දේශීය පුවත්

සිංහල මවුවරුන් සිසේරියන් සැත්කම්වලදී වඳභාවයට පත්කළ බවට චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆි සෙහාබ්දීන්ගේ නිවසේ සවිකර තිබියදී අත්අඩංගුවට ගෙන තිබූ සී. සී. ටී. වී. කැමරා පද්ධතිය අධිකරණ අවසරයකින් තොරව හොර රහසේම නැවත එම වෛද්‍යවරයාට ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මහතාගෙන් එම දෙපාර්තමේන්තුව පෙරේදා (29 දා) පැය 9 ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගෙන තිබේ.

වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් අලූතින් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම එම සී. සී. ටී. වී. කැමරා පද්ධතිය නැවත අත්අඩංගුවට ගෙන විමර්ශන කිරීමේදී හෙළිවී ඇත්තේ එහි තිබූ සියලූම දර්ශන මකා දමා ඇති බවයි.

කිසියම් සැක කටයුතු සිද්ධීන්වලට අදාළ දර්ශන එම කැමරා පද්ධතියේ සටහන්ව නොතිබුණේ නම් එය මකා දැමීමට කිසිම හේතුවක් නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව මෙම කැමරා පද්ධතියේ දර්ශන මකා දැමීම බරපතළ සැකයකට තුඩු දෙන බවද එම ආරංචි මාර්ග පවසයි.

පෙරේදා පෙරවරු 8.30 ට පමණ සහකාර පොලිස් අධිකාරී බී. එච්. තිසේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය. එදින පෙරවරු 10.00 පමණ සිට රාත‍්‍රි 7.00 පමණ වනතුරු පැය 9 කට ආසන්න කාලයක් තිස්සේ සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.

ප‍්‍රකාශ කිරීම් හමුවේ තිසේරා මහතා ප‍්‍රකාශ කර ඇත්තේ වෛද්‍ය සාෆි සෙහාබ්දීන් තමන්ට අයත් රහස් පොලිස් භාරයේ තිබූ භාණ්ඩ කීපයක් නැවත ලබාදෙන ලෙස එවකට එහි අධ්‍යක්‍ෂවරයාව සිටි ශානි අබේසේකර මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබූ බවයි.

ඒ අනුව ශානි අබේසේකර මහතා මෙම සී. සී. ටී. වී. කැමරා පද්ධතිය නැවත වෛද්‍යවරයාට භාරදෙන ලෙස තමන්ට ලිඛිතව දැනුම් දුන් බවද තිසේරා මහතා රහස් පොලිසියේ නිලධාරීන් කළ ප‍්‍රශ්න කිරීම් හමුවේ ප‍්‍රකාශ කර ඇත.

මෙම විමර්ශන භාරව සිටි පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා මහතාට මේ පිළිබඳව තමන් ලිඛිතව දැනුම් දුන් බවද තිසේරා මහතා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

එම සී. සී. ටී. වී. කැමරා පද්ධතිය වෛද්‍ය සාෆිට නැවත ලබාදීමේ වගකීම භාරගත යුත්තේ දැනට රටින් පලාගොස් සිටින පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා බවද සහකාර පොලිස් අධිකාරිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත.

එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසනුයේ එම සී. සි. ටී. වී. කැමරා පද්ධතිය නැවත වෛද්‍ය සාෆිට ලබා දීම සම්බන්ධයෙන් ලිඛිත නියෝග නිකුත් කිරීමට අදාළ ලිපිලේඛන කිසිවක් තම දෙපාර්තමේන්තුව සතුව නොමැති බවයි.

වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශන පැවැත්තුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, සහකාර පොලිස් අධිකාරි බී. එස්. තිසේරා මේ වනවිට ස්විට්සර්ලන්තයට පලාගොස් සිටින පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා කන්දප්පා යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් විසිනි.

එම විමර්ශනය තනිකරම පක්‍ෂග‍්‍රාහීව සිදුකරන බවට සංඝරත්නය, කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය, අගතියට පත්වූ මවුවරුන් සහ මාධ්‍ය මගින් චෝදනා එල්ලකර තිබිණි.

වර්තමාන රජය බලයට පත්වීමෙන් පසු මෙම වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නව නිලධාරි මණ්ඩලයක් පත්කරන ලදී.

එම විමර්ශන කණ්ඩායම කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයට පසුගියදා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ වෛද්‍ය සාෆි සෙහාබ්දීන්ගේ නිවසේ සවිකර තිබූ කැමරා පද්ධතිය අධිකරණ අවසරයකින් තොරව එවකට සිටි විමර්ශන කණ්ඩායම විසින් ආපසු වෛද්‍යවරයාට භාරදී තිබී ඇති බවයි.

පසුව මෙම සී. සී. ටී. වී. කැමරා පද්ධතිය නැවත අත්අඩංගුවට ගෙන විමර්ශන පැවැත්වීමේදී හෙළිවී ඇත්තේ එහි තිබු සියලූ දර්ශන මකා දමා ඇති බවයි. මේ පිළිබඳවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු දක්වා තිබිණි.

මෙම ප‍්‍රකාශ ලබාදීමෙන් පසු සහකාර පොලිස් අධිකාරී බී. එස්. තිසේරා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට පැමිණ එහි රැුස්ව සිටි මාධ්‍යවේදීන් සහ කැමරා ශිල්පීන් මගහැර යාමට අවස්ථා තුනකදී දැඩි උත්සාහයක නිරතවූ බව මාධ්‍ය මගින් දැනගන්නට ලැබිණි.

Divaina



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More