පුරවැසි කොලම

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ සිංහලේ අවසාන රජු ලෙස සැලකේ. උඩරට රජ පවුල ක‍්‍රමයෙන් අභාවයට යත්ම උභය කුල පාරිශුද්ධතාව රැුකීම සඳහා අවශ්‍ය රජ කුමාරිකාවන් ලංකාවෙන් සොයාගත නොහැකි වීම නිසා දකුණු ඉන්දියාවෙන් රජ කුමාරිකාවන් සොයා ගන්නා ලදී. එම දකුණු ඉන්දියානු කුමාරිකාවන් වඳ ස්ත‍්‍රීන් වීම නිසා සිදුවූයේ එම ද්‍රවිඩ කුමාරිකාවන්ගේ ද්‍රවිඩ සහෝදරයන්ට උඩරට කිරුළ හිමිවන වාතාවරණයක් ඇති වීමයි. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලයක් වේ.

ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු දෙමළ ජාතිකයෙකු වුවත් බෞද්ධයෙක් විය. ශ‍්‍රී දළදා මාළිගාවේ වර්තමාන ආකෘතිය ඔහුගේය. එකල උඩරට වැසියන් කිරිමුහුද නමින් හැඳින්වූ නුවර වැව වර්තමාන තත්ත්වයට ගෙන ආවේද ඔහුය. එහෙත් ඔහු පැවති රදළ ආධිපත්‍ය්‍ය ප‍්‍රිය නොකළේය. රජු හා රදළයින් අතර මතුවී තිබූ භේදය දක්ෂ ලෙස ප‍්‍රයෝජනයට ගත් ඉංග‍්‍රීසින් රජු මහජනයා අතර අප‍්‍රසාදයට පත් කර උඩරට අල්ලා ගැනීමේ වැඩ පිළිවෙළ දියත් කළේය. රජු මත්පැන් පානයට ඇබ්බැහි කරවා කුරිරු රජෙකු ලෙස ජනතාව අතර පතුරුවා ලීමටත් ක‍්‍රියා කළේය. කේම්බි‍්‍රජ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා ලංකාවට පැමිණි ජෝන් ඩොයිලි උඩරට අල්ලා ගැනීමේ ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස කටයුතු කළ අතර ඔහු සිංහල සංස්කෘතිය බෞද්ධාගම හා සිංහල භාෂාව පිළිබඳව ද හසල අවබෝධයක් ලබා සිටි අයෙකි. උඩරට අල්ලා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා ශක්තිමත් චරපුරුෂ සේවාවක් ඇති කිරීමට ද ඔහු සමත් වූයේය. රජු මැරවීමට උත්සාහ කළ අතර ඊට අදාළ කුමන්ත‍්‍රණ කරුවන්ගෙන් රජු පළිගත්තේය. රජු හා රදළවරුන් අතර පැවති මේ ගැටුම ඉංග‍්‍රීසීන් විසින් ‘‘උඩරට රජුගේ පීඩාදායක පාලනයෙන් උඩරට වැසියන් මුදා ගැනීම’’ යන තේමාව යටතේ සමාජගත කරමින් උඩරට බලය ඉංග‍්‍රීසින් අතට ගැනීමට අවශ්‍ය පරිසරය සකසා ගත්තේය.

නිදහස අහිමි වීම

අනතුරුව කවර ආකාරයක යුද්ධයක් හෝ ගැටුමක් නැතිව උඩරට රදළ නායකයන්ගේ අනුග‍්‍රහය ඇතිව 1815 පෙබරවාරි වලදී ඉතිරිව තිබූ එකම නිදහස් රාජ්‍ය වන උඩරට රාජ්‍ය අල්ලා ගැනීමට ඉංග‍්‍රීසීන් සමත් විය. 1815 පෙබරවාරි 15 වැනි දින මැද මහනුවර නිවසක සැඟව සිටියදී බි‍්‍රතාන්‍ය හමුදාව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගනු ලැබුවේය. 1815 මාර්තු 02 වැනිදා සිංහල පැය ක‍්‍රමයට ඉරමුදුන් වී දස පැයක් ගිය තැන මඟුල් මඩුවට රැස්වූ සිංහල හා ඉංග‍්‍රීසී ප‍්‍රභූ පිරිසක් ඉදිරියේ බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා බි‍්‍රතාන්‍ය ධජය ඔසවා උඩට රාජ්‍ය බි‍්‍රතාන්‍ය කිරුළට ඈඳෑ ගත්තේය. ඉක්බිතිව ‘‘උඩරට ගිවිසුම’’ නමින් ප‍්‍රකට වගන්ති දොළොසකින් යුත් ගිවිසුමක් අත්සන් කිරීමට බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා කටයුතු කළ අතර ඊට උඩරට වැසියන් නියෝජනය කරමින් උඩරට රදළ නායකයන්ද එකතු වූයේ ය. පසු කාලීනව උඩරට සිංහලයන් සිදුවූ දේ ගැන බලවත් ලෙස කම්පා වූයේ ය. පසු තැවුනේ ය.

නිදහස ලැබීම

ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති තත්ත්වයෙන් 1948 පෙබරවාරි වල නිදහස් විය. එසේ නමුත් ලැබුණු නිදහස ඉදිරියට ගෙන යෑම සඳහා ශක්තිමත් ජාතික ඒකාග‍්‍රතාවක් ලංකාවේ ඇතිවූයේ නැත. තිබුණා වූ මත භේද අතර වාර්ගික භේද ප‍්‍රධාන විය. නිදහස දිනා ගැනීම වෙනුවෙන් ක‍්‍රියාකළ දේශපාලන ව්‍යාපාරය ලෙස සැළකෙන්නේ ‘‘ශ‍්‍රී ලංකා ජාතික සංගමයයි.’’ 1915 ඇති වූ සිංහල – මුස්ලිම් කෝලාහලය හේතුවෙන් සිංහල ජන නායකයන් අතර ඇති වූ අතෘප්තිය මුල්කර ගනිමින් බිහිවූ සංවිධානයක් ලෙස ලංකා ජාතික සංගමය හැඳින්විය හැකි අතර එය ජාතික ඒකාබද්ධතාව ඇති කිරීම සඳහා අවශ්‍ය සියලූ සමාජ කණ්ඩායම් ශක්තිමත් කිරීමට හැකි සිතුම් පැතුම් වලින් පොහොසත් වූ සංවිධානයක් නොවීය.1915 මැයි වල ඇතිවූ සිංහල – මුස්ලිම් කෝලහලය නුවරින් ආරම්භ වී දින කිහිපයක් තුළ නැගෙනහිර පළාතේ හැර සෑම ප‍්‍රදේශයකටම ව්‍යාප්ත විය. එය ඉංග‍්‍රීසි විරෝධී කැරැුල්ලක් ලෙස වටහාගත් ඉංග‍්‍රීසි ආණ්ඩුව යුද නීතිය ප‍්‍රකාශ කරමින් අමද්‍යප ව්‍යාපාරයේ සිංහල නායකයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තේය. තමන් අනාරක්ෂිත බවට පත්ව සිටින බව හා ආරක්ෂාව සඳහා සංවිධානාත්මක ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාව ප‍්‍රථම වරට සිංහල – දෙමළ නායකයන් තුළ බලවත් ලෙස ඇති වුණේ මෙම තත්ත්වය තුළදීය. අත්අඩංගුවට ගත් සිංහල නායකයන් බේරා ගැනීමට හා ඔවුන්ගේ නිදහස වෙනුවෙන් දැඩි වෙහෙසක් ගත් නායකයෙකු වූයේ එවකට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයෙකු වූ පොන්නම්බලම් රාමනාදන්ය. අත්අඩංගුවට පත් නොවූ සිංහල – දෙමළ නායකයන් එකට එකතු වී අත්අඩංගුවේ සිටින සිංහල – දෙමළ නායකයන් නිදහස් කර ගැනීම සඳහාත්, එම කෝලහලයේදී ඉංග‍්‍රීසී ආණ්ඩුව අනුගමනය කළ හිතුවක්කාරී පිළිවෙත පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් ලබා ගැනීම සඳහාත් මෙරට මෙන්ම එංගලන්තයේදී ද උද්ඝෝෂණයන් ක‍්‍රියාත්මක කරන ලද අතර ඊට ප‍්‍රමුඛ නායකත්වය ලබා දුන්නේ ඊ. ඩබ්ලිව්. පෙරේරා හා පොන්නම්බලම් රාමනාදන්ය.

1919 දී සංවිධාන ගණනාවක් එකට ඒකරාශී කොට බිහි කරන ලද ‘‘ශ‍්‍රී ලංකා ජාතික සංගමය’’ එක්තරා ආකාරයකට ජාතික හැඟීම් සහිතව බිහිවූ අතර එහි නායකත්වය ගන්නා ලද්දේ පොන්නම්බලම් අරුණාචලම් මහතාය. මෙම අවස්ථාවේදී සිංහල හා දෙමළ නායකයන් ඉතාමත්ම සහයෝගිතා පසුබිමක කටයුතු කරන ලද නමුත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ ලබා ගැනීමේ ක‍්‍රියාමාර්ග වලදී දෙමළ නායකයන් අතර මෙන්ම උඩරට සිංහල නායකයන් අතරද මතභේද ඇති විය. එම මත භේද නිසා 1921 දී ලංකා ජාතික සංගමය නියෝජනය කළ දෙමළ පිරිස් සංගමය අතහැර ‘‘ද්‍රවිඩ මහජන සභාව’’ නමින් සංවිධානයක් ආරම්භ කළහ. අනතුරුව ලංකා ජාතික සංගමය පහත රට සිංහලයන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් පමණක් ක‍්‍රියාකරන සංවිධානයක් බවට චෝදනා කරමින් උඩරට සිංහල නියෝජිතයන්ද ලංකා ජාතික සංගමය අතහැර ගියේ ය.

ඩොනර්මෝර් කොමිසම ඉදිරියේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳව පැවති සාකච්ඡුාවේදී සර්ව ජන ඡුන්ද බලය තුළින් මැතිවරණ ආසන වල ප‍්‍රජාතන්ත‍්‍රවාදී බවක් ඇති වන නමුත් අතිරේකව දේශපාලන ක‍්‍රමය තුළ සිංහල ආදිපත්‍ය තහවුරු වීමක්ද වන බවට පොන්නම්බලම් අරුණාචලම් තර්ක කළේය. මේ අතරතුර සිංහල ආධිපත්‍ය පිළිබඳව බිය පළකරමින් ෆෙඩරල් ආණ්ඩු ක‍්‍රමයක් ද ඉල්ලා සිටියේ ය. ගොවිගම නොවන විවිධ කුල කණ්ඩායම්ද අනාගතයේදී ඇතිවිය හැකි ගොවිගම ආධිපත්‍ය පිළිබඳවද බිය පළ කළේය. ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ විවාදයේදී දෙමළ නායකයන් සෑම විටම මතු කරන ලද්දේ සිංහල ආධිපත්‍ය ඇතිවීමේ ප‍්‍රවණතාව පිළිබඳවය. සර්වජන ඡුන්ද බලය ලබා දීමට කළ යෝජනාවේදී ඒ. ඊ. ගුණසිංහ මහතා හැර සෙසු නායකයන් විරුද්ධ වූයේ ඡුන්දය; ධනය, බලය, ආධිපත්‍ය යන කරුණු මත පදනම් විය හැකි බවට බිය පළ කරමිනි. මෙම පසුබිම මත එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා 1930 දී සිංහලයන්ට පමණක් සීමා වූ ‘‘සිංහල මහ සභාව’’ නම් වූ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කරන ලදී. 1944 දී ජී. ජී. පොන්නම්බලම් මහතා ඊට සමාන ලෙස දෙමළ පිරිස් සඳහා වූ ‘‘දෙමළ කොන්ග‍්‍ර?සය’’ බිහි කරන ලදී.

සෝල්බරි කොමිසම ඉදිරියේදී ද දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ගැටුම මතුවිය. පොන්නම්බලම් මහතාගේ ද්‍රවිඩ සංගමය සමතුළිත නියෝජන ක‍්‍රමයක් ඉල්ලා සිටියේ ය. පොන්නම්බලම්ගේ පනහට පනහේ ඉල්ලීම ලෙස සැලකෙන්නේ මෙම ඉල්ලීම බවත්, ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ආසන සකස් විය යුත්තේ එක් ජාතියකට තවත් ජාතියක් අභිබවා යා නොහැකි ආකාරයට බවත් පොන්නම්බලම්ගේ මතය විය.

සෝල්බරි කොමිසම ද මෙම ඉල්ලීම් ජාතිවාදී ඉල්ලීම් ලෙස සලකා බැහැර කළේය. කොමිසම සිදු කළේ ජනගහනයට සමානුපාතිකව ආසන වෙන් කළ යුතු බවට නිර්දේශ ගෙන ඒමයි. වාර්ගික හා ආගමික සුළු ජන කණ්ඩායම් සඳහා බහු මන්ත‍්‍රී ආසන කිහිපයක් ඇති කළ යුතු බවද කොමිසමේ නිර්දේශය විය. සුළු ජාතික නියෝජනය ධෛර්යවත් කිරීම පිණිස විධි විධාන ද සැලැස්වීය. කිසිදු ආගමික හෝ

වාර්ගික කණ්ඩායමකට වාසි හෝ අවාසි ඇති වන අන්දමේ නීති සැකසීමද තහනම් කළේය.

අවසානයේ සර් අයිවර් ජෙනින්ස් කෙටුම්පත් කළ සෝල්බරි ව්‍යවස්ථාවට ව්‍යවස්ථාදායකයේ බහුතර එකඟතාව ලැබුණත් එම ව්‍යවස්ථාව යටතේ ඇති කළ දේශපාලන ක‍්‍රමය පිළිබඳව සුළු ජාතීන් තුළ පූර්ණ විශ්වාසයක් ඇති වූ බව පෙනෙන්නට නැත. මේ ආකාරයට ශ‍්‍රී ලංකාව නිදහස ලබා ගත්තේ ජාතික ඒකාග‍්‍රතාව සඳහා අවශ්‍ය සුළු ජාතීන්ගේ ද ගෞරවය හා පිළිගැනීමට හේතුවන දේශපාලන ක‍්‍රමයක් සඳහා එකඟතාවක් ඇති කර ගැනීමෙන් තොරව බව කිව යුතුය.

ජාතිය ඛණ්ඩනය වීම

ප‍්‍රථම පාර්ලිමේන්තුව ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහිමි කිරීමට හේතු වන ආකාරයට 1948 අංක 18 දරන පුරවැසි පනත ද 1949 අංක 03 දරන ඉන්දියානු හා පකිස්තානු පුරවැසි පනතද සම්මත කර ගන්නා ලදී. නිදහස ලැබෙන අවස්ථාව වන විට නාමික වශයෙන් හෝ ඇති කර ගෙන තිබූ වාර්ගික සමගියේ ඉරි තැලීමක් ඇති කිරීමට හේතු වූ ප‍්‍රථම සිද්ධිය මෙය විය. 1956 මැතිවරණය් ප‍්‍රධාන තේමාව වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා බලයට පැමිණ පැය 24 ක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරන බවය. බණ්ඩාරනායක මහතාගේ මහජන එක්සත් පෙරමුණ බලයට පත්වීමෙන් පසුව සිදු කළ ප‍්‍රථම ව්‍යවස්ථා සම්පාදන කාර්ය වූයේ ද සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නීති ගත කිරීමය. මෙම නීතියට එරෙහිව උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සත්‍යග‍්‍රහ ව්‍යාපාර පැවැත්වීය. මේ තත්ත්වය ඉදිරියේ අගමැති බණ්ඩාරනායක මහතා දෙමළ භාෂාවේ සාධාරණ පරිහරණය පිළිබඳව ප‍්‍රතිපත්තිය නීති ගත කළේය.

බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම 1957 ජුලි 26 බිඳ වැටීම, 1958 ජාතිවාදී කෝලහල ඇතිවීම, 1970 දී 2/3 බලය ලබා පැමිණි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ‍්‍රී ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය ප‍්‍රමුඛ සමගි පෙරමුණු ආණ්ඩුව සෝල්බරි ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමට කටයුතු කළේය. මෙහිදී ෆෙඩරල් යෝජනා ද ඉදිරිපත් කළේය. ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේදී එම යෝජනා ප‍්‍රතික්ෂේප විය. 1972 සම්මත වූ ජනරජ ව්‍යවස්ථාවට ෆෙඩරල් පක්ෂයේ විරෝධතා මතු විය. 1972 මැයි 14 දින ෆෙඩරල් පක්ෂය ඇතුළුව දෙමළ පක්ෂ 05 ක් එකතුව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පිහිටුවා ගත්තේය. එය දෙමළ ජනතාවගේ නිදහස් ආත්ම ගෞරවය හා අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ඇති කර ගන්නා ලද ව්‍යාපාරයක් බවද ඔවුන් ප‍්‍රකාශ කළේය. සමගි පෙරමුණු රජය විශ්වවිද්‍යාල ප‍්‍රවේශය සඳහා ප‍්‍රමිතිකරණය හඳුන්වාදීම මත දෙමළ ජනයාගේ අසහනය වර්ධනයට හේතුවක් විය. 1974 ජනවාරි මාසයේ දී යාපනයේ පටන් ගන්නා ලද ද්‍රවිඩ සම්මේලනයේ දී ඇති වූ පොලිස් විරෝධතා මාධ්‍යයේ ඇතිව වූ තත්ත්වයකින් දෙමළ ජාතිකයන් 9 දෙනකු මිය ගිය අතර එයද යාපනයේ ජනයාගේ අප‍්‍රසාදයට හේතු විය. මේ ආකාරයේ උණුසුම් වාතාවරණය මැද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ 1974 මැයි 14 දින වඩුක්කොඩෙයි ආසනයේ ජාතික සම්මේලනය පවත්වා දෙමළ ජාතීන්ගේ නිදහස වෙනුවෙන් ‘‘ඊළාම්’’ රාජ්‍යක් ඇති කරන බව ප‍්‍රකාශයට පත් කළේය.

1975 ජුලි 28 දින අගමැති සිරිමා ආර්. ඞී. බණ්ඩාරනායක මැතිනියගේ සමීප දේශපාලන හිතවතෙකු වූ යාපනයේ නගරාධිපති ඇල්ෆ‍්‍රඞ් දොරේ අප්පා වෙඩි තබා ඝාතනය කිරීම දෙමළ ප‍්‍රචණ්ඩකාරීන් අතින් සිදු විය. 1977 මහා මැතිවරණයේදී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශයේ සඳහන් වූයේ මේ රටේ දෙමළ කතා කරන ජනතාවගේ පාරම්පරික වූ භෞතික දේශපාලන සීමාවන් ඇතුළත් වන නිදහස් ස්වෛරී ස්වාධීන සමාජවාදී රජයක් පිහිටුවීම සඳහා ජනයාගේ වරම අවශ්‍ය බවයි.

‘‘ද්‍රවිඩ ඊළාම් රාජ්‍යයක්’’ සඳහා වන ප‍්‍රතිඥාද මේ අතර විය. 1977 මැතිවරණයෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18 ක් ලබා ගනිමින් විරුද්ධ පක්ෂ නායකයා විය. චෙල්වනායගම් මහතා වියපත්ව මරණයට පත්ව තිබූ තත්ත්වයක් තුළ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරයේ නායකයා වූයේ අප්පාපිල්ලේ අමිර්තලිංගම් මහතාය. 1981 දිස්ත‍්‍රික් සභා ඡුන්දයේදී යාපනයේ පුස්තකාලය 1981 ජුනි 01 දින සිංහල ජාතිවාදී පිරිස් විසින් ගිනි තැබීම දෙමළ ජනයාගේ දැඩි අප‍්‍රසාදයට මෙන්ම විරෝධයට ද හේතු වූ කරුණක් විය. 1983 ජුලි 23 දින ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායමක් විසින් සිංහල සොල්දාදුවන් 13 දෙනකු මරා දැමූ අතර ඊට ප‍්‍රකෝප වූ දකුණේ සිංහල පිරිස් කොළඹ ගිනි අවුලවමින් දැඩි සාහසික ක‍්‍රියාමාර්ග වලට යොමු විය. මෙම ඛේදජනක සිදු වීමෙන් පසු ඉන්දියානු අනුග‍්‍රහය ඇතිව එල්. ටී. ටී. ඊ. සංවිධානය හොඳින් සන්නද්ධ වූ සටන් ව්‍යාපාරයක් බවට පත් විය. ගැටුම් උග‍්‍රවීම තුළ 1985 වන විට යාපනය අර්ධද්වීපය තුළ ආණ්ඩුවේ හමුදා වල ක‍්‍රියාකාරීත්වය බැරැුක්ක වලට සීමා විය. 1985 මැයි 14 අනුරාධපුරයේ ශ‍්‍රී මහා බෝධියට ද ප‍්‍රහාරයක් එල්ලවූ අතර අහිංසක වැසියන් 150 පමණ මරණයට පත් විය. පසුව දළදා මන්දිරයට ද ප‍්‍රහාරයක් එල්ල කළ අතර 1986 අරන්තලාවේ භික්ෂු ඝාතනය ද සිදු කරන ලදී. කොළඹ අවට විනාශකාරී බිහිසුනු පිපිරීම් ගණනාවක් සිදු කරන ලදී. ට‍්‍රයිස්ටාර් ගුවන් යානයක් පුපුරවන ලද අතර කොළඹ විදුලි සන්දේශ කාර්යාලයට ද ප‍්‍රහාරයක් එල්ල කළේය. මහබැංකුව පිපිරවීම කොළඹ බෝගහ යට බෝම්බ පිපිරීමෙන් විශාල පිරිසක් ඝාතනය කිරීම කොළොන්නාව තෙල් ටැංකි ගිනි තැබීම ආදී වශයෙන් බිහිසුණු පිපිරවීම් හා සාපරාධී අපරාධයන් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිදු කරන ලදී. ඉන්දු ලංකා සාම ගිවිසුම යටතේ 1987 දී ඉන්දියන් හමුදාව ලංකාවට පැමිණි අතර එයද අනවශ්‍ය ප‍්‍රශ්න ඇති කරන ලද ගැටලූකාරී එකක් විය. මෙවැනි වාතාවරණයක් තුළ 1988 ජනාධිපතිවරණය පැවතියේ ද කළහකාරී වාතාවරණයක් මැද්දේ ය. 1985 ජනවාරි 26 දින එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ද්‍රවිඩ එක්සත් විමුක්ති සංවිධානයේ නායක ඒ. අමිර්තලිංගම් මහතා මරා දැමූ අතර 1991 මාර්තු 2 එවකට ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න මහතා ද 1993 මැයි 01 ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා ද ඝාතනය කළේය. 2001 ජුලි 24 දින කටුනායක ගුවන් ප‍්‍රහාරය සිදු කරමින් ද අපරාධයක් සිදු කළේය.

1994 වර්ෂයේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලයට පත්වීමෙන් පසුි‘‘පොදු පෙරමුණු’’ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සටන් විරාම ගිවිසුමක් ඇති කර ගත්තද පසුව එය සාර්ථක වූයේ නැත. 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව උපායශීලී නායකත්වය යටතේ 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයා මරා දමමින් යුද්ධය නතර කරන ලදී.

එසේ නමුත් අද වන විටත් උතුරු දකුණ එක්සත් කරන ජාතික ඒකාබද්ධතාව ගොඩ නගන වැඩ පිළිවෙළක් සාර්තක ලෙස ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත. 72 වැනි නිදහස සමරමින් ඇත්තටම රටක් හැටියට අප කළ යුත්තේ සමස්ත ශ‍්‍රී ලංකාවාසී ජනතාවගේ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික නිදහස අර්ථවත් කිරීම සඳහාත් රටේ ආර්ථිකය ගොඩ නැගීම සඳහාත් නිසි වැඩ පිළිවෙළකට යෑමත්, සියලූ ජනවර්ග එක්සත් කළ හැකි සියලූ දෙනාම පිළිගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාමය රාමුවක් සකස් කර ගැනීමට කටයුතු කිරීමත් ය.

දීපාල් ද සිල්වා

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More