සිංහල දෙමළ ජනතාව මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන අලුත් අවුරුද්ද මෙවර 2020 අප්‍රේල් 13 දින උදාවෙයි. දේශය කොවිඞ් 19 වසංගත තත්වයට මුහුණ දී සිටින අවස්ථාවක වුවද ලාංකේය ජනතාවගෙන් වැඩිම පිරිසක් විසින් සමරනු ලබන මෙම සංස්කෘතික උත්සවය වෙනුවෙන් අපි සුභාශිංශන එක්කරනු කැමැත්තෙමු.
සාම්ප්‍රදායික ජ්‍යොතිෂය විශ්වාසය අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීම අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙයි. නව අවුරුද්ද සෑම අතකින්ම අලුත් බව හා බැඳේ. මෙම විශ්වාසය සමග බැඳුණු සංස්කෘතික උත්සවය මෙරට ජනතාව කෙරෙහි සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක් නිර්මාණය කරයි. පැරණි අනවශ්‍ය දෑ ඉවත් කර ජීවිතය නැවුම් බවකින් පුරවා ගැනීමට මෙන්ම ජීවිතය මෙතෙක් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමටද එය විසින් ජනතාවට ඉඩකඩ ලබාදෙයි.
2020 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවන්නේ, ශ්‍රී ලංකාව පමණක් නොව මුළු මහත් ලෝකයම කොරෝනා වෛරසයට මුහුණ දී සිටින අභියෝගකාරී වාතාවරණයක් තුළය. ඒ නිසාම මෙම අලුත් අවුරුද්දේ සියලු ජනතාවට සාම්ප්‍රදායික අලුත් අවුරුදු චාරිත්‍රවලින් ඔබ්බට සිතන්නට බලකෙරී ඇති බවට සැකයක් නැත. විශේෂයෙන් ජාතිකත්ව, ආගමික හා දේශපාලන භේදයන්ගෙන් තොරව රටක් ලෙස සිතන්නටත් මුළු මහත් සමාජයක් ලෙස ක්‍රියාත්මක වන්නටත් අන් කවරදාකටත් වඩා අපට බල කෙරී තිබේ. සෞඛ්‍ය, ආරක්ෂක හා සහන සේවා ඇතුළු අත්‍යවශ්‍ය කටයුතුවල නිරතවූවන් හැරෙන්නට සියලු දෙනා ඇඳිරී නීති තත්වයක් තුළ නිවෙස්වලට සීමා වී ඇති වකවානුවක අලුත් අවුරුද්ද උදාවෙයි. සෞඛ්‍ය හේතූන් මත අවුරුදු චාරිත්‍ර, කෙළිසෙල්ලම් ආදී අවුරුද්ද හා බැඳුණු සියලු ක්‍රියාකාරකම් නිවෙසේ සාමාජිකත්වයට පමණක් සීමා කරනු ලැබ ඇත. ඇතැම් විට පවතින වාතාවරණය තුළ ජීවිතය ගැට ගසා ගැනීම දිනෙන් දින අභියෝගයක් බවට පත්වෙමින් යන අතිවිශාල ජනතාවකට මෙවර අවුරුදු සැමරීම පිළිබඳව සිතීම පවා වේදනාකාරී අත්දැකීමක් විය හැකි බව අපි දනිමු.
පසුගිය වසර 72ක කාලය පුරාවටම ශ්‍රී ලංකාවේ පැවති ආණ්ඩු ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සැපිරීමට, ජනතාවගේ ගැටලු විසඳීමට පෙන්වූ අසමත්කමම මේ මොහොතේ කොරෝනා වසංගතය තුළදීද පෙන්වා ඇත. සුපුරුදු ලෙස නව බලාපොරොත්තු මැද උදා වූ නව වසරක් පරණ අවුරුද්ද බවට පත් වී තවත් නව වසරක් උදා වෙද්දී මහත් බලාපොරොත්තු පොදි බැඳ සිටි ජනතාවගේ අපේක්ෂා බිඳ දමා මෙම ආණ්ඩු විසින් කර ඇත්තේ ලාංකේය සමාජය ජනතා අපේක්ෂා සුන් කරන එකම දුෂ්ට චක්රයක ගමන් කරවීමය. කොරෝනා ව්‍යසනයට මුහුණ දී සිටින මොහොතක රටත් ජනතාවත් මෙතරම් ආර්ථික හා සමාජීය වශයෙන් පීඩාවට පත්වීමට මෙම පාලනයන්හි දායකත්වය කිසිවෙකුටත් ප්‍රතික්ෂේප කළ නොහැක. අදටද රටේ එක් කොණක ගොවි ජනතාව තමන් ඉතා වෙහෙසී, කණ කර උගසට තබමින් නෙළුෑ අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගත නොහැකිව සුසුම්ලද්දී තවත් කොණක ධීවර ජනතාව තමන්ගේ මත්ස්‍ය අස්වැන්න අලෙවි කර ගත නොහැකිව ලතවෙද්දී තවත් කොණක ජනතාවකට ආහාරයට ලිප තැබීමට කිසිත් නොමැතිව කුසගින්නේ නින්දට යාමට සිදුව ඇත්තේ මේ තත්වය තුළය; කම්කරුවන්ට ලැබීමට නියමිත වැටුප පිළිබඳව සහ යෙදී සිටින රැකියාව පිළිබඳ දෛනික අවිනිශ්චිතභාවයකින් පසුවීමට සිදුව ඇත්තේ මේ තත්වය තුළය.
ජනතාවගේ ගැටලු සැබෑවටම විසඳීම සඳහා දුෂ්ට රාශියෙන් රට මුදා ගෙන නව චක්‍රයක් දක්වා ගමන් කරවිය යුතුව තිබේ. මෙය හුදු ශ්‍රී ලංකාව හමුවේ පමණක් නොව සමස්ත ලෝකය හමුවේම ඇති අභියෝගයකි. ලොව පුරා නව ලිබරල්වාදී ධනවාදය කර තබා ගෙන ගිය රටවල් අද කොරෝනා වෛරස් අභියෝගය හමුවේ පෙන්වන අසමත්භාවයට වඩා තවත් නිදර්ශනයක් මෙයට ඇවැසි නැත. මහජන සේවා ඇතුළු සියල්ල රාජ්‍ය අයිතියෙන් බැහැර කිරීමේ අනිටු ඵලවිපාක බොහෝ රටවල ජනතාව තම ජීවිතවලින් විඳිමින් සිටිද්දී නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය වෙනුවෙන් සටන් වැදුණු සැබෑ මිනිසුන්ගේ හෙළුෑ ලේ ගංගා නිසාවෙන් අදටද ආරක්ෂා වී ඇති එම ක්ෂේත්රයන්හි රැකවරණය මෙරට ජනතාව භුක්ති විඳිති.
රට විනාශකාරී ගමනක රැගෙන ආ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය හැරෙන්නට ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා වන විකල්ප ආර්ථික උපායමාර්ගයක් මෙම පාලකයින් සතු නොවේ. ඔවුන් දවස ගෙවා ගැනීමේ තාවකාලික විසඳුම් සොයන්නේ රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් විදේශයන්ට හා විදේශීය සමාගම්වලට විකිණීමෙනි; දිගු කාලීනව බදු දීමෙනි; විදේශයන්ගෙන් ලැබෙන ණය හා ප්‍රදාන කොල්ලකෑමෙනි. පාලකයින්ගේ සුඛෝපභෝගී ජීවිතවලටවලට අදාළ වියදම් කිසිවක් කප්පාදු නොවෙන අතර ඒවා ඇත්තේ දිනෙන් දින ඉහළ යමිනි.
එහෙත් වත්මන් අර්බුදය හමුවේ අසාර්ථක බව දිනෙන් දින ඔප්පු කරමින් සිටින මෙම සමාජ ආර්ථික ක්‍රමයෙන් ඉතාම ඉක්මණින් බැහැර විය යුතු බවත් වඩා මානුෂීය හා පාරිසරික බැඳීම් ඇති සාධාරණ සමාජයක් වෙතට ඉක්මණින්ම සමස්ත ලෝකයේම රටවල් මාරු විය යුතු බවටත් වත්මන් අර්බුදය විසින් අපට බල කරනු ලැබ ඇත. මෙවැනි වටපිටාවක සෑම ක්ෂේත්රයකම අලුත් බව අපේක්ෂා කරන අලුත් අවුරුද්ද විසින් අපට යෝජනා කරන අලුත් බවට නව සමාජ ආර්ථික ක්‍රමයක් ගොඩනගා ගැනීම පිළිබඳ බලාපොරොත්තුවද එකතු විය යුතුව තිබේ. විශේෂයෙන් පවතින අර්බුදකාරී වාතාවරණය ඒ පිළිබඳව විවේක මනසින් සිතා බලන්නට ජනතාවට අවස්ථාව විවර කර දී ඇතැයි අපි අදහස් කරමු.
අලුත් අවුරුද්ද සැබැවින්ම සුබ වනු පිණිස බහුතර ජනතාවක් විසින් තමන් එතෙක් වැළඳ ගෙන සිටි ජරාජීර්ණ ආකල්පවලින් මිදී නව ගමනක් යාම යනු පිණිස නව අපේක්ෂා, නව අධිෂ්ඨානයන් කුළු ගන්වා ගැනීම අත්‍යාවශ්‍යය. මෙහි පළමු පියවර පැරණි දේශපාලන තීරණ වෙනුවට නව දේශපාලන තීරණ ගැනීම සඳහා වන පෙළඹවීම යැයි අපි විශ්වාස කරමු. එසේම රටත් ජනතාවත් සැබෑ ජයග්‍රහණ කරා රැගෙන යන සහ නව සමාජයක් ගොඩනඟන නව දේශපාලන ගමනක් වෙනුවෙන් පෙළගැසීමට ජනතාව විසින් අභියෝග මැද එළඹෙන අලුත් අවුරුද්ද නව ජවයක් කර ගනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු.
උදා වූ සිංහල-දෙමළ අලුත් අවුරුද්දේ, අපේක්ෂිත නව සමාජ ආර්ථික ක්‍රමය වෙනුවෙන් දැවැන්ත ජනතා බලයක් ගොඩනැගීමට අදිටන් කරගන්නා මෙන්ද එකම ලාංකේය ජාතියක් බවට ගොඩනැගෙන ජාතික සමගියේ නිමිත්තක් බවට එය පත්කරගන්නා මෙන්ද අපි දැඩි සහෝදරත්වයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
අනුර දිසානායක
නායක – ජනතා විමුක්ති පෙරමුණ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...