දේශීය පුවත්

පුද්ගල වගකීම පැහැරහැර රටම කොරෝනා වසංගතයෙන් විනාශ කරන්නට ගිය ආත්මාර්ථකාමී මිනිසුන් කිහිපදෙනෙකු ගැන පසුගිය දිනවල අසන්නට ලැබුණි.

ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ බණ්ඩාරගම අටලුගමින්ය. විසිදාහක පිරිසක් සමග අටලුගමට සීල් තබන්නට රජයට සිදුවන්නේ වගකීම් විරහිත අය නිසාය.

කොරෝනා වෛරසය දිනෙන් දින චීනයේ හුබෙයිහි, වුහාන් ප්‍රාන්තයම ගිල ගනිද්දී එරට බලධාරීන් වුහාන් ප්‍රාන්තයට සීල් තැබුවේය. පළාත් පිටින්ම වසා ජනතාව හුදකලා කරන්නට බලධාරීන්ට සිදුවන්නේ රට වැසියන් වෛරසයෙන් බේරාගන්නටය.

අප රට තුළත් රෝගය පාලනය කරන්නට වහාම රට ලොක් ඩවුන් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සියලුදෙනා බලපෑම් කළහ. නමුත් රජය යම්තාක් දුරට හෝ ජනතාව ගැන සිතන්නට වූයේ රටම ලොක් ඩවුන් කළහොත් රටේම ජනතාවට පීඩා විඳීමට ඇති ඉඩකඩ නිසාය. ඒ වෙනුවට රට තුළ ඇඳිරිනීතිය පනවා කඩින් කඩ ඉවත් කළෙත් ජනතාවට අවශ්‍ය දෑ ලබාගැනීම උදෙසාය.

ඉදිරි සති දෙක ඉතාම අවදානම් කාලසීමාවක් බව රටටම පුන පුනා කියන්නට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කටයුතු කළේය.

සෞඛ්‍ය බලධාරීන් දෙන උපදෙස් පිළිපදිමින් නිවෙස්වලින් පිටට නොයන ලෙසත් ඔවුන් අනතුරු හැඟවූයේය. ඒ මාරාන්තික කොරෝනා වෛරසය පාලනය කිරීම කාලය සමග වූ සටනක් නිසාය.

කොරෝනා පාලනය කරන්නට කාලය අවශ්‍ය වන්නේ ආසාදිතයන් හඳුනාගෙන අන් අයට බෝවීම වැළැක්වීම සඳහාය.

අනෙක් රටවල මෙන් රටම වසා දමා ජනතාව ප්‍රදේශවලට සීමා නොකර තත්ත්වය පාලනය කිරීමට රජය ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සමග අඛණ්ඩ මෙහෙයුමක් දියත් කළේය. ජනතාවට පීඩාවක් නොවන්නට වගබලාගනිමින් අසල්වැසි බලවතා වූ ඉන්දියාවත් රටේ පළාත් පිටින්ම ලොක්ඩවුන් කරද්දීත් අපට මෙම තත්ත්වට යම්තාක් දුරකට පාලනය කරගත හැකිවිය. ඒ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ කළ කැපකිරීම් මෙන්ම ජනාධිපතිවරයා ගත් සෘජු තීන්දු නිසාය. පසුගිය 19දා සිට රටපුරා කලාප වෙන්කර ඇඳිරිනීතිය පමණක් පනවා ​වෛරසයෙන් ජනතාව බේරාගැනීමට බලධාරීන් ගත් ක්‍රියාමාර්ග ව්‍යාකූල වූයේ ජනතාවගේම වැරදි හැසිරීම නිසාය.

පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනක මෙන් මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගත නොහැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ චෝදනා කළේත් ජනතාවට කොරෝනා වෛරසයේ බරපතළකම නොපෙනුන නිසාය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ මෙතෙක් කළ කැපකිරීම් සියල්ල අවුල් වූ බව හෙතෙම පෙන්වා දුන්නේත් ජනතාව මහමගට විත් කළ වගකීම් විරහිත ක්‍රියාවන් හේතුවෙනි. බණ්ඩාරගම, අටලුගම ග්‍රාමසේවා වසම් හතක ජනතාවකට නිවසින්වත් එළියට බහින්නට නොහැකි ලෙස සීල් තබන්නට රජය තීරණය කරන්නේ එය අලුතින්ම වාර්තා වූ බරපතළ සිද්ධිය නිසාය.

අටලුගම ග්‍රාම සේවා වසම් හතටම ප්‍රවිශ්ඨ වන මාර්ග අටකටම යුද හමුදා, පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා වසා දමන්නේ ඉකුත් සිකුරාදා (27 වැනිදා) සිටය. අටලුගම ගම්මානවල පවුල් පන්දහසකට අයත් විසිදහසක පමණ පිරිසකට දින දාහහතරක් යන තුරු නිවෙස් තුළම සිට නිරෝධායනය වීමට සිදුවන්නේ මේ සමගිනි.

අටලුගම, මාරාව ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොරෝනා වැලඳීමත් සමග ගමක් වනසන්නට පෙළ ගැසුණු ආකාරය අනාවරණය විය. මෙම පුද්ගලයා එම ගමට ආසන්නයේම වූ ගල්වැටමණ්ඩියේ මිතුරකු සමග ඩුබායි බලාගොස් ලංකාවට පැමිණ තිබුණේ ඉකුත් 19දාය. ඒ වන විටත් රට පුරා කොරෝනා භීතියක් තිබුණද මෙම පුද්ගලයා රට ගිය බව වසන් කරමින් ගමපුරා විනෝදයෙන් කාලය ගත කර තිබුණේය. පිටරට ගොස් පැමිණි අය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත ලියාපදිංචි වන්නැයි රටම දැනුවත් කර තිබියදීත් මොහු වගකීම් විරහිතව ගමපුරා හැසිරෙන්නේ මිනිස් බෝම්බයක් ඇවිදින්නාක් මෙන්ය.

බණ්ඩාරගම පොලිසියට මේ පුද්ගලයා ගැන තොරතුරක් ලැබෙන්නේ පසුගිය සතියේ සඳුදා (24 වැනිදා)ය. ඒ අනුව පොලිසිය හා සෞඛ්‍ය බලධාරීන් ගම් වටා සැරිසරන මේ පුද්ගලයා සොයා ගත්තේය.

එහිදීත් මුලදී තමන් ඩුබායි ගිය වග හෙළිකරන්නට ඔහු අකමැති වූයේය. සිද්ධිය වසන් කරන්නට නොහැකි වූයේ දිගින් දිගටම ප්‍රශ්න කරද්දීය. නමුත් ඔහු ඩුබායි ගියේ කුමන අරමුණකටද යන්න හෙළිකර ගත නොහැකි වූයේය. ඒ රහස හෙළිකර ගැනීමට නොහැකි වුවත් මොහුව එදිනම නිරෝධායනය කෙරිණි.

පසු දිනම (25 වැනිදා) ඔහුට කොරෝනා රෝග ලක්ෂණ මතුවූයෙන් මොහුව කළුතර, නාගොඩ රෝහලට ඇතුළත් කරන්නේය. ගමම අනතුරේ හෙළන ලද මොහුට කොරෝනා ආසාදනය වී ඇතැයි පසුදින (26 වැනිදා) පරීක්ෂණවලින් හෙළි වූයෙන් වහාම අයි.ඩී.එච්. රෝහලට යවන්නට සිදුවිය.

අටලුගමම භීතියට පත්වන්නේ ඉන් පසුවය. මොහු ගම් හතක නිවෙස්වල ඇවිදිමින් කකා බිබී කරක් ගැසූ වග හෙළිවන්නට වීමත් සමග බලධාරීන්ගේ ඉහ මොළ රත්වන්නට විය. කොළඹට ආසන්න වූ ප්‍රදේශයේ සිටින බොහොමයක් ව්‍යාපාර කටයුතුවල නිරත වන්නන් නිසාය. එය රටටම මෙය අවදානමක් විය හැකි නිසාය.

මොහු ළඟින්ම ඇසුරු කළ විසිහය දෙනකු ගැන බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරන්නේය.

ඉන්පසු ගම්මාන හතටම සීල් තබා කිසිවකුටත් එහි ඇතුළුවීමට හෝ පිටතට යාමට නොහැකි ලෙස ආරක්ෂක වළල්ලක් යොදන්නේය.

පසුගිය 28 දා රෝගය ආසාදනය වූ පුද්ගලයාගේ පියා හා සහෝදරියටත් විවිධ සැක සහිත රෝග ලක්ෂණ මතුවූයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කෙරිණි. මාස දෙකකට චීනයේ වුහාන් නගරයම වසා තබා යළි විවෘත කරද්දී වගකීමක් නොමැති අපේ රටේ කිහිප දෙනකු නිසා මුළු රටම තර්ජනයට ලක්වූයේය. අටලුගම පුද්ගලයා ළඟින්ම ඇසුරු කළ පුද්ගලයන් විසිහය දෙනාගෙන් විසි දෙනකු බණ්ඩාරගම සර්වෝදය ගොඩනැගිල්ලක නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස සකස් කර නිරෝධායනයට යොමු කර තිබේ. අනෙක් හයදෙනා සොයා බුද්ධි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කළේය.

බණ්ඩාරගම අටලුගමින් මෙම සිද්ධිය වාර්තා වෙද්දී අකුරණ, පුත්තලම හා හොරොව්පතානේදී මෙන්ම කොළඹ රතු පල්ලියේදී දේව මෙහෙයකට ගිය පිරිස්වලටද කොරෝනා ආසාදිත පිරිස් එක්වූ බවට බුද්ධි අංශවලට හෙළිදරව් විය.

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ අයෙකුත් අටලුගමට කළ හානියම කරන්නට පෙර එම ගම්මානයත් ආවරණය වන පරිදි ආරක්ෂක රැකවල් යෙදීමට සෙනසුරාදා (28) රාත්‍රියේ සිදුවිය. එම ගමටත් ඇතුළුවීම, පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරුණේය.

අකුරණ කණ්ඩායම ආගිය බවට හෙළිවූ තොරතුරු මත පුත්තලම, කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මාන දෙකකුත් කිසිදු අයකුට එහා මෙහා යාමට නොහැකි ලෙස සීල් තැබීමට යුද හමුදා හා පොලිසිය පියවර ගත්තේය. තායිලන්තයේ හා ඉන්දුනීසියාවේ ආගමික කටයුත්තක් සඳහා ගිය කණ්ඩායම් තුනක් ගැන හෙළිවීමත් සමග අකුරණ හා පුත්තලමටත්, අටලුගමට යෙදූ ක්‍රමවේදයම යොදන්නට සිදුව ඇත. දින 14 කට ගම්මුන් සියල්ල නිරෝධායනය කරන්නට කටයුතු යොදන්නේ මේ අනුවය.

බුද්ධි අංශ හෙළිකර ගත් තොරතුරු මත කණ්ඩායම් තුනක් ලෙසින් ආගමික කටයුතු සඳහා ඉන්දුනීසියාවට හා තායිලන්තය බලා ගිය බව හෙළි විය. මාස තුනක් එම රටවල සිටි කණ්ඩායමේ හත්දෙනකු ඉකුත් 13 දා ලංකාවට පැමිණ තිබිණි. මුතුර් හා අකුරණ පදිංචිකරුවන් එම පිරිසට අයත් වූහ. ඉන්පසුව ඉකුත් 15 දා තවත් පස්දෙනෙක් ලංකාවට පැමිණියහ. පුත්තලම හා පදවියේ පිරිසක් එම පිරිසට අයත් වූහ. ඉන්පසුව ඉකුත් 17 දා තවත් හයක කණ්ඩායමක් පැමිණියහ.

මෙම කණ්ඩායම් අතරේ වූ අයකුට කොරෝනා ආසාදනය වීම නිසා ඔවුන් අතරේ සිටි අනෙක් පුද්ගලයන් සොයා බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක විය. හොරොව්පතානේ කණ්ඩායමක් කළ දේව මෙහෙයට එක්වූ පිරිස් සොයා වෙනමම බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක වූයේය.

කොළඹ රතු පල්ලියේ දේව මෙහෙයකට එක්වූ අයකුටත් ඉකුත් 13 දා කොරෝනා වෛරසය වැලඳී ඇතැයි හෙළි කරගත්තේද රාජ්‍ය බුද්ධි සේවාව කළ මෙවැනිම මෙහෙයුමකිනි. රතු පල්ලියේ දේව මෙහෙයට ගිය බව කියන පුද්ගලයකු හා ඔහුගේ පියා මෙම සිද්ධියේදී සොයා ගත්තේය.

තමන් රතු පල්ලියේ දේව මෙහෙයට ගිය බව පුතා පිළිගත්තද පියා දිගින් දිගටම එය වසන් කරමින් සිටියේය. කෙසේ වෙතත් දේව මෙහෙයට එක්වූ පිරිසටද නිරෝධායනය වන්නැයි උපදෙස් නිකුත් කෙරුණේ මේ අනුවය.

මෙම රතු පල්ලියේ සිද්ධිය තමාට රාජ්‍ය බුද්ධි අංශ තහවුරු කළ බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්නද තහවුරු කළේය.

එවැනි වගකීම් විරහිතව හැසිරුණු පුද්ගලයන් නිසා දිනෙන් දින කොවිඩ් ආසාදිතයන්ගෙන් රෝහල් පිරී යන තත්ත්වයක් දැන් ඇතිවී හමාරය.

දකුණු කොරියාව කොරෝනා වෛරසයෙන් ගිනි තබන්නේ හැට එක් හැවිරිදි වගකීම් විරහිතව ක්‍රියා කළ මෙවැනිම කාන්තාවකි. ඇය එරටින් වාර්තා වූ 31 වැනි කොරෝනා රෝගියා වූවාය. ඇය රෝහල් ගත කර පසුව එක්වරම රෝගීන් සංඛ්‍යාව ක්ෂණයකින් දහස ඉක්මවා යන්නේ එරට බලධාරීන්ගේ ඉහමොළ රත් කරමින්ය.

මෙම කාන්තාවගේ රෝග ඉතිහාසය පරීක්ෂා කිරීමේදී ඇය රිය අනතුරකට රෝහල් ගතවීමේ පටන් පල්ලියක දේව මෙහෙයට එක්වීම ඇතුළු සියලු කාරණා සිදුවන්නේ ඇයට තිබූ උණ ගතිය ගණනකට නොගෙන ක්‍රියා කළ නිසා බව හෙළි වූයේය.

ඇගේ ආගමට අනුව අසනීපවීම දේව යාඥාවන්ට සහභාගි නොවීමට තිබෙන නිදහසට කාරණාවක් නොවීය. ඒ නිසා ලොවම බිළිගන්නා කොරෝනා වෛරසය පැතිරෙද්දීත් උණ රෝගය නොතකා ඇය දේව මෙහෙයන්වලට එක්වී සිටියාය. ඒ දේව මෙහෙයට එක්වූ දස දහසකට ආසන්න පිරිසක් අතරේය. අවසානයේ ඇයට කොරෝනා ආසාදිත වී ඇතැයි රෝහල් ගත කළ පසුව දේව මෙහෙයට එක්වූ 1200 කට කොරෝනා රෝග ලක්ෂණ මතුවන්නේ දකුණු කොරියාවම භීතියට පත් කරමිනි.

එක් කතකගේ වගකීම් විරහිත ක්‍රියාවක් රටකටම බලපෑවේය. අවාසනාවකට ලංකාවේත් වගකීම් විරහිතව හැසිරුණු පුද්ගලයන් කිහිප දෙනකු නිසා රටම අවදානමකට ලක්වෙමින් ඇත්තේය.

ආත්මාර්ථකාමී මිනිසුන් නිසා රට මේ තරම් අනතුරකට වැටුණු බව සඳහන් පළමු සිද්ධිය වාර්තා වන්නේ, ජර්මනියේ සිට පැමිණි ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා ගැනය. දෙවියන්ගේ කැමැත්ත පරිදි සියල්ල කරන්නට සිතූ ඔහු හිතුමතේට පුද්ගලික රෝහල්වලට ගොස් එම රෝහල් තුළ සිටි අයවත් ආසාදිතයන් ගොඩටම ඇද දැමීය. මොහු සමග මාර්තු 12 දා ලංකාවට පැමිණි අයකුට කොවිඩ් වෛරසය වැලඳීම නිසා රෝග පරීක්ෂාවක් කරන්නැයි අනතුරු හඟවා තිබියදී පුද්ගලික රෝහල්වලට ගොස් තම අභිමතය පරිදි ක්‍රියා කළේය.

අවසානයේ පුද්ගලික රෝහල් මගින් කළ පරීක්ෂණ වාර්තා පිටතට එද්දී මොහු දුරකථන ඇමතුම් මගහැර සැඟවී සිටින්නට ක්‍රියා කළේය. දුරකථන ඇමතුම්වලට පිළිතුරු දුන් බිරිඳද බොරු කියමින් කටයුතු කළේ යාපනයේ දේව මෙහෙයට එක්වූ කොරෝනා වැලඳුණු දේවගැතිවරයාගේ බිරිඳ ලංකාවට හොර වෛද්‍ය වාර්තා සැපයූ ආකාරයෙනි.

එම කාන්තාව කොරෝනා රෝගය වසන් කර යාපනයම බිළි දෙන්නට උත්සාහ කරද්දී, රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අනුව ස්විස් රජයෙන්ම එය තහවුරු කරගත් නිසා උතුරේ ජනතාව රැකගන්නට හැකිවූයේය. එය රාජ්‍ය ඔත්තු සේවාව ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයා හා බිරිඳ කොටු කරන්නට කළ බුද්ධි මෙහෙයුම හා සමානව සිදුවූවකි.

Aruna



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More