ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරණයට පෙර ජනතාවට ඉදිරිපත් කළ ” රට හදන සෞභාග්‍යයේ දැක්ම ” නම් වු ප්‍රතිපත්ති ප්‍රකාශයේ නව වැනි පිටුවේ ” ජාතික සමඟියට මගකියන ප්‍රජාතන්ත්‍රවාදි පාලනයක් ” නම් වූ උප ශීර්ෂය යටතේ මෙසේ සඳහන් වේ.
” අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ සමාජයේ ඇත්තේ ප්‍රභල විවේචනයකි. එම අඩුපාඩු දුරු කිරීමට ගෙනා 19 වැනි සංශෝධනයෙන් සිදුවූයේ ප්‍රශ්ණ නැති කිරිමට ගොස් නැති ප්‍රශ්ණ ඇති කිරිමකි. එබැවින් ලෝක බලවතුන්ගේ සහ රාජ්‍ය නොවන සංවිධාන වල අභිලාෂයන් වෙනුවට ජනතාවගේ අභිලාෂයන් මත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දිමට අපි කටයුතු කරන්නෙමු. මහජනතාවගේ මෙන්ම විවිධ දේශපාලන සහ බහුජන සංවිධානවල යෝජනා ලබා ගෙන නව ව්‍යවස්ථාව බිහිකිරිම සඳහා පාර්ලිමෙන්තුවේ සියළුම පක්ෂ නියෝජනය කරන තේරීම් කාරක සභාවක් පත්කිරීමට කටයුතු යොදනු ලැබේ. ”
එම ප්‍රකාශයේ අවසන් වාක්‍යයට අනුව පසු ගිය වසර 25 ක කාලය තුල බෙදුම්වාදීන්ට උවමනා ආකාරයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා කැසකැවු පක්ෂ නියෝජනය වන තේරීම් කාරකසභාවක් පත් කළහොත් ජනවරමට පටහැනි ව්‍යවස්ථා කෙටුම්පතක් එළිදැක්වෙන බව තේරුම් ගැනිමට මහා දේශපාලන ඥාණයක් අවශ්‍ය නොවේ. නව ව්‍යවස්ථාව ඉදිරිපත් කරන්නේ පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව නම් ව්‍යවස්ථා කෙටුම්පත සකස්කිරීම ආණ්ඩුවේ හෙවත් විධායකයේ වගකිමකි. පාර්ලිමෙන්තුවට කළහැක්කේ එය සංශෝධනය කිරීම හෝ පිළිගැනිම හෝ ප්‍රතික්ෂේප කිරිම පමණි. මුල්කෙටුම්පත හා සංශෝධන කුමක් වුවත් අවසානයේදි ජනතාවගේ අනුමැතිය අවශ්‍ය වේ. එසේ වුවත් ව්‍යවස්ථා රාමුවක් හෙවත් මහජනයාට සංවේදි ප්‍රතිපාදන පිළිබඳ ආණ්ඩුවේ මතය මහජනයාට ඉදිරිපත් කොට සංවාදයකට ලක් කිරිමට සහ පුර්ව අනුමැතියක් ලබාගැනිමට ඉදිරි පාර්ලිමෙන්තු මැතිවරණය අවස්ථාවක් බවට පත් කර ගත හැකිය. ආණ්ඩුවට එවැනි අවංක උවමනාවක් තිබේනම් මහජන අවිශ්වාසයට ලක් වී ඇති බෙදුම්වාදී මතවාද වලින් ඔළුව කුරුවල් කරගත් විද්වතුන් ලෙස පෙනී සිටින එන්.ජී.ඕ කාරයින් නියෝජනය නොවන ස්වාධීන මහජන කොමිෂමක් පත් කොට මහජන අදහස් ලබා ගැනීමේ හැකියාව ඇත. නමුත් එසේ කළ හැක්කේ උගුරට හොරා බෙහෙත් බීමට උත්සහ නොකර තමා කරන්නේ කුමක් දැයි මහජනයාට කෙළින් කථා කිරීමට ආණ්ඩුවට ධෛර්ය තිබේනම් පමණි. ආණ්ඩුවට කෙසේ වෙතත් ජනාධිපතිතුමාට ඒ සඳහා ධෛර්ය තිබෙන බවට ජනතාවට නම් කිසිඳු සැකයක් නැත.
කෙසේ වෙතත් ව්‍යවස්ථාවට අදාළව ජනාධිපතිතුමාගේ රාජාසන කථාවේදී ප්‍රකාශ වූයේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට වඩා බෙහෙවින් වෙනස් මතයක් බව පැහැදිළිව පෙනේ. එහිදී එතුමා සඳහන් කරන්නේ ” අපේ රටේ සුරක්ෂිතතාව, ස්වෛරීභාවය, ස්ථාවරභාවය සහ ඒකීය භාවය ආරක්ෂා කිරිමට නම් දැනට පවතින ව්‍යවස්ථාවේ යම් වෙනස් කම් සිදුවිය යුතුමයි. ” යනුවෙනි. ඊට පෙරද එතුමා විසින් 19 වැනි සංශෝධනය නැවත සංශෝධනය කළ යුතු බව ප්‍රකාශකොට තිබුණි. ඒ අතර 19 වැනි සංශෝධනයට අවිධිමත්ව පාර්ලිමේන්තුවේ කාරකසභා අවස්ථාවේදී කෑලි එකතුකොට මහා ව්‍යවස්ථා ව්‍යාකූලකත්වයක් නිර්මාණය කළ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා තමා විසින් නිර්මාණය කළ වැරදි නිවැරදි කිරීම සඳහා ව්‍යවස්ථා කෙටුම්පත් දෙකක් සකස් කොට ඇත. මීට පෙර 19 වැනි සංශෝධනය ගෙන ඒමේදී මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සඳහා 20 වැනි සංශෝධනය යනුවෙන් කැරට් අලයක් ලෙස හැඳින්විය හැකි තවත් සංශෝධනයක් ඉදිරිපත් කරනු ලැබිය. ඒ අනුව මෙවරද සංශෝධන දෙකක් වෙන්වශයෙන් එක්වරම ඉදිරිපත් කිරීම යනු අහම්බයක් විය නොහැක. ඒ අනුව ජනාධිපතිතුමාගේ රාජාසන කථාව මඟින් සිදුකළ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වලට අදාළ ප්‍රතිපත්තිමය හැරවුමට හේතුවූ සාධක කුමක්දැයි මහජන සංවාදයක් ඇතිකිරිම රටේ දේශපාලන සෞඛ්‍යයට හිතකර වනු ඇත.
විශේෂයෙන්ම බෙදුම්වාදී එන්.ජී.ඕ බලඇණියද ප්‍රතිපත්තිමය හැරවුමක් වෙනුවෙන් පෙනීසිටින නිසා එවැනි සංවාදයක් වඩාත් වැදගත් වනු ඇත. ජනාධිපතිවරණයට පෙර ” ද අයිස්ලන්ඩ් ” පුවත්පතට නිතර ලිපි ලියන ප්‍රභල රාජ්‍ය නොවන සංවිධාන නායකයෙකු හෙවත් මත හදන්නෙකු වන ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා තම ලිපියක සඳහන් කරන්නේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය විසඳීම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව සහ ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් ප්‍රමාණවත් වන බවය. ඊට පෙර ඔහු ඇතුළු බෙදුම්වාදි ව්‍යවස්ථා සංශෝධන ඉල්ලිම් වෙනුවෙන් පෙනි සිටි පිරිස් උස් හඬකින් ඉල්ලා සිටියේ නව ව්‍යවස්ථාවක් මඟින් ‘’දෙමළ ප්‍රශ්ණය’’ විසඳිය යුතු බවය. යහපාලන ආණ්ඩුව බලයට පත්වු විගස ආණ්ඩුවේ ප්‍රමුඛතම ව්‍යාපෘතිය ලෙස ව්‍යවස්ථා සම්පාදන සභාවක් සහ මහජන අදහස් ලබා ගැනිම සඳහා විද්වත් කමිටුවක් පත්කරන්නේ නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට වූ ප්‍රභල ඉල්ලීම නිසා බව ඉතා පැහැදිළිය. මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වැය කරමින් වසර 05 ක් තිස්සේ ඇදීගිය නව ව්‍යවස්ථා ක්‍රියාවලිය අසාර්ථක වූ පසුව නව ව්‍යවස්ථා බර අවිය අතහැර නැවත වටයකින් ව්‍යවස්ථා සංශෝධන සැහැල්ලු අවිය අතට ගැනීමට බෙදුම්වාදි බලවේග විසින් තීරණය කරන්නේ කුමක් නිසාද?
ඊට අදාලව අධ්‍යනය හෝ පැහැදිළි කිරීම තරමක් දිර්ඝ වීම වැළැක්විය නොහැක. මීට වසර 7 කට පෙර 2012 දී ජාත්‍යන්තර එන්.ජී.ඕ ගෝඩිෆාදර් කෙනෙක් ලෙස සැලකෙන ඇලන් කිනන් බි.බී.සි ආයතනයේ වැඩමුළුවකදී ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ බලයේ සිටින තුරු ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය ඉටු කෙරෙන ව්‍යවස්ථාමය විසඳුමක් ඉදිරිපත් කළ නොහැකි බවය. ඒ අනුව 2015 දි මහින්ද රාජපක්ෂ රජය පෙරළා දෑමු සැනින් අදාල ක්‍රියාවලිය ප්‍රමුඛතම ව්‍යාපෘතිය ලෙස ආරම්භ කිරීම යනු පුදුමයට කාරණයක් නොවේ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා මැදමුලනට කොටුකර, පක්ෂය දෙකඩ කොට, ජාතිකවාදී දේශපාලන බලවේග යටත් කොට, ජනතාව බියට පත් කොට ඉදිරියට ගෙනයාමට සැලසුම්කළ ක්‍රියාවලිය අසාර්ථක වන්නේ නුගේගොඩ මහින්ද සුළඟ සමඟ නැගි සිටි ජාතික බලවේග ඊට එරෙහිව ප්‍රභල විරෝධයක් එල්ල කිරීම නිසාය. ඒ නිසා ඉතා බලසම්පන්න ලෙස විපක්යෂය පවා කොටුකර ගනිමින් ආරම්භ කළ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය අවසන්කර ගැනිමට බෙදුම්වාදී බලවේග වලට නොහැකි විය.
ඇත්ත වශයෙන්ම බෙදුම්වාදි බලවේගවලට ඔවුන්ගේ ඊළාම් මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට යාම සඳහා නව ව්‍යවස්ථාවක් අවශ්‍යවන්නේ නැත. බෙදුම්වාදී න්‍යායාචාර්යවරුන්ගේ මතවාද මෙන්ම 2006 සර්වපක්ෂික සමුළු ක්‍රියාවලිය තුල මතුවූ අදහස් අනුව ඔවුනට සැබැ ලෙසම අවශ්‍ය වන්නේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මක වීමට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක ප්‍රමාණයක් ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් ඉවත්කර ගැනිමය. මාවෙයි සේනාධිරාජාට එරෙහිව චන්ද්‍රසෝම නඩුවේ තින්දුව අනුව ව්‍යවස්ථාවේ ඒකිය වචනය එසේම තිබියදි ඒකීය භාවය අහෝසි කෙරෙන ෆෙඩරල් රාජ්‍ය ව්‍යුහයන් නිර්මාණය කළ හැක. ඒ නිසා පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵලය තුලින් ඉතා පැහැදිළිව අවබෝධය වූ ආකාරයට ජනමත විචාරනයක් අවශ්‍යවන ආකාරයට පවතින ව්‍යවස්ථාවේ ඒකිය වචනය හෝ බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය ඉවත් කිරීමට කිසිඳු හැකියාවක් පමණක් නොව අවශ්‍යතාවයක්ද නැත. නමුත් රටේ ජාතික බලවේග, විශේෂයෙන්ම මහා සංඝරත්නය ප්‍රමුඛ බහුතර ජනතාව දුර්වලව සහ දුර්මුඛව සිටින තත්වයක් තුළ ඔවුන්ට රිදවිම සහ ඔවුන් දණගැස්විම සඳහා එවැනි සංශෝධන පවා සිදුකිරීමට බෙදුම්වාදී බලවේග සතුටින් ඉදිරිපත්වන බවට විවාදයක් නැත. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය සහ මංගල සමරවීර වැනි අමාත්‍යවරුන් සිහල බෞද්ධයා දණගැස්වීම පිළිබඳ කථාකළ බව රහසක් නොවේ.
ඒ නිසා දැන් දණගැස්වීමට අපේක්ෂා කළ බලවේගය ශක්තිමත්ව දෙපයින් සිටගෙන සිටින තත්වයක් තුළ නව ව්‍යවස්ථා ගෙන ඒම මඟින් ‘’ඇනගැනීමට’’ තරම් බෙදම්වාදී බලවේග අඳබාල නැත. ඊට අමතරව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී පවතින ව්‍යවස්ථාවෙි 13 වැනි සංශෝධනයට විකල්පයක් ඇතුලත් කිරිමට සිදුවන බැවින් එම විකල්පය මඟින් බෙදුම්වාදය ශක්තිමත් කිරීම වෙනුවට එම ප්‍රවනතාව අහෝසි කිරීමේ ප්‍රතිපාදන ඇතුල් කිරීමේ අනතුර පිළිබඳ බෙදුම්වාදීන්ට ඉව වැටී ඇත. විශේෂයෙන්ම නව ව්‍යවස්ථාවක 13 වැනි සංශෝධනයක් නොමැති බැවින් ඊට විකල්ප ලෙස මහා සංඝරත්නය විසින් ව්‍යවස්ථාදායක බලය නොමැති, විධායක බලය හෙවත් පරිපාලන බලය පමණක් විමධ්‍යගත කෙරෙන පළාත් සංවර්ධන සභාවක් යෝජනාකොට ඇති තත්වයක් යටතේ එම අනතුරුදායක හැඟීම ඔවුනට ඇති වීම පුදුමයට කාරණයක් නොවේ. ඒ නිසා දැන් ජෙහාන් පෙර්රලා නව ව්‍යවස්ථාවක් ඉල්ලීම අතහැර කුඩා සංශෝධනයක් පමණක් සෑහෙන බවට ’’ සාධාරණ’’ වන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව විවාදයක් තිබිය නොහැක.
ජනාධිපතිතුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව වචන හැසිරවීමේදී පෙන්වා ඇති ප්‍රතිපත්තිමය හැරවුම සලකා බැලිය යුත්තේ ඉහත සඳහන් කළ ආකාරයට නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී සිටි බෙදුම්වාදී බලවේග වල හැරවුමට සාපේක්ෂවය. ඊට හේතුව නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතු කරමින් 78 ව්‍යවස්ථාවේ ගුණදොස් කථාකිරීම ආරම්භ කෙරෙනුයේ බෙදුම්වාදී එන්.ජී.ඩී න්‍යාචාර්යවරුන්ගේ මැදිහත්විම මත බැවිනි. නමත් එම කථිකාව ඝෝෂාවක් බවට පත්වන්නේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවන සටනක් ලෙස මිස බෙදුම්වාදී ව්‍යවස්ථා සාශෝධනය ඉල්ලා සිටිමින් නොවේ. ඉහත සඳහන් කළ ආකාරයට 13 වැනි සංශෝදනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක ඉවත්කරන ලෙසට සටනක් ආරම්භ කොළ නොහැක. ඒ නිසා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ සටන් පාඨය අවශ්‍ය වන්නේ ඊට ආවර්ණය සැපයීම හෙවත් සුජාතභාවය ලබා දිම සඳහා බව තේරුම් ගැනීම අමාරු නැත. බෙදුම්වාදයට පක්ෂපාතී සුළු ජන පක්ෂවල කේවල් කිරීමේ බලය වර්ධනය වන්නේ මුළු රටම එකම මැතිවරණ කොට්ඨාශයක් බවට පත්වන විධායක ජනාධිපති තෝරන මැතිවරණයක දීය. මැතිවරනයකදීය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය විධායක ජනාධිපති ක්‍රමයට එරෙහි වුවද එම බලයට ලොල්ව සිටි අයෙකි. ඒ නිසා ඇයට එය අහෝසි කිරීමේ සැබැ උවමනාවක් තිබූ බව පිළිගත නොහැක.
ජනතා විමුක්ති පෙරමුනද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය කරතබා ගත්තේ අවස්ථානුකුල දේශපාලන සටන්පාඨයක් ලෙසය. එදා 78 දී ජනතා විමුක්ති පෙරමුණ විසින් හාල් පොත අහෝසි කිරීම හෙවත් සහල් සහනාධාරය කප්පපාදු කිරීමට එරෙහිව දැඩි විරෝධයක් එල්ල කළද විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සුවිශේෂී සටන් පාඨයක් මතු කළේ නැත. එසේ වුවත් ඒ සුවිශේෂී තත්වයන් තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ සටන් පාඨය දැන් සමාජය තුළ ඉහළට පැමිණ ඇත. විධායක අගමැති යටතේ ප්‍රජාතන්ත්‍රවාදය විශේෂයෙන් රැකෙන ආකාරය ඊනියා ‘’බෙදුම්වාදී – ප්‍රජාතන්ත්‍රවාදීන්’’ කථානොකළද බහු විධ හේතු මත සමාජයේ හරස්කඩට විධායක ජනාධිපතික්‍රමය කෙසේ වෙතත් විධායක ජනාධිපතිවරුන්ට එරෙහිව විවේචනයක් ඇත. බෙදුම්වාදීන් තම වාසියට යොදා ගන්නේ එම සමාජ මනෝ භාවයයි. ඒ නිසා තර්කයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී එම මනෝභාවයම බෙදුම්වාදී න්‍යාය පත්‍රයට එරෙහිව දැනුම්වත්ව භාවිතා කිරීමේ හැකියාව ඇත. ඊට හේතුව විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවන ජන ප්‍රතිශතයෙන් සාතිශය බහුතරය බෙදුම්වාදයටද එරෙහිවිමයි.
ඒ නිසා මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසන පරිදි විධායක ජනාධිපති ක්‍රමයට විශේෂ ආදරයක් නැති පිරිසට ඊට එරෙහි සෙසු පිරිස සමඟ එක්වී බෙදුම්වාදී පළාත්සභාවේ බලනහර හෙවත් ව්‍යවස්ථාදායක බලය හෙවත් පළාත් නීති සැදීමේ බලය කපා හැරීමට ඉඩක් විවර වී ඇත. නමුත් එසේ කළ හැක්කේ 13 වැනි සංශෝධනයක් නැති නව ව්‍යවස්ථාවක පමණි. පවතින ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයේ කෑලි ගැලවීමට උත්සාහ කළහොත් අවසානයේදී ඊට එරෙහිව පවතින ව්‍යවස්ථා බාධක ගැලවීමෙන් නතර විය හැකි අනතුරුදායක තත්වයක් මතුවේ. එසේම ඊට එරෙහිව ඉන්දියානු රජය සහ උතුරේ යම් ජන ප්‍රතිශතයක ප්‍රභල විරෝධතා ව්‍යාපාර වලට තල්ලු වීමේ හැකියාවද ඇත. එහෙත් ජනතාවගේ කැමැත්ත මත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට එරෙහිව බාහිර රාජ්‍යවලට විරෝධතා පළකිරීමේ හැකියාවක් නැත. එසේවුවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතු යැයි කියන පිරිස් 13 වැනි සංශෝධන මර උගුලින් ගැලවිය හැකි නිවැරදි උපාය මාර්ගික ප්‍රවේශයක් ඉදිරිපත් කරන්නේ නැත. ඔවුන් 13 අහෝසි කරනු යනුවෙන් සටන් පාටයක් ඉදිරිපත් කළ පමණින් එය අහේසි වන්නේ නැත. එසේ නැතහොත් සටන්පාඨය සහිත බෝඩ් ලෑල්ල වැටේ ගසා ගෙදර නිඳාගත් පමණින් එය අහෝසි වන්නේ නැත.
නිදහස් යැයි කියා ගන්නා යම් මාධ්‍යවේදීන් 78 ව්‍යවස්ථාව රැකීමට ඉදිරිපත්වන්නේ දිවිහිමියෙනි. ඔවුන්ට අනුව මෙම ව්‍යවස්ථාව මඟින් ශක්තිමත් රාජ්‍යයක් බිහිවි තිබෙන බැවින් ඒ වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම මඟින් රාජ්‍ය දුර්වල වේ. ඊට අමතරව තාක්ෂණික හේතුවක් වන පළාත් සභා වල අනුමැතිය නොමැතිවීම යන කාරණය මත ඉඩම් විශේෂ විධිවිදාන පනතඅධිකරණයේදී නිෂ්ප්‍රභා වීම ඔවුන් විසින් අර්ථදක්වන්නේ රාජ්‍ය ශක්තිමත් විමක් ලෙසය. ඔවුන්ගේ එම මතය අනුව 13 වැනි සංශෝධනය මඟින් රාජ්‍ය ශක්තිමත් වන බව පිළිගන්නේ නම් ඊට එරෙහිව පවතින බාධක ඉවත් කොට එය තවදුරටත් බලවත් කිරීමට ද පක්ෂපාතී විය යුතුය. 13 වැනි සංශෝදනය මඟින් නීති හැදීමේ අතුරු ආයතනයක් පිහිටුවා ඇති බැවින් ඒ මඟින් පාර්ලිමෙන්තුව හෙවත් ව්‍යවස්ථාදායකය දුර්වල වෙන බව රාජ්‍යය ශක්තිමත් කිරීම සඳහා 78 ව්‍යවස්ථාව දිවිහිමියෙන් රැකිය යුතු යැයි කියන පිරිස් වලට වැටහෙන්නේ නැත. ව්‍යවස්ථාදායකය දුර්වල කිරීමෙන් විධායකය ශක්තිමත් වන බව යමෙකු සිතන්නේනම් ඔහු දේශපාලන ළදරුවෙකි.
ඊට අමතරව විධායක ජනාධිපති ක්‍රමය මඟින් පළාත්සභා යම් පාලනයකට යටත්කළ හැකි බැවින් බෙදුමම්වාදී අනතුර යම් පමණකට සමනය වන නිසා විධායක ජනපතික්‍රමය රැකිය යුතු බවට යම්සාධාරණ මතයක් දරන පිරිසක්ද සිටියි. එහෙත් ඉහත සඳහන් කළ 13 එරෙහිව පවතින බාධක ව්‍යවස්ථා සංශෝධනයකින් ඉවත්කළහොත් ඊළාම් මාර්ග සිතියම ජාත්‍යන්තර සහයෝගයෙන් ඉදිරියට ගමන්කරන විට විධායක ජනාධිපතිට අමසරණව බලාසිටීමට සිදුවන බව නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළව ජාත්‍යන්තර අධිකරණය විසින් ලබා දුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව පෘතුගාලය නඩු තීන්දුව මඟින් ඉතා හොඳින් පැහදිළි වේ. එනිසා අද රට හමුවේ පවතින අභියෝගය 13 වැනි සංශෝධනය ව්‍යවස්ථාවේ එසේම තිබියදී 19 වන සංශෝධනය මඟින් අවුල් කළ විධායක ජනාධිපතිවරයාගේ බල පරාසය යථාවත් කිරීමද යන ප්‍රශ්නය ඇසිය යුතුය. එම ස්ථාවරය ජාතික බලවේග අවධිවී සිටින තත්වයක් තුළ නව ව්‍යවස්ථාවක් මඟින් 13 වන සංශෝධනය අහෝසි කිරීම වැලැක්වීම සඳහා වන අවම කොන්දේසියකි. ඊට හේතුව පවතින ව්‍යවස්ථාව තුළ 13 වන සංශෝධනයේ පැවැත්ම ආරක්ෂා කර ගතහොත් දේශපාලන බල තුලනය දුර්වල වූ ඔනෑම අවස්ථාවක ඉතා සුළු ව්‍යවස්ථා සංශෝධනයක් මඟින් එය බලවත් කළ හැකි වීමය. එය අද කළ නොහැකිනම් හෙට කළ හැකිය යන විශ්වාසයෙන් බෙදුම්වාදීන් තම උපායමාර්ග තෝරන බවට ඉතිහාසය සාක්ෂි කරයි.
ඒ සියලු කාරණා සැලකිල්ලට ගන්නා විට ජනාධිපතිතුමාගේ ප්‍රතිපතත්මය හැරවුම හුදු දේශපාලන ප්‍රකාශයකට එහා යන සැබෑ සත්‍යවාදී ප්‍රකාශයක් නම් එය ඉතා භයානක තත්වයක් බවට කිව යුතුය. ඒ මඟින් වර්ථමාන ව්‍යවස්ථාව ‘’ටින්කරින්’’ කොට 13 වැනි සංශෝධනය බලවත් කිරීමේ කූඨ ක්‍රියාවලියකට එතුමා ගොදුරු විය හැක. ඊට හේතුව 19 වැනි සංශෝධනය සිදු කළ ආකාරයට පාර්ලිමෙන්තුව තුල සිදුවියහැකි ව්‍යවස්ථා සංශෝධන කුමන්ත්‍රණයක් වැළැක්වීමට එතුමාට බලයක් හෝ අවස්ථාවක් හෝ නොතිබිමය.
වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...