වෛද්‍ය කේ. එම් වසන්ත බණ්ඩාර
හමුදාපති ලෙෆ්ටිනන්ට් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අසාදු ලේඛනගත කිරීම පිළිබඳව රජයෙන් මෙන්ම විවිධ ජාතික සංවිධාන වලින්ද විරෝධය එල්ල වී ඇත. එහෙත් යුද්ධයට නායකත්වය ලබා දුන් ආරක්ෂක හමුදා නායකයන් එසේ අසාදු ලේඛනගත කිරීම අලූත් තත්ත්වයක් නොවේ. එම ප‍්‍රශ්නය විශේෂයෙන් මතුවී පෙනෙන්නේ ශවේන්ද්‍ර සිල්වා මහතා වර්තමාන හමුදාපතිවරයා නිසා ඇතිවන රාජතාන්ත‍්‍රික තාක්ෂණික තත්ත්වයක් නිසාය. ඔහු විශ‍්‍රාම ගොස් සිටියානම් ඔහුට මුහුණ දීමට සිදුවන්නේ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ මහතාට සිදුවුණ දේටය.
යුද හමුදාපතිවරයා යුද අපරාධකරුවෙකු ලෙස යම් අධිකරණයක් විසින් ඔප්පුකොට නොමැති නිසා ඇමෙරිකාවට එවැනි පියවරක් ගත නොහැකි බවටද යම් පාර්ශ්ව තර්ක ඉදිරිපත් කරති. එවැනි තර්ක ඉදිරිපත් කෙරෙන්නේ පවතින තත්ත්වය පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැති නිසා බවට විවාදයක් නැත. මේ වන විට දරුස්මාන් කමිටුවට ඉදිරිපත් වූ සාක්ෂි මත පදනම්ව එම කමිටුවේ සාමාජික යස්මින් සූකා විසින් ඉහළ හමුදා නිලධාරීන් 57 දෙනකුට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කරමින් මානව හිමිකම් කවුන්සිලයට පවා වාර්තා ඉදිරිපත් කොට ඇත. ඒ අතර ජාත්‍යන්තර මානව හිමිකම් කොමසාරිස් වරයා විසින් 2015 දී ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාව පිළිබඳ වාර්තාව හෙවත් OISL වාර්තාව සහ ඊට පසු අවස්ථා දෙකකදී ඉදිරිපත් කළ අතුරු වාර්තා මගින් යුද අපරාධ චෝදනා එල්ල වන හමුදා නිලධාරීන්ට එරෙහිව අන්තර්ජාතික අධිකරණ බලය ක‍්‍රියාත්මක කරන ලෙස සාමාජික රටවලින් සහ සෙසු රටවලින් ඉල්ලා සිටින ලදි.
ඒ අනුව කුමන හෝ ගොතන ලද චෝදනාවක් එල්ල කළ හැකි ඕනෑම හමුදා නිලධාරියෙකු අසාදු ලේඛනගත කිරීමට, ඔහුට එරෙහිව නඩු පැවරීමට සහ ඔහුව පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටීමටද ජාත්‍යන්තර නීතිය යටතේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේද අවකාශය ඇත. එසේ OISL වාර්තාව මගින් ශවේන්ද්‍ර සිල්වා මහතා ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට එරෙහිව එල්ල කරනු ලැබූ පොදු චෝදනා 8 ක් මත පදනම්ව ඉදිරිපත් වූ 31/1 යෝජනාවට අනුව හමුදා නිලධාරීන්ට දඬුවම් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් විශේෂ නීති තුනක් සම්මත කර ඇත. පළමුවෙන්ම, අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත මගින් සාක්ෂි ආඥාපනත අදාළ නොවන ලෙස හමුදා නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා ‘‘චෝදනා ෆැක්ටරියක්’’ පිහිටුවන ලදි. දෙවනුව බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත මගින් දේශීය යුද අපරාධ අධිකරණයක් පිහිටුවීම සහ විදේශ රටක් විසින් චෝදනා එල්ල කරනු ලබන නිලධාරියෙකු පිටුවහල් කිිරීම සඳහා ප‍්‍රතිපාදන සලසා ඇත. තුන්වනුව අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේ අන්‍යෝන්‍ය සහයෝගිතා පනත මගින් චූදිත හමුදා නිලධාරීන් පහසුවෙන් ඕනෑම රටකට පිටුවහල් කිරීම සඳහා ප‍්‍රතිපාදන සලසා ඇත. මේ සියලූ කරුණු අනව ශවේන්ද්‍ර සිල්වා මහතා අසාදුලේඛනගත කිරීම සඳහා ඔහු ජාත්‍යන්තර යුද අධිකරණයකින් වරදකරුවෙකු කිරීමට අවශ්‍ය නොවන බව නීතිඥයෙකු නොවන සාමාන්‍ය පුරවැසියෙකුට වුවද තේරුම්ගත හැක.
එසේනම් බොහෝ පමාවී ඇතත් දැන් කළ යුත්තේ පුවත්පත් සාකච්ඡා මගින් ඇමෙරිකාවට විරෝධය පළ කිරීම නොව රණවිරුවන් චෝදනා වලින් නිදහස් කර ගැනීමය. එනම් දරුස්මාන් වාර්තාවේ සාක්ෂි මත පදනම්ව OISL වාර්තාව මගින් එල්ල කරනු ලැබූ චෝදනා වලට නිිසි පිළිතුරු බැඳීම මගින් ඒවා නිෂ්ප‍්‍රභ කිරීමය. ඇමෙරිකාවට බැන අඬගැසීමෙන් හෝ 30/1 යෝජනාවෙන් ඉවත්විය යුතු බවට සටන්පාඨ ඉදිරිපත් කිරීම මගින් එය කළ නොහැක. ඒ සඳහා කිසිදු රටකට ප‍්‍රතික්ෂේප කළ නොහැකි ස්වභාවික යුක්තිය මූලධර්ම යටතේ චූදිතයා විසින් තමාට එරෙහිව එල්ල කරන චෝදනා වලට ප‍්‍රති උත්තර බැඳීමට අවස්ථාව ඉල්ලා සිටිය යුතුය. නමුත් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් හඬ නගන පිරිස් සමස්ත රණවිරුවන් වෙනුවෙන් ඒ දේ කිරීමට ඉදිරිපත් වන්නේ නැත. ඒ වෙනුවට කරන දේ පසුගිය දා කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප‍්‍රකාශ කරන්නට යෙදුනි.
ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ද අයිලන්ඞ් පුවත්පතේ ප‍්‍රවීණ මාධ්‍යවේදී ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට ලබා දුන් පිළිතුරක් ලෙස පසුගිය ජනවාරි 23 වන දින එම පුවත්පත විසින් පළ කරන ලද ප‍්‍රවෘත්තියක් පිළිබඳව සමාජයේ යම් ආන්දෝලනයක් ඇති විය. එහිදී රඹුක්වැල්ල මහතා විසින් ප‍්‍රකාශ කොට ඇත්තේ මාර්තු මස ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී වර්තමාන ආණ්ඩුව විසින් අනුගමනය කරනු ලබන්නේ පසුගිය රජයේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසින් අනුගමනය කළ ස්ථාවරය බවය. එනම් රණවිරුවන්ට එරෙහිව එල්ල කෙරෙන යුද අපරාධ චෝදනා පිළිබඳව වර්තමාන ආණ්ඩුවේ ස්ථාවරය පසුගිය ආණ්ඩුවේ ස්ථාවරයට වඩා වෙනස් නොවන බවය. රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රකාශය එතුමාගේ පුද්ගලික මතය අනුව සිදුකරන ලද්දක්ද එසේ නැතහොත් එය රජයේ පොදු ස්ථාවරයක්ද යන්න පැහැදිලි නැත. එසේ වුවත් එම ප‍්‍රකාශයට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් දැඩි විරෝධය පළ කරන්නට යෙදුනි. නමුත් ඊට අදාළව රජය විසින් කිසිදු නිල ප‍්‍රකාශයක් සිදුකොට නැත.
රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රකාශය මඟින් මූලික වශයෙන් ප‍්‍රශ්න දෙකක් පැන නගියි. පළමුවැන්න හිටපු විදේශ අමාත්‍ය මාරපන මහතා විසින් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය කුමක්ද යන්න සහ එය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රතිපත්තියට වඩා වෙනස් වූවාද යන්නයි. දෙවැන්න මාරපන මාවත ඔස්සේ ජිනීවා ගියොත් සිදුවන්නේ කුමක්ද යන්නයි. හිටපු විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා මානව හිමිකම් සමුළුවේ 34 වැනි සැසිවාරයේදි සඳහන් කරනු ලැබුවේ එක් දෙයක් පමණි. එනම් 2015 දී මංගල සමරවීර මහතා විසින් ස්තූතිපූර්වකව සම අනුග‍්‍රහය දැක්වූ 30/1 යෝජනාවලියේ 6 වැනි යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය බාධකයක් තිබෙන බව පමණි. එහිදී ඔහු සඳහන් කළේ 6 වැනි යෝජනාව අනුව පිහිටුවීමට නියමිත දෙමුහුන් යුද අපරාධ අධිකරණයට විදේශීය විනිසුරුවරුන් පත් කිරීමට ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළ ප‍්‍රතිපාදන නොමැති බැවින් එවැනි අධිකරණයක් පිහිටුවීමට හැකියාවක් නොමැති බවය. ඔහුගේ වචන අනුව ඔහු වක‍්‍රව සඳහන් කළේ ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ නම් එවැනි අධිකරණයක් පිහිටුවීමට බාධාවක් නොමැති බවය.
මාරපන මහතාගේ ප‍්‍රකාශය මඟින් ඊට පෙර අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අනුගමනය කළ ප‍්‍රතිපත්තිය කිසිසේත්ම අභියෝගයට ලක් කළේ නැත. එදා 2015 සැප්තැම්බර් මස ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට බරපතළ යුද අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කෙරුනු ශ‍්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස් වාර්තාව හෙවත් OISL වාර්තාව මංගල සමරවීර මහතා විසින් පිළිගනු ලැබුවේ ස්තූති පූර්වකය. ඉන්පසු එම යුද අපරාධ චෝදනා වලට අදාළව කළ යුතු දේ නිර්දේශ කෙරුණු 30/1 යෝජනාවලියේ යෝජනා 20 ටම කිසිදු අභියෝගයකින් තොරව එකඟතාව පළ කරනු ලැබීය. ඇමරිකාව ප‍්‍රමුඛ සාමාජික රටවල් කිහිපයක් විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ එම යෝජනාවට මංගල සමරවීර මහතා විසින් කොන්දේසි විරහිතව සම අනුග‍්‍රහය දැක්වීම නිසා මානව හිමිකම් කවුන්සිලයත් එම වැරදි පූර්වාදර්ශයට එරෙහිව සෙසු රටවලටද තම විරෝධය ප‍්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබුණි. ඒ පිළිබඳව විශේෂයෙන්ම චීන රජයේ නියෝජිතයා විසින් විමතිය පළකරනු ලැබීය. එදා ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා විසින් තම රටේ ආරක්ෂක හමුදා විසින් යුද අපරාධ සිදුකළ බව පිළිගනිමින් ඊට අදාළව පිළියම් යෙදීමට හෙවත් දඬුවම් විඳීමට එකඟවන්නේ ශ‍්‍රී ලංකා රජයේ නිසි අනුමැතියකින් තොරවය.
ඒ අනුව මාරපන මහතාගේ ප‍්‍රතිපත්තිය වූයේ සිදුවූ සියල්ල පිළිගනිමින් යෝජනා 20 ක් අතුරින් එක් යෝජනාවක් ක‍්‍රියාත්මක කිරීමේ අපහසුතාව පිළිබඳව නිදහසට කරුණු ඉදිරිපත් කිරීම පමණි. ඔහු විසින් මහකොමසාරිස් වාර්තාව මඟින් ඉදිරිපත් කළ යුද අපරාධ චෝදනා සියල්ල මෙන්ම 30/1 යෝජනාව සමස්තයක් ලෙසද පිළිගනු ලැබීය. ඉහත සඳහන් කළ ආකාරයට අඩුතරමින් අනාගතයේදී හෝ අදාළ යුද අපරාධ චෝදනාවලට පිළිතුරු බැඳීමට නීතිඥයකු වූ මාරපන මහතා විසින් අවස්ථාවක් ඉල්ලා සිටියේ නැත. එහෙත් නීතිය ක‍්‍රියාත්මක කරන ආයතනයක් විසින් නූගත් ගැමියෙකුට එරෙහිව චෝදනාවක් එල්ල කරනු ලැබූ අවස්ථාවක වුවද තමාගේ නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට එම ගැමියාට ධෛර්යක් උපදවාගත හැක. නීතිඥවරුන් පෙනී නොසිටින අවස්ථාවක පවා අධිකරණයකින් ඒ ආකාරයට ස්වාභාවික යුක්තිය ඉල්ලා සිටීමේ අයිතිය ඇත. එය ඕනෑම චූදිතයෙකුට හිමිවන ලෝකය පිළිගත් මූලික මිනිස් අයිතිවාසිකමකි. නමුත් අප රටේ රණවිරුවන්ට ඒ ස්වාභාවික යුක්තියේ ආවරණය ඉල්ලා සිටීමට පසුගිය රජයේ වගකිවයුතු කිසිවෙකු ඉදිරිපත් වූයේ නැත. කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියන ආකාරයට මාරපන මාවත ඔස්සේ ජිනීවා යෑම මඟින් ඒ දුප්පත් ස්ථාවරය ඉදිරියටත් පවත්වාගෙන යෑමට සිදුවන බවට විවාදයක් නැත. ඉන් අදහස් වන්නේ අද දින ශවේන්ද්‍ර සිල්වා මහතාට සිදුවන දේ හෙට දින කමල් ගුණරත්න මහතාට සිදුවනතෙක් බලා සිටින බවද?
කනගාටුදායක තත්ත්වය වන්නේ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා වලට එරෙහිව එල්ල වූ ප‍්‍රධාන යුද අපරාධ චෝදනා 8 නිශ්ප‍්‍රභ කිරීම සඳහා ඕනෑවටත් වඩා කරුණුමය සහ නීතිමය සාක්ෂි තිබියදී ඒ අවම වගකීම ඉටුකිරීම සඳහා මූලික ප‍්‍රවේශයක් හෝ ගතයුතු බවට සාකච්ඡාවක් මතු නොවීමය. අඩුතරමින් එළඹෙන මාර්තු සැසියේදී එසේ චෝදනා වලට පිළිතුරු බැඳීම සඳහා ස්වාභාවික යුක්තිය නමැති මූලධර්මය යටතේ අනාගත සැසියකදී ඉඩ ලබා දෙන ලෙසට ඉල්ලා සිටීමේ බාධාවක් නැත. ඒ මඟින් එතෙක් පටන්ගනු ලැබූ ස්ථාවරය අභියෝගයට ලක් වේ. එය ජනවරමට සාධාරණය ඉටු කිරීම සඳහා වන අවම කොන්දේසි බවට විවාදයක් නැත. නව ජනවරමට අනුව නව ආණ්ඩුවේ මතය ලෝකයට ප‍්‍රකාශ කිරීමට ලැබෙන පළමු අවස්ථාව වන මාර්තු සැසියේදී ඒ අවම කොන්දේසිය ඉටු නොකරන්නේනම් පසුගිය රජයේ ස්ථාවරය නව රජය විසින් පිළිගන්නා බව තහවුරු වේ. එය ඉතා පැහැදිලිවම ජනවරමට පිටුපෑමක් ලෙස අර්ථ දැක්විය හැක.
පසුගිය දිනවල එක් මාධ්‍යවේදියෙකු විසින් පළකරනු ලැබූ ප‍්‍රවෘතියක් අනුව ආණ්ඩුව විසින් ජගත් මානව හිමිකම් සමුළුවට තම ස්ථාවරය ප‍්‍රකාශ කරනු ලබන්නේ 2021 මාර්තු මාසයේදී ය. එය නිවැරදි නම් ඉදිරි මාර්තු සැසියේදී එනම් 2020 සැසියේදී ආණ්ඩුව විසින් තම මතය ප‍්‍රකාශ නොකර සිටීම මඟින් එතෙක් පැවති ස්ථාවරය හෙවත් පසුගිය රජයේ ස්ථාවරය වර්තමාන ආණ්ඩුව විසින්ද පිළිගන්නා බව තහවුරු වේ. සමහර විට එය ජාත්‍යන්තර බලවේග ප‍්‍රකෝප නොකර ඇඟ බේරා ගැනීම හෙවත් ”ගල් ආඳා ” න්‍යාය පිළිබඳ උපදෙස් දෙන පිරිස් විසින් නිර්මාණය කළ ප‍්‍රවෘතියක් විය හැක. එම න්‍යායචාර්ය වරුන් විසින් ඊට පෙර යෝජනා කරනු ලැබුවේ 30/1 යෝජනාවට ප‍්‍රතියෝජනාවක් කළ යුතු බවය. ඒ මඟින් 30/1 යෝජනාව අභියෝගයට ලක් කෙරෙන බවක් මතු පිටින් පෙණුනද අවසානයේදී සිදුවන්නේ ඊනියා සංශෝධනයට ලක්වන යෝජනාව හෙවත් දෙමුහුන් අධිකරණ යෝජනාව හැර සෙසු සියලූ යෝජනා නැවත පිළිගැනීම හෙවත් නැවත තහවුරු කිරීමය. කෙසේ වෙතත් ශවේන්ද්‍ර සිල්වා සංසිද්ධිය නිසා මතුපිටින් හෝ සමාජය තුළ මතු වූ විරෝධය හේතුකොටගෙන ‘‘ගල් ආඳා’’ න්‍යායේ වලංගුභාවය අභියෝගයට ලක්වී ඇත.
ඒ ආකාරයට 30/1 යෝජනාවට සංශෝධන නාමයෙන් ප‍්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීම මඟින් සිදුවන සම අනුග‍්‍රහය දැක්වීමට වඩා භයානක දෙයකි. ඊනියා සම අනුග‍්‍රහය දක්වනු ලබන්නේ වෙනත් රටක හෝ රටවල් කිහිපයක් විසින් ඉදිරිපත් කරන යෝජනාවකටය. නමුත් සංශෝධිත යෝජනාවක් හෙවත් ප‍්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීම මඟින් සිදුවන්නේ යෝජනාව තමා විසින්ම ඉදිරිපත් කොට පිළිගැනීම හෙවත් සියතින් තොන්ඩුව බෙල්ලට දමා ගැනීමය. මාරපන ප‍්‍රතිපත්තිය ලෙස හැඳින්වෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමේ යෝජනාව පමණක් ඉවත් කිරීම සඳහා ඉල්ලා සිටීම මඟින් ප‍්‍රායෝගිකව සිදුවන්නේ ඒ ආකාරයට 30/1 යෝජනාවට අදාළව සංශෝධිත හෙවත් ප‍්‍රතියෝජනාවක් ඉදිරිපත් කිරීමය. ඒ සියල්ල සලකා බැලීමේදී රඹුක්වැල්ල මහතාගේ ප‍්‍රකාශය සිතාමතා හේතු සහිතව සිදුකළ ප‍්‍රකාශයක් ලෙස තේරුම් ගැනීම වරදක් නොවේ. ඒ ආකාරයට නව ආණ්ඩුව ලවා සංශෝධිත හෙවත් ප‍්‍රතියෝජනාවක් ඉදිරිපත් කරවාගත හැකිනම් එය ශ‍්‍රී ලංකාවට එරෙහි සතුරු බලවේග වල ප‍්‍රභල ජයග‍්‍රහණයකි.
ශ‍්‍රී ලංකාවට එරෙහිව චෝදනා ඉදිරිපත් කරන පාර්ශ්ව පැත්තෙන් ගත්විට 30/1 යෝජනාව නැවත අනුමත කරන හෝ තවදුරටත් කාලය ලබා දෙන නව යෝජනාවක් සම්මත කිරීම හෝ ඊට තවදුරටත් නව යෝජනාවකින් තොරව ඉදිරියට යෑම යන විකල්ප දෙකම අවාසිසහගත වේ. ඒ මඟින් ඔවුන්ගේ බලය සහ දේශපාලන පෞර්ෂය අවතක්සේරුවට ලක්වේ. ඒ නිසා ශ‍්‍රී ලංකාව තවදුරටත් මානව හිමිකම් කවුන්සිලයේ න්‍යාය පත‍්‍රයට හිර කිරීම සඳහා ඔවුන්ගේ පැත්තෙන් වඩාත් දියුණු තේරීම් වන්නේ ශ‍්‍රී ලංකාව විසින්ම ප‍්‍රතියෝජනාවක් හරහා තම බෙල්ලට තොන්ඩුව දමා ගැනීමට සැලැස්වීමය. මේ වන විට 30/1 යෝජනාවලියේ අඩංගු වූ යෝජනා හෙවත් කොන්දේසි 20 අතුරින් 17 කට අදාළව ක‍්‍රියාකාරකම් ආරම්භ කොට ඇත. ඒ අනුව මේවන විට ඉතිරිව ඇත්තේ ඊනියා දෙමුහුන් අධිකරණය පිහිටුවීම, සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සහ බෙදුම්වාදී ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය හෙවත් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කර ක‍්‍රියාත්මක කිරීම පමණි.
ඒ අතුරින් ප‍්‍රයෝගිකව ඉටු කිරීමට නොහැකි දෙමුහුන් අධිකරණ යෝජනාව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවේ අත කැරකවීම සඳහා යොදා ගන්නා බලවත් යෝජනාවකි. නමුත් ශ‍්‍රී ලංකාවට හතුරු පාර්ශ්ව වල අවසන් අරමුණට සාපේක්ෂව එය ක‍්‍රියාත්මක කළද ඉටුකර ගත හැක්කේ අවම ප‍්‍රතිඵලයක් පමණි. කාම්බෝජයේ පිහිටු වූ දෙමුහුන් යුද අපරාධ අධිකරණය මඟින් වසර 14 ක් තිස්සේ නඩු විභාගකොට සැබැවින්ම දඬුවම් කළ හැකි වූයේ තිදෙනකුට පමණි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ යුද හමුදා සාමාජිකයන්ට මහා පරිමාණයෙන් දඬුවම් කිරීම සහ සමස්ත හමුදාව මානසිකව බිඳ වැටීම සඳහා එම උපායමාර්ගය එතරම් වැදගත් නැත. ඉහත සඳහන් කළ ආකාරයට දැනටමත් පිහිටුවා ඇති ”චෝදනා කර්මාන්තශාලාවක් ” ලෙස සැලකෙන අතුරුදන් වූවන්ගේ කාර්යාලය මඟින් නිසි සාක්ෂි නොමැතිව සහ සාක්ෂි ආඥා පනතට පටහැනිව ආරක්ෂක හමුදා සාමාජිකයන්ට මහා පරිමාණයෙන් චෝදනා පොදු කිරීමේ හැකියාව ඇත. එසේම චෝදනාවලට ලක්වන නිලධාරීන්ට දඬුවම් කිරීමේ යාන්ත‍්‍රණ දෙකක් දැනටමත් ස්ථාපිත කොට ඇත. ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා මහතා අසාදුලේඛනගත කිරීමෙන් නොනැවතී ඇමෙරිකාව විසින් ඔහුව පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටියද එය නීත්‍යනුකූල වේ. එය වැළැක්විය හැක්කේ ඉහත සඳහන් කළ ආකාරයට යුද අපරාධ චෝදනාවලට නිසි පිළිතුරු බැඳ රණවිරුවන් එම චෝදනා වලින් ගලවා ගැනීම මඟින් පමණි. ප‍්‍රතියෝජනා ඉදිරිපත් කිරීම හරහා දෙමුහුන් අධිරණ යෝජනාව ඉවත් කිරීම මඟින් එය සිදුවන්නේ නැත. ඒ මඟින් දෙමුහුන් අධිකරණයෙන් රණවිරුවන් ගලවාගත් බවට ව්‍යාජ දේශපාලන වාසියක් පමණක් රජයට ලබාගත හැක. එම වාසිය ආණ්ඩුව පෙලඹවීම සඳහා යොදා ගන්නා කැරට් අලයක් බවට පත්වීමේ අනතුරක්ද ඇත.
මේ සියලූ තත්ත්වයන් තුළ රණවිරුවන්ට එරෙහිව එල්ල කොට ඇති යුද අපරාධ චෝදනා 8 න්ම ඔවුන් නිදහස් කර ගැනීම සඳහා ඉතා ප‍්‍රභල කරුණුමය සහ නීතිමය සාක්ෂි තිබියදී එසේ නොකර සිටීම බලවත් වරදකි. බි‍්‍රතාන්‍යයේ සාමි මණ්ඩල සාමාජික නේස්බි සාමිවරයා විසින් ඉදිරිපත් කරන සාක්ෂි මෙන්ම එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයාගේ වාර්තාද ඒ සඳහා ප‍්‍රභල ලෙස යොදා ගැනීමේ හැකියාව ඇත. ඊට අමතරව මහින්ද රාජපක්ෂ පාලන සමයේදී පිහිටුවූ අතුරුදන්වීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හෙවත් පරණගම කොමිසමේ දෙවන බල අධිකාරිය යටතේ කැඳවූ විශේෂඥ වාර්තා 6 ක් ද ඒ සඳහා යොදා ගැනීමේ හැකියාව ඇත. එම වාර්තා සකස් කළ යුද අපරාධ නීති විශාරදයින් 05 දෙනා ලෝකයේ ගෞරවයට පාත‍්‍ර වූ විශේෂඥයන් පිරිසකි. ඒ නිසා ඒවා මඟින් ඉදිරිපත් කෙරෙන කරුණුමය සහ නීතිමය සාක්ෂි ඉතා බලවත් බව කිවයුතු නැත. ගෝලීය ශ‍්‍රී ලාංකික සංසදය යන ජාතික සංවිධාන එකමුතුව විසින් ඒ සියලූ සාක්ෂි කැටිකොට සකස් කළ ”විත්ති වාචිකය” නම් වූ ලියවිල්ල ඉතා විශිෂ්ට ලෙස යුද අපරාධ චෝදනා වලට පිළිතුරු බඳින බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා විසින් පමණක් නොව බි‍්‍රතාන්‍ය රැජිනගේ නීතිඥ ශ‍්‍රීමත් ජෙෆ්රි නයිස් මහතා විසින්ද සහතික කොට ඇත.
පවතින තත්ත්වය තුළ එනම් චෝදනා නිෂ්ප‍්‍රභ කිරීම පමා වන සෑම දිනකදීම ඕනෑම රටකට අප රටේ රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. අද ශවේන්ද්‍ර සිල්වා මහතාට පමණක් නොව බොහෝ හිටපු ආරක්ෂක හමුදා ප‍්‍රධානීන්ට රටින් පිටතට විශේෂයෙන්ම බටහිර රටවලට යෑමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය. එම නිසා සියල්ලටම පළමුව නව ජනවරම යටතේ එළඹෙන මාර්තු මස නව ප‍්‍රවේශයක් ලෙස ස්වාභාවික යුක්තිය ඉල්ලා සිටිමින් OISL වාර්තාවේ යුද අපරාධ චෝදනා වලට පිළිතුරු බැඳීමේ අවස්ථාව ලබාගත යුතුය. එසේ නොකර ඇමෙරිකාවට එරෙහිව මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ඵලක් නැති ක‍්‍රියාවක් බව ඉතා කෙටි කලකින් තේරුම් ගත හැක. එම නිසි ක‍්‍රියාව සිදු කිරීම සඳහා අවශ්‍ය වන්නේ ඇමෙරිකාවට එරෙහිව පෙන්වන ධෛර්යෙන් අඩක් පමණි.
කෙසේ වෙතත් මෙම ලිපිය ලියා අවසන් වන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් නිර්භීත තීරණයක් ගනු ලැබූ බව වාර්තා විය. එතුමා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග සාකච්ඡා කොට 30/1 යෝජනාවෙන් ඉවත්වීමට තීරණය කළ බව අසන්නට ලැබීම බලවත් සතුටකි. නමුත් එසේ යෝජනාවෙන් ඉවත්වීම මඟින් යුද අපරාධ චෝදනා වලින් නිදහස් වීමට නොලැබෙන බවද සඳහන් කළ යුතුය. ශවේන්ද්‍ර සිල්වා වැනි රණවිරුවන්ගේ හිසට උඩින් එල්ලා ඇති ජාත්‍යන්තර අධිකරණ බලය නම් වූ කඩු තුඩ ඉවත් කළ හැක්කේ ඉහත සඳහන් කළ ආකාරයට OISL වාර්තාව මගින් එල්ල කරනු ලැබූ යුද අපරාධ චෝදනා වලට නිසි ලෙස පිළිතුරු බැඳ ඒවා නිශ්ප‍්‍රභ කිරීම තුළින් පමණක් බව අවසාන වශයෙන් අවධාරණය කළ යුතුය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...