍රධාන නගරවල හාල්පිටිවලින් කළ නිෂ්පාදන අලෙවි කළ ජංගම රථ ද තිබිණි. සවස් කාලයේ එවැනි රථ සුලබ විය. පාන්පිටිවලින්ම නිපද වූ පාන් අලෙවිය පහළ බැස්සේය. මගේ ආරම්භය මත හාල් පිටි කර්මාන්ත ශාලා රාශියක් එකල බිහිවිය. හාල්පිටි ආශ්‍රිත නිෂ්පාදන විකුණන පුද්ගලයන් දස දහස් ගණනක් බිහි විය. හාල් පිටිවලින් මුරුක්කු ද නිපදවන තත්ත්වයක් ඇති විය. ඇත්තෙන්ම එකල ආරම්භ වූ හාල් පිටි කම්හල් සංඛ්‍යාව 300කට අධික බවට සංඛ්‍යා ලේඛන තිබේ.
2019 අගෝස්තු මාසයේදී අපි සියයට සියයක් හාල් පිටිවලින්ම පාන්, බනිස්, කේක් නිෂ්පාදනය කළෙමු. 2019 අගෝස්තු මාසයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති රටේ ප්‍රධානතම ආහාර ප්‍රදර්ශනයේදී හාල් පිටි පාන්වලට ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය. එදා ඉහළ අලෙවියක් ද සිදුවිය. අප නිපද වූ හාල් පිටිවලින් සැන්විච්, පැස්ටා, කොත්තු, කැරමල් පුඩින් සේම කෝන්ෆ්ලෙක්ස් ද නිෂ්පාදනය කළ හැකිය. මා කළේ කොඩිය ඔසවා ගෙන සිටීම පමණකි. ඒ කොඩිය වටේ විශාල පිරිසක් එකතු වූහ. ඒ නිසා නව ව්‍යාපාරිකයන් සේම කර්මාන්තකරුවෝ ද බිහි වූහ. පාන් පිටි ආනයනය සඳහා විදේශ විනිමය රටෙන් පිටව යාම අවම විය. රටේ ජනතාවගේ ආහාර රටා ද වෙනස් විය. රයිස් මාරි, ලයිට් මාරි, රයිසි නූල්ඞ්ස්, රයිස් කුකීස් වැනි නව ආහාර වර්ග රැසක් එකල එනම් 2012-2013 කාලයේ වෙළෙඳ පොළට එකතු විය. එකල ඇතැම් බිස්කට්වල සියයට 80ක්ම තිබුණේ හාල් පිටිය.
එකල පැවැති ආණ්ඩුව හාල් පිටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තශාලාවලට අනුග්‍රහය දැක්වුව ද මහ බැංකුවේදී හා කර්මාන්ත අමාත්‍යාංශයේදී වරින්වර පැවැති සාකච්ඡාවලදී පොරොන්දු වූ පරිදි පාන් පිටි ආනයනය සඳහා කිලෝවකට රුපියල් 20කට වැඩි බද්දක් පැනවූයේ නැත. ඒ පොරොන්දුව හා ප්‍රතිපත්තිය ඒ ආණ්ඩුවේ සෑම අය වැයකින්ම එළිදැක්විණි. එහෙත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළේ නැත. ඊට බලපෑවේ පාන් පිටි ආනයනය කරන සමාගම්වල පදයට නැටූ දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ බලපෑම්ය. ඒ ආණ්ඩුව 2015 දී බලයෙන් පහවන තුරුම ඒ පොරොන්දුව ඉටු කළේ නැත. එකල පැවැතියේ පාන්පිටි කිලෝවකට රුපියල් දහයත් පහළොවත් අතර වරින්වර වෙනස් වූ බද්දකි. ආණ්ඩුවේ ඒ ප්‍රතිපත්තිය නිසා අපට පාඩු විය. හාල්පිටිවලට ඉහළ ඉල්ලුමක් තිබුණත් අපට අවශ්‍ය මිලට හාල් පිටි විකිණීමට නොහැකි විය. පාන් පිටි මිල අඩු නිසා අපේ හාල් පිටිවල මිල ඉහළ දැමීමට නොහැකි විය. ගංවතුර හා නියඟය නිසා හාල් මිල ඉහළ ගිය නිසා එකල අපට හාල් මිලදී ගැනීමට සිදුවූයේ ඉහළ මිලකටය. 2014 පැවැති දැවැන්ත නියඟය නිසා කන්න දෙකේම වී නිෂ්පාදනයක් සිදුනොවිණි. අපේ කර්මාන්තයට එය ඍජුව බලපෑවේය. එහෙත් අපි ආයතනය පවත්වාගෙන ගියෙමු. ඒ ලාබ පිට නොව පාඩු මැදය.
2015 දී යහපාලන ආණ්ඩුව බලයට පත් වී සති දෙකකින් දින 100 අය වැයෙන් පාන් පිටි ආනයනය සඳහා එතෙක් පැවැති බද්ද ද සියයට සියයක්ම ඉවත් කළේය. පසුකාලයක කිලෝවකට රුපියල් 6ක බද්දක් පැන විණි. යහපාලන ආණ්ඩුවේ ඒ ප්‍රතිපත්තිය නිසා හාල් පරිභෝජනය තුනෙන් එකකින්ම පහළ වැටිණි. 2013 දී ටොන් ලක්ෂ අටකට අඩු වී තිබුණු පාන් පිටි ආනයනය යළි ටොන් ලක්ෂ 17ක් දක්වා ඉහළ ගියේ යහපාලන ආණ්ඩුවේ ඒ ප්‍රතිපත්තිය නිසාය. පාන් පිටි කිලෝවක මිල හාල් පිටි කිලෝවකට වඩා රුපියල් 25කින් පහළ ගියේය. ඒ නිසා හාල් මෝල්වලට සම්පූර්ණයෙන්ම පාඩු සිදුවිය. වෙළෙඳ පොළෙන් හාල් ටොන් ලක්ෂ 10 ක් පමණ ඉවත් විය. යහපාලනය පැමිණෙන විට වෙළෙඳ පොළට පැමිණි හාල් ටොන් ප්‍රමාණය ලක්ෂ 30කි. එහෙත් පාන් පිටි ආනයන බදු ඉවත් කිරීම නිසා එය ටොන් 20 දක්වා පහළ වැටිණි. ඒ හිඩැස පිරවුණේ පාන් පිටිවලිනි. වී නිෂ්පාදනය උපරිමයෙන් ඉහළ ගියත් හාල් අලෙවිය අඩුවිය. ඒ නිසා රජයේ ගබඩාවල තිබූ වී, සත්ව ආහාරවලට දීමට ද ආණ්ඩුවට සිදුවිය. සියල්ල එසේ වූයේ යහපාලන ආණ්ඩුවේ වැරැදි ප්‍රතිපත්තිවල මහිමයෙනි. මගේ දැක්ම හා මතය අනුව පැවැති යහපාලන ආණ්ඩුව මෙරට කෘෂි ආර්ථිකය විනාශ කිරීම සඳහාම බිහි වූ ආණ්ඩුවකි.
වී නිෂ්පාදනය වැඩි බව කියමින් වී වගාව අඩු කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළේය. 2016 යල් කන්නයේදී වී නිෂ්පාදනය අඩු කළ යුතු බවට රජය ප්‍රතිපත්ති තීන්දුවක් ගත්තේය. කෘෂිකර්ම අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ “වී වගාව අත්හැරීම” යන සිරස්තරය යටතේ දැක්වුණේ වී වගාවට වතුර නොදෙන බවය. මහවැලි එච් කලාපයේ කලාවැව යටතේ වගා කිරීමට වතුර නොදුන්නේය. එය භයානක බවට මම පුවත්පත්වලට ලිපි ද ලියූවෙමි. තායිලන්තය වැනි රටවල් නියඟ කාලවලදී කෘතිම වැසි පවා ඇතිකර වී වගා කරයි. එවැනි තත්ත්වයක් මත වී වගාව සීමා නොකළ යුතු බවත් රජයේ ප්‍රතිපත්තිය නිසා රටින් හාල් ගෙන්වීමට සිදුවිය හැකි බවත් ඇතැම් විට එසේ ගෙන්වීමට හාල් නොතිබෙන්නට පුළුවන් බවත් මම එකල බලධාරීන්ට ලිඛිතවම පෙන්වා දුන්නෙමි. කිව්වා සේම 2017 මහ කන්නය ආරම්භ කිරීමට වැස්ස පමාවීම නිසා ගොවිතැන් කිරීමට නොහැකිව 2018 දී හාල් රටින් ගෙන්වීමට යහපාලන ආණ්ඩුවට සිදු විය. ඒ නිසා හාල් කර්මාන්ත ශාලා යළිත් බංකොලොත් විය. ඒ ඇතැම් හාල් මෝල් හිමියෝ සියදිවි නසා ගත්හ. ඇතැම් අය හෘදයාබාධවලින් මිය ගියහ. ඇතැම් අයගේ ගෙවල් දොරවල් බැංකුවලට සින්න වී ඔවුහු මහ පාරට ඇද වැටුණහ.
රටේ පුරවැසියන්ට එවැනි ඛේදජනක ඉරණමක් අත්වූයේ යහපාලන ආණ්ඩුවේ විනාශකාරී ප්‍රතිපත්ති නිසාය. ඒ ආණ්ඩුව පාන්පිටි ආනයන බදු ඉවත් කළේ වී ගොවියාත් හාල්පිටි කම්හල් හිමියනුත් හාල්පිටි ආශ්‍රිත නිෂ්පාදන කළ කර්මාන්තකරුවනුත් ඒවා අලෙවි කළ ව්‍යාපාරිකයනුත් නැති භංග කිරීමටය. එය එලෙසම සිදුවිය. 2016 වෙද්දී මගේ කර්මාන්තශාලාව ද වැසී ගියේය. ඒ පවත්වාගෙන යාමට නොහැකි නිසාය. එකල වැඩියෙන් විකිණුනේ පාන්පිටි මිස හාල් පිටි නොවේ. මගේ කම්හල වැසී ගියේ එබැවිනි. බිස්කට් සමාගම් හාල්පිටිවලින් කළ ඇතැම් නිෂ්පාදන සියයට 100ක්ම නවතා දමා තිබෙන අතර ඇතැම් නිෂ්පාදන අවම කර තිබේ. මා දැනට කර්මාන්තශාලාව පවත්වාගෙන යන්නේ පොල්පිටි නිෂ්පාදනය කිරීමෙනි. තිරිඟු පිටිවලින් නිපදවන ඕනෑම ආහාර වර්ගයක් නිපදවීමට සුදුසු හාල් පිටි නිපදවීමට ආරම්භ කළ කර්මාන්තශාලාවේ දැන් නිපදවන්නේ පොල් පිටිය. ඒ ගෞරවය හිමිවන්නේ යහපාලන ආණ්ඩුවටය.
හාල් හා හාල්පිටි කර්මාන්ත ශාලා නිසා 2013 දී රටින් පිටට නොගොස් රටෙහි ඉතිරි වූ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 180 කි. එය එසේ කිරීමට හැකි වූයේ තිරිඟු පිටි ආනයනය ටොන් ලක්ෂ 16 සිට ලක්ෂ 8 දක්වා අඩුකිරීම හේතුවෙනි. 2013 වන විට තිබූ තත්ත්වයට රට ගෙන යාමට නම් තිරිඟු පිටි කිලෝවකට රුපියල් 30ක ආනයන බද්දක් පැනවිය යුතුය. එමගින් තිරිඟු පිටි ආනයනය ටොන් ලක්ෂ 16 සිට 8 දක්වා අඩුකරගත හැකිය. එමගින් මහා භාණ්ඩාගාරයට ඉතිරිවන මුදල රුපියල් මිලියන 24,000 කි. තිරිඟු පිටි ආනයන බද්ද එසේ වැඩි කළහොත් හාල් පරිභෝජනය වසරකට ටොන් මිලියනයකින් ඉහළ යයි. එසේම ඒකපුද්ගල හාල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 150 දක්වා ඉහළ යයි. පාන්පිටි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 58 සිට 30 දක්වා පහත වැටෙයි. ලෝකයේ වී නිපදවන කිසිම රටක් එක පුද්ගලයකුට අවුරුද්දකට පාන් පිටි කිලෝ 22කට වඩා පරිභෝජනය කිරීමට ඉඩ දෙන්නේ නැත. මෙරට හාල් පරිභෝජනය එසේ ඉහළ ගියහොත් වී නිෂ්පාදනය කරන දසලක්ෂයක් වන වී ගොවි පවුල්වලින් එක පවුලක ආදායම රුපියල් 20,000කින් ඉහළ යයි. දිනකට හාල් ටොන් හයක් නිපදවන මෝල් හිමියකුගේ ආදායම මසකට රුපියල් 150,000 කින් ඉහළ යයි.
වැඩි කළ වතු කම්කරු වැටුප ගෙවීමට සැරසෙන්නේ මහා භාණ්ඩාගාරයේ මුදල්වලින් නම් කළ යුත්තේ මුදල් දෙනවාට වඩා ලියාපදිංචි වතු කම්කරු පවුලකට මසකට හාල් මිටියක් (කිලෝ 50ක්) ලබා දීමය. එය ස.තො.ස හා සමුපකාර හරහා පහසුවෙන් කළ හැකිය. හාල් පරිභෝජනය එසේ ඉහළ දැමුවහොත් වී ගොවියාත්, හාල් මෝල් හිමියෝ හාල් පිටි කර්මාන්ත ශාලා හිමියෝත් යළි ජීවනය ලබන්නෝය. හාල්පිටි ආශ්‍රිත නිෂ්පාදන වෙළෙඳ පොළට ද ඔක්සිජන් ලැබෙන්නේය. ඒ සියල්ල සිදුවන්නේ ආණ්ඩුවේ එක ප්‍රතිපත්ති තීන්දුවකිනි. එනම් පාන්පිටි කිලෝවකට රුපියල් 50ක ආනයන බද්දක් පැනවීමෙනි.
සාකච්ඡා සටහන – ගුණසිංහ හේරත්
Lankadeepa
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Aruna Keerthi Bandara phoned me several times in 2016 to come and work with maithripala government