රට පුරා හදිසි නීතියද ක්‍රියාත්මක වන බැවින් සාමකාමීව කටයුතු කරන ලෙසත් තම ප්‍රදේශවල නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා උපරිම සහයෝගය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමස්ත ජනතාවගෙන්ම විශේෂ ඉල්ලීමක් කරයි.
බොරු ප්‍රචාරවලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙසද විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.
මහනුවර දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳවත් ආරක්ෂක අංශ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට ගෙන තිබෙන පියවර පිළිබඳවත් ප්‍රකාශයක් කරන අගමැතිවරයා මෙසේද සඳහන් කරයි.
තෙල්දෙණිය ප්‍රදේශයේ රියැදුරකුට පහරදී ඔහු මරණයට පත්වීමෙන් පසුව මහනුවර දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවල සිදුවූ ප්‍රචණ්ඩකාරී හා කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳවත් හදිසි නීතිය පැනවීම පිළිබඳවත් මා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේ වන විට රට පුරා හදිසි නීතිය පනවා තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ද උදෑසන 6.00ට ඉවත් කළා.
අද දින කටුගස්තොට හා අවට ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගිනි තැබීම් සිදු වී තිබෙනවා. දැනට වාර්තා වී ඇති අන්දමට අඹතැන්න ප්‍රදේශයේදී කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත තිබූ අත් බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. මේ පිළිබඳව පොලිසිය විමර්ශන සිදු කරනවා. මහනුවර දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල නීතිය හා සාමය ක්‍රියාත්මක වෙනවා.
පවතින තත්ත්වය සලකා බලා හදිසි නීතිය යටතේ නැවතත් අද දින සවස 4.00 සිට මහනුවර දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කර තිබෙනවා.
පූජ්‍ය පක්ෂයට අනතුරු සිදු වී ඇති බවට විවිධ කටකතා පතුරුවන නමුත් එබඳු කිසිදු සිදුවීමක් සිදු වී නොමැති බව මම ප්‍රකාශ කරනවා.
එසේම මහනුවර දිස්ත්‍රික්කය පුරාම ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය හා පොලිසිය මේ වන විට යොදවා තිබෙනවා. ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු හා පොලිස් කටයුතු සම්බන්ධීකරණය සඳහා මධ්‍යම ප්‍රදේශයේ ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මන් ඩයස් මහතා පත් කොට තිබෙනවා. ඕනෑම ආකාරයක නොසන්සුන් තත්ත්වයක් පාලනය කිරීමට සූදානමින් සිටින ලෙස ඔවුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
වැඩිපුර හමුදා භට පිරිස් මෙම ප්‍රදේශවලට පිටත් කොට තිබෙනවා.
ඒ වගේම මහජනතාව නොමඟ යවන, වෛරය පතුරුවන හා ජනතාව කුපිත කරවනසුලු අසත්‍ය ප්‍රචාර මැඬපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව අවහිර කොට තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇඳිරි නීතිය පනවා ඇති බැවින් හා රට පුරා හදිසි නීතියද ක්‍රියාත්මක වන බැවින් සාමකාමීව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
රටේ අනෙකුත් ප්‍රදේශවල තත්ත්වය සාමකාමී බව කියන්නට කැමැතියි. බොරු ප්‍රචාරවලට නොරැවටී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස මා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මෙවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවල මෙන්ම කොල්ලකෑම් ආදී නීති විරෝධී ක්‍රියාවන්වල නිරත වන පුද්ගලයන්ට හා කණ්ඩායම්වලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට රජය සෑම පියවරක්ම ගනු ලබන බව කියා සිටීමට කැමැතියි.
මේ නිසා මා අවසන් වශයෙන් සිංහල, දෙමළ. මුස්ලිම් ජනතාව ඇතුළු සියලුම ජන කොටස්වලින් ඉල්ලා සිටින්නේ මේ උණුසුම්කාරී තත්ත්වය පාලනය කොට සුරක්ෂිත වටපිටාවක් තහවුරු කිරීම සඳහා ඔබගේ උපරිම සහාය ලබාදෙන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...