පුරවැසි කොලම

Covid-19 ගෝලීය වසංගතය හමුවේ සියල්ල දණ නමා හමාරය. සමාජ දුරස්ථභාවය හොඳම පිළියම වන හෙයින් සියලුම කටයුතු නතර කර දමා සියලු ජනතාව සිය ජීවත් වන ස්ථානයට කොටුකර හෝ කොටු වී ඇත. අත්‍යාවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන මෙවැනි අවස්ථාවක බොහෝ දෙනා සිය සන්නිවේදන කටයුතු සඳහා නවීනතම සන්නිවේදන ක්‍රමවල පිහිට ලබන මෙවැනි කාලයක් අන් කවරදාවකවත් උදා වී නොමැත. අධ්‍යාපන ක්ෂේත්‍රයට ද එය එසේම වී ඇත. හදිසියේම වැසුණු පාසල්, විශ්වවිද්‍යාල හා අනෙක් අධ්‍යාපන ආයතන අද සිසු දරු දැරියන්ගේ ඉගැන්වීමේ කටයුතු අන්තර්ජාලය මත පදනම් වූ ඉගෙනුම් ක්‍රම (Internet based education) නැතිනම් අන්තර්ජාල අධ්‍යාපනය (Online education) සඳහා යොමු වී ඇත. මේ සඳහා WhatsApp, Viber වැනි සන්නිවේදන ක්‍රම මෙන්ම zoom, skype වැනි සජීවි සන්නිවේදන මාධ්‍යයන්ද ඉගෙනුම් කළමනාකරණ පද්ධති (Learning Management Systems) ද යොදා ගැනීම දක්නට ලැබේ. මෙය ධනාත්මක තත්ත්වයකි. විශ්වවිද්‍යාල සිසුන්ට ඉගෙනුම් කළමනාකරණ පද්ධති සඳහා හා zoom සඳහා පිවිසීම අන්තර්ජාල ගාස්තුවලින් නිදහස් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ගත් පියවර මෙවැනි වසංගත අවස්ථාවක ප්‍රශංසනීය වේ.

දියුණු රටවල් හා දියුණු වෙමින් පවතින රටවල් බොහොමයක් බොහෝ කාලයක සිට අන්තර්ජාලය මත පදනම් වූ ඉගැන්වීමේ ක්‍රමවලට යොමු වුවද ශ්‍රී ලංකාවේ තත්ත්වය එතරම් ම සතුටුදායක වූයේ නැත. පසුගිය වසරේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවද අන්තර්ජාලය මත පදනම් වූ ඉගැන්වීමේ ක්‍රම පිළිබඳ යම් පිබිදීමක් ඇති වුවද එම උණුසුම ඉක්මනින්ම පහව ගියේ කෙසේ හෝ පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කිරීමට අවකාශය සැලසුණු නිසාය.

නමුත් ඉන් වසරකට පසුව, එවැනි කාලයකට සමාන එහෙත් ජීවිත යථා තත්ත්වයට පත්වන දිනයක් පෙනෙන මායිමක නොවන අවස්ථාවකට නැවත පැමිණ ඇත. එසේ නම් මෙවැනි අවස්ථාවක අපගේ ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපන අයිතිය අන්තර්ජාල අධ්‍යාපනය ඔස්සේ තහවුරු කරන්නේ කෙසේද? මෙය අද අධ්‍යාපන ක්ෂේත්‍රය හමුවේ ඇති ප්‍රධාන අභියෝගයයි.

මෙහිදී අන්තර්ජාලය මඟින් ඉගෙනුම් කටයුතු සිදු කරන හෝ සිදු කිරීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකු ප්‍රථමයෙන්ම සැලකිලිමත් විය යුත්තේ තම ශිෂ්‍යයන් සිටින තත්ත්වයයි. ගුරුවරුන්ට නවීන සන්නිවේදන උපකරණ, අන්තර්ජාල පහසුකම් සිසුන්ට වඩා උසස් මට්ටමින් තිබිය හැක. එසේ සිතා සිය ශිෂ්‍යයන්ගේ මට්ටම ගැන නොසිතා කටයුතු සිදු කළහොත් මෙම අන්තර්ජාල ඉගෙනුම් ක්‍රමයේ නියම ඵල නෙලා ගත නොහැක. තවද මෙවැනි අවස්ථාවක ශිෂ්‍යයන් සිටිනුයේ අධ්‍යාපනය ලැබීමට තරම් සුදුසු වටපිටාවක නොවීමටද පුළුවන. Covid-19 තර්ජනය උපරිමයට පත් වටපිටාවක සිටින ශිෂ්‍යයෙකුගේ මානසික මට්ටම එවැනි තත්ත්වයක නොසිටින ශිෂ්‍යයකුගේ මානසික මට්ටම ගුරුවරයා විසින් තේරුම් ගත යුතුය.

මේ සියලු කරුණු කැටිකර ගත් කල අන්තර්ජාලය පදනම්ව සිය අධ්‍යයන කටයුතු මෙහෙයවන පාසල්, විශ්වවිද්‍යාල හෝ අනෙකුත් අධ්‍යාපන ආයතනවල සිටින ගුරුවරුන්, කථිකාචාර්යවරුන් හෝ දේශකයන් මෙම අවස්ථාවේදී අන්තර්ජාලය ඉගෙනුම් මාධ්‍යක් ලෙස යොදා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු කීපයකි.

අන්තර්ජාලය මගින් ඉගැන්වීමේ කටයුතු සිදුකරන බොහෝ දෙනා කැමැත්තක් දක්වන්නේ සිය පන්ති කාමරයේ මෙන් සජීවී ලෙස ශිෂ්‍යන් හා සම්බන්ධ වී තම පාඩම හෝ දේශනය පැවැත් වීමයි. එය මෙවැනි හදිසි අවස්ථාවකදී යොදා ගැනීමට එතරම්ම සුදුසු පියවරයක් නොවේ. මක්නිසාද යත් මෙවැනි අවස්ථාවකදී දේශනය හෝ පාඩම සජීවී ලෙස විකාශය කළහොත් එහිදී අන්තර්ජාල පහසුකම් නැති හෝ අදාළ මෙවලම් නොමැති ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිදු වේ. මෙය ශිෂ්‍යයන්ට අන්තර්ජාල අධ්‍යාපනයට ඇති කැමැත්ත අඩු වීමට ද හේතුවක් විය හැක . මෙහිදී අද ඇති අවම තාක්ෂණික පහසුකම් යොදා ගෙන වුවද වීඩියෝවක් නිර්මාණය කර ගත හැක. එය සිසුන්ට මාර්ගගත නොවන (offline) ආකාරයටද නැරඹිය හැකි නිසා වාසියක් සිදු වේ. තවද පාඩමක් පටිගත කර දීමේදී එය ශිෂ්‍යයන්ට තම අභිමතය පරිදි ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට තමාගේම කාලසටහනකට අනුව නැරඹීමට අවකාශ ලැබේ. එසේම අන්තර්ජාල අධ්‍යාපනයෙහි අංගයක් වන නම්‍යශීලීබව (flexibility) මෙමගින් ප්‍රායෝගිකව අත්විඳීමට අවස්ථාව සලසා දේ.

අන්තර්ජාලය මගින් සිදු කරන ඉගැන්වීමේදී ඒ සඳහා දේශන ශාලාවේ හෝ පන්ති කාමරයේදී ගත වන මුළු කාලයම භාවිත නොකිරීම ඉතා වැදගත්ය. මෙහිදී එක් පටිගත කිරීමක උපරිම කාලය විනාඩි 15කට සීමා කිරීමට අනුමත කරන්නේ විනාඩි 15කට වඩා වැඩි කාලයක් ශිෂ්‍යයකු පාඩම වෙත රඳවා ගත නොහැකි නිසාය. ඊට වඩා වේලාවක් පටිගත කිරීමට අවශ්‍ය නම් කෙටි පටිගත කිරීම් කිහිපයක් එක් දේශනයක්/ පාඩමක් සඳහා සිදු කිරීම යෝග්‍යය වේ. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක පැය 2ක දේශනයක් විද්‍යුත් පටිගත කිරීමකදී විනාඩි 45 – පැයක් අතර කාලයක් ගත වේ. ඉතිරි පැය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධති යොදා ගනිමින් පාඩමට අදාළ ක්‍රියාකාරකම් කරවීම සුදුසුය. තවද Micro teaching ලෙස කුඩා පාඩම් සැකසීම මඟින් ගොනුවේ ප්‍රමාණය (file size) කුඩා වන අතර උඩුගත (upload) කිරීමේදී හා බාගත කිරීමේ දී (downlaod) සදහා යන කාලය හා අන්තර්ජාල ගාස්තු අඩු වේ. මේ නිසා මෙවැනි හදිසි තත්ත්වයකදී සිසුන්ට වන අපහසුතා මග හරවා ගත හැක.

අද ශ්‍රී ලංකාවේ සෑම නිවසකම පාහේ ඇති මෙවලමකි, ස්මාර්ට් දුරකථනය (Smart Phone). ස්මාර්ට් දුරකථනය ඉගෙනීම සඳහා යොදා ගත හැකි හොඳම මෙවලමකි. මේ නිසා පාඩම් ජංගම දුරකථන තිරයෙන්ද බලා ගත හැකි වන ලෙස ප්‍රමාණය, වර්ණය ආදිය සකස් කිරීම මේ අවස්ථාවේදී ශිෂ්‍යයන්ට ඉතා ප්‍රයෝජනවත් දෙයක් විය හැක. ගුරුවර ශිෂ්‍ය දෙපාර්ශ්වයම මෙවැනි අවස්ථාවකට සුදානම් නොවී සිටීමේ වටපිටාවක ගුරුවරුන්ට කලින් සූදානම් කරගත් ඩිජිටල් අන්තර්ගතයන් නොමැති වීමට පුළුවන. නමුත් අද අන්තර්ජාලය තුළ පන්ති කාමරයේ ඉගෙනුම් අරමුණුවලට ගැළපෙන අන්තර්ගතයන් සොයා ගැනීමට අසීරු නැත. ඒවා ශිෂ්‍යයින්ට සැපයිය හැක. නමුත් හොඳින් මතක තබාගත යුතු කරුණ නම් මේවා නොමිලයේ ලබා දෙන සම්පත් විය යුතු බවයි. එමෙන්ම එම අන්තර්ගතයන් පරිශීලනයේදී ශිෂ්‍යයන්ට ඒවා නැරඹිය යුතු හෝ කියවිය යුතු කොටස් / කොටස සඳහා උපදෙස් ලබා දීම නොකළහොත් ඔවුන් එය කියවීම හෝ නැරඹීම අතහැර දමනු ඇත.

අද ලෝකයේ අන්තර්ජාල අධ්‍යාපනය සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධති (Learning Management System- LMS) භාවිත කරන අතර එමගින් ගුරුවරුන්ට හා ශිෂ්‍යන්ට විධිමත් ලෙස අන්තර්ජාලය හරහා සම්බන්ධ විය හැක. උදාහරණ ලෙස Moodle, Blackboard, Google Classroom වැනි ඉගෙනුම් කළමනාකරණ පද්ධති ගත හැක. මේවායේ විවිධ ක්‍රියාකාරකම් රාශියක් ඇත. මෙවැනි දෑ ඉතා පහසුවෙන් පාඩම්වලට අදාළව භාවිත කළ හැක. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේ දිනවල ඉගෙනුම් කළමනාකරණ පද්ධති පරිශීලනය සඳහා නොමිලේ පහසුකම් සලසා දී ඇති නිසා මෙමඟින් උපරිම ප්‍රයෝජනය ගැනීමට හැකිය.

මෙවැනි හදිසි තත්ත්වයක් තුළ ශිෂ්‍යන් සිටිනුයේ විවිධ මානසික මට්ටම් තුළ බැවින් ඔවුන්ට පැවරුම් දීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය. මෙහිදී සිදුවිය යුතු දේනම් ශිෂ්‍යා විසින් අදාළ පාඩම නිවැරදි ලෙස තේරුම් ගත්තාද යන්න මැන බැලීමයි. එහිදී ශිෂ්‍යයින්ට අදාළ පාඩමේ අන්තර්ගතයන් ඇතුළත් ප්‍රශ්නාවලියකට පිළිතුරු සැපයීම හෝ පාඩමේ සාරාංශය ලියා එවීමට කියා සිටිය හැක. නමුත් මෙය ඉතා බැරෑරුම් කාර්යයක් නොවිය යුතු නමුත් අනිවාර්යය කාර්යයක් කළ යුතුය. මේ සඳහා ප්‍රශ්න 15ක් හෝ වචන 250-300ක් අතර වාර්තාවක් ප්‍රමාණවත්ය.

මෙවැනි අවස්ථාවලදී යම් අපහසුතාවට ලක් වූ සිසුන් සිටීද ඔවුන් අන්තර්ජාල අධ්‍යාපනය සඳහා සම්බන්ධ වන්නේද නොවන්නේද ඔවුන් වෙනුවෙන් විකල්පයක් දිය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ගුරුවරුන් විසින් සිදු කළ යුතුයි. ඒ සඳහා ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය යොදාගන්නේ නම් ඉතා පහසුවෙන් පරිශීලන වාර්තාවක් ලබාගත හැක. මීට අමතරව zoom, skype හෝ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියේ chat session මඟින් ශිෂ්‍යයින්ට සජීවී ලෙස ගුරුවරුන් හා සම්බන්ධවීමේ අවස්ථාව ලබා ගැනීමට පුළුවන. එම වේලාවේදී සජීවී ලෙස සම්බන්ධ වන සිසුන් මුහුණපාන අධ්‍යයන ගැටලු මෙන්ම සමාජීය ගැටලු ද ගුරුවරුන් සමග පැවසීමට ඉඩ ඇත. එහිදී ඒ සඳහා උපදෙස් ලබා දිය හැක. මෙහිදී හොඳින් මතක තබා ගත යුත්තේ මේ අවස්ථාවට සිසුන් සජීවී ලෙස සහභාගි වුවද මෙහිදී පාඩමක් සිදු නොකිරීම මෙන්ම සිසුන් සහභාගි වුවද නොවූවද මෙම අවස්ථාව ලබා දීම මග නොහැරීමයි.

විශාල කණ්ඩායම් සඳහා අන්තර්ජාල ඉගෙනුම් ක්‍රමවේදය භාවිත කිරීමේ දී ශිෂ්‍යන් විසින් අති විශාල ගැටලු සංඛ්‍යාවක් එකවරම ගුරුවරයා වෙත ඉදිරිපත් කළ හැක. මෙය වළක්වා ගැනීම සඳහා ශිෂ්‍යයින්ට කුඩා කණ්ඩායම් ලෙස සම්බන්ධ වීමට අවස්ථාව සලසා දී යම් යම් ගැටලු (පාඩමට අදාළ) ඔවුන් අතර නිරාකරණය කරගැනීමට ඉඩ සලසා එසේ නොහැකි වුවහොත් පමණක් ගුරුවරයා වෙත ඉදිරිපත් කරන ලෙස උපදෙස් දීමට පුළුවන. මෙමඟින් Peer Learning නමැති සංකල්පය ක්‍රියාත්මක කිරීමට ද අවස්ථාව සැලසේ.

ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වයටම මෙම ලැබී ඇති අවස්ථාව සිය ජීවිතයේ අධ්‍යාපනය සඳහා අන්තර්ජාලය විධිමත් ලෙස භාවිත කරන ප්‍රථම අවස්ථාව විය හැක. එය එසේ බව ශිෂ්‍යයින්ට පැවසීමට ගුරුවරුන් මැලි නොවිය යුතුය. එහිදී ශිෂ්‍යන් විසින් ගුරුවරයාගේ ඉගෙනුම් ශෛලය පිළිබඳ ධනාත්මක මෙන්ම නිවැරදි කර ගතයුතු තැන්ද නොපැකිලව පැවසීමට ඉඩ ඇත. එය ඉදිරි පාඩම් සකස් කිරීමේදී ගුරුවරයාට මනා ප්‍රයෝජනයක් වේවි. එසේම ගුරුවරයා විසින් අන්තර්ජාල ඉගෙනුම් ක්‍රමයේදී එකම ඉගෙනුම් ශෛලයක් පවත්වා ගෙන යා යුතු අතර ඉගෙනුම් ශෛලය නිරන්තරයෙන් වෙනස්වීම්වලට භාජනය වන්නේ නම් එයට ශිෂ්‍යයින් ප්‍රිය නොකරනු ඇත.

මේ ආකාරයට අන්තර්ජාලය මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමවේදය රටේ දැනට පවතින තත්ත්වය අනුව ගැළපෙන ලෙස ඉදිරිපත් කිරීම, ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම හා එය ඉදිරියටත් පවත්වාගෙන යාමට දරන අඩිතාලමේ එක් කුඩා පියවරක් වන නමුත් එය සමස්ථ ශ්‍රී ලාංකීය අධ්‍යාපනය නව මානයකට ගෙන ඒමට දරන උත්සාහයේ යෝධ පියවරක් වනු නොඅනුමානය.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – වාණිජ හා මූල්‍ය කළමනාකරණඅධ්‍යන අංශය

කැලණිය විශ්වවිද්‍යාලය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More