කොවිඩ් -19 වසංගතය හේතුවෙන් සිදුවිය හැකි ආර්ථික කඩාවැටීම් හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු සහ නැඟෙනහිර ආසියානු රටවල් ‘දරිද්‍රතාවයේ වේදනාව’ අත්විඳීමට ඉඩ ඇතැයි ලෝක බැංකුව පසුගිය අඟහරුවාදා නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා සිටියේ ය.
2019 දී 5.8%ක සීමාවේ පැවැති කලාපයේ ආර්ථික වර්ධන වේගය මේ වසරේ දී 2.1% දක්වා පහත වැටී ඇති බවත් එය ඉදිරි මාස 03 දී තවත් 0.5%කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක බැංකුවේ උප සභාපති වික්ටෝරියා ක්වාක්වාගේ අත්සනින් නිකුත් කර ඇති ඒ නිවේදනයේ දැක්වෙයි. කලාපයේ සියලු රටවල් මින් පෙර නොවූ ආකාරයේ කැපවීමකින් සහ වේගයකින් කටයුතු කළ හොත් මේ අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩ ඒමේ අවස්ථාව පවතින බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
මින් පෙර නොවූ විරූ ආකාරයේ කැපවීමකින් හා වේගයකින් කටයුතු කළ හොත් අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩ ඒමේ අවස්ථාවක් පවතින බව කියන නමුත් ඒ සඳහා වූ වැඩපිළිවෙළක් ලෝක බැංකුව යෝජනා නොකරයි. අඩු ම වශයෙන් කළ යුතු ව ඇත්තේ කුමනාකාරයේ කැපවීමක් ද යන්න පිළිබඳ ව අදහසක් වත් ලෝක බැංකුවට නැත. ඇත්ත වශයෙන් ම ලෝක බැංකුවේ ඒ නිවේදනය පියවි ඇසට නොපෙනෙන අංශු මාත්‍ර වෛරසයක් ඉදිරියේ ලෝකය ම පරාජයට පත් වී තිබෙන බවට කෙරෙන ප්‍රකාශනයක් බඳු ය. අපේ රට ඇතුළු ආසියානු කලාපයේ රටවල් ගැන පමණක් කියවෙන නිවේදනයක් නමුත් මුළු ලෝකයේ ම තත්ත්වය එබඳු නොවේ යැයි කිව නොහැකි ය.
ශ්‍රී ලංකාව කොරෝනා වසංගතය හමුවේ ක්‍රියාත්මක වෙමින් සිටින ආකාරය මේ වන විට මුළු ලෝකයේ ම ප්‍රශංසාවට හේතු වී තිබේ. පෙරේදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පෞද්ගලිකම කතා කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් ගෙබ්රෙයිසස් කොරෝනා වෛරසයේ වසංගතය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට ස්තුතිය පළ කළේ ය. මේ මර්දන වැඩපිළිවෙළ වෙනුවෙන් මේ වන විට දරමින් තිබෙන පිරිවැය අපේ රට වැනි කුඩා ආර්ථිකයක් ඇති රටකට දරා ගත නොහැකි තරමේ විශාල වූවකි. අනික් අතට රටක් ලෙස අප මේ වන විට යම් ප්‍රගතියක් අත් කර ගෙන තිබේ නම් ඊට හේතුව එකී දැවැන්ත පිරිවැය සහ කැපවීමයි.
ලෝකය ඉදිරියේ ජාතියක් ලෙස අපගේ ස්ථානය තීරණය කරනු ලබන්නේ අපගේ බුද්ධිමතුන් රට වෙනුවෙන් කරනු ලබන කැපවීම විසිනි. රටක් පාලනය කරන්නේ දේශපාලනඥයන් විසින් බව සැබෑ ය. එහෙත් අප වැනි රටවල දේශපාලනඥයෝ බුද්ධිමත්තු නොවෙති. එය තිත්ත වුණත් ඇත්ත ය. අනික් අතට රටක දේශපාලනඥයන් ඒ රටෙහි බුද්ධිමතුන් යනුවෙන් නියමයක් නැත. එහෙත් රටක ඉදිරි ගමන තීරණය කරන තීරක බලවේගය විය යුත්තේ බුද්ධිමතුන් බවට විවාදයක් තිබිය නොහැකි ය. එය ඉතිහාසය විසින් යළි යළිත් තහවුරු කරනු ලැබ ඇති ප්‍රත්‍යක්ෂයකි.
ජපානය දෙවැනි ලෝක යුද්ධයේ දී දෙවැනියට නැත්නම් තුන් වැනියට බැට කෑ රට ය. ජර්මනියේ හිට්ලර් සමඟ සන්ධානගත වීමේ පාපයට මිත්‍ර පාක්ෂික රටවලින් ගුටි කෑ ජපානය දෙවැනි ලෝක යුද්ධයෙන් මුළුමනින් ම පාහේ විනාස වී ගියේ ය. රටක් ලෙස ජපානය නැවත ගොඩනැඟීම සිහිනයක් සේ පෙනිණි. එහෙත් ජපානය මේ අභියෝගය ජාතික අභියෝගයක් ලෙස භාර ගත්තේ ය. බින්දුවේ සිට යළි ගොඩ නැඟෙන්නට තීරණය කළ ජපානය ඒ සඳහා මුළු ශක්තිය යෙදුවේ ය. උපරිමයෙන් කැප වුණේ ය. එහි ප්‍රතිඵලය ඇස් පනා පිට ම දැක ගන්නට ලැබිණි. 1945 දී හතර ගාතෙන් නොව බිමට ම සමතළා වන්නට ම වැටී සිටි ජපානය 1964 ඔක්තෝබර් මාසයේ දී ලොව ප්‍රධාන ම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙල සිය අගනුවර වන ටෝකියෝ නුවර දී පවත්වන තරමට දියුණු රටක් බවට පත් වී සිටියේ ය.
ජපානය ඒ හාස්කම කළේ කෙසේ ද? ඒ හාස්කම පිටුපස තිබූ අයෝමය ශක්තිය නිසා ය. ඒ අයෝමය ශක්තිය අන් කිසිවක් නොවේ. ජපානයේ බුද්ධිමතුන්ගේ, උගතුන්ගේ, ප්‍රඥාවන්තයන්ගේ ජාතික කැපවීමයි. දෙවැනි ලෝක යුද්ධයෙන් විනාස වූ රට ගොඩනඟන්නට ජපානයේ විද්‍යාඥයන් විසින් අලුත් ආහාර වර්ග පවා නිපදවන ලදී. බුද්ධිය නංවන, ශක්තිය නංවන පෝෂණ ගුණයෙන් යුතු නව ආහාර වර්ග පරිභෝජනයෙන් ජපානයේ ජනතාවගේ බුද්ධි මට්ටම ඉහළ ගිය බව කියනු ලැබේ. ඒ එක් සාධකයක් පමණකි. එසේ සියලු ක්ෂේත්‍රවල අත්හදා බැලීම් කරමින් විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රෙය් නව සොයා ගැනීම් කරමින් ඉදිරියට ආ ජපානය අද වන විට ලෝක ආර්ථිකය තුළ තමන්ගේ අනන්‍යතාව ඉතා ඉහළින් සටහන් කරන්නට සමත් වී සිටින බව විවාදයකින් තොර ව පිළිගනු ලැබේ.
‘ඉන්දියානු සාගරයේ මුතු ඇටය‘යනුවෙන් විරුදාවලි ලද ලංකාව නමැති දූපත් රාජ්‍යයට ද ඉතිහාසය විසින් එවැනි අවස්ථා කිහිපයක්ම උදා කර දී තිබේ. එහෙත් ජාතියක් ලෙස අපට ඒ අවස්ථා එකක් වත් නිසි පරිදි කළමනාකරණය කර ගන්නට නොහැකි විය. එනම් ඒ කිසි ම අවස්ථාවකින් පල ලබන්නට ජාතියක් ලෙස අපට නොහැකි විය. ඒ සෑම අවස්ථාවක් ම අප වෙතින් ගිලිහී ගියේ අපේ රටේ බුද්ධිමතුන් තමන්ගේ ජාතික වගකීම ඉටු නොකළ නිසා බව කනගාටුවෙන් වුවත් සටහන් කරන්නට සිදු වෙයි.
අවුරුදු 300ක පමණ කාලයක් අර්ධ වශයෙනුත් අවුරුදු 133ක් පූර්ණ වශයෙනුත් බටහිර ජාතීන්ට යටත් වී සිටි ලංකාව 1948 පෙබරවාරි 04 දා ඉංග්‍රීසින්ගෙන් ඩොමිනියන් තත්ත්වයක් ලබා ගන්නට වාසනාවන්ත විය. ඒ වන විට රටේ පාලන බලය ඩැහැ ගන්නට මාන බලමින් උපක්‍රම යොදමින් සිටි අතළොස්සක් විසින් ‘නිදහස‘ යනුවෙන් අවභාවිත කරන ලද ඒ අවස්ථාව අපට ජාතියක් ලෙස නැඟී සිටින්නට ඉතිහාසය විසින් උදා කර දෙන ලද පළමු අවස්ථාව ලෙස සැලකිය හැකි ය. රටේ නායකත්වයට සුදුසුකම් ලබා සිටි උගත් නායකයා මහ කොමසාරිස්කමක් ලබා දී ඉන්දියාවට පලවා හැර අගමැතිකම ඩැහැ ගත් නූගත් නායකයකු නිසා ඒ අවස්ථාව අපතේ ගියේ ය.
එහෙත් ඇත්ත වශයෙන් ම ඒ නායකයාට එනම් ඩී.ඇස්. සේනානායකට ඒ අවස්ථාව ලැබෙන්නේ මේ රටේ පැරැණි වාමාංශික නායකයන් සිය ජාතික වගකීම නොසලකා හැරීම නිසා ය. දෙවැනි ලෝක යුද සමයේ වාමාංශික නායකයන් යුද්ධයට එරෙහි ව විරෝධතා පවත්වන්නට ගත් මෝඩ තීන්දුව නිසා යටත්විජිත පාලකයන්ට ඔවුන් මර්දනය කිරීම සඳහා අගනා අවස්ථාවක් උදා විය. ඔවුන් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුව හිරගෙය කඩා ගෙන ගොස් ඉන්දියාවට පලා යෑම ඔවුන්ගේ අනුගාමිකයන්ට මහා ආස්වාදයක් ගෙන දුන් වීර ක්‍රියාවක් විය එහෙත් එය ජාතියක් ලෙස අපට අවාසනාව උරුම කර දෙන්නට හේතු වූ මෝඩ චූන් එකක් බව ඉතිහාසය විමසා බලන විට පෙනේ.
සැබැවින් ම මේ වාමාංශික නායකයෝ උගත්තු වූහ. බුද්ධිමත්තු ද වූහ. පසුකාලීනව මේ රටේ පාලන බලය උරුම කර ගත් බොහෝ දේශපාලන නායකයන්ට සාපේක්ෂ ව ඔවුහූ කුශාග්‍ර බුද්ධිමත්තු ද වූහ. මේ රට ගොඩගැනීම සඳහා අවංක කැපවීමක් තිබුණු දේශපාලනඥයන් වූ මේ පැරැණි වාමාංශික නායකයෝ කිසිසේත් ම රටේ ජනතාව උකසට තබා කුමන්ත්‍රණවල නොයෙදුණාක් මෙන්ම ගේම්කාරයෝ ද නොවූහ. එබැවින් ඔවුන්ගේ සේවය නිසියාකාරව මේ රටට ලැබුණේ නම් අපේ දේශපාලන ඉතිහාසය මීට වඩා බොහෝ සෙයින් වෙනස් වන්නට ඉඩ තිබුණා සේ ම ජනතාවගේ ජීවිත ද බොහෝ සෙයින් සුපුෂ්පිත වන්නට ද ඉඩ තිබුණේ යැයි කිව හැකි ය.
1948න් ඇරැඹෙන ඊනියා නිදහස් ලංකාවේ කතාව අපේ ඉතිහාසය තුළ අපතේ ගිය කාලයක් ලෙස සැලකිය යුතු ය. 48 දී සුද්දා ඩොමීනියන් තත්ත්වය දෙන විට එය ‘නිදහස‘ යනුවෙන් වෙස් ගන්වා ජනතාව රැවටූ ජාතියේ ඊනියා පියා ඇතුළු නායකයන් කිසිවකුට අඩු වශයෙන් රටට සැබෑ නිදහසක් ලබා ගන්නට වත් ඕනෑකමක් තිබුණේ නැත. සුද්දාගෙන් ලැබුණු අවජාතක වෙස්මිනිස්ටර් ක්‍රමය හිස උඩ තබා ගෙන වන්දනා මාන කරමින් රටේ සම්පත් සූරා කෑම ඔවුන්ගේ එක ම අභිලාසය වී තිබුණු බව ඔවුන්ගේ ඉතිහාසය විමසා බලන විට පෙනේ.
1972 දී ශ්‍රී ලංකා ජනරජය බිහි වීම අපේ රට ගොඩ ගන්නට නැත හොත් ජාතියක් ලෙස හිස ඔසවන්නට ලැබුණු දෙවැනි අවස්ථාව ලෙස සැලකිය හැකි ය. යම් සීමාසහිතකම් තිබුණේ වුව ද එවකට තිබුණු සමඟි පෙරමුණු රජය රට නිවැරැදි දිසාවකට ගෙන යන්නට වෑයම් කළේ ය. නිවැරැදි දර්ශනයක් සහ වැඩපිළිවෙළක් වැරැදි ක්‍රමයකින් ක්‍රියාත්මක කරන්නට යෑමේ ප්‍රතිඵලය වූයේ ඒ ආණ්ඩුව රටේ ජනතාව අතර අප්‍රසාදයට ලක්වීමයි. ජන ජීවිතයට ඇති වූ දුෂ්කරතා නිසා ඒ අගනා අවස්ථාව ද අපතේ ගියේ ය. ඒ අනඟි ප්‍රවේශය රැක ගෙන ජයග්‍රාහී මාවතකට රට ගෙන යන්නට ඒ සමඟි පෙරමුණු ආණ්ඩුවේ සිටි වාමාංශික නායකයන්ට අවස්ථාව තිබුණු නමුත් ඔවුන් එහි දී ද තම දේශපාලන පක්ෂ අභිලාසයන්ට මිස ජාතික අවශ්‍යතාවට ප්‍රමුඛත්වය දුන්නේ නැත. එහ් ප්‍රතිඵලය වූයේ නව යටත්විජිත පාලනයකට රට ගෙන යෑම සඳහා ජේ.ආර්. ජයවර්ධනට මඟ පෑදීමයි. අපේ රට අද දක්වා ම දේශපාලන, ආර්ථික, සමාජයීය හා සංස්කෘතික වශයෙන් ඇද වැටී සිටින පරිහානියේ මුල 1977 බල පෙරැළියයි.
ඉන් පසු ව රට ගොඩ ගැනීම සඳහා තවත් අවස්ථාවක් උදා විය. ඒ 2009 මැයි 18 දා බෙදුම්වාදී යුද්ධය අවසන් කළ අවස්ථාවයි. මේ අවස්ථාවේ දී ද දේශපාලනඥයන්ට සියල්ල භාර දී බුද්ධිමත්තු තම වගකීම පැහැර හැරියෝ ය. එවකට සිටි නායකයන් බුද්ධිමතුන් කී දේ පිිළිගත්තා දැයි කිසිවකු ප්‍රශ්න කරන්නට ඉඩ තිබේ. එහෙත් එය පිළිගත හැකි උත්තරයක් නොව තම වගකීම පැහැර හැරීම සාධාරණීකරණ කරන්නට දරන වංචනික උත්සාහයකි. අපේ රටේ බුද්ධිමත්තු රටේ ඉහළ ම වරප්‍රසාද බුක්ති විඳිති. එසේ ම අත පය හකුළා ගෙන නිදති. සියල්ල දේශපාලනඥයාට පවරා ඔවුන්ගේ පසුපසින් හිඳ ඔවුන්ට ආ වැඩීමට අපේ බුද්ධිමත් ප්‍රජාව ඉතසිතින් ම කැමැති ය.
දැන් ඒ ප්‍රතිපත්තියෙන් ඔවුන් බැහැර විය යුතු ය. රට ගොඩ ගැනීම සඳහා ඉතිහාසය විසින් නැවත වරක් අවස්ථාවක් ලබා දී තිබේ. කොරෝනා වසංගයෙන් පසු ව අපට ජාතියක් ලෙස, රටක් ලෙස බින්දුවේ සිට නැවත ගොඩනැඟෙන්නට සිදු වන බවට කිසි ම සැකයක් නැත. ජන ජීවිතය ඉතා දුෂ්කර වනු ඇත. සමස්ත ජාතියට ම බොහෝ සෙයින් කැපකිරීම් කරන්නට සිදු වනු ඇති බව නිසැක ය. එය මෙතෙක් කලක් අප ජාතියක් වශයෙන් මුහුණ නොදුන් ආකාරයේ බැරෑරුම් අභියෝගයක් වනු ඇත. ඒ අභියෝගයත් දේශපාලනඥයන්ට විසඳන්නට භාර දී අත පය හකුළා ගෙන නිදි වදින්නට අපේ බුද්ධිමතුන් බලාපොරොත්තු වන්නේ නම් එය සමස්ත ජාතියේ මහා අභාග්‍යයක් වනු ඇත්තේ ම ය. ඉතින් බුද්ධිමතුන් ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කෙසේ දැයි මෙය කිය වූ අයකුට සිතෙන්නට ඉඩ තිබේ. අභියෝගය ආරම්භ වන්නේ ම එතැනිනි.
•ධර්ම ශ්‍රී කාරියවසම්
Aruna
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...