ඒ නම මම මුලින්ම ඇහුවේ මොරටුවේ ඉංජිනියරින් ෆැකල්ටියේ අය්ය කෙනෙක්ගෙන්.
”මල්ලි, රුසියාවේවත්, චීනෙවත් නෙමෙයි සමාජවාදය හරියටම තියෙන්නේ කියුබාවේ”
”කොහෙද ඒ රට තියෙන්නෙ ”
”ඇමරිකාව පැත්තෙලු.”
”ඉතින්, ඉතින්.”
”මමත් ඔච්චර තමයි දන්නේ.”
”පොත් නැද්ද ”
”නෑනෙ, අපිත් හෙව්වා. හොයාගන්න නෑ.”
මේ සංවාදය සිද්ද වෙන්නේ අදක ඊයෙක නෙවෙයි. 1986 අවුරුද්දෙ . මම උසස් පෙලට පය තිබ්බ ගමන්. සමාජවාදය කියන්නේ හරියටම මොකක්ද කියල හොය හොයා උන්න කාලය. ජ.වි.පෙ.ට සම්බන්ද වෙන්න ආසන්න කාලය.
මා එක්ක හිටිය මොරටුව වි.වි., කොළඹ වි.වි., පේරාදෙණිය වි.වි. රත්මලාන කාර්මික විද්‍යාලේ මිතුරන් පිරිසක්. ඒ කවුරුත් වැඩි විස්තරයක් දැනන් හිටියෙ නෑ.
මම පාසල් පුස්තකාලේ, වෙන්නප්පුව මහජන පුස්තකාලේ බැලුවත් පොතක පත්තරේකවත් විස්තරයක් හොයාගන්න බැරිවුණා.
”ධනපති මාධ්‍ය වල සමාජවාදය ගැන තොරතුරු දෙන්නේ නෑ”
අපි හැමෝම එහෙම විග්‍රහයක් හදාගත්ත.
ඉන් ටික කාලෙකට පස්සේ මේ හොයපු සමාජවාදය ලංකාවට ගේන්න අපි කණ්ඩායම විවිද මට්ටම් වලින් වැඩ කරන්න ගත්ත.
ඉන්පස්සේ භිෂණය. අපි විසිරිලා ගියා.
කලාව ගැන කතා කරන්න, වේදිකා නාට්‍ය බලන්න යන්න, දුප්පත් ළමයින්ට නොමිලේ උගන්නන්න, සමාජවාදය ගොඩනගල රට දියුණුකරන හැටි කතා කරන්න ආයේ කවදාක්වත් එකට මුණගැහුනේ නෑ.
එක මිතුරෙකුගේ ජීවිතය පැහැරගෙන තිබුණා.
මරාදාපු මිනීමරුවෝ දැනන් හිටියේ නෑ ඔවුන් වදදුන්න ඒ කෙට්ටු ශරීරෙ ඇතුළේ තිබුන හදවත කොයිතරම් පළල් එකක්ද කියල.
භීෂණ කාලය ඉවරවුනා.
ඒත් භීෂණයට අපේ සෙවීම ඉවරෙටම ඉවරකරන්න බැරිවුණා.
1993 දී කොළඹ ආව මට, කලින්ට වඩා ලෝකය විවර වුණා.
අන්තර්ජාලය කියල එකක් ඇවිත් ලංකාව තාක්ෂණ පිම්මකුත් පැන්නා.
එදා නොලැබුන කියුබාව ගැන පුවත් ඉන්පස්සේ ලැබෙන්න ගත්ත. මුලු සමාජවාදී කඳවුරම බිදවටෙද්දීත් කියුබාව බිදවැටිල තිබුනේ නෑ.
”ඇයි ඒ ” මම ඇහුව.
”ලගදීම බිදවටෙයි” සමහරු කිව්වා.
2000 අවුරුද්දටත් ආවා. ඒත් බිඳ වැටුනේ නෑ.
”පිදෙල් ඉන්නකම් කරයි. ඉන්පස්සේ කඩාවැටෙයි” සමහරු කිව්වා.
පිදෙල් විශ්‍රාම ගත්ත විතරක් නෙවෙයි, පසුව මියගියා. රාවුල් පවා ඉවත්වෙලා ඉවරයි. කඩාවැටුනේ නෑ.
සැරෙන් සැරේ ප්‍රතිසංස්කරණ ගණනාවක් කෙරුව.
”ඔය යන්නේ ධනවාදේ පැත්තට ” සමහරු කිව්වා.
තාම ඒ ගැන කියන්න බෑ.
පසුකාලෙක මගේ අතට ග්රැන්ම පුවත්පතේ පිටපත් කිහිපයක් ලැබුණා. ඒක සංස්කරණය කරන්නේ මාකේස් කියල දැනගත්තම මම තවත් සතුටු වුණා.
ඔය අතර ”ඉන්ඩෙක්ස් ඔන් සෙන්සර්ශිප්” සඟරාව කියවද්දී කියුබාව විරුද්ද පාක්ෂිකයන් දැඩි ලෙස මර්දනය කරනවා කියලත් දැක්ක. පිදෙල්ගේ දුව පවා ඇමරිකාවට පැනල ගියා.
ඒත්,
”සමාජවාදය” කියල එකක් තාම එහෙ තියනවා.
”තනි රටක සමාජවාදය පවතින්නේ නෑ ”
න්‍යායාත්මකව ඒකත් ඇත්තයි.
නමුත් අවුරුදු 50 ක් තිස්සේ වෙනස් වැඩක් වෙනවා.
ලෝක සව්ඛ්‍ය සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවිදානය ඉදිරිපත් කරන වර්තාවලත් මේ වෙනස සටහන් වෙනවා.
ගිහින් ආව අය මුණගැහුනමත් ඒවා තහවුරු කරනවා.
මේ සියල්ල වෙන්නේ ලෝක ආර්ථික බලවතුන් ආර්ථික සම්භාධක දාල ඒ රට අවුරුදු 50 ක කාලයම හිර කරලා තියෙද්දී.
වර්තමාන කොරෝනා ව්‍යසනය මැද්දේ ආයෙත් අපේ අවධානය කියුබාව පැත්තට ඇදෙනවා.
කියුබාව තමන්ගේ ස්වෙච්චා වයිද්‍ය කණ්ඩායම් ඉතාලියට එවනවා.
”අපි අව්ෂධ හොයාගන්නේ, නිෂ්පාදනය කරන්නේ මේ වගේ අර්බුධ අස්සේ විකුණලා ලාබ ලබන්න නෙමෙයි” ඔවුන් ප්‍රසිද්දියේ කියනවා.
කවුරුත් භාරගන්න කැමති වුනේ නැති කොරෝනා රෝගීන් සහිත එක්සත් රාජධානි නැවක් මූදේ නන්ගුරන් දාගෙන ඉද්දි කියුබාව තමන්ගේ වරායට ඔවුන්ව ගෙන්වා ගන්නවා.
”මේ මොහොතේ මේ මානුෂික යුතුකම අපි ඉටුකරනවා”
ඔවුන් එහෙම කියනවා. එක්සත් රාජධානිය කියන්නේ කියුබාවට ආර්ථික සම්භාධක පනවලා තියන රටක්.
ඉතින්,
සමාජවාදය ගැන විවිධ විවාද අපි අතර තියනවා.
සමාජවාදයට හිනාවෙන අය අපි අතර ඉන්නවා.
නමුත් ලෝකයේ දැනුම හා සම්පත් බෙදීයමේදී මෙයිට වඩා මානුෂික වියයුතු බවට අපි කව්රුත් එකඟයි.
කියුබාව එතැනදී නොසලකා හැරිය නොහැකි මාදිලියක්.
මොකක්ද මේ රට, කොහොමද මේක මේ විදියට පවත්වන් යන්නේ, දන්නා කෙනෙක් කියල දෙන්න.
1986 ඉඳල අද දක්වා අවුරුදු 34 ක් ගතවෙලා තියෙද්දිත් මුල්ම දවසේ ඒ නම ඇහෙද්දී මං තුළ දැල්වුණ උනන්දුව තාමත් එහෙමමයි.
Rohana Warnakulasooriya
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...