Uncategorized

ඇමෙරිකාව ඇතුළු විදේශ බලවේග රනිල්ගේ ආණ්ඩුව වෙනස් කොට ගෝඨාභය ජනාධිපති බවට පත්කළේ රනිල් පාලනය දුර්වල නිසා සහ රනිල්ට වඩා ගෝඨාභයගේ පාලනය ඔවුන්ට වඩා හිතකර යැයි කල්පනා කරන නිසා බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගිය (22 වැනිදා) හිඟුරක්ගොඩදී පැවති ජනහමුවකදී සඳහන් කළේය.

ජාතික ජන බලවේගයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන් හඳුන්වාදීම වෙනුවෙන් දිස්ත්‍රික් සමුළුව කැඳවා තිබිණි.

එහිදී අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

‘පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය මහත්තයාගේ කඳවුරේ අය නරක විදිහට ජාතිවාදය වැපිරුවා. 2050 වෙනකොට මේ රට මුස්ලිම් රටක් වෙනවා කිව්වා. වඳ ඇඳුම්, වඳ කොත්තු සහ වඳ බෙහෙත් ගැන කතා කළා. මද්‍රසා පාසල්, ශරියා විශ්වවිද්‍යාල ගැන කිව්වා. බලයට පත්වූ ගමන් ඒවා රජයට ගන්නවා කිව්වා. සිංහල බෞද්ධාගම කීද්දුවා. රට බේරා ගැනීම සඳහා මිතුරා පැමිණ ඇත කියා මතවාදයක් රටේ ගොඩනැගුවා. ජාතීන් අතර වෛරය වැපිරුවා.

ආණ්ඩුව පත්වෙලා මාස තුනකට වැඩියි. කෝ දැන් මද්‍රසා පාසල් රජයට ගත්තාද? නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය රජයට ගත්තාද? වෛද්‍ය සාෆි ගැන විශේෂ පරීක්ෂණ සිදු කරනවාද? නැහැ. එදා වේදිකාවේ කිව්ව දේවල් ගැන එකදු පරීක්ෂණයක් සිදු කරන්නේ නැහැ. අන්තිමට සයින්දමරුදු නගර සභාව ගැසට් කරලා ඒක තාවකාලිකව අකුළා ගත්තා. එච්චරයි කරපු දේ.

පසුගිය අවුරුදු 72දී මේ රටේ ආණ්ඩු 15ක් රට පාලනය කළා. ඔවුන් රටට කරලා තියෙන්නේ මොනවාද? තරුණ තරුණියන්ට රැකියා බිහි කරලා තියෙනවාද? ගොවීන්ට කලට වේලාවට පොහොර ටික, ඔවුන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබාදෙනවාද? නැහැ. පාරිභෝගිකයාට සාධාරණ මිලකට හාල් ටික ගන්න විදිහක් නැහැ. රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය බිඳ වැටිලා. දුප්පත් ජනතාවට ගෙයක් දොරක් හදාගන්න ආදායමක් නැහැ. හැබැයි කියනවා අපි අලුත් ආණ්ඩුවක් හදනවලු. ඒකට තුනෙන් දෙකේ බලයකුත් ඕනෑලු.

ඔය හදන ආණ්ඩුවේ නිමල් සිරිපාලලා, දුමින්ද දිසානායකලා, දයාසිරිලා, මහින්ද අමරවීරලා, එස්.බීලා ඔක්කොම ඉන්නවා. මේ අය 1994 ඉඳලා හැම ආණ්ඩුවකම ඇමැතිලා. එතකොට මේ අය අලුත්ද? හදන ආණ්ඩුව අලුත්ද? නැහැ. අවුරුදු 72ක් සිද්ධ වුණ සන්තෑසියම නැවත සිද්ධ වෙනවා.

ජනාධිපතිවරණයේදී ගත් තීන්දුව මහ මැතිවරණයේදී ගන්න එපා. ජනාධිපතිවරණයේදී අලෙවි කළේ දේශපාලනය. එම්.සී.සී. ගිවිසුම, මුස්ලිම් ව්‍යාප්තියේ අනතුර, විනයගරුක රටක් වගේ දේශපාලන සටන් පාඨ. කෝ දැන් ඒවා? මතක තබාගන්න බලයට පත්වෙලා ඉතාම කෙටි කාලයකින් ජනතා අප්‍රසාදයට පත්වූ එකම ආණ්ඩුව මේක. මේ අයට සැප්තැම්බර් 02 වැනිදා වෙනකම් බලයේ ඉන්න පුළුවන්. නමුත් දවසින් දවස පිරිහෙන නිසා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවන්න ලැබෙන පළමු අවස්ථාවේදීම එය සිද්ධ කරනවා.

දැන් අලුත්ම දේ රැකියා ලක්ෂයක් දෙනවා කියලා ඉල්ලුම්පත්‍ර පුරවන එක. ඕක අලුත් දෙයක්ද? ඉතිහාසය පුරාවට ඡන්ද කාලෙට ඕනෑ තරම් ඔය වගේ ඉල්ලුම්පත්‍ර පුරවලා තියෙනවා. අලුතින් රැකියා ගේනවා තියා ඉන්න අයටවත් පඩි ගෙවාගන්න ආණ්ඩුවට හැකියාවක් නැහැ.

පසුගිය කාලයේ විශ්‍රාම ගිය අයට විශ්‍රාමික පාරිතෝෂිත ගෙවලා නැහැ. අතිකාල සීමා කරලා. රජයේ විධායක නිලධාරීන්ට ලබාදීමට නියමිතව තිබූ රුපියල් 15,000ක දීමනාව නවත්වලා. රෝහල්වල බෙහෙත් හිඟයි. පො​හොර සමාගම්වලට රුපියල් කෝටි 1700ක් ගෙවන්න තියෙනවා. ඒ නිසා ගොවීන්ට පොහොර ලැබෙන්නේ නැහැ. එළවළු ඇතුළු භාණ්ඩ මිල ඉහළ ගිහින්. එදා කිව්ව ආර්ථික සහන මොනවත් නැහැ. මතක තබාගන්න මහ මැතිවරණයෙන් පස්සේ විදුලි බිල්, ජල බිල්, බස් ගාස්තු සියල්ල ඉහළ යනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More