පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන ලබන 15 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02දා) නියෝග කළාය.
එම සැකකරුවන් දෙදෙනාගෙන් ලබන 5 වැනිදා සිට 15 වැනිදා දක්වා බන්ධනාගාරය තුළදී ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය එහිදී වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
එම නඩුව ඊයේ (02දා) කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය කරුණු දක්වමින් එම නඩුවේ පළමුවන සැකකරු ලෙස නම් කොට ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන ලක්ෂ්මන් මහේන්ද්‍රන් මහතාට ලබන 8 වැනි දින හෝ ඊට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය කළ නියෝගය නිසියාකාරව භාරදීමට නොහැකි වූ බව අධිකරණයට දැනුම් දුන්නාය. එම සැකකරු පදිංචිව සිටි සිංගප්පූරු නිවස වසා දමා ඇති බව අන්තර්ජාතික ඩී. එච්. එල්. කුරියර් සේවාවේ සිංගප්පූරු නියෝජිත ආයතනය විසින් දැනුම් දී ඇතැයි ද එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දුන්නාය. එම නියෝජිත ආයතනය හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී ඇති බවත් එම ඇමතුමට පිළිතුරු ලබාදුන් ලක්ෂ්මන් නමැත්තා ඔහු පසුගිය මාසය ඇතුළත යළි සිංගප්පූරුවට පැමිණෙන බව දන්වා ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සඳහන් කළාය.
පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් හිමිකරු වන අර්ජුන් ජෝශප් ඇලෝසියස් මහතාට බහුතර කොටස් හිමි සමාගම් කිහිපයක ගිණුම් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින් නියෝගයක් නිකුත් කොට ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී සඳහන් කළාය. තහනමට ලක් කළ එකී බැංකු ගිණුම් අතරින් මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලින් අයථා ලෙස උපයාගත් මුදල් ආයෝජනය කර නොමැති බවට අනාවරණය වූ බැංකු ගිණුම් 15 ක තහනම මහාධිකරණය විසින් ඉවත් කර ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට කීවාය. අධිකරණය විසින් පසුගිය 16 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නිකුත් කළ නියෝගය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා විසින් සැකකාර අර්ජුන ලක්ෂ්මන් මහේන්ද්‍රන් මහතාට කෙටි පණිවිඩ මගින් හා අන්තර්ජාලය ඔස්සේ විද්‍යුත් තැපෑල මගින් දැනුම් දී ඇතැයි ද හරිප්‍රියා ජයසුන්දර මහත්මිය එහිදී අධිකරණයට දැන්වූවාය.
එම නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කොට ඇති පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම නියෝජනය කිරීම සඳහා නියෝජිතයකු යොමු කරන ලෙස එම සමාගමේ සභාපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙස ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියාය. එම දැනුම්දීම අදාළ ආයතනය වෙත දැනුම්දීමේ වගකීම තමා භාරගන්නා බව විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා භාරගන්නා බව දැනුම් දීම සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකළාය. පළමු වන සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට ලබන 8 වැනිදා දක්වා අධිකරණය විසින් කල් ලබාදී ඇති බැවින් ඔහු පෙනී නොසිටියහොත් එදිනෙන් පසු සුදුසු නියෝගයක් නිකුත් කරන බව ද මහෙස්ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය. පළමුවැනි සැකකාර හිටපු මහ බැංකු අධිපතිවරයාගේ දියණිය වන නටාෂා කාංචනා අංජලි මහේන්ද්‍රන් පසුගිය 20 වැනිදා සිංගප්පූරුවට ගොස් 22 වැනිදා යළි දිවයිනට පැමිණි පසු ඇගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබූ බවත් සිංගප්පූරුවේ පිහිටි නිවස වසා තබා තිබීම නිසා සිය පියා හෝ මව මුණගැසීමට නොහැකි වූ බව ඇය එම ප්‍රකාශය මගින් ප්‍රකාශ කර ඇති බවත් පැමිණිල්ල මෙහෙය වන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැන්වූවාය.
මුත්‍රාශයේ රෝග තත්ත්වයකින් හා සමේ රෝග තත්ත්වයකින් පෙළෙන සැකකාර අර්ජුන් ජෝශප් ඇලෝසියස් මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර නේවාසික ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය බවට නිර්දේශ කරන්නේ නම් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම සැකකරුවන්ගේ රෝග තත්ත්වයන් හා ඔවුනට ලබාදෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් මාධ්‍ය මගින් අනවශ්‍ය අයුරින් ප්‍රචාරය කිරීම නිසා නිසි ප්‍රතිකාර ලබාදීමට බන්ධනාගාර බලධාරීන් මැලිකමක් දක්වන බැවින් ඒ සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරනා ලෙස ද නීතිඥ ජීවන්ත ජයතිලක එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
බන්ධනාගාර භාරයට පත් කරන සැකකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමේ බලතල බන්ධනාගාර පනත අනුව බන්ධනාගාර කොමසාරිස්වරයාට හිමිව ඇතැයි එහිදී පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරිය සුදුසු ප්‍රතිකාර ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.
රජයේ නීතිඥ උදාර කරුණාතිලක, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය. ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, නීsතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, ජයන්ත ඩයස් නානායක්කාර ඇතුළු නීතිඥ මණ්ඩලයක් නීතිඥ පී. පී. අරුල්ප්‍රගාසම් මහතාගේ උපදෙස් පරිදි පෙනී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...