තමන්වහන්සේගේ ඉල්ලීම්වලට ආණ්ඩුව කඩිනම් ප්‍රතිචාර නොදැක්වුවහොත් නව ජාතික බලවේගයක් ගොඩනඟා ආණ්ඩුවට අභියෝග කරන බවත් හැකි නම් ඊට මුහුණදී පෙන්වන ලෙසත් ‘විජයධරණි ජාතික සභාවේ’ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පසුගියදා විශේෂ සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළෝය. මැතිවරණයක් එළිපත්තේ තිබියදී ආණ්ඩුවට සිදුකළ මෙම අභියෝගය පිළිබඳව විමසා සිටීම සඳහා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ව බැහැදුටුවෙමු. පහතින් පෙළ ගැසෙන්නේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සමග ‘දිවයින ඉරිදා සංග්‍රහය’ කළ සම්මුඛ සාකච්ඡාවයි.
ප්රශ්නය :- අවසරයි හාමුදුරුවනේ, ඔබවහන්සේට දේශපාලනය එපාවෙලාද?
පිළිතුර – නැහැ. එහෙම එපාවීමක් නැහැ.
ප්රශ්නය – නමුත් ඔබවහන්සේ දේශපාලනයෙන් සමුගන්න වගේ සූදානමක් තියෙනවා නේද?
පිළිතුර – දේශපාලනයෙන් සමුගන්න අදහසක් නැහැ. දේශපාලනය කරනවා කියන්නේ පාර්ලිමේන්තු යන එකම නෙවෙයි. පාර්ලිමේන්තු නොගොස් දේශපාලනය කරන්න පුළුවන්. කවුරුහරි හිතනවා නම් දේශපාලනය කරන්න පාර්ලිමේන්තු යන්න ඕන කියලා ඒක වැරදි අදහසක්. ඒ වගේම කියන්න ඕන කාටහරි අපිව දේශපාලනයෙන් අයින් කරන්න වුවමනාවක් තියෙනවා නම් ඒක මිථ්‍යාවක් පමණක් වේවි කියලා.
ප්රශ්නය – ඔබවහන්සේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙනවාද?
පිළිතුර – තාම නිශ්චිත තීරණයක් නැහැ. නමුත් මෙම ආණ්ඩුවට සහාය දෙන්න නම් අපි ආණ්ඩුවට කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව ගනු ලබන තීරණ අනුව තමයි අපේ ඉදිරි අදහස තීරණය කරන්නේ.
ප්රශ්නය – ඔබවහන්සේ ආණ්ඩුවට ඉදිරිපත් කර ඇති කොන්දේසි මොනවාද?
පිළිතුර – අප නිශ්චිත කොන්දේසි ගණනාවක් ආණ්ඩුවට ඉදිරිපත් කර තිබෙනවා. හිස්බුල්ලාගේ සරසවිය ස්ථිරවම රජයට පවරාගන්න, මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කිරීමට අයථා ලෙස මුදල් ගෙන්වීම නතර කරන්න, පාස්කු ප්රහාරයන්ට දඬුවම් දෙන්න, විල්පත්තුව විනාශ කළ බදුර්දීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න, මද්රසා පාසල් තහනම් කිරීම, කාති උසාවි තහනම් කිරීම, බුර්කාව තහනම් කිරීම වැනි ඉල්ලීම් ගණනාවක් අප රජයට ඉදිරිපත් කර තිබෙනවා. මෙම ඉල්ලීම්වලට දක්වන ප්‍රතිචාර කෙසේ ද යන්න අප බලාගෙන සිටින්නේ. මෙම ආණ්ඩුව බලයට පත් වී මේ වනවිට මාස තුනකටත් වැඩි කාලයක් ගතවෙනවා. නමුත් රටේ ජනතාව බලාපොරොත්තු වූ වෙනස තවමත් සිදු වී නැහැ. ඒ නිසා මහ මැතිවරණය පැවැත්වීමට ප්‍රථම ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීමට රජය කටයුතු කළ යුතුයි. අපේ ඉදිරි සහාය තීරණය කරන්නේ ඒ අනුවයි.
ප්රශ්නය – ඔබවහන්සේ ආණ්ඩුවට එරෙහිව අදහස් දක්වන්නේ කුරුණෑගලින් අපේක්ෂකත්වය නොලැබුණු නිසා යැයි ඇතැමුන් සඳහන් කරනවා?
පිළිතුර – කුරුණෑගලින් ඡන්දය ඉල්ලන්න හීනෙකින්වත් මගේ අදහසක් තිබුණේ නැහැ. අපට බය කට්ටිය තමයි ඔහොම අදහස් එළියට දාන්නේ.
ප්රශ්නය – නමුත් හාමුදුරුවනේ සාෆි ෂිහාබ්දීන්ගේ සිද්ධියට මැදිහත් වීම හරහා ඔබවහන්සේ කුරුණෑගලින් ඡන්දය ඉල්ලන්න බලාපොරොත්තුවෙන් සිටියා යැයි කියනවා.
පිළිතුර – නැහැ එහෙම දෙයක් නැහැ. සාෆි ෂිහාබ්දීන්ගේ සිද්ධියට අප මැදිහත් වුණේ ජාතියක් ගැන හිතලයි. එහෙම නැතිව ඡන්දයක් ගන්න අපි එම සිද්ධියට මැදිහත් වුණේ නැහැ. පටු දේශපාලන අරමුණු එම මැදිහත්වීම තුළ තිබුණේ නැහැ. අප එම සිද්ධියට මැදිහත් නොවෙන්න එහි පරීක්ෂණ කටයුතු මෙච්චර දුර එන්නේ නැති බව සිහිපත් කරන්න ඕන. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමසන්නවත් එම දිස්ත්‍රික්කයේ සිටින එකදු මන්ත්‍රීවරයකු හෝ කුරුණෑගල රෝහලට ආවා දැයි අපි ප්‍රශ්න කර සිටිනවා.
ප්රශ්නය – හොඳයි හාමුදුරුවනේ, ඔබවහන්සේගේ ඉල්ලීම්වලට ආණ්ඩුව යහපත් ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කෙසේද?
පිළිතුර – ඇත්තෙන්ම අපි ආණ්ඩුවට පැය 24 ක කාලයක් ලබාදුන්නා. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් අපි අනිවාර්යයෙන්ම අලූත් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඒ සඳහා මම නායකත්වය සපයනවා.
ප්රශ්නය – අලූත් ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟීමේ අරමුණ කුමක්ද?
පිළිතුර – ආණ්ඩුව හරිමඟ යන්නේ නැත්නම් ආණ්ඩුවට අභියෝග කර එය හරිමඟ යවන්න තමයි මෙම නව ජාතික ව්‍යාපාරය ගොඩනඟන්නේ. මෙම නව ව්‍යාපාරය සමග ගරුතර භික්ෂුන් වහන්සේලා සමග විශාල පිරිසක් මේ වනවිට එක්වී තිබෙනවා. මේ සියලූ දෙනා එක් දිනයක එක්රැස් කර නොනිදා කරන ගැඹුරු සාකච්ඡාවකින් පසුව නව ජාතික ව්‍යාපාරය ගොඩනඟනවා.
ප්රශ්නය – ඔබවහන්සේ කියන නව ජාතික ව්‍යාපාරය මහමැතිවරණය සඳහා තරග කරන්න අපේක්ෂා කරනවාද?
පිළිතුර – දැන්ම එය හරියට කියන්න බැහැ. එහෙම කරන්න ඕනේ නම් මේ සීමිත කාලය ඒ සඳහා ප්‍රමාණවත් කියලා අපි හිතනවා. මොකද අපගේ සංවිධාන ශක්තිය ඒ තරම් ප්‍රබලයි. අප ඡන්දයට ඉදිරිපත් වුවහොත් අඩුම තරමේ ආසන විස්සක් වත් ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. එම බලය හරහා අපි ආණ්ඩුවට අභියෝගයක් වීමට කටයුතු කරනවා.
ප්රශ්නය – ඔබවහන්සේ එසේ කීවත් මහමැතිවරණයකට තරග කරනවා යැයි කියන එක ලෙහෙසි පහසු එකක් නෙවෙයි නේද?
පිළිතුර – ඔව් ඒක අපි දන්නවා. අපට මුදල් නැහැ තමයි. නමුත් මුදල් කියන්නේ සමස්තය නෙමෙයි. අපිට බාර්කාරයෝ, කැෂිනෝකාරයෝ, කළුසල්ලිකාරයෝ නැහැ. එනමුත් අපිව විශ්වාස කරන අප සමඟ සිටින මිනිස්සු අපට රුපියල් සියය දෙසීය හරි දෙනවා. එලෙස එකතුවන මුදල් සහ අපිව විශ්වාස කරන මිනිස්සු ඉදිරිය සැලසුම් කරන්න ප්‍රමාණවත්. සියල්ලට වඩා අප සතු අධ්‍යාත්මික බලය ප්‍රබලයි.
ප්රශ්නය – වත්මන් ආණ්ඩුව බලයට පැමිණ මාස තුනක කාලයේ කාර්යය සාධනය පිළිබඳව ඔබවහන්සේ සෑහීමකට පත්ව නැහැ නේද?
පිළිතුර – ඔව්. අනිවාර්යයෙන්ම ඔව්. ගෝඨාභය රාජපක්ෂ මහතා හරියට ජනාධිපති මන්දිරයේ හිරකාරයෙක් වෙලා වගේ. ඔහුට වැඩ කිරීමට නිදහසක් නැති බව පෙනී යනවා. මෙම කාලසීමාව තුළ සිදුකළ යුතුව තිබූ සහ සිදුකළ හැකිව තිබූ බොහෝ දේවල් රට තුළ වෙලා නැහැ. මේ පිළිබඳව අපිත් රටවැසියත් දැඩි නොසතුටක සිටින්නේ.
ප්රශ්නය – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිරකාරයෙක් වෙලා යැයි ඔබවහන්සේ හිතන්නේ ඇයි? ඒ වගේම ඔහුට නිදහසේ රාජකාරිය කිරීමට ඉඩ නොදෙන්නේ කවුරුන් කියලයද ඔබවහන්සේ හිතන්නේ?
පිළිතුර – ගෝඨාභය මහතා හිරකාරයෙක් වෙලා යැයි කියන්නේ ඔහුට වැඩ කරන්න නිදහසක් නැති බව පෙනී යන නිසයි. ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතුයි. ඔහු විතරක් නෙමෙයි චන්ද්‍රිකා මැතිනියත්, රනිල් වික්‍රමසිංහ මහතාත් දේශපාලනයෙන් සමුගෙන යා යුතු අයයි.
ප්රශ්නය – මට නම් පේන්නේ අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මහින්ද රාජපක්ෂ මහතා සමග යම් අමනාපයකින් සිටින බවයි.
පිළිතුර – එහෙම අමනාපයක් නැහැ. අපි දේශපාලන කටයුතුවල නිරත වුණේ රට වෙනුවෙන් මිස පුද්ගල චරිත ආරක්ෂා කිරීමට නෙවෙයි. මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ කණ්ඩායමේ කවුරුන් හෝ හිතනවා නම් අතුරලියේ රතන හිමියන්ව පැකට් කර පැත්තකින් තියන්න පුළුවන් වේ යැයි කියා එය මිථ්‍යාවක් පමණයි. අපිව දේශාපාලනයෙන් අයින් කරන්න එතරම් ලෙහෙසි වෙන එකක් නැහැ.
ප්රශ්නය – නමුත් අපේ හාමුදුරුවනේ භික්ෂුන්වහන්සේලා දේශපාලනයට අවතීර්ණ නොවිය යුතු යැයි මහනායක ස්වාමින් වහන්සේලාගෙන් පවා යම් යම් අදහස් මතු වී තිබෙනවා නොවේද?
පිළිතුර – මහනායක ස්වාමින්වහන්සේලා ලවුඞ්ස්පීකරයක් වුවත් එහි ‘සර්කිට්’ එක තිබෙන්නේ වෙන තැනකයි. අපි මහනායක ස්වාමින්වහන්සේලාට දොස් කියනවා නෙමෙයි. නමුත් භික්ෂුන්වහන්සේලාට දේශපාලනය කිරීමට ඇති අයිතිය අයින් කරන්න දෙන්න ඕනේ නැහැ. රොබට් බ්රවුන්රිග්ලාට බැරි වූ දේ මහින්ද රාජපක්ෂට කරන්න අපි ඉඩ තියන්නෙත් නැහැ. තමන්ගේ පවුල්වල අනාගත ජනාධිපතිවරුන්ට අපි අභියෝගයක් වේ යැයි හිතනවා නම් ඊට අපිට කරන්න දෙයක් නැහැ. අපි ඉටුකරන්නේ අපෙන් රටට විය යුතු යුතුකම් මිසක් අන් කිසිවක් නෙවෙයි. මේ රටේ ප්රබුද්ධ ඡන්දදායකයින් ලක්ෂ 20 ක් පමණ සිටිනවා. මේ ආණ්ඩුව හිතනවා නම් ඒ අය ආණ්ඩුවේ දාසයෝ කියලා මීළඟ මහමැතිවරණයෙන් ආණ්ඩුවට හොඳ උත්තරයක් ලැබේවි.
ප්රශ්නය – මහමැතිවරණ අපේක්ෂක ලැයිස්තු නම් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඔවුන්ගේ ඒකාධිකාරයක් පවත්වාගෙන යන බවට ඊට සම්බන්ධ අනෙක් පාර්ශ්වයන් චෝදනා කරනවා.
පිළිතුර – ඔව් ඒක ඇත්ත. ඒ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදුකරන ප්‍රහාර වලින්ම හිතාගන්න පුළුවන්. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔවුන්ට සිදුකරන කෙණෙහිලිකම් ඉවසාගෙන ඉන්න එක තමයි පුදුමය. කොන්දක් කෙළින් තියාගෙන ඉන්නවා නම් හරි නම් ඉන් ඉවත්වෙන්න ඕන.
ඡායාරූපය – සමන් රණවීර
සාකච්ඡා කළේ – සිරිමන්ත රත්නසේකර
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...