පුරවැසි කොලම

පසුගිය දිනවල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් දියත් කළ කිරිපිටි විරෝධි ප්‍රචාරක වැඩ සටහන සමාජ අවධානයට ලක් විය. එ් නිසා විදේශීය රටවලින් ශ්‍රී ලංකාවට කිරිපිටි ආනයනය කරන සමාගම් ඊට එරෙහිව පුවත්පත් නිවේදන නිකුත් කිරීම ආරම්භ කොට ඇත. ඒ අනුව ඉදිරි කාලය තුල මාධ්‍ය ආයතන වලට ” දැන්වීම් වසන්තයක් ” උදාවනු ඇති අතර යම් මාධ්‍ය වල කිරිපිටි විරෝධි ලිපි හෝ සාකච්ඡා වලට ඉඩ ඇහිරෙනු ඇත. එම පුවත්පත් නිවේදන මඟින් අදාළ කිරිපිටි සමාගම් ප්‍රකාශ කරන්නේ පසුගිය ජූලි මාසයේදී පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කළ පාරිභෝගික කටයුතු අමාත්‍යංශයේ වාර්තාව මඟින් ආනයනික කිරිපිටි වලට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර නොකරන බව තහවුරු වූ බවය. එම සාවද්‍ය ප්‍රකාශය මඟින් අදාළ වාර්තාව පමණක් නොව එම විමර්ශන කටයුත්තට මඟ පෙන්වූ එවකට අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද හෑල්ලුවට ලක් වේ. අමාත්‍යවරයා විසින් එම වාර්තාව කැඳවන්නේ ආනයනික කිරිපිටි වලින් කිරි මේදය ඉවත් කොට ගෙන ඒ වෙනුවට ෆාම් තෙල් මිශ්‍ර කොට ඇති බවට වූ චෝදනා මුල් කර ගෙනය. එම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ ප්‍රමිතීන් වලට අදාලව කරනු ලබන පර්යේෂණ මඟින් කිරිපිටි වලට බාහිරින් එකතු කරන ලබන කිරි මේදය නොවන ද්‍රව්‍යය විශේෂයෙන්ම ෆාම් තෙල් 40% දක්වා මැනිය නොහැක. ඒ නිසාම අදාළ රාජ්‍ය ආයතන එවැනි ගල් යුගයේ පරීක්ෂණ යොදා ගන්නා බවද ඒ මඟින් එළිදරවු වේ.

එම වාර්තාව නිකුත් වීමට පෙර මව්බිම ලංකා පදනම විසින් වෙළඳපලෙන් ලබාගත් ආනයනික කිරිපිටි සාම්පල ප්‍රමාණයක් එංගලන්තයේ ” එක්ලිප්ස් ” පර්යේෂණ රසායනාගාරයට යවා පරීක්ෂා කළ විට ලංකාවේ වෙළඳපළේ තිබෙන ආනයනික කිරිපිටි වල 25% සිට 30% දක්වා කිරි මේදය වෙනුවට ෆාම් තෙල් අඩංගු වන බව පැහැදිළිව ඔප්පු විය. ඒ අනුව 40% දක්වා ෆාම් තෙල් සොයාගත නොහැකි පරීක්ෂණ භාවිත කළ විට කිරිපිටි සමාගමේ කියන ආකාරයට ” කිසිඳු ප්‍රශ්ණයක් ” පැනනඟින්නේ නැත. වසර දෙකෙන් දෙකට පරිඝනක අළුත් කරන සෞඛ්‍ය අමාත්‍යංශය ඒ ආකාරයට ගල් යුගයේ පරික්ෂණ භාවිත කිරීම පිළිබඳව පාරිභෝගික කටයුතු අමාත්‍යංශය විසින් සිදු කළ විමර්ශනයේදී යම් විද්වතුන් විසින් අප්‍රසාදය පළ කොට ඇත. කෙසේ වෙතත් ඉහත සඳහන් කළ ආකාරයට මව්බ්ම ලංකා පදනම විසින් සිදු කළ පරීක්ෂණ වල වාර්තා එළිදැක්වූ විට ශ්‍රී ලංකාවට කිරිපිටි අපනයනය කරන ප්‍රධාන පෙලේ විදේශිය සමාගමක ප්‍රධාන විධායක නිලධාරීයා විසින් කිරිවලින් කිරි මේදය යම් ප්‍රතිශතයක් ඉවත් කරගෙන ඒ වෙනුවට ෆාම් තෙල් යොදන බව තම වෙබ් අඩවිය හරහා පිළිගනු ලැබීය.  එම කිරිපිටි ” මේදය පුරවන ලද කිරිපිටි ” ලෙස මිල අඩු කොට වැඩි මිලට කිරි පිටි මිලදි ගත නොහැකි පාරිභෝගිකයින් සිටින රටවලට අපනයනය කරන බව ඔහ විසින් පිළිගන්නා ලදී.

එම ප්‍රකාශය අනුව මේදය පුරවන ලද කිරිපිටි වල මිල අඩුකළ හැක්කේ කිරි වලින් කි.ග්‍රෑම් එකක් ඇ. ඩොලර් 5 වන බටර් හෙවත් කිරි මේදය 40% දක්වා ඉවත්කර ගෙන ඒ වෙනුවට කි.ග්‍රෑම් 1 ක් ඇ. ඩොලර් ශත 60 ක් වන ෆාම් තෙල් එකතු කිරීමෙනි. කෙසේවෙතත් එසේ එකතු කරන ෆාම් තෙල් සම්පූර්ණයෙන්ම පිරිපහදු නොකළ ඒවා නම් එමතෙල් වල 20% කට වැඩි ප්‍රමාණයක් පිළිකාකාරක බවට ඔප්පු වී ඇති නිදහස් මේද අම්ල අඩංගු විය හැක. ෆාම් තෙල් අංග සම්පූර්ණ ලෙස පිරිපහදු කෙරෙන්නේ නම් එම නිදහස් මේද අම්ල ප්‍රතිශතය 5% කට අඩු විය යුතුය. නමුත් බොහෝ විට RDB නමින් හඳුන්වන පිරිපහදු ක්‍රියාවලිය මඟින් සිදු කෙරෙන්නේ කුඩා ඝණ ද්‍රව්‍ය කොටස් ඉවත් කිරීම මෙන්ම දුර්ගන්දය සහ අවපැහැය අඩු කිරීම පමණි. මෙම ගැටළු වලට පිළිතුරු සැපයීම වෙනුවට අදාල සමාගම් ප්‍රකාශ කරන්නේ තමා මේදය පුරවන ලද කිරිපිටි නිෂ්පාදනය කරන නමුත් ඒවා ශ්‍රී ලංකාවට අපනයනය නොකරන බවය. ඔවුන් එසේ පැවසුවද ශ්‍රී ලංකාවේ කිරිපිටි පරීක්ෂා කරන ක්‍රමවේදවල දුප්පත්කම නිසාය. ඉහත සඳහන් කළ ආකාරයට 40% දක්වා ෆාම් තෙල් එකතු කළ ඊනියා මේදය පුරවන ලද කිරිපිටි ශ්‍රී ලංකාවට අපනයනය කරන බව ඔප්පු කළ නොහැක.

වෙළඳපලෙන් ලබාගන්නා සාම්පල බාහිර ආයතන වලින් පරික්ෂා කළ හොත් ඒ බව ඔප්පු කළ හැකි වුවත් බාහිර පාර්ශව වලට සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ප්‍රමිති ආයතනයේ නිර්දේශ මත එම කිරිපිටි වෙලඳපලට ඇතුල්වීම වැලැක්විය නොහැක. දැනට පවතින ආහාර රෙගුලාසි වල ආනයනික කිරිපිටි වල අඩංගු විය යුත්තේ කිරි මේදය පමණක් බව සඳහන් වුවද මේදය පුරවන ලද කිරි පිටි රටට ආනයනය කිරීම අදාළ පනත යටතේ වරදක් බව දක්වා නැත. ඒ නිසා විදේශිය කිරිපිටි සමාගම්වලට සහ දේශිය රාජ්‍ය ආයතන වලට දිගින් දිගටම පාරිභෝගිකයා මුලා කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමට හැකි වී ඇත. එම තත්වය වෙනස් කිරීම සඳහා ආහාර පනතේ රෙගුලාසි සංශෝදනය කොට මේදය පුරවන ලද සෞඛ්‍යයට අහිතකර කිරිපිටි ආනයන පනත යටතේ වරදක් බවට පත් කළ යුතු අතර ආනයන අපනයන පාලන පනත යටතේ නව රෙගුලාසියක් පනවා මේදය පුරවන ලද කිරි පිටි ආනයනය අත්හිටුවිය යුතුය. නමුත් මහජන සෞඛ්‍යයට කෙතරම් අහිතකර වුවත්, පාරිභෝගිකයා රැවටීමකට ලක් කළත් එවැනි තීන්දු ගැනිමට අදාළ රාජ්‍ය ආයතන පෙළඹවීම යනු පහසු කටයුත්තක් නොවේ. මෙම ප්‍රශ්නයට ඉතා අවංකව මැදිහත් වූ බව පෙනුනු බුද්ධික පතිරණ අමාත්‍යවරයාට පවා එවැන්නක් කළ නොහැකි විය. සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් සහ ලේකම්වරයා හෙවත් ආහාර පනතේ බලධාරියා විශ්‍රාම ගැනීමෙන් පසුව වසරකට රු. මිලියන 24 ක වැටුපක් සහිතව කිරිපිටි ආනයනය කරන සමාගමක රැකියාවක් ලබාගත හැකි රටක එවැන්නක් කළ හැකිද? ආනයනික කිරි පිටි වලට පනවා තිබූ කි.ග්‍රෑ 1කට රු 225ක් වූ බද්ද රු 2 දක්වා අඩු කළ නිසා සමාගම් වලට ලැබෙන අමතර ලාභය වසරකට රු මිලියන 18,000කි. ඒ අනුව බලන විට මිලියන 24ක් යනු ‘’මොන කජ්ජක්ද?’’

ආහාර පනත නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම නිසා තවත් බොහෝ වැරදි සිදුවන බව රහසක් නොවේ. විවිධ පෝෂක වර්ග අඩංගු බවට සහ විවිධ වයස් කාණ්ඩවල දරුවන්ගේ සෞඛ්‍ය තත්වයට විශේ්ෂිත බලපෑමක් සිදුවන බව වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට පනත යටතේ ඉඩක් නැත. නමුත් විද්‍යුත් මාධ්‍ය වල වැඩි ඉඩක් අත්පත් කර ගෙන ඇත්තේ කුඩා දරුවන් මුල් කරගත් එවැනි වෙළඳ දැන්වීම්ය. කෙසේ වෙතත් කිරිපිටි සමාගම් විසින් ප්‍රකාශ කරන ආකාරයට ඔවුන් කිරිපිටි වල සාමාන්‍ය ගුණාත්මක තත්වය ඉහළ මට්ටමක පවත්වා ගන්නා බව පිළිගත හැක. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වැනි රටවල ආහාරවල ක්ෂුද්‍ර ජිවීන්ගේ පාලනය සහ වෙනත් නම් කරන ලද විස වර්ග අඩංගු නොවන බව සහතික කිරීම සඳහා නිසි ක්‍රමවේද අනුගමනය කරන බව සත්‍යයකි. එය ගුණාත්මක තත්වයට අදාළ අවම කොන්දේසියක් ලෙස සැලකේ. නමුත් ඒ බව සඳහන් කරමින් කිරිපිටිවල සංයුතිය වෙනස් කොට පාරිභෝගිකයා නොමඟ යවමින් වාණිජ වාසියක් ලබා ගැනීම යනු බරපතල නීති විරෝධි සහ සදාචාර විරෝධි ක්‍රියාවකි. ඊට අමතරව එසේ සාමාන්‍ය ගුණාත්මකභාවය පිළිබඳ සහතිකයක් ලබා දෙන අතර කූඨ වාණිජ හේතු මත කිරිපිටිවලට මෙලමයින් සහ ඩී.සී.ඩී යන රසායනික ද්‍රව්‍ය එකතු කිරිම පිළිබඳව ද අතීතයේ දී චෝදනා එල්ල විය. ඊට අදාළව චීනයේදි යම් නිලධාරීන් මරණ දඬුමට පවා ලක් විය.

එහිදී මෙලමයින් සහ ඩී.සී.ඩී යන රසායනික ද්‍රව්‍ය ගවයාගේ ආහාර දාමයට ස්භාවිකව ඇතුල්විය හැකි ද්‍රව්‍ය නොවන බැවින් ඒවා කිරි වලට බාහිරින් එකතු කරන බව ඔප්පු විය. එම රසායන ද්‍රව්‍යවල නයිට්‍රජන් අනු ඉහල ප්‍රතිශතයක් තිබෙන බැවින් කිරි වලින් කිරි ප්‍රෝටීන ඉවත් කොට ගෙන ඒ වෙනුවට පරික්ෂා කිරීම් වලදි නොමඟ යැවීම සදහා එවැනි රසායනික නයිට්‍රජන් එකතු කරන බව එම පරික්ෂණ වලදී ඔප්පු විය. කිරි ප්‍රෝටීන හෙවත් වේ ප්‍රෝටීන කි.ග්‍රෑම් එකක් ඇ. ඩොලර් 50 ක් වන විට රසායනික නයිට්‍රජන් අඩංගු ද්‍රව්‍යය කි.ග්‍රෑම් එකක් ඇ. ඩොලර් ශත 50 ක් පමණ වේ. ඒ අනුව එම නිති විරෝධි ක්‍රියාව මඟින් ලබාගන්නා වාණිජමය වාසිය කොතෙක්දැයි පැහැදිළි වේ. අයුතු ලාභය සඳහා සමාගම්වල ඉහළ නිලධාරීන් විසින් සිදුකරන එවැනි කුඨ ක්‍රියා බොහෝ විට එම රටවල ජනතාව දන්නේ නැත. ඒවා අතීත කථා බැවින් අදට අදාල නැති බවට තර්ක කළ හැක. එහෙත් ප්‍රායෝගිකව එම සමාගම්වල කූඨ වාණිජ ප්‍රතිපත්ති කාලය සමඟ වෙනස් නොවන බව පැහැදිලි වේ. කිරි වලින් කිරි ප්‍රෝටීන ඉවත්කරගැනීමේ ක්‍රියාවලියේදි පළමු වටයේදි ඒ සඳහා යොදාගනු ලැබුවේ ටෙලමයින් ය. නමුත් එය එළිදරව් වූ පසු දෙවන වටයේදී ඒ සඳහා ඩී.සී.ඩී නම් වූ රසායනිකය යොදාගන්නා බව රහසක් නොවේ. ඒ අතර යුරෝපීය සම්භවය සහිත කිරිදෙනුන්ගෙන් ලබා ගන්නා කිරිවල A1 නමැති, ප්‍රෝටීනය බහුලව ඇති අතර ඒවා දරුවන්ගේ අසාත්මිකතා සහ ඇඳුම වැනි රොග වලට හේතුවන බව ඔප්පු වී ඇත. ඒ නිසා දැන් හොඳ ප්‍රෝටීන හෙවත් A2 ප්‍රෝටීන බහුලව අඩංගු කිරිපිටි විශේෂිත වෙළඳනාම යටතේ ඉහළ මිලට විකිණීමට කිරිපිටි සමාගම කටයුතු කරති. නමුත් ඉහත සඳහන් කළ එම සමාගම්වල ආකල්ප අනුව ඒවා දුප්පතුන් සිටින රටවලට සුදුසු නොවේ.

කෙසේ වෙතත් කිරි පිටි හෝ ආහාරයක් ලෙස කිරි වලට විරුද්ධ වීම සහ කිරිපිටි සමාගම්වල කූඨ ක්‍රියා වලට විරුද්ධ වීම අතර පවතින වෙනස බොහෝ දෙනෙකු තේරුම් ගන්නේ නැත. එහිදී වෛද්‍ය සංගම් පවා මත ප්‍රකාශ කරන්නේ ජීව – වෛද්‍ය හෙවත් පෝෂණ විද්‍යා පදනමක් මත සිටගෙන බව පැහැදිළිව පෙනේ. කිරි පිටි හෝ පොදුවේ කිරි යනු කොස්, දෙල්, අල, බතල වැනි ප්‍රධාන ආහාර වේලට අමතරව පරිභෝජනය කරන තවත් ආහාරයක් මිස සුවිශේෂි පෝෂණ ප්‍රභවයක් නොවේ. කිරි ආශ්‍රිත ආහාර විශේෂිත පෝෂණ ප්‍රභවයක් ලෙස හෝ පෝෂණමය ඖෂධ ලෙස හඳුන්වා ප්‍රචලිත කරනු ලබන්නේ මහා සමාගම් විසිනි. අප රටේ ඖෂධ පනතට පෝෂණමය ඖෂධ ලියාපදිංචි කිරීම සඳහා විශේෂිත නව ප්‍රතිපාදන ඇතුල් කෙරෙන්නේ එවැනි සමාගම්වල අයුතු බලපෑම් නිසා බව රහසක් නොවේ.

බොහෝ විට කිරිපිටි යනු සුවිශේෂි පෝෂණ ද්‍රව්‍යයක් ලෙස මහජන මතයක් ඇති කරන්නේ කිරිපිටි වලට බාහිරින් විවිධ පෝෂක වර්ග එකතු කොට ඒවා විශේෂිත වෙළඳ දැන්වීම් මඟින් ප්‍රචලිත කිරීම මගිනි. නමුත් ප්‍රායෝගිකව මිනිසාගේ පෝෂණය රැකෙන්නේ විවිධ පෝෂණ ගුනය සහිත ආහාර වර්ග රාශියක් ආහාරයට ගැනීම හෙවත් ආහාර විවිධත්වය රැක ගැනීම තුලිනි. මිනිසුන් විසින් ආහාර තේරීමේදි හෝ මිලදි ගැනීමේදි ඒවායේ ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් හෝ මේදය කොපමණ ප්‍රතිශත වලින් තිබේදැයි ගණනය කොට ඒවා මිලදී ගන්නේ නැත. පෝෂණ ද්‍රව්‍ය බාහිරින් එකතු කළ ආහාර කිහිපයක් පමණක් ආහාරයට ගැනිම මඟින් පෝෂණය රැකෙන බවට මතවාද නිර්මානය කරන්නේ යම් පෝෂණ වේදීන් සහ ආහාර වෙඳපල ආක්‍රමණය කරන මහා සමාගම් විසිනි. තෝරාගත් ආහාර කිහිපයක් පමණක් ආහාරයට ගන්නා ජාතියක ආහාර සුරක්ෂිතතාවයට සිදුවන අනතුර කොතෙක්දැයි අයර්ලන්තයේ මහා අර්තාපල් සාගතයේ පසුබිම අධ්‍යනය කරන්නෙකුට පැහැදිළි වේ. ඒ නිසා රටේ ආහාර සුරක්ෂිතතාවය පමණක් නොව ජාතික ආර්ථිකය සහ ගොවියාගේ ජිවන තත්වය මෙන්ම මහජන සෞඛ්‍ය රැක ගැනීමේ මූලික කොන්දේසිය වන්නේ හැකි තරම් ආහාර විවිධත්වය වර්ධනය කිරිම මිස තෝරාගත් යම් ආහාර වර්ගයක තොගය වැඩි කිරීම නොවන බව සෞඛ්‍ය අධ්‍යාපන මූලධර්මයක් ලෙස පිළිගත යුතුය.

ඒ අනුව ආහාරයක් ලෙස කිරි වැදගත් වන්නේ ආහාර විවිධත්වය වැඩිකිරීම යන මූලධර්මය යටතේය. විශේෂයෙන්ම අප රට ඉන්දියාව මෙන් නොව ඓතිහාසිකව කිරි බීමට වඩා කිරි කෑමට පුරුදුව සිටි ජාතියකි. ආහාර විවිධත්වය වැඩි කිරීම සඳහා හැකි නම් තණකොළ ආහාරයට ගත යුතුය. නමුත් තණකොළ‍ සම්පූර්ණයෙන්ම දිරවීම සඳහා අවශ්‍ය ආමාශය මිනිසාට නොමැත. ඒ නිසා ඒවා දිරවිය හැකි මැෂිමක් වන ගවයාට කවා මිනිසාට දිරවිය හැකි ආහාරයක් නිපදවීම යනු ආහාර සංස්කෘතියේ දියුණු පරිනාමීය අවස්තාවකි. ඓතිහාසිකව ගෘහස්තව සත්ත්ව පාලනය ආරම්භ වන්නේ මස් ලබා ගැනිම සඳහාය. පසුව කිරි හා කිරි ආශ්‍රිත නිස්පාදන හෙවත් ” පස් ගෝ රස ලබා ගැනිම ” සඳහා සතුන් ඇති කිරීම යනු සමාජ පරිනාමයේද ඉදිරි අවධියකි. අද සිදුවන ආකාරයට ආහාර වෙලඳපල අත්පත්කර ගැනීම සඳහා මිනිසාට ආහාරයට ගතහැකි ධාන්‍ය සහිත සාන්ද්‍ර ආහාර බහුලව භාවිත කරමින් සත්ත්ව පාලනයේ යෙදෙන බටහිර රටවල් සහ කෘෂි අපද්‍රව්‍ය බහුලව යොදා ගනිමින් සත්ත්ව නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යන ඉන්දියාව සහ ශ්‍රි ලංකාව වැනි රටවල් අතර වෙනසද වටහාගත යුතුය.

ඒ නිසා කිරි වැදගත් වන්නේ පෝෂණමය පානයක්  ලෙස නොව අමතර ආහාරයක් ලෙස බව නැවත අවධාරණය කළ යුතුය.විශේෂයෙන්ම ඓතිහාසික ආහාර සංස්කෘතිය තුල ” කිරි – පැණි කෑම ” යනුවෙන් හැඳින්වෙන විශේෂිත ආහාරයක් ලෙසය. පෝෂණ ගුනය හිනවීම හෝ වෙනත් සෞඛ්‍ය හේතු මත යම් ආහාර වර්ග අධෛර්යමත්  කරන්නේ නම් පළමුවෙන්ම සියළුම පැණි බීම වර්ග අධෛර්යමත් කළ යුතුය. විශේෂයෙන්ම පාසල් ආපනශාලාවල ඒවා විශේෂිතව අධෛර්යමත් කළ යුතුය. සමහර ජාතික පාසල්වල ආපනශාලා තුල දිනකට පැණිබීම බෝතල් 1000 කට වඩා විකිණෙන බව රහසක් නොවේ. හිටපු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් 2011 වසරේදී නිකුත් තළ පාසල්වල පැණිබීම සහ තිරිඟු පිටි අධෛර්යමත් කිරීමේ චක්‍රෙල්කය ක්‍රියාත්මක කිරිමට නොහැකි වන්නේ පාසල්වල ආපන ශාලාවලින් වැඩි ආදායමක් ගැනීම සඳහා දරුවන් අතර විනාශකාරී ආහාර පුරුදු ප්‍රවර්ධනය කළ යුතු බැවිනි. ඒ අනුව බලන විට ආනයනික කිරි පිටි වල ෆාම් තෙල් අඩංගු නිසා ඒවා අධෛර්යමත් කිරීම වෙනුවට කිරිවල පෝෂණ ගුණය ප්‍රශ්න කරමින් දේශීය කිරිපිටි අධෛර්යමත් කිරීම තර්කානුකූල නොවේ.

වෛද්‍ය සංගම් විසින් අනුගමනය කරන පෝෂනය මුල්කරගත් සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රවේශය තුල රටේ ආහාර සුරක්ෂිතතාවය සහ සැබැවින්ම මහජන සෞඛ්‍ය අනතුරට වැටෙන ආකාරය කිරිපිටි අධෛර්යමත් කිරීම සඳහා ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළ පත්‍රිකාව තුලින් පැහැදිළි වේ. එම පත්‍රිකාවේ දක්වා ඇති ආහාර පිරිමීඩයේ පහලම ස්ථාරය වන කාබෝහයිඩ්‍රේට් ලබාගැනිම සඳහා පාන් සහ තිරිඟු පිටි ආහාරයට ගත හැකි බව සඳහන් වේ. අද වන විට අප රටේ ආනයනික කිරි පිටි ගැටළුවට වඩා බරපතල ලෙස තිරිඟු පිටි ව්‍යවසනය වර්දනය වී ඇත. තායිලන්තය වැනි බත් කන රටක ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය කි.ග්‍රැම් 20 පමණ වන විට අප රටේ එය 80 දක්වා වර්ධනය වී ඇත. 2014 වසරේදී මෙ.ටො ලක්ෂ 13 ක් වූ තිරිඟු පිටි ආනයනය අදාළ සමාගම් වලට ලබා දී ඇති රු මිලියන 34,000ක බදු සහන නිසා අද වන විට ලක්ෂ 17 දක්වා ලක්ෂ 4 කින් වැඩි වි ඇත. එම ගැටළුවට පිළිතුරු ඉහත සඳහන් කළ අධ්‍යාපන පත්‍රිකාව තුලින් පිළිඹිඹු වන්නේ නැත.

අනෙක් පැත්තෙන් ගත් විට කිරි පිටි ලෙස පොදු හැඳින්වීමක් යටතේ ගුණ අගුණ කතා කිරීම මෙන්ම ‘‘පස්ගෝරස‘‘ යනුවෙන් හැඳින්වෙන්නේ රස පහකින් යුත් විවිධ කිරි නිශ්පාදන අතුරින් කිරි පිටි ගැන පමණක් කතා කිරීම මඟින් ප්‍රශ්නයේ ගැඹුර දැක ගත නොහැක. ආනයනික කිරි පිටි සහ දේශීය කිරි පිටි අතර සංයුතිය වශයෙන් පමණක් ගත්තද බරපතල වෙනස්කම් ඇත. දේශීය කිරිපිටි වල කිරි මේදය ඉවත්කොටගෙන ෆාම් තෙල් හෝ වෙනත් තෙල් වර්ග එකතුකිරීමක් සිදුවන්නේ නැත. එසේම ආනයනික කිරි පිටි තොග වල කල් ඉකුත්වීමේ දිනය සහ රට තුළ නැවත කුඩා පැකට් වලට ඇසුරුම් කිරීමේ දී යොදන දිනය අතර වෙනස දන්නේ දෙවියන් පමණි. එසේම කිරි බීම හෝ කෑම වශයෙන් කුමන ආකාරයට සැලකුවත් එය හුදු පානයක් හෝ පෝෂණ ද්‍රව්‍යක් ලෙස පමණක් සලකා ඒ පිළිබඳව මත පළ කිරිමද වරදකි. ඊට අමතරව තවත් පැත්තකින් බටහිර රටවල කිරි පිටි නොබොන බවත් ඒ නිසා අපද බොනවානම් දියර කිරි පමණක් බීමට පුරුදු විය යුතු බවටද මත පළවේ. කිරි ආර්ථිකයේ බහුවිධ පැතිකඩ පිළිබඳ පවතින අනවබෝධය නිසා එවැනි මත පළ කරන බවට විවාදයක් නැත. එහෙත් ශ්‍රී ලංකාවේ දියර කිරි ප්‍රචලිත කිරීම සඳහා ‘‘කිරි ඉතිරුම් මංගල්‍ය ‘‘ නමින් දියත් කළ ප්‍රචාරක ව්‍යාපාරයට කිරි පිටි ආනයනය කරන සමාගම් දායක වීම තුළින් එම මහා පින්තූරය දැකීම සඳහා යම් ආලෝකයක් විහිදේ.

වෛද්‍ය සංගම් වලට අවබෝධය පිණිස‘‘ කිරි පිටි සංවාදය“ තුළ සැලකිල්ලට ගත යුතු ප්‍රධාන කරුනු 05ක් සංෂිප්තව මෙසේ නැවත අවධාරණය කළ හැක. පළමුවැන්න ඉහත ඉතා දීර්ඝ වශයෙන්සඳහන් කළ ආකාරයට කිරි යනු කෑම හෝ බීම යන කුමන ආකාරයට ගත්තත් රටේ ආහාර සුරක්ෂිතතාවයට අදාළව අල, බතල වැනි තවත් එක් ආහාරයකි. ඒ මඟින් ආහාරයේ විවිධත්වය  සහ අවසානයේ රටේ සමස්ථ ආහාර තොගය වැඩිවේ. දෙවැන්න ගොවියාගේ ආදායම් ඉහළ දැමීම සහ ගොවිතැන් ක්‍රම වෙනස් කිරීමේ උවමනාවයි. ශ්‍රී ලංකාවේ ගොවියන්ගෙන් 75%කට අයත්වන්නේ අක්කර දෙකකට වඩා අඩු වගා භූමියකි. ඒ නිසා බෝග නගාව තුළින් පමණක් ඔවුන්ගේ ආදායම් මට්ටම වැඩි කළ නොහැක. ඒ සඳහා බෝග වගාව සහ කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම අවශ්‍යෙව්. එසේම ඒ මඟින් ගොවීන් අතර කාබනික වගාව හෙවත් ස්වභාවික ගොවිතැන් ක්‍රම සහ ගෙවතු වගාවද ප්‍රචලිත කිරීමට අවකාශය ලැබේ.

තුන්වැන්න දියර කිරි පිටි බවට පත් කිරීමේ කර්මාන්තය උවමනා වන්නේ කුමක් නිසාද යන්නයි. ගොවියා නිපදවන ඕනෑම කිරි ප්‍රමාණයක් මිලදී ගැනීමේ හැකියාව සහධාරිතාව පවත්වාගෙන යාම නිශ්පාදනය වැඩි කිරීමේ මූලික පූර්ව කොන්දේසියකි. දේශීය කිරි පිටි කර්මාන්ත ශාලා අවශ්‍ය වන්නේ  ඒ සඳහාය. යම් කලකදී කිරි පිටි ආනයනය සම්පූර්ණයෙන්ම නතර වූ පසුව ක්‍රමයෙන් පිටි කිරි වල සිට දියර කිරි වලට මාරු වීම සිදුවේ. දියරකිරි ක්‍රමයෙන් වර්ධනය  වන විට පිටි කිරීමේ කර්මාන්තශාලා වල ධාරිතාව අඩු කිරීම හෝ අවසානයේ වසා දැමීමේ හැකියාව  ඇත. හතරවැන්න දියර කිරි ප්‍රචලිත කිරීමේදී පැනනගින ස්වභාවික බාධා පිළිබව අවබෝධයයි. දියර කිරි නැවුම් කිරි ලෙස බෙදා හැරීමේදී බෙදා හැරීමේ පිරිවැය සහ කිරි වල ගුණාත්මකභාවය පවත්වාගෙන යාම පිළිබඳ ගැටළු විසඳීම සඳහා වන වියදම් නිසා වෙළඳපල තුළ කිරි පිටි දියකර බීම වඩා ලාභදායී වේ.

අප රටේ කිරි බහුලව භාවිතා වන්නේ තේ සුදු කිරීම සඳහාය. ඒ නිසා පාරිභෝගිකයාට පිටි කිරි සහ දියර කිරි අතර මිල සාධකය හැර වෙනත් සාධක වැදගත් වන්නේ නැත. අනෙක් පැත්තෙන් සකස් කළ දියර කිරි වර්ග බෙදා හැරීම සහ නිවසේ තබා ගැනීම සඳහා ශීත දාමය පවත්වාගෙන යාමට සිදුවේ. යම් දියර කිරි වර්ග බෙදා හැරීම සඳහා ශීත කිරීම අවශ්‍ය නැතත් පැකැට්ටුව විවෘත කළ පසුව තබා ගැනීම සඳහා ශීත කිරීම අවශ්‍යෙව්. ඒ නිසා කිරි පිටි වෙනුවට දියර කිරි ප්‍රචලිත කිරීම යනු බොහෝ සාධක සැලකිල්ලට ගනිමින් ක්‍රමයෙන් සිදුවිය යුත්තකි. එය රට කිරි වලින් සවයංපෝෂිත වීමට සමගාමීව සිදු වන්නකි. පස්වැන්න ආනයනික කිරි පිටි වලට බදු සහන දෙමින් වෙළදපොල තුළ මිල විකෘතියක් ඇති කරන අතර දේශීය කිරි ගොවිතැන, ගොවියා සහ සමස්ථයක් ලෙස කිරි ආර්ථිකය දියුණු කළ නොහැකි බව පිළිගැනීමය.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More