පුරවැසි කොලම

මුහුණු හෙවත් මුව ආවරණ (Face Masks) පැලඳීම අවශ්‍යද නැද්ද යන්න පිළිබදව මාධ්‍යයන්හි මේ වනවිටදී නොයෙකුත් වාද විවාද පවතී. මහජනතාවද, ආරක්ෂක අංශද මුව ආවරණ පැලඳීම සම්බන්ධයෙන් යම් යම් විවාදාත්මක අවස්ථාවන්ට මැදිවන අයුරුද මාධ්‍ය ඔස්සේ අසන්නට, දකින්නට ලැබේ. සැබවින්ම මුව ආවරණ පැලඳිය යුත්තේ කෙසේද යන්න ගැන සොයා බැලීමේදී ඊට ප්‍රධාන මාර්ගෝපදේශය සපයන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් මොනවාද යන්න සලකා බැලීම වැදගත් වේ. එම නිර්දේශයන් නම්,

1 සියලු අදාළ සෞඛ්‍ය සේවකයන් (Covid 19 රෝගීන්ට ප්‍රතිකාර කරනා)

2. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හෝ covid 19 රෝගය ඇති අය (අන් අයට බෝවීම වැළැක්වීමට)

3. කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හා Covid 19 යැයි “සැක ඇති” අයට ප්‍රතිකාර කරන හෝ ඒ අය අසළ සිටින අය.

රෝග ලක්ෂණ නොමැතිව වෛරසය ශරීරගත වී එය පතුරුවන අය සිටින නිසාත්, සමාජයෙන් හමුවන එවැනි අය කවුද කියා සැක හැර ගැනීමට නොහැකි නිසාත්, විශේෂයෙන් සෙනඟ වැඩිපුර ගැවසෙන වෙළෙඳසල්වලදීත්, මුළු කාමරයම වසා දමා වායුව ඇතුළත සංසරණය වන වායු සමනය කළ කාමර තුළ සැක සහිත කෙනෙකු සිටින විටත් මුව වැසුම් පැලඳීම වරදක් නොවේ. එහිදී වැදගත් දෙය නම් එය නිසි ක්‍රමවේදය අනුව පැලඳීමයි.

එමෙන්ම රෝගියෙකුට ප්‍රතිකාර කරන අයට මුව වැසුම් පමණක් නොසෑහේ. එවැනි අයට සියලුම පුද්ගලික ආරක්ෂක උපකරණ හෙවත් PPE අවශ්‍ය වේ. (PPE යනු පුද්ගලික ආරක්ෂක උපකරණයි. Personal Protective Equipment)

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිරෝගී තරුණ අයට මුව වැසුම් පැලඳීම අවශ්‍ය නැති බව පැවසුවත් ඉහත කරුණු අනුව කැමති නම් නිසි ක්‍රමවේදයට යටත්ව ඕනෑම කෙනෙකුට මුව වැසුම් පැලඳිය හැක. එයට හේතුව රෝගය වැලඳී ඇති අය කවුද යන්න නිශ්චිතව නොදන්නා නිසාය. එමෙන්ම සෞඛ්‍ය අංශ දෙදෙනකු අතර පරතරය මීටරයක් තබාගන්නා ලෙස කෙතරම් දැනුවත් කළද සෙනඟ බහුල තැන බොහෝ විට ජනතාව එය එසේ පිළිනොපදින නිසාත්ය.

කොවිඩ් 19 වෛරසය ශරීර ගතවන ප්‍රධාන ක්‍රම දෙකකි.

එක් විදිහක් නම් ජල අංශු, සෙම බිඳිති හෝ aerosol (හෙවත් ක්ෂුද්‍ර අංශු ) නාසය සහ මුව මගින් ශරීර ගත වීමයි. අනෙක් විදිහ වන්නේ විශබීජ ගෑවුන ඇඟිලි නාසයේ, කටේ හෝ ඇස්වල ගෑවීමයි.

කොවිඩ් 19 වෛරසය නැනෝ මීටර් 400ත්, 500ත් අතර විශාලත්වයක් ඇති නිසා නියම ශල්‍ය මූව වැසුමකින් surgical mask හෝ FFP 1 වර්ගවල මුව වැසුම්වලින් සාමාන්‍ය ආරක්ෂාව ලැබේ. නමුත් වඩාත් ආරක්‍ෂිත හෙවත් හොඳම වර්ගය ලෙසින් සැලකෙන්නේ N95 වර්ගයයි.

මුහුණු ආවරණය නිසි ක්‍රමවේදයට පැලඳීම යන්න සලකා බැලීමේදී පළමුව එය නියම ප්‍රමිතියෙන් යුතු එකක් වීම වැදගත්ය. පැලඳීමට පෙර හා ගැලවූ පසු දෙඅත් නිසි ලෙස පිරිසිදු කිරීම කළ යුතුය. පැලඳි කාලය තුළ එහි ඇතුළත හා පිටත ඇඟිලිවලින් ඇල්ලීම, නාසය, කට ඇතුළ කැසීම නොකළ යුතුය. භාවිතයෙන් පසු ක්ෂණිකව එය ඉවත දැමීම සුදුසුය. එය සෝදා නැවත පාවිච්චිය මගින් මුව ආවරණයෙන් ලැබෙන ආරක්ෂාව ලැබේ යැයි සහතික කළ නොහැකිය.

මෙම නිසි ක්‍රමවේදය නොමැතිව මුව වැසුම් භාවිතය සෞඛ්‍ය හිතකර නොවන බවද මතකයේ තබාගත යුතුය. එමෙන්ම නියමිත ක්‍රමවේදයට අනුකූලව භාවිත කළ නොහැකි නම් මුව ආවරණ පැලඳ නොසිටීම වඩා සුදුසු බව ඇතැම්හු තර්ක කරති. මුව ආවරණ පැලඳීමෙන් වෛරසය ශරීරගතවීම වැළැක්විය නොහැකි යැයි පවසන ඇතැම් ආචාර්යවරු මුව වැස්මේ විෂබීජ රැඳීම පලඳින අයට අගුණ බව පවසති. එකම කතාවේ මත දෙකකි.

උණ, උගුර රිදීම ඇතුළු රෝග ලක්ෂණ මතු නොවුණත් රෝගය ශරීරගත වූවන් බාහිර සමාජයේ සිය ගණනින් සිටිය හැකිය. ඔවුන්ගෙන් වෛරසය පිට නොවේ යැයි සහතිකයක් කිසිවකුට දිය නොහැකිය. සිහිතබා ගතයුතු අනෙක් කරුණ නම් මුව ආවරණ යනු පුද්ගලික ආරක්ෂක උපකරණ වල (PPE) එක් අංගයක් පමණක් යන්නයි. එහි අනිත් වැදගත් අංග නම්, ඇස් ආවරණ, ආරක්ෂිත ගවුම්, දෙඅත් හා දෙපා ආවරණ, දෙඅත් සේදීම හා දුරස්ථ භාවය රැකීමයි. මේවායේ භාවිතය ඒ ඒ අවස්ථාව අනුව වෙනස් වේ.

උදාහරණයක් ලෙස Covid වෛරසය ඇති රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී මේ සියලුම PPE අංග අවශ්‍ය වෙයි. එමෙන්ම ක්ෂුද්‍ර අංශු (Aerosol) සෑදෙන යම් ක්‍රියාවලියක් වෙයිද, උදාහරණයක් නම් ලැපරොස්කොපි වැනි සැත්කමක් තුළදී ඒ සෑදෙන ක්ෂුද්‍ර අංශු ශරීර ගත නොවීමට එයට අදාළ PPE ක්‍රමය තෝරා ගත යුතුය.

මෙම වෛරස ව්‍යාප්තියේ නවතම තතු පිළිබද සමාජය දැනුවත් කිරීමට රූපවාහිනි නාලිකා කරන මෙහෙවර වැදගත්ය. එහිදී පවා මුඛ ආවරණයක් පැලඳිය හැකිනම් එය වඩා උචිත සහ ආදර්ශමත් බව මගේ හැඟීමයි. ඔවුන් ප්‍රවෘත්ති ඉදිරිපත් කරන මැදිරි වායු සමනය කර සතර වටින් වසා ඇත. ඇතුළේ කිහිප දෙනෙක් සිටිති. කලින් ඇවිත් ගිය අය සිටිති. එලෙස පැමිණ ගිය අයවළුන් සියලු දෙනාටම කිසිදු ආසාදනයක් නැති බව සහතකියක් දිය නොහැකිය. කැස්සකින් එළියට එන වෛරසය කාමරයේ කොපමණ කාලයක් තිබිය හැකිද? සමහර විට පැය කිහිපයක් වුවත් නොනැසී සංසරණය විය හැක. එයින් ආරක්ෂා වීමට මුව ආවරණ පැලඳීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇත. එම අයිතිය විවේචනය කිරීම සදාචාරසම්පන්න නොවේ. මරණ බය කාටත් පොදුයි. කවුරු ප්‍රවෘත්ති ඉදිරිපත් කළද ඒ අසල කැස්ස ඇති කෙනෙකූ සිටියා නම් මුව ආවරණයක් පැලඳීම සාධාරණ නැතිද? බටහිර රටවල ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් මුව ආවරණ පැලදීම හෝ නොපැලදීම අපට අදාළ නැත. හරිහැටි විමසා බලන්නේ නම් මෙවැනි දේ පිළිබඳ නොසැලකීම නිසා අද අමාරුවේ වැටී සිටින්නේ ඔවුන්ගේ රටවල්ය. එනිසා කවුරු මොනවා පැවසුවද මුව ආවරණ පැලඳ නොසිටීමෙන් ඇතිවන තත්ත්වයන්හිදි වෛරසය ශරීරගත වුවහොත් ඒ සියලු පීඩාවන් දරාගන්නට සිදුවන්නේ ඔබටමය. මුව ආවරණ පැලඳීම එය නොපැලඳීමට වඩා රෝගය ශරීරගතවීමට බලපෑම් කරන බවට පෙන්වා දෙන කිසිදු පරීක්ෂණයක් හෝ වාර්තාවක් මේ වනවිට ඉදිරිපත් වී නැත.

දැනට ලොව ස්වසන රෝග සදහා මුව වැසුම්වල සාර්ථක භාවය පිළිබඳ පර්‌යේෂණ පවත්වා ඇත්තේ ඉන්ප්ලුවෙන්සා, සාර්ස් සහ මාර්ස් (influenza, SARS and MERS) වෛරස් ගැන පමණි. corona virus 2 (SARS-CoV-2) infection, COVID-19 ගැන කිසිවක් සිදුකර නැති බවත් Center for Evidence-Based Medicine, Nuffield Department of Primary Care Health Sciences, University of Oxford ඔවුන්ගේ නවතම 24.3.2020 දින දරන ලිපියෙන් පෙන්වා දී ඇත.

අද අප රටේ කොරෝනා වෛරසය තුරන් කිරීමේ මෙහෙයුමේදී ත්‍රිවිධ හමුදාව ඉටුකරන කාර්යභාරය සුවිශේෂීය. ඔවුන් එම කාර්යය සිදුකිරීමේදී ඔවුන්ගේ සෞඛ්‍ය ගැන අවධානය යොමුකිරීම ඉතා වැදගත්ය. එනිසා ත්‍රිවිධ හමුදාව මුව ආවරණ පැලදීමේ වැදගත්කම වන්නේ ඔවුන් නිරන්තරයෙන් ගැවසෙන්නේ සාමාන්‍ය ජනතාව සමග නිසාය. මුව ආවරණය පැලඳීමට අවශ්‍ය නැති බව මාධ්‍ය ඉදිරියේ පවසන සෞඛ්‍ය බලධාරීන් එය වඩා විශ්වාසවන්තදායක කරුණු ඔස්සේ ජනතාවට පැහැදිලි කර දෙනවා නම් මේ මුව ආවරණය පැලඳීම පිළිබද දෙගිඩියාවක් ජනතාවට ඇති නොවේ. තවමත් මේ වෛරසය තිබෙනුයේ ලොව පුරා ව්‍යාප්ත වන මට්ටමේය. ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වෛරසය හමුවේ පරාජයට පත්වී ඇත. ඔවුන් දිනෙන් දින නොයෙක් නව උපදෙස් නිකුත් කරන අතර පරණ ඒවා අවලංගු කරයි. මේ අතරතුර දහස් ගණනින් මිනිස් ජීවිත වෛරය විසින් බිළිගනිමින් සිටී.

රෝගය වැලඳුණ රටවලට යාම් ඊම් නැවත්වීම වාසි දායක නොව, හානි දායක බව ලෝක සෞඛ්‍ය විසින් ඔවුන්ගේ 29.2.20 ලිපියෙන් පවා අවධාරණය කරන ලදී. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය දිගටම උපදෙස් දෙන්නේ Covid 19 වෛරසය පැතිරුන රටවල් සමග සංචාරයන්ට හා වෙළෙඳාමට, බාධක පැනවීම්වලට ඔවුන් එරෙහි බවය. මෙවැනි හදිසි අවස්ථාවලදී එසේ භාණ්ඩ සහ මිනිසුන්ගේ ගමන් කිරීම්වලට එසේ සීමා පැනවීම් මගින් යහපත් ප්‍රතිඵලයක් නොලැබෙන බවය. එසේ කළොත් බොහෝ අවස්ථාවල ආධාර සම්පත් ලබාදීමට බාධා ඇතිවන බවයි.

තර්කානුකූලව එය සත්‍ය වුවත් ලොව තුල වෛරසය ශීඝ්‍රයෙන් පැතිර ගියේය. අවසානයේ සියලුම රටවල් සංචාර සඳහා සම්බාධක පමුනුවන විට ඔවුන් පමාවූවා වැඩිය. එනිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කිනම් දේ පැවසුවද අප අපේ විමර්ශන බුද්ධිය මෙහෙයවා තීරණ ගත යුතු අවස්ථාවකි එළැඹ ඇත්තේ.

එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය මාර්තු 31දා නවතම වාර්තාවක් ඉදිරිපත් කරමින් වාතයේ Covid- 19 වෛරසයට පැය 8 ක් දක්වා නොනැසී රැඳීමට හැකි බව පිළිගත්තේය. දැන් ඔවුන් මුව වැසුම් පැලඳීමට ඉඩදී ඒ පිළිබද මුණිවත රකිමින් සිටී. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද 31දා සිට මුව වැසුම් පලඳින අයට ඒ සඳහා බාධා නොකරන ලෙසට තීරණය කළ බව සියලු මාධ්‍ය මගින් ප්‍රචාරය කර හරින ලදී.

මේ මුව වැසුම් පැලඳීම පිළිබද කරුණේදී වඩා නිවැරැදි කවුද යන්න අනාගතයේ යම් දවසක ස්ථිර කර ගත හැක්කේ ප්‍රතිඵල ආපස්සට බැලීමෙන් පමණකි. ඒ සමය වනවිට ඉතිරිවී සිටින අය අතරින් මුව වැසුම් පැලඳුවේ කවුද? නොපැලඳුවේ කවුද? කියා ගණන් හදා මේ තර්කයේ හරි වැරැද්ද තහවුරු කිරීමට මේ දෙපාර්ශ්වයෙන් ඉතිරි වන්නේ කවුද යැයි නිශ්චිතව කිව නොහැකි තත්ත්වයකි උදාවෙමින් පවතිනුයේ.

•වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

ප්‍රසව හා නාරිවේද විශේෂඥ

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More