ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ බරපතළ ව්‍යසනයකට රටක් ලෙස අප මුහුණ පාමින් සිටින මොහොතක ඒ පිළිබඳ විමසා බැලීම සඳහා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාව සාකච්ඡුාවක් සඳහා එක්කර ගත්තෙමු.
පහතින් පෙළ ගැහෙන්නේ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සමඟ කළ සාකච්ඡුාවයි.
ප‍්‍රශ්නය – කොවිඞ් 19 වෛරසය මේ වන විට අප රටේ කොයි වගේ ස්ථානයක ද පවතින්නේ?
පිළිතුර – පැහැදිලිවම කියන්න ඕනෑ අපේ රට අවදානම අතේ තියාගෙනයි මේ වනවිටත් පවතින්නේ. දැන් අපට වෛරසය පැමිණ අවසන්. දැන් අපට කළ හැක්කේ වෛරසය රට තුළ තවදුරටත් පැතිරීම වළක්වා ගැනීම හා වෛරසයෙන් සිදුවන හානිය වළක්වා ගැනීම පමණයි. අපි මේ වන විට පවතින්නේ සමූහ ලෙස හමුවන රෝගීන් (Clusters& අවදානම් අවධියේ. එය නිවසේ සමූහ (Home Clusters) සහ කුඩා කණ්ඩායම් සමූහ ලෙස කාණ්ඩ දෙකකට බෙදෙනවා. මීළඟ රෝග අවස්ථාව රෝගය සමාජය තුළ පැතිරීමේ (CommunityTransmission අවස්ථාවයි. මේ තත්ත්වයට රෝගය ව්‍යාප්ත වෙන්න නොදී කෙසේ හෝ පාලනය කර ගන්න අවශ්‍යයි. ඒ සඳහා ජනතාව සතුව අති විශාල වගකීමක් තිබෙනවා. කෙටියෙන් කියනවා නම් ඉතා අත්‍යවශ්‍ය දෙයකට හැරෙන්න සංචරණය ඉතා අවම කර ගැනීම අනිවාර්යයි.
ප‍්‍රශ්නය – ඔබ කියන මීළඟ අවස්ථාව හෙවත් රෝගය සමාජය තුළ පැතිරීමේ අවස්ථාවට යම් හෙයකින් පැමිණියහොත් මතුවන තත්ත්වය කෙසේ වේවිද?
පිළිතුර – එවැනි තැනකට යම් හෙයකින් පැමිණිය හොත් රෝහල් පද්ධතියේ කටයුතු කරන වෛද්‍යවරු ඇතුළු සේවකයන්ට වෛරසය පැතිරීමේ අවදානම තිබෙනවා. එසේ වුවහොත් භෞතික සම්පත් තිබියදී මානව සම්පත අපට අහිමි වෙනවා. එසේ වුව හොත් රෝගීන් අනිවාර්යයෙන්ම වැඩි වෙන එක වළක්වන්න බැහැ. රෝහල්වල ධාරිතාව බිඳ වැටුණහොත් බරපතළ අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙන එක අනිවාර්යයි.
ප‍්‍රශ්නය – එක ආසාදිතයෙකුගෙන් තවත් කීදෙනකුට මෙම වෛරසය යා හැකි ද?
පිළිතුර – සමාජ දුරස්ථකරණයක් නොමැති අවස්ථාවක සිදුවන නිදහස් සංචරණයකදී එක පුද්ගලයකුට දින 30 කදී අනුමාන වශයෙන් තවත් පුද්ගලයන් පන්සිය දෙනකුට පමණ රෝගය පැතිරයා හැකියි. එය 50% ක දුරස්ථකරණයදී එක පුද්ගලයකුට දින 30 දී අනුමාන වශයෙන් තවත් රෝගීන්
පහළොස් දෙනකුට පමණ පැතිර විය හැක්කේ. එය සියයට හැත්තෑපහක් පමණ දක්වා දුරස්ථකරණය කළහොත් එක් රෝගියකුගෙන් රෝගය පැතිරීමේ හැකියාව දින 30 කදී රෝගීන් 2.5 කට සීමා කළ හැකි බව තාක්ෂණික කරුණු ඔස්සේ අනුමාන කළ හැකියි. මේ මම සඳහන් කළ අවසාන මට්ටමට රට පවත්වාගෙන යන ලෙස කටයුතු කළහොත් අපි බරපතළ අපහසුතාවයකට සහ ව්‍යසනයකට පත් වෙනවා. මෙහෙම වුවහොත් තමයි රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් අකර්මණ්‍ය වෙන්නේ.
ප‍්‍රශ්නය – මේ ඇතිවිය හැකි තත්ත්වය වළක්වාගන්න ජනතාව විසින් ගත යුතු පියවර කෙසේද?
පිළිතුර – අපේ‍්‍රල් මස 7 වැනිදා තෙක් මෙය පැතිරීම ඉතා අවම කරගත යුතුයි. නිරෝධායන මධ්‍යස්ථානවලදී හමුවූ සහ විදෙස් රටවල සිට මෙරට පැමිණි විදේශීය රෝගීන් අතහැරිය පසු අපේ සමාජයෙන් කොරෝනා රෝගීන් හැත්තෑවක් සොයාගෙන තිබෙනවා. ඇමරිකාවේ ජෝන් හොප්කින්ප් රෝහල මූලික කරගෙන චීනයේ හුබෙයි ප‍්‍රාන්තයට අදාළව සිදුකරන ලද ප‍්‍රක්ෂේපණයන්ට අනුව, සොයා ගත් රෝගීන්
මෙන් අට ගුණයක් රෝගීන් සමාජය තුළ සංසරණය වෙනවා. ඒ අනුව අප රට තුළ රෝගීන් දළ වශයෙන් 560 ක් සමාජය තුළ සිටින්නේ යැයි විද්‍යාත්මකව අනුමාන කළ හැකියි. ඒ අනුව ඔවුන් ස්පර්ශ වූ පුද්ගලයන් දහනම දාහක් පමණ සිටිනවා. අපි ඉහත සඳහන් කළ 2.5 අගය තැන සිට රෝගය පැතිරුණහොත් ආසාදිතයන් පනස්දාහක් පමණ විය හැකියි. ඒ පනස්දාහට අපි සීමා කර ගතහොත් අපට මේ තත්ත්වය කළමනාකරණය කරගන්න පුළුවන්.
ප‍්‍රශ්නය – එම තත්ත්වයෙන් කළමනාකරණය කරගන්න නොහැකි වුණොත් මොකද වෙන්නේ ?
පිළිතුර – එහෙම වුණොත් තත්ත්වය බරපතළ වීම වළක්වන්න බැහැ. ඒ කියන තත්ත්වය තුළ දී අනිවාර්යයෙන්ම රෝහල් වෛද්‍යවරුන්ට සහ සේවකයන්ට රෝගය වැලඳෙනවා. එහෙම වුණොත් වෙන්නේ වෛද්‍යවරු හා රෝහල් සේවකයන් නිරෝධායනයට යොමු කෙරෙන එකයි. එසේ වුව හොත් මෙය විසඳාගත නොහැකි ප‍්‍රශ්නයක් වේවි. මේ තත්ත්වයේ දී මිනිසුන් මිය යන එක වලක්වන්න බැරි වේවි. මෙවැනි තත්ත්වයක් ඇති නොවෙන්න නම් ජනතාව ගෙදරට වෙලාම කටයුතු කළ යුතුයි. ලබන මස 7 වැනිදා දක්වා එම තත්ත්වය පවත්වාගෙන යන්න යැයි ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා. තමන්ගේ සංචරණය අඩු කරගැනීම ජනතාවගේ වගකීමක්.
ප‍්‍රශ්නය – මෙම තත්ත්වයෙන් රට ගලවා ගැනීම සඳහා රජය ගෙන ඇති පියවරයන් පිළිබඳ සෑහීමකට පත්විය හැකිද..?
පිළිතුර – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම වසංගතයෙන් රට ගලවා ගැනීම සම්බන්ධයෙන් දක්වන ආකල්පය ඉතාම ප‍්‍රශංසනීයයි. අනෙකුත් රටවල රාජ්‍ය නායකයන් වගේ එතුමා මේ තත්ත්වය ලිහිල්ව ගත්තේ නැහැ. එය ඉතා අගය කළ යුතු කාරණයක්. මෙවන් රෝගයක් වළක්වා ගැනීමේ දී රාජ්‍ය නායකයා රාජ්‍ය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරවීමේ දී වගකීම දැරීම, සෞඛ්‍ය සේවයේ ශක්තිමත් බව සහ මහජනතාව වසංගතයට කෙතරම් හොඳින් ශක්තිමත්ව මුහුණ දෙනවා ද යන කාරණා ඉතා වැදගත් කාරණා වෙනවා. මෙතැනදී රාජ්‍ය ව්‍යුහයෙන් ලබාදුන් ආකල්පය ඉතාම වැදගත් වෙනවා. සෞඛ්‍ය සේවාව යන කාරණයේ දී පවතින තත්ත්වයට අපට මුහුණ දෙන්න හැකියාව තිබෙනවා. නමුත් මීළඟ අදියර දක්වා එය ව්‍යාප්ත වුවහොත් එය බරපතළයි. ඇත්තටම මෙය වළක්වා ගැනීමේ හැකියාව ඇත්තේ දැන් මහජනතාවටයි. ජනතාව ජනතාවගේ වගකීම ඉටු කළොත් අපට මෙයට සාර්ථකව මුහුණ දෙන්න හැකි වේවි.
ප‍්‍රශ්නය නමුත් ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?
පිළිතුර – ජනතාව වගකීම් සහගතව හැසිරුනේ නැහැ. ඒ වගේම රජය පැත්තෙන් ගත් පියවරයන්හි ද අඩුපාඩු තිබුණා. ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ දී ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම රැුගෙන යන ආකාරයේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්න යැයි අපි දිගින් දිගටම ඉල්ලීම් කළා. එය ගාල්ලේ දී ඒ වගේ ප‍්‍රදේශවල හොඳින් ක‍්‍රියාත්මක වුවත් අනෙකුත් තැන්වල එය මැනවින් සිදු වුණේ නැහැ. එවැනි තැන්වලදී රෝග අවදානමේ ඊළඟ පියවරට යෑමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා නිවෙස්වලටම බඩු භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙළ සහතික කරගෙන ඉදිරියට යා යුතුයි.
ප‍්‍රශ්නය – මෙම රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ජනතාවට ලබාදිය හැකි උපදෙස් කෙබඳු ද?
පිළිතුර – අපට ඒ සඳහා උපදෙස් ගණනාවක් ජනතාවට ලබා දෙන්න පුළුවන්. දුම්පානය මරණ අනුපාතය දෙගුණයකින් වැඩි කරනවා. එහෙයින් දුම්පානයෙන් වලකින්න. ඒ වගේම ගෙයින් ගෙට යෑම සිදු කරන්න එපා. නිවසේ ශ්වසන රෝගියෙක් ඇත්නම් වාතාශ‍්‍රය ඇති කාමරයක ඔහුව වෙන්කර තබන්න. ඒ වගේම ඔහුට වෙනම වැසිකිළියක් වෙන් කරන්න. එසේ නැති නම් අන් අය භාවිතා කිරීමෙන් පසුව වැසිකිළිය භාවිතා කරන්න. ප‍්‍රතිශක්තිකරණය වැඩිකර ගැනීමට හොඳින් ජලය පානය කරන්න. මත්පැන් පානය වලකින්න. පැණි බීම භාවිතයෙන් වළකින්න. ආවේණික ආහාර රටාවට නැවත යොමු වන්න. විටමින් සී බහුල ආහාර භාවිතා කරන්න. ඒ වගේම නින්ද ද ඉතාමත් වැදගත් කාරණයක්. ඒ නිසා සෑම විටම පැය හතකට වැඩි නින්දක් ලබා ගන්න කටයුතු කරන්න. ව්‍යායාම සඳහා විනාඩි 30 ක පමණ කාලයක් යොදවන්නැයි ද අප ඒ උපදෙස් දෙනවා. අපද්‍රව්‍ය බැහැර කරන විට බහලූම් දෙකකට දමා නිසි පරිදි බැහැර කරන තුරු අව්වේ තබන්න. නිවසට ආහාර ලබා දෙන විට එම ආහාර ද්‍රව්‍ය දොරකඩ තබා ගිය පසු ඒවා ලබා ගන්න. ඒ වගේම, තම නිවසේදීම ආගමික කටයුතුවල නිරත වන්න. පවුලේ සැම එකට එක් වී පිරිත් සජ්ඣායනා කරන්න. අන්‍යාගමික අයත් රටට සෙත් පතා තම ආගමික කටයුතුවල තම නිවසේදීම යොමු වන්න. එසේම යම් රෝගී තත්ත්වයකින් ඔබ පෙළෙන්නේ නම් 117 අමතා උපදෙස් ලබා ගන්න පුළුවන්. එසේ උපදෙස් ලබා ගෙන අවශ්‍ය නම් පමණක් රෝහල්ගත වන්න.
සාකච්ඡා කළේ සිරිමන්ත රත්නසේකර
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...