මේ දිනවල ගෝලීය ෆාම් තෙල් කර්මාන්තයට සම්බන්ධ බව පෙනෙන විවිධ විද්වතුන් ජාතික පවත්පත් සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් රට පුරා පැන නඳිමින් තිබෙන ෆාම් තෙල් විරෝධය සමනය කිරීම සඳහා මහත් වෙහෙසක් ගන්නා බව පෙනේ. ජාතික පුවත්පතකට ලිපියක් සපයන මහාචාර්ය වරයෙකු සඳහන් කරන්නේ දේශීය කටුපොල් කර්මාන්තය දියුණු වුවහොත් ප්‍රතිලාභ අහිමි වන පිරිස් එම කර්මාන්තයට එරෙහිවන බවය. එසේ එරෙහිවීම මඟින් යමෙකුට ලැබෙන පුද්ගලික හෝ සමාජීය ප්‍රතිලාභ මොනවාදැයි උගත් මහචාර්යවරයා සඳහන් කොට නැතත් සමාජයේ කටුපොල් විරෝධයක් තිබෙන බව සත්‍යයකි. කටුපොල් හෙවත් ෆාම් තෙල් විරෝධයේ පැතිකඩ දෙකක් දක්නට ඇතත් එවැනි විද්වතන් පිළිතුරු බඳින්නේ දේශීය කටුපොල් වගාවට එරෙහිව පැනනැගී ඇති විරෝධයට අදාළව පමණි. එම විරෝධය මීට අවුරුදු 100 කට අධික කාලයක සිට පැවතෙන්නකි. එය ආරම්භ වන්නේ බ්‍රිටිෂ් ෆාම් ඔයිල් සමාගම් නම් වූ බහු ජාතික සමාගම් විසින් අප්‍රිකානු මහද්වීපයේ අහිංසක ග්‍රෝතික ජනතාව ගම්බිම් වලින් පන්නා දමමින් සහ මරා දමමින් කටුපොල් වගාව සඳහා සිදු කළ මහා ඉඩම් කොල්ලය නිසාය. මෑත කාලීනව ලෝකයේ එම විරෝධය මතුවන්නේ කටුපොල් වගාව සඳහා මැලේසියාවේ සහ ඉන්දූනිසියාවේ වටිනා වැසි වනාන්තර කපා දැමීම නිසාය.
නමුත් ශ්‍රී ලංකාවේදී එම විරෝධය එනම් වගාවට එරෙහිව පවතින විරෝධය පැන නගින්නේ ඒ මඟින් බරපතල පාරිසරික හානි සිදුවන බවට යම් සාක්ෂි ඉදිරිපත් වන බැවිනි. ෆාම් තෙල් හිතවාදී විද්වතුන් විවිධ ආකාරයට පිළිතුරු බඳින්නේ එවැන්නක් සිදු නොවන බව තහවුරු කිරීම සඳහාය. එහිදී කවුරුන් නිවැරදි ද යන්න තහවුරු කිරීම සඳහා දැනට කටුපොල් වගා කොට ඇති හෙක්ටයාර් 10,000 ක භූමිය ආශ්‍රිතව සිදු වී ඇති පාරිසරික වෙනස්කම් වඩා පුළුල්ව සහ ගෝලීය මහා ෆාම් තෙල් කර්මාන්තය සමඟ සබඳතා නැති විද්වතුන් විසින් අධ්‍යනය කළ යුතුය. එතෙක් යෝජිත රබර් ගලවා කටුපොල් වැවීමේ ව්‍යාපෘතිය අත්හිටුවීම වඩා සුදුසු වන්නේ එම භූමියට සුදුසු වෙනත් වගාවන් බොහෝ තිබෙන බැවිනි. නමුත් එසේ කළබලයෙන් තින්දු ගනු ලබන්නේ ආනයනික ෆාම් තෙල් වලට පනවා ඇති විශේෂ බදු නිසා දේශීය කටු පොල් වගාව ලාභ දායි වීම නිසා බව පැහැදිලිය. මෑත කාලීනව රජයේ වතුවල කළමනාකාරීත්වය බාරගත් යම් සමාගම් ෆාම් තෙල් වගාව මඟින් වැඩි ලාභ පෙන්වීමට සමත් වි ඇත. ඒ අනුව බහුවිධ ආර්ථික ප්‍රතිලාභ සහිත දේශීය පොල් වගාව නගා සිටුවීමට උනන්දුවක් නැති පිරිසකට කටුපොල් වලට විශේෂ ආදරයක් ඇති වී ඇත්තේ කුමක් නිසා දැයි පැහැදිළි වේ.
කෙසේ වෙතත් මහාචාර්යතුමා සඳහන් කරන දේශපාලන හේතු මත කටුපොල් වලට විරුද්ධවන පිරිස් ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ කටුපොල් හෙවත් ෆාම් තෙල් ආනයනය සීමා කරන ලෙසය. එම ඉල්ලිම අනුව දේශීය පොල් වගාව රැක ගැනීම සඳහා ආනයනික ෆාම් තෙල් සඳහා තවදුරටත් බදු පැනවුවහොත් දේශීය කටුපොල් වගාව තවදුරටත් ලාභදායි වන බවට තර්ක කළ හැක. එසේ වුවත් ෆාම් තෙල් ආනයනය සීමා කරන ලෙසට ඉදිරිපත් කරන ඉල්ලිම හෝ පොල් වගාව රැක ගැනිමේ උවමනාව බරපතල ආර්ථික සමාජිය සහ මහජන සෞඛ්‍ය හේතු මත පදනම් වේ. විශේෂයෙන්ම ෆාම් තෙල් ප්‍රචලිත කිරීම තුල රටේ ආහාර සුරක්ෂිතතාවය අනතුරට වැටීම සහ ෆාම් තෙල් වල අඩංගු වන පිළිකාකාරකයක් බවට හඳුනා ගෙන ඇති ” නිදහස් මේද – අම්ල ” නිසා පැන නගින බරපතල මහජන සෞඛ්‍ය ගැටලුව ප්‍රධාන හේතු ලෙස හඳුනාගත හැක. දැනට පවතින බදු ව්‍යුහය අනුව පිරිපහදු කළ ෆාම් තෙල් සඳහා කි.ග්‍රෑම් 1 කට රු. 200 ක් සහ පිරිපහදු නොකළ තෙල් සඳහා රු.175 ක් වන ලෙස බදු පනවා ඇත. එම නිසා පිරිපහදු නොකළ තෙල් ආනයනය වෙළඳුන්ට වඩා ලාභදායි වේ.
නමුත් පිරිපහදු නොකළ තෙල් වල නිදහස් මේද අම්ලය 20% කට අධික ප්‍රතතිශතයක් පවතින අතර ජාත්‍යන්තර ප්‍රමීතීන්ට අනුව එම ප්‍රතිශතය 5% කට අඩු මට්ටමක තිබිය යුතුය. එහිදී පිළිකාකාරක එවැනි සුළු ප්‍රතිශතයක් හෝ තිබිය නොහැකි වන ලෙස ප්‍රමිතීන් ගැන්විය යුතු වුවත් බලවත් සමාගම්වල මැදිහත්වීම නිසා එසේ ප්‍රමීතින් පවා වෙනස් කරන තත්වයක් තිබෙන බව රහසක් නොවේ. මෑත කාලීනව ශ්‍රී ලංකාවට අනයනය කළ මිශ්‍ර කරන ලද ෆාම් තෙල් තොගයක අධික නිදහස් මේද අම්ල ප්‍රමාණයක් අඩංගු වූ බව සහ ඒවා බෙදාහැරීම අධිකරණය මඟින් අත්හිටුවූ බවද වාර්ථා විය. ඒ ආකාරයට බදු සහනයක් යටතේ පිරිපහදු නොකළ තෙල් ආනයනය කරන්නේ ශ්‍රී ලංකාවේ දී පිරිපහදු කරන බවට හෙවත් වටිනාකම් එකතු කරන බවට මතයක් තහවුරු කරමිනි. නමුත් ශ්‍රී ලංකාව තුළ එම කාර්ය්‍ය යේ නියුක්ත බව කියන ප්‍රධාන සමාගම් තුන මඟින් අංග සම්පුර්ණ පිරිපහදු කිරීමක් සිදු කෙරෙන බවට සාක්ෂි නැත.එහිදී පිරිපහදු කිරීම නමින් සිදු කරන ක්‍රියාවලිය තුළ සිදු කෙරෙන්නේ කුඩා ඝණද්‍රව්‍ය කොටස් ඉවත් කිරීම, දුර්ගන්දය අඩු කිරීම සහ විරන්ජනය හෙවත් අව පැහැය අඩු කිරීම පමණක් බව වාර්ථා වේ. දැනට ශ්‍රී ලංකවට පිරිපහදු කළ හෝ නොකල ෆාම් තෙල් ආනයනයේ ප්‍රම්‍රඛයා වන 40% ක වෙළඳපල අයිති සමාගමට පවා මැලේසියාව වැනි රටක තිබෙන නවීන පිරිපහදුවක් නැත. ඒ නිසා බදු සහන යටතේ ආනයන කරන පිරිපහදු නොකළ ෆාම් තෙල් අර්ධ ලෙස පිරිපහදු කොට වෙළඳපළට ඉදිරිපත් කිරීම තුළ ඉහත සඳහන් කළ ආකාරයට පිලිකාකාරක බහුලව අඩංගු වීම නිසා බරපතල මහජන සෞඛ්‍ය ගැටළුවක් පැන නගී. එය කටු පොල් හෙවත් ෆාම් තෙල් විරෝධයේ බරපතල පැතිකඩක් වීම වැළැක්විය නොහැක. ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන් වල තිබෙන දුර්වලතා නිසා ආනයනික කිරිපිටි වල අඩංගු ෆාම් තෙල් ප්‍රමාණය 40% දක්වා හඳුනාගත නොහැකි බව ඔප්පු වී ඇති තත්වයක් යටතේ ෆාම් තෙල් ප්‍රමිතිය මැනීම පිළිබඳව මහජන සැකය මතුවිම වැලැක්විය නොහැක.
අනෙක් පැත්තෙන් ෆාම් තෙල් විරෝධයට හේතු වන ප්‍රධානතම සාධකය වන ආහාර සුරක්ෂිතතාවයට අදාළව ද තත්වය ඉතා බරපතල බව කිව යුතුය. මීට වසර 18 කට පෙර එනම් 2000 වසරේද ශ්‍රී ලංකාවට ආනයනය කළ මෙ.ටො 60,000ක ෆාම් තෙල් ප්‍රමාණය අද වන විට මෙ.ටො 240,000 දක්වා වැඩි වී ඇත. ඒ අනුව ෆාම් තෙල් සහ පොල් තෙල් අනුපාතය 9:1 දක්වා ඉහළ ගොස් ඇත. රටේ ආහාර වෙළඳපළ තුල වැදගත් කොටසක් වන කෑමට ගන්නා තෙල් වෙළඳපළ තුල සිදු වී ඇති වෙනස මඟින් රටේ ආහාර සුරක්ෂිතතාවයට සිදුවන අනර්ථය පැහැදිලි වේ. කෙසේ වෙතත් දේශීයව නිපදවිය හැකි ප්‍රධාන ආහාරයක වැඩි ප්‍රතිශතය පිටරටින් ආනයනය කිරීමට සිදු වීම තුල රටේ ආහාර සුරක්ෂිතතාවයට සිදුවන අනතුර ආහාර තොගය හෙවත් ප්‍රමානයට අදාල තත්වයකි. එහෙත් ෆාම් තෙල් වෙළඳපල තුළ යම් ආහාරයක වෙළඳපළ ඒකාධිකාරියක් නිර්මානය කිරීම මඟින් ආහාර සුරක්ෂිතතාවයට සිදු කෙරෙන අනර්ථය ඉතා සුවිශේෂි තත්වයකි.
ගෝලීය කෘෂි යෙදෙවුම් සහ නිෂ්පාදන වෙළඳපල තුළ ඒකාධිකාරියක් නිර්මාණය කිරීමේ ක්‍රමවේද රාශියක් ඇත. පළමුවැන්න නීතිය මඟින් ඒකාධිකාරියක් ඇති කර ගැනීමය. ඊට හොඳම උදාහරණය බීජ වෙළඳපළ තුළ බීජ පනතක් සහ බුද්ධිමය දේපල පනතක් මඟින් ඒකාධිකාරියක් නිර්මාණය කිරීමය. දෙවැන්න, තාක්ෂණිකව ඒකාධිකාරියක් නිර්මාණය කිරීමය. ඊට හොඳම උදාහරණය ගොවියාට නැවත බෝ කර ගත නොහැකි පලමු පරම්පරාවේ දෙමුහුන් බීජ ප්‍රචලිත කිරීම මඟින් සම්ප්‍රදායානුකූල බීජ අභාවයට යැවීමය. තුන්වැන්න නිෂ්පාදන භාණ්ඩ වෙළඳපළ තුල ප්‍රාග්ධන ශක්තිය භාවිතා කරමින් බෙදා හැරීමේ සහ විකිණිමේ ඒකාධිකාරියක් තහවුරුකර ගැනීමය. එහිදී මහා පරිමාන සුපිරි අලෙවිසැල් ජාල මඟින් වෙළඳපළ අත්පත්කර ගැනීම හරහා සිල්ලර වෙළඳාම අභාවයට යැවීම සහ ඒ තුළ තෝරාගත් නිෂ්පාදනවල අලෙවිය ප්‍රචලිත කිරීම මඟින් ඒකාධිකාරිය තහවුරු කෙරේ. හතරවැන්න බදු සහන මඟින් වෙළඳපළ මිල විකෘතියක් ඇති කිරීම හරහා යම් ආහාරයකට අදාළව ඒකාධිකාරියක් ගොඩනැගීමය. ඊට හොඳම උදාහරණය තිරිඟු පිටි, කිරි පිටි සහ ෆාම් තෙල් වෙළඳපල තුළින් දැකගත හැක.
ඒකාධිකාරියක් ගොඩනැගීම මඟින් ආහාර සුරක්ෂිතතාවය අනතුරට ලක්කිරීම හෙවත් ගොවායසෙහ පාරිභෝගිකයා යන දෙදෙනාම ප්‍රාණ ඇපයට ගැනීම සඳහා තවත් විශේෂිත ක්‍රමවේදයක්ද ඇත. එය ආහාරයේ ස්වාභාවික තත්වය මත තාක්ෂණය සහ ප්‍රාග්ධනය යොදා ගනිමින් ඒකාධිකාරියක් ඇති කර ගැනීමය. ඒ සඳහා හොඳම උදාහරණය කටුපොල් හෙවත් ෆාම් තෙල් සහ සෝයා තෙල් වෙළඳපළ ආශ්‍රිතව දැක ගත හැකිය. කටුපොල් හා සෝයා ගොවියාට සෘජුවම ආහාරයට ගත නොහැකි අතර කුඩා පරිමාණයෙන් ආහාර ලෙස සකස් කොට වෙළඳපළට ඉදිරිපත් කළ නොහැක. එම බෝග වවන ගොවියාට තම අස්වනු මහා සමාගමකට විකුණා අවසන් නිෂ්පාදනය ආහාරයක් ලෙස වෙළඳපෙළෙන් මිලදී ගැනීමට සිදුවේ. එහිදි එම වෙළඳපළ තුළ එවැනි වැඩවසම් සබඳතාවක් පවතින්නේ එම බෝගයේ හෙවත් ආහාරයේ පවතින සුවිශේෂි සොභාවික තත්වය නිසාය.
ඒ අනුව ආනයනික ෆාම් තෙල් සහ සෝයා තෙල් මඟින් සහ දේශීය කටුපොල් සහ සෝයා වගාව මඟින් ආහාරයට ගන්නා තෙල් වෙළඳපළ තුල ඒකාධිකාරියක් ගොඩගැනීම වැළැක්විය හැක්කේ එම ආහාරය මත යැපීම අවම කිරීම මඟිනි. දේශීය පොල්වගාව නගා සිටුවීම අවශ්‍ය වන්නේ ප්‍රධාන වශයෙන් ආහාර සුරක්ෂිතතාවයට අදාළ එම උපාය මාර්ගික අවශ්‍යතාවය නිසාය. ඊට අමතරව පොල් නැමැති ශාකයේ පවතින සුවිශේෂි ලක්ෂණ රාශියක් නිසා කටුපොල් වගාවට වඩා පොල් වගාව මඟින් බහුවිධ ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැක. පොල් වගාව ග්‍රාමීය ආර්ථිකය තුළ සුරබිදෙනක් හෙවත් කප් රුකක් ලෙස හැඳින් වන්නේ ඒ නිසාය. ෆාම් වගාවකින් තෙල් ආශ්‍රිත නිෂ්පාදන වලට අමතරව ලැබෙන්නේ කෘෂි අපද්‍රව්‍ය පමණි. නමුත් පොල්වගාව මඟින් තෙල් ආශ්‍රිත නිෂ්පාදන වලට අමතරව වෙළඳපළට ඉදිරිපත් කළ හැකි, විශේෂයෙන්ම අපනයනය කළ හැකි සුවිශේෂී නිෂ්පාදන 10 කට අධික සංඛ්‍යාවක් නිෂ්පාදනය කළ හැක.
අද පොල් වගාව බරපතල ලෙස කඩා වැටී ඇති තත්වයක පවා ඩොලර් මිලියන 300 කට අධික විදේශ විනිමය වටිනාකමක් සහිත පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරෙයි. නමුත් ෆාම් තෙල් ආනයනය සඳහා ඩොලර් මිලියන 200 කට අධික විදේශ විනිමය ප්‍රමානයක් වැය වේ. මේවන විට හෙක්ටයාර් ලක්ෂ 4 කට ආසන්න බිම් ප්‍රමානයක පවතින පොල් වගාව මඟින් ලබා ගන්නේ ගෙඩි මිලියන 2600 ක් පමණ ප්‍රමාණයකි. වගා කරුවන්ගේ මතය අනුව පවතින වගාව ආරක්ෂා කර ගනිමින් හොඳින් නඩත්තු කළහොත් 30% කින් අස්වැන්න වැඩි කළ හැක. එය සිදු නොවන්නේ පොල් මිල පහත වැටීම නිසාය. පොල් වගාවක් ඵලදායි ලෙස නඩත්තු කිරීම සදහා අවම වශයෙන් ගෙඩියකට රු. 35 ක මිලක් ලැබිය යුතු බව වගාකරුවෝ පවසති. ඒ අනුව අද දේශීය පොල් කර්මාන්තය ” අඩු මිල – අඩු ආයෝජනය – අඩු අස්වැන්න ” නමැති විෂම චක්‍රයට ගොදුරු වී ඇත. සැපයුම අඩු වන විට මිල ඉහළ නොයන්නේ ඉතා ෆාම් තෙල් නමැති විකල්පයක් මඟින් වෙළඳපළ තුල මිල විකෘතියක් ඇති කිරීම නිසාය. ඒ අනුව ආහාරයට ගන්නා තෙල් වෙළඳපල තුළ පවතින මිල විකෘතිය නිවැරදි කිරීමෙන් තොරව පොල් වගාව දියුණු කළ නොහැකි බව තහවුරු වේ.
මේ වන විට ලෝක වෙළඳපොළේ ෆාම් තෙල් මිල මෙ.ටො එකකට ඩොලර් 600 ක් දක්වා පහත වැටි ඇත. මැලේසියාව සහ ඉන්දියාව අතර පැන නැගී ඇති රාජ්‍යතාන්ත්‍රික ගැටුම වෙළඳ යුද්ධයක් බවට පරිවර්තනය වි ඇති තත්වයක් තුල එම මිල තවදුරටත් පහත වැටෙන බවට කිසිඳු සැකයක් නැත. මේ වන විට නිල නොවන හෙවත් ප්‍රකාශයට පත් නොකළ ක්‍රමවේදයක් මඟින් මැලේසියානු ෆාම් තෙල් ආනයනය නොකරන ලෙසට ඉන්දියානු රජය විසින් ආනයනකරුවන්ට දන්වා ඇත. ඒ මඟින් වෙළඳපළ අහිමිවන සමාගම් ශ්‍රී ලංකාව තුල පවතින කුඩා වෙළඳපළ පවා අත්පත්කර ගැනීම සඳහා මෙහෙයුමක් දියත්කරන බවද වාර්තා වේ. ” ගොලෝබ් ඔයිල් ඒසියා ” නමින් ෆාම් තෙල් වෙළඳපළ පුළුල් කිරීම මුල්කර ගත් ජාත්‍යන්තර සමුළුවක් පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ ඒ සඳහා බවද වාර්තා වේ. කෙසේ වෙත් විවිධ විද්වතුන් පවා යොදා ගනිමින් ෆාම් තෙල් විරෝධය සමනය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ප්‍රභල ක්‍රියාන්විතයක් දියත් වන බවද රහසක් නොවේ. එම තත්වය තුළ තවදුරටත් මිල අඩු කරමින් ආහාර තෙල් වෙළඳපළ තුල මිල විකෘතිය වර්ධනය කිරීමට ෆාම් තෙල් කර්මාන්තයට සම්බන්ධ බලවේග කටයුතු කරන බවට සැකයක් නැත.
එම තත්වය තුල දැනට වැසී ගොස් ඇති 80% වන කුඩා පරිමාන පොල්තෙල් කර්මාන්තය ඇතුළු පොල් ආශ්‍රිත කර්මාන්ත පද්ධතිය නගා සිටුවීම සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනය වර්ධනය කිරීම සඳහා මෙන්ම සමස්ථයක් ලෙස පොල් වගාව නැවත නගා සිටුවීම සඳහා ෆාම් තෙල් පරිභෝජනය අඩු තරමින් 2000 වසරේදී තිබූ මට්ටමට එනම් මෙ.ටො 60,000 ක මට්ටමකට අඩු කල යුතු වේ. එනම් පවතින ආනයනය මට්ටම වන මෙ.ටො 240,000 ක ප්‍රමාණය හතරෙන් එකකට අඩු කිරිමට සිදු වේ. ඒ සඳහා තර්කානුකූලව ගත හැකි පියවර දෙකක් ඇත. පළමුවැන්න පිරිපහදු නොකළ ෆාම් තෙල් ආනයනය කිරීම සහ එම ඊනියා පිරිපහදු කිරීමේ කූඨ ක්‍රියාවලිය නැවැත්වීමය. ඒ මඟින් අහිමිවන ඊනියා වටිනාකම් එකතු කිරීමේ කර්මාන්තය මෙන් සිය ගුණයක වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලියක් පොල තෙල් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත පද්ධතිය තුළ වර්ධනය කිරිමට ඒ මඟින් අවස්ථාව ලැබේ. දෙවැන්න ජාත්‍යන්තර වෙළඳපොළේ මිල පහත වැටීමට සාපේක්ෂව ෆාම් තෙල් ආනයන බදු කි.ග්‍රෑම් එකකට රු. 250 දක්වා ඉහළ දැමීමය.
ෆාම් තෙල් පරිභෝජනය අඩුකරන විට දේශීය පොල්තෙල් පරිභෝජනය වැඩි වීම නිසා ” පොල් මදය ” ආශ්‍රිත නිෂ්පාදන අපනයනය අඩුවීම මඟින් අපනයන ආදායම අඩුවිය හැකි බවට ෆාම් තෙල් කර්මාන්තයට හිතවාදී විද්වත්හු තර්ක කරති. නමුත් ආර්ථික උපාය මාර්ගික හැරවුමකදී අන්තර්කාලිනව වෙළඳපල සෙළවීම් ඇති වීම වැළැක්විය නොහැක. නමුත් එය ඉතා කෙටි කලක් තුල ක්‍රමයෙන් විසදෙන තත්වයකි. විශේෂයෙන්ම පවතින වගාව යොදා ගනිමින් අස්වැන්න 30% කින් වැඩි කිරීමේ විභවයක් පැවතීම නිසා එම අන්තර්කාලය ඉතා කෙටි කාලයක් වනු ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉතා ඉහළ මට්ටමක පවතින ඒක පුද්ගල පොල් ගෙඩි පරිභෝජනය පවතින තත්වය වන 110 සිට 80 දක්වා අඩු කිරීම සඳහා පුළුල් අධ්‍යාපන වැඩසටහනක්ද අවශ්‍ය වේ. අප රටේ ගෘහස්ථ පොල් පරිභෝජනය ප්‍රශස්ථ මට්ටමකට ගෙන ඒම මඟින් නාස්තිය 50% කින් අවම කර ගත හැකි බව පැහැදිලි කරුණකි. මිශ්‍ර කිරීමේ යන්ත්‍ර භාවිතය සහ ” ගලේ තලා ගැනීම ” වැනි ක්‍රමවේද භාවිතය පිළිබඳ ඉතිහාසයේ තිබූ දැනුම යලි මතක් කිරීම මඟින් එම තත්වයට ලඟාවිය හැක. ෆාම් තෙල් විරෝධය සමනය කිරීම සඳහා ගනු ලබන මහන්සියෙන් අඬක් වැය කිරීම මඟින් එය සිදු කළ හැක.
මෙම ලිපිය මඟින් ආහාර සුරක්ෂිතාවය මුල්කර ගත් පදනමක් මත ෆාම් තෙල් ප්‍රශ්ණය විසඳීම සඳහා ඉදිරිපත් කරන විසඳුම් තුලින් දැනට පවතින කටුපොල් වගාව ගලවා විසි කල යුුතු බවක් අදහස් නොවේ. එසේම එම වගාව තවදුරටත් පුළුල් කිරීමට පෙර ජාතික මට්ටමින් පරිසර ඇගයීමක් මෙන්ම මහජන කතිකාවක් ද අවශ්‍ය වනු ඇත. රටක් ලෙස ජනතාව විසින් බේරාගත යුතු මූලික ප්‍රශ්නය වන්නේ, පොල් වගාව නැවත යථාවත් කිරීම මඟින් ග්‍රාමීය ආර්ථිකයේ විශාල පැතිකඩක් උද්දීපනය කිරීම වෙනුවට ෆාම් තෙල් ආනයනකරුවන් හතර පස් දෙනෙකුගේ ආර්ථිකය උද්දීපනය කරනවාද යන්නයි. එම ව්‍යාපාරිකයින් වෙනත් ව්‍යාපාර සඳහා යොමු කළ හැකි නම් සහ ඉහත සඳහන් කළ අන්තර්කාලීන සෙලවීමට මුහුණ දීම සඳහා ජනතාව දැනුවත් කළ හැකි නම් ෆාම් තෙල් ආනයනය අධෛර්යමත් කිරීමේ තීන්දුව ගැනිමට වෙනත් බාධා තිබේද? පිරිපහදු නොකළ ෆාම් තෙල් පරිභෝජනය නිසා සිදුවන බරපතල මහජන සෞඛ්‍ය ප්‍රශ්ණය රටේ ආහාර සුරක්ෂිතතාවයට අදාළ දිර්ඝ කාලීන ගැටළුවට වඩා මහජනයාට සංවේදී වන බවට ද විවාදයක් නැත.
– වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර –
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...