කියුබාව මේ වෙලාවේ කුමක්ද කරන්නේ? වෛද්‍යවරුන් 50 කට පුළුවන්ද ඉතාලිය පුරා පිළිකාවක් වගේ පැතිරී ගිය කෝවිඞ් 19 වසංගතයෙන් ඒ රට බේරා ගන්න. ඔවුන්ට තිබෙනවාද වෛද්‍ය විද්‍යාව පිළිබඳ බටහිරට නැති යාවත්කාලීන දැනීමක්. තනි කියුබාවට පුළුවන්ද රෝගී ඉතාලිය ගොඩගන්න? ඒක එහෙමම නොවෙන්න පුළුවන්. ඒත් කියුබාව මේ රැගෙන එන්නේ බලාපොරොත්තුව.
1959 විප්ලවයෙන් පස්සෙ කියුබාව විසින් ලෝකය පුරා දුප්පත් රටවල ආපදා ස්ථාන වෙත ”සුදු කබා හමුදාව” යන නමින් හඳුන්වන වෛද්‍ය කණ්ඩායම් යවා තිබෙනවා. 2010 දී හයිටියේ කොලරාව හා බටහිර අප්‍රිකාවේ ඉබෝලා රෝගයට එරෙහි සටනේදී එම වෛද්‍යවරු පෙරමුණ ගෙන සිටියා.
එහෙත් කියුබාව ලෝකයේ ධනවත්ම රටවලින් එකක් වන ඉතාලියට හදිසි වෛද්‍ය කණ්ඩායමක් යවා ඇති පළමු අවස්ථාවයි මේ.
ඒ වගේම නව රෝග පැතිරීම වැළැක්වීම සඳහා කියුබාව මෑත කාලයේ එහෙම වෛද්‍යවරුන් යවා ඇති හයවන අවස්ථාව. මීට කළින් වෙනිසියුලාව, නිකරගුවාව මෙන්ම ජැමෙයිකාව, සුරිනාම් සහ ග්‍රෙනාඩා වෙත ද කණ්ඩායම් යවා තිබුණා.
”අපි බය නැති මිනිස්සු නෙවෙයි. නමුත් අපට අත්හළ නොහැකි විප්ලවීය රාජකාරි තිබෙනවා. අපි සුපිරි වීරයන් ද නෙවෙයි. අපි විප්ලවීය වෛද්‍යවරුන් විතරයි.”
සුදු කබා හමුදාවේ වෛද්‍ය විශේෂඥයකු වන ලියනාඩෝ ෆර්ඩිනැන්ඩස් පැවසුවේ හවානා නුවරින් ඉතාලිය බලා පිටත්වෙන්න මොහොතකට කලින්. මිලානෝ මල්ෆෙන්සා ගුවන්තොටුපළට පැමිණි සුදු කබා හමුදාව ඉතාලිය විසින් පිළිගත්තේ යක්ෂයාගෙන් තමන් බේරගන්න ආව දේව දූතයන් වගේ. ඒ අවස්ථාව ඉතාම සංවේදී හා හැඟීම්බර එකක් වූ බව පැවසෙනවා.
ඉතාලියානුවන් ලෝකයට බොහෝ යහපත් දේවල් ලෝබ නැතිව දානය කරපු ජාතියක්. රැකියා මිලියන ගණනාවක්. ශ්‍රී ලාංකිකයන් ද ඇතුළුව ඉතාලි ගිය කිසිවෙක් ඔවුන් බඩගින්නේ තැබුවේ නෑ. ඔවුන්ව දෙපයින් ඔසවා තැබුවා විතරක් නෙවෙයි බොහෝ අයට එරට පුරවැසිභාවය පවා ලබා දුන්නා. ඇත්තටම ඉතාලිය කියන්නේ යුරෝපයේ දේව මාතාව.
ඒ වගේම ඉතාලිය මානව වංශ කතාවේ දිගු පරිච්ෙඡ්දයක්. ඔවුන් කාලයක් ලෝකයෙන් අඩකට වඩා යටත්කර ගෙන හිටියා. ඒත් ඔවුන් මානව වර්ගයාගේ යහ පැවැත්මට හා ඉදිරි ගමනට කළ දායකත්වය අනුපමේයයි.
එහෙව් අභිමානවත් ජාතියක් අද මයික්‍රෝන දශම දෙකක කුඩා වෛරසයක් නිසා අසරණ වෙලා. ලෝකයම බය බිරාන්ත වෙලා තමයි ඉන්නේ. ට්‍රෝජන් අශ්වයා ට්‍රෝයි පුරයට රිංගා ගත්තා වගේ කොරෝනා වෛරසය ඉතාලි රාජ්‍යය තුළට රිංගලා ඉවරයි. ඒත් මේ වෙලාවේ මේ ශ්‍රේෂ්ඨ ජාතිය තනි කරන්න පුළුවන්ද?
මිනිසා ශ්රේෂ්ඨත්ත්වයට පත්වන්නේ යමෙකු අන්ත අසරණ වූ විට පිහිට වූ විටයි. කියුබාව මේ දිගු කළේ බලාපොරොත්තුවේ දෑතයි.
”අපි ඔබව තනිකරන්නේ නෑ. අතහරින්නේ නෑ” සුදු කබා හමුදාව මේ දෙන්නේ ඒ පණිවිඩය. දැඩි අවදානමක් අරගෙන ඔවුන් පැමිණියේ කොරෝනා නම් දුෂ්ඨ සතුරා සමග ද්වන්ද සටනකට. ඉලියඞ් සහ ඔඩිසි නාට්‍යයේ තියෙනවා කිසිවකුට පරාජය කළ නොහැකි අකිලීස් නම් ග්‍රීක සෙනෙවියා ට්‍රෝයි රජුගේ පුත් පැරිස් කුමරු අතින් මියයන හැටි. කියුබාව මේ කරන්නේත් ඒක. දැනටමත් රෝගීන්ට ප්‍රතිකාර කළ ඉතාලි වෛද්‍යවරුන් 13 දෙනෙකු ද කොරෝනාව විසින් බිලිගෙන තිබෙනවා.
ඇත්තටම මානවීය සමාජවාදය කියන්නේ මේකයි. සෝවියට් දේශය බිඳ වැටී අතීත කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතියම සීසීකඩ ගියත් කියුබාව තාම දෙපයින් නැගී සිටිනවා. ලෝක ගෝලයේ සතුරු රාජ්‍ය සියල්ලටම කල් යල් බලා බාල්දිය පෙරළුවත් ඇමෙරිකාවට බැරි වුණා තමන්ගේ අල්ලපු වත්තේ ඉන්න ෆිදෙල් කැස්ත්‍රෝව මෙල්ල කරන්න. කැස්ත්‍රෝ විප්ලවයකින් බලයට ආවත් චීනයේ මාවෝ සේතුං හෝ සෝවියට් දේශයේ ජෝසප් ස්ටාලින් වගේ දරදඬු හා මිලිටරි පාලනයක් ගෙන ගියේ නෑ. අඩුපාඩු එමට ඇති. ඒත් ඔහු ජනතාවට පටි තද කර ගන්න කියා බාල් නටපු පාලකයෙක් නෙවෙයි.
මීට අඩසියවසකට කලින් තිබුණු නිස්කලංක ලෝකය දෑසින් දැක ගන්න නම් කියුබාවට එන්න කියලා කියන්නේ කියුබාවේ වර්තමාන ශ්‍රී ලංකා තානාපතිතුමා. අනික කියුබාව කියන්නෙ අවංක රජයේ සේවකයෙක් වගේ. ඔහුට ලොකු වැටුපක් ලැබෙන්නෙ නැහැ. ඒත් අල්ලස්, වංචාවලින් සාක්කුව පුරව ගන්න ඔහුට බැහැ. ඒ නිසාමදෝ ඉර හඳ අල්ලන්න බැරි වුණත් ඔහු කිසිදිනෙක හිඟමනට වැටෙන්නෙ නෑ. කාටත් උදව් උපකාර කරගෙන සතුටින් ඉන්න එවැන්නකුට ධර්මතාවකින් ඉඩ ලැබී තිබෙනවා. අප ජීවත් වන මේ ග්‍රහලෝකය තුළ කියුබාවත් එවැනි භූමිකාවක් තමයි රඟ දක්වන්නේ.
”කියුබාව කියන්නේ තාමත් ලංකාවේ ජනගහනයෙන් භාගයක් විතර මිනිස්සු ඉන්න ලංකාවට වඩා ලොකු අත්ලාන්තික් සාගරයේ මුතු ඇටය කියලා චර්චිල් කියපු පුණ්‍ය භූමිය.
හවසට බ්‍රැන්ඩි වීදුරුවක් බීලා ගිටාර් එකක් ගහලා තනි කෝඞ් එකේ ීච්බසිය සිංදුවක් කියලා අශ්වයා පිටේ ගෙදර යන තරුණ තරුණියෝ ඕනෑ තරම්. Commonwealth, Pan American games මොනාටවත් එන්නැතුව Olympic විතරක් බැහැලා අවුරුදු හතරකට පාරක් මෙඞ්ල්ස් මල්ලකුත් අරගෙන නැවත අර පිං බිමට යනවා. මිනිසාගේ අධික කෑදරකමට බෙහෙත කියුබානුවා ගාව නෑ. ඒත් මිනිසාගේ සංතෘෂ්ටියට අවශ්‍ය බඩු උන් ගාව එමටයි.
අපි වගේ නැව්කාරයො මිසක් නිකං එකෙක් යන්නේ කලාතුරකින්. එහෙම කියන්නේ නිතර නැව්වලින් ලෝකය වටේ රෝන්දෙ ගහන නාලන්දාවේ අපේ මිතුරු කපිතාන් පරාක්‍රම සිරිමාන්න අයියා.
සමහර ආර්ථික මිනුම් දඬුවලින් ටිකක් පසුපසින් හිටියත් කියුබාව මානව සංවර්ධන දර්ශකවල ඉදිරියෙන්ම ඉන්න රටක්. අධ්‍යාපනය, සෞඛ්‍යය, ක්‍රීඩා, සුභසාධනය ආදී කාරණාවලදී කියුබාවේ ප්‍රගතිය ඉහළයි. එහේ වෛද්‍යවරුන්ට සම්පත් අඩු වුණත් ඔවුන් දක්ෂයි. රෝගියෙක් ලෙහෙසියෙන් අතහරින්නෙ නෑ. ඔවුන් ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෙ නෑ. රජයෙන් ලැබෙන වැටුප විතරයි. බයිසිකලේ යන, කඩපලේ යන සාමාන්‍ය මිනිස්සු.
අපිට වගේ හිතෙන හිතෙන දොස්තරවරු ළඟට යන්න කියුබානුවන්ට බැහැ. සෑම පවුල් සියයකටම එක පවුලේ වෛද්‍යවරයෙක් ඉන්නවා. මාස 6කට වරක් සෑම කෙනෙක්ම ඔහුට පෙන්විය යුතුයි. පවුලේ වෛද්‍යවරයාගේ නිර්දේශය මත තමයි රෝගියකුට විශේෂඥ වෛද්‍යවරයකු ගාවට යවන්නේ.
ලෝකයට වෛද්‍යවරුන් සැපයීම එක පැත්තකින් කියුබාවේ ආදායම් මාර්ගයක්. ඔවුන් අපි වගේ හවුස් මේඞ්ල පිටරට යවල හම්බකරන ජාතියක් නෙවෙයි. එහේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වෙනත් රටක ශිෂ්‍යයකුට වියදම් වෙන්නේ ඩොලර් 40000ක් වගේ. ඒක ගොඩක් අඩු මුදලක්. කියුබාවේ වෛද්‍ය විද්‍යාලවල නැගෙනහිර ටිමෝර්, ටොබැගෝ වැනි ආසියානු අප්‍රිකානු රටවල සිසුන් බොහෝ පිරිසක් ඉන්නෙ ඒ නිසයි. ශ්‍රී ලංකාව වැනි ඉහළ අධ්‍යාපන මට්ටම් ඇති රටවල්වලට කියුබාව ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඒ තමන්ගේ විශ්වවිද්‍යාලවල රේටින්ග්ස් තියා ගන්න.
”අපිට දෙන්න සල්ලි නෑ. ඒත් අපි මිනිස්සුන්ගෙ ජීවිත රකින්න උදව් කරනවා. ඒක අදත් හෙටත් හැමදාමටමත් එහෙමයි”
කැස්ත්‍රෝ එහෙම කිව්වේ කාලෙකට ඉස්සර සුදු කබා හමුදාව මේ ඉතාලියට එන්නේ වෙනස් නොවුණු ඒ අතීත සුහදත්වයේම දිගුවක් ලෙස. කියුබාව එහෙම එනකොට රුසියාව හා චීනයත් ඉතාලිය බේරා ගැනීමට පැමිණෙනවා. ඔවුන් සියලූ දෙනා අතීත සමාජවාදී ලෝකයේ දැවැන්තයන්. දැන් විප්ලවවලින් සමාජවාදය බිහිකිරීමේ කාලය ඉවරයි. මානව පේ‍්‍රමය තමයි ඇත්ත සමාජවාදයේ තියුණුම ආයුධය.
කොහොම නමුත් කියුබානු, රුසියානු හා චීනයේ අලෝකය වැටීමත් එක්ක ඉතාලියට වැටී තිබූ සාතන්ගේ හෙවනැල්ල අද වන විට ටිකක් විතර අඩුවෙලා. උඩට යමින් තිබූ කොරෝනා මරණ චක්‍රය පහළට හැරිලා. බලාපොරොත්තු දැල්වෙන්නේ එහෙමයි. ඉතිහාසය ප්‍රතිනිර්මාණය වෙනවා කියන්නේ ඒකයි. ජාති, ආගම් හා දේශසීමාවලින් වෙන්වුවත් ලෝකය එකම යායක් බව පසක් කිරීමට කෝවිඞ් 19 තරම් වෙන කිසිවකුට හැකි වී නැහැ.
ශානක ලියනගම
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...