පුරවැසි කොලම

ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලන බල කේන්ද්‍ර තුළ ක්ෂණික වූද, පුළුල් වූද බලගතු පරිවර්තනයක අවස්ථාවයි අද උදා වී ඇත්තේ. දශක හතක් තිස්සේ මාරුවෙන් මාරුවට තනි පක්ෂයක් ලෙස හෝ සංධානයක නායක පක්ෂ ලෙස මෙරට පාලනය කළ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යුගාන්තය ලෙස ඉදිරි මහ මැතිවරණය ඉතිහාසගත වනු ඇතැයි බොහෝදුරට අපේක්ෂා කළ හැක.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ප්‍රධාන සටන පවතින්නේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය සහ ජාතික සමගි බලවේගය අතරය. මෙරට යෝධ ජාතික පක්ෂ දෙක වූ එ.ජා.ප.ය සහ ශ්‍රී.ල.නි.ප.ය දෙවන මට්ටමේ සුළු පක්ෂ බවට පත්ව සිටී. එම පක්ෂ දෙකටම සිය අනාගත පැවැත්ම සඳහා පොදුජන පෙරමුණේ සහ ජාතික සමගි බලවේගයේ සෙවන අත්‍යවශ්‍ය වී ඇත. නැතහොත් ඔවුන්ද ජනතා විමුක්ති පෙරමුණ මෙන් 3% ට නොවැටුණද 10% පක්ෂ බවට පත්වීම නොවැළැක්විය හැක.

එ.ජා.ප.යේ සහ ශ්‍රී.ල.නි.ප.යේ අතීත ප්‍රෞඪත්වය දෙස හැරී බලන කල අද එම පක්ෂ දෙකටම අත්ව ඇති ඉරණම සිතා ගැනීමටද දුෂ්කරය.

1947 දී එ.ජා.ප.ය පිහිටුවනු ලැබුවේ ඉන්දියාවේ ජාතික සංගමය වැනි පරිපූර්ණ ජාතික බලවේගයක් ලෙසිනි. ඩී.එස්. සේනානායක, එෆ්. ආර්. සේනානායක, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක ආදී ජන නායකයින්ගේ ලංකා ජාතික කොංග්‍රසය ‟Ceylon National Congress˜, එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සිංහල මහා සභාව සහ ටී. බී. ජයාගේ ලංකා මුස්ලිම් කොංග්‍රසයත් දෙමළ නායකයන් ද ඒකාබද්ධ වී පිහිටුවූ එක්සත් ජාතික පක්ෂය දේශපාලන පක්ෂයට වඩා කිසිවෙකුටත් අභියෝග කළ නොහැකි ජාතික බලවේගයක් ලෙස බිහිවිය. 1947 පළමු මහමැතිවරණයේදී එම පක්ෂයට ජයග්‍රහණ හිමිවූ නමුත් වාමාංශික පක්ෂවලින් තරමක තර්ජනයක් එල්ල විය. එහෙත් වාමාංශික පක්ෂවල අසමඟිය නිසා ඩී. එස්. සේනානායකට රජයක් පිහිටුවා ගැනීම දුෂ්කර නොවීය.

ප්‍රබල එ.ජා.ප.ය. ට මුල්ම අභියෝගය එල්ල වූයේ පක්ෂය තුළින්මය. 1951 දී බණ්ඩාරනායක පක්ෂයෙන් ඉවත් වූයේ ඩී.ඒ. රාජපක්ෂ ඇතුළු තවත් සගයින් නව දෙනෙක් සමගය. එහෙත් 1952 මහමැතිවරණයේදී නව අගමැති ඩඩ්ලි සේනානායකගේ එ. ජා. ප. ය. ට දැන් අභියෝගයක් එල්ල කිරීමට බණ්ඩාරනායකගේ ශ්‍රී. ල. නි. ප. ය. අසමත් විය.

සිව් වසරකට පසු, එනම් 1956 දී ශ්‍රි.ල.නි.ප.ය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවේ මෙරටේ ප්‍රධාන පක්ෂ දෙකක් සහිත සෞඛ්‍ය සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයක් සනිටුහන් කරමිනි. ඉන්පසු මාරුවෙන් මාරුවට මෙම පක්ෂ දෙක මෙරටේ පාලන බලය දැරූහ. 1964 දී ශ්‍රී. ල. නි. ප. ය ප්‍රථම වරට ප්‍රධාන වාමාංශික පක්ෂ සමග හවුල් වී සභාග රජයක් පිහිටූ නමුත් 1965 මාර්තු මස පැවති මහමැතිවරණයේදී එම හවුල පරදවා එ.ජා.ප.ය. යළි බලයට පත්විය. පස් වසරකට පසු ශ්‍රී.ල.නි.ප.ය ප්‍රමුඛ ප්‍රබල රජයක් පිහිටුවීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සමත් වූ නමුත් පාර්ලිමේන්තු කාලය දෙවසරකින් දීර්ඝ කරමින් හත්වසරක්ම ගෙනගිය පාලනයට පසු 1977 දී අන්ත පරාජයකට පත්විය.

ඉන්පසු ශ්‍රී.ල.නි.ප.ය ට බොහෝවිට තරග කිරීමට සිදුවූයේ සන්ධානයක නායක පක්ෂය වශයෙනි. ජේ. ආර්. ජයවර්ධනගේ ප්‍රබල එ. ජා. ප. ය ද සුළු පක්ෂ හයක් සමග හවුල් වූ බැවින් එයටද හත් හවුල් ආණ්ඩුව යන ආරූඪ නාමය ලැබුණි.

ශ්‍රී. ල. නි. ප. යේ පරිහානියට මූලික වශයෙන් හේතු වූයේ 2014 නොවැම්බර් මස එහි මහලේකම් මෛත්‍රිපාල සිරිසේන පක්ෂයෙන් ඉවත් වී එ. ජා. ප.යේ සහාය ඇතිව ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ශ්‍රී. ල. නි. ප. ය නායක මහින්ද රාජපක්ෂ මහතාව පරාජයට පත්කිරීමෙන් පසු ඇති වූ දේශපාලන පරිවර්තනය ය. පක්ෂය මහින්ද රාජපක්ෂ අත තිබුණේ නම් එයට අලු ගසා දමා යළි දේශපාලන බලවේගයක් ලෙස නැගී සිටීමට අවස්ථාව තිබුණි. එහෙත් ශ්‍රී. ල. නි. ප. ය නායකත්වය මෛත්‍රිපාල සිරිසේන මහතා අතට පත්වීම නිසා මෙම ජාතික පක්ෂය තුළ විශාල මත ගැටුමක් ඇති විය. පක්ෂයේ බහුතරය සිටියේ මහින්ද රාජපක්ෂ සමඟය.

ශ්‍රී.ල.නි.ප.ය. අභ්‍යන්තරික ගැටුම උත්සන්න වූයේ ශ්‍රී ලංකා පොදුජන පක්ෂය පිහිටුවීමත් සමගය. එහි නිල නොවන නායකයා වූ මහින්ද රාජපක්ෂගේ පෞරුෂත්වය මත නව පක්ෂය නිතැතින්ම ප්‍රධාන ජාතික දේශපාලන බලවේගය බවට පත්විය. එය 2018 පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයේදී මනාවට ඔප්පු විය. නව පක්ෂය ඡන්ද 44.6% ක් ලබාගන්නා අතර එ.ජා.ප.ය අන්ත පරාජයකට පත් වූ නමුත් 32% ක් ඡන්ද සංඛ්‍යාවක් ලබමින් ජාතික පක්ෂයක් ලෙස සිය අනන්‍යතාවය රැකගැනීමට සමත් විය. දශක හතක් තිස්සේ පාලක පක්ෂය ලෙස හෝ ප්‍රධාන විපක්ෂය ලෙස සාඩම්බර ස්ථානයක රැඳී සිටි ශ්‍රී.ල.නි.ප.ය. ලබාගත හැකි වූයේ 4.4% ක් පමණි. ජ.වි.පෙ යද ඊට වැඩි ඡන්ද සංඛ්‍යාවක්, එනම් 6.2% ක් ලබා ගැනීමට සමත් විය. කෙසේ වුවද 2019 දී පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී පොදුජන පෙරමුණ ආසන 17ක්ද එ.ජා.ප.ය. ට ආසන 7ක්ද දිනාගත් අතර ශ්‍රී.ල.නි.ප.ය ආසන 3ක් දිනා තම පක්ෂයට තවමත් 12% කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් තිබෙන බව ඔප්පු කිරීම නිසා ඉදිරි මහා මැතිවරණය සඳහා ශ්‍රී.ල.නි.ප.ය ට පොදු පෙරමුණේ හවුල්කරුවෙකු ලෙස සභාග ගත වීමට අවස්ථාව උදා විය.

එදා ශ්‍රී.ල.නි.ප.ය මුහුණ දුන් ඛේදනීය තත්ත්වයට අද එ.ජා.ප.ය ද මුහුණ පා සිටී. එ.ජා.ප උපනායක ප්‍රේමදාසගේ ජාතික සමගි බලවේගය ප්‍රධාන විපක්ෂය බවට පත්වීම වැළැක්වීමට රනිල් වික්‍රමසිංහගේ දුර්වල එ.ජා.ප.ය හැකියාවක් තිබේ යැයි සිතිය නොහැක. නිදහස ලබන අවස්ථාවේදී එකම ජාතික දේශපාලන බලවේගය ලෙස පැවති එ.ජා.ප.ය ලබන මහා මැතිවරණයේදී තවත් 10% ක කුඩා දේශපාලන පක්ෂයක් බවට පත්වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ. එක් අතකින් එ.ජා.ප.ය. ට සිය අනාගත පැවැත්ම සහතික කරගත හැකි වන්නේ සජිත්ගේ සමගි බලවේගයට වඩා එක් අසුනක් හෝ ලබාගත හැකි වුවහොත් පමණි. එහෙත් සමගි බලවේගයට එක් රැස්වී සිටින එ.ජා.ප. නායකයන් සංඛ්‍යාව දෙස බලන විට එබඳු ජයක් අත්වීම ඉතාමත් සැක සහිතය. එමෙන්ම ශ්‍රී.ල.නි.ප.ය.ටද පොදුජන පෙරමණ තුළ ලැබෙන ආයතන සංඛ්‍යාව ඉතාමත් සීමා වනු ඇත. මෙම නව දේශපාලන බලතුලනය දෙස බලන කල්හි ඉදිරි කාලයේදී දේශපාලන ධාවන තරගයේ ඉදිරි ගමන්කරුවන් දෙදෙනා වන්නේ පොදුජන එක්සත් පෙරමුණ සහ ජාතික සමගි බලවේගය බවට අනාවැකි පළකිරීම දුෂ්කර නොවේ.

•සුගීස්වර පී. සේනාධීර



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More