නාමයෝජනා භාරදීමට දෙමළ දේශපාලන පක්ෂ දැක්වූ උනන්දුව හේතුවෙන් මෙවර මහ මැතිවරණයද තරමක් උණුසුම් වී තිබුණි. එබැවින් දෙමළ පුවත්පත්වලද වැඩි ඉඩකඩක් දෙමින් මහ මැතිවරණයට අදාළ ප්රවෘත්ති හා ලිපි පළකර තිබිණි.
දෙමළ ජාතික සන්ධානය හා උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති සී. වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ මහජන ජාතික පෙරමුණ අතර මෙහිදී කරට කර තරගයක් පවතින බව පැහැදිලිවම දක්නට ලැබෙන බව දේශපාලන නිරීක්ෂකයෝ පවසති. විශේෂයෙන් මෙම පක්ෂ දෙකෙහි නායකයන්ගෙන් වැඩිම පිරිස මැතිවරණයට තරග වැදීමට ඉදිරිපත්ව සිටින්නේ යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයෙනි. විග්නේෂ්වරන්ගේ සන්ධානය උතුරේ සියලු මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි සැකසූ අපේක්ෂක ලේඛනයකට අනුව වන්නි හා යාපනය දිස්ත්‍රික්ක සඳහා ඔවුන් නාමයෝජනා භාරදී තිබේ. දෙමළ ජාතික සන්ධානයද මෙම දිස්ත්‍රික්ක දෙන සඳහා විග්නේෂ්වරන්ලාට සටනක් දිය හැකි නායකයන් තම අපේක්ෂක ලැයිස්තුව මගින් කරළියට ගෙන ඒමට කටයුතු කර ඇති ආකාරයක් දක්නට ලැබේ.
යාපනය මැතිවරණ දිස්ත්‍රික්කයට කිලිනොච්චිය දිස්ත්‍රික්කයද අයත්ය. වන්නි දිස්ත්‍රික්කය ලෙස මැතිවරණයේදී හැඳින්වෙන්නේ වවුනියව, මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්ක තුනමය. යාපනයට විග්නේෂ්වරන්ගේ සන්ධානය තරග වදින්නේ ඔහුගේ ප්‍රධානත්වයෙනි. ඔහුට අමතරව විග්නේෂ්වරන් නායකත්වය දරන දෙමළ මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කේ. අරුන් දවපාලන්, තවසෙල්වම් සිටිපරන්, කේ. රත්න කුමාර් හා මීරා අරුලානන්දන් අපේක්ෂක ලේඛනයට ඇතුළත්ව සිටිති. ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂය නියෝජනය කරමින් එහි නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් හා සිංහබාහු සිව කුමාරන්ද දෙමළ ජනතා පක්ෂය වෙනුවෙන් එහි මහලේකම් එස්. ශ්‍රීකාන්තා හා එම්.කේ.සිවාජීලිංගම් යන දෙදෙනාද ඊල තමිල් සුවච්චි කලගම් පක්ෂය වෙනුවෙන් එහි නායිකා හිටපු පළාත් අමාත්‍ය ආනන්ද ශෂිකරන්ද මෙම අපේක්ෂක ලේඛනයට ඇතුළත්ව ඇත.
එහෙයින් යාපනයේ බලය ඇල්ලීම සී. වී. විග්නේෂ්වරන් ප්රමුඛ සන්ධානයේ ප්‍රධාන අපේක්ෂාව වී ඇත. ඔවුන් ඒ සඳහා මෙම මහ මැතිවරණය ආරම්භ වීමට වසරකට වැඩි කාලයක් තිබියදීම අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීමට එක්ව සිටි බව දෙමළ මාධ්‍ය වාර්තා කර තිබිණි. උතුර පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් දෙකෙහිම හදවත ලෙස දෙමළ ජනතාව හා දෙමළ දේශපාලනඥයන් සලකනු ලබන්නේ යාපනය අර්ධද්වීපය බැවින් මහ මැතිවරණයේ ප්‍රධාන මර්මස්ථානය ලෙස යාපනය හැඳින්වීමට මෙම දෙමළ දේශපාලනඥයෝ කටයුතු කරමින් සිටිති. දෙමළ ජාතික සන්ධානයද තම ප්‍රබලයන් මෙම මැතිරවණයේදී යාපනය දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අයුරු ඔවුන්ගේ අපේක්ෂක නාම ලේඛනය දෙස බැලීමේදී පැහැදිලි වෙයි.
යාපනය කණ්ඩායම් නායකයා ලෙස පත්කර ඇත්තේ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාය. දෙමළ සන්ධානයේ මධ්‍ය ප්‍රකාශක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්ලොට් (PLOT) සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්, ඉමානුවෙල් ආනෝල්ඩ්, ශෂිකලා රවිරාජ් යන පිරිස එම අපේක්ෂක ලේඛනයේ ඇතුළත් සෙසු පිරිස වෙති.
මෙම දෙපිරිසම යාපනයේ ජනතාව අතර ප්‍රකට පුද්ගලයන් වන බැවින් මෙවර මහ මැතිවරණයේදී මොවුන් අතරින් කෙනෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීම යනු සුළුපටු කාර්යයක් නොවන බව උතුරේ දේශපාලන විචාරකයෝ පවසති.
මේ අතර දෙමළ සන්ධාන නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ප්‍රකාශයක් කරමින් පෙන්වා දෙන්නේ රටම කොරෝනා බියෙන් වෙලී ඇති මොහොතක එය පසෙකලා මැතිවරණයක් පැවැත්වීම ප්රජාතන්ත්රවාදී ක්‍රියාවක් නොවන බවය.
‘‘මේ වනවිට ලෝකයම කොරෝනා වෛරසයේ බලපෑමට ලක්වෙලා තියෙනවා. ලංකාවේ අපටත් මේ තත්ත්වයට මුහුණ දෙන්නයි වෙලා තියෙන්නේ. ඒ නිසා අපේ ජනතාව සෑම කෙනෙක්ම දැඩි ලෙස බියට හා කම්පනයට පත්වෙලා ඉන්නේ. ඒ නිසා අපි මුලින්ම ජනතාවගේ මේ දැවෙන ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කරන්න ඕනෑ. එහෙම විශේෂ අවධානයක් යොමු කරලා කොරෝනා මර්දනය කරන තුරු මැතිවරණය කල්දාන එකයි කළ යුත්තේ. ඒක මගේ මතය විතරක් නෙවෙයි දේශපාලන පක්ෂවල නායකයන් හැම කෙනකුගේම අදහස් ඒ නිසා අපි විශ්වාස කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ තත්ත්වය දෙස අවධානය යොමුකරලා මහ මැතිවරණය කල්දායි කියලා. එයයි මේ මොහොතේ සිදුවිය යුතු ප්‍රධාන කාර්යය’’ යැයි ආර්. සම්බන්ධන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මේ අතර දෙමළ ජාතික සන්ධානය හා සී. වී. විග්නේෂ්වරන්ගේ සන්ධානය එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු බවත් ඊට එහා ගිය තත්ත්වයන් එම පක්ෂ දෙකට නැති බවත් සමස්ත දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් යාපනයේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
දෙමළ ජනතාවට සේවය කිරීම දෙමළ දේශපාලන නායකයන්ගේ යුතුකම හා වගකීම බවත් එම වගකීම හා යුතුකම පැහැර හරින්නන්ට දේශපාලන ක්ෂේත්රයේ රැඳී සිටින්නට හැකියාවක් නොමැති බවත් ඔහු මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය. තමන් වෙනුවෙන් පෙනී සිටින දේශපාලන නියෝජිතයන් කවුරුන්ද යන්න ජනතාව අවබෝධ කරගෙන ඇති බව පෙන්වා දුන් ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් එම තීරණය ඉදිරි මහ මැතිවරණයේදී දැනගත හැකි බවද මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
දේශපාලන පසුබිම පිළිබඳ මෙසේ වාර්තා පළවෙද්දී කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළටද උතුරෙන් විරෝධතා එල්ල වූ බව දක්නට ලැබිණි. වව්නියාව ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් ආරම්භ කිරීමට ගත් පියවර දෙමළ සන්ධානය දැඩිව විරෝධය පළ කළේ ප්‍රදේශයේ ජනතාව එම විරෝධතා සඳහා යොමු කරමිනි.
වව්නියාව පම්පමඩුව 23 වන පාබල හමුදා අනුඛණ්ඩයට අයත් හමුදා කඳවුරේ කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානක් පිහිටු වීමට යුද හමුදාව පියවර ගත්තේය. එමෙන්ම පම්පමඩුව යුද හමුදා කාන්තා කඳවුරේද ඊට පෙර තවත් නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවිය. එහි පුද්ගලයන් 265 දෙනකු පමණ නිරෝධායනයට ලක් කිරීම ආරම්භ කිරීමත් සමග මෙම විරෝධතා ආරම්භ විය. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩෙයිකලනාදන් හා චාල්ස් නිර්මලනාදන් යන දෙදෙනා මෙම විරෝධතාවල ප්‍රමුඛත්වය ගත්හ. ඔවුන් දැඩිව කියා සිටියේ රජය දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශ කොරෝනා වෛරසයට ගොදුරු වූවන් නිරෝධායනයට තෝරා ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකි ක්‍රියාවන් බවය.
දකුණේ වෙනත් ප්‍රදේශවල හමුදා කඳවුරු විශාල වශයෙන් තිබියදී එම කඳවුරු මේ සඳහා යොදා නොගන්නේ මන්දැයි දෙමළ ජාතික සන්ධානය මෙහිදී ප්‍රශ්න කර සිටියේය. මෙම දෙදෙනාගේ මෙහෙයවීම මත එක්රැස්වූ දෙමළ ජනතාව මෙම මධ්‍යස්ථාන වව්නියාවෙන් ඉවත් කරන ලෙස ඉල්ලා වව්නියාවේදී විරෝධතාවකද නිරත වූහ.
උතුරේ මෙවැනි නිරෝධායන මධ්‍යස්ථාන ආරම්භ කිරීමෙන් දෙමළ ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වන බවත් තිස් වසරක යුද්ධයෙන් පීඩා විඳි දෙමළ ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීමට වත්මන් රජය හා යුද හමුදාව කටයුතු කරමින් සිටින බවටද විරෝධතාවට එක්වූවෝ චෝදනා කළහ. එහෙත් මෙම සියලු නිරෝධායන කටයුතු කෙරෙන්නේ බාහිර කිසිදු පුද්ගලයකුට තර්ජනයක් නොව අයුරින් බව අවධාරණය කරන යුද හමුදාව හා සෞඛ්‍ය අංශ එය වගකීමෙන් යුතුව අවධාරණය කරන බවද දැඩිව පෙන්වා දී තිබේ.
කෙසේ වුවද මෙම කොරෝනා මර්දන ජාතික වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇත්තේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් බවත් එහිදී පටු ආකල්ප හා අරමුණු කිසිවක් අදාළ කර නොගන්නා බවත් රජය අවධාරණය කර ඇති බව උතුරේ දේශපාලනඥයන්ට අමතක වී ඇති බව පැහැදිලිවම දැකගත හැකිය.
ලසුනිකා ජයසුන්දර
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...