පුරවැසි කොලම

COVID-19 වෛරසය ආසාදනය චීනයේ වුහාන් නගරය ආශ්‍රිතව ආරම්භ වූ මොහොතේ සිටම ලෝකය පුරා සමාජ ජාලා ඔස්සේ චීනයට දැවැන්ත මඩ ප්‍රහාර එල්ල වන්නට විය. ඒවා අතර චීනයේ වූහාන් නගරයේ විද්‍යාගාරයක් ආශ්‍රිතව පර්යේෂණ මට්ටමේ තිබුනු වෛරසයක් එම විද්‍යාගාරයේ ඉගෙනුම ලැබූ සිසුන් විසින් හෝ එම විද්‍යාගාරයේ කටයුතු කරන විද්‍යාඥයකු විසින් පිටතට රැගෙන ඒම නිසා වෛරසය වුහාන් නගරය ආශ්‍රිතව පැතිරුණු බව කියවුනු ප්‍රවාදය සමාජගත විය. ජනප්‍රිය අනෙක් ප්‍රවාදය වූයේ වුහාන් නගරයේ ඇති මස් වෙළෙඳ පොළේ ඇති සර්පයන් හෝ වවුලන් ආශ්‍රිතව වැළඳුනු වෛරසය උන්ගේ මස් පරිභෝජනය නිසා වුහාන් වැසියන්ට ආසාදනය වූ බවයි. මෙම මතය තහවුරු කරන්නට තරුණියක් වවුල් මස් වලින් සැදු සුප් බඳුනක් රසවිඳින ඡායාරූපයක් සමාජ මාධ්‍යය වෙබ් අඩවි වල සංසරණය විනි.

චීන රජය  මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ වෛද්‍යවරුන්, වසංගත රෝග විශේෂඥයන් චීන ආරක්ෂක අංශ පමණක් නොව චීන කොමියුනිස්ට් පක්ෂයද සාර්ථකව යොදා ගනිමින් මහත් පෙළහර පාමින් COVID-19 වෛරස වසංගතය සාර්ථකව මැඩ පවත්වා මේ වන විට චීන ජන ජීවිතය සාමාන්‍යය තත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටී. එපමණකින් නොනැවතුනු චීනය රජය තමන් මුහුණ දුන් අත්දැකීම සහ එයින් මිදීමට තම රජය තේරූ උපක්‍රම ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් සමඟ සාර්ථකව බෙදා හදා ගනිමින් සිටී. සර්බියාවේ ජනාධිපතිවරයා යුරෝපා සංගමයෙන් තමන් මුහුණ දී සිටින තත්වයෙන් මිදීමට අවශ්‍යය වෛද්‍යය ආධාර ඉල්ලූ විට යුරෝපා සංගමය එම ඉල්ලීමට නොඇසූ කන්ව සිටියේය. එපමණක් නොව ඔහු චීන ජනාධිපතිවරයාට තමන්ගේ අවශ්‍යය තාවය ඉල්ලා යැවූ රාජ්‍යය තාන්ත්‍රික ලිපියේ චීන ජනාධිපතිවරයාට ආමන්ත්‍රණය කර තිබුනේ “සහෝදරයා” යනුවෙනි. චීනය ඔවුනට මුඛ ආවරණ ලක්ෂ පහක්  පරිත්‍යාග කර ගුවන් යානයක් යැවූ අතර සර්බියාවට අවශ්‍යය අනෙකුත් වෛද්‍යය ආධාරද සැපයිනි. චීනය තම මිත්‍රත්වයේ දෑත් ඉතාලිය, ප්‍රංශය ආදී රටවලට පමණක් නොව අමෙරිකාවටද දිගු කලහ.රුසියාවද තම නොමසුරු පරිත්‍යාග අවශ්‍යතාවය අනුව ලෝකයේ බොහෝ රටවලට ලබා දුන්නේය. ඉතාලිය, ස්පාඤ්ඤය පමණක් නොව අමෙරිකාවද ඒ අතර විය.

චීනය වෛරසය මර්ධනය කාර්යේ නිවැරදිව නිරතවන අතර තුරම COVID-19 වෛරසයේ මූල බීජය සොයා යෑමද නොපිරිහෙලා ඉටු කෙරුණි. ඒ අනුව අමෙරිකාවේ, රෝග නිවාරනය සහ පාලනය කිරීමේ මධ්‍යස්ථානය නිකුත් කළ එකිනෙකට පටහැනි  සංඛ්‍යා ලේඛන ප්‍රශ්න කරමින් චීනයේ විදෙස් අමාත්‍යාංශය කියා සිටියේ “චීනය පළමුවන රෝගියා සොයා ගත්තා. නමුත් ශුන්‍යය රෝගියා හෙවත් චීනයට වෛරසය රැගෙන ආ රෝගියා පැමිණියේ අමෙරිකාවෙන් හෙවත් වුහාන් නගරයේ 2019 ඔක්තෝබර් අගභාගයේ පැවති ලෝක යුද හමුදා නිළධාරීන්ගේ ක්‍රීඩා උළෙළට පැමිණි යුද හමුදා භට පිරිස් අතරින්” යනුවෙනි. මේ ප්‍රකාශයට අමෙරිකාවට කට උත්තර නැතිවූවා පමණක් නොව සමාජ මාධ්‍ය ජාලාවල දැනුවත්ව හෝ නොදැනුවත්ව චීනයට විරුද්ධව බොරු බේගල් පැතිරවූ අයද නිහඬ වූවෝය.
COVID-19 වෛරසය හුදු වෛරසයකින් එහා ගිය 2020 වර්ෂයෙන් ආරම්භ වන සියවසේ ලෝක ආර්ථික අර්බූදය සැඟවීමේ උවමනාවෙන් කෘතිමව නිර්මාණය කළ වසංගතයක්ය යන්න ලෝකයේ බුද්ධිමතුන් අතර සාකච්ඡාවට පාදක වූ මාතෘකාවක් බවට පත්විය.

ඉහත කී මාතෘකාව වඩාත් අර්ථාන්විතව විග්‍රහ කරනු ලැබුවේ ඩෙන්මාක් ආයෝජන බැංකුව හෙවත් සැක්සෝ බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ මෙන්ම  ප්‍රධාන තොරතුරු නිළධාරි ස්ටීන් ජැකොබ්සන් මහතායි. ඔහු පවසා සිටින්නේ වත්මන් ලෝක ආර්ථික අර්බූදයේ එකම සහ ප්‍රධාන වග උත්තරකරුවා COVID-19 වෛරසය නොවන බවත් මෙම ආර්ථික අර්බූදය අපේ කාලයේ මුහණ දුන් විශාලතම ආර්ථික අර්බූදයය වන බවයි.  මෙවැන්නක් සිදුවීමට හේතු භූත වූයේ ඉල්ලුම, සැපයුම් දම්වැල සහ බලශක්ති ක්ෂේත්‍රය යන ත්‍රිත්වයම එකම මොහොතේ කඩා වැටීමයි යනුවෙන් ඔහු අවධාරනය කර සිටියි. ඉහත කී සාධක තුනෙහි බිඳ වැටීම සහ ලෝකය පුරා සිදුවූ සමාජ දුරස්ථීකරණය ලෝක ජනයාගේ පරිභෝජන රටාව බිඳ වැට්ටවීමට හේතු වූ බව පෙන්වා දෙන ඔහු ලෝක ආර්ථිකයෙන් 70% ක්ම ක්‍රියාත්මක වන්නේ පරිභෝජනයමත බව අවධාරණය කර සිටියි.“මෙතරම් විශාලත්වයකින් සිදුවන ලෝක ආර්ථික අර්බූදයක් අප අත්විඳින පළමු අවස්ථාව මෙයයි.2020 වසර යනු ලෝක ආර්ථිකයේ අවපාතය සිදුවන වසරයි.ඒ බව දැනටමත් තහවුරු කර හමාරයි.”ළෙස අවධාරණය කර සිටී.ඔහුට අනුව 2020 වසරේ දෙවන කාර්තුව වන විට දළ දේශීය නිෂ්පාදනය 20% සිට 50% දක්වා පහත වැටීම අනිවාර්යයි.
එපමණක් නොවෙයි ඔහුට අනුව වසර පුරාවටම ලෝක දළ දේශීය නිෂ්පාදනය දිගින් දිගටම බිඳ වැටීම සිදුවේ. ආර්ථික විද්‍යාඥයාගේ පැහැදිලි කිරීමට අනුව ආර්ථික අර්බූදය තව තවත් තීව්‍ර කිරීමට  COVඓඪ්-19 වෛරසය හොඳ උත්තේජනයක් විය. “අප මෙතෙක් අණුගමනය කළ ආර්ථික මොඩලය ඉතාමත් සංසුන් මෙන්ම ණය මතම යැපෙන ස්වභාවයකට ඇද දමා තිබෙනවා.” යැයි ආර්ථික විද්‍යාඥ ස්ටීන් ජැකොබ්සන් මහතා අවධාරණය කරයි.” අප සැවොම ජීවත් වන්නේ ලෝක ආර්ථිකයට  කිනම් හෝ අකාරයකින් ගැට ගැහෙමිනුයි. එසේම මෙම ආර්ථික අවපාතයේ අතුපතර වලට අපි කුමණ ආකාරයකින් හෝ හසු වෙනවා.අද ලෝකය මුහුණ දෙන මෙම අභියෝගයේදී කිසිදු ජයග්‍රහකයෙකු නැත ඇත්තේ පරාජිතයන් පමණි.” යනුවෙන් ඔහු අද ලෝකය මුහුණ දෙන ආර්ථික අර්බූදයේ තරම  පැහැදිළි කර සිටියි. මෙලෙස ගත් විට COVID-19 යනු හිතා මතා ආර්ථික අර්බූදයේ දිග පළල වසා තැබීම වෙනුවෙන් භාවිතා කරන අමානුෂීය මෙවලම බවට නිගමණය කිරීමේ ගැටලුවක් පැණ නොනගී. ගැටලුව ඇත්තේ ණය සහ අණවශ්‍යය පරිභෝජනය මත යැපෙන වත්මන් ලෝක ආර්ථික රටාව අර්බූදයට ලක් වන්නේ නම් ලෝක ජනයා යොමුවන්නේ කිනම් ආර්ථික මොඩලයකටද යන්නයි. ශ්‍රී ලංකාව උදාහරණයකට ගතහොත් සමාජ මාධ්‍යය ජාලා අතර අතරමංව සිටින සමහරුන් හැරුණුකොට කෘෂිකාර්මික යැපුම් ආර්ථිකයකට යොමු වී පුහු ආටෝපයන්ගෙන් පිරුණු වත්මන් ජීවන රටාව සරල චාම් ජීවිතයකට සීරු මාරු කළ යුතු යැයි සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවී තිබේ. කතා බහ තවත් දුර දිග ගොස් තමන්ගේ ගෙවතු ඉදිරියේදී පැමිණීමට නියමිත අමාරු අවස්තාවට සරිලන පරිදි ආහාර භෝග නිපදවන ගොවිපලවල් බවට පරිවර්තනය කරමින් සිටී.
සමස්ත විශ්වයම අලුත් තත්වයට මුහුණදෙන මේ අවස්ථාවේදී එම වෙනස සිදු කිරීමට අවශ්‍යය සැබෑ උදාහරණ සැපයිය හැකි රටක් වන්නේ කියුබාවයි. කියුබාව යනු අමෙරිකා එක්සත් ජනපද අධිරාජ්‍යයවාදීයාගේ මුව විටේ සිටිමින් 1959 ජනවාරි පළමුවන දින කියුබානු විප්ලවය ජයග්‍රහනය කළ දා සිට එය ආරක්ෂා කරගැනීමට ගන්නා උත්සාහය කිසිදු රටක් තම නිදහස වෙනුවෙන් කරන අරගලයට නොදෙවෙනි නොවේ. කියුබාවේ පමණක් නොව ලෝක අධිරාජ්‍යය විරෝධී ජනයාගේ අසහාය නායකයා වන ෆිදෙල් කස්ත්‍රෝගේ ජීවිතය 637 වතාවක් උදුරා ගැනීමට අමෙරිකානු සී අයි ඒජන්තයන් විසින් ගනු ලැබූ උත්සාහය පරාජය කිරීමට එරට ජනයාට හැකියාව ලැබුනි. එලෙසම අධ්‍යාපනය සහ සෞඛ්‍යය අතින් ඉහළම ප්‍රමිතියේ සේවාවක් ලැබීමට තරම් කියුබාව භාවිතා කරන ආර්ථික දේශපාලන සමාජ සංස්කෘතික මොඩලය ශක්තිමත් එකක් වූයේය.
එපමණක් නොව කියුබාවේ කෘෂි ආර්ථිකය සම්පූර්ණයෙන්ම සෝවියට් රුසියාව ලබාදෙන ප්‍රතිපාදන මත 1980 දශකයේ අවසානය දක්වා යැපුනු අතර හදිසියේ සෝවියට් දේශය කඩා වැටීමෙන් කියුබාවේ ආර්ථිකය මෙන්ම කෘෂි කර්මාන්තයද බරපතල අර්බූදයකට මුහුණ දුන්නේය. කියුබාව ඔන්න වැටුනා මෙන්න වැටුනා කියා ආඩපාලි දෙඩීමට අමෙරිකානු හිතවාදීන් මෙන්ම අමෙරිකානු විරෝධී එහෙත් අමෙරිකන් හීන ලෝකයට වශී වූවන්ද එක් වූවෝය. කියාබානු  ආර්ථික ක්ෂ්ත්‍රය කඩා නොවැටීමට නම් මෙතෙක් කළක් ගත කළ කියුබානු ජීවන රටාව වෙනස් කළ යුතු යැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දුන් කළ කියුබානු රජය එය ප්‍රතිපත්තියක් ලෙස ගනිමින් ජනයාට පවසා සිටියේ දැන් අපට ඛනිජ තෙල් ලැබීම සීමා සහිතයි එනිසා අපේ ගමන් බිමන් යාමට කරත්ත ඇතුළු විකල්ප ක්‍රම යොදා ගනිමු යනුවෙනුයි. එම යෝජනාව අපූරුවට ක්‍රියාවේ යෙදවීමට කියුබානු රජයට හැකි විය. එතරම් හොඳින් කියුබානු විප්ලවය ආරක්ෂා කිරීමට කියුබානු ජනයා කියුබානු විප්ලවයත් සමඟ ඓන්ද්‍රීයව බැඳී සිටීම එයට හේතුව විය.
කියුබානු කෘෂිකර්මාන්තය තුළ  යොදා ගෙන තිබූ යන්ත්‍ර සූත්‍ර රසායනික පොහොර ආදී කෘෂි යෙදවුම් ඉවත් කර කෘෂිකර්මාන්තයේ යෙදීමට කියුබානු කෘෂි විශේෂඥයන්ගේ නිර්දේශ ක්‍රියාවට නැංවූ කියුබාව අවුරුදු 5ක් තුළ සමස්ත නිෂ්පාදනය 50%කින් වැඩිකර ගත්තේය.
මීට වසර 7කට පමණ පෙර කියුබානු මිත්‍රත්ව සංගමයේ ආරාධනයෙන් කියුබානු ආර්ථිකය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට අවසරය හිමි එක්තරා ආර්ථික විශේෂඥයකු ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහුගේ සම්බන්ධීකරණ කටයුතු කිරීමට වෛද්‍යය අචල උපේන්ද්‍ර ජයතිලක මහතාට භාරව තිබුනු අතර ඔහු නැවති සිටි කියුබානු තානාපති කාර්යාලයේ සිට කොළඹ කොටුවේ ඇති මුදල් හුවමාරු කරන ස්ථානයකට  රැගෙන ගියේය. ඔහු එතරම් දුර ගොස් මාරු කර තිබුනේ ඩොලර් 10ක් පමණි. ඔහුට දින දෙකක් ලංකාවේ රැඳී සිටීමට අවශ්‍යව තිබුනේ එතරම් සුළු මුදල් ප්‍රමාණයකි. නමුත් එවැනි මට්ටමේ අපේ රටේ නිළධාරියෙකු විදෙස් සංචාරයකට ගොස් තිබුනේ නම් වියදම් කරන ප්‍රමානය කෙතරම් ඉහළ අගයක්ද? ඒ අනුව කියුබාවේ නිළධාරි පැලැන්තිය මෙන්ම දේශපාලන නායකත්වයද අල්පෙච්චතාවය හොඳින්ම ප්‍රගුණ කළ පිරිසකි.
මීට වසර 5කට පමණ පෙර කියුබාවේ එවකට විදේශ ඇමතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරය පිණිස පැමිණියේය. ඔහු හමුවීමට කියුබානු මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෙකු ලෙස මෙම ලියුම්කරුටද අවස්ථාව ලැබුණි.ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව ගෝලීය අර්බූද හමුවේ වුවද වාසනාවන්ත රටක් බවයි.මා එසේ කියන්නේ ඇයි දැයි ඇසූ කළ ඔහු පවසා සිටියේ ලෝකයේ කියුබාව ඇතුළු බොහෝ රටවල් නාගරීකරණය නම් වූ අර්බූදයට මුහුණ දෙමින් සිටින බවත් ශ්‍රී ලංකාව එම ගැටලුවෙන් බොහෝ සෙයින් නිදහස් බවත් පවසා සිටියේය. ඔහුට අනුව නාගරිකයාට ජල පහසුකම්, විදුලිය පහසුකම්, ප්‍රවාහන පහසුකම්, වෛද්‍යය පහසුකම් වැනි සියල්ලම ලබා දිය යුතුය. නමුත් ග්‍රාමීය ජනයාට නොමිලේ ලැබෙන ජලය, පිරිසිදු ආහාර පමණක් නොව ග්‍රාමීය ජනයාට වැළඳෙන සාමාන්‍යය රෝගයකට අවශ්‍යය සමහර ඖෂධ නොමිළේම ලැබෙන බවත් ඔහු කියා සිටියේය. කියුබාව වාර්ෂිකව මුහුණ දෙන හරිකේන් සුළඟ නිසා දහස් ගනන් ජනයා ගම් අත හැර කියුබාවේ නගරවලට පැමිණෙන බවත් එම ජනයාට පහසුකම් සැලසීම අභියෝගයක් බවත් ඔහු පැවසුවේය. කියුබාව නගරයට පැමිණෙන ජනයාගේ ආහාර අවශ්‍යයතාවය සපුරා ගැනීම පිණිස හවානා නගරය වටා එළවළු ඇතුළු ආහාර භෝග වගා කරන බව ඔහු පැවසුවේය. මේ අනුව එළඹී තිබෙන ලෝක ආහාර අර්බූදයට සාර්ථකව මුහුණ දීමට නම් කියුබාවෙන් අපට ගත හැකි ආදර්ශයන් බොහෝය.
කියුබානු විප්ලවය විසින් කියුබාව තුළ අතිශය  මානුෂීය මිනිසෙකු නිර්මාණය කරනු ලැබීය. අද වන විට පිළිගත හැකි සාක්ෂි ඇති කියුබාව විනාශ කරලීමට අධිරාජ්‍යයවාදී අමෙරිකාව විසින් ඩෙංගු වෛරස් වසංගතය කියුබාවට බෝ කරනු ලැබීය. කියුබානුවා එයට මුහුණ දුන්නේ ඩෙංගු මදුරු වසංගතය සම්පූර්ණයෙන්ම මර්ධනය කළ හැකි බැක්ටීරියාවක් මෙන්ම ඩෙංගු උන සෑදුන හොත් එයට අවශ්‍යය ඖෂධ ද නිර්මාණය කරමිනි. ඉන්ටර්ෆෙරොන් ඇල්ෆා 2බී නම් ඖෂධය එසේ නිර්මාණය කරගත් ඖෂධයකි. මෙම ඖෂධය COVID-19 වෛරසය ආසාදනය වූ වැසියන්ට චීන සෞඛ්‍යය අංශ නිර්දේශ කළ ඖෂධ තිහක් අතර තිබෙන එක් ඖෂධයකි. මෙය එච් අයි වී ඒඩ්ස් ආසාදිතයින්ට, හෙපටයිටීස් බී රෝගය ආසාදනය වූවන්ට සාර්ථක ප්‍රතිඵල ලබාදුන් ඖෂධයකි. මෙමෙ ඖෂධයේ නිර්මාතෘ වෛද්‍යය ලුවිස් හෙරේරා පවසා සිටියේ ඖෂධ යනු මිනිස් අයිතිවාසිකමක් විනා වෙළෙඳ භාන්ඩයක් නොවන බවයි. එබැවින් කියුබාව මෙම ඖෂධය අවශ්‍යයවන රටවලට වෙළෙඳ අරමුණු වලින් තොරව ඒවා ලබදෙන බවද ඔහු කියා සිටියේය. ඔහුගේ වචන වලට අර්ථයක් දෙමින් වසංගත රෝග මර්ධනය පිළිබඳ විශේෂඥය වෛද්‍යයවරුන් ඉතාලිය,ස්පාඤ්ඤය වැනි රටවල් වලට පමණක් නොව වෙනිසියුලාව ආදී ලතින්  අමෙරිකානු රටවලටද තම වෛද්‍ය සහයෝගිතාවයේ දෑත් දිගු කරණු ලැබීය. කියුබානුවන් ලෝකයට මේ මොහොතේ දායක කරන වෛද්‍යය සේවය චීනය සහ රුසියාව වැනි රටවල් වැනිම දායකත්වයක් බව කීම අතිශයෝක්තියක් නොවේ.
එම් එස් එස් බ්‍රේමර් නෞකාව පසුගිය මාර්තු මාසයේ 681වූ මගීන් සහ 321වූ කාර්ය මණ්ඩලය සමඟ අත්ලාන්තික් සාගරයේ අතරමංව සිටියේ මගීන් 28 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 27 දෙනෙකු COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් අමෙරිකාව ඇතුළු කිසිදු රජයක් තම වරායන් වලට එම නෞකාවට ඇතුළ් වීමට ඉඩ නොදීම හේතුවෙනි. ආසාදිතයන් අතර එක් වෛද්‍යයවරයෙකුද සිටීම හේතුවෙන් නෞකාවේ තත්වය තවත් බැරෑරුම් විය. කියුබාව තම මනුෂ්‍යත්වයේ දිග පළළ මොනවට පැහැදිළි වූ එක් ළඟම සිදුවීම වන්නේ මෙම නෞකාව තම රටේ වරායකට ඇතුල් වීමට ඉඩ සලස්වා සියලු මගීන් ගුවන් මගින් එක්සත් රාජධානිය වෙත යැවීමට කටයුතු කිරීමය.
ඒ අනුව ලෝකය මුහුණ දෙන ආර්ථික අර්බූදය හමුවේ රටක් ලෙස ශ්‍රී ලංකවේ අප එයට මුහුණ දී අර්බූදය පියමං කිරීමට ආදර්ශයන් ගත හැකි විශේෂිත රටක් වන්නේ කියුබාවයි. නමුත් 1977න් ආරම්භ වූ විවෘත ආර්ථික වසංගතය තුළ පැමිණි ගමනේ ආර්ථික හැකියාවන් බොහෝ දෑ අහිමිකරගත් අප සංස්කෘතික විනාශයද අත්පත් කරගත් වූවෝ වෙති. වාමාංශික පක්ෂ එම විනාශය තව තවත් තීව්‍ර කිරීමට දැක්වූ දායකත්වයද සුළු පටු නොවේ. එවැනි වාමාංශික පක්ෂ තුළින් තම දේශපාලන පෙකෙනි වැල කපා ගත් සමහර දේශපාලන චරිත තමන් තුළවූ කියුබානු විප්ලවය කෙරෙහි තිබූ ගෞරවය විශ්වාසය සහ ඒ කෙරෙහි තිබූ ආදරයද අමෙරිකානු පන්නයට අනුව නිවෙන පත්තු වන නියෝන් බල්බ සහ තවත් නොයෙක් එවැනි සිල්ලර දෑ තුළ ගිල්වා විනාශ කර දමා හමාරය.
එදා ජනතා විමුක්ති පෙරමුණ අද ජනතා විපත්ති පෙරමුණ බවට බෞතීස්ම වී ලෝකයට පෙන්වන ඊනියා වාමාංශය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව කියුබාව සමඟ සංසන්දනය කරනු ලැබුවේ වත්මන් ආන්ඩුවට හුදු විවේචනයක් එල්ල කිරීමට විනා කියුබාව COVID-19 වෛරසය මර්ධනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග  අනුගමනය කිරීමට ආන්ඩුවට බලපෑම් කිරීමේ උවමනාවෙන් නොවේ. ඔවුහු නියෝජනය කරන්නේ ද 1977 විවෘත ආර්ථිකයේ සංස්කෘතික මිනිසා විනා සෑබෑ දේශප්‍රේමී සමාජවාදී මූලයන් සහිත සංස්කෘතික මිනිසා නොවේ. එවැනි හිස් මිනිසුන්ගේ කටින් පිටවූ වචන වලට ප්‍රතිචාර දක්වන්නට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණු විරෝධීන් ජනතා විමුක්ති පෙරමුණෙහි ප්‍රකාශයට හරයාත්මකව පහර දෙනවා වෙනුවට කියුබාව COVID -19 වෛරසය මර්ධනයේදී ගන්නා ක්‍රියාමාර්ග වලට පහර දීමට පටන් ගෙන ඇත. ඔවුන්ට අනුව  ශ්‍රී ලංකාවේ වෛරසය ආසාදිතයන්ට වඩා ආසදිතයෝ කියුබාවේ සිටිති. ඔවුහු කිසිම ලෙසකින් කියුබාව සහ ශ්‍රී ලංකාව ජනගහනයෙන් මිලියනයකට කරනු ලැබූ COVID-19 වෛරස ආසාදිත පරීක්ෂණ ගණන සහ කියුබාව ජනගහනයෙන් මිලියනයකට කරනු ලැබූ පරීක්ෂන ගණන සළකා බලන්නේ නැත.
මෙම ලිපිය ලියන අවස්තාවේදි කියුබාව ජනගහනයෙන් මිලියනයකට COVID-19 ආසාදිත පරීක්ෂණ 831 කර ඇති අතර ශ්‍රී ලංකාව ජනගහනයෙන් මිලියනයකට COVID-19 වෛරස ආසාදිත පරීක්ෂණ කර ඇත්තේ 152ක් පමණි. ඒ අනුව විද්‍යාත්මකව වැරදි සංසන්දන වලට යන්නේ දැනුවත්කමින්ද නැතහොත් නොදැනුවත්කමින්ද යන්න දන්නේ ඔවුන්ව පමණි. අනිත් කාරනය COVID-19 වෛරසය ආසාදනය හේතුවෙන් මියයන අයගෙන් වැඩි ප්‍රතිශතය වයස්ගත අයවළුන් බව මේ වන විට ලෝකය පුරා තහවුරු වී ඇති සත්‍යයකි. කියුබාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයේ ඇති විධිමත් බව නිසාම එරට ආයු අපේක්ෂාව ඉහළය එනිසාම කියුබාවේ වැඩිහිටි ජනගහනය ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයට වඩා වැඩි අගයක් ගනී. සන්සන්දනය කරන්නවුන් මෙම තත්වයද සැලකිල්ලට ගෙන නැත්තේ ඇයිද දන්නේ ඔවුන්ම පමණක් වන නමුත් ඔවුන්ගේ හැසිරීම තුළින් පෙන්නුම් කරන්නේ ඔවුන් බංකලොත් අමෙරිකාවේ නිවෙන පත්තු වෙන බල්බ වලට දක්වන පෙරේතකම නිසා බව යැයි නිගමනයකට පැමිණීම වැරදි නොවන බව අපේ හැඟීමයි.
ජීවන්ත ජයතිස්ස,
සම්බන්ධීකරණ ලේකම්,
ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවය.


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More