පුරවැසි කොලම

දින 100ක වැපිරූ දෑ

February 25, 2020 9:59 am | Lanka Lead News

ජනතා සිතුම් පැතුම් සහ දේශපාලනය අතර ඇත්තේ අනුල්ලංඝනීය සබඳතාවකි. ඒ බොහෝ දේශපාලන තීන්දු තීරණ සෘජුවම ජනතා අපේක්ෂා මල්ඵල දරන්නත්, සුනු විසුණු කරන්නත් හේතුවී ඇති නිසාය. පසුගිය යහපාලන නම් වූ දේශපාලන සංකල්පය පිළිබඳ වූ ජනතා අපේක්ෂා පෙන්නුම් කළේද ඒ යථාර්ථයයි.

යහපාලන බලාපොරොත්තු එහි න්‍යායාචාර්යවරුන් විසින් තත්පරයෙන් තත්පරයට, විනාඩියෙන් විනාඩියට සුනු විසුණු කළේය. ඉන් අපේක්ෂාභංග වූ ජනයා නැවත රට දෙසට හරවන්නට ගෝඨාභය රාජපක්ෂයන්ගේ ජාතික නායකත්වය සමත් විය. ඒ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රකාරවය.

එය වසර හැත්තෑ දෙකක නිදහස් ශ්‍රී ලංකාවේ සමස්ත ක්ෂේත්‍රයන් පිළිබඳ අතීතය වර්තමානය සංකල්පීය අතික්‍රමණයකි. විවිධ විෂයන්හි ප්‍රාමාණිකයෝ එක්ව කළ ගැඹුරු අධ්‍යයනයක ප්‍රතිඵලයකි. ඒ නිසාම තවත් දසවැදෑරුම් ප්‍රතිපදාවක් ඊට අනුසාරී වැඩපිළිවෙළක් ලෙස ජනතාවට අතට පත්කර තිබේ. එය සෞභාග්‍යවත් දේශයක් වෙනුවෙන් ඉතිහාසයේ ලියවුණු වටිනාම ලියවිල්ල බව දේශපාලන දෘෂ්ටියෙන් බැහැර සිතන ඕනෑම අයකුට පැහැදිලි වෙයි. එය යථාර්ථයක් කිරීම මටසිලිටු කාර්ය භාරයක් නොවේ. දැඩි අභියෝගයකි.

එකී අභියෝගය සමාජගත කිරීම පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය දිනෙන් දින තහවුරු කරමින් දවස් සියයක් ගතව තිබේ. මේ පසු විපරම ඒ ගෙවී ගිය ඒ සෞභාග්‍යයේ දින සියය පිළිබඳවය.

ශ්‍රී ලාංකීය භූමියේ වටිනා සම්පත මානව සම්පත බව රජය නිවැරදිව සිය ප්‍රතිපත්ති ප්‍රකාරව හඳුනාගෙන තිබේ. ඒ නිසා ඒ සම්පත නව ප්‍රවණතා කෙරෙහි අවධානයට ලක්කරමින් පෙරට ගැන්මට දීර්ඝ කාලීනව, කෙටි කාලීනව සැලසුම් ක්‍රියාත්මකය. ලෝකය ජයගන්නා පෞරුෂයකින් යුත් දරුවෙක් නිර්මාණය කළ හැකි අධ්‍යාපනයට රට සූදානම්ය. ඒ සඳහා පාසල් දහසක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කෙරේ. ඉන් ජනප්‍රිය පාසල් පිළිබඳ වූ මානසික ගැටලුව දෙමව්පියන්ගේ අවම වනවා සේම අධ්‍යාපනයේ සම අවස්ථා සියලුම දරුවන්ට උරුම වේ. උසස් පෙළ සමත් සිසුන් සැමට එක්ව විශ්වවිද්‍යාල වරම් හිමිකර දීමට රජය ගත් අභියෝග රටේ තරුණ පරපුරේ හෙට දවස දීප්තිමත් කිරීමකි. ඒ අනුව පසුගිය වසර විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන් එක්ලක්ෂ අසූඑක්දහසකට උපාධියක් සඳහා වූ වරම් හිමි වෙයි. ඒ සඳහා පවතින සරසවිවලට 50% වැඩිපුර ඇතුළත් කෙරෙනු ඇත. ඊට අනුසාරීව විශ්වවිද්‍යාල විද්‍යායතන සියයක් වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මකව තිබේ. එසේම වෘත්තීය ඉලක්ක කරගත් විවෘත විශ්වවිද්‍යාල සහාය රජය අපේක්ෂා කරයි. ඉන් තවත් ලක්ෂයකට අධික සිසුන් පිරිසකට උපාධියට මග සැලසෙයි. එසේම ලෝක ප්‍රවණතාවන්ට අනුකූල උසස් අධ්‍යාපන ආයතන රට තුළ ස්ථාපනය කෙරේ. එසේම උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලත් සියල්ලන්ට තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවට රජය තැබූ පියවර සාධනීයය.

අපේ රට දීර්ඝ කාලයක් අපේක්ෂා කළ ජාතික අධ්‍යාපනය ප්‍රතිපත්තිය පිළිබඳ සිහිනය නව රජයේ යථාර්ථවත් කිරීමට පියවර ගෙන ඇත. අධ්‍යාපනය පිළිබඳ කාර්ය සාධක බළකායක් පිහිටුවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා සැලසුම් සහගතව සහ විනිවිද භාවයකින් යුතුව සිදු කෙරේ. මෙතෙක් පැවැති එක් එක් රජයන්ට සහ අමාත්‍යවරුන්ට අනුව වෙනස් වන අධ්‍යාපන ක්‍රමයට ඉන් තිත තැබේ.

දිළිඳුකම පිටුදැකීම මේ රටේ නිදහසින් පසු පැවැති සියලු රජයන්හි ප්‍රධාන මාතෘකාවය. විවිධ රජයන් ඒ සඳහා ක්‍රමෝපායන් ක්‍රියාත්මක කළද අපේක්ෂිත ඉලක්ක සපුරා නැත. අදටත් මේ රට මැදි ආදායම් රාජ්‍යයකි. රටේ දිළිඳුකම පිටුදැකීමද ඉලක්ක කරගත් කාර්යසාධන බළකායක් පිහිටුවා දිළිඳු පවුල්වල නිපුණතාවක් නැති සෞඛ්‍ය සම්පන්න තරුණ තරුණියන්ට ඒ යටතේ රැකියා ලක්ෂයක් බිහි කෙරේ. ඊට සමගාමීව එම ජන කොටස් ඉලක්ක කරගත් යටිතල පහසුකම් සංවර්ධනය කාර්යක්ෂම කෙරේ. ඒ අනුව ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් සංවර්ධනය කෙරේ. පානීය ජල සබඳතා එක්ලක්ෂ පනස්දාහක් ලබාදීමට යෝජිතය. ග්‍රාමීය ආර්ථිකය ඉලක්ක කොටගත් වෙළෙඳසල් ජාලයක් රටපුරා ස්ථාපනය කිරීමට කෙටුම්පත් සකසා අවසන්ය. තිස් අවුරුදු බදු පදනම යටතේ ඉඩම් කැබලි ලක්ෂයක්ද ලබාදෙයි.

ඉඩම් අමාත්‍යාංශය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, බිම් සවිය සහ අනෙකුත් රේඛීය ආයතන ඒ වෙනුවෙන් වග වෙයි.

අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කිරීමට රජය සැලසුම් කර ඇත. අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩ පිළිවෙළද ඉදිරි මාසයේ සිට ක්‍රියාවට නැංවේ. එසේම රටේ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1000 ක් කිරීමට මාර්තු 1 වනදා සිට රජය පියවර ගෙන තිබේ.

අතෘප්තිමත් රාජ්‍ය සේවකයා සේම රාජ්‍ය සේවය පිළිබඳ ජනතා අප්‍රසාදය රටේ ඉදිරි ගමනට දීර්ඝ කාලයක් පැවැති බාධාවකි. එය හඳුනාගත් රජය රාජ්‍ය සේවකයා තෘප්තිමත් කිරීම වෙනුවෙන් ගත් ක්‍රියාමාර්ග බොහෝය. එසේම කාර්යක්ෂම ජනතා සේවයක් වෙනුවෙන් රාජ්‍ය ආයතන යොමුගත කරවීමට මේ වනවිටත් පියවර ගෙන තිබේ. ඒ සඳහා ආයතන ප්‍රධානීන් පත්කිරීමේ සිට ආකර්ෂණීය සේවා ස්ථානයක් වෙනුවෙන් වූ වැදගත් පියවරයන් ක්‍රියාවට නංවා තිබේ.

රාජ්‍ය ආයතන කඩා වැටීමට වූ හේතූන් අතර අනවශ්‍ය වියදම් සහ අකාර්යක්ෂමතාව හේතුවී ඇති බව නොරහසකි. රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන ක්‍රියාවලිය විනිවිද සිදුකිරීමට උපදෙස් හා මගපෙන්වීමට රජය ක්‍රියාකර තිබේ. අනවශ්‍ය උත්සව නතර කිරීම, ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධන ආදී වූ ක්‍රියා මගින් සෘජු හා වක්‍ර වියදම් අවම කෙරේ. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් උදෙසා සියලුම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමුකිරීමද රජය සපුරන ඉලක්කයකි.

මත්ද්‍රව්‍ය උවදුර මැඬ පැවැත්වීම පිළිබඳ ආගමික නායකයන්ගේ සේම ජනතාව තුළින් පැවැති සියලු රජයන්ට කළ යෝජනා බොහෝය. එය යථාර්ථයක් බවට පත්වන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රකාරවය. ඒ අනුව මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට බලය පවරා තිබේ. දිනෙන් දින සමාජයේ භීතියට පත්කළ පාතාලය අද නැත. ඒ වෙනුවෙන් පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වගකීමක් දැරූ රජය විසින් ගැසට් නිවේදනයක් මගින් හමුදාවට භාර කළේය.

වසර 2015 ට පෙර ලෝකයේ පිරිසිදු නගර අතර පෙරමුණට ආ කොළඹ නගරය අකාර්යක්ෂම නගර පාලනය හේතුවෙන් ගඳ ගැසූ අයුරු අපද්‍රව්‍ය තැනින් තැන ගොඩගැසී තිබූ අයුරු ඔබට මතකය. පොලිස් දෙපාර්තමේන්තුවේ හා සෙසු කණ්ඩායම්වල දැඩි අවධානය ඒ සඳහා යොමු කොට කොළඹත්, දිවයිනේ සියලුම නගර හා පරිසරයන් ජනවාසයකට සුදුසු තත්ත්වයකට අද පත්කොට තිබේ.

2015 පෙර මේ රටේ පැවැතියේ සහලින් ස්වයංපෝෂිත කළ ආණ්ඩුවකි. එම රජය පෙරළා බලයට ගත් ආණ්ඩුව මත්තල ගුවන් තොටුපොළ වී ගබඩාවක් කළේ ඒ අතිරික්තයට ගබඩා හිඟවීම නිසාය. නැවත 2019 වර්ෂයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලය හිමිකරගත් ආණ්ඩුවට ලැබෙන්නේ හිස් ගබඩා කිහිපයකි.

පසුගිය දිනවල සහල් හිඟය බරපතළ ගැටලුවක් වී තිබූ බව ඔබට මතකය. වහාම ඊට විකල්ප සොයනු වස් විද්‍යානුකූල ක්‍රමවේදයකට අස්වනු මිලදී ගැනීමටත්, වී ගබඩා පුළුල් කිරීමටත් රජය පියවර ගත් අතර ගොවියාට සාධාරණය ඉටු කරමින් මහ කන්නයේ වී කිලෝවක් රුපියල් 50 ක අවම සහතික මිලකට සහ ප්‍රමිතිය අසම්පූර්ණ වී කිලෝවක් රුපියල් 44 කට මිලදී ගැනීමට නිර්දේශ විය. ඒ සඳහා යුද හමුදාවේ මැදිහත්වීම මේ වනවිට ඉතා ක්‍රමානුකූලව සිදු කෙරේ.

ජාතික ආර්ථිකයට බරපතළ ලෙස බලපෑ අවිධිමත් ආයෝජන සැලසුම් ප්‍රසම්පාදන සහ කළමනාකරණ කාර්යක්ෂම කිරීමට රජය තැබූ පියවර ප්‍රශංසනීයය. ඒ වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක පිහිටා ක්‍රම සම්පාදන කාර්යාංශයක් පිහිටුවීමට යෝජිතය. රාජ්‍ය ආයෝජන, ප්‍රසම්පාදන, ව්‍යාපෘති විශ්ලේෂණ ආදී වූ බොහෝ වගකිව යුතු කාර්යයන් එයට පැවැරේ.

සාම්ප්‍රදායික සුළු කර්මාන්තකරුවා මේ රටේ අමතක වූ පිරිසකි. ඔවුන් දිරිගැන්වීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රාජ්‍ය මැදිහත්වීම ලබාදීමට රජය පියවර ගෙන ඇත. ගම්මිරිස්, කුරුඳු ඇතුළු සුළු අපනයන භෝග ගොවියා පත්ව සිටි ඉරණමද ඛේදජනකය. මෙම ද්‍රව්‍ය පිටරටින් ආනයනය කිරීම තුළින් සහ ප්‍රතිඅපනයනය මාෆියාව ජනතාව මේ ඉරණමට ඇද දමා තිබිණි. ජනාධිපතිවරයා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි සුළු අපනයන භෝග ආනයනය අවසන් කළේය.

තිරිඟු පිටි ඒකාධිකාරියක් නිසා පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස තිරිඟු පිටි ආනයනයට ඉඩ ලබාදීම සුළු ව්‍යාපාරිකයන්ගේ ප්‍රශංසාවට හේතු විය.

රටේ ඉඩම් පිළිබඳ ගැටලුව ඉතා සංකීර්ණ වූවකි. පුද්ගලිකව මේ කාරණය ඉතා සංවේදී වන්නා සේම රාජ්‍ය සංවර්ධන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරී​මේදී ඉතා වැදගත් වෙයි. ඒ දීර්ඝකාලීන ගැටලුව විසඳනු වස් ජනාධිපතිවරයා විසින් මේ සියලුම ඉඩම් ඒකක කඩිනමින් මිනුම් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ. විදෙස් ආයෝජන අවස්ථාවන් පහසු කරනු වස් ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින ආයෝජන අවස්ථාවන්ට අදාළ සම්පූර්ණ විස්තර ගොනු කිරීමට පියවර තබා ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට එම තොරතුරු සම්බන්ධ ඉතා කෙටි කාලයකින් ආයෝජකයන්ට සිය ආයෝජන නිරවුල් වූ භූමියක සිදුකිරීමට අවස්ථාව උදාවේ.

උපාධිධාරීන්ගේ රැකියා ගැටලුව සෑම රජයකම කරළියට පැමිණෙන රජය ඒ සඳහා නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කරමින් උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට සියලු සැලසුම් සකස් කර අවසන්ය. සංචාරක ක්ෂේත්‍රය රටේ ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාගැනීමට රජය අවධානය යොමු කර තිබේ. ඒ අනුව සංචාරක ආකර්ෂණය සහිත කුඩා නගර සියල්ල සංවර්ධනය කිරීමේ සැලසුම් ක්‍රියාත්මකය. එසේම රටේ මාර්ග පද්ධතිය යාවත්කාලීන කිරීමට ආරම්භව ඇත. පොදු ප්‍රවාහන සේවය ගුණාත්මක කිරීම ඊට සමගාමීව සිදුකෙරේ.

රජය අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීමට ඉලක්ක සහගතව සිටි කාලසීමා පසුගිය ආණ්ඩු පෙරළිය විසින් සිහින බවට පත්කර තිබිණි. ජනාධිපතිවරයා විසින් සියලු අධිවේගී මාර්ග ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් දී තිබේ. ඒ අනුව මධ්‍යම අධිවේගී මාර්ගය, රත්නපුර අධිවේගී මාර්ගයේ වැඩ කඩිනම් කෙරේ. ගාලු පාරට සමාන්තරව මුහුදුබඩ මාර්ගය පානදුර දක්වා දීර්ඝ කෙරේ. ඊට සමගාමීව කොළඹ මාර්ග තදබදයට පිළියම් ලෙස තවත් ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකය. දේශීය ඉංජිනේරුවන්ගේ මූලිකත්වයෙන් මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වීමද විශේෂත්වයකි.

එසේම, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධන බළකායක් ස්ථාපනය කෙරිණි. දේශීය කර්මාන්ත සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මිල පාලනය ඉලක්ක කර ගනිමින් වැලි, පස් හා මැටි ප්‍රවාහනය සඳහා වූ බලපත්‍රය අහෝසිය. මහජන මුදලින් සංවර්ධනය කෙරෙන මාර්ග සඳහා දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු වෙනුවට මාර්ගයේ නම සහිත රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී තිබේ. රාජ්‍ය මාධ්‍ය ස්වාධීන ආයතන බවට පත්කිරීම තුළින් රජයේ හොරණෑ ලෙස ලේබල් කර තිබූ රාජ්‍ය මාධ්‍ය යුගයට තිත තැබිණ. ජනාධිපති කාර්ය මණ්ඩලය පරිවාර රථ සීමා කිරීම සහ ජනාධිපති නිල නිවස ලෙස තමන්ගේ පදිංචි නිවසම තෝරාගැනීම ජනතා ප්‍රසාදයට ලක්ව ඇත.

සරුංගල්, පහන් කූඩු වැනි නිෂ්පාදන පිටරටින් ආනයනය කිරීම පාලනය කිරීමට නීති සැකසීම තුළින් දේශීය සාමාන්‍ය නිෂ්පාදකයන්ට සහන සැලසීය. පළමු වතාවට නිවසක් මිලදී ගැනීමේදී සහන පොලියක් සහිත දිගුකාලීන ණය ප්‍රදානයද පැසසිය යුත්තකි.

අනුකූලතා සහතික (COC) එක් දිනකදී නිකුත් කිරීම, නිවාස හෝ සුළු ව්‍යාපාර ඉදිකිරීමේදී නිසි පරිදි සම්පූර්ණ කර ඇති සැලසුම් එක් දිනකදී අනුමත කිරීම, සැහැල්ලු වාහන සඳහා රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අක්ෂි පරීක්ෂාව පමණක් සිදුකිරීම ආදියද සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය පහසු කරවයි. ජනවාරි 1 වැනිදා සිට මාධ්‍යවල ප්‍රචාරණය වන ගීත සඳහා අදාළ ගායක ගායිකාවන්ට කර්තෘභාග ගෙවීම ආරම්භ කර ඇත. ඉදිරි කාලසීමාව තුළ හෙද පාඨමාලා හදාරන අයට සහ ගුරු පුහුණුව ලබන අය උපාධි අවස්ථා දක්වා රැගෙන යාමට සැලසුම් සකස් කරමින් පවතී.

රාජ්‍ය ආයතනවල ජනාධිපතිවරයාගේ, විෂය භාර අමාත්‍යවරුන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවට රාජ්‍ය ලාංඡන ප්‍රදර්ශනය කිරීම නව සමාජ ආකල්පයකි. ලාභ අපේක්ෂා නොකරන ආයතන ජනතාවට සතුටු විය හැකි හොඳ මහජන සේවයක් සපයන ආයතන බවට පත්කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන තිබේ. ඒ අනුව ඊට අදාළ වැඩ පිළිවෙළද ක්‍රියාත්මකය. 1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය වහාම යාවත්කාලීන කෙරිණ.

මේ සියල්ල ගොනු වන්නේ ඉලක්ක ගත අරමුණු සහිතවය. රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව කිසිදු කොන්දේසියක් මත අනතුරට ලක්ව නැත. ලෝකයේ සියලු රාජ්‍යයන් සමග ගනුදෙනුවේදී ශ්‍රී ලාංකේය අනන්‍යතාව සුරක්ෂිතය. රාජ්‍ය පාලනයේ සාමූහික වගකීම පාරදෘශ්‍යභාවයෙන් යුතුව සිදු කෙරේ. එය ජනතාව වඩාත් දිරි ගන්වන්නකි. මහජන නියෝජිතයාගේ පටන් රාජ්‍ය නිලධාරියා දක්වා වූ කැපවීම, අවංක භාවය දිනෙන් දින වර්ධනය වෙයි. රටේ පුරවැසියා සංතෘප්තිමත් විනයගරුක, පුද්ගලයකු වන තරමට රටේ ඉලක්ක පහසු කරවයි. ඒ සඳහා රට ගොඩ නැගේ. සුළු පිරිසක් සතුටු වූ දෛනික ආර්ථිකය වෙනුවට ජනතාවාදී ආර්ථිකයකට රට සූදානම්ය. සමාන අවස්ථා සහිත ගෞරවනීය දිවි පෙවෙතක් සියලු පුරවැසියන්ට තහවුරු කෙරේ. ලෝකය දියුණු රටවල් ජයගත් තාක්ෂණය හා නවීන ක්‍රමෝපායන් රට තුළ මතුවෙමින් තිබේ. භාණ්ඩ හා සේවා වෙනුවට ලෝක තාක්ෂණය රට තුළ ස්ථාපනය කෙරේ. අද නැවතත් මුළු රටම එකම වැඩ බිමකි. භෞතික සම්පත් සංවර්ධනය නිවැරදිම දිශානතියකට රට හරවා තිබේ. ඇළට, දොළට, ගංගාවට සංවේදී ප්‍රතිපත්ති රජය තුළ ක්‍රියාත්මකය.

විනයගරුක, ප්‍රතිපත්තිගරුක සාධාරණ සමාජය වචනවලට සීමා වී නැත. එය පොදු මහජන අපේක්ෂාවකි. තිරසර සංවර්ධන ප්‍රවේශයකි.

ආණ්ඩුව මේ සියල්ල ජනතාවට අතට පත් කරන්නේ ජාතික ආරක්ෂාව මුල් තැන්හි තබාගෙනය. ඒ ජාතික ආරක්ෂාව බිඳ වැටුණොත් අන් සියල්ල අනතුරේ බව ඉතිහාසය විසින් ඔප්පු කර ඇති නිසාය.

සරලව ගත් කල වසර සිය ගණනක පුරන් වූ කෙතක් අස්වද්දන්නේ යම් සේද එවන් අභියෝගයක් රජය සතුය. පස සරු කරමින් වල් උදුරා දමා විනාශ කළ යුතුය. නිවැරදිව ලියදි නොබැන්දොත් වතුර නොරැඳේ. වැට කඩුලු බඳින විට දිරා ගිය දඬු ලීද වෙයි. කක්කුටු බෙන වසන විට වක්කඩ කැඩී ඇත. වක්කඩ බඳින විට ගංවතුරය. විටෙක නියන්ය. එසේ වුව කෙත අස්වැද්දිය යුත්තේමය. බැත සරු නොකොට පත සරු නොවේ. අප දුටුවේ ගෙවී ගිය දවස් සියය තුළ එකී අරගලයයි. අපේ අපේක්ෂා මල්ඵල ගන්වන්නේ ඒ සියලු ​අභියෝග මැද පීදෙන කෙතය.

•තිලාන් පුංචිහේවා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More