පුංචි දියණිය හදවත් රෝගියෙක්-මගේ අතේත් ආබාධයක්
අසරණ අපට හව්හරණකුත් සලසන්න
සෞදියේදී වෙඩි පහරකින් මියගිය ප්‍රියංකාගේ නිවසේ දුක් අදෝනාව
දහසින් බැඳි පියල්ලෙන් රන්මසු සොයන්නට නොව අතොරක් නැති දුක්කම්කටොලුවලින් මිදී දරුවන් සමඟ අනාගතයේදීවත් නිස්කාන්සුවේ කාටවත් අත නොපා ජීවත් වීමේ අරමුණින් විදේශගත වන අපේ කතුන්ට ඇතැම් අවස්ථාවන්හිදී විඳින්නට වන දුක් ගැහැට පිළිබඳ නොයෙක් අවස්ථාවන්හිදී වාර්තා වී තිබේ.
මේ ද එවැනි කතාවකි. දරුවන් තිදෙනාගේ අනාගතය වෙනුවෙන් විදේශගත වන කාන්තාවකට සෞදි අරාබියේදී වෙඩි තැබීමකට ලක්ව අවාසනාවන්ත ලෙස මියයැමට සිදුව තිබුණි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වඳුරඹ කටඹුරාව අබේසුන්දර වත්තේ පදිංචි තිස් අට හැවිරිදි තිදරු මවක වන ප්‍රියංකා ජයසේකර ය. මැද පෙරදිග රටක ගෘහ සේවයේ යෙදී සිටියදී නිවසේ සිටි මානසික රෝගියකු විසින් ප්‍රියංකාට වෙඩිතබා එම පුද්ගලයා ද වෙඩි තබාගෙන සියදිවි නසාගත් බව ඉකුත් 13 වැනි දින ප්‍රියංකාගේ පවුලේ අය වෙත දැනගන්නට ලැබී තිබුණි.
මෙම සිද්ධිය වාර්තා වීමත් සමඟ අප ප්‍රියංකාගේ නිවස වෙත ගියෙමු. මියගිය ප්‍රියංකා විවාහ වී සිටියේ එල්. ජී. උපුල් (44) සමඟ ය. ඔවුන් විවාහ වූයේ මීට වසර විස්සකට පමණ කලිනි. මොවුන්ට දරුවන් තිදෙනෙකි. වැඩිමලා චමිලා ආසිරිය. විසි එක් හැවිරිදි ඇය දැනට විවාහ වී සිටින්නීය. දෙවැනි දියණිය අවිශ්කා හේමාලි දොළොස් හැවිරිදි ය. තුන්වැනි දියණිය නෙත්මි නවෝද්‍යා අට හැවිරිදි වියේ පසුවන අතර ඇය අසනීප තත්ත්වයේ පසුවන බව ප්‍රියංකා ජයසේකරගේ ඥතීහු ඇගේ නිවසේදී අප සමඟ කියා සිටියහ.
අප සමඟ ප්‍රියංකාගේ නිවසේදී අදහස් දැක්වූ ඇගේ ඥති දියණියක වන එම්. ජී. නදීකා ලක්මාලි මහත්මිය මෙසේ කීවාය,
මේ දරුවා රෝග තත්ත්වයකින් පෙළෙනවා. අගහිඟකම් නිසාමයි ප්‍රියංකා නැන්දා රට ගියේ. එයා දැන් රට ගිහින් මාස නවයක් වෙනවා. මීට කලින් අවස්ථා ගණනාවකදීම එයා මැදපෙරදිග සේවයේ නියුතු වුණු කෙනෙක්. දැන් අපට දන්වලා තියෙනවා එයාට වැඩකළ නිවසේ සිටි මානසික රෝගී තැනැත්තෙක් වෙඩි තියලා ඔහුත් සියදිවි නසාගෙන කියලා. නැන්දා රට ගියාට පස්සේ කතා කළේ නෑ. ඉන්පසුව මේ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දැන්වූවාම මසකට වතාවක් කතාකරන්න හදලා දීලා තිබුණා. නැන්දා කතා කළාට කවදාවත් ගෙදර මානසික රෝගියෙක් ඉන්නවා කියලා තිබුණේ නෑ.
කොහොම වුණත් මේ ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම උපුල් මාමා කළුගල් කොරියක වැඩකරන එක තමයි රස්සාවට කරන්නේ. එයාගේ අත උඩට කළුගලක් ඇවිත් අතේ ඇඟිලි කැඩිලා අනතුරකට ලක්වෙලා තියෙන්නේ. මේ නිසා ඔහුට බර වැඩක් කරගන්න අපහසුයි. දැන් ඉතින් මේ දරුවන් වෙනුවෙන් හවුහරණක් සලසන්න පියවර ගන්න කියලා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රියංකා මුලින්ම විදේශගතව ඇත්තේ මීට වසර පහළොවකට පමණ පෙරය. ඇය නැවත වසර කිහිපයකින් මෙරටට පැමිණෙන අතර යළිත් දෙවැනි වතාවට ද විදේශගතව ඇති ඇය මීට වසර කිහිපයකට පෙර මෙරටට පැමිණ තිබුණා ය.
නමුත් අතක ආබාධයකින් පෙළෙන සැමියාත් හදවතේ සිදුරක් හේතුවෙන් පීඩාවට ලක්ව අසනීප තත්ත්වයේ පසුවන නෙත්මි නවෝද්‍යා දියණියත් වෙනුවෙන් නැවතත් විදේශගත වන්නට ප්‍රියංකා තීරණය කොට තිබුණා ය.
මේ අනුව නැවතත් සෞදි අරාබියේ ගෘහ සේවිකාවක ලෙස ප්‍රියංකා සේවයට යන්නේ මීට මාස නවයකට පමණ පෙරය.
මෙවර විදේශගත වූ ප්‍රියංකා වෙනදා මෙන් සැමියාට කතාකර නැත. මේ නිසා ඇය සම්බන්ධයෙන් තොරතුරු විමසීමට ඇගේ සැමියා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහාය ද ලබාගෙන තිබුණි.
කෙසේ වෙතත් වරින් වර නිවසට කතා කළ ද ප්‍රියංකා එම නිවසේ මානසික රෝගියකු සිටින බව හෝ තමන්ට කරදරයක් පවතින බව කිසිදු අවස්ථාවක පවසා තිබුණේ නැත.
කෙසේ වෙතත් මීට දින තුනකට පමණ පෙර ප්‍රියංකාගේ සැමියාගේ දුරකථනයට විදේශ දුරකථනයකින් ඇමතුමක් ලැබී තිබුණි. තමන්ගේ බිරිය කතා කරනවා යෑයි සිතූ උපුල් නෝනා ඔයා හොඳින් දැයි විමසා තිබුණේය.
නමුත් කතාකර තිබුණේ ප්‍රියංකා නොව වෙනත් අයෙකි. එම දුරකථන ඇමතුම මඟින් ඉල්ලා තිබුණේ ප්‍රියංකා ගෙදරට කතා නොකරන බවට සඳහන් කර දමනු ලැබූ පැමිණිල්ල ඉල්ලා අස්කරගන්නා ලෙසයි.
කෙසේ වෙතත් ඉකුත් 13 වැනිදා පස්වරුව වනවිට ප්‍රියංකාගේ සැමියා වෙත ලැබුණේ අවාසනාවන්ත තොරතුරකි. ඒ තමනුත් දරුවනුත් වෙනුවෙන් විදේශගත වූ සිය ආදරණීය බිරිය මානසික රෝගියකුගේ වෙඩි ප්‍රහාරයකට ලක්ව අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගෙන ගොස් තිබුණ වගය.
අප සමඟ අදහස් දැක්වූ ප්‍රියංකාගේ සැමියා පවසා සිටියේ මෙවැනි අදහසකි,
dead”නෝනා රට ගියේ මීට මාස නවයකට පමණ පෙරයි. මාස දෙකක් පමණ ලියුම් එනකං බලා සිටියා ලියුම් ආවේ නෑ.
මා ඒජන්සියෙන් ඇහුවම හෙට කතාකරයි කිය කිය බොරු කීවා. පස්සේ මම විදේශ සේවා එකට ගියා. පස්සේ විදේශ සේවා එකෙන් ඒජන්සියේ අය ගෙන්වලා ප්රශ්නය විසඳලා දුන්නා. ඒ පාර මාසෙකට සැරයක් වගේ කතා කළා. ගෙදරින් කරදරයක් නැතෙයි කිව්වා පඩිත් එව්වා. දැන් මාස තුනකින් විතර පඩි නෑ.
අවසාන වරට කතා කළේ ගිය මාසේ 10 වැනිදා. මීට දින තුනකට පමණ පෙර විදේශ අංකයකින් දුරකථන ඇමතුමක් ආවා. මට කීවා විදේශ සේවා එකේ පැමිණිල්ලක් දාලා තියෙනවා නේද ඒක ඉවත් කරගන්න කියලා. මම කීවා ඒක අයින් කරන්න දෙයක් නෑ, ඒ මැඩම් ඒක අයින් කළයි කියලා.
ඊයේ (14 දා) අපේ ඥති සහෝදරයෙක් තමයි ඇවිත් කිව්වේ මේ වගේ සිද්ධියක් වෙලා කියලා”.
කෙසේ වෙතත් විදේශගත වූ සිය බිරියගේ දේහය කඩිනමින් මෙරටට ගෙන්වා දෙන ලෙස මෙන්ම අසරණ වූ තමන්ටත් දරුවන්ටත් හව්හරණක් සලසන ලෙස ප්‍රියංකාගේ සැමියා අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළේය.
මේ සම්බන්ධයෙන් අප විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් විමසීමක් කළෙමු.
මෙම සිද්ධිය වාර්තා වූ වහාම විදේශ රැකියා අමාත්‍යාංශය අවශ්‍ය මැදිහත් වීම් සියල්ල කර තිබෙනවා. දැනටමත් අපි කණ්ඩායමක් මෙම මියගිය අයගේ දේහය මෙරටට ගෙන ඒමට යොමුකර තිබෙනවා. අපි හැකි ඉක්මනින් දේහය මෙරටට ගෙනැවිත් දීමට කටයුතු කරනවා.
ඒ වගේම මේ සිද්ධියට අදාළව අසරණ වූ සියලු දෙනා වෙනුවෙන් කළ හැකි උපරිම දේ කරන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මෙම සිද්ධියට අදාළව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත් අවශ්‍ය පියවර ගන්නත් හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාගේ උපදෙස් පරිදි අප කටයුතු කරනවා.
ජීවිතයේ දහසකුත් එකක් අගහිඟකම් නිසාවෙන් විදේශගත වන ශ්‍රී ලාංකික කතුන්ට එම රටවලදී විවිධ දුක්ඛ දොම්නස්සයන්ට ලක්වන්නට සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. එසේම අවසාන අවස්ථාව ද මෙය නොවනු ඇත.
අප ප්‍රියංකාගේ නිවසට ගිය අවස්ථාවේ සිය පියාගේ තුරුලට වී සිටි ප්‍රියංකාගේ අට හැවිරිදි බාල දියණියගේ නෙතින් නොනවත්වා කඳුළු ගලා යමින් තිබුණේ දකින කාගේ වුවත් සිත් කම්පාට පත්කරමිනි.
ප්‍රියංකාගේ අට හැවිරිදි නෙත්මි නවෝද්‍යා දියණියගේ නෙතින් ගලා යන කඳුළු කියා පෑවේ මාතෘ වියෝගයේ අසරණකම ය. කඳුළු වලින් දිදුළන නෙත්මිගේ දැස් දෙස බලා අප ප්‍රියංකාගේ නිවසින් පිට වූයේ තවත් දියණියකට මෙවන් අත්දැකීමක් නොවේවායි ප්‍රාර්ථනා කරමිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...