මෙරට සිවිල් ආරක්ෂක බළකායේ ප්‍රථම අධ්යක්ෂ ජනරාල් ධුරයට පත්වූයේ සරත් වීරසේකර මහතාය. 2010 වර්ෂයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් දිගාමඩුල්ලෙන් පාර්ලිමේන්තුවට තරග කර ප්‍රථමයා බවට පත්වීමට සරත් වීරසේකර මහතා සමත්විය. එහි ප්‍රතිඵලයක් ලෙස කම්කරු හා කම්කරු සබඳතා නියෝජ්‍ය අමාත්‍ය ධුරය ඔහුට හිමි විය. ‘19’ වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ එකම මන්ත්‍රීවරයා වන්නේද ඔහුය. ඉදිරි මහා මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරන රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහයට’ ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක සටහන් මතු දැක්වේ.
ප්රශ්නය – ‘19’ වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි යන මතය යළිත් දේශපාලන කරලියට ඇවිත් තිබෙනවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?
පිළිතුර – ‘19’ වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසයි මේ රට ව්‍යාකූල තත්ත්වයට පත්වුණේ. මේ රටේ වැදගත්, සංවේදී තනතුරුවලට නිලධාරීන් පත්කිරීමේ බලය තිබුණේ විධායක ජනාධිපතිවරයාටයි. නමුත් ‘19’ වැනි සංශෝධනය හරහා එම බලය අගමැතිට සහ විපක්ෂ නායකට දුන්නා. මුළු රටේ ඡන්ද දායකයන්ගෙන් 50% කට වැඩිය ඡන්ද ලබාගෙනයි විධායක ජනාධිපතිවරයා පත් කරන්නේ්. මෙම සංශෝධනය මගින් එම බලතල දිස්ත්‍රික්ක දෙකක බලය ලබාගෙන පත්වෙන පුද්ගලයෙක් දෙදෙනකුට දුන්නා. ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත්කිරීමේදී අගමැතිට සහ විපක්ෂ නායකයාට සාමාජිකයන් පස් දෙනකු පත්කළ හැකියි. ජනාධිපතිවරයාට පත්කළ හැක්කේ එක් සාමාජිකයකු පමණයි. සුළු ජාතිකයන් නියෝජනය කරමින් තවත් සාමාජිකයකු පත්කරනවා. මෙම තත්ත්වය හමුවේ ව්‍යවස්ථාදායක සභාවේ වැඩි බලතල හිමිවන්නේ
අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාටයි. මේ දෙන්න තමයි පොලිස්පතිවරයා, අගවිනිසුරුවරයා, නීතිපති සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත්කරන්නේ. උදාහරණයක් හැටියට වෙච්චදේ බලන්නකෝ. විපක්ෂ නායක වුණේ සම්බන්ධන්. සම්බන්ධන් කියන්නේ කොටි ත්‍රස්තවාදී දේශපාලන හස්තයේ නායකයා. එම අවස්ථාවේදී අගමැති රනිල් වික්රමසිංහයි. මේ දෙන්නා රණවිරුවන් සහ යුද්ධය කෙරෙහි දැක්වූ ආකල්පය කවුරුත් දන්නවා. මේ දෙන්න තමයි අගවිනිසුරු පත්කළේ, පොලිස්පති පත්කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් පත්කළේ. මුළු රටෙන්ම පත්වූ ජනාධිපතිවරයාගේ බලතල දුන්නේ කාටද? ඒ බලතල දුන්නේ කොළඹ ඉන්න රනිල්ටයි, ත්‍රිකුණාමලය නියෝජනය කරන සම්බන්ධන්ටයි.
යම් රජයක් ජනතාව පෙළනවා නම් අසාධාරණ ලෙස බදු අයකරනවා නම්, රණවිරුවන් පාවා දෙනවා නම්, ජාතික ආරක්ෂාව පරදුවට තබනවා නම්, භික්ෂූන් වහන්සේලාට අපහාස කරනවා නම් එවැනි රජයක් විසුරුවලා අලූත් රජයක් පත්කරන්න ජනාධිපතිවරයාට බලතල තිබිය යුතුයි. 2003 දී චන්ද්‍රිකා මැතිණිය එය කළා. ජාතික ආරක්ෂාව පරදුවට තබා ඊනියා එල්.ටී.ටී.ඊ. ය සමග ගිවිසුම අත්සන් කළ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරිය එම රජය විසුරුවා හැරියා. ඊට පසුව තිබූ මැතිවරණයේදී ජනතාව රනිල්ව ප්‍රතික්ෂේප කළා. රනිල් මැතිවරණයෙන් පරාද වුණා. ඒකෙන් පෙනෙනවා එදා හිටපු ජනාධිපතිවරිය ගත් තීරණයය නිවැරදියි කියලා. එනිසා විධායක ජනාධිපතිවරයාට රජයක් වැරදි පාරේ යනවා නම් එය විසුරුවා හැරීමේ බලය තිබිය යුතුයි. මා පෙන්වා දුන්නේ එක් කාරණයක් පමණයි. මේ වගේ ගොඩක් හේතු තියෙනවා. ‘19’ වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට හේතුවන කාරණා. රට ව්‍යාකූල කළ ‘19’ වැනි සංශෝධනය අහෝසි කළ යුතුමයි. මමත් අද සතුටු වෙනවා ‘19’ වැනි සංශෝධනයට විරුද්ධ වූ එකම මන්ත්‍රීවරයා වීම ගැන.
ප්රශ්නය – ඔබ එහෙම කීවත් විපක්ෂය කියන්නේ ‘19’ වැනි ආණුඩු ක්‍රම පණතේ සංශෝධන කිරීම හරහා කොමිෂන් සභා වැනි හොඳ දේවලූත් අකුලා දැමීමේ උත්සාහයක රජය නිරත වන බවයි.
පිළිතුර – එහෙම අහෝසි කරන්නේ නැහැ. ස්වාධීන කොමිෂන් සභාවලින් වුණේ මොනවද කියලා අහන්න එපායැ. ස්වාධීන කොමිෂන් සභාවලින් රටට වෙච්ච සෙතක් තියෙනවද? ස්වාධීන කොමිෂන් සභාවලට නිලධාරීන් පත්කළේ එදා බලයේ සිටි අගමැති රනිල් සහ විපක්ෂ නායකයි. කොමිෂන් කීපයක් තියෙනවා තමයි. නමුත් මොනවද වුණේ. පොලිස් කොමිසම තිබෙද්දීයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ. බුද්ධි අංශ දුර්වල කරන විට, සාක්ෂි නැතිව බුද්ධි නිලධාරීන් හිරේ දමද්දී පොලිස් කොමිසම මොනවද කළේ, බුද්ධි අංශ දුර්වල කරලා රටේ ආරක්ෂාව පරදුවට තබන විට පොලිස් කොමිසම මොනවද කළේ? මෙම කොමිෂන් තිබුණ කියල රටට වුණු සෙතක් නැහැ. ජනාධිපතිවරයාට මෙම බලතල තියෙනවා නම් ජනාධිපතිවරයා අවශ්‍ය පියවර ගන්නවා. දැන් පවතින කොමිෂන් කොයිතරම් දුරට අපක්ෂපාතීද යන ප්‍රශ්නයත් තියෙනවා.
ප්රශ්නය – ව්‍යවස්ථා සංශෝධනයට යන විට පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් ගත යුතුයි. මෙවර මැතිවරණයේදී එම ඉලක්කයට යන්නට රජය සූදානම් වුවත් පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය හමුවේ එවැනි ජයග්‍රහණයක් ලබාගැනීම විශාල අභියෝගයක් නොවෙයිද?
පිළිතුර – මම හිතනවා ඉදිරි මැතිවරණයකදී ජනතාව බුද්ධිමත්ව කටයුතු කරයි කියලා. බහුතර ඡන්ද දායකයන් ගෝඨාභය රාජපක්ෂ මහතාව ජනාධිපති ධුරයට පත්කළා වගේම එතුමාට ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදලා දීම ජනතාවගේ වගකීමක්.
පසුගිය අවුරුදු හතරහමාරේදී මොනවද වුණේ. රටේ සම්පත් වික්කා. මහ බැංකුව කොල්ල කැවා. ව්‍යවස්ථාවක් ගෙනවිත් රට බෙදන්න හැදුවා, රණවිරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයෑමට උත්සාහ කළා. ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ නොකරපු අපරාධ පිළිගත්තා, මුළු රටම ණය කළා. අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා හිරේ දැම්මා. ආසියාවේ සුන්දරම නගරයක් බවට පත්වෙලා තිබුණු කොළඹ නගරය නරකාදියක් බවට පත්කළා. පසුගිය යහපාලන රජය මේ රට ඇද දැමූ අගාධයෙන් ගොඩගෙන රට සෞභාග්‍ය කරා ගෙනයෑමට නම් අනිවාර්යයෙන්ම ශක්තිමත් බලතල සහිත පාර්ලිමේන්තුවක් ජනාධිපතිවරයාට සාදා දිය යුතුයි. මහා මැතිවරණයේදී පොහොට්ටුවේ අයගේ ඡන්දය ලැබෙනවා. අපි මෙහිදී ඉල්ලා සිටින්නේ රට ගැන හිතන එජාපයේ සහ ජවිපේ සාමාජිකයන්ට මෙම 2/3 ක බලය ලබාගන්න සහාය දෙන්න කියලයි. අප රට හදලා පෙන්වන්නම්.
ප්රශ්නය – ජිනීවා යෝජනාවලින් ඉවත් වීම නිසා රටට අහිතකර බලපෑම් එල්ල විය හැකි බවට විපක්ෂය අනතුරු අ`ගවනවා. මේ ගැන ඔබේ ස්ථාවරය.
පිළිතුර – කිසිම බලපෑමක් එල්ල වන්නේ නැහැ. හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් 2014 දී අප රටට විරුද්ධව නොකළ යුද අපරාධ සිදුවුණු බව පවසමින් වාර්තාවක් ගෙනාවා. මෙය පදනම් කරගෙනයි 2015 වර්ෂයේදී 30/1 යෝජනාව ගේන්නේ. අපේ රටේ යුද අපරාධ චෝදනා සිදුවූ බවට ගෙනා මෙම යෝජනාව එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර ඇමැතිවරයා ඇහිල්ලක් බැලිල්ලක් නැතිව චෝදනාවලට එක`ග වෙමින් සම අනුග්‍රහකත්වය දැක්වූවා. 301 යෝජනාවට මංගල ඇමැතිවරයා සම අනුග්‍රහකත්වය දැක්වූයේ ජනාධිපතිවරයාගේවත්, පාර්ලිමේන්තුවේවත්, ජනතාවගේවත් කිසිදු අනුමැතියකින් තොරවයි. කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සම අනුග්‍රහකත්වය දැක්වූවා යන පදනමේ ඉඳල මෙම යෝජනාවෙන් අපටද ඉවත් වෙන්න පුළුවන්. අපි මේකෙන් ඉවත් වෙන්නේ 301 යෝජනා ක්‍රියාත්මක කිරීම තුළින් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන නිසයි. ව්‍යවස්ථාව උල්ලංඝනය වනවා නම් අපිට ඒකේ තවදුරටත් රැඳී ඉන්න බැහැ. මෙම යෝජනාවේ තියෙනවා දෙමුහුන් අධිකරණයකට යටත් විය යුතුයි කියලා. විදේශීය විනිසුරුවන් සමග විශේෂ උසාවි අපේ ව්‍යවස්ථාවට අනුකූල නැහැ. අනෙක සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා නම් මෙම යෝජනාවේ තවදුරටත් අපට රැඳී සිටීමට හැකියාවක් නැහැ.
2014 දී සෙයිද් අල් හුසේන් අප රටට විරුද්ධව යෝජනා විමර්ශනය කරන්න කීවාම රටවල් 24 ක් පක්ෂව ඡන්දය දුන්නේ නැහැ. අපි මේක ඉදිරියට ගෙන යන විට ඒ පිළිබඳව කථිකාවතක් ඇතිවේවි. බොහෝ රටවල් අප සමග ඒවි.
ප්රශ්නය – උගතුන් වියතුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවට සමහරුන් පවසනවා. තවත් අය කියන්නේ උගතුන් වියතුන් පමණක් නොව දේශපාලන පරිණතභාවය තියෙන අයත් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා. මේ ගැන ඔබේ අදහස
පිළිතුර – මම මේ මත දෙකටම විරුද්ධයි. පාර්ලිමේන්තුවේ උගතුන් වියතුන් පමණක් නොව ඊටත් එහා ගිය දේශපේ‍්‍රමියෝ සිටිය යුතුයි. රටට ආදරය කරන, රට සුරකින, රටේ සම්පත් කොල්ල කන්නේ නැති දේශපේ්රමියෝයි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ.
ජයම්පති වික්‍රමරත්න උගත්, බුද්ධිමත්, පරිණත නැද්ද? සුමන්තිරන් කියන්නේ උගත් බුද්ධිමත් පරිණත දේශපාලනඥයෙක්. නමුත් වැඩක් තියෙනවද? මේ අය තමයි රට දෙකඩ කරන්න යෝජනා ගේන්නේ. එනිසා උගත්, බුද්ධිමත්, පරිණත වගේම දේශයට ආදරය කරන දේශපේ‍්‍රමී නායකයෝ පාර්ලිමේන්තුවට තෝරාගන්න අප දැනගත යුතුයි.
ප්රශ්නය – මේ රජයට දින 100 ක් ගත වුණත් කළ දෙයක් නැහැ කියලා විපක්ෂය චෝදනා කරනවා. මේ ගැන ඔබ මොකද කියන්නේ?
පිළිතුර – මෙතැන පෙනෙන වැඩ වගේම නොපෙනෙන වැඩත් තියෙනවා. අද වනවිට ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ජනතාවට බියෙන් සැකයෙන් තොරව ජීවත්වෙන්න පරිසර හදලා තියෙනවා. පසුගිය ආණ්ඩුව මොනවද කළේ. රටේ බුද්ධි අංශ විනාශ කර ආරක්ෂාව නැති කළා. එහි ප්‍රතිඵලයක් ලෙසයි පාස්කු ප්‍රහාරය එල්ල වුණේ. ජාතික ආරක්ෂාව කියන්නේ පාස්කු ප්‍රහාරය එල්ල වුණාට පසු පල්ලිවලට දොස් කියන එක නෙවෙයි. සතුරා කවුද? ඉලක්කය මොකක්ද කියා අනාවරණය කරගෙන අවශ්‍ය පියවර ගැනීමයි ජාතික ආරක්ෂාව කියන්නේ. ජාතික ආරක්ෂාවේ කොඳු නාරටිය වන්නේ බුද්ධි අංශයයි. පසුගිය රජය මේ කොඳු නාරටිය කඩලා දැම්මා. ජාතික ආරක්ෂාව නැතිවුණ නිසයි තරුණ ත්‍රස්තවාදියෝ කිලෝ තිහක, හතළිහක බෝම්බ පිටේ බැඳගෙන පල්ලිය ඇතුළට ගිහිල්ලා බෝම්බ පිපිරෙව්වේ. ෂැංග්‍රිලා වැනි තරු පහේ හෝටල්වල පිටේ බෝම්බ බැඳගෙන ත්රස්තවාදීන් එහෙ මෙහේ ගමන් කළේ. අද වනවිට රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. හමුදා බුද්ධි නිලධාරීන් අවශ්‍ය තැන්වලට යොදවලා තියෙනවා. ත්රස්තවාදීන් ගැන පමණක් නොවෙයි පාතාල ක්‍රියාකාරකම් ගැන ද මේ අය අවදියෙන් ඉන්නේ.
ප්රශ්නය – පසුගිය මාස තුනේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට කිසිවක් වුණේ නැහැ කියලා විපක්ෂය චෝදනා කරනවා.
පිළිතුර – යහපාලන රජය රටේ ආර්ථිකය වළපල්ලට යවලයි තියෙන්නේ. දින 100 කින් රජයට සියල්ල කළ නොහැකියි. එහෙත් මේ රට ගොඩගන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරමින් තිබෙනවා. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැහැ. අවම තරමින් ජනතාවට සහන සලසන්න ගෙනා මුදල් පනතටවත් විපක්ෂය සහයෝගය ලබාදුන්නේ නැහැ. මෙම තත්ත්වය හමුවේ ස්ථාවර රජයක් බිහිකර රට ගොඩගන්න වැඩපිළිවෙළ අපි හැකි ඉක්මනින් ආරම්භ කරනවා.
ප්රශ්නය – අප රටට නිදහස ලැබිලා අවුරුදු 72 ක් වෙනවා. නමුත් අප රටට සංවර්ධිත රාජ්‍යයක් කරා ගමන් කරන්න බැරිවෙලා තියෙනවා. මෙම තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
පිළිතුර – ඒකට තමයි දේශපේ‍්‍රමී නායකයෙක් යටතේ රටට හිතකර ආණ්ඩුවක් ගොඩනැඟිය යුත්තේ. අප රටේ ග්රැනැයිඞ් තිබෙනවා. මේවා කිලෝ එකක් විකුණන්නේ ඩොලර් 2.50 ක් වැනි මුදලකටයි. ජපානයේ ඊට අගය එකතු කරලා කිලෝ එක 3400 ට විකුණනවා. මෙම සම්පත නිසි ලෙස කළමනාකරණය කළහොත් අප රටට විශාල ආදායමක් ලබාගන්න පුළුවන්. අප රටේ රත්තරන් තියෙනවා. පොස්පේට් තියෙනවා. ඛනිජ තෙල් තියෙනවා. ස්වභාවික සම්පත් නොඅඩුව තිබෙනවා. අප රටට හොඳින් හිරු එළිය ලැබෙනවා. මේ රට නිසි දැක්මක් යටතේ, නිසි ජාතික ප්‍රතිපත්තියක් යටතේ මෙහෙය වුවහොත් ඉතා ඉක්මනින් ගොඩගන්න පුළුවන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඉදිරියේ බිහිවන දේශපේ‍්‍රමී ආණ්ඩුව යටතේ මේ රට ඉතා ඉක්මනින් සංවර්ධිත රාජ්‍යයක් කරා ගෙන යෑමට අපට පුළුවන්. ඒ සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලබාදෙන්නැයි මම මේ රටේ දේශපේ‍්‍රමී ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සාකච්ඡා කළේ – වසන්ත ලියනගේ
Divaina – Irida
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...